මාවනැල්ල හා වනාතවිල්ලුවෙන් පසු දුන් ත්‍රස්ත ක්‍රියා ගැන සීඅයිඩී වාර්තාව කෝ?

පුපුරන ද්‍රව්‍ය වැළලූ වත්තත් ඊබ්‍රාහිම්ගේ

නිමල් අබේසිංහ/ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ෂැන්ග්‍රී-ලා සහ සිනමන් ග්‍රෑන්ඞ් හෝටල්වල මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කළ තව්පිද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් දෙදෙනාගේ පියා වන දෙමටගොඩ ව්‍යාපාරික අල්හාජ් යුසුෆ් මොහොමඞ් ඊබ්‍රාහිම් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ අනෙක් පිරිමි දරුවන් සිව්දෙනාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව රාවයට දැනගන්නට තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ ආකාරයට මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින සංඛ්‍යාව 33ක් වන අතර ඉන් සිව්දෙනකු කාන්තාවන්ය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට ගෙන සිටින ප්‍රමාණය සිව්දෙනකු වන අතර ඉන් එක් අයකු කාන්තාවකි.

මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයේදී පුත්තලමේ වනාතවිල්ලුව ප්‍රදේශයේදී සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය වළලා දමා තිබූ පොල්වත්තද ඊබ්‍රාහිම් නමැති මෙම ව්‍යාපාරිකයාට අයත් වූවක් බවටද තොරතුරු ලැබී තිබේ. වනාතවිල්ලුව පරීක්ෂණවලින් පසු ත්‍රස්තවාදය පිළිබඳ ඉතා බරපතළ වාර්තාවක් රහස් පොලිසිය, පොලිස්පතිවරයාට යොමු කර ඇති අතර ආරක්ෂක ලේකම්වරයාද දැනුවත් කර තිබේ.

මේ අතර පුත්තලම ප්‍රදේශයේ ප්‍රසිද්ධ කරුංකා ව්‍යාපාරිකයාගේ දියණියක් සමග දෙමටගොඩ ව්‍යාපාරිකයාගේ එක් පුත්‍රයකු විවාහ වී සිටින බවත් මෙම පුත්තලමේ කරුංකා ව්‍යාපාරිකයා, ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල මුස්ලිම් දේශපාලනඥයකු සහ ඔහුගේ සහෝදරයා සමග සමීප ව්‍යාපාරික සබඳතා පවත්වන බවටද රාවයට ලැබෙන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මාවනැල්ල බුදුපිළිම සිද්ධියට සම්බන්ධ සැඟවී සිටින සැකකරුවන් දෙදෙනකු පොලිසියට භාරදෙන බවට මාවනැල්ල සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකතනයෙන් කතා කොට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පැවසූ බවට පසුගිය කාලයේ ප්‍රචාරයක් පැවතුණි. ඒ සමයේදීම රාවය මේ ගැන අසාද් සාලි ආණ්ඩුකාරවරයාගෙන් විමසූ විට ඔහු රාවයට පැවසුවේ තමන් සහකාර පොලිස් අධිකාරීවරයාට එබන්දක් නොපැවසූ බවය. එහෙත් තමන් පොලිස්පති පූජිත් ජයසුන්දරට කතා කර සැකකරුවන්ගේ පියා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් දරුවන් දෙදෙනාට පොලිසියට භාරවීමට ඉල්ලා සිටින්නට කැමති යැයි කියා සිටින බව දැන්වූ බවත් කියා සිටියේය. මේ ප්‍රවෘත්තිය රාවය පුවත්පතේද පළවිය.

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට කටයුතු කළ කබීර් හෂීම් ඇමතිවරයාගේ ලේකම්වරයකුගේ හිසට වෙඩි තබා මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔහුට වෙඩි තැබීමේ පිටුපසද තව්පිද් ජමාද් සංවිධානය සිටින බවට පොලිසිය සැක කරන බව රාවයට දැනගන්නට තිබේ.

මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ධනවත් කුළුබඩු ව්‍යාපාරිකයකු සහ ව්‍යාපාරික ප්‍රජාවේ බලවතකු වන මොහොමඞ් ඉබ්‍රහිම්ගේ පවුලේ අය ඉකුත් පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පසුපස සිටින බවයි.
මොහොමඞ් ඉබ්‍රහිම්ගේ පුතකු වන තිස්තුන් හැවිරිදි තඹ කර්මාන්තශාලා හිමියකු වන ඉන්ෂාෆ් ඉබ්‍රහිම් ෂැන්ග්‍රී-ලා හෝටලයේදී බෝම්බයක් පුපුරුවා ගෙන මියගොස් තිබෙන අතර ඔහු ධනවත් රන් ආභරණ නිෂ්පාදකයකුගේ දියණියක සමග විවාහ වී සිටින බව එම වෙබ් අඩවියෙහි දැක්වේ.

ඉන්ෂාෆ් ඉබ්‍රහිම්ගේ සොයුරකු වන 31 හැවිරිදි ඉල්හම් ඉබ්‍රහිම් ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ රැස්වීම්වලට සහභාගිවෙමින් අන්තවාදි දෘෂ්ටිවාදයන් විවෘතව ප්‍රකාශ කරන්නකු බවත්, ඔහුගේ නිවස පොලිසිය විසින් වැටලීමේදී බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් ඔහු, ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනාද මියගොස් තිබෙන බව එහි වැඩිදුරටත් දැක්වේ.