පාස්කු ඉරිදා බිහිසුණු ප්‍රහාරය සහ අර්බුද අවස්ථාවල විශ්වසනීය සන්නිවේදනය

නාලක ගුණවර්ධන – ravaya@nalaka.org

අප්‍රේල් 21 පාස්කු ඉරිදා රටේ ජනාකීර්ණ පල්ලි 3කටත් ඉහළ පෙළේ හෝටල් තුනකටත් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල කම්පනය තවමත් පහව ගොස් නැහැ.
මේ දක්වා එතරම් අවධානයට ලක් නොවූ මෙරට මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් මෙම ප්‍රහාර සිදුකර ඇති බව මේ සතිය මුලදී රජය ප්‍රකාශ කළා. එහෙත් අප්‍රේල් 23 වනදා වන විට ISIS ඉස්ලාමික ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව කියා සිටියා.

මේ අනුව පෙනී යන්නේ රටෙන් පිට සක්‍රීයව සිටින බිහිසුණු ISIS සංවිධානයේ අනුදැනුම හෝ මග පෙන්වීම යටතේ, දේශීය ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කොට ඇති බවයි.

මේ සිදුවීම දෙස් විදෙස් මාධ්‍යයන් හරහා බෙහෙවින් වාර්තාකරණයට සහ විශ්ලේෂණයට ලක්වෙමින් තිබෙන නිසා මා ඒ ගැන විග්‍රහ කරන්නේ නෑ. එහෙත් මෙහි සන්නිවේදන මානය සහ මාධ්‍ය ප්‍රතිචාර අවධානය යොමු කරනවා.

ආපදාවක් වේවා ප්‍රහාරයක් වේවා අර්බුද අවස්ථාවක රජයේ හඬ ඉතා වැදගත්. එදිනෙදා ජීවිතයේදී රජය ගැන තැකීමක් නොකර තමන්ගේ පාඩුවේ සිටින පුරවැසියන් පවා හදිසි අවස්ථාවක බලධාරීන් ඒ ගැන කුමක් කියන්නේද, කුමන උපදෙසක් දෙන්නේද යන්න ගැන උනන්දු වනවා.

අර්බුදයක් දිග හැරෙන කාලය තුළ රජයේ නිල තොරතුරු සහ නිල විග්‍රහය, නිරවුල් මෙන්ම සන්සුන් ලෙස සන්නිවේදනය කිරීම අත්‍යවශයි. Crisis communication ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වෙන මෙම කාරිය, කලාවක් මෙන්ම විiාවක් ද වනවා.

සිදුවීම්වලින් බියට හා ත්‍රාසයට පත් මහජනයා තව දුරටත් කලබල නොවන බවට වගබලා ගන්නා අතර ඔවුන් අඳුරේ නොතබා මෙතෙක් දන්නා දේ සැකෙවින් ප්‍රකාශ කිරීම සීරුවෙන් කළ යුත්තක්. එහිදී තවමත් නොදන්නා දේ නොදන්නා බවද නොවලහා කිව යුතුයි. (අපරාධ පරීක්ෂණ සිදු වන්නේ නම් එයට බාධා වන තොරතුරු නොකියා සිටිය හැකියි.)

පෙර මෙන් නොව ජංගම දුරකතන රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා මෙන්ම ඉන්ටර්නෙට් හරහා තොරතුරු රැසක් ඉක්මනින් ගලා යන යථාර්තය තුළ, රජයට කළ හැක්කේ නිල තොරතුරු බෙදා ගැනීමයි. නොකියා මුනිවත රැකීම තවදුරටත් සාර්ථක උපක්‍රමයක් නොවෙයි.
දුස්තොරතුරුවලට එරෙහිව ලොව පුරා විවිධ රටවල අත්දුටු ප්‍රතිකර්මයක් නම් බලධාරීන් වෙනුවෙන් විශ්වසනීය චරිතයක් හරහා සත්‍ය තොරතුරු පැවසීමයි.

පාස්කු ඉරිදා පැය ගණන් ගත වන තුරු සිදු වන්නේ කුමක්ද යන්න ගැන නිල විග්‍රහයක් අප දුටුවේ නැහැ. එයට පසු බිම් වූ සාධාරණ හේතු තිබෙන්නට ඇති. සමහර විට ප්‍රහාරයෙන් පසු රාජ්‍ය තන්ත්‍රයම තුෂ්නිම්භූත වී සිටින්නට ඇති. නැතිනම් අවුරුදු නිවාඩු මානසිකත්වය තවමත් රැඳී තිබුණු නිසාත්, එදින ඉරිදා දවසක් වූ නිසාත් වෙනත් දිනවල තිබෙන සාමාන්‍ය සූදානම පවා රජයේ ආරක්ෂක හෝ තොරතුරු පිළිබඳව වග කියන ආයතනවල නොතිබුණා විය හැකියි. අපට කළ හැක්කේ අනුමාන කිරීම පමණයි.

ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය සිදු වන විට රටේ සිටියේ නැහැ. වැඩ බලන රාජ්‍ය නායකයෙක් හෝ වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කොට සිටියාද යන්නත් අපට පැහැදිලි නැහැ.
ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ප්‍රසිද්ධ ප්‍රකාශ කළේ ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා සහ ඉන්පසු අගමැතිවරයායි. මීට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවලට තොරතුරු දන්නා පමණට ලබා දුන්නා. එහෙත් එම ප්‍රකාශවල නොපැහැදිලි තැන් මෙන්ම යම් පරස්පරයන්ද තිබුණා.

අර්බුදයකදී රජය වෙනුවෙන් මාධ්‍යවලට කතා කරන සහ ඒ හරහා මහජනයා අමතන චරිතයට විශ්වසනීයත්වයක් හා සීරුවෙන් කතා කිරීමේ කුසලතාවයක් තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ මෙම සාධක සපුරා ගත් ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් හෝ උසස් මට්ටමේ පරිපාලන නිලධාරීන් කවුරුදැයි ටිකක් මෙනෙහි කරන්න.

මේ කාරිය රටේ ප්‍රධාන නායක දෙපළම කළ යුතු යයි නියමයක් නෑ. එහෙත් කථික හැකියාව මෙන්ම මාධ්‍ය පරිචයත් හොඳහැටි තිබීම අත්‍යවශ්‍යයි.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඔහු මාධ්‍ය හරහා රටට කතා කළේ ඉඳහිටයි. ඒ වෙනුවට එයට ඉතා දක්ෂ ජෙෂ්ඨ ඇමතිවරයෙක් ඔහුට සිටියා. ඒ තමයි ආනන්ද තිස්ස ද අල්විස්.

මා මෙරට ටෙලිවිෂන් ජය ගත් මුල්ම දේශපාලකයා ලෙස සලකන්නේ ඔහුයි. ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන, සමීප හිතවතකු සමඟ පිළිසඳරේ යෙදෙන ආකාරයෙන් කතා කිරීමේ හැකියාව ඔහු ඉක්මනින් ප්‍රගුණ කළා.

ආනන්ද තිස්ස ද අල්විස්ගේ හැකියාව උරගා බැලුණු එක් අවස්ථාවක් මට හොඳට මතකයි. 1983 ජූලි ඛේදවාචකයේ අවසන් අදියර එළඹෙද්දී රටේ ජනතාව සන්සුන් කිරීමට රජය වෙනුවෙන් රට ඇමතුවේ ඔහුයි. කොළඹට කිසිදු කොටි ප්‍රහාරයක් එල්ල නොවූ බවත්, කොටියෙක් තියා පූස් පැටියෙක් වත් කොළඹට නොපැමිණි බවත්, කොටි ඉන්නේ දෙහිවල සත්තු වත්තේ පමණක් බවත් කියමින් එබඳු සංවේගදායක හා සංත්‍රාසමය මොහොතක ටෙලිවිෂන් හරහා රට වැසියන් අස්වැසීමට ඔහු උත්සාහ ගත්තා.

මුඛරි බව තිබෙන දේශපාලකයන් ඕනෑ තරම් අද සිටියත්, අර්බුද සන්නිවේදනයට සමත් සහ මහජනයා විශ්වාස කරන දේශපාලන චරිතයක් මට එක් වරම සිතා ගැනීම දුෂ්කරයි. ප්‍රමාද වී හෝ මෙම අඩුව පිරිමසා ගැනීමට රජය අවධානය යොමු කළ යුතුයි.

එසේම අනවශ්‍ය සන්නිවේදන වලකා ගනිමින්, අර්බුදකාරී අවස්ථාවක ජන මනස තවත් අවුල් කෙරෙන ප්‍රකාශ නොකිරීමට ද වගබලා ගත යුතුයි. මෙවර අප දුටුවේ සමහර නාමධාරී චරිත කෙලින්ම විද්්‍යුත් මාධ්‍යවලට විවිධ ප්‍රකාශ දෙමින් මෙබඳු ප්‍රහාරයක් ගැන කල් තබා දැන සිටි බවට ඉඟි කරන සැටියි.

බුද්ධි අංශ විසින් නිකුත් කරන ලදැයි කියන ලිඛිත අනතුරු ඇඟවීමක් බවට පෙනෙන ලියවිල්ලක් උදේ ප්‍රහාරවලින් පැයකට පමණ පසුව සමාජ මාධ්‍ය තුළ බෙදා ගැනීම සීඝ්‍රයෙන් සිදු වුණා. එය ව්‍යාජ ලියවිල්ලක් බවයි අපේ මුල් හැඟීම වූයේ.
මේ නිසා එය වැඩිදුර බෙදා ගැනීම කරන්නට පෙර තහවුරු කර ගන්න යයි ඉල්ලීමක් ද සමාජ මාධ්‍ය තුළින් ම මතු වුණා. (දින තුනකට පසුව අපට සිතෙන්නේ එම අනතුරු ඇඟවීම සැබෑ ලියවිල්ලක් විය හැකි බවයි.)

එහෙත් එසේ කළ හැකි වූයේ ටික වෙලාවයි. ඉරිදා උදෑසන බෝම්බ පිපිරීම්වලින් පැය දෙක තුනක් ඇතුළත ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය සහ චැට් වේදිකා කිහිපයක් අවහිර කිරීමට රජය ක්‍රියා කළා.
2018 මාර්තුවේ දින අටක් පුරා ප්‍රධාන සමාජ මාධ්‍ය කිහිපයක් අවහිර කෙරුණේ වෛරී කථනය ඒ හරහා ගලා ගිය බව කියමින්. මෙවර මෙසේ කිරීම හේතුව ලෙස ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් පසුව දුස්තොරතුරු (disinformation) පැතිර යාම අවම කිරීමට බවයි.

මෙහි යම්කිසි ඇත්තක්ද තිබෙනවා. අනපේක්ෂිත ප්‍රහාරය නිසා ලක් සමාජය අන්දුන් කුන්දුන් වී ගියා. මතු වූ අවිනිශ්චිත වාතාවරණයේ කටකථා, බොරු කතා සහ වෙනත් අන්දමේ දුස්තොරතුරු සංසරණය වීමට පටන් ගත්තා. මේවා කටින් කට හා ජංගම දුරකතන හරහා මෙන්ම Facebook,WhatsApp වැනි වෙබ් වේදිකා හරහාත් ගලා ගියා.

ප්‍රහාරකයන්ගේ අනන්‍යතාවය ගැන විවිධාකාරයේ අනුමානයන් සහ දෝෂාරෝපණය පැතිරීම හරහා ප්‍රචණ්ඩත්වයක් මතු විය හැකිව තිබුණා. එම නිසා මුල් පැය විසි හතරේ එවැනි තාවකාලික අවහිර කිරීමක් සාධාරණ යයි අපට පිළිගත හැකියි.
මුල් පැය 24 තුළ නැගුණු විවිධ චෝදනා බොහොමයක් ආවේග මත පදනම් වූවා මිස සාක්ෂි මත ගොඩ නැගුණු ඒවා නොවෙයි. මේ නිසා එම කාලයේ වැඩිපුරම භාවිත වන සමාජ මාධ්‍ය අවහිර කිරීම යම් තරමකට තත්ත්වය සමනය කරන්නට උපකාර වූවා යයි කිව හැකියි.
එහෙත් ටිකෙන් ටික අපරාධ විමර්ශන තොරතුරු මතුව එද්දී සමාජ මාධ්‍ය තවදුරටත් අවහිර කර තැබීම අවශයද? ඇතැමෙක් තර්ක කලේ ඛේදවාචකයෙන් මියගිය අයගේ අවමඟුල් අවසන් වනතුරු එසේ කිරීම ප්‍රවේශම්කාරී පියවරක් කියායි.

2018 මාර්තුවේ දී මෙන්ම මෙවර ද සමාජ මාධ්‍ය අවහිරයට පදනම් වූ නිශ්චිත සාක්ෂි සහ තීරණ ගැනීමේ ක්‍රමවේදය රජය හෙළිකොට නැහැ.
යම් සාධාරණ හේතු මත හැකිතාක් කෙටි කාලයක් සඳහා සමාජ මාධ්‍ය හෝ සමස්ත ඉන්ටනෙට් පහසුකම් අත්හිටුවීම ගැන ඉන්දියාවේ ක්‍රමවේදයක් 2017 පටන් ගැසට් කොට තිබෙනවා.

බහුවිධ සන්නිවේදන තාක්ෂණ සහ තොරතුරු වේදිකා හමුවේ රජයකට දැක්විය හැකි හොඳම ප්‍රතිචාරය නම් නිරවුල් හා විශ්වසනීය ලෙස නිතිපතා නිල තොරතුරු සහ නිල ස්ථාවරය මාධ්‍යවලට ප්‍රකාශ කිරීමයි. ඒ හරහා රටටත් ලෝකයටත් අලුත්ම තත්ත්වය පිළිබඳව කීමයි. තවම නොදන්නා දේ නොදන්නා බව නිහතමානීව පිළිගැනීමයි.
එහෙත් මේ සියල්ල කිරීමට නම් සාමූහික වගකීමෙන් සහ එක්සත්ව ආණ්ඩුකරණයේ යෙදෙන හරිහමන් රජයක් තිබිය යුතුයි. අපේ රටේ දින 51 දේශපාලන අර්බුදයෙන් පසුව පවතින්නේ ජනපතිවරයා සහ අගමැතිවරයා අතර නොවිසඳුණු විරසකය නිසා මතුවුණු අතිශයින් කනගාටුදායක තත්ත්වයක්.
විදෙස් බුද්ධි අංශ ලබාදුන් නිශ්චිත අනතුරු ඇඟවීම ගැන තමා හෝ කැබිනට් මණ්ඩලය දැන සිටියේ නැති බව අගමැතිවරයා මුලින් ප්‍රකාශ කළා. දින තුනකට පසු ටෙලිවිෂනයේ රටට කතා කරමින් ජනාධිපතිවරයා කීවේ එබන්දක් ගැන තමාද දැනුවත් නොවූ බවයි.
මෙය ඉතා ඛේදජනක තත්ත්වයක්. එම අනතුරු ඇඟවීම දේශපාලන අධිකාරියට ලබා නොදුන්නේ ඇයි? එහි වගකීම පැවරෙන්නේ කාටද? ආරක්ෂක ඇමති, සේනාධිනායක හා වර්තමානයේ පොලිසියද භාරව සිටින ජනපතිවරයා මේ ගැන නොදැන සිටියේ කෙසේද? ජාතික ආරක්ෂක මණ්ඩලය මෙබඳු බැරෑරුම් තත්ත්වයන් ගැන නිසි තක්සේරුවක් නොකළේ ඇයි?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් අහිමි වූ සිය ගණනක් ජීවිත බේරා ගත හැකිව තිබුණාද? එසේ නොකිරීමේ නීතිමය සහ සදාචාරමය වගකීම බාර ගන්නේ කවුද?

එළඹෙන සති මාසවල අප යළි යළිත් මෙම ප්‍රශ්න අපේ ‘ජනතා සේවකයන්ගෙන්’ තරයේම ඇසිය යුතුයි.