පාස්කු දා පැමිණි මරණය !

ප්‍රභාස්වර

2019 අප්‍රේල් 21 දින උදෑසන 8.45ට ෂැන්ග්‍රිලා හෝටලය තුළ සිදුවුණ බෝම්බ පිපිරීමෙන්, අප සමග එකම කාර්යාලයේ සේවය කරන යෙහෙළියකගේ 20 හැවිරිදි දියණිය මරණයට පත්වුණු වග මට දුරකතනය හරහා දැනුම් දුන්නේ මගේ සමීප මිතුරියක වන ප්‍රියන්තිය. එම දුක්මුසු පුවත ඇසුණු සැණින් මගේ සිත ඉගිල ගියේ, 1987 අප්‍රේල් 21 දින පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පළේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පුපුරුවා හරිනු ලැබු බෝම්බය හා අදාළ මතකය වෙතය. එවකට 20 වැනි වියේ පසුවුනු ආධුනික බැංකු සේවකයකු වූ මා, මෙකී බෝම්බ පිපුරුම සිදුවන මෙහොතේ රැඳී සිටියේ පිටකොටුවේ ගුණසේන පොත්හල අසලය. බස් රථවල වීදුරු කුඩු කරමින් නැඟුණු විශාල ශබ්දය සහ පිටකොටුවේ බෝ ගසට එපිටින් අහසට විහිදුණු දැවැන්ත ගිනි ජාලාව අබියස අන්දමන්ද වූ මා සැනෙකින් දිව ගියේ මරදාන ටෙකිනිකල් හන්දිය දෙසටය. එදා මියගිය 113 දෙනා අතර අප බැංකුවේ සංචාරක දෙපාර්තමේන්තුවේ සේවය කළ ලාල් සොයුරාද සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ලෙහි උච්චතම කාල වකවානුව වූ 1989 දී මා සේවය කළේ අප බැංකුවට අයත් මාතර ශාඛාවේය. බැංකු ශාඛාව වසා තබන්නැයි අණ කෙරෙන ජවිපෙ කුණ්ඩු කැබැල්ල සාමාන්‍යයෙන් අප වෙත ඒ දිනවල ලැබෙන්නේ උදෑසන අටට පමණය. උදේ නවයට පමණ ප්‍රදේශය භාර යුද හමුදා නිලධාරියා එහි පැමිණ, කුමන තර්ජන ආවත් ශාඛාව විවෘතව තැබිය යුතු බව පවසමින් අපේ ශාඛා කළමනාකරුට තර්ජනය කරයි. යුද හමුදා බලධාරීන් එන බව කල්තියා අපට දැනුම් දෙන්නේ අප ශාඛාවේ ආරක්ෂක නියාමකවරයාය. එම දැනුම් දීම් ලද විගස අපේ අයකැමිවරුන් කවුන්ටරය වෙත දිව ගොස් ශාඛාව විවෘතව ඇති බැව් දැක්වෙන අයුරින් රඟපෑමක් කරයි. හමුදා නිලධාරීන් බැහැර වුණු පසු අපි ශාඛාවේ ප්‍රධාන දොර වසා වැඩ නොකර ඇතුළට වී සිටිමු. නිල හා නොනිල සන්නද්ධ හමුදාවන් දෙකක් අතර අප එකල සිටියේ ගිරයට හසු වූ පුවක් ගෙඩි මෙනි.

නැවතුනු ජීවිතය

නිල්වලා ගඟේ පාවෙන තරුණ මළ සිරුරු, එකළ වැඩට යන අප දුටු සුලබ දසුනක් විය. අල්ලාගත් ජවිපෙ ක්‍රියාකාරීන් ගෝනිබිල්ලන් සේ යොදවමින්, මහජනයා අතර සැකකරුවන් සොයා ගැනීම පිණිස යුද හමුදාව උපයෝගී කරගත්තේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයයි. මුහුණ ආවරණය කරගත් ගෝනි බිල්ලා, පෝලිමේ ඔහු අසලින් ගමන් කරන යමකු දැක ඔළුව වැනුවොත් ඔහු /ඇය වහාම අත්අඩංගුවට ගැනෙයි. ඉහ වහා ගිය මේ භීෂණය නිසා අපගේ ස්නායු හිරිවැටී තිබුණි. 88/89 ජවිපෙ කැරැල්ලේදී අප බෙහෙවින් ඇලුම් කළ කලකරුවන් දෙපලක් වූ ප්‍රේමකීර්ති ද අල්විස් සහ විජය කුමාරතුංග රටට අහිමිව ගියෝය. ප්‍රේමකීර්ති අහිමිව වසර 20ක් ගෙවුණු තැන දිලීප අබේසේකර මෙසේ ලීවේය. ‘අලුත් අලුත් දෑ නොතනන කල මෙවැනී, අදත් ඔබ නැවුම් හුස්මකි හිතවතුනී.’ මාතරින් කොළඹට පැමිණි 90 දශකයේ මුල් භාගයෙහි, බැංකු සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමට පොළඹවාලුයේ අප බැංකු ශාඛා සමිතියේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ බීඞ් සෙබස්තියන් සහෝදරයායි. ද්‍රවිඩ ජාතිකයකු වූ ඔහු සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා ත්‍රිත්වයම මැනවින් හැසිරවූවෙක් විය.

වෘත්තිය සමිති ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් මා තුළ නොතිබුණද, සැබෑ මානව ගුණයෙන් සපිරි බීඞ් සොයුරා ඒ ගැන ගුරුහරුකම් දුන් පසුව සක්‍රීය ක්‍රියාධරයකු ලෙස කටයුතු කිරීම හා අදාල අභිප්‍රේරණය මට නොමඳව ලැබිණි. සමිතියේ ලේකම් ධුරයට සහ මව් සංගමයේ විධායක සභික තනතුරට පත් වූ පසුවද හෙතෙම යෝධ සෙවනැල්ලක් සේ මා පසුපස හිදිමින් මා හට අනගි සහයක් ලබාදුන්නේය. 1996 ජුලි 24 හවස් භාගයේ කොටි සංවිධානය කොළඹ කොටුවේ සිට වෙරළබඩ මාර්ගයේ ගමන් කළ දුම්රිය, දෙහිවල දුම්රිය ස්ථානයේදී සූට්කේස් බෝම්බ කිහිපයක් මගින් පුපුරුවා හැරියේය. ජුලි 25 දින බීඞ් සේවයට වාර්තා නොකළ හෙයින් ඔහු සොයමින් රෝහල් හා මෘත ශරීරාගාර පීරමින් ඔබ මොබ ගිය කණ්ඩායමේ මමද සිටියෙමි. මා මිත්‍ර අධිකරණ වෛi නිලධාරී ප්‍රියන්ජිත්, පුංචි බොරැල්ලේ පිහිටි මෘත ශරීරාගාරයේදී හමුවුණු මම, බීඞ් මෙහි සිටීදැයි සෙවිය යුතු වග ඔහුට කියා සිටියෙමි. එක පේලියට තබා තිබු මළ සිරුරු අතරින් සීරුවෙන් පා තැබූ මට නෙත් නොපියවුණු බීඞ් සෙබස්තියන් සොයුරාගේ දේහය හමුවුණි. ජීවිතය නැවතුනා සේ හැඟුණු එම මොහොත, වසර 23 ක් ගතව ඇති අදත් මා සිහිපත් කරන්නේ සසල සිතිනි. ඔහුගේ අවසන් කටයුතු සිදුවුනු බොරැල්ල කනත්තේදී එදා මම ඉකිගසා හැඬුවෙමි.

අයි එස් අන්තවාදය

2018 මැයි 13 දා, ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන සුරබයාහි පිහිටි කතෝලික පල්ලි ත්‍රිත්වයකට මරාගෙන මැරෙන අයි එස් බෝම්බකරුවෝ ප්‍රහාර එල්ල කළහ. මෙම ප්‍රහාර තුනෙන් බෝම්බකරුවන්ද ඇතුළුව පුද්ගලයෝ 38 දෙනෙක් මරණයට පත් වූහ. ප්‍රහාරයේ සුවිශේෂත්වය වූයේ ඊට පැමිණි පුද්ගලයන් හයදෙනා එකම පවුලේ අය වීමයි. ඩිටා සහ පුජී යන දෙමව්පියන්ද, යුසුෆ් (වයස 18), ෆිර්මන් (වයස 16), ෆාඩිලා (වයස 12) පැමලා (වයස 09), යන දරුවන්ද මෙකී මරාගෙන මැරෙන කණ්ඩායමට අයත් වූහ. මේ දරුවන්ගේ පියා වන ඩිටා සුප්‍රින්තෝ පිළිබඳව, ඔහු සමග උසස් පෙළ පන්තියේ සිටි මිතුරකු වූ අහමඞ් ෆයිස්, බෝම්බ සිද්ධියෙන් පසුව තම අදහස් දැක්වූයේ මේ අයුරිනි. ‘කවදා හෝ මුහාජිද්වරයකු හෙවත් ඉස්ලාම් සටන්කාමියකු වීමේ අන්තවාදී දැක්මකින් ඩිටා උසස් පෙළ පන්තියේ සිටියදීම පසුවුණා. ආගමික කල්ලියක් මගින් පවත්වනු ලැබූ විශේෂ පන්ති මාලාවකට පාසලෙන් පසු ඔහු සහභාගී වුණා. එම අන්තවාදී ආගමික කල්ලියේ සමාජිකයන් සියල්ලම, ඊට අයත් නොවන හැම දෙනකුම දුටුවේ යක්ෂයින් ලෙසයි. ඩිටා සුප්‍රියන්තෝ, සිය බිරිඳ සහ දරුවන් සමඟ එක්ව කතෝලික පල්ලි තුනකට පහර දුන්නාය යන ආරංචිය අසා මා පුදුම නොවුණේ ඔහු අන්තවාදියකු බව මා දැන සිටි නිසයි.’ මෙම ඉන්දුනීසියානු පවුල ගැන මනෝවිiාත්මක හැදෑරීමක් සිදුකළ ඇමරිකාවේ ජොර්ජ්ටවුන් සරසවියේ මනෝ විiාඥ ෆතාලි මොගදාම් පැවසුවේ, ලොව විවිධ ස්ථාන වල වෙසෙන මුස්ලිම් ජනතාවට ඒ ඒ රටවල ආණ්ඩු නොයෙක් තාඩන පීඩන කරන බැව් සිතමින් ඩිටා සමස්ත කතෝලික ප්‍රජාව කෙරෙහිම වෛර බැඳගෙන සිටි බවයි. පලස්තීන මුසල්මානුවන්ට ඊශ්‍රායල් ආණ්ඩුවෙන්ද, බොස්නියානු මුස්ලිම් ජනයාට සර්බියාවෙන්ද, මියන්මාරයේ රෝහින්ග්යාවරුන්ට එරට බෞද්ධ රජයෙන්ද එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් යමක් කළ යුතු යැයි ඩිටා නිතර නිතර කී දෙයක් විය.
ඩිටා සමාජිකත්වය දරණ අන්ත

වාදී ඉස්ලාම් කල්ලිය හා සමාන අනෙක් ජිහාඞ් කණ්ඩායම්ද පුන පුනා කියන්නේ අල්ලා දෙවියන්ගේ සැබෑ දරුවන් වන ඔවුන් මුළු ලෝකයේම පාලනය තමන් අතට ගත යුතු බවයි. ජාති, ආගම් හා කුල භේදයන්ගෙන් තොරව පුරවැසි සැමට සමානව සැළකිය යුතුය යන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප සහ එම දර්ශනයට උඩගෙඩි දෙන ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් ජිහාඞ්වරුන් පිළිකෙව් කරන්නේ එබැවිනි. ජිහාඞ් අන්තවාදියකු බිහි වන්නේ ක්‍ෂණික මොල සේදීමකින් නොව, කුඩා කාලයේ සිටම ඔහුට/ ඇයට හෙමි හෙමින් පොවන විසකුරු අදහස් නිසා යැයි ඉන්දුනීසියානු මනෝ විiා මහාචාර්ය සාලිටෝ සර්වොනෝ පවසයි. 1950 දශකයේ දී ප්‍රංශය තුළ ‘ජිහාඞ් භීෂණයක්’ දියත් කළ අන්තවාදී කණ්ඩායම්, බුද්ධි අංශ සහ විශේෂ හමුදා බල ඇණි යොදා මැඩලු එරට ආණ්ඩුව, ඒවාට සම්බන්ධ අනෙක් අය මහා අධ්‍යාපනයක් හරහා පුනරුත්ථාපනය කළ බැව් හෙතෙම අවධාණය කරයි. 2019 මාර්තු 15 දින නවසීලන්තයේ ක්‍රයිස්වර්ච්හි මුස්ලිම් පල්ලිවලට, කතෝලිකයකු වූ බ්‍රෙන්ටන් ටරන්ට් එල්ල කළ ප්‍රහාර වලට අහිංසක ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව වගකිව යුතු නැතත්, මොල සේදු ජිහාඞ් අන්තවාදියකුට මෙම සරල සත්‍යය වටහා ගැනීම අසීරුය. ඔහු/ ඇය සතුව ඇත්තේ දරුණු ලෙස විකෘති වූ මනසකි.

රනිල් සේනානායක

දුප්පත්කම, කුල පීඩනය, විරැකියාව හා සමාජ අසාධාරණය වැනි හේතු නිසා ජවිපෙ හා කොටි සංවිධානය ලංකාවේ ආණ්ඩු වලට එරෙහිව අවි එසැවූ නමුත් අයි එස් සටන්කාමීන්ගෙන් බහුතරයක් අයත් වන්නේ ඉහළ මධ්‍යම පන්තියටය. ආගමික අන්තවාදය මැඬලීම පිණිස කෙටි මාර්ග නැත්තේ මේ නිසාය. ශ්‍රී ලාංකික ජාන විiාඥ රනිල් සේනානායක සමග ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන සිදුකළ අපූරු සම්මුඛ සාකච්ඡාවක් යූ ටියුබ්හිදී මගේ නෙත ගැටිනි. 1971 ජවිපෙ කැරැල්ලෙන් මෙරට පුරවැසියෝ 4000-5000ක් අතර සංඛ්‍යාවක් අකාලයේ වැනසුනහ. 1989 දී එය 60,000කට ආසන්න විය. උතුරු නැගෙනහිර තිස් අවුරුදු යුද්ධයෙන් අපට අහිමිව ගිය ජීවිත ගණන ලක්ෂයකට ආසන්නය. පවතින තත්ත්වයට එරෙහිව කැරලි ගසන්නේ අලුත් ලෝකයක් ගැන සිහින දකින මිනිසුන් බවත්, එවැනි අයගේ ජාන අහිමි වීම අප වැනි කුඩා රටකට කිසිසේත් ඔරොත්තු නොදෙන බවත් රනිල් මෙම කතාබහේදී අවධාරණය කරයි. 1971 සහ 1989 කැරලි වලින් දිවි බේරාගත් අය පසුකලෙක ශ්‍රී ලාංකික සමාජයට සිදුකළ දැවැන්ත මෙහෙවර, මීට සාක්ෂි සපයයි. රජයක ප්‍රතිපත්තීන්ට එරෙහිවන අය සමූල ඝාතනය නොකොට ඒ අය පුනරුත්ථාපනය කිරීම ඔස්සේ සිය ජාන සංසදය සුරක්ෂිත කර ගැනීමේ අවස්ථාව රටකට විවර වේ. ප්‍රංශය 1950 දී කළාක් මෙන් ශ්‍රී ලංකාවේ අයි එස් ජාලය අනිවාර්යයෙන්ම මර්දනය කළ යුතුය. එහෙත් එම කල්ලි වලට අයත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ දීර්ඝ වැඩපිළිවෙලක්ද නොපමාව සැකසිය යුතුය. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කවියකින් මෙම සටහන නිමා කරනු කැමැත්තෙමි.

‘බෝම්බෙන් කම්මුල් කැඩී ගිය- අසල හිටගත් නෝලිමිට් හල
අතීතේ එක්තරා හවසක -එසැවෙමින් විරහවේ අසිපත
කැපී වැටුණා මහ පොළොව මත- සන්තකව තිබූ එකම හදවත
දැනුත් එතැනට ගිහින් ඉඳහිට- සෙනග අතරේ බලමි වටපිට’