පස් වෙළෙන්දන්ට යට වූ දකුණේ පොලිසිය

නිමල් අබේසිංහ

ඉහළ පොලිස් නිලධාරීන් සමඟ අයුතු සම්බන්ධතා පවත්වන මැරයින්, බලපුළුවන්කාරයින් පහළ පොලිස් නිලධාරීන්ට දුටු දුටු තැනදී අල්ලා පහර දෙන සිද්ධීන් අප මෙතෙක් දැක ඇත්තේ ඉන්දීය චිත්‍රපට ඇසුරෙනි. ඉන්දියාවේ චිත්‍රපට වල වෙන සිදුවීම් දැන් දැන් ලංකාවේ ද සැබැවින්ම සිදුවන බව පෙනේ. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන පොලිස් බල ප්‍රදේශයේය.

වලහන්දූව, පින්නදූව, කෙටවලදෙනිය, ශ්‍රී විජයාරාම මාවතේ පිදිංචි බී. ජී. සුරංග රුවන් කුමාර නමැති පොලිස් නිලධාරියාට එම ප්‍රදේශයේම පදිංචි නිතී විරෝධී පස් ව්‍යාපාරිකයකු වන අනුර දහනායක නමැත්තා සිය චක්ගෝලයකු වන අසන්ත නොහොත් බෝලේ සමඟ එකතුව අතින් පයින් පහරදී බෝතලයක් කඩා එයින්ද අතකට තුවාල කර, තිබෙනවා මදිවාට කඩපිලක ප්‍රසිද්ධියේ දණගස්සවාද ඇත.

අප්‍රේල් 11 වැනිදා සිදු වූ මෙම සිදුවීමෙන් තුවාල ලැබූ සුරංග රුවන් කුමාර කරාපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා පිටව ඇත්තේ අප්‍රේල් 15 වැනිදාය. මෙම සිද්ධිය දුටු පිරිසක් සිටිනමුත් පස් වෙළෙන්දාගේ බලපුළුවන්කාරකම සහ ඔහුට ඉහළ පොලිස් නිලධාරින්ගේ සබඳතා පවතින නිසා සාක්ෂි දෙන්නට ඉදිරිපත් නොවීමද පුදුමයක් නොවේ. පොලිස් නිලධාරියකුට බරපතල ලෙස පහර දී ප්‍රසිද්ධියේ දණගස්වන්නට තරම් මේ මැරයින්ට බලපුළුවන්කාරකමක් තිබීමද විශේෂයෙන් සොයා බැලිය යුතුය.
අනුර දහනායක නම් මැරයා සුරංග කුමාර පොලිස් නිලධාරියා සමඟ වෛර බැඳ ගැනීමටද හේතුවක් තිබේ. ඒ සුරංග කුමාර අනුරගේ නිතී විරෝධි පස් ව්‍යාපාරය ගැන පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලබා දීමය. ඔහුගේ වාහනය එහිදී නිතී විරෝධි පස් ප්‍රවාහනය කරන අවස්ථාවකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරියකු වන සුරංග කුමාර පොලිස් විශේෂ කාර්ය බලකායට පැමිණිලි කිරීමටද හේතුවක් තිබෙන බවද පැහැදිලිය. ඒ සුරංගටද පොලිසිය ගැන විශ්වාසයක් නොතිබූ නිසා විය හැකිය.

කෙසේ හෝ මෙම සිදුවීමත් සමඟ අනුර දිගින් දිගටම සුරංගට අරියාදු කරනවාට අමතරව පහරදීමටද තැත් කළ අවස්ථා සේම මරණීය තර්ජන කළ අවස්ථාද ගණනාවකි. 2018.06.14 දින සිද්ධියක් වූ පළමුවන අවස්ථාවේදී ඔහු ඉවසීමෙන් කටයුතු කර පොලිසියට පැමිණිල්ලක් නොකළත් දෙවන අවස්ථාවේදී එනම් 2018.09.18 දින ඔහු සහ බිරිඳ ජේ.සී.බී. යන්ත්‍රයකට යට කිරීමට තැත් කළ සිද්ධිය අක්මීමන පොලිසියේ පැමිණිලි කර ඇත. එදිනම අනුර ද ඔහුට විරුද්ධව පැමිණිල්ලක් කර තිබේ. මෙම පැමිණිලි දෙකම සමථ මණ්ඩලයට යොමු කර තිබුණද අවස්ථා තුනකදීම එනම් 2018.10.27, 2018.1103, 2018.11.10 අනුර දහනායක සමථ මණ්ඩලයට පැමිණීම මඟහැර ඇති බැවින් සමථ මණ්ඩලයෙන් නිරවුල් නොකිරීමේ සහතික නිකුක් කර තිබේ.

ප්‍රධාන ගැටලුව වන්නේ අක්මීමන පොලිසිය මෙහිදී ක්‍රියා කර ඇති ආකාරයයි. තම නිලධාරියකුට මරණ තර්ජනයක් සිදු කර ඇති අවස්ථාවක ඒ ගැන සොයා නොබලා කටයුතු කිරීම එම වරදය. අනුර දහනායක පිළිබඳව ප්‍රදේශයේ ජනතාව තුළ ඇත්තේ යහපත් ආකල්පයක් නොවන බව අක්මීමන පොලිසියේ වත්මන් ස්ථානාධිපතිවරයාම කියයි. ඔහු එතරම් ගමට එපා වූ මිනිසෙකි. වඩාත් වැදගත් වන්නේ එසේ පවසන ස්ථානාධිපතිවරයා අක්මීමන පොලිසියට පැමිණ මේ වන විට මාසයක් පමණ වීමය.

දාමරිකයාගේ පහර කෑමට ලක් වූ පොලිස් කොස්තාපල් සුරංග කුමාර පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට බඳවාගෙන මාසයකි. එවැනි විශේෂ ඒකක වලට බඳවා ගැනීමේදී එකී නිලධාරියා පිළිබඳව විශේෂ සොයා බැලීමක් සිදු කිරීම සමාන්‍ය සිරිතය. ඒ බැව් මේ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද ලියුම්කරුට සනාථ කළේය. සුරංග කුමාර දූෂිත නිලධාරියකු බවට එහිදී දැනගන්නට ලැබී නැත.

එහෙත් සුරංග කුමාරට එරෙහිව ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් පරීක්ෂණයක් කර තිබේ. එය පුදුම සහගත පරීක්ෂණයක් වනවා සේම එහි සැගවුණු ගැටයක්ද තිබෙන බව සුරංගට එරෙහිව විමර්ශනය කර ඇති ආකාරය සහ එහිදී ක්‍රියාකර ඇති පිළිවෙත අනුව හෙළිවේ.

සුරංග කුමාරට එරෙහිව සිදු කළ පරීක්ෂණය සඳහා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා සුරංගව කැඳවන්නේ 2018.06.13 දිනදීය. එයද දුරකතන ඇමතුම් නියෝගයකිනි. එයද විමර්ශනයක් සඳහා මිසක පරීක්ෂණයක් සඳහා නොවේ. එහෙත් සිදුවන්නේ විමර්ශනයකට කැඳවූ ඔහුට පරීක්ෂණයකට මුහුණ දෙන්නටය. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් පවසා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිට ලැබුණ තොරතුරක් මත මෙම ප්‍රකාශය ලබා ගන්නා බවය. එහිදී ඔහුට චෝදනා පත්‍රයක් හෝ ලබා දී නැතිවා සේම චෝදනාව පැහැදිලි කර දීමක්ද සිදුනොවු බව සුරංග කියයි. ඒ අනුව සුරංගගේ ප්‍රකාශය ලබා ගනිමින් ඔහු 2018.03.18 වන දින සිට 2018.06.19 දින දක්වා රථ වාහන නඩු කොපමණ ප්‍රමාණයක් ලබාගෙන ඇත්ද යන්න විමසා ඇත. ප්‍රධාන වශයෙන් එවැනි කරුණක් ගැන ප්‍රකාශයක් ලබා ගන්නේ නම් අදාල පොත් පත්ද රැගෙන පැමිණිය යුතු බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා දුන් ඇමතුම් නියෝගයේ සඳහන් විය යුතු මුත් එහි එවැන්නක් තිබී නැත.
කෙසේ වුවත් දූෂණ චෝදනාවකට පරීක්ෂණයක් හෝ විමර්ශනයක් සිදුකර ලබාගන්නා ප්‍රකාශයකදී සුරංගට එරෙහිව නගා ඇති චෝදනාව රථවාහන නඩු සංඛ්‍යාව නිවැරදිව ප්‍රකාශ නොකිරීමය. අසත්‍ය ප්‍රකාශයක් එනම් ලබා ගන්නා නඩු ප්‍රමාණය 1500ක් බවට සුරංග ප්‍රකාශ කර තිබීමය.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය මත ගාල්ල සහකාර පොලිස් අධිකාරී III එල්. දුල්ෂාන් නාගහවත්ත විසින් සිදුකර ඇති පරීක්ෂණයේදී සුරංග ලබාගත් නඩු ප්‍රමාණය 1500ක් නොව 724ක් බව හෙළිදරව් වීම නිසා 2018 ජූලි 24 දින සුරංගට අවවාද පත්‍රයක් නිකුත් කර ඇත.

දූෂිත නිලධාරියකු බවට පරීක්ෂණයක් සිදු කර ලැබූ ප්‍රතිඵලය අනුව නඩු ගණන නිවැරදිව කිරීමට අපොහොසත් වීම ගැන සුරංගට අවවාද පත්‍රයක් නිකුත් කර තිබේ. මෙයද විහිළුවකි. එපමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකුට ලැබෙන තොරතුරකදී පළමුවෙන් අදාළ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා ලවා පරීක්ෂණයක් සිදු කිරීම සමාන්‍ය ක්‍රියා පටිපාටියයි. එහෙත් මෙහිදි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉස්සර වීම හොරාට කලින් කෙසෙල් කැණ වැට පැනීමක් වැනිය. මූලික පරීක්ෂණය තමන් සිදු කර ඊළඟ පරීක්ෂණය පහළ නිලධාරියකුට පැවරීමද ගැටලුවකි. පරීක්ෂණයේදී සිදු වී ඇත්තේ කන්දක් විලිලා මී පැටියකු වැදීමය. ඊළඟ වැදගත්ම දේ මතු වන්නේ 2018.06.13 සිද්ධිය නැතිනම් පරීක්ෂණය ගැන අනුර දහනායක නම් පස් වෙළෙන්දා දැනගැනීමය. එය තමන්ගේ වුවමනාවට සිදු වූවක් බව අනුර පැවසූ බව සුරංග කියයි. ඒ ගැන පැමිණිල්ලක් ලියවී නොතිබීම වෙනම කාරණාවකි. කෙසේ හෝ සුරංග කුමාරට එරෙහිව ඉහළ නිලධාරීන් සහ පස් ව්‍යාපාරිකයා කටයුතු කිරීමේ සහ සම්බන්ධයක් තිබෙන බව දැනගන්නට මොන්ටිසෝරියක ඉගෙන ගෙන තිබීම වුව ප්‍රමාණවත්ය. ඉහළ පොලිස් නිලධාරියා සුරංගට එරෙහිව කටයුතු කර ඇති ආකාරයෙන්ම එය පැහැදිලිය.

අනුර දහනායක නමැති පස් වෙළෙන්දා පොලිසිය සමඟ සහ සම්බන්ධකම් පැවැත් වූ බවට හෙළිවන තොරතුරක් ඇල්පිටිය පොලිස් ස්ථානයේ තිබේ. 2018.11.20 දින ඇල්පිටිය පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන නිලධාරීන් පිරිසක් සැක කටයුතු වැගන් ආර් වර්ගයේ SP SBS  7829 දරණ වාහනය නවත්වා බලන විට එහි ඉදිරිපස ගමන්ගත්ත වුන් ආරක්ෂක බඳ පටි පැළඳ නොසිට ඇත. මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන විට වාහනයේ පිටුපස සිටි ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද තමන්ව හඳුන්වා දී මෙය වලකාගෙන තිබේ. සිද්ධියට අදාල සටහන් මුර සංචාරයේ යෙදුන නිලධාරීන්ගේ ප්‍රධානියා වූ සැරයන් ශාන්තප්‍රිය PIB හි 199 පිටෙහි 637 ඡේදයේ සටහන් කර තිබේ. මෙම වාහනයේ ඉදිරිපස සිට ඇත්තේ අනුර දහනායක නමැති පස් වෙළෙන්දා සහ සුරංගට පහර දුන් අනෙක් පුද්ගලයා වන බෝලේ හෙවත් අසන්ත නැමැත්තාය.

සුරංග කුමාරට දිගින් දිගටම සිදුවන කෙනෙහිලිකම් ගැන ඔහුගේ බිරිඳ විසින් ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබුණත් එයට සිදු වූයේ කුමක්ද යන්න හෝඩුවාවක් නැත. එහෙත් මෙකී සිද්දි අරභයා සුරංගව නැවතත් ගාල්ලේ සිට ඇල්පිටියට මාරු කර යවන්නට නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියා කර ඇත. ඒ ඔහු ඇල්පිටියේ සිට ස්ථාන මාරුවක් ලබා පැමිණ මාස 7යි දින 24ක් ගෙවෙද්දීය. එය වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටීමකි.

පහළ නිලධාරීන් ඉහළ නිලධාරීන්ගේ නීති විරෝධි ඕනෑ එපාකම් ඉටු කිරීමට ගොස් අමාරුවේ වැටෙන සිද්ධීන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ අපමන අසා දැන තිබුණද මෙවැනි සිද්ධියක් අප ඇසුවේ ප්‍රථම වතාවටය. ඒ අතරේ තවමත් සැකකරුවන් නිදැල්ලේය. ඔවුන්ට නීතිය ක්‍රියාත්ම නොවන්නේ ඇයි? වගකිවයුත්තන් තවමත් නිද්‍රාශීලිව සිටීම ගැන රටේ මිනිසුන්ට මොනවා නොසිතේද? මේ ප්‍රශ්න අතරේ පොලිසියත් පොලිස් කොමිසමත් කුමක් කරන්නේ දැයි අපි බලා හිදිමු.