රිදීමය වැව මත සාහිත්‍ය ආවර්ජනය

වින්ද්‍යා ගමගේ
ඡායා – රසික ගුණවර්ධන

 

“ඔබ විවාහ නොවන්නේ ඇයි?” ඩබ්ලියු.ඒ. සිල්වාගෙන් වරක් මිත්‍රයෙක් ප්‍රශ්න කළේය.
“මම විවාහ වෙලා.” ඔහු ගත් කටටම කීයේය.
“එහෙනම් අපි නොදන්නෙ?” මිත්‍රයා දෙවැනි ප්‍රශ්නයත් නැගීය.
“මම විවාහ වෙලා සිංහල සාහිත්‍යයත් සමග” මහා නවකතාකරු මිත්‍රයා නිහඬ කළේය.

ඒ මලල්ගොඩ බන්දුතිලකයන් ‘මහා ගත්කරු’ නමින් සාහිත්‍ය කීර්ති ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන් ගැන ලියූ පොතක කොටසක්. එදා වැල්ලවත්තේ හයිස්ටී්‍රට් නැතිනම් මෙදා ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතේ මැද්දකට වන්නට පිහිටි ‘සිල්වර් මියර්’ නිවසට අප පියමන් කළේ අප කිසිදා නොදුටු ඒ අග්‍රගණ්‍ය සාහිත්‍යවේදියා මනසින් හෝ දැකගැනීමේ බලාපොරොත්තුවෙනි. ඔහු කුඩා කල සිට මියෙනතුරුම වාසය කළ තේජසින් දිදුළන ඒ ධවල මන්දිරයේ ගේට්ටුවෙන් ඇතුළු වී කෙටි මිදුල පසු කළ විටම මොසෑක් සැරසිල්ලකින් හැඩවුණු නිවසේ අලංකාර පොළොවට අප නෙත් යොමුවිය. ආලින්දයට ඇතුළු වූ අප පිළිගනු ලැබුවේ 2018 සැප්තැම්බර් මාසයේ මෙම නිවස ඩබ්ලියු.ඒ. සිල්වා භාෂා හා සාහිත්‍ය කෞතුකාගාරය ලෙස විවෘත කළ දින පටන් එහි පරිපාලිකාව වන තමාරි තිලකවර්ධනයි. නවකතාකරුවකු, කෙටිකතා රචකයකු, අනුවර්තකයකු, සිනමා කතා රචකයකු, සාහිත්‍ය විචාරකයකු යන බහුවිධි භූමිකා රැසකට පණ පෙවූ ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන් ගැන ඇය මෙසේ අප හා දොඩමලු වුණා.

වයස අවුරුදු 17දී එතුමා සිය පළමු නවකතාව වන ‘සිරියලතා’ ලියුවා. ඒක අද කියෙව්වොත් අවුරුදු 17ක තරුණයෙක් එහෙම දෙයක් කළාදැයි හිතාගන්නවත් බැහැ.

සාහිත්‍යයත්, බණත් එකට මුසු කළ නවකතා ශෛලියක් රට තුළ පැළපැදියම් වී තිබූ යුගයක සරල බසකින්, පාඨක කුහුල වඩවමින් නවකතා ලිවීමේ කලාවක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ගෞරවය ඔහුට නිතැතින්ම හිමිවිය යුතුයි. මුල් කාලයේ ඉංග්‍රීසි නවකතා ආකෘතියට සිංහල නවකතා ලියූ ඔහු පසුව පැළෑණේ ශ්‍රී වජිරඥාන හිමි වැනි පඬිවරුන්ගේ ඇසුර නිසාම සිංහලත් සංස්කෘතත් මිශ්‍ර බසකින් ‘ලක්ෂ්මී’ නම් නවකතාව ලිවීමට සමත් වුණා. එවකට සිංහල නව ප්‍රබන්ධ සාහිත්‍යය කොතරම් පහත් තත්ත්වයක තිබුණේද යත් බොහෝ දෙනා ඒවා හැදෙන ළමයින් නරක් කරන වර්ගයේ පොත් යැයි සැලකුවා. මේ නිසාම සිංහල නවකතා කියවීමේ ලැජ්ජාවකින් පෙලුණු පාඨකයන්ට ඉංග්‍රීසි පත්තරවලින් පිටකවර දමාගෙන සිංහල පොත් කියවන්නට සිදුවුණා. එවැනි යුගයක් හමාර කර සිංහල නවකතාව පොත් රාක්කයට ගෙන ඒමට ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන් කළ සේවය අතිමහත්. ඒ බවට සාක්ෂි පසුකලක ඔහු විසින්ම මෙසේ ලියා තබා තිබුණා. වරක් ඔහුට රාජකාරි කටයුත්තකට කොළඹින් දුම්රියේ නැග මන්නාරමට යාමට සිදුවුණා. ඒ කෝච්චි පෙට්ටියට සිංහල මුදලාලි කෙනකුද පිවිසුණා. ඔවුන් එකිනෙකා සමග හොඳින් කතාබහ කර එකට කෑම බීම පවා ගත්තා. පසුව රාත්‍රියේ ඔහු නිදා ගැනීමට සැරසුණත් මුදලාලි පොතක් ගෙන කියවන්නට වූයෙන් මැදිරියේ විදුලි පහන් දැල්වුණා. එය නිවන තුරු කොතරම් බලා හිටියත් නිවන පාටක් පෙනුණේ නැහැ.

“මුදලාලි පහන් එළිය තියෙද්දි මට නින්ද යන්නේ නැතැයි” පැයකට පමණ පසු බැරිම තැන ඔහු කීවා.
“මහත්තයා මේක බොහොම අගේ ඇති පොතක්. නවත්වන්න හිත නෑ.”
“මොකක්ද ඔය?”
පොත දුටු හැටියෙම එය තමාගේ හිඟන කොල්ලා නවකතාව බව හඳුනාගත් ඩබ්ලියු.ඒ. සිල්වා, මුදලාලි තරහ ගන්වන අටියෙන්, “සිංහලෙන් නවකතා තියනවද මුදලාලි, ඕක අල්ලලා විසිකරලා දාන්නැයි” කීවා.

“මේක තමයි හිඟන කොල්ලා. සිංහල දන්න කෙනකුට කියා කියවගන්න. එතකොට දැනේවි සිංහලෙනුත් නවකතා ඇති බව.” එසේ කියූ මුදලාලිගේ බැනුම එතැනින් නොනැවතී නින්දට යනතුරුම බැණ වැදී පසුදා උදයේ කෝච්චියෙන් බහින විට සමුනොගෙනම යන්නට ගොස් තිබුණා. එදා මුදලාලිට තමාව හඳුන්වාදීමට නොහැකිවීම ගැන තමා කනගාටු වන බව පසුව සටහනක් තබා තිබුණා. ඩබ්ලියු.ඒ. සිල්වා අතින් ලියැවුණු විජයබා කොල්ලය, කැලෑ හඳ, හිඟන කොල්ලා, සිරියලතා, සුනේත්‍රා හෙවත් අවිචාර සමය වැනි අතිශය ජනප්‍රිය කෘති මෙන්ම පාසල් ගුරුවරිය, ජූලි 7 වැනි පාඨකයන් හඳුනා නොගත් කෘති රාශියකුත් මෙහිදී දැකබලා ගැනීමට මෙන්ම මිලදී ගැනීමටත්, නරඹන්නට අවස්ථාව ලැබෙනවා.

“අද වනවිට මේ ගෙදර තිබුණු පොත් ගොඩක් විනාශවෙලා. කිහිපයක් විතරයි ඉතිරි වෙලා සංරක්ෂණය කරගන්න හැකිවී තියෙන්නෙ. ඉස්සර රු. 1.50ට, රු. 3.00ට විකුණුනු පොත් අද රුපියල් 750ක් විතර වෙනවා. කාලයත් සමග මුදලේ වටිනාකම කොච්චර වෙනස් වෙලාද?”

අවුරුදු 150කට වඩා පැරණි කබොක් මැටිවලින් තැනූ මේ සිල්වර් මියර් නිවස තුළ පවතින කායික මානසික සුවය සිල්වා සූරීන්ගේ නවකතාකරණයට මහඟු පිටිවහලක් වන්නට ඇතැයි සිතමින් අප ඔහු පරිහරණය කළ කාමරයට පියමං කළෙමු. ජනේලයකට මුහුණලා තබා තිබෙන මේසයත්, පුටුවත් එයට පසකින් තිබෙන ඩිවාන් ගෘහ භාණ්ඩයත් හැරෙන්නට එහි ඔහුගේ මවගේ ඡායාරූපයක් තබා තිබුණා. අනර්ඝ කැටයමින් නිමවී තිබුණු කාමරයේ ජනෙල් කවුළුව දකිත්ම ඔහු විසින්ම ලියා තැබූ තවත් රස කතාවක් නිතැතින්ම මතකයට නැඟුණා. මලල්ගොඩ බන්දුතිලකයන්ට අනුව ඒ සිද්ධිය මෙසේය.

“මෙයින් තිස් වසරකට පමණ පෙර ඩබ්ලියු.ඒ. ඥාති සම්බන්ධකමක් ඇති එක්තරා ඉංග්‍රීසි පාසල් ගුරුවරියක හා සරණ ගිවිස සිටියේය. පුදුමයකට මෙන් ඩබ්ලියු.ඒ. ගේ නෙතත්, සිතත් දිනා සිටි නමුදු ඕ තොමෝ වූ කලී ඔහු කෙරෙහි නොයෙක් සැක පහළ කරමින් ඔහුගේ සෑම ඉරියව්වක්ම හොර රහසේ විමසමින් සකල කාන්තාවන්ම තමන්ගෙන් ඔහු පැහැර ගැනීමට දිවුට සිටින්නී යයි සිතමින් පසුවූ ශකාසෝභිනියකි. එක් දවසක සිල්වර් මියර් මන්දිරයේ විසූ වැඩිහිටියෝ නෑ ගමනක් සඳහා බැහැර ගියහ. ඉතිරි වුණේ මාටින් නමැති ආවතේව කාරයාත්, මහලු කුස්සිඅම්මාත්, ඇයගේ තරුණ දියණියත්, සිල්වා මහතාත් පමණකි. ඔහු කලින්ම රෑ කෑම කා පොත් කිහිපයක් රැගෙන මහමගට මුහුණ දී ඇති තම සයනාගාරයට ගොස් යහනෙහි ඇළවුණේය. සුළු වේලාවකින් වසා තිබුණු කපාටයට උඩින් පිහිටි මල් ලිය පුවරුවෙන් තම යහන දෙසට යොමුවූ දෙඇසකුත්, ඔළුවකුත් ඔහුට දක්නට ලැබුණි. පසුව සෙමින් දොර හැර ආලින්දය පසුකර අංගණයට ගිය ඔහුට අවතාරය හැඳින ගැනීමට හැකිවිය. ඒ බණ්ඩා නම් ඔහු සරණ පතන තරුණ පාසල් ගුරුවරියගේ සේවකයෙකි. කාමරයට එබිකම් කළේ ඇයිදැයි ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් ඇසූවිට බණ්ඩා මෙසේ පැවසීය.

“ඉස්කෝලෙ හාමිනේ බලන්න කිව්ව හින්දයි මං බැලුවෙ. අනේ බුදු මහත්තයො මාව මරන්න එපා.”
“මොනවද තොට ඉස්කෝලෙ හාමිනේ බලන්නෙයි කිව්වෙ?”
“මහත්තයගෙ කාමරේ ආයා හෙම ඉන්නවද කියලා බලන්න කිව්වා.”
“වර යන්න ඉස්කෝලෙ හාමිනේ බලන්නැ”යි කියමින් ඔහු බණ්ඩාට මෙසේ පැවසීය.
“මේ අහපන්, තෝ දැන් ඉස්කෝලෙ හාමිනේලෑ ගේ ළඟට ගියාම තෝව කවුරුවත් මරන් කන්න හැදුවා වගේ මරහඬ තලන්න ඕනෑ. ඉස්කෝලෙ හාමිනේ බලන්න කිව්ව හින්දයි මං බැලුවෙ කියා කියන්න ඕනෑ. නැතිනම් ගෑස් කණුවක ගහලා තෝ මරා කක්කුස්සි වළක දානවා.”

බණ්ඩාද අකුරටම වැඬේ කළේය. මෙපමණින් ඩබ්ලියු.ඒ. සිල්වා හා විවාහවීම පිළිබඳ ඉස්කෝලෙ හාමිනේගේ අපේක්ෂාව සදහටම සුන් වූවාය. එහෙත් ඔහුගේ පන්හිඳෙන් 1921දී ‘පාසල් ගුරුවරියක්’ නමැති කෘතිය පහළ වුණේය.

නාට්‍යමය ස්වරූපයක් ගත් මෙවැනි ජීවිත අත්දැකීම් රසවත් සිනමා ආඛ්‍යානයට සුදුසු කතා ඔහු තුළින් බිහිවීමට මහඟු රුකුළක් වන්නට ඇති.
1953දී ඩබ්.ඒ.ඩබ්ලිව්. ජයමාන්න චිත්‍රපට නිෂ්පාදකවරයා විසින් සිංහල චිත්‍රපටයට නැගූ පළමු නවකතාව ලෙස ඉතිහාස ගත වන ‘කැලෑ හඳ’ හිමිකරුවා වන්නටත් සිල්වා සූරීන්ට වාසනාව ලැබුණි. ඔහුගේ චිත්‍රපට ගැන ලංකාදීප පුවත්පතේ පළවූ ලිපි, රුක්මණී දේවිය සමග කැලෑ හඳ ගිවිසුම අත්සන් කිරීමේ ගත් ඡායාරූප ඇතුළු පැරණි මතකයන් රැසක්ම අවදි කරන කාමරයක්ද මෙහි ඇත. එහි මැද්දට වන්නට විරාජමානව සිටින පැරණි කැමරාව එවකට අතිශය දුෂ්කර ක්‍රියාවක් වූ සිනමාකරණය පිළිබඳ නිහඬ ආවර්ජනාවක් වැනිය. සිනමා කාමරයෙන් සිල්වර් මියර් ආලින්දයට පිවිසෙන්නකුට එහි වම්පසට වන්නට ප්‍රදර්ශනය කර තිබෙන යන්ත්‍ර සූත්‍ර හරහා කාල අවකාශය තරණයට කදිම අවස්ථාවක් උදාවන බව නම් නොකියාම බැරිය. “මේ තියෙන්නෙ පැරණි කාලේ මුද්‍රණාලයක තිබුණු යන්ත්‍ර සූත්‍ර. ඉස්සර හැම යන්ත්‍රයක්ම ක්‍රියාත්මක කළේ දෑත් දෙපාවල ආධාරයෙන්. ඒ දවස්වල මුද්‍රණවල හැම අකුරක්ම වෙනම සකස් කරන්න වුණා. අකුරු අමුණන්න වෙනම අය හිටියා. අකුරු කටු වෙනම තිබුණා. සිංහල හෝඩියේ අකුරු ගාණට ඒවා දාන්න වෙනම ලාච්චු තිබුණා. අකුරු එකතු කරලා ගල්ලෑල්ලක් වගේ අමුණලා පිටුවක් හදන්න ඕනේ. ඒක යොදාගෙන පස්සෙ පිටුව ගහනවා. පොතකට පින්තූරයක් දාන්න ඕනෑ වුණා නම් අනිවාර්යයෙන්ම ලෝහ අනුරුවක් කපන්න ඕනෑ. මේ වගේ ඒ කාලේ මුද්‍රණාලයක විශාල වැඩ කොටසක් කෙරුණා.”

රජයේ හෝ වෙනයම් ආයතනයක කිසිදු අනුග්‍රහයකින් තොරව දැනට පවත්වාගෙන යන මෙම ආයතනයෙහි පළපුරුදු වෛද්‍යවරයකුගෙන් යුතු ආයුර්වේද මධ්‍යස්ථානයක්, දේශීය කලාකරුවන්ගේ නිර්මාණ විකුණුම් හලක් සඳහාද දේශීය චිත්‍ර ශිල්පීන්ට මිනිස් අනුරූ අඳින්නට ඉඩ ප්‍රස්ථා ලබාදීමද පැසසිය යුතු කරුණකි. බොහෝ සංස්කෘතික ආයතන රජයටත්, ජනතාවටත් බරක් වූ සුදු අලීන් බවට පත්ව ඇති යුගයක ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා පරිපාලිකාව ඇතුළු ඩබ්ලියු.ඒ. සිල්වා පදනම දරන උත්සාහය අගය කළ යුතුය.

“දැනට ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන්ගේ පොත්වල කර්තෘ භාගයෙන් තමා පදනම දුවන්නේ. කුඩා පරිත්‍යාගත් ලැබෙනවා. මට කියා තිබෙන්නේ මෙතැනින් ආදායමක් ජනනය කරගෙන පරිපාලනය ගෙනයන්න කියලයි. ඒ නිසා ඉදිරියේදී වසවිසවලින් තොර ආහාර පාන විකුණුම් හලක් මෙන්ම නිවස පිටුපස භූමි භාගයේ නාගරික ගෙවතු සංකල්පයට අනුව සැකසුණු ගෙවතු වගාවක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.”

“භාෂා හා සාහිත්‍ය කෞතුකාගාරයක් තුළ ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන්ගේ පොත් පමණක් නොව ඔහුගේ සමකාලීනයන් වන පියදාස සිරිසේන, මාටින් වික්‍රමසිංහ හා කුමාරතුංග මුනිදාස වැනි සාහිත්‍යධරයන්ගේ පොත්පත් ආදියත් මෙයට එක්කර කෞතුකාගාර සංකීර්ණයක් බවට පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා. හෙළ හවුලේ අය රැස්වීම් පැවැත්වීමට මෙහි පැමිණෙනවා. භාෂාව හා සාහිත්‍ය සම්බන්ධ කටයුත්තට රැස්වීම් පැවැත්වීම පොත් පරිශීලන කටයුතු සිදුකිරීම ආදියට ඕනෑම අයකුට මෙහි නොමිලේම පහසුකම් සැලසීමත් පරිපාලකයන්ගේ පුළුල් චින්තනයත් සාහිත්‍ය වෙනුවෙන් ඇති සැබෑ කැපවීමත් ප්‍රකට කරවන්නක්.

“මේ නිවසේ නම සිල්වර් මියර් එනම් ‘රිදීමය වැව’ යන්නයි. ඒක මේ නිවසට ඔහු විසින්ම යොදපු නමක්. වැවකින් කොතරම් මෙහෙවරක් වෙනවද? ඔහුගේ සාහිත්‍ය කටයුතු හරහාත් ලංකාවට එතරම්ම මෙහෙවරක් සිදුවුණා. අද මගේ සහයට මධුරා විජේසිංහත් ස්වේච්ඡාවෙන් මෙතන වැඩ කරනවා. සූර්යා බැසගෙන යනකොට පොල්තෙල් පහන අඳුර නැසීම භාරගන්නවා වගේ අපේ කාර්යභාරය අපි ඉටු කරනවා. අප මේ සියලු කර්තව්‍යයන්ට මුල පිරූවකු වන සිරිසුමන හිමි සොයා ගියෙමු. කෞතුකාගාරයට නුදුරින් ජනාකීර්ණ වුවත් නිදහස් වටපිටාවක පිහිටි වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමයට අප සුහද සිතින් පිළිගත් යතිවරයාණෝ මෙහි අතීත කතා අප හමුවේ තැබූහ.

“ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන් අවිවාහක නිසා එතුමා දරු තනතුරේ තබා ගත්තේ තමන්ගේ මල්ලිගේ පුතා වන සෙනරත් නන්දදේවවයි. 2010 වසරේදී නන්දදේව මහත්තයා අන්ත්‍රා වුණු විට ඔහුගේ අන්තිම කැමති පත්‍රය අනුව මා වෙත ඩබ්ලියු.ඒ. සිල්වා මහතා ජීවත්ව සිටියදී භාවිත කළ මේ නිවසේ අයිතිය ලැබුණා. නවකතා චක්‍රවර්තී වැනි ගෞරව නාම ලබා සාහිත්‍යයට අතිමහත් සේවයක් කළ නිසා එතුමාගේ සේවයට කළගුණ සැලකීමක් ලෙස භාෂා හා සාහිත්‍ය කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට මට අදහසක් පහළ වුණා. මට මේ දේවල් තනිවම කළ නොහැකි නිසා ඩබ්ලියු.ඒ. සිල්වා පදනම ආරම්භ කළා. අවසන් කාලයේ නන්දදේව මහත්තයාගේ බිරිඳට සැලකූ සාත්තු සේවිකාවන් නිවසේ තිබූ වටිනා බඩු භාණ්ඩ වගේම බැංකු ගිණුම්වල තිබූ මුදල් පවා සොරකම් කර තිබුණ නිසා මේ පැරණි නිවස අලුත්වැඩියා කිරීමට පදනමට මුදල් සොයා ගැනීමට සිදුවුණා. රජයෙන් ආධාර ඉල්ලීමට මා දන්නා ආයතන කිහිපයකට කතා කළත්, කෞතුකාගාරයේ අයිතිය ඔවුනට පවරන්න යැයි කියූ නිසාත් ඉන්පසුව කටයුතු කොහොම වෙයිදැයි නොදත් නිසා එසේ නොකිරීමට තීරණය කළා. දායකයන්ගේ පදනමේ අයගේ කැපවීම වගේම ගොඩගේ ආයතනයත් සමග සිල්වා සූරීන්ගේ පොත් මුද්‍රණයෙන් 12%ක පුරස්කාරය (Royalty)

පදනමට ලැබෙන ආකාරයට කටයුතු සැලසූ නිසා නිවස ප්‍රතිනිර්මාණය කරන්න අපට හැකියාව ලැබුණා.
අද වන විට පදනම මගින් ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන්ගේ තෝරා ගත් කෙටි කතා ගණනාවක් දමිළ බසට පරිවර්තනය කර තිබෙනවා. දැනට තවත් කෙටි කතා කිහිපයක් හින්දි බසට පරිවර්තනය කර තිබෙන අතර ඉදිරියේදී ඒවායේ මුද්‍රණ කටයුතු සිදුකරන බවත් වන සිරිසුමුන හිමි අප සමග පැවසුවා. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඩබ්ලියු.ඒ. සූරීන්ගේ කෘතිවල ඇතැම් පරිච්ඡේදයන් (උදා:- විජයබා කොල්ලය) පාසල් විෂය නිර්දේශයේ පෙළපොත්වලට ඇතුළත් කිරීම සඳහා අවසර ඉල්ලීම් කර ඇති අතර එම අවසර ලබාදීම තුළින් සිල්වා සූරීන්ගේ කිතුගොස නංවාලීම පදනමෙන් සිදුවන තවත් සේවාවක් බව සිරිසුමන හිමියන් පැවසුවා.

ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන් මෙන් සාහිත්‍ය සේවයට ඉදිරි පරම්පරාවද යොමු කිරීමේ අරමුණින් පදනම විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ දක්ෂතා දක්වන්නන්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අරමුදලක් වෙන් කොට තිබෙනවා. මේ හරහා සෑම වසරකම ත්‍යාග ප්‍රදානෝත්සවයේදී රන් පදක්කමක් හා තෑගි භෝග දක්ෂතම සිසුන්ට ලබාදීම සිදුකරනවා. මේ වනවිට සුනිල් ආරියරත්නයන් විජයබා කොල්ලය චිත්‍රපටියකට නැගීමට කටයුතු සම්පාදනය කරමින් සිටින අතර ‘කැලෑ හඳ’ ටෙලි නාට්‍යයකට නැගීමේ කටයුතුත් සිදුවනවා. එවැනි කලා කටයුතු වෙනුවෙන් පදනම කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොකිරීමත් එහි ඇති සුවිශේෂී තත්ත්වයක්.

පදනමට ඇති ආර්ථික දුෂ්කරතා නිසාම ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකරන තුරු සිල්වා සූරීන්ගේ නිවසේ තිබූ වටිනා බඩුබාහිරාදිය රාශියක් කෞතුකාගාරයට එකතු කිරීමට නොහැකිව සිරිසුමන හිමි සිය පන්සල තුළ ඒවා සුරැකිව තබා තිබෙනවා. සිල්වා සූරීන් අතින් ලියවුණු වැඩිපුර අලෙවි නොවන පොතපත මුද්‍රණය දැන් නැවතී තිබෙනවා. ඒවා නැවත මුද්‍රණය කිරීමට මුදල් නැතිකමත් ප්‍රශ්නයක්. ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන්ගේ ලිපිලේඛන, පොත්පත්, සඟරා ආදිය මහජනයා සතුව තිබේ නම් ඒවා අප පදනමට ලැබීමට සැලැස්වීම වගේම කෞතුකාගාරයට පැමිණ ඒ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවා පිළිබඳ දැනුවත් වන ලෙසත් අප ආරාධනා කර සිටිනවා.”

0712-748174 දුරකතන අංකයෙන් වතවන සිරිසුමන හිමි සම්බන්ධ කරගැනීමට සාහිත්‍ය ලෝලී ඔබට හැකියි. 1907 වසරේ සිට 1957 වන විට පනස් වසරකට අධික කාලයක් සිංහල සාහිත්‍යයට සේවය කරමින් සිටි ඩබ්ලියු.ඒ සිල්වා සූරීන්ගේ අවසාන සාහිත්‍ය කාර්යය වූයේ වාල්මිකීගේ රාමායණය ඇසුරෙන් එහි සන්දර්භය නොබිඳ සිංහලෙන් මහා ගද්‍ය කාව්‍යයක් ලිවීමයි. මෙම කෘතිය රචනා කරන අතරතුර මාස 8ක කාලයක් බලවත් ලෙස රෝගාතුර වූ ඔහුගේ එකම ප්‍රාර්ථනය වූයේ කෘතියේ කටයුතු නිමවන තුරු දිවි ගෙවීමට ලැබේවා යන්නයි. ඔහු පැතූ ලෙසම සුවය ලබා ගද්‍ය කටයුත්ත අවසන් කර දින 10කින් අවසන් ගමන් යාමට ඔහුට සිදුවිය.