දෝරා කටාර්හි අනාථ වීම.

ඒ. වික්‍රමසූරිය

දෝහා හී පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂානි තුන්පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනීමට සමත් වූවාය. කාන්තා තුන්පිම්ම වැනි ඉසව්වකින් ශ්‍රී ලංකාවට මෙලෙස පදක්කමක් ගත් ප්‍රථම අවස්ථාව මෙයය. ජයග්‍රාහණයෙන් පසු විදූෂා ලක්ෂානි “මේ පදක්කම සමස්ත ලාංකිකයන් සඳහාය. විශේෂයෙන්ම විපතට පත් මගේ ගම්මානයේ මීගමුවේ ජනතාව වෙනුවෙන්” යැයි පැවසුවාය. විදූෂාගේ අහිංසක පැතුමට අපි ගරුකරන මුත් ඇත්ත නම් මීගමුව ජනතාවගේ කදුළු දුක් ගොඩට මේ පදක්කමකින් අස්වැසිල්ලක්වත් නොවන බවය. එහෙත් වඩා දුක නම් විදූෂාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම සතුටු වන්නට සිටි ජනයා හැඩූ කඳුළින් සිටීමය. ඊට මේ ලෝකඩ කවර සරණක්ද? එහෙත් එසේ කියා නුඹගේ ජය කෙසේ සුළු කරම්ද? ජයග්‍රහණයක් වුව ලැබිය යුතු මොහොතක් ඇත. ඒ මොහොත තුළ නොවන ජය කෙසේ සමරමුද? විදූෂා අප කුමක් කරමුද?

මෙරට බෝම්බ පුපුරද්දී විසිතුන් වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය දෝහා – කටාර්හි දී පැවැත්වේ. එයට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකාව රන් පදක්කම් කිහිපයක් පිළිබඳ පොරොන්දු දී සිටියද අවසානයේ හිමිවූයේ බලාපොරොත්තු නොවූ ඉසව්වක ලෝකඩ පදක්කමක්ය. මෙයින් පෙනී යන්නේ ලංකාවේ මලල ක්‍රීඩාවට ගොඩ ඒමක් නැති බවය. මෙරට මලල ක්‍රීඩාව විනාශ බවත් එය විනාශ කළේ එහි පරිපාලනය බවත් අපි පුන පුනා මතක් කළෙමු. පාලිත – පින්නවල යුවළ මේ ක්‍රීඩාවේ බහිරවයන් ලෙස එහි අරක්ගෙන සිටියද එහි කිසිදු දියුණුවක් නොවන බව අපි කිව්වෙමු. ක්‍රීඩාවක් දියුණු වන්නට නම් ඊට පරිපාලනය හරහා ඉටුවිය යුතු කප්පරක් වැඩ ඇත. ඒ කිසිත් නොවී මේ විශ්‍රාමිකයන් මලල ක්‍රීඩා සංගමයට වී විශ්‍රාම සුව වින්දාට ක්‍රීඩාවේ දියුණුවක් නොවන බව කොතෙක් කීවද බීරි අලින් වී ඇති මේ අයට නෑසෙන්නේය. ක්‍රීඩා අමාත්‍යාංශයද නමට ඇති නිසා ඒ පිළිබඳ සොයා බැලීමක් නැතිය. ඇමතිට ක්‍රීඩාව අදාළම නැති ගානය. ශ්‍රී ලංකාව මෙම සංචාරයට පෙර රන් පදක්කම් කිහිපයක් බලාපොරොත්තු වූ අතර ඉන් ප්‍රධාන ඉසව්වක් වූයේ කාන්තා මීටර 800 යය. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගියවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙම ඉසව්වෙහි රන්, රිදී දිනූ ක්‍රීඩිකාවන් දෙපළම සහභාගි වූවාය. ඒ නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්නය. ඒ ජයග්‍රාහි අතීතය දෙස බලන කල එදා නිමාලි රන් දිනූයේ විනාඩි 2.05.23 ක කාලයක් වාර්තා කරමිනි. රිදී පදක්කම දිනූ ගයන්තිකා වාර්තා කළ කාලය වි.2.05.27 ක් විය. අද මෙම ඉසව්වෙන් රන් පදක්කම දිනන ඉන්දීය ක්‍රීඩිකාව වන නොමන්ති මාරිමුතු ඒ සඳහා ගත කළ කාලය වි.2.02.07 කි. රිදී පදක්කම දිනූ චීනයේ වොන් චුන් යු වි. 2.02.96 ක්ද ලෝකඩ පදක්කම දිනූ කසකස්තානයේ මාගරිටා මුකෂෙව් වි.2.03.83 ක කාලයක් ගෙන තිබුණි. ගියවර රන්, රිදී දිනූ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවන් දෙපළ මෙහිදී වාර්තා කළ කාලයද සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව මෙම ඉසව්වේ ගියවර රන් පදක්කම් දිනූ නිමාලි හත්වන තැනට පත්වූයේ වි.2.08.69 ක කාලයක් වාර්තා කරමිනි. ගියවර රිදී පදක්කම් ලාභිනිය වූ ගයන්තිකා මෙවර සිව්වන තැනට පත්වනුයේ වි.2.05.74 කාලයකට අයිතිකාරිය වෙමිනි.

මේ දෙපළ සුදුසුකම් ලබා ගැනීමේ මූලික තරගවලදී වාර්තා කළ කාලය අවසන් තරගයේ කාලයන්ට වඩා යහපත් බවද කිව යුතුය. (නිමාලි වි.2.05.10, ගයන්තිකා වි.2.05.20) මේ කාලයන් මෙතරම් වාර්තා කරන්නට හේතු වූයේ අප එකතැන පල්වන විට අනෙක් රටවල් ඉදිරියට යන අයුරු පෙන්වීමටය. අප මෙවර මෙම ඉසව්වෙන් රන්, රිදී බලාපොරොත්තු වන්නේ ගියවර විශ්වාසයේම ගිලෙමිනි. එහෙත් මනාව වටහාගත යුත්තේ ගියවර නිමාලි සහ ගයන්තිකා රන්, රිදී දිනූ කාලයටත් වඩා හොඳ කාලයක් මේ දෙපළ මූලික සුදුසුකම් ලැබීමේ තරගවලදී ලබා ඇති බවය. එහෙත් ඒ කාලය අද ජයග්‍රහණයක් ගැන හිතන්නටවත් ප්‍රමාණවත් නැතිය. අනෙක් රටවල් ඉන්දියාව, චීනය මෙන්ම කසකස්තානයද ශීඝ්‍ර දියුණුවක් ලබාගෙන ඇත. මේ තරගයේදි රන්, රිදී තරගකාරිණියන් අවසන් කරනුයේ වි.2 තත්.2 සීමාවේය. තෙවන තැන වි. 2 තත්. 3ට පත්වී ඇත. එහෙත් ශ්‍රී ලංකා තරගකාරිණියන් දෙදෙනා තවම සිටිනුයේ වි.2 තත්.5 සීමාව තුළය. සුදුසුකම් ලැබීමේ තරගවලදි උපරිමය මේ දෙපළ පෙන්වා ඇත. ඒ අනුව බලන කලත් අපට පදක්කම්, සිහිනයක් බව දැන් පැහැදිලිය. එසේනම් ගියවර කාලය මෙවර තරග දිනන්නට හිතන්නවත් බැරිය. එහෙත් අප උද්දාමයට පත් වූයේ ඒ කාලයේ සිටය. ගියවර අප රන්, රිදී ලබන විට අනෙක් රටවල තරගකාරිණියන් කොතරම් දුර්වල මට්ටමක සිට ඇත්ද? එහෙත් නිසි පුහුණුව ලබා මෙවර ඔවුන් කොතරම් ඉදිරියට පැමිණ ඇත්ද? මේවා නිසි අධ්‍යයනයට ලක් කළ යුතු නැද්ද? පිරිමි මීටර් 100 වැනි ඉසව්වක් ජය ගැනීම අපට ලේසි නැත. එහෙත් හිමාෂ එෂාන් මීටර 100 දිනතැයි මෙරට ක්‍රීඩා පරිපාලකයෝ ලොකු විශ්වාසයක් තැබූහ. එහෙත් ඔහුට අවසන් වටයට හෝ සුදුසුකම් ලැබීමට නොහැකි විය. මෙවර තරගකරුවන් බහුතරයක් මෙරටදි සුදුසුකම් ලැබීමේ තරගවලදි කැපී පෙනෙන දස්කම් දක්වනමුත් ජාත්‍යන්තර තරග තුළ දුර්වල වේ. මෙය නිසි අධ්‍යයනයට ලක් කළ යුතුව ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව මෙරටදි මොවුන් සුදුසුකම් ලබාගැනීම සඳහා තහනම් උත්තේජක ලබාගන්නවාද යන්න නිසි ලෙස වටහා ගනු පිණිසය. පසුගිය කාලය පුරාම මේ තත්ත්වය දක්නට ලැබිණ. මෙරටදි ඉහළ කාලයක් වාර්තා කරන අය විදේශහිදි අන්ත දුර්වලය. මෙරට පුහුණු තරගවලදි මුත්‍රා පරීක්ෂණ නොකළද ජාත්‍යන්තර තරගවලදි ඒ දේ අකුරටම සිදුවේ. ඒ නිසා එවිට මේ අය සුපුරුදු පරිදි තරග වදිනවා විය හැකිය. මෙය සැකයක් මුත් සොයා බැලිය යුතු කරුණක් බව අපි අවධාරණය කරමු. නිමාෂ එෂාන් මෙම තරගාවලියේදි මීටර් 100 අවසන් පූර්ව තරගයට සහභාගි වන අතර එහිදි ඔහුට හිමි වූයේ 05 වැනි තැනය. ඒ සඳහා ඔහු වාර්තා කළ කාලය තත්.10.51 කි. මෙම තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා කොළඹ පැවති තරගයේදී සිය හොඳම කාලය වාර්තා කළ ඔහු ලංකාවේ ප්‍රථමයා වූයේ තත්. 10.22

ක කාලයක් වාර්තා කරමිනි. ඔහු මෙරට දැක්වූ හොඳම කාලයත් රන්, රිදී තබා ලෝකඩවත් මෙවර දිනීමට සුදුසුකමක් නොවේ. එසේනම් මලල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර තරගයට කණ්ඩායමක් යැවීමෙන් පමණක් සෑහීමට පත්වීමට නම් මේ කිසිවක් ගැන නොසැලකිලිමත් විය හැකිය. එහෙත් ඉන් එහාට යන්නේ නම් අප දැන්වත් මේ තත්ත්වයෙන් මිදිය යුතුය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂයන්ය. ඔවුහු මේ තැනට හෝ පැමිණ ඇත්තේ මෙරට ක්‍රීඩා යාන්ත්‍රණයේ හෝ මලල ක්‍රීඩා සංගමයේ පිහිටෙන් නොව තම පුහුණුකරුවන් සහ පෞද්ගලික කැපවීමේ ප්‍රතිඵල මතය. ඒවා දියුණු කිරීම සංගමය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව කළ යුතුය. මීටර 800 කාන්තා ඉසව්වෙන් අප ගියවර රන්, රිදී ලැබුවේ නම් මෙවරද එයට ඉදිරිපත් වන්නේ ඒ ක්‍රීඩිකාවන් දෙපළම නම් ඊට වෙනදාටත් වඩා සූදානමක් පුහුණුවක් අවශ්‍යය. එදා මේ දෙපළ කළේ ඒ අයගේ උපරිමයය. එහෙත් ඒ තත්ත්වය ඉදිරියට ගැනීමට මෙරට පුහුණුව මදිය. එහෙත් ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොමැතිය. අනෙක් රටවල් පරාජයත් සමග අඩුපාඩු සකසාගෙන ඉදිරියට ගොස් ඇත. අප ජයග්‍රහණයේ පුහු මානයෙන් එතනම රැඳී සිටිමු. රට වටා ඇති අනු සංගම්වලට අල්ලසයක් දී ඡන්ද ලබාගෙන තනතුරු දිනිය හැකිය. එහෙත් වැඩ කිරීම වෙනම කලාවකි. මෙරට ක්‍රීඩා සංගම් බහුතරයකටම නැත්තේ එයය. මලල ක්‍රීඩාව නොව සෑම ක්‍රීඩාවකම ඇත්තේ මේ අභාග්‍යයය. මලල ක්‍රීඩාවට පසු පදක්කම් දිනූ අනෙක් ක්‍රීඩාව පිහිනුම්ය. අබේසිංහ පරම්පරාව නැති වූ කල එහි ආනිශංසයද ඉදිරියේදී අපට දැක බලාගත හැකිය. විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණ තරග කරන අබේසිංහලා පදක්කම් දිනති. එයින්ම විදෙස් පුහුණුව අත්‍යවශ්‍ය බව ඒත්තු ගැන්වී ඇත. මෙරට පිහිනුම් පුහුණුකරුවෝ බුරුත්තක් සිටිති. එහෙත් ජාත්‍යන්තරය දිනිය හැකි එක් ක්‍රීඩකයෙක් බිහි කළ හැකිද? ජූලියන් බෝලිං නම් දැරූ පුහුණුකරුවෙකි. එහෙත් එක් ක්‍රීඩකයෙක් බිහිකර ඇත්ද? ඒ සියලු නොහැකියාවන් තුළද ඔවුහු මෙරට පතාක චරිත වී සිටිති. අපගේ ක්‍රීඩාව මෙරටටම සීමා වන්නේ නම් මැනවිය. එය ජාත්‍යන්තරය සමග සසඳා බලන්නට ගිය කල අන්ත අසරණය. කාලයක පටන්ම ජාත්‍යන්තර තරගවලට අපගේ ඇත්තේ හුදු සහභාගීත්වයක් පමණය. සහභාගි වන්නට පෙර නම් අප සැම දිනලාය. එහෙත් පරාජය වී ලංකාවට ආවාදැයි දන්නෙත් ටික කාලයකට පසුවය. කිසිදු තරගාවලියක පසු විපරමක් නැත. ඒවා නිසැකවම ලබා දිය යුතු වුවත් එය ලබා දෙන්නේ කාටද? ක්‍රීඩා අමාත්‍යාංශය ඒවා ලබාගෙන ප්‍රශ්න කළ යුතු වුවත් ඒවා සිදු නොවන්නේ නම් කාට කියන්නද? මේවා එක එක ඇමතිට කීවද පලක් නැත. ඇමතිවරු එන්නේම ඉන්නම් වාලේ ඉඳ යන්නටය. ඇත්තටම ක්‍රීඩා ඇමතිකමක් අමාත්‍යාංශයක් වුවමනාද යන්න ඉදිරියේදී බරපතළ ලෙස සිතිය යුතුය. එය සුදු අලියෙක් ලෙස නඩත්තු කිරීම අපරාධයකි. ඒ අපරාධය කලක පටන් අපි දිගටම කරගෙන යන්නෙමු.