සිනමාකරුවකුගේ හොඳම සිනමා රූප හමුවන්නේ ශෝකී අතීත මතක පතුලේදීයි

පෝලන්ත සිනමාවේදී පවෙල් පව්ලොකොව්ස්කි
අනුවාදය – මනුබන්දු විද්‍යාපති

2018 ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මානයට පාත්‍රවූයේ පෝලන්ත සිනමාකරුවෙක්. ඔහු ‘පවෙල් පව්ලොකොව්ස්කි.’ චිත්‍රපට කිහිපයක්ම නිපදවා ඇති පව්ලොකොව්ස්කි, 2014දී ඔහුගේ ‘අයිඩා’ චිත්‍රපටය සඳහා ඒ වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ චිත්‍රපටයට හිමි සම්මානයත් දිනාගනු ලැබුවා. මුළුමනින් පසු යුද පෝලන්තයේ ගොඩනැගී ඇති ‘අයිඩා’ චිත්‍රපටය මෙන්ම පසු යුද සමයේ පෝලන්තයේ, යුගොස්ලෝවියාවේ හා ප්‍රංශයේ දිග හැරෙන ප්‍රේම කතාවක් වන ඔහුගේ නවතම චිත්‍රපටය ‘කෝල්ඞ් වෝ’ චිත්‍රපටයත් පව්ලොකොව්ස්කිගේ රටටත්, ඔහුගේ ළමා සමයටත්, ඔහුගේ දෙමාපියන් හා ඥාතීන්ගේ ජීවන අත්දැකීම්වලටත් සම්බන්ධ අත්දැකීම් විවරණය කරන කළු සුදු චිත්‍රපට යුගළකි. මෙහි එන්නේ ‘ෆිල්ම් මේකර්’ සඟරාවත්, සිනෙ යුරෝපා’ වෙබ් සඟරාවත් ඔහු සමග පැවැත්වූ සංවාදවලින් උපුටා ගත් කොටස්ය.

ඔබේ ළමා කාලය ගතවෙන්නේ හැටේ දශකයේ මුල පෝලන්තයේ පවුල් පරිසරයකයි. ආගම ඔබේ ළමා කාලයේ විශාල කාර්යයක් ඉටු කළාද?

නැහැ. කිසිසේත්ම නැහැ. මගේ මාපියන් දෙදෙනාම විශේෂයෙන්ම ආගමික වූ අය නෙවෙයි. මා නත්තල් සමය හා පාස්කු සමය ගෙවා දැම්මේ මගේ මවගේ මුල් පවුල සමගයි. මා තවමත් ඔවුන් සමග සමීපයි. ඒ පවුලේ පරිසරයේ යාතුකර්ම, පිළිවෙත් හා සම්ප්‍රදාය වඩා ප්‍රබලව පැතිරී තිබුණා. ඒත් මා කුඩා කාලයේ මා ඉඳහිට විශේෂ අවස්ථාවලදී දේවස්ථානයට යායුතුව තිබුණා. එහෙත් මා තද ආගමික භක්තියකින් යුතුවුණේ නම් නැහැ. මගේ පියාගේ මුල් පවුල මුළුමනින් අතුරුදහන් වුණා. ඊට හේතුව ගැන මා එතරම් පුදුමවන්නේ නැහැ. දන්නවා ඇති පෝලන්තයේ ඒ දිනවල යුදෙව් සම්බන්ධතා ඇති අය ඉතිරි වුණේ නැහැ. මගේ පියාගේ පවුල හා පරම්පරාවට අර්ධ යුදෙව් ජාතිකයන්.
පසුකලෙක ඉතාම අමුතු ආකාරයකින් මටම ආවේණික ආගමක් හඳුනා ගත්තා. මා පිටරටක ජීවත් වෙද්දී මට ඉතාම බුද්ධිමත් පාදිලිවරයෙක් හමුවුණා. ඔහු සමග ආගම ඉක්මවූ වෙනත් ආධ්‍යාත්මික මානයක් හසුකර ගත්තා. මා තදබල ලෙස ආගමික භක්තිකයෙක් නම් නෙවෙයි. ඒත් මා ආගම නමැති ඇදගන්නාසුලු විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ කොටසක් බව මා දන්නවා. එය මට මාව අර්ථකථනය කරගන්නට තරමක් උදව් වෙනවා. ඒ අනන්‍යතාව පිළිබඳ පැත්තකින් නොවෙයි. ඒක මෙහෙම කිව හැකියි. ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් මේ ජීවිතයට අද දවසට අදාළ නොවන්නක් නම් නෙවෙයි. අද වනවිට මා මගේ පියාගේ ආගමික හා ජනවර්ග පසුබිම ගැන සැබෑ උනන්දුවක් දක්වනවා. එහෙත් අප කුඩා කල පියා සමග හැදී වැඩෙද්දී ඔහු ඒ පිළිබඳව මතක් කළේවත් කතා කළේවත් නැහැ. ඔහුට වුවමනා කළේ සියලු විවිධ ‘අනන්‍යතා’ ඉක්මවා යන්නටයි. මා මගේ පියාගේ පියා ගැන දන්නේ නැහැ. ඒත් ඔහුගේ මව මගේ අත්තම්මා නම් යුදෙව් ජාතික කාන්තාවක්. මා පසු කාලයක එක්තරා මොහොතක සොයා ගත්තා. ඇය මියගියේ ‘අවුෂ්විට්ස්’ දණ්ඩන කඳවුරේ බව.

මගේ පියා ලෞකිකවාදී චරිතයක්. ඔහුගේ මව වෛද්‍යවරියක්. ඔවුන් ඊටම ආවේණික නාගරික යුදෙව් බුද්ධිමතුන් ප්‍රජාවක කොටසක් වුණා. පෝලන්ත භාෂාව කතා නොකරන තවත් දුගී යුදෙව් ජන කොටසක් ඒ හා සමාන්තරව ඒ කාලයේම මුඩුක්කු පැල්පත්වල ජීවත් වුණා. එහෙත් එදා පෝලන්ත සමාජයේ අභ්‍යන්තර පද්ධතියේ සෑහෙන තරම් ප්‍රමාණවත් යුදෙව් ජනගහනයක් සිටියා. ඒ අතර කවියන්, සාහිත්‍යධරයන්, චිත්‍රපටකරුවන් ඇතුළු සංස්කෘතික ‘ප්‍රභූ පන්තියක්’ සිටියා. ඒත් මේ වැඩි පිරිසක් යුද සමයේ ඝාතනය කරනු ලැබුවා.
‘පන්තිය’ ආගමට වඩා වැදගත් වූ බවක් පෙනෙනවා?

ඔව්. පන්තිය, අධ්‍යාපනය හා සංස්කෘතික භාවිතාවන් එහිදී මුල්තැනට ආවා. 1919දී ඇතැම් ජනයා පෝලන්ත රජය යහපත් දෙයක් ලෙස පිළිගත්තා. අනෙක් අය පෝලන්තය නමින් වෙන්කර තිබූ ජීවන ක්‍රමය ඇතුළත දිවි ගෙවා දැමුවා. ඔවුන් මේ ප්‍රදේශය රුසියානු අධිරාජ්‍යයේ, ඔස්ටි්‍රයානු – හංගේරියානු අධිරාජ්‍යයේ කොටසක්ද නැත්නම් පෝලන්තයමද යන්න ගැන සැලකුවේ නැහැ. ඔවුන් පෝලන්ත භාෂාව ඉගෙන ගත්තේ පවා නැහැ. මේවා සමාජය හා රට ගැන එක එක පරපුරු සතු වෙනස් ආකල්පයි. පසුව සියල්ල තවත් වෙනස් වුණා.
මගේ පියා ගොඩනැගුණේ ආගම එතරම් ප්‍රශ්නයක් නොවුණු මුළුමනින් වෙන්වූ තරමක් ප්‍රභූ සමාජ පරිසරයකයි. එහෙත් තම මව ‘අවුෂ්විට්ස්’ යුදෙව් දණ්ඩන කඳවුරේ මියගිය බැව් දැනගත් මොහොතේ සිට ඔහු තම ආගම හා යුදෙව් ජාතිය ගැන වේදනාව හා බියමුසු සාංකාව සහිත හැඟීමකින් බලන්නට වුණා. දෙවන ලෝක යුද සමයේ ඔහුත් බිහිසුණු හා වික්‍රමාන්විත අත්දැකීම්වලට මුහුණ දී මරණයට පත් නොවී ජීවිතය බේරාගෙන තිබුණා. මුලින් කී යුදෙව් ජාතිකත්වය ගැන තිබුණු බියමුසු සාංකාසහගත මානසිකත්වයත් ඔහු හිත යට සඟවාගෙන ඉදිරියට රැගෙන අවුත් තිබුණා. ඒත් වෙනම පරපුරක ආකල්පවලින් පිරී ගොඩනැගුණු මා යොවුන් අවදියේ මගේ මාපියන්ගේ ජීවිත අත්දැකීම් ගැන කිසිම උනන්දුවක් දැක්වූයේ නැහැ. ඒ අය මියයන තෙක්ම ඔවුන් සුවපත් වූ මනසකින් සිටියේ නැහැ. ඒත් දැන් ඔවුන් මොනතරම් සුන්දර චරිතද? ඔවුන්ගේ පසුබිම්, අත්දැකීම්, පවුල් ඉතිහාසය මොනතරම් වැදගත්ද අප ගැඹුරට කල්පනා කරනවා. ඒ ගැන නිර්මාණාත්මකවත් සිතා බලනවා. ඇත්තටම සිනමාකරුවන්, කවීන් ලෙස අපත් කටයුතු කර ඇත්තේ එදා අර ඝාතක කඳවුරුවල සිටි ඝාතකයන් ලෙසම නේද කියා මට විටෙක හිතෙනවා.

ජීවිතයේ ඇතැම් පසුකාලීන අවස්ථාවලදී, බොහෝ විට කාලය ඉක්මවා ගොස් අතපසු වූ විට ඔබ ජීවිතය ගැන විමසා බැලීම ආරම්භ කරනවා. මුල් තරුණ අවධියේ ඔබ සිතන්නේ ‘මුල් හෝ පදනම් ගැන කවුද ගණන් ගන්නේ? එය එතරම් දෙයක් නොවෙයි. මට මගේ සැබෑ මුල් හා සංස්කෘතිය අබිබවා යන්න පුළුවනි. කියායි. එහෙත් පසුකාලීන අවස්ථාවකදී ඔබ සිතන්නේ ‘දෙවියනේ එහි තවත් මොනවාද තිබෙන්නේ? කියායි. ඒත් ඒ ජීවිතයේ මුල්වල, පසුබිම්වල ඔබේ සියලු නිර්මාණ, චිත්‍රපට පොතපත, ඔබේ අනාගත පරිකල්පනා, මතකයන්, ඔබ ආදරය කරන ගැහැනිය, ගොඩනගන පවුල මේ හැමදේම තිබෙනවා. සමහර අවස්ථාවල ඔබ ආපසු හැරී බලන්න හිතනවා. ‘අයිඩා’ චිත්‍රපටයේදී වුණේ මා මගේ යුදෙව් පසුබිම, ආගමික මූලය හා මියගිය ඥාතීන්ගේ අත්දැකීම් දෙස ආපසු හැරී බැලීමයි.

‘අයිඩා’ චිත්‍රපටය ආරම්භවන්නේම කන්‍යාරාමයක හැදුණු වැඩුණු කන්‍යා සොයුරියක් තම ඥාති නැන්දනියක් සමග තම යුදෙව් පවුල් මූලය සොයා යෑම සමගයි. ‘අයිඩා’ වෙත ඔබ කැඳවාගෙන ආවේ කුමක්ද?

මුලින් කී සියල්ල මා මේ චිත්‍රපටයේ තැන්පත් කළා. ඒත් විවෘතවම නෙවෙයි. මුලින්ම මා මේ අත්දැකීම 1962 පිහිටවූවා. ඒත් තිර රචනය ලියන්න ගත්විට මා වරද්ද ගත්තේ තදබල ලෙස ඍජු ආඛ්‍යාන රටාවක් හා අනවශ්‍ය කතා වින්‍යාස ගොඩනගමින් ඓතිහාසික තත්ත්වයන් විස්තර කිරීමට යෑම නිසා. එය සාර්ථක අනන්‍ය සිනමාවක ලක්ෂණයක් නෙවෙයි. ඒ තිර රචනය නවත්වා මා පසුව නැවත ලිව්වා. එහෙත් මේ තේමාව මා තුළ වසර ගණනාවක් මතකයේ රැව් දුන්නා. ක්‍රිස්තියානියකු වීම යනු කුමක්ද? පෝලන්ත කතෝලිකයකු නොවූ ඔබට යහපත් ක්‍රිස්තියානි ආගමිකයකු විය හැකිද? මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ ආගම කිසියම් ගෝත්‍රික ඇදහිල්ලක් බවට පත්වෙමින් තිබෙනවා. එය තදින්ම ක්‍රිස්තියානි විරෝධියි. ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම ඉතාම විශ්වීයයි. අනන්‍යතාව අර්ථකථනය කරන්නේ කුමක් විසින්ද? ඔබේ ශරීරයේ දුවන ලේ විසින්ද? නැත්නම් ඔබ හැදී වැඩුණු ආගමික විශ්වාසය හා ඔබේ ස්වයං අවබෝධය විසින්ද? ඔබට පවතින අර්ථකථනවලින් මුළුමනින්ම බැහැරව පිරිපුන් ආධ්‍යාත්මික පැවැත්මක් තනාගත හැකිද? මේවා වසර ගණනාවක් පුරා පෝලන්තය පුරා නොවිසිඳුණු ප්‍රශ්නයි.

ඊළඟට චරිත දෙක මතුව ආවා. එහි පදනම් හමුවුණා. එක් චරිතයක් තමා කතෝලික පවුලක ඉපදී නැති බව වැඩිහිටියකු ලෙස පසුව සොයා ගන්නා කන්‍යා සොයුරියක්. මා දැන සිටි එවැනි පූජකයකු සිටියා. තමා යුදෙව් ජාතිකයකු බව ඔහු දැනගත්තේ තම පූජක ජීවිතයේ පසුකාලීනවයි. එයින් ඔහුගේ කතෝලික විශ්වාසය බිඳ වැටුණේ නැහැ. ඒ විශ්වාසය ඔහු තුළ තවත් දැඩිවුණා. ඔහු ඒ අනන්‍යතා දෙකම වැළඳ ගත්තා. ඒ සිද්ධිය මගේ සිතේ තැන්පත් ව තිබී මේ චිත්‍රපටයේදී මතුව ආවා. අනෙක් අතින් ‘වැන්ඩා’ නම් අනෙක් චරිතය. ඒ චරිතය මට කලකට පෙර බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ්හිදී හමුවුණු කාන්තාවක්. ඇයත් ඇගේ ජීවිතයේ වෙනස් අවස්ථා දෙකකදී වෙනස්ම චරිත දෙකක් බවට පත්ව තිබුණා. ‘වැන්ඩා’ චරිතයට මුල්වුණේ එවැනි සැබෑ චරිතයක්. අවසානයේ භූමිය හැටේ දශකයේ පෝලන්තය. එය මගේ සුන්දරතම හා ශෝකීම මතකයයි.

ඒ යුගයේ බාධා අවහිර ගණනාවක් ඒ පරිසරයේ තිබුණා. අයෙක් ආදරයක බැඳුණු විට මේ කියන සියලු බාධක අවහිර ජයගත යුතුයි. මට නම් මේ යුගයේ මේ පරිසරයේ ආදර කතාවක් නමින් යමක් හඳුනා ගන්න තරමක් අපහසුයි. මොකද මේ මිනිසුන් විවිධාකාර දේවල්වලට තදින් යොමුවෙලයි පවතින්නේ. දැන් දුරකතනයක් ඒවායින් ලැබෙන රූප ප්‍රමාණයත් අධිකයි. ඒ වගේම අධික ශබ්ද හා ශබ්ද දූෂණය කෙතරම්ද? අපිට අද මිනිසුන් ලෙස වෙනත් කෙනකුගේ දෙනෙත් දිහා බලන්නවත් ආදරයෙන් බැඳෙන්නවත් අවස්ථාවක් අවකාශයක් තවදුරටත් නැහැ. ඉතින් මේ කාලයේ ආදර කතා ගැන බලවත් හැඟීමක් එන්නේ නැහැ. මේ චිත්‍රපටයට පසුබිම් වී තිබෙන යුගයේ තත්ත්වයත් සේ ම සම්බන්ධතා සරලයි. විකර්ශනයන් බාධක ඉතාම ස්වල්පයි. ඇතැම්විට එදා මිනිසුන්ගේ හැඟීම් මීට වඩා ගැඹුරුයි. ඔවුන්ට එසේ විය යුතුව තිබුණා. මොකද ඔවුන්ට විනෝද වෙන්නට සිත සුවපත් කරගන්නට මාර්ග කිහිපයයි තිබුණේ. මා පෝලන්තයේ තිබුණු ස්ටාලින්වාදය ගැන අතීතකාමී ආශාවකින් කීවා නෙවෙයි. ඒත් ඒ කාලයේ කිසියම් සුපැහැදිලිකමක් යම් සරලකමක් තිබුණා. අතීතකාමය මේ චිත්‍රපටය පිටුපස තිබුණු ගාමක බලවේගය නම් නෙවෙයි. මේ චිත්‍රපටය ඊට වඩා ශෝකය පැතිරී ගිය හැඟීම්බර චාරිකාවක්. රූප සහ ශබ්ද සොයා යද්දී අදහස් පහසුවෙන් පැන නගින්නේ අතීතයෙන් හා අතීත මතක මතින් නොවේද?

මේ චිත්‍රපටයට හැඟීම් නිරූපණය හා රංගනය තදින්ම බැඳී තිබෙන බවක් පෙනෙනවා. චිත්‍රපටය රූපගත කිරීම් මැදදී ඔබ මෙහි පෙම් යුවළ ලෙස රංගනයට එක්වූ ප්‍රධාන රංගන ශිල්පීන් මෙහෙයවා ගත්තේ කෙසේද?

මා තිර රචනය ලියන්නට උත්සාහ කළේ රූපමාලාවන් වලින් සිදුවන්නේ කුමක්ද යන්න නියමාකාර විස්තරාත්මකව දක්වන්නේ නැතිව රූපය ප්‍රබලව මතු කරන්නටයි. මගේ වෑයම වුණේ අප රූපගත කිරීම් අවසන් කිරීමට ළඟාවන විට අපි සියලුදෙනාම එක්වී ඒ තියුණු කළු සුදු රූප හැඩතල ගන්වා ගැනීමටයි.

මට තිර රචනය දෙබස්වලටම සීමා කරන්න වුවමනා වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ වෙනස් විදිහේ ජවනිකා නිරතුරුව චලනය වන කැමරාවකින් වඩා දෘෂ්‍ය මූලික තත්ත්වයකින් රූපගතකර ගැනීමටයි. එතැන් සිට මට චිත්‍රපටය දෘශ්‍යමය වශයෙන් තදින් ආකර්ෂණීය විය යුතු වූ නිසාම මට ඡායාරූපකරණ අධ්‍යක්ෂ ලූකාස් ස්සාල් සමග එකින් එක දර්ශනය සඳහා විශාල කාලයක් වැය කරන්නට සිදුවුණා. අප දර්ශන නැවත රූගත කිරීම් ගණනාවක් කළේ නැහැ. එහෙත් නිරතුරුව නැවත රාමුගත කරමින් ඒ සඳහා විශාල ලෙස අවධානයෙන් වැඩ කළා.

මේ ප්‍රධාන චරිත දෙකට එක්වූ රංගන ශිල්පීන් දෙපොළට තම චරිතවලට හැඟීම් හරියාකාරව නිරූපණය කරන්නට සිදුවුණේ මගේ මේ වධබන්ධනය මැදයි. ඔවුන් මේ ඔවුන්ට අවධානය නොලැබෙන රූපගත කිරීම් ක්‍රමයේ ගොදුරු බවට පත්වුණා. ඇතැම්විට අප මේ එක දර්ශනයක සියල්ල නියමාකාරව සකස් කරන තුරු ඔවුන්ට යුග ගණන් බලා සිටින්නට පවා සිදුවුණා. එහෙත් සිනමාකරණය පිළිබඳ ප්‍රබෝධය ගෙන එක කරුණක් වන්නේ ඔබට එකම වෙලාවක රූපය ශබ්දය හා රංගනය කියන සියලු අංග පිළිබඳව අවධානයෙන් කටයුතු කළහැකි වීමයි. එය කෙටි දර්ශන මගින් සියල්ල ගොනු කොට රූපයට පරිවර්තනය කිරීමට හැකි තිර නාටකයක් අප සතුවුණා වැනි තත්ත්වයක් නොවේ. ඇතැම්විට එය වේදනාකාරී කෝපගන්වනසුලුයි. එහෙත් එවැනි ආකාරයකට රූපගත කිරීම් කරන්නට අප හැමෝම කළ අරගලය ඉතාම වටිනවා. ඒ අරගලය මැද මේ රංගන ශිල්පීන් යුවළ චරිතවලට මනාව හුස්ම පිඹ තිබෙනවා.

ඔබේ අවසාන චිත්‍රපට දෙකම ඔබ රූපගත කළේ පෝලන්තයේදීමයි. තමා පෝලන්ත සිනමාකරණ සම්ප්‍රදායේ උරුමක්කාරයකු වැනි හැඟීමක් ඔබට දැනෙනවද?

පෝලන්ත සිනමාකරුවන්ගේ චිත්‍රපට කෙරෙහි මගේ තද ආදරයක් ආකර්ෂණයක් තිබෙනවා. උදාහරණයක් ලෙස අන්ද්රේ වප්ඩා, ස්කොලිමොව්ස්කි, පොලන්ස්කි වැනි සිනමාකරුවන් මට ඉතාම සමීපයි. බොහෝ අය මට කියා තිබෙනවා මා පෝලන්ත සිනමා සම්ප්‍රදාය නැවත ගොඩනැගීම මූර්තිමත් කරන චිත්‍රපටකරුවෙක් බවත්. ඒත් මා වඩාත් සමීප වන්නේ ප්‍රංශ නව රැල්ලටය යන අදහසක් තමයි මට නම් තිබෙන්නේ. සාමාන්‍යයෙන් මගේ සිනමා සෞන්දර්යවේදී ලක්ෂණ පොදු පෝලන්ත සිනමා රටාවට වඩා වෙනස්. පෝලන්ත සිනමාවේ ප්‍රකාශන රීතීන් ඇතැම්විට වඩා පුදුමාකාර විදෙස්වාදී ස්වභාවයක්. ඒ වගේම වඩා විචිත්‍ර බවක් ගන්නවා. වඩා ඍජු අර්ථ පිරුණු දෙබස්වලින් යුතු ඒවා භාෂාමය මට්ටමෙන් පවා මාගේ චිත්‍රපටවල සංවාදවලට වඩා ප්‍රකාශනාත්මක බවක් ගන්නවා. මා පෞද්ගලිකව කැමති රූප ශබ්ද හා වචන යම් දෙසකට ඇදවී ඇති යම් තරමක් අද්භූත ස්වභාවයක් පෙන්වනවා නම් තමයි.

ඔබ මේ චිත්‍රපටය ගෞරවයෙන් පුද දෙන්නේ ඔබේ දෙමාපියන්ටයි. Cold War චිත්‍රපටයේ ප්‍රධාන පෙම් යුවළ සඳහා ආනුභාවය ලබා දුන්නේ ඔවුන් දෙපළද?

චිත්‍රපටයේ මේ යුවළ මගේ දෙමාපිය යුවළට බොහෝ දේවල්වලින් සමාන බවක් පෙන්වනවා. ඔවුන්ගේ නම් පවා සමානයි. ඔවුන් දැන් මිය ගොසින්. ඒ නිසා ඒ නම්වල ගුණය මට නිදහසේ භාවිත කළ හැකිවුණා. ඔවුන් යම් දුරකට මහා විපතකට ව්‍යසනයකට හසුවූ (ඛේදාන්ත නාට්‍යයක වීරයා මෙන්) යුවළක්. ඔවුන් ප්‍රේමයෙන් බැඳුණා. ඔවුන් වෙන්වූවා. නැවතත් ප්‍රේමාන්විතව එක්වුණා. ඔවුන් දෙදෙනා වෙනත් අය සමග විවාහ වුණා. නැවතත් ආපසු සමීපව එක්වුණා. ඔවුන් වෙනත් රටකට සංක්‍රමණය වුණා. ඒ නිසාම නැවත වෙන්වුණා. අවසානයේ නැවත එක්ව සිටිද්දී මියගියා. ඔවුන්ගේ ජීවිත ගමන එතරම් දිගු දැවැන්ත විපත්වලින් යුතු චාරිකාවක්. ඒ සියල්ල මේ චිත්‍රපටයේ ඇතුළත්වන්නේ නැහැ.

මගේ දෙමාපියන්ගේ ඍජු වාර්තාවක් වැනි දෙයක් නෙමෙයි. එහෙත් චිත්‍රපටයේ යුවළ මගේ දෙමාපියන් අතර සම්බන්ධතාවයේ තිබූ යාන්ත්‍රණයන් හා නිශ්චිත ලෙස සමාන වෙන බව පෙනෙනවා. මේ සියල්ල පසුබිමේ පසු යුද යුරෝපීය පුද්ගල ආත්මවල ජීවිතය ප්‍රබලව සිත්තම් වී තිබෙනවා. මට මෙන්ම වෙනත් අයකුට වුවත් අපේ පෙර පරම්පරාවේ සිතිවිලි අත්දැකීම් ස්මරණය කළ හැකි ප්‍රේම කතාවක සිනමා අත්දැකීමක් මේ චිත්‍රපටයේ ඇතැයි මා විශ්වාස කරනවා.

 

සිනෙ යුරෝපා සහ ෆිල්ම් මේකර් වෙබ් සඟරා ඇසුරෙනි.