සිංහල අකුරු පුරාණය විෂයයික ප්‍ර‍යත්නයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය
මහාචාර්ය සඳගෝමී කෝපරහේවා

එන්. ලංකා මාගම්මන

 

සිංහල අකුරු පුරාණය සම්පාදනය කිරීමේ මූලික අරමුණ මොකක්ද?

අපේ තාත්තගේ අත් අකුරු ඒ තරම් ලස්සන නැහැ. මට තාත්තා අත්අකුරු ලස්සනට ලියන්න කියලා කවදාවත් කියලත් නැහැ. හැබැයි මගේ සිංහල අත්අකුරු ලස්සනට ලියන්න මා හැමවිටම උත්සාහ ගත්තා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලයේ සිංහල භාෂාව ඉගැන්වූ ගුරුවරයා වූයේ අරිසෙන් අහුබුදු මහතායි. එතුමාගේ අත් අකුරු පුදුම විදිහට ලස්සනයි. ඔය මතකයන් සමග මගේ ලොකු මාමා මහාචාර්ය සිරිමල් රණවැල්ල ගැනත් සඳහන් කරන්න ඕනේ. ඔහු සෙල් ලිපිවල අකුරු කියවන්න පුළුවන් කෙනෙක්. ඔහුගේ ගෙදර සෙල් ලිපිවලින් පිටපත් කරන ලද අකුරු නිතරම මට දැකගන්න ලැබුණා. ඒ වගේම විවිධ ලේඛකයන්ගේ අත් අකුරු පිළිබඳ මට මතකයක් තිබුණා. ඉන් අනතුරුව මගේ පාසල් අධ්‍යයනය නතර කළ පසු විජය පුවත්පත් සමාගමේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ උපකර්තෘවරයෙක් හැටියට සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ මුද්‍රණ කාර්යය පරිගණකය සමග එකතුවෙන කාලේ. පුවත්පතේ සිරස්තලයක් නිර්මාණය කරද්දී පොයින්ට් සයිස් එක පිළිබඳ සැලකිලිමත් වෙන්න සිදුවුණා. 90 දශකයේ සිංහල ෆොන්ට් තිබුණේ නැහැ. මේ අකුරු සමග බැඳි මතකයත් සමග විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය කටයුතුවලදී ඒ පිළිබඳ තව තවත් උනන්දුවක් ඇතිකරවන තත්ත්වයක් ඇතිවුණා. විශ්වවිද්‍යාලයේදී සෙල් ලිපි පිළිබඳ අකුරු අපට ඉගැන්නුවේ ආචාර්ය ඒ.බී. දිසානායක මහතාය. එතුමා ජේ.බී. දිසානායක මහතාගේ සහෝදරයෙක් වෙනවා. ඒ වගේම පසුගිය කාලේ විශේෂයෙන්ම අකුරුත් සමග තිබුණු උනන්දුව තවත් වැඩි වුණේ සිංහල අක්ෂර වින්‍යාසය පිළිබඳ මා වැඩි සැලකිල්ලකින් කටයුතු කළ නිසයි. අකුරුවල ඉතිහාසය හොයන එක පුරාක්ෂර විද්‍යාඥයන්ගේ කාර්යය ඉක්මවා ගිය වැඩක් ලෙසයි මා දකින්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් අකුරු බැඳි තාක්ෂණය. වර්තමානය වනවිට ඩිජිටල් තාක්ෂණයත් සමග අකුරු බද්ධ වෙනකොට බොහෝ වෙනස්කම් ඇතිවී තිබෙනවා. ශාස්ත්‍රානුකූලව මෙම විෂය හදාරණ පිරිසගේ අවශ්‍යතාවත් සලකා සිංහල අකුරු පුරාණය මා අතින් ලියවුණා.

සිංහල අකුරුවල ඉතිහාසය පිරික්සීමේදී සෙල් ලිපිවලින් සිංහල අක්ෂර විකාශනය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් එළිවෙනවා නේද?

අපට දැනට තියෙන සාක්ෂිවලට අනුව ක්‍රි. පූර්ව 3 වන සියවසේ සිට අඛණ්ඩවම සිංහල අකුරු පිළිබඳ ඉතිහාසය ගෙනහැර දක්වන්න පුළුවන්. ඒ මුල්ම අවධියේදී අපට හමුවන්නේ ‘බ්‍රාහ්මී ලිපි’ නැත්නම් අක්ෂර ලියවුණු අවධියයි. මෑත කාලයේ කරන ලද විවිධ පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා ක්‍රි.පූ. 3 සියවසටත් පෙර මෙම ‘බ්‍රාහ්මී අක්ෂර’ රටේ භාවිත වූ බවට. මුල්ම ලේඛන අපට හමුවන්නේ සෙල් ලිපි වශයෙන්. සෙල් ලිපිවලත් මුල්ම ඒවා ‘බ්‍රාහ්මී ලිපි’ ලෙස තමයි අපට හමුවන්නේ. මෙම කාලය සිංහල අක්ෂර පුරාණයේ බ්‍රාහ්මීය යුගය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙය ක්‍රි.පූ. 3 සියවසේ සිට ක්‍රි.පූ. 6, 7 සියවස් දක්වා විහිදෙනවා. බ්‍රාහ්මී අක්ෂර තමයි දකුණු ආසියාවේ විශේෂයෙන්ම ඉන්දියානු අක්ෂර මාලාවට පදනම වුණේ. විශේෂයෙන්ම සිංහල, දෙමළ, හින්දි, බෙංගාලි වැනි භාෂාවලට. මේ අනුව පැරණිම බ්‍රාහ්මී සෙල් ලිපි අපට හමුවන අනුරාධපුරයේ වෙස්සගිරිය, මිහින්තලේ සහ රිටිගල, තෝනිගල, සිතුල්පව්ව ආදී ස්ථාන හා ක්‍රි.පූ. 7, 8 වන සියවස්වල සීගිරිය තුළින් හමුවන සෙල්ලිපිවලින් අපට වටිනා තොරතුරු රැසක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මෙම සෙල්ලිපි, ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි පුවරු ලිපි වශයෙන් අපට දැක ගැනීමට හැකියාව තියෙනවා. මෙම සෙල්ලිපි කියවීමට මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය සිරිමල් රණවැල්ල වගේ ඉතිහාසඥයන් විශාල වශයෙන් දායක වී තිබෙනවා. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ සීගිරි කුරුටු ගී පොත මා විමර්ශනය කරන විට පෙනී ගිය දෙයක් වන්නේ අකුරුවල රූපික හැඩය වෙනස්කම්වලට භාජනය වී තිබෙන බවයි. අකුරුවල හැඩය කාලයත් සමග වෙනස් වෙනවා. සීගිරි කුරුටු ගී පොතේ එක එක අකුරුවල විවිධ රූප දැකිය හැකි වෙනවා. උදාහරණයක් ලෙස ‘අ’ රූප රාශියක් සීගිරි කුරුටු ගීවල තියෙනවා. එසේ එකම අකුරේ විවිධ රූප ඇතිවන්නේ වෙනත් වෙනත් පළාත්වල භාවිත කරන ලද ක්‍රමවල වෙනස නිසා වෙන්න පුළුවන්. එසේම මේවා එකම යුගයකට අයිති අකුරු නොවෙන්න පුළුවන්. අත් අකුරු ලිවීමේදී යම්කිසි අකුරකට ස්වාධීන බවක් තියෙනවා. එකම විධියටම ලියන්න ඕනේ කියලා නීතියක් ඇත්තේ නැහැ. ඒ වගේම මේ සෙල් ලිපිවලට සමහර අකුරු අලුතෙන් එකතුවීක් දැකිය හැකිවෙනවා. විශේෂයෙන්ම ‘ඈ’, ‘ඈ’ යන අක්ෂර දැකගැනීමට ලැබෙන්නේ ක්‍රි.පූ. 8 වන සියවසෙන් පසුවයි. සෙල් ලිපිවල තිබෙන ‘ගලේ කෙටූ අකුරු’ මිනිසුන්ගේ විශ්වාසය දිනා ගත්තා. කිසිකලෙක ඒ අකුරු වෙනස්වන්නේ නැහැ කියන විශ්වාසය මිනිසුන්ගේ ජන ජීවිතයට එකතු වී තිබුණා. මේ අනුව අඛණ්ඩ ඉතිහාසය පිළිබඳ හැදෑරීමක් සඳහා මේ සෙල්ලිපිවල වැදගත්කම කියා නිම කිරීමට පුළුවන්කමක් ඇත්තේ නැහැ.

සිංහල මුද්‍රණ අක්ෂරවල ප්‍රභවය, සංවර්ධනය හා විකාශනය පිළිබඳ ඔබගේ මතය කෙබඳුද?

අකුරුවලට ස්ථාවරත්වයක් ලැබෙන්නේ මුද්‍රණ ශිල්පයත් සමගයි. මුද්‍රණ ශිල්පය 18 වන සියවසේ ලන්දේසීන් විසින් ඇරඹීමත් සමග මුද්‍රණ අක්ෂරවල ආරම්භක අවස්ථාවේදී අපට දකින්නට ලැබෙන්නේ පෙර තිබූ පුස්කොළ අකුරු හැඩයමයි. ඒ වගේම මුල්ම මුද්‍රණ අක්ෂරවල පද බෙදීමක් දක්නට ලැබුණේ නැහැ. විශේෂයෙන්ම ලන්දේසීන් විසින් පළ කරන ලද දැන්වීම් හා මුල් කාලයේ පළ කරන ලද පොත්පත් බැලීමේදී පැහැදිලිව මෙම ලක්ෂණ දකින්නට තිබෙනවා. ඒ වගේම මෙම දැන්වීම්වල හා පොත්පත්වල බැඳි අකුරු දැකීමට පුළුවන් වෙනවා. සමහර වාක්‍ය අවසානයේ කුණ්ඩලි ලකුණ දමා තිබෙනවා. පුස්කොළ පොතින් මුද්‍රණ ශිල්පයට පැමිණෙන විට එයට ගැළපෙන ආකාරයෙන් සිංහල අකුරු සකස් නොවීම මේ අනුව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඉන් අනතුරුව 19 වන ශතවර්ෂයේදී සමහර මුද්‍රණ අක්ෂර ලංකාවේ නොතිබීම හේතුවෙන් ඉන්දියාවෙන් පවා ගෙන්වා ගන්නා ලද අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම බයිබලය පරිවර්තනය කරන අවස්ථාවේදී මුද්‍රණ ශිල්පීන් මුහුණ දුන් ගැටලුවක් වන්නේ සුදුසු අකුරු ලංකාවේ නොමැතිවීම. මේ නිසාම බයිබල් පරිවර්තනයේදී ලංකාවේ ක්‍රිස්තියානි මිෂනාරීන් තුළින් විශාල සේවාවක් මුද්‍රණ ශිල්පයට සිදුවූ බව මෙමගින් පැහැදිලි වෙනවා. අනික් කාරණය වන්නේ පුස්කොළ පොත් මුද්‍රණද්වාරයෙන් පළකිරීම සඳහා දැක්වූ මැදහත්වීම. උදාහරණයක් ලෙස අමාවතුර, බුත්සරණ වැනි කෘති මුද්‍රණයට අවශ්‍ය අකුරු සකස් කිරීම 19 ශත වර්ෂයේ අග භාගයේදී සිදුවුණා. 20 වන ශතවර්ෂයේ මුල් කාලයේ ලංකාවේ බොහෝ අංශවලින් මුද්‍රණාල ඇති වෙනවා. දිනපතා ප්‍රවෘත්ති පත්‍රය මුද්‍රණය කරන යන්ත්‍රාලය ඇති කරන ලද සී. දොන් බස්තියන් මහතා මුද්‍රණ ශිල්පය පිළිබඳ මනා පරිචයක් ලබා සිටි කර්තෘවරයෙක්. එතුමා එවකට රජයේ මුද්‍රණාලයේ අකුරු අමුණන්නකු ලෙස සේවය කිරීම මෙයට මූලික වුණා. ලංකාවේ මුල්කාලීනව පුවත්පත් ආරම්භ කරන ලද බෞද්ධ භික්ෂූන් හා ක්‍රිස්තියානි මිෂනාරීන්ට අමතරව සී. දොන්, බස්තියන් වැනි අයත් සිටියා. දහනම වන සියවස අගභාගයේදී පළවූ ලක්මිණි පහන සරසවි සඳරැස හා විසිවන සියවසේ මුල් කාලයේ බිහිවූ දිනමිණ වැනි පුවත්පත් නිසා මුද්‍රණය සඳහා විවිධ හැඩයේ අකුරු නිර්මාණය කරන්න වුණා. මුද්‍රණ අක්ෂර තමයි සිංහල අකුරුවල හැඩයට එක පැත්තකින් ස්ථාවරත්වයක් ලබාදෙන්නේ. සිංහල අකුරුවල යම් යම් වෙනස්කම් ඇති කිරීමට පවා මුද්‍රණ අක්ෂර බලපෑම් කර තිබෙනවා. සිංහල අකුරු පුරාණය කෘතිය තුළ මා පැහැදිලි කරන ලද තවත් කාරණයක් වන්නේ අකුරු හා බැඳි තාක්ෂණය. මෙය ඉතා වැදගත්. සිංහල අකුරුත් සමග තාක්ෂණය බැඳී තිබෙනවා. උදාහරණ ලෙස ගල්කටුව, පන්හිඳ, උල්කඩුව, ගල්කූර, පැන්සලය, මුද්‍රණ යන්ත්‍රය හා බැඳුණු රැකියාවන් පවා බිහිවුණා. අකුරු ඇමිණීම වැනි රැකියා මුල් කාලයේ මුද්‍රණ යාන්ත්‍රණය හා බැඳී පැවතුණා. වර්තමානයේ යතුරුලියනය, පරිගණකයට ඩිජිටල් තාක්ෂණයට එනකම්ම මුද්‍රණ අක්ෂර කරන ලද බලපෑම් ප්‍රබල ලෙස දායක වී තිබෙනවා. මුල්කාලිනව ‘මොනෝ කාස්ටින්’ යන්ත්‍රය මෙරටට ගෙන්වා සිංහල අච්චු අකුරු නිපදවීමට පුරෝගාමී වූයේ එන්.ජේ. කුරේ අප්පුහාමි මහතායි. විසිවන සියවස මුල ජීවත් වූ මුල් පෙළේ ලේඛකයන් වන මාර්ටින් වික්‍රමසිංහ කුමාරතුංග මුනිදාස වැනි අය හා පියදාස සිරිසේන වැනි මුල්කාලීන අය බැලුවත් ඒ සැමදෙනාම මුද්‍රණ ශිල්පීන් ලෙසද කටයුතු කර තිබෙනවා. කුමාරතුංග මුනිදාස පහන මුද්‍රණාලයෙන්ද මාර්ටින් වික්‍රමසිංහ මහතා සතුව ගල්කිස්සේ ‘මවුන්ට් යන්ත්‍රාලයද සතුවුණා. මුද්‍රණ ශිල්පයත් සිංහල අකුරුත් අතර පැවති සම්බන්ධතාව පිළිබඳ සිංහල අකුරු පුරාණය තුළ මා වෙනම පරිච්ඡේදයකින් විස්තර කර තිබෙනවා. මුද්‍රණ අක්ෂර විද්‍යාව සඳහා ‘Typogaphy’ යන පදයත් භාවිතයට එක්වුණා.

සිංහල අකුරුවල පරිණාමය සිදුවී ඇත්තේ මොන ආකාරයටද?

සිංහල හෝඩිය පිළිබඳ අප මුලින්ම දැනුවත් වෙන්නේ සිදත් සඟරාවෙන්. සිදත් සඟරාවේ අකුරු 30ක හෝඩියක් පිළිබඳ සඳහන් වෙනවා. සිදත් සඟරාව දහතුන්වන සියවසේ රචනා වූ ව්‍යාකරණ ග්‍රන්ථයක්. මේ අකුරු 30ක හෝඩියට සමහර අකුරු ඇතුළත් කළේ නැහැ. උදාහරණයක් ලෙස ඇ, ඈ කියන අකුරු 2 හෝඩියට තිබුණේ නැහැ. ව්‍යවහාරයේ ශබ්දය භාවිත කරනු ලැබුවා. ඒ වගේම ‘සඤ්ඤක ඟ’ ව්‍යවහාරයේ තිබුණාට අකුරු 30 හෝඩියට එකතු කරලා තිබුණේ නැහැ.
පණකුරු පසෙක් එද – ලුහුගුරු බෙයින් දසවේ

ගතකුරු ද වේ විස්සෙත් – වහරට යුහු සියබස්

ඒ අනුව පණකුරු 10 හා ගතකුරු 20 සහිතව සිදත් සඟරාවේ හෝඩිය සකස් වී තිබෙනවා. එසේම අමිශ්‍ර සිංහල හෝඩිය යනු ‘අමිශ්‍ර සිංහලය’ නමින් දැක්වෙන භාෂා ව්‍යවහාරය දැක්වීමට යොදා ගන්නා අක්ෂර මාලාවයි. මිශ්‍ර සිංහලය යනු පාලි හා සංස්කෘත පද ඇතුළත් සිංහලයයි. අමිශ්‍ර සිංහලය යනු පාලි හා සංස්කෘත පද රහිත සිංහල ව්‍යවහාරයයි. අමිශ්‍ර සිංහලය හැඳින්වීම සඳහා ‘ශුද්ධ සිංහලය’, ‘නුමුසු සිංහලය’, ‘හුදු හෙළබස’ යන යෙදුම් භාවිත වන නිසා මේ හෝඩිය ‘ශුද්ධ සිංහල හෝඩිය’ නමින් ද හැඳින්වෙනවා. අමිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර සංඛ්‍යාව 32ක්. එසේම පන්සල් හෝඩිය යනු පැරණි සිංහලයන් පන්සලට ගොස් අකුරු ඉගෙනීම සඳහා යොදා ගත් පන්සල් පොත් අතර මුල්ම පොත වන ‘හෝඩිය’ නමැති පොතේ ඇතුළත් වන අක්ෂර මාාලවයි. මෙහි අක්ෂර 50කින් සමන්විත වෙනවා. මීට අමතරව මහනුවර යුගයේ අකුරු ඉගෙනීම සඳහා යොදා ගත් පන්සල් පොත් අතරට ‘වදන් කවි පොත’ නමැති අක්ෂර මාලාව වදන් කවි හෝඩිය ලෙස හඳුන්වනු ලබනවා. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයකු වූ අත්තරගම රාජගුරු බණ්ඩාර නම් පඬිවරයා විසින් වදන් කවි හෝඩිය සකස් කර ඇති බව සඳහන් වෙනවා. ඔහු මෙහි අක්ෂර මාලාව ඉදිරිපත් කොට ඇත්තේ කවියෙන්. මෙම හෝඩියේත් අක්ෂර සංඛ්‍යාව 50ක් වෙනවා. ඉන් අනතුරුව ‘මිශ්‍ර සිංහල හෝඩිය පිළිබඳ අපට අවධානය යොමු කරන්න පුළුවන්. මිශ්‍ර සිංහල හෝඩිය යනු සිංහල ව්‍යවහාරයට අයත් පද ලියා දැක්වීමට අවශ්‍ය අක්ෂර ඇතුළත් අක්ෂර මාලාවයි. පාලි හා සංස්කෘත භාෂාවලින් සිංහලයට පැමිණි තත්සම පද ලියා දැක්වීමට අමිශ්‍ර සිංහල හෝඩිය ප්‍රමාණවත් නොවූ අතර මිශ්‍ර සිංහල හෝඩිය ඒ සඳහා යොදා ගනු ලබනවා. මෙම හෝඩියේ ඇතුළත් අක්ෂර සංඛ්‍යාව 54ක්. ඉන් අනතුරුව 1989දී මහරගම ජාතික අධ්‍යාපන ආයතනය විසින් පළ කරන ලද ‘සිංහල ලේඛන රීතිය’ යන ග්‍රන්ථයේ මේ අක්ෂර මාලාව ඇතුළත් වෙනවා. මෙය අකුරු 54කින් යුක්ත වූ මිශ්‍ර සිංහල හෝඩියේ සංවර්ධන අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්මත කරන ලද මේ හෝඩියේ අක්ෂර සංඛ්‍යාව 60ක්. මෙයිනුත් සමහර අක්ෂර භාවිතයේ ඇත්තේ නැහැ. 20 වන සියවස තුළදී සිංහල හෝඩිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හෝඩියට අකුරු අලුතින් ඇතුළත් කිරීමට සේ ම ඉවත් කිරීම සඳහා යෝජනා ලැබිලා තියෙනවා. උදාහරණයක් ලෙස සිංහල යතුරු ලියනය පැමිණි පසු හෝඩියේ අකුරු සමහරක් කප්පාදු කිරීමට යෝජනා පැමිණියා. මේ සියල්ලම අතරතුර අද වනවිට සම්මත හෝඩියක් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවා.

සිංහල අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් පොදුවේ පවත්නා සම්මතය නොසලකා හැර ලේඛනයේ යෙදීමේ ප්‍රවණතාද අපට දැකගත හැකිවුණා. උදාහරණ ලෙස 1956 සිරි ගුනසිංහයන්ගේ මස්, ලේ නැති ඇට පද්‍ය සංග්‍රහයේ න-ණ ල-ළ භේදය නොතකා හැරියා. එසේම අජිත් තිලකසේනයන්ද මේ ආකාරයෙන්ම කටයුතු කර තිබෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

සිංහල අක්ෂර මාලාවෙන් අකුරු ඉවත් කිරීමට ගෙන ආ යෝජනාවකදී මුලින්ම ‘ණ’ හා ‘ළ’ ඉවත් කිරීමට ගෙන ආ යෝජනාව කැපී පේනවා. එහිදී සිරි ගුනසිංහ මහතා වෙනස් මතයක තමයි සිටියේ. එතුමා 1956දී මස් ලේ නැති ඇට පද්‍ය සංග්‍රහය ඉදිරිපත් කරමින් න – ණ, ල – ළ භේදය හිතාමතාම නොසලකා හැරියා. එතුමා තමාගේ නම පවා ලිවීමට භාවිත කළේ දන්තජ ‘න’ අකුර. එතුමා කිව්වේ හෝඩියෙන් ඉවත් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. අප ව්‍යවහාරයෙන් මෙය බැහැර කරමු කියන යෝජනාවයි. එතකොට කාලයත් සමග මෙය හෝඩියෙනුත් කොහොමත් ඉවත් වෙනවනේ. හැබැයි එතුමා මේ දේවල් කළේ දැනගෙන. එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ආචාර්යවරයා. එතුමා ඉන් අනතුරුව ලියන ලද ‘හෙවනැල්ල’ කෘතියේදිත් ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කළා. කොළඹ විශ්වවිද්‍යාලයේත් ආචාර්ය පියසීලි විජේගුනසිංහ මහත්මියත් මේ ආකාරයෙන්ම ‘න-ණ, ල-ළ’ භේදය නොතකා කටයුතු කරනු ලැබුවා. 60 දශකයේ සිටම අජිත් තිලකසේන මහතාද මෙය ක්‍රියාත්මක කරනු ලැබුවා. යම්කිසි ලේඛන ක්‍රමයක සම්මතයක් ඒ භාෂාවේ ව්‍යවහාරයේ තියෙන අයිතිය තියෙන්නේ එය භාවිත කරන අයටයි. ආචාර්ය සිරි ගුනසිංහ වැනි කීපදෙනකු එය භාවිත කළාට බහුතරයකගේ ව්‍යවහාරය බවට එය පත්වුණේ නැහැ. එහෙත් භාෂාවේ සිදුවූ වෙනස්කම් බොහෝවිට බහුතරයක් වෙත ව්‍යවහාරයට එකතුවීම නිසා ඒ වෙනස්කම් සිදුවුණා. කිසිදු පණ්ඩිතයකුට ව්‍යවහාර භාෂාවේ සම්මතය ආරක්ෂා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අක්ෂර වින්‍යාසයේ සම්මතයත් වෙනස් වෙලා තියෙනවා. ‘තොරණ’ කියන එක අද ‘තොරන්’ කියලත් ලියනවා. උකුළු, උකුල් කියලත් ලියනවා. මොන සම්මතය තිබුණත් භාවිත කරන පිරිස අනුව මෙය වෙනස්වීමට ඉඩ තියෙනවා. භාෂාවේ සම්මතය භාවිත කරන පිරිස අනුවයි ආරක්ෂා වෙන්නේ. වැඩි දෙනකු විසින් වෙනසක් අනුගමනය කරනවා නම් එය සම්මතය බවට පත්වෙන්න පුළුවන්. මෙය ගුරුකුල ප්‍රශ්නයක් ලෙසත් සමාජගත වෙනවා. සම්මත අධ්‍යාපනයක තවමත් අක්ෂර වින්‍යාසය ආරක්ෂා කරනවා. ආචාර්ය සිරි ගුනසිංහයන්ගේ හා අජිත් තිලකසේනයන්ගේ කෘති සම්මත අක්ෂර වින්‍යාසයෙන් බැහැරවීම හේතු කොට ගෙන සම්මත පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විෂය නිර්දේශයන්ට අඩංගු කර නැහැ. බොහෝ දෙනෙක් සම්මත අධ්‍යාපනය සඳහා ප්‍රමිතිගත සම්මතය ආරක්ෂා කරන්න බැඳි ඉන්නවා.

සිංහල භාෂාවේ ස්වර ශබ්ද නිරූපණය කිරීම සඳහා යෙදෙන පිලි නම් කිරීමේදී අදටත් පොදු සම්මතයක් නැහැ නේද?

පිලි එකතු කරනු ලබන්නේ අදාළ ග්‍රාතාක්ෂරයට ඉහළින්, පහළින් ඉදිරියෙන් හෝ පිටුපසින්. 1972දී රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආරිය වික්‍රම මහතා සිංහල මුද්‍රණ කටයුතු කඩිනම් කිරීමේ අදහසින් පිලි හා හල් කිරීම් ආදියේ පවත්නා අක්‍රමවත්භාවය නැති කොට සමරූපතාවක් ඇති කිරීමේ යෝජනාවක් ගෙන ආවා. ඔහුගේ යෝජනාව වූයේ සියලුම අකුරු සඳහා එකම වර්ගයේ හල් කිරීමක් යෙදීම, සියලුම අකුරු සඳහා එකම වර්ගයේ පාපිල්ලක් යෙදීමයි. පිලි සමරූපීකරණ යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා 1978දී පමණ අජිත් තිලකසේන මහතා උනන්දු වුණා. පිලි සමරූපීකරණය යටතේ ඔහු සිදුකළ වෙනස්කම් මේ ආකාරයෙන් දැක්වීමට හැකිවෙනවා. හල් කිරීමේදී පොඩි අකුරු පමණක් භාවිතයට ගැනීම හා ඉ, උ ශබ්දවල දීර්ඝය හැඟවීම සඳහා එම අකුරුවලට පොඩි ලකුණදීම. එසේම පාපිල්ල යෙදීමේදී කොන් පාපිල්ල පමණක් භාවිතයට ගැනීම. පිලි කියන යෙදීමට තියෙන සාම්ප්‍රදායික නිර්වචනය පුළුල් කිරීම සිංහල අකුරු පුරාණය කෘතිය හරහා සිදුකරලා තියෙනවා.

මෙහිදී ස්වර පිලි මෙන්ම ව්‍යංජන පිලි මෙන්ම හල් පිලි, හඳුන්වා දී තිබෙනවා. මෙයටත් බහුතර අනුමැතියක් ලැබිලා නැහැ. මෙයත් කෘතිම ආකාරයට කීපදෙනෙක් විසින් කරනු ලබනවා.