හදිසි ජනාධිපතිවරණයක්, මෛත්‍රීපාලට යෝජනාවක් එයි

කෝසල කුරුවිටබණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාගෙන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමේ දේශපාලන වාතාවරණයක් උදා වී ඇතැයිද එම නිසා හදිසි ජනාධිපතිවරණයක් කැඳවා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු උපදෙස් දී ඇතැයි රාවයට දැනගන්නට තිබේ.

ගෝඨාභය රාපපක්ෂ මහතාට එරෙහිව අමරිකාව තුළ නඩු පවරා තිබීමත්, එජාපය තුළ කැළඹිලි සහගත තත්ත්වයක් උද්ගතව තිබීමත් යන සාධක මත ඒකාබද්ධ විපක්ෂයේ පමණක් නොව එජාපයේ පිරිසකගේ සහයෝගයද මේ සඳහා ලබා ගත හැකි වෙතැයි ශ්‍රීලනිප නායකයෙක් ප්‍රකාශ කළේය. එජාපය තුළද ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ පැහැදිලි තීන්දුවක් නොමැති නිසා එවැනි හදිසි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් වීමට සිදු වීමත්, පොදු ජන පෙරමුණෙන්ද වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කර විපක්ෂය පරාජයට පත් කිරීමේ තීන්දුවකට එළඹීමට මහින්ද රාජපක්ෂ මහතා ඉඩ ලබා නොදෙනු ඇතැයි යන විශ්වාසයත්, යන කරුණුද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සිය තිරුපති සංචාරයට පෙර, සමීප නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී හදිසි තීරණ පිළිබඳ ඉඟියක් ද පළ කර ඇතැයි දැනගන්නට ඇත. ශ්‍රීලනිපය පාර්ශ්වයෙන්ද එජාප ආණ්ඩු විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයක් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාද හමු වී සාකච්ඡා කළ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා රාවයට කියා සිටියේ තම පක්ෂය ඉදිරියේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයාද මුණගැසී ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කරන බවයි. තමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වන Country First  සංවිධානය ඉදිරියේදී විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන වල මෑත කාලයේ සිදු වූ අක්‍රමිකතා හෙළි කිරීමට සූදානමින් සිටින බව එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පැවසීය. ■