පාස්කු දා ඉතිරි කළ දේව පාමුල අඳෝනාව

සටහන , ඡායා- රසික ගුණවර්ධන

ලිපිය ලියන මොහොත වන විට මිනිසුන් තුන්සිය විසි එකක් සිය ජීවිත වලින් සමුගෙන අවසන්ය. රටම මළගෙයක් බවට පරිවර්තනය වී ඇත. ජීවත් වන මිනිසුන් හඬති, වැළපෙති, සුසුම් ලති.

කොච්චිකඬේ පල්ලිය

කිතුනු ජනතාව ඉලක්ක කරගනිමින් මේ අධම, නීච සහ බියගුලු ප්‍රහාරය එල්ල වන්නේ ඔවුන්ගේ විශේෂ දේව මෙහෙය පැවැත්වූ පසුගිය පාස්කු ඉරිදා දිනයේය. එදින වෙනත් ඉරිදා දිනවල මෙන් නොව අවුරුදු නිවාඩු සමය නිසා කොළඹ නගරයේ එතරම් විශාල ජනතාවක් රැඳී නොසිටියහ. එහෙත් සිය පාස්කුව සැමරීම සඳහා පල්ලි වලට රැස්ව සිටි කිතුනු ජනයා බොහෝ වූහ.

බෝම්බ ප්‍රහාරය එල්ල වූ ක්ෂණයේ මිනිසුන් බොහෝ දෙනකු සිටියේ තුෂ්නිම්භූතවය. ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න වටහා ගැනීමට නොහැකි විය. එහෙත් ඉතාම ඉක්මනින් ඔවුහු තුවාල ලබූ පිරිස් රෝහල් වලට යැවීමට කටයුතු කළෝය. ඒ මොහොතේ මිනිස්සු ජාති භේද, ආගම් භේද නොබලමින් එකිනෙකාට උපකර කළෝය. ඔවුන්ට පූර්ව නිගමන නොවීය. මිනිස් ජීවිත වල වටිනාකම ඔවුහු ක්ෂණයකින් අවබෝධ කරගනිමින් සිටියහ.

කාන්ති, කොච්චිකඬේ පල්ලිය ඉදිරිපිට ජීවත්වන්නියකි. “එකපාරටම ඩෝං ගාල සද්දයක් ආවා. මේ ගෙවල් දොරවල් ඔක්කොම හෙල්ලිල ගියා. එතකොටම අපි පල්ලිය පැත්තට දිව්වා. මට දොර ළඟට විතරයි යන්ඩ පුලුවන් උනේ, හැම තැනම අත් කෑලි, කකුල් කෑලි” ඇය කියාගෙන යයි, සුසුම් ලයි. ඇය සිටින්නේ තවමත් තැතිගෙනය. සියොලග දහඩියෙන් තෙත්වීය.

“මෙහෙ කිසිම කලබලයක් තිබ්බේ නෑ. එකපාරටම තමා මේ සිද්ධිය වුනේ. අපට හිතා ගන්නවත් බෑ. ඇතුළට ගියාට අපට කරගන්ඩ දෙයක් තිබ්බේ නෑ. පුලුවන් පුලුවන් අය ඉස්පිරිතාලෙට යැව්වා.” කාන්තිගේ ස්වාමිපුරුෂයාත් කතාවට එකතු විය.

බෝම්බ ප්‍රහාරය සිදු වී විනාඩි කිහිපයක් ගිය තැන ආරක්ෂක අංශ විසින් පල්ලියට ආසන්න ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට උත්සාහ කළද බොහෝ දෙනා ඒ වටා රොක් වූහ. දේශපාලකයෝද වැල නොකැඩී එහි එන්නට වූහ. ඒ අතර සිදු වූ එක් සිදුවීමක් අපට නිරීක්ෂණය කළ හැකි විය. වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණියේය. ඔහු එහි පැමිණ පල්ලිය තුළට ගොස් නිරීක්ෂණය කර පිටතට පැමිණ පිටව යාමට ආරක්ෂක වලල්ලෙන් පිටතට, මිනිසුන් සිටින ප්‍රදේශයට පැමිණියේය. ඔහු එහි පැමිණෙන විට සිද්ධිය නිසා සිය ඥාතීන් අහිමි වූ කාන්තාවක පාරේ බිම හිඳගෙන වැලපෙමින් සිටි අතර ඇය හිඳගෙනම ක්ලාන්තය වී තිබිණි. ඒ වන විට වාසුදේව ද එතැනම සිටගෙන මිනිසුන් සමඟ කතාබහ කරමින් සිටි අතර ඔහු කාන්තාව ක්ලාන්ත වී සිටිනු දුටු විටම සිදු කලේ වහා ඇයට උපකාර කිරීමට කටයුතු කිරීම නොව වහ වහා එම ස්ථානයෙන් පිටව යාමට කටයුතු කිරීමයි. අපට සිටින්නේ එහෙව් ජනතා සේවකයන්ය.

අපට එම ස්ථානයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ කලා අංශයේ සිව්වන වසර සිසුවකු හමුවිය. ඔහු ඒ මොහොතේ ඒ ආසන්නයෙන් බස් රථයෙන් ගමන් කරමින් සිට ඇත. ඔහුගේ කඳුළු පිරුණු රතු වූ ඇස් ඔහු මුහුණ දුන් භයානය සිද්ධිය ප්‍රකාශ කරයි. “බස් එක හෝල්ට් එකේ නවත්තනකොටම ඩෝං ගාලා සද්දේ ආවා. මම බස් එකෙන් බැහැලා දුවගෙන යනකොට මිනිස්සු ලේ පෙරාගෙන එළියට එනවා. අපි පුලුවන් අය වාහන වල දාල යැව්වා. චූටි ළමයි බංකු උඩ වැටිලා හිටියා.” ඔහු කතා කරනවාට වඩා නිහඬව සිටීමට කැමැත්තක් ඇතිවා සේය. “මොන කරුමයක්ද මේ රටට වෙන්නේ.” දීර්ග නිහැඬියාවකින් පසු ඔහු පිටකළ වචන විය.

සිද්ධිය සිදුවූ ස්ථානයේ සිටි, එයට මුහුණ දුන්, එහි පදිංචි කිසිවකු ඒ මොහොතේ මේ සිදුවීම් පිළිබඳව පූර්ව නිගමන ලබා දීමට ඉක්මන් වූයේ නැත. එහි සිටිය වුන්ගෙන් මෙය සිදුකළේ කවුරුන්දැයි පැවසුවේ සුබ්‍රමනියම් පමණි. ඔහු කොච්චිකඬේ වෙළඳ සැලක සේවය කරන්නෙකි. “මේක කරපු එකා මනුස්සයෙක්නන් වෙන්ඩ බෑ.” සුබ්‍රමනියම්ට අනුව බෝම්බ කරු එසේය. එහෙත් එහි සිටි දේශීය මාධ්‍යවේදීන් කිහිපදෙනකු සිද්ධිය මුස්ලිම්වරුන්ට අල්ලා චෝදනා කිරීමට කටයුතු කළේය. ඒවා කැමරා ඉදිරිපිට සිදු නොවුනද, කැමරාවට පිටුපස සිට කැමරා මෙහෙයවන්නන් එසේ හැසිරීම බොහෝ භයානකය.

මීගමුව

මීගමුව නගරය සුදු කොඩි වැල් වලින් සරසා ඇත. බොහෝ කඩ සාප්පු වසා දමා ඇත. ඉඳහිට පැමිණෙන බස් රථ සහ කුලී රථ හැරුණු විට නගරය පාලුවට ගොසිනි. වචන වලට පෙරළිය නොහැකි තරමේ ගුප්ත ස්භාවයක් නගරය වෙලාගෙන ඇත. මිනිසුන් එකිනෙකා දෙස බලන්නේ සැකයෙනි. අප මීගමුව බස් නැවතුම්පලේ ඡායාරූප ගත් අවස්ථාවේ වට පිටාවේ රැස්ව සිටි මිනිසුන් පැමිණ අපෙන් ප්‍රශ්න කරන තැනටම ඔවුන්ට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව බියක් ජනිත වී ඇත. මිනිස් ජීවිත සිය ගණනක් වැනසී ඇති මොහොතන එසේ බිය වීම සෑම අතින්ම සාධාරණය.

කටුවාපිටිය පල්ලියට ගමන්කරනා මාවතේ තදබදය ඉතාම ඉහළය. සිද්ධිය නැරඹීමට එන ජනතාව ඊට හේතුවයි. ඇතැමුන් පවුල් පිටින් වාහන වලින් එහි පැමිණෙති. මෙතරම් ව්‍යසනයක් සිදුව ඇති මොහොතක එය නැරඹීමට මෙසේ ජනතාව පැමිණීම තවත් ව්‍යසනයකට අත වැනීමකි. එසේම නැවත කිසියම් උපද්‍රවයක් හදිසියේ හෝ පැමිණියහොත් සහන කණ්ඩායම් වලට හා ආරක්ෂක අංශ වලට සිය රාජකාරී කටයුතු සිදු කිරීමට මෙය බාධාවකි.

පල්ලියේ බෝම්බ ප්‍රහාරය සිදු වන්නේ පූජාවේ අවසාන භාගයේදීය. ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට මීගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී චාමින්ද ප්‍රියදර්ශන ස්තූති කතාව සිදු කරමින් සිට ඇත. ඒ අවස්ථාවේ පල්ලියේ දේවමෙහෙයට සහභාගි වෙමින් සිටි ප්‍රියදර්ශන සිද්ධිය අපට විස්තර කලේ මෙසේය. “මම හිතුවේ වයිරින් ෂෝට් එකක් වෙන්ඩ ඇති කියලා. මට හිතාගන්න බැරුවගියා බෝම්බයක් කියලා. ඊට පස්සේ කට්ටිය කෑගහගෙන එළියට දුවගෙන ආව. එතකොටම මම ඇතුළට ගියා. බංකු ටිකයි මිනිස්සුයි ඔක්කොම බිත්ති අයිනට තල්ලු වෙලා. එතන බේරගන්න කෙනෙක් හිටියේ නෑ. වයසක අම්ම කෙනෙකුයි, වයසක පිරිමි කෙනෙකුයි ඇවිදගෙන එළියට ආවා. ඇවිල්ල එහෙමම බිම වැටුණා. මට පල්ලිය ඇතුළට අඩි දෙකකට වඩා තියන්ඩ බැරි වුණා හැමතැනම කෑලි.”

ප්‍රියදර්ශන කියනා කතාවේ සත්‍යතාවය පල්ලිය තුළට ගිය පසු දැකගත හැකිය. සෑම තැනම විනාශ වී ඇත. සිද්ධියෙන් දිනකට පසුවද ස්ථානයේ පවතින්නේ තරමක දුර්ඝන්ධයකි. බිත්ති වල ඉහිරී ගිය ලේ සහ ශරීර කොටස් ඇත. එහි ජීවිත බේරාගත් මිනිසුන් සිටී යන්නම විමතියට කාරණයකි. තැන් තැන් වල ලේ පැල්ලම්ය. ගැලවුණු පාවහන්ය. පිලිස්සී ගිය ඇඳුම්ය.

බෝම්බ ප්‍රහාරය සිදුවන මොහොතේ රවී සිට ඇත්තේ සිය නිවසේය. “අපි කලින් දවසේ පල්ලි ගිය හින්දා එදා ගෙදර හිටියා. මම ගමනක් ගිහින් ඇවිල්ලා පුටුවේ වාඩි වුණා විතරයි. එක පාරටම සද්දයක් ආවා. ගේ හෙල්ලිලා ගියා. ඒ තරම් සද්දයක් අපි කවදාවත් අහල නෑ.” පල්ලියේ සිට රවීගේ නිවසට ඇත්තේ මීටර එකසිය පනහක පමණ දුරකි. බලාපොරොත්තු රහිත ලෙස ඇසුණු ශබ්දය ඔවුන් සලිත කර ඇත.
“මේ ගමේ වටපිටාවේ මිනිස්සු තමයි පල්ලියට එන්නේ. කොහොමත් මේ පල්ලියට වැඩියෙන් සෙනඟ එනවා. මොකද මේ පල්ලියේ ලෙඩ හොඳකරනවා කියලා විශ්වාසයක් තියනවා. මේ හැම ගෙයක්ම ඉස්සර ඉඳල දන්න කියන මිනිස්සු ඉන්නේ. හැමෝම අඳුනනවා. දුරින් හරි මේ හැම කෙනෙක්ම නෑදෑයෝ වෙනවා.” රවී කියයි. “මේ හැම ගෙදරම මැරුණ කෙනෙක් ඉන්නවා. දැන් මුලු ගමම මළගෙයක් වෙලා තියෙන්නේ.”

රවී කියනා කාරණාව සත්‍යකි. සෑම තැනකම මරණයකි. එක් තැනක මරණ හතරකි. එතැනට පාරෙන් විරුද්ධ පැත්තේ තවත් මරණ දෙකකි. විදුලි කණුවක ඇලවූ එක් මරණ දැන්වීමක මරණ දෙකකි. මිය ගිය බොහෝ දේහයන් අප එහි යන විට රැගෙන විත් තිබුනේ නැත. ඒවා සඳුදා සවස ලැබීමට නියමිතව තිබුණි.

ඒ වන විට සිද්දියෙන් මිය ගිය සුදීර ප්‍රනන්දුගේ දේහය නිවසට ගෙනැවිත් තිබුණි. ඔහු ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවය කළ අයෙකි. “අයියා පල්ලියේ එළියේ වාඩි වෙලා ඉඳල තියෙන්නේ. පුපුරනකොට කෑල්ලක් ඇවිල්ල අයියගෙ ඔලුවෙ වදිලා තියනවා. ඊට පස්සේ ඉස්පිරිතාලෙට ගෙනියනකොටම තමා නැතිවෙලා තියෙන්නේ.” මිය ගිය පුද්ගලයාගේ බාල සොහොයුරා දයන්ත්‍ර ප්‍රනාන්දු අප හා පැවසීය.

අප එහි සිටින විට එහි සිටි මිනිසුන් අතර නොයෙකුත් කටකතා පැතිර යනු අසන්නට ලැබුණි. එහිදී බොහෝ දෙනෙකු පැවසූවේ මීගමුවේ ජල මූලාශ්‍ර වලට වස කවලම් කර ඇති බවයි. එය ඇසූ එහි සිටි එක් තරුණියක සංවේදී වූවාය. “අපි මොන වරදක් කලාටද අපට මෙහෙම කරන්නේ?” ඇය විමසයි. කෙසේ වෙතත් පොලිසිය ඒ අවස්ථාවේ නිවැරදිව ක්‍රියා කරමින් ඒ පැතිරෙන කතාව අසත්‍යක් බවට නිවේදනය කළේය. මෙවැනි ව්‍යසනයකින් පසු විවිධාකාරයේ කටකතා පැතිරී යාම සාමාන්‍ය තත්ත්වයකි. ඒ හරහා සිදුවන අනිසි ප්‍රතිවිපාක වළක්වා ගැනීමට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වීම වැදගත්ය. කෙසේ නමුදු උදෑසන කාලයේ පැතිරී ගිය කටකතාව මිනිසුන්ට බොහෝ බලපෑමක් සිදු කළේය. පල්ලි භූමියේ නගරසභා සේවකයන් යොදවා සුද්‍රපවිත්‍ර කිරීම් සිදු කරමින් පවතින අතර එක් සේවකයකු සිය පවුලම රැගෙන එහි පැමිණ තිබුණි. ඔවුන් දහවල් ආහාරය ගෙන තමන්ට ලැබුණු වතුර බෝතලයෙන් වතුර නොබී අත් සේදුවේය. ඔවුන් පැවසුවේ ආරංචිවන කතාවල හැටියට ටැප් වතුරෙන් අත සේදීමටද බිය බවයි. කොටින්ම මීගමුවම දැන් සිටින්නේ භීතියෙන් ඇලලීය.

ඇතැමෙක් පවසන පරිදි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ පල්ලියෙන් පළිගැනීම උදෙසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේද සහයෝගය ඇතිවය. ඔවුන් සිය අනන්‍යතාවයන් හෙළි කරනවාට කැමැත්ත පළකළේ නැත. එම ජනතාව පවසන පරිදි පියතුමා පූජාවේදී නිරන්තරයෙන් පල්ලිය භූමියේ සිදුවන කුඩු වෙළදාම් පිළිබඳව ප්‍රකාශ කර සිටී. එසේම මීට මාස කිහිපයකට පෙර මීගමුව ප්‍රදේශයේ සිදු කළ මත් කුඩු වැටලීම සඳහා තොරතුර දුන්නා යැයි පියතුමා සමග මත් කුඩු ජාවාරම් කරුවන් තරහින් පසුවී ඇත. ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මත් කුඩු ජාවාරම්කරුවන්ගේ සහයෝගය ලබා දුන් බව ඔවුන් පවසයි. මෙම කරුණ සත්‍ය වීමේ ප්‍රවණතාවය ඉතාම අවම නමුදු මෙවැනි කතා ප්‍රදේශයේ දිගින් දිගටම පැතිරෙමින් යාම අනතුරුදායකය.

පළිගැනීම

මෙවන් ඝාතනයකින් අනතුරුව හිංසනයට ලක්වන පාර්ශ්වයේ බොහෝ දෙනා පසුවන්නේ පළිගැනීමේ මානසිකත්වයකිනි. එය සරල පොදු කාරණාවකි. එසේම මේ ප්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසිනි. මීගමුවේ තරුණයෝද, තරුණියෝද සිටියේ පල්ලියේය. ඔවුන් පල්ලිය පවිත්‍ර කරනා සනීපාරක්ෂක සේවකයන්ටද, පරීක්ෂණ කරනා නිළධාරීන්ටද අවශ්‍ය පහසුකම් සපයමින් සිටියේය.

මීගමුවේ බෝම්බය පුපුරා ගිය කටුනේරිය පල්ලිය අවට පිහිටා ඇත්තේ මුස්ලිම් ගම්මානය. පෙරියම් මුල්ල, පාන්කඩ හන්දිය, ඩීන් හන්දිය ආසන්නතම මුස්ලිම් ගම්මාන කිහිපය වේ. ”මෙහෙ ඉස්සර ඉඳල ජාති භේද තිබ්බේ නෑ. මෙහෙ තරුණ ළමයිගෙවත් කිසි කෙනෙක්ගෙවත් ජාතිවාදී අදහස් නෑ. පල්ලියෙ ෆාදර් ඒ වගේ අදහස් මෙහෙ පැතිරෙන්න දුන්නේ නෑ. ඒ හින්ද ඔය වගේ දේකට මෙහෙන් තරුණ ළමයි පහළොස් දෙනෙක්වත් හොයා ගන්ඩ වෙන එකක් නෑ. ගමේ අය ගැන අපට බයක් නෑ. මේ ළමයි අපට විශ්වාසයි.” රවී තමන්ගේ විශ්වාසය අපට පැවසීය. රවී පමණක් නොව අප හමු වූ මිය ගිය පුද්ගලයාගේ සහෝදරයා තුළ ද ජාතිවාදී වෛරයක් නොවීය. ඔවුන්ට තමන් සමග එකට ජීවත් වූ තමන්ගේ සහෝදර මුස්ලිම් ජනතාව විශ්වාසය.

සමාජ ජාල

එහෙත් අවධානමක් ඇති බව හැඟී යන්නේ සමාජ ජාල මාධ්‍ය දෙස බැලූ විටය. රජය විසින් ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශයන් හරහා සමාජ ජාල මාධ්‍ය අවහිර කර තිබුණද වෙනත් පිවිසුම් ක්‍රම හරහා සමාජ ජාල වලට පිවිස අන්තගාමී අදහස් බෙදා හරින පිරිසක් සිටී. ඒ මේ සිදුවීම් පිටතින් සිට නරඹමින් සිටින පිරිස්ය. ඔවුන් පිටතින් සිට හිංසනයට ලක් වූ පිරිස් වලට අගතිගාමී පණිවිඩ බෙදා හරිමින් අන්තවාදී ක්‍රියා වල නිරත විය හැකිය.

මේ වන විට එවැනි සිදුවීම් බොහෝ ප්‍රමාණයක් සමාජ ජාල මාධ්‍ය හරහා දැකගත හැකිය. එසේම තහවුරු නොකළ තොරතුරු සමාජ ජාල හරහා බෙදී යමින් පවතී. එසේම එහි තවත් පැත්තක් ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතැම් තොරතුරු සමාජගත කරනවාට වඩා ඉකමනින් සමාජ ජාල හරහා එම තොරතුරු සමාජ ගත වී ජනතාව දැනුවත් වීම සිදුවේ. මෙවැනි අවස්ථාවක වඩා වැදගත් වන්නේ ඉක්මනින් තොරතුරු සමාජ ගත වී ජනතාව දැනුවත් වීමයි. ඒ හේතුවෙන් සමාජ ජාල අවහිර කිරීම සෑම අතින්ම සාධාරණ පියවරක් ලෙස සඳහන් කළ නොහැකිය.
එසේම මේ මොහොතේ නැවත වතාවක් අන්තවාදී නායක ඥානසාර හිමිද කරලියට පැමිණ තිබේ. මේ සම්බන්ධව ඔහු මුලින් පැවසූ බවක් සඳහන් කරමින් ඔහුගේ අනුගාමිකයෝ ස්වකීය පොදු සතුරා වන මුස්ලිම් ජනතාවට එරෙහිව අවි අමෝරා ගැනීමට සැරසෙති. ඒ නිසා අවධානම තවම පහව ගොස් නොමැත.

මෙය වඩා භයානක තත්ත්වයකි. ඥානසාර යනු රටේ ජාතිවාදය, මිනිසුන් අතර අසමගිය පැතිරවීමට මූලිකත්වය ගෙන ක්‍රියා කෙරූ අයෙකි. ඔහු උත්කර්ශයට නැගීමම තවත් මෙවැනි ගැටුමකට පාර කපන්නකි.

එසේම සමාජ ජාල තුළ මේ වන විට ප්‍රභල මුස්ලිම් විරෝධයක් ගොඩ නැගෙමින් පවතී. එය රජය විසින් සමාජ ජාල අවහිර කර තිබෙන බැවින් මතුවී නොපෙනේ. එහෙත් එම තත්ත්වය බොහෝ විට ප්‍රචණ්ඩ ක්‍රියාවන් දක්වා වර්ධනය වීමේ අවස්ථාව බොහෝ ඉහළය. මීට පෙර ප්‍රභල මුස්ලිම් විරෝධී පණිවිඩ සමාජ ජාල හරහා ප්‍රසිද්ධියේ බෙදී නොගිය මුත් මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.

සහතිකය

ආණ්ඩුවේ සහ රාජ්‍ය නිළධාරීන්ගේ ක්‍රියාකාරීත්වය නිසාම දැන් කොච්චිකඬේ, මීගමුවේ පමණක් නොව රටේම ජනතාවට දැන් රජය පිළිබඳව අවිශ්වාසයෙන් පසුවේ. දැනසිටි ප්‍රහාරයක් වළක්වා ගැනීමට හැකිව තිබූ ප්‍රහාරයක් වළක්වා නොගත්තා යන චෝදනාවෙන් ඔවුන්ට දැන් ගැලවීමට නොහැකිය. අපට සංචාරයේදී හමුවූ ජනතාව පවසන්නේ එයයි. ඔවුන්ට අනුව සිය ඥාතීන් මේ ප්‍රහාරයට රජය විසින් වුවමනාවෙන්ම ගොදුරු කර ඇත. ඒ හේතුවෙන් ඔවුන්ට තමන්ගේ ආරක්ෂාව ගැන ඇත්තේ කුකුසකි. ලිපියේ ඉහත සඳහන් කළ පරිදි ඔවුන් අතර නිරන්තරයෙන් කටකතා පැතිර යාමට හේතුවක් වී ඇත්තේ එම කුකුසයි.

එසේම රජය තවමත් මේ ප්‍රහාරවලට සම්බන්ධ එකඳු සංවිධානයක් හෝ ප්‍රකාශයට පත්කර තහනම් කර නැත. එහෙත් පසුගිය සඳුදා දින හමුදාපතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ මීට සම්බන්ධ කිනම් සංවිධානයක්ද යන්න ඔවුන් හඳුනාගෙන සිටින බවයි. එසේම ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ රජයට මේ ප්‍රහාරයන් පිළිබඳව තොරතුරු ලැබුණ මුත් ඔවුන් මෙතරම් විශාල ප්‍රහාරයක් බලාපොරොත්තු නොවූ බවයි. එසේම හිටපු ජනාධිපතිවරයා සේම වත්මන් අගමැතිවරයාද මේ ප්‍රහාර පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබුණු බව පිළිගනී. මේවා ජනතාවගේ සැකයද භීතියද තීව්ර කරණා කතාය. අනාරක්ෂිත බව හඟවන කතාය. තමන්ට සිටින්නේ නායකයන් නොව පඹයන් බව හෙළිකරන කතාය.

ඒ නිසාවෙන් රටේ ජනතාවට දැන් අවශ්‍ය වන්නේ තමන්ගේ ආරක්ෂාව ගැන සහතිකයකි. එහෙත් රජයේ සහ, අමාත්‍යවරුන්ගේ වර්තමාන හැසිරීම් හමුවේදී ප්‍රහාරයට පෙර ඔවුන් වගකීම් විරහිතව හැසිරුණු ආකාරය හමුවේද ඒ සහතිකය ජනතාව වෙත ලබා දීම ලෙහෙසි නොවනු ඇත.

“ජේසු ස්වාමි දරුවා සාමය ගෙනෙයි” මීගමුවේ කටුනේරිය පල්ලිය අසලදී කාන්තාවක එසේ කියනු අපට ඇසිනි. ඒ විශ්වාසය ඉටුවණු දැකීම මේ මොහොතේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අරමුණයි.