බුර්කාව තහනම් කළ යුතුද

විපුල කරුණාතිලක

මුස්ලිම් කාන්තාවන් ඇඳුමක් වන බුර්කාව හෙවත් ශරීරය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමේ ඇඳුමේ අයිතිය ඉවත් කිරීමට නීතියක් පැනවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පෞද්ගලික පාර්ලිමේන්තු යෝජනාවක් නෙ එන බවට ප්‍රකාශ කර තිබුණි. පුවත්පත ප්‍රකාශයට පත්වන අවස්ථාවේ මේ සම්බන්ධ සංවාදය කෙසේ වනවාද යන්න පුරෝකථනය කළ නොහැකිය. මෙම යෝජනවා ගෙන ඒම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අංශු මාරසිංහ සඳහන් කළේ ප්‍රංශයෙහිද මෙම නීතිය ක්‍රියාත්මක වන බවයි. ප්‍රංශය මෙම නීතිය පනවමින් සඳහන් කළේ මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිය ආරක්ෂා කිරීම උදේසා ශිෂ්ට සමාජය වෙනුවෙන් ගත් තීරණයක් ලෙසයි. ප්‍රංශය ගත් තීරණයෙන් සිදු වූයේ එතෙක් ප්‍රංශ මුස්ලිම් කාන්තාව ලැබූ නිදහස සීමා වීමයි. ප්‍රංශ මුස්ලිම් කාන්තාව යම් ආර්ථික නිදහසක් ලැබුයේ ඔවුන්ට රැකියාවක් කිරීමේ අවස්ථාවක් ලැබූ නිසාය. ප්‍රංශය විසින් ගෙන එන ලද නීතිය නිසා 2009 වසර සිට අද දක්වා විශාල මුස්ලිම් කාන්තාවන් පිරිසක් රැකියාවලින් ඉවත් වී ඇත. තවදුරටත් ඔවුන්ට බාහිර සමාජය සමග පැවති සම්බන්ධතාවය ඉවත් වී ඇත. වෙනත් සංස්කෘතියක් අනුගමනය කරන පිරිසක් බලවත් සංස්කෘතික පරිකල්පනයට යටත් කිරීමෙන් සිදුවන්නේ සංස්කෘතික යටත් කිරීමකට ලක් වන පිරිස තවත් පීඩාවට ලක් වීමයි.

ප්‍රංශයට වඩා ප්‍රාජාතන්ත්‍රවාදය හා මානව නිදහස ආරක්ෂා කරන එංගලන්තය වැනි රටක් බුර්කාව තහනම් කර නැත. බුර්කාව ඇදගෙන කළ හැකි විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක්ද ඇත. සමහර මුස්ලිම් ප්‍රජාව තුළ ශරියා නීතිය ඒ අය කැමති නම් අනුගමනය කිරීමේ අයිතියද ලබා දී ඇත. ලෝකයේ ඉහළම බුද්ධි සේවාවක් ඇති එංගලන්තය වැනි රටක මුස්ලිම්වරුට සංස්කෘතික පීඩනයක් එල්ල වන්නේ නැත. තවද එංගලන්තයේ පලස්තීන ජනතාව කෙරෙහි බි්‍රතාන්‍යන් තුළ විශාල අනුකම්පාවක්ද ගොඩනැගී ඇත.

ලංකාව තුළද බුර්කාව තහනම් කිරීම තුළ සිදුවීමට නියමිතව ඇත්තේ මුස්ලිම් කාන්තාව සමාජයට යම් විවෘත වීමක් හා බාහිර සමාජය සමග යම් ගනුදෙනුවක් සිදු වූයේ නම් එයද සීමාවීමය. තවද මුස්ලිම් අන්තවාදයට තවත් උඩගෙඩි දීමය. මුස්ලිම් පිරිමියා තම ස්ත්‍රිය ගැන සිතිය යුතු ආකාරය බලෙන් වෙනස් කිරීම තුළ සිදු වන්නේ අන්තවාදයට සම්බන්ධ නැති පිරිස තුළද යම් වෛරයක් ඇති වීමය.

සමස්තයක් ලෙස ගත් විට පසුගිය දශක 03 තුළ දක්නට ලැබුණේ විශාල ආගමික උන්මන්තකභාවයට සමස්ත රටම ගමන් කීරීමය බෞද්ධයන් වේවා, ඉස්ලාම් වේවා මෙම උන්මත්තකභාවය දක්නට ලැබුණි. ප්‍රථම වතාවට බෞද්ධ භික්ෂූන් පාර්ලිමේන්තු ගියේද මෙම උන්මත්තකභාවය නිසාය. දැනට දශක 03කට පෙර ප්‍රසිද්ධ විභාග වෙනුවෙන් බෝධි පූජා පැවත් වූයේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බෝධි පූජා මගින් ජීවම් කරන ලද පෑන් පැන්සල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බෙදා දුන්නේ නැත. මුස්ලිම් සමාජය තුළද විශාල රැවුල් වවාගත් අරාබි ඇඳුම් ඇදගත් තරුණයන් දක්නට ලැබුණේ නැත. මුල්ලා ඕමාර් ගේ පින්තූර අලවාගත් වාහන දක්නට නොලැබුණි. මහනුවර ප්‍රදේශයේ ජීවත්වන මේ ලියුම්කරුට එකල සිංහල මුස්ලිම් ජනතාව අතර තිබූ අවබෝධය හොඳට මතකය. මෙම මුස්ලිම් සිංහල ජනතාව බෙදනු ලැබුවේ සිංහල හා මුස්ලිම් දේශපාලනඥයන් විසිනි. මුස්ලිම් බිල්ලකු මවා සිංහල උරුමය රැකීම වෙනුවෙන් දේශපාලන පක්ෂ ඇති කිරීමත් සිංහල ජනතාවගේ පීඩනය පෙන්වා මුස්ලිම් දේශපාලන පක්ෂ ඇති කර ගැනීම් මේ ප්‍රශ්නයේ මූලයයි. සමානුපාතික නියෝජන ක්‍රමය මෙය තවත් තීව්ර කිරීමට හේතු වයි. සිංහල බෞද්ධ දේශපාලනඥයන් හා මුස්ලිම් දේශපාලනඥයන් තම ඡන්ද පදනම වැඩි කර ගැනීමට ආගමික උන්මත්කභාවය යොදා ගනිති. ප්‍රධාන දේශපාලන පක්ෂද අඩුවැඩි ලෙස මෙම උන්මත්කභාවය දැනටම පාවිච්චි කරමින් ඇත.

සාකච්ඡා කළ යුත්තේ ආගමික උන්මත්තකභාවයට පත් වී අති සමාජයක් සුවපත් කිරීම වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද යන්නය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් සමාජය සුවපත් වෙයිද? සිදුවීමට නියමිතව ඇත්තේ අර්බුදය තවත් උතසන්න වීම පමණි. අන්තවාදී යම් මුස්ලිම් සංවිධානයක් පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ සාතිශය බහුතරයක් වන සාමකාමි මුස්ලිම් ජනතාවගේ සහය ලබා ගැනීමෙන් පමණි. එසේ නොමැතිව ඔවුන්ගේ යම් සංස්කෘතික පිළිවෙතක් ඉවත් කිරීම තුළින් නොවේ. එංගලන්තය වැනි රටවල ආරක්ෂාව තහවුරු කර ඇත්තේ දියුණු බුද්ධි සේවා හරහාය. බුර්කා අදින යම් කාන්තාවක් සැක කටයුතු නම් කාන්තා ආරක්ෂක නිලධාරිනියකට ඇය පරීක්ෂා කිරීමේ හැකියාව ඇත.

අගරදගුරුතුමා ප්‍රකාශ කළ ආකාරයට මේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වයට රටේ සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැත. ඔවුන්ව සංස්කෘතික පීඩනයට ලක්වන තීරණ ගත යුතු නැත. 1983 ඇති වූ ද්‍රවිඩ කැරලිකාර දේශපාලනය යුදමය වශයෙන් පරාජය කිරීමට ලංකාව ගෙවන ලද මිල අපමණ බව සියල්ලන් අමතක නොකළ යුතුය.