තුන් පිම්ම දිනුම් ක්‍රීඩාව එහෙම්මයි

ඒ. වික්‍රමසූරිය

පාස්කු ප්‍රහාරයත් සමග ක්‍රීඩාව ගැන කතාබහ සෙසු සියලු කතාබහ මෙන් විතැන් වී ඇත. ක්‍රීඩා ඇමතිවරයා පියා දිනයක් දෙනතුරු ක්‍රීඩාවට අත නොතබනු ස්ථිරය. බෝම්බ ප්‍රශ්න සහ ඒ සමග ඇතිවූ බිය ලේසියෙන් පහව නොයන බව සැබෑය. එහෙත් එසේ කියා සෙසු ක්‍රියාදාමයන් සියල්ල නවතා තැබිය යුතුද?

නැවත දන්වනතුරු පිහිනුම් තරග කල්දැමූ බවට පුවතක් විය. මේ තත්ත්වය බොහෝ ක්‍රීඩාවන්ට පොදුය. එසේ නම් හරියටම රට තුළ ආරක්ෂාව තහවුරු වී ඇතැයි අනුමාන කරන්නේ කෙසේද? එතෙක් ඒ අංශ වසා දමාම තැබිය යුතුද? ක්‍රීඩා අමාත්‍යවරයාට මේ මොහොතේ බොහෝ දේ කළ හැකිය. එනම් ක්‍රීඩාව නව මාවතකට දමා ගැනීමට පුළුල් සාකච්ඡා සහ වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකිය. මේ ඊට කදිම කාලයකි.

අධ්‍යාපනය සහ ක්‍රීඩාව

අප මීට පෙර දයාසිරි ක්‍රීඩා ඇමති කාලයේ කළ ඉල්ලීමක් නම් අධ්‍යාපන ඇමති අකිලව හමුවන ලෙසය. අකිල හමුවන්නැයි කීවේ අන් හේතුවක් නිසා නොව ක්‍රීඩාව පාසල් සහ ජාතික ලෙස බෙදීමේ ගමන යා නොහැකි බැවිනි. ක්‍රීඩාවේ තෝතැන්න පාසලය. එසේ නැතිනම් තවාන පාසලය. ඒ අනුව පාසල සමග ක්‍රීඩා අමාත්‍යාංශය එකට වැඩ නොකරන තාක් කල් ක්‍රීඩාවේ සංවර්ධනය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකිය. දයාසිරි ක්‍රීඩා ඇමතිවරයා ලෙස අකිල හමුවී ප්‍රබල උත්සාහයක් ගත් බවද මෙහිදී කිව යුතුය. එහෙත් අකිලගේ පැත්තෙන් ඊට සාධාරණයක් ඉටු නොවූ බව අපගේ හැඟීමය.

ක්‍රීඩාව පාසල හරහාම ඉදිරියට ආ යුත්තකි. 13, 15, 17, 19 කාණ්ඩවලින් උපරිම ඉදිරියට එන පිරිස් ජාතික තලයට ගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යාංශයට සියලු කැප කිරීම් කළ හැකිය. එහෙත් නිසි වැඩපිළිවෙලක් නැතිකම්න 13න් පහළ ක්‍රීඩකයකු 15න් පහළදී දක්ෂතා රැක ගනීද? ඒ දක්ෂතා රැකගන්නා ක්‍රමයක් ඇත්ද යන්න පැනයකි. 15න් 17ට එන විට ඔහු අඛණ්ඩව ආවේ නම් හොඳ වර්ධනයක් ලබන බව පැහැදිලිය. ඉන්පසු 19 යනු ඔහුගේ ප්‍රධාන කඩ ඉමය. ඒ ඉන් එහාට තවදුරටත් ක්‍රීඩාවේ නියැලෙනවාද යන්න ඒ අනුව තීරණය වන බැවිනි. ක්‍රිකට් ක්‍රීඩකයකු නම් ඉන්පසු ක්ලබ් තරගවලට හෝ යා හැකි වුවත් සෙසු ක්‍රීඩාවල අය පාසලෙන් සමුගැනීමත් සමග ක්‍රීඩාවෙන්ද සමුගත යුතු තත්ත්වයක් නිර්මාණය වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් ක්‍රීඩාව තනිකරම බලා ගැනීමට දීම නිසා මේ අවුල ඇතිවී ඇත. උද්ධච්චකමට කිසිදු අධ්‍යාපන ඇමති කෙනෙක් එය තම අත්අඩංගුවෙන් මුදාලන්නට අකමැතිය. එමෙන්ම පාසල්වල මුල් පුහුණුව ලබාදෙන පුහුණුකරුවා ඇතැම්විට 17, 19 වැනි කාණ්ඩවලදීද නුසුදුසු විය හැකිය. එහෙත් දැනට සිදුවන්නේ 13න් පහළ පුහුණුකරුවාම ජාතික තලයට ගියද ක්‍රීඩකයන්ට අත නොඇරීමය. මේ නිසාද එම ක්‍රීඩකයාගේ දස්කම් පවතිනුයේ එක මට්ටමකය.

අනෙක් අතට එලෙස අපිළිවෙළට හෝ ගොඩ නැගෙන පිරිස රැක ගැනීමට ක්‍රීඩා ඇමති ප්‍රමුඛ බලධාරීන්ට වැඩපිළිවෙළක් නැත. නොබෝදා 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්විය. එහිදී අපට හිමිවූයේ එක් ලෝකඩ පදක්කමක් වුවත් අඩුම තරමේ එහිදී මෙරට වාර්තා හෝ නැවත අලුත් කර තිබුණි. එසේ නම් මේ පිරිස් මේ මොහොතේ මලල ක්‍රීඩාවේ ඇති උපරිමය බව ඔප්පු කොට හමාරය. එසේ නම් මොවුන් සංචිතයකට ඇතුළත් කොට දීමනාවක් ගෙවා නිසි පුහුණුව ලබාදී මීට වඩා දියුණුවීමට වැඩ කිරීම ක්‍රීඩා ඇමති ප්‍රමුඛ අමාත්‍යාංශයේ වැඩ නොවේද?

මලල ක්‍රීඩා සංගමයට ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය පෙන්වා දිය හැකිය. විදෙස් පුහුණුවට යැවිය යුතු නම් ඒ සඳහා මාර්ග විවර කළ හැකිය. නැතහොත් මෙරටට පුහුණුකරුවන් ගෙන්වා වැඩමුළු පවත්වන්නේ නම් ඊට පිළියම් යෙදිය හැකිය. ඒ සියල්ල මලල ක්‍රීඩා සංගමය සතු වුවත් ඊට ප්‍රාග්ධනය යෙදිය යුත්තේ අධීක්ෂණය කළයුත්තේ ක්‍රීඩා බලධාරීන්ය. එසේ නොවී කරබාගෙන සිටියහොත් මේ ක්‍රීඩකයන් කිහිපදෙනා ලබන වසරේදී දැකිය නොහැකි වනු ඇත.

ජාතික මහා ක්‍රීඩා උළෙල

ක්‍රීඩා අමාත්‍යාංශය කරනු ලබන ලොකුම රාජකාරිය වාර්ෂිකව ජාතික මහා ක්‍රීඩා උළෙල නම් බොරුව කිරීමය. එයට විශාල මුදලක් වෙන් කරන අතර ප්‍රතිඵල අන්තිම ප්‍රාථමිකය. මේ වසරේ මතුවන ක්‍රීඩකයන් ලබන වසරේ නැත. මේ අයට දැක්මක් තිබුණා නම් කළ යුතුවන්නේ ජාතික මහා ක්‍රීඩා උළෙලෙන් ජයගෙන ජාතික මට්ටමේ ඉන්නා අය ජාත්‍යන්තර මට්ටමට ගොඩගැනීමය. එය ඉතාම අසීරු කාර්යයකි. එයට ක්‍රීඩකයාත් උපරිම කැප කිරීම් කළ යුතුය. ඊට පරිපාලන ව්‍යුහයෙන් ලැබිය යුතු පෝෂණය, පුහුණුව, තාක්ෂණය, රැකවරණය හැමදේම ලැබිය යුතුය. එහෙත් මෙරට ක්‍රීඩා බලධාරීන් ඒ කිසිවක් නොකර ඒ මොහොතින් සියල්ල අමතක කරති. නොබෝදා ලෝකඩ පදක්කමක් දිනූ ක්‍රීඩිකාව අගයන ක්‍රමයක්වත් ක්‍රීඩා බලධාරීන්ට නැත. ඔවුන් සිතනුයේ ඔලිම්පික්, ආසියානු ශූරයන්, පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරයන් බිහිකිරීමටය. ඒවා ඉබේ සිදුවන්නේ නැත. ඊට ඇමතිවරු මාරු වුවද එක දිගට යන සැලැස්මක් අවැසිය. දැනට නැත්තේද එයය.

තෝරා ගැනීම්

ලෝකය ජයගැනීමට නම් අප වටහාගතයුත්තේ මුලින්ම ඒ සඳහා යාහැකි ක්‍රීඩාය. ඒවා අතරින්ද හොඳම දේ තෝරා ගත යුතුය. මලල ක්‍රීඩාව පැත්තෙන් ගත් කල අපට හැම ඉසව්වක්ම ජයගත් නොහැකිය. විශේෂයෙන්ම කෙටි දුර සහ මැරතන් වැනි ඉසව් අපිට සෑහෙන අපහසුය. ඒ වෙනුවට අපට මීටර් 400, 800, 1500, 3000, 5000 වැනි ඉසව් වර්ධනය කළ හැකිය. ඊට උචිත ක්‍රීඩා කෞෂල්‍යයක් අපට ඇති බව බැලූ බැල්මට පෙනේ. මංජුල කුමර වසර ගණනාවක් උස පැනීමේ මෙරට ශූරයාය. අදටත් එය එසේය. එහෙත් ඔහුට මෙරටින් එහාට පැනිය නොහැකිය. ඇමරිකාවේ පුහුණු වුවද ඔහුට ජාතික ශූරයාවීමෙන් තොර ඉදිරියක් නැතිය. මේ අනුව බලන කල කොතෙක් පුහුණු වුවද ඇතැම් ඉසව් අපට නොගැළපේ. බර ඉසිලීමෙන් යම් යම් වයස් කාණ්ඩ අපට ජයගත හැකිය. ඊට උපරිම කැපවිය යුතුය. කලක් මෙරට මල්ලවපොර ක්‍රීඩාව වර්ධනයක් අත්කර ගත්තද අතදීමක් නැති තැන එය ආපස්සට විසි විය. ක්‍රීඩාව කරන්නට ඕනෑතරම් මුදල් වෙන් කරනු ලැබේ. වර්ෂ අවසානයේ ඒ මුදල් කන්දරාවෙන් අඩක්ම නැවත භාණ්ඩාගාරයට හරවා යැවේ. එසේ නම් ඒ මුදල්වලින් වැඩ කරන ඇමතියකුට කුමක් කළ නොහැකිද?

පිට්ටනි

අදටත් එන එන ඇමති කරනුයේ පිට්ටනි හැදීමය. එහෙත් තාමත් හරිහමන් පිට්ටනියකට ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගණය පමණි. ඉන්පසු එවැනි දහසක් කරන මට්ටමට සෙසු ක්‍රීඩාංගණවලට මුදල් වියදම් කළද අවසානයක් නොවීය. මහින්දානන්ද නාවලපිටියට ක්‍රීඩාංගණ හැදුවේය. දයාසිරි කුරුණෑගලටද, හරින් බදුල්ලට ක්‍රීඩාංගණ හදමින් සිටී. මේ ඡන්ද ගුණ්ඩුය. ක්‍රීඩාව ගැන කැක්කුමින් කරන වැඩ නොවේ. මෙවැනි ප්‍රාදේශීය මනාප දැක්මක් ඇති අය සමග ක්‍රීඩාව ඉදිරියට ගෙන යනුයේ කෙසේද? අපට දක්ෂතාවල අඩුවක් නැත. එහෙත් අඩුව ඇත්තේ ඒ දක්ෂතා ඔපමට්ටම් කර ඉදිරියට ගෙන එන යාන්ත්‍රණයක්ය. එහිදී සංගම් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයද අසමත්ය. ඒ තත්ත්වය මේ කාලය තුළ හෝ වෙනස් කර ගැනීමට උත්සාහ කරන්නේ නම් අගනේය. එයට මේ කාලය යොදාගත හැකිය.