සිංහරාජ-යාල-විල්පත්තු ත්‍රිත්වයේ සිර වූ අපේ ‘හරිත වීරයෝ’

නාලක ගුණවර්ධන ravaya@nalaka.org

පසුගිය සියවසේ මෙරට විසූ කීර්තිමත් උද්භිද විiාඥයකු සහ ලේඛකයකු වූ මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස, පරිසර සංරක්ෂණය ගැන විiාත්මක සහ සමාජ විiාත්මක මානයන්ගෙන් විග්‍රහ කළ අයෙක්.

සරසවි ඇඳුරකු ලෙස ඉගැන්වීම සහ පර්යේෂණ කිරීමට අමතරව, ජනමාධ්‍ය හරහා නිතර ලිපි ලියූ සහ ප්‍රසිද්ධ දේශන කළ පොදු උන්නතියට කැප වූ විද්වතකු ලෙස මා තවමත් ඔහු සිහිපත් කරනවා.

ඔහු සමහර ගැටලු සම්බන්ධයෙන් (උදා: හරිත විප්ලවය) දැඩි ස්ථාවරයන් දරා සිටියද, වන සංරක්ෂණය ගැන ඔහු කළ විශ්ලේෂණ නම් බෙහෙවින් තර්කානුකූලයි. එසේම සමාජයේ ජනප්‍රිය පාරිසරික මිථ්‍යාවන්ගෙන් ඔබ්බට ජන මනස යොමු කරවීමට ඔහු උත්සාහ ගත්තා.

වරෙක ඔහු කළ ප්‍රකාශයක් වූයේ ශ්‍රී ලංකාවේ වනාන්තර සහ වන ජීවීන් සංරක්ෂණයට තිබෙන එක ලොකු බාධකයක් නම් ‘සිංහරාජ මානසිකත්වය’ බවයි. මෙහි අරුත කුමක්ද?
මට මතක හැටියට වසර විසි පහකට පමණ පෙර ඉදිරිපත් කළ ඔහුගේ විග්‍රහය වූයේ මෙයයි: මේ රට වන සම්පත් සහ ජෛව විවිධත්වය ගැන උනන්දුවක් තිබෙන බොහෝ දෙනා නිරායාසයෙන්ම කතා කරන්නේ සිංහරාජ වනාන්තරය ගැනයි. ඊට අමතරව යාල සහ විල්පත්තු ජාතික වනෝද්‍යාන ගැනද බොහෝ දෙනා අසා තිබෙනවා – අඩු තරමින් නමින් දන්නවා.

මේ ත්‍රිත්වයෙන් ඔබ්බට අපේ රටේ ජෛව විවිධත්වය අතින් වැදගත් තවත් පාරිසරික පද්ධති රැසක් ඇතත්, ඒවා ගැන ඇති තරම් ජන අවධානයක් හෝ ඒවා රැක ගන්නට කැක්කුමක් බොහෝ ලාංකිකයන් තුළ නැහැ. මෙයට හේතුව නාමධාරී පාරිසරික පද්ධති දෙක තුනක් පමණක් සැලකිල්ලට ගන්නා නොගැඹුරු මහජන දැනුමක් සහ සරල ලිහිල් මට්ටමේ උනන්දුවක් පැවතීම බව මහාචාර්ය පේමදාස පෙන්වා දුන්නා.

සිංහරාජයටත් වඩා ජෛව විවිධත්වයෙන් ඉහළ මට්ටම් හමු වන සහ එනිසාම වඩා පාරිසරික වැදගත්කමක් ඇති වර්ෂා වනාන්තර තෙත් කලාපයේ තිබෙනවා. මේවා අප්‍රකට නිසා ඒවාට එල්ල වන පාරිසරික පීඩන ගැන දන්නේ ප්‍රදේශවාසීන් පමණයි.

මේ අගනා විද්වතාගේ විග්‍රහය මට සිහිපත් වූයේ මෑත සතිවල ‘විල්පත්තුව සුරකිමු’ සහ ‘සිංහරාජය රැක ගනිමු’ යන උද්යෝග පාඨ වටා සමාජ මාධ්‍යවල අපේ සමහරුන් කරන සයිබර් උද්ඝෝෂණ දැකීමෙන් පසුවයි.

තමන්ට රිසි ඕනෑම පෞද්ගලික හෝ පොදු ගැටලුවක් ගැන අදහස් දැක්වීමේ සම්පූර්ණ ප්‍රකාශන අයිතිය සමාජ මාධ්‍යවල තිබෙනවා. මෙහිදී එය අභියෝගයට ලක් කරන්නේ නැහැ.
එහෙත් සමහර ගැටලු අරබයා Facebook, Twitter සහ YouTube වැනි ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා හරහා අපේ ඇතැම් දෙනා ඇති කරන සංවාද, සාක්ෂි සහ තර්ක මත පදනම් වනවා වෙනුවට අනුමාන සහ ආවේග මුල් කර ගන්නා බව පෙනී යනවා.
මෙය ප්‍රශ්නයක් වන්නේ මෙලෙසයි. විකෘති කරන ලද යථාර්ථයක් මත ගොඩ නැංවෙන ජනමතය නිසා රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කලබලකාරී හෝ වැරදි තීරණවලට එළඹිය හැකියි. එසේම රටේ සැබෑ පාරිසරික අර්බුද ලද යුතු නිසි අවධානය නොලැබී යා හැකියි.
මෙරට සමහර ෆෙස්බුක් පිටුවල විල්පත්තුව සහ සිංහරාජය ගැන මහත් ආවේගශීලීව කතා කරද්දී යොදා ගෙන තිබුණේ විදෙස් රටවල වන සංහාරයට අදාළ ගුවනින් ගත් ඡායාරූප බව දැන් හෙළි වී තිබෙනවා!

මෙය සිතාමතා කළ දුස්තොරතුරු (disinformation) පැතිරවීමක්. අන්ත හරිතවාදය සහ සිංහල ජාතිවාදය එකට මුසු කරන්නට ගත් උත්සාහයක් විය හැකිද?
මේ ගැන හොඳ විමර්ශනයක් බීබීසී සිංහල වෙබ් අඩවියේ 2019 මාර්තු 22 පළ වූ ලිපියක අඩංගු වුණා. එයින් උපුටා ගැනීමක් මෙන්න: “සිංහරාජයේ වන විනාශයක් සිදු වෙතැයි පවසමින් පළ කළ ඡායරූපයක්, වන විනාශය සම්බන්ධයෙන් 2013 වසරේදී පළ වූ විදේශීය වෙබ් පුවතක ද දැකිය හැක. එමෙන්ම ලොව පුරා විවිධ භාෂාවලින් පළ වූ තවත් ලිපිවල ද එම ඡායාරූපය අඩංගු වන අතර බ්‍රසීලයේ සිදු වූ බව පැවසෙන වන විනාශයකට අදාළ පුවත් සඳහා ද එම ඡායාරූපය යොදා ගනු ලැබ ඇත.”
ඉන්දුනීසියාවේ මහා පරිමාණයේ වන විනාශ ගැන පුවතකට අදාළ ඡායාරූප ද මෙරට වන විනාශය සහ පරිසරය සම්බන්ධ පුවත් සඳහා යොදා ගෙන ඇති ආකාරය එම බීබීසී සිංහල ලිපියෙන් සාක්ෂි සහිතව පෙන්වා දී තිබුණා.

එසේම ව්‍යාජ පුවතක් හෝ වැරදි අන්දමට භාවිත කැරෙන ඡායාරූපයක් පිළිබඳව ස්වයං විමර්ශනයක යෙදීමට අවශ්‍ය සරල උපදෙස් කිහිපයක් ද මෙම ලිපියේ පළ කර තිබෙනවා.

https://www.bbc.com/sinhala/sri-lanka-47658480

මීට දින කීපයකට පෙර මගේ ෆෙස්බුක් ගිණුම හරහා මා සරල අත්හදා බැලීමක් සිදු කළා. සිංහරාජ, යාල සහ විල්පත්තු හැරුණු කොට මෙරට පාරිසරික වශයෙන් වැදගත් තවත් නිශ්චිත වනාන්තර ප්‍රදේශ දෙකක්වත් නම් කරන්න යයි මා කළ ඉල්ලීමට ලැබුණේ ප්‍රතිචාර දෙක තුනක් පමණයි. මෙය විධිමත් මත විමසීමක් නොවුනත්, අපේ බොහෝ දෙනකුට මේ ජනප්‍රිය ත්‍රිත්වයෙන් එහාට කිසිවක් සිහියට නොඑන හැඩයි.
අපේ රටේ වන විනාශයක් සිදුවන බව ඇත්තයි. එහෙත් එය වළක්වා ගැනීමේ හෝ අඩු කර ගැනීමේ සැබෑ උනන්දුවක් තිබේ නම් කළ යුත්තේ ෆෙස්බුක් හරහා එන විකෘති කළ තොරතුරු හෝ කුමන්ත්‍රනවාදී ප්‍රබන්ධ විචාරශීලීව පතුරුවා හැරීම නොවෙයි. සාක්ෂි මත පදනම් වී කරුණු හරිහැටි තේරුම් ගෙන ගැටලුවට විසඳුම් සෙවිමට දායක වීමයි.
රටේ ජනප්‍රිය මතය නම් අනවසරෙන් කැලේ ගස් කැපීම වන විනාශයට ප්‍රධානතම හේතුව බවත්, සංවිධානගතව කැරෙන දැව ජාවාරම්වලට දේශපාලන අනුග්‍රහය ලැබෙන බවත්. මෙහි යම් සත්‍යයක් ඇති නමුත් යථාර්ථය මීට වඩා සංකීර්ණයි.

ලංකාවේ වනාන්තර ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව අඩුවන්නට හේතු සාධක මොනවාද? මෙය දශක ගණනක් තිස්සේ සංවාදයට තුඩු දුන් මහා ප්‍රශ්නයක්. ඒ ගැන වෙනස් වූ මතවාද කිහිපයක් තිබෙනවා.
2010 දත්ත විශ්ලේෂණයකට අනුව, එම වසර වන විට මෙරට සොබාවික වන ගහනය හෙක්ටෙයාර් මිලියන 1.95ක් (වර්ග කිලෝමීටර් 19,500ක්) පමණ වුණා. එය දිවයිනේ සමස්ත බිම් ප්‍රමාණයෙන් 29.7%ක්.

එහෙත් මේ වන වැස්ම, වසරකට සාමාන්‍යයෙන් හෙක්ටෙයාර් 8,000ක් (අක්කර 19,768 = වර්ග කිමී 80ක්) පමණ ප්‍රමාණයකින් අඩු වනවා. වන විනාශය කියන්නේ මෙයටයි.
මෙය තේරුම් ගැනීමට පහසු වීමට මෙසේ සිතන්න. කොළඹ ගාලු මුවදොර පිටිය විශාලත්වයෙන් හෙක්ටයාර් 5යි. මෙරට වාර්ෂික වන විනාශය ගාලුමුවදොර පිට්ටනිය මෙන් 1,600 ගුණයක්. තවත් විදියකට කීවොත් වාර්ෂික වන විනාශය සමස්ත කොළඹ නාගරික ප්‍රදේශය (වර්ග කිමී. 37.3) මෙන් දෙගුණයකටත් ටිකක් වැඩියි.
වන විනාශය වඩාත් වැඩියෙන්ම සිදුවන දිස්ත්‍රික්ක ලෙස අනුරාධපුරය, මොනරාගල, හම්බන්තොට, අම්පාර හා පුත්තලම හඳුනාගෙන තිබෙනවා.
මේ වන විනාශයට හේතුකාරක මොනවාද? පසුගිය දශක දෙකක කාලයේ රැස් කරගන්නා ලද නිල දත්ත විග්‍රහ කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් 2014-16 වකවානුවේ කරන ලද පුළුල් අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත්තේ ප්‍රධානතම සෘජු සාධක හතරක් මෙයට දායක වූ බවයි.

ජාතික මට්ටමින් වන විනාශයට වැඩිපුරම බලපෑ සෘජු සාධකය නම් රජයෙන් ක්‍රියාත්මක කළ යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘති (මහාමාර්ග, වරාය, ගුවන්තොටුපළ, බලශක්ති පහසුකම්, සංචාරක පහසුකම්) සඳහා වන බිම් හෙළි කිරීමයි. 2009 යුද්ධය හමාර වූ පසු මෙම ප්‍රවනතාව වඩාත් සීඝ්‍ර වූ බව දත්ත පෙන්වනවා. සෙසු සෘජු සාධක වන්නේ අනවසරයෙන් වන බිම් අල්ලා හෙළි පෙහෙළි කිරීම, පුද්ගලික ව්‍යවසායකන්ගේ කෘෂිකර්මික ව්‍යාපෘති, හා ප්‍රාදේශීය වශයෙන් කරන සුළු පරිමාණ සංවර්ධන ක්‍රියාකාරකම්.
වන විනාශයට දායක වන වක්‍ර සාධක ගණනාවක්ද හඳුනාගෙන තිබෙනවා. පදිංචියට හා බෝගවගාවට ඉඩම් හිඟවීම, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා දේශීය ඉල්ලුම, ගෘහාශ්‍රිත අවශ්‍යතා, රාජ්‍ය අනුග්‍රහය යටතේ ජනපද පිහිටුවීම හා ජනයා නැවත පදිංචි කිරීම මෙන්ම විදේශවලින් ගෙන්වනු වෙනුවට මෙරටම සීනි නිපදවීමට උක්වගා කිරීම ආදී සාධක ඒ අතර වනවා.

වන විනාශයට අමතරව වන හායනය (forest degradation) නම් ක්‍රියාදාමයක් ද තිබෙනවා. වන හායනය කියන්නේ වනයක් බැලූ බැල්මට තව දුරටත් ඉතිරිව තිබියදී, එහි පාරිසරික හැකියාවන් හා සේවාවන් ටිකෙන් ටික අඩාල වීමටයි.

ශ්‍රී ලංකාවේ වන හායනයට හේතු වන සාධකද ගණනාවක් තිබෙනවා. සමහර වනාන්තර බිම්වල කරදමුංගු වගාව, දර එකතු කිරීම, විවිධ දැවමය නොවන සම්පත් (වේවැල්, දුම්මල, ඹෟෂධීය ශාක) රැස් කිරීම, ගවයින් සඳහා උලාකෑමට යොදා ගැනීම, හිතාමතා කරනු ලබන ගිනි තැබීම්, හා නීති විරෝධී ගස් කැපීම් ඒ අතර වනවා. රට පුරා ක්‍රියාත්මක නොවුවද ප්‍රදේශීය වශයෙන් සිදුවන මැණික් ගැරීම, ගල් කැඩීම ආදිය නිසාද වන හායනය සිදුවනවා.
මෙම සංකීර්ණත්වය හඳුනා නොගෙන, දේශපාලන අනුග්‍රහය ලබන ජාවාරම්කරුවන් හෝ අවස්ථාවාදීන් වනාන්තර හෙළි කරනවා යයි කීම වන විනාශය සහ වන හායනය සරල සිල්ලර උද්යෝග පාඨවලට ලඝු කිරීමක් පමණයි.

පරිසරයට සැබෑ ආදරයක් ඇති හරිතවේදීන් කළ යුත්තේ අලුත්ම දත්ත විශ්ලේෂණය කිරීම, එයින් මතු වන ප්‍රවණතා අවබෝධ කර ගැනීම සහ ක්ෂේත්‍රයට ගොස් කරන සොයා බැලීම්වලින් බිම් මට්ටමේ යථාර්ථය තේරුම් ගැනීමයි.
ෆෙස්බුක් එකෙන් පමණක් වන විනාශය නතර කරන්නට හෝ පාරිසරික පද්ධති රැක ගන්නට හැකියාවක් නෑ.

2017 මැයි මාසයෙ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී, පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ මෙබඳු විග්‍රහයක් කළා: “ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ යළි පදිංචි කිරීම් හේතුවෙන් වසර කිහිපයක් ඇතුළත විනාශ වී තිබෙන්නේ හෙක්ටයාර 3,000ක් පමණයි. මේ ප්‍රශ්නය පමණක් අල්ලා ගෙන වසර හයක් පමණ පුරා සමහරුන් කථා කරන විට, එම කාලය තුළ වසරකට හෙක්ටෙයාර් 8,000 බගින් හෙක්ටෙයාර් 48,000ක පමණ වනාන්තර බිම් ප්‍රමාණයක් රට පුරා අපට අහිමි වී තිබෙනවා. ඒත් එසේ අහිමි වූ සෙසු වන බිම් ගැන උද්ඝෝෂණ කෝ?”

එහිදී හේමන්ත විතානගේ මෙසේ ද කීවා: ”වනාන්තර වටේ ඉන්න පුංචි මිනිස්සු හේනක් කොටා ගෙන ජීවත් වෙන එක තමයි වනාන්තරවලට තියෙන ලොකුම තර්ජනය කියල මුල් කාලෙදි අපි දුටුවේ. නමුත් ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශයට ප්‍රධානම හේතුව එය නොවෙයි.

අවුරුද්දකට විනාශ වන හෙක්ටයාර 8,000න් ((අක්කර 19,768) බහුතරයක් විනාශ වෙන්නේ සංවර්ධන වැඩසටහන්වලට, විශේෂයෙන් වාරීමාර්ග සකස් කිරීමේදී. ඊළඟට වගා සඳහා මහා පරිමාණ හෙළිකිරීම්. ඒ වගේම නැවත පදිංචි කිරීම සඳහා හෙළි කිරීම්. ඊළඟට සාමාන්‍ය ජනතාව කරන හෙළි කිරීම්”.

කැලෑ පාළුවන්ට දොස් තැබීම හරියට පවුකාරයන්ට ගල්ගැසීම වැනි වැඩක්. පවුකාරයාට ගල් ගැසීමට මුලින් ම පවු නොකරන කෙනකුට ඉදිරිපත් වෙන්නට කීවාක් මෙන්, කැලෑ පාළුවන්ට ශාප කරන අයට ද අභියෝගයක් කළ හැකියි.

එනම් ඔබ කිසිම දිනෙක දැව හෝ ලීවලින් තැනූ යමක් භාවිතා කර නැත්නම් හා ගසක් බිම හෙලන්නට සම්මාදම් වී නැත්නම් පමණක් කැලෑ පාළුවන්ට ශාප කරන්න. එසේ නැත්නම් මේ තත්ත්වයෙන් අත්මිදීමට රටක් හා ජන සමාජයක් හැටියට අපට කළ හැකි දේ ගැන සිතන්න.

ශ්‍රී ලංකාවේ වනාන්තරවල තත්ත්වය පිළිබඳ වඩාත් ම මෑතදී  REDD+  සිදු කළ අධ්‍යයනය මෙතනින් බාගත කරන්න: http://bit.ly/2GjV2tf