සිනමා ආරණ්‍යයේ මහ ප්‍රාඥයා – ආචාර්ය තිස්ස අබේසේකර (2019 මැයි 07 වන දිනට ඔහුට අවුරුදු 80කි.)

චම්මින්ද වෙලගෙදර

ආචාර්ය තිස්ස අබේසේකරයන් අපගෙන් සමුගෙන පසු වූ අප්‍රේල් 18 වන දාට දශකයක් පිරුණි. මැයි මස හත්වනදාට තිස්ස ආනන්ද ෆොන්සේකා ඉපදී දශක අටක් සපිරෙයි. ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමීමට මෙරට විශ්වවිiාල වලට කල් ගත වූවා වැඩිය. ලෙස්ටර් ජේම්ස් පීරිසුන් හට ආචාර්ය උපාධිය පිරිනමා අවුරුදු විසි පහක් ගත වන තුරු අපගේ විශ්වවිiාල වලට ඔහු ගැන වගේ වගක් තිබූ බවක් නොපෙනේ. එහෙත් තිස්ස ආචාර්ය උපාධිය නිසා බැබලුනේ නැත. එහෙත් විශ්වවිiාලයට එය වටිනාකමක් එකතු නොකලා යැයි කිව හැකි නොවේ. රුපියල් ශත ගෙවා මිලට ගන්නා ආචාර්ය උපාධි නිරන්තරයෙන් පුන පුනා යොදා ගන්නා එහෙත් වැස්සකටවත් විශ්වවිiාලයකට නොගිය මිනිසුන් ඉන්නා දේශයක තිස්ස අබේසේකරයන් එය යොදා ගන්නවා අප දැක නැත. අචාර්ය තිස්ස අබේසේකරයන්ගේ වටිනාකම තවමත් තක්සේරු වී ඇත්දැයි සැක සහිතය. එක්කෝ ඔහුගේ සිනමා, සාහිත්‍ය, දේශපාලන, රූපමාලා හා භාෂණ නෛපුන්‍යතාව මැනීමට ඉන්නා අනික් අයගේ දැනුම මදිය. නොඑසේ නම් ඔහුව තවමත් ඔවුහු අවබෝධ කරගෙන නොමැත්තේය.

තිස්ස බොහෝ සෙයින් සිනමාව කියවන්නවුන් අතර ගෞරවනීය හිමිකමක් ලබාගන්නේ සාර්ථක තිර රචනා ශිල්පියකු වශයෙනි. එහෙත් ඔහු ඒ ගැන පැවසුවේ ලංකාවේ තරම් තිර රචනා ශිල්පියාට කුඩම්මාගේ සැලකිලි දක්වන තවත් නිර්මාණකරුවන් ලොව කොතැනකවක් නැතිව ඇති බවකි. ඒ ඔහුගේ තිර චරනා වෙනස් කරනු දුටු විටය. එය අද ද හිරිකිතයකින් තොරව අපේ ඇත්තන් තමන්ගේ වගේ කරගෙන අනුන්ගේ නිර්මාණ විනාශ කරති. වෙනස් කරති. එහෙත් තිස්සයන්ගේ භූමිකාව තිර රචනයට එහා ගිය පුළුල් නිර්මාණ පරිශ්‍රයක් හිමකර ගනියි.

ගෙදරදි මෙන්ම ධර්මපාල විiාලයේදී ඔහු ලැබූ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසලත්වය සේම වරබස නිවැරදි සෙයින් ප්‍රගුණ කිරීම නිසාත් ඔහුගේ බුද්ධිමය ප්‍රභාව නිසාත් ඔහු කැපී පෙනෙන චරිතයක් විය. මේ නිසා තිස්ස අබේසේකර මෙරට උගත් නාමාවලියේ මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්ච්චන්ද්‍ර ආදීන්ගේ පෙළ සමතැන් ගන්නකු ලෙසින් ගරු තන්හිලා තබන්නේ අපගේ මහැදුරු කේ. එන්. ඕ. ධර්මදාසයන්ය. පාසලේදී කියවීමේ පිපාසාවෙන් පෙළුණු ඔහු ඉංග්‍රීසි සාහිත්‍යයේ පරතෙරට යන්නේ පසුකාලීන ජගත් සිනමාව කියවීමට ලබන මුරපදයක් කර ගනිමිනි. එහිදී ඔහුට ඉංග්‍රීසි සාහිත්‍ය සේම ජගත් සිනමාවේදය ද අතැඹුලක් වූ බව පෙනේ. ඒ අනුව ඔහු ලද පරිචය අනාගතය උදෙසා කළ ආයෝජනයක් බවට පත් වීමට පෙර ඔහු නික්ම යන්නේ අපගේ අවාසනාව අති මහත් වූ බැවිනි. ඔහුගේ සාහසික ඉංග්‍රීසි කියවීම නිසාම ඔහුට ශේක්ෂ්පියර් රසඹුලක් විය. එනිසා ඔහුට හෙන්රික් ඉබ්සන් සරල කියවීමක් වූවාට සැක නැත. මා පෞද්ගලිකව දන්නා පරිද්දෙන් ඔහුගේ මතකය පුරාවට ජෝන් මිල්ටන්ගේ කාලයේ පටන් ගේට්ස් සේම ටෝල්ස්ටොයි ද සල්මන් රුෂිඩි සේම අරුන්දතී රෝයි ද එක පෙළට තැන්පත්ව සිටියහ. ඔවුන් තිස්සයන්ගේ සිංහල හෝ ඉංග්‍රීසි දෙසුමකදී ඔහුව ඉදිරියෙන් තබාගෙන යනවා අපට දක්නට ලැබුණේ එහෙයිනි. එසේම මෙරට ද්විභාෂා චින්තකයන් සේම ඒක භාෂික වියතුන්ද ඔහුගේ දෙසුම් වලින් ලියමන් වලින් එම ජගත් සාහිත්‍යධරයින් හඳුනා ගත්හ. තමන්ගේ ලියුම් කියුම් වලදී පාදක කර ගත්හ. ලේඛනයේදී ඔහු එසේ පරතෙරට යද්දී තිස්සයන්ගේ සිනමා කියවීම දෙස බලද්දි අප තවමත් හෝඩියවත් කියවා ඇත්දැයි සිතා ගන්නට හෝ බැරි තැනකට අප ඇද වැටෙයි.

ඔහු පෞද්ගලිකව ඉංග්මාර් බර්ග්මාන් කෙරෙහි විශේෂි වූ වගක් මම දනිමි. වරෙක ඔහුගේ සිනමා උළෙලකදී මෙරට සංස්කෘතික පොලිසිය සිදු කරන මහා දූෂණය නොතකා ඔහු බර්ග්මාන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙව්වේය. ඔහු මේ ගැන අශෝක හඳගමගේ ‘අක්ෂරය’ වාරණයේදීත් පෙනී සිටියේය. සත්‍යජිත්රායි, ආන්ද්‍රේ, අකර කුරසෝවා, ජෝන් ෂෝඞ් අයින්ස්ටයින්, චාලි චැප්ලින් වැනි විශිෂ්ඨයින් ඔහු අපට ගෙනහැර පෑවේ ඉතාමත් සමීප ඇසුරක සිටින මිතුරන් ගැන කියන්නාක් මෙනි. ඔවුන්ගේ සිනමාපටවල විශේෂත්වය පමණක් නොව ඔහු ඔවුන්ගේ දෙබස් පවා වරෙක කටපාඩමින් කියන්නේ සිනමාව තමන්ගේ ජීවිතයේ හද ගැස්ම කරගත් නියාවෙනි. මේ නිසාම ඔහු මෙරට තරුණ සිනමා කරුවන් හඳුන්වා දීමට වෙර දැරුවේ විටෙක තමන් වෙත ආනයනික නීති සංග්‍රහයේ චෝදනා හිස අද්දර තබා ගනිමිනි.
එදා ඔහු කළ එම සත්කාරය නිසා, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, සුදත් රෝහණ, අනුර ජයසිංහ, ඉනෝකා සත්‍යාංගණී, සත්‍යජිත් මා ඉටිපේ, ලින්ටන් සේමගේ, සුදත් දේවප්‍රිය ආරියරත්න විතානගේ හා විමුක්ති ජයසුනදර වැනි අද දවසේ සිනමා වියමන්කරුවන් සේ අප අතර වෙති. එහෙත් එදා තිස්ස කළ මෙහෙය ඔහුගේ විකාර යැයි කියූ හා සිතුවන්ට එදා තමන් තිස්ස අබේසේකර යනු කවරෙක්දැයි තේරුම් ගත්තේ නම් වත්මන් සිනමාව හා රූපමාලාංග අදට වඩා තවත් සාකච්ඡා කරන දේවල් ඉතිරි කර ගත්තා විය හැකිය. එහෙත් ශ්‍රී ලාංකික අනන්‍යතාව විදහා පාමින් අදටත් රාජ්‍ය සේවය තුළ වැඩ කරන බොහෝ දෙනකුගේ දෙපයින් ඇද වැට්ටවීමට සිටින පෝතකයින් තම අනන්‍යතාව තවමත් පවත්වාගෙන යති.

තිස්ස එදා අපට කියා දුන්නේ නිර්මාණකරුවකුට හොඳ පරිකල්පනයක් වේද, එය නිරවුල්ද, ඔහු එය අවංකව කැප කරන්නේද, එසේ නම් ඔහුට යහපත් පරිපාලකයෙකුද විය හැකි බවය. එහෙත් යහපත් පරිපාලකයන්ට වැඩ කිරීමට දෙන පරිසරයකට වඩා අදටත් ශ්‍රී ලංකාවේ ඇත්තේ පසුගාමි චින්තනයකින් හෙබි පිරිස්ය. එක්කෝ ඔවුහු වෘත්තීය සමිතිකාරයෝය. නැත්නම් ඔවුහු නූතන සමාජවාදීන්ය. නැත්නම් දේශපාලන සමීපයේ නිලතල හොබවන කොන්ද පණ නැති බැලයන්ය. මොවුන් නිසා වැඩක් කළ හැකි මිනිසකුට වැඩක් කරන්නට ඉඩක් නොලද අවස්ථා තිස්සටද රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සේම, රූපවාහිනි පුහුණු ආයතනයේදීද ඇති විය.

එහෙත් තිස්ස මේ සියල්ල ඉවසා තමන්නේ චාරිකාව හැකි ලෙස ගියේය. වාහනයක් නොමැතිව තැන තැන පයින් යාමට වුවද පසුබට නොවන්නාක් සේ ඔහු ලද වපසරියෙන් සිය යුතුකම් ඉටු කළේය. ඒ ඔහු ද්විභාෂා උගතකු සේම මනා කියවීමකින් ලද සංයමය විය හැකිය. එලෙසින්ම ඔහු ලබාගත් පන්නරය තවත් ඔපවත් වූයේ ඔහුගේ දේශපාලන කියවීම නිසා විය හැකිය. එදා ලංකා සම සමාජ පක්ෂයේ නිත්‍ය සාමාජිකයකු වූ ඔහු එහිදී වඩාත් පෙරට ආවේ ලංකා සම සම සමාජ පක්ෂය මෙරට සමාජයන් දුරස්ථ වීම අරඹද්දීය. එයට ඔහු එම පක්ෂයෙන් මෙන්ම සිය පරිචයෙන්ද ලද ශික්ෂණය විය හැකිය. තිස්ස ලද එම පන්නරය හා විනය ඔහුගේ නිර්මාණ මෙහෙයුමේද එලෙසින්ම පවත්වාගෙන ගිය බව ඔහුගේ පාත්‍ර වර්ගයා නිරතුරුව සඳහන් කිරීමෙන් තහවුරු වෙයි. ප්‍රාසාංගික කලාව කෙරෙහි තිස්සගේ තිබූ නොනිමි ආලය නිසා ඔහු බොහෝ දුඛ්‍යදායක වූ අවස්ථා එමටය. කායිකව හා භෞතිකව ඔහු අහිමි කර ගත් දෑ බොහෝය. එදා ඔහු සිනමාව දෙවන කියවීම කරගෙන තම ලේඛනය දිගින් දිගිටම කරගෙන ගියේ නම් ඔහු මෙරටින් බිහි වූ ජාත්‍යන්තරයට ගිය ඔන්ඩච්චි දෙවැන්නා කරනු නිසැකය. එයට ඔහුගේ ‘Bringing Tony Home’ හොඳම සාක්ෂිකරුවාය. එදා 1996 ග්‍රේෂන් සම්මානයෙන් පිදුම් ලැබුවේ එය සනාථ කිරීමට මෙනි. ඔහු එදා සිට තමන් අතැඹුලක් කොටගත් ඉංග්‍රීසි සාහිත්‍ය සිය නිර්මාණ ලේඛන කලාව ගත්තේ නම් අද ඔහු ජාත්‍යන්තර නම් රැන්දු ලේඛකයෙකි. එමෙන්ම ඔහු ගතකළ භෞතික ජීවිතයට වඩා සැපවත් ජීවිතයක හිමිකරුවෙකි.

ජීවිත්ව සිටියදී වුවද ඔහු ඇගයුමට පත් නොවීම, ඔහු වටහා නොගැනීම අපගේ ඇති දුප්පත් කියවීම පෙන්නුම් කරන්නකි. එය එසේ නොවන්නට ඔහුගෙන් බිහිවන නිර්මාණ සේම, නිර්මාණ රස විඳින අයගේත් ගුණාත්මකත්වය සේම ප්‍රමාණාත්මයද මෙයට වඩා පොහොසත් වෙනු ඇත. ජීවත්ව සිටයදී ගැඹුරින් නොකියවූ ඔහු අද දවසට හෝ යමෙකු කියවන්නට මුල පුරන්නේ නම් එය වත්මන් සිනමාවට, සාහිත්‍යට, රූපමාලා ක්ෂේත්‍රයට, ලේඛනයට, භාෂණයට මෙන්ම නරා වළක අද ඕජස් ගඳ හමන දේශපාලන මඩ වගුරුවටද උත්තම සේයාවක් වනු ඇත.

එයට කදිම සාධකය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්, පෙන්වා දෙයි. ‘විශිෂ්ඨතම චිත්‍රපට දහය අතරින් පළමුවැන්න මගේ ‘නිධානය’ දෙවැන්න මගේ ‘ගම්පෙරළි’ටත් හිමි වුණා. තුන්වැන්න ලෙස නම් කෙරුණු තිස්සගේ ‘විරාගය’ යි. මේ චිත්‍රපට ගැන කතා කළොත් තිස්ස නිධානයේ තිර රචනය ලිව්වා. ගම්පෙරලියේ දෙබස් ලීවා. විරාගය අධ්‍යක්ෂණය කළා. මා නිධානය හා ගමපෙරළිය අධ්‍යක්ෂණය කළාට විරාගයට මගේ දායකත්වය ලැබුණේ නැහැ. එහෙම බැලුවොත් හොඳම චිත්‍රපට තුනටම තිස්සට සම්බන්ධ වෙන්න ලැබුණා. මා සම්බන්ධ වුණේ එයින් දෙකකට විතරයි. තිස්ස අබේසේකර කියන සිනමාවේදියා මොන තරම් වටිනා කෙනෙක් ද කියන්න ඒකමත් ඇතිනේ.’
සිංහල සිනමාවේ මහා පුරුෂයා වූ ලෙස්ටර් එසේ කීවේ කොතරම් නිහතමානීවද? ඒ අනුව තිස්ස එදාට වඩා හැදෑරිය යුතු යුගය අද විය හැකිය. ඒ සඳහා ඔහු දරුවන් සේ අත දුන් සිනමාවේදයේ දඟකාරකම් කරන පිරිසක් අපට සිටිති. අවම වශයෙන් තිස්සගේ කියවීම කළ නොහැකි නම් තිස්ස අබේසේකර නම් වූ සංස්කෘතිය මිනිස් ප්‍රපංචය හෝ කියවීමට අප උත්සුක විය යුතුය. ඔහු පිළිබඳ බොහෝ දෙනෙක් කියන්නේ ඔහුගේ ජනප්‍රිය තිර නාටක රචනා ගැනය. එහෙත් ඔහු මෙරට දේශපාලනය හා සංස්කෘති පුද්ගල චරිත පිළිබඳව කල සැමරුම් දේශන වල අන්තර්ගතය සේම දේශපාලනික හරයද මෙම සමාජයට ඉතා වැදගත්ය. අප අද පෙරටුගාමී යැයි කියා කරන බොහෝ දේ තුළ සැගවී ඇත්තේ නොමේරු ආදීවාසීන්ගේ මත ප්‍රකාශනයයි. එය තුළ එහෙන්පිටින්ම බලය ස්ථානගත කරුනු පෙනේ. එහෙත් තිස්ස සෑ තන්හිම විසඳ කළේ බලය නොව දැනුම බෙදා හැරීමයි. එහිදී ඔහු සිය හැකියාව නිර්ලෝභීව බෙදා දුන්නේය. එයින් ‘අද දවස’ අලෝකමත් කළේය. අද අප කළ යුතුව ඇත්තේ එය ප්‍රභාෂ්වර කිරීමයි. ඔහු කියවීමේදී ඔහු මෙරට සිනමාව හා රූපමාලාව පමණක් නොව සංගීතය පිළිබඳවද දැරුවේ ව්‍යක්ත හා යෝග්‍ය පෙරටුගාමි චින්තනයකි. මේ රටේ භාවිත කරන සංගීතය උත්තර භාරතීය පමණක් නොව බටහිර සංගීතයද ඇසුරු කරමින් බිහිකර ගත යුතු නව සංගීතයකැයි ඔහු එදා කීයේ සුනිල් ශාන්තයන්ගේ මෙහෙවර අගය කරමිනි.

එබැවින් ශුද්ධ වූ වාම දේශපාලනයෙන් ශික්‍ෂිත වූ ඔහුගේ පන්ති පන්නරය හා ද්විභාෂාවන්ගෙන් පොහොසත්ව පිරීගිය ඔහුගේ පරිකල්පනය විසින් මෙහෙය වූ නිර්මාණ සංහිදියාව අදට වඩාත් සාකච්ඡාවට හා ඇසුරට ගත යුතුය. එසේ කිරීමෙන් තිස්ස අබේසේකරයන් හරහා අපට අපවම කියවිය හැකි වනු ඇත. එසේ වුවහොත් ඔහු ‘පුරන් අප්පු’ චිත්‍රපටයේ නිරූපණය කළ භික්ෂු චරිතයේ ද්ව්තාර්ථය වත්මන් කටහඬවල්වල සිතුම් වල ආත්මීය ගුණය වෙනු ඇත. එය එසේ නොවන්නට අද දවසේ අප ආචාර්ය තිස්ස අබේසේකරයන් ගැන කතා නොකරනවා කියන්නේ අපිම අපගේ මුඛවාඩම බැඳ ගැනීමයි.