ලංකාව කබලෙන් ළිපට වැටීම

වික්ටර් අයිවන්

ලංකාව කාලකණ්ණිභාවයෙන් අත් මිදීමට පහසු නැති දුෂ්ට චක්‍රයක හිරවී සිටින බව පෙනේ. නිදහස ලැබී ගතවී තිබෙන දශක හතකට ටිකක් වැඩි කාලයකින් දශක තුනක් තරම් කාලයක් ලංකාව දිවි ගෙවා ඇත්තේ කුරිරු හා ම්ලේච්ඡ වටපිටාවක් තුළ ලේ මත පිහිනමින්ය. එම දීර්ඝ අශීලාචාර කාලයේදී සමාජයට සිදුවූ විනාශය අතිවිශාල වනවා සේ ම උත්තර නිර්මිතයට සිදුවූ විනාශයද අතිවිශාලය. ලක්ෂයකට වැඩි පිරිසක් මරණයට පත්වන විට, කායික වශයෙන් ජීවත්වීමේ වාසනාව හිමිකර ගත්තවුන්ද, ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්කරමින්, හරසුන් විකෘති සමාජයක්, ඇති කිරීමට හේතුවිය. දේශපාලනඥයන් හා නිලධාරීන්ද ඇතුළත් රාජ්‍යයේ ස්වභාවයද වෙනස් වී චෞර හා මාංශභක්ෂක රාජ්‍යයක් ඇති කිරීමට හේතුවිය. පූජකයන්ද ඇතුළුව ආගම්වල ස්වභාවයද වෙනස් වී ඒවා සිය ශ්‍රාවකයන්ට මෛත්‍රිය හා කරුණාව වෙනුවට වෛරය හා ක්‍රෝධය වපුරන ආයතන ක්‍රමයක් බවට වෙනස් විය.

83 කළු ජූලියේදී විශේෂ වශයෙන් කොළඹ නගරයේ ජීවත් වූ දෙමළ ජනතාව මත උපරිම මට්ටමේ ක්‍රෑරත්වයක් මුදාහරින ලදි. ඉන්පසු ජේවීපී කැරලි පැවති වසර තුනකටත් වැඩි කාලය තුළ ජේවීපී සටන්කරුවන්ද ඔවුන්ට එරෙහිව සටන් කළ නිල හා නිල නොවන ආරක්ෂක හමුදාවෝද උපරිම මට්ටමේ ක්‍රෑරත්වයක් සමාජය මත මුදා හැරියහ. ඊළඟ වටයේදී එල්ටීටීඊයද ඊට එරෙහිව සටන් කළ ආරක්ෂක හමුදා ද උපරිම මට්ටමේ ක්‍රෑරත්වයක් දෙමළ සමාජය මත පමණක් නොව සිංහල හා මුස්ලිම් සමාජය වෙතද මුදාහරින ලදි. ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු එල්ටීටීඊය වසර 20ක් තරම් දීර්ඝ කාලයක් සිය සන්නද්ධ කැරැල්ල අල්ලාගෙන සිටීමට සමත් විය.

එල්ටීටීඊ කැරැල්ල පරාජය කරන අවස්ථාව වන විට සමස්ත සමාජය පමණක් නොව, සමස්ත රාජ්‍යයද හොඳටම රෝගී වූ හා විකෘති වූ තත්ත්වයකට පත්ව තිබුණේය. අභ්‍යන්තර යුද්ධය අවසන් කරන විට සමාජය සේ ම රාජ්‍යයද තිබුණේ විධිමත් ප්‍රතිකාර අත්‍යවශ්‍ය නැතහොත් ඇතිවී තිබූ තුවාල කුණුවෙමින් තිබෙන තත්ත්වයකය. එහෙත් ඒ බව තේරුම් ගැනීමට අවශ්‍ය කරන දේශපාලන ප්‍රඥාව අභ්‍යන්තර යුද්ධය ජයගත් රාජපක්ෂ ආණ්ඩුවට සේ ම එම ආණ්ඩුව පරාජය කොට බලයට පත් යහපාලන ආණ්ඩුවද නොතිබුණි. එම ප්‍රඥාව අන් දේශපාලන පක්ෂවලටද තිබුණේ නැත.

ඔවුන් අතර පැවති එම අඥානභාවය පුදුමයට හේතුවන්නක් නොවන අතර එම දීර්ඝ අශීලාචාර කාලය තුළ දේශපාලකයන්ගේ ස්වභාවයේද ගැඹුරු වෙනසක් සිදුවී තිබුණි. මහජන නියෝජිතයන් වශයෙන් ඔවුන් වෙත පැවරී තිබෙන භූමිකාව අත්හරිමින් ඔවුහු අපරාධකාරයන් සමග කල්ලි ගැසී තමන්ට තිබෙන නිල බලය ප්‍රයෝජනයට ගෙන අයථා ලෙස ධනය උපයන ව්‍යාපාරිකයෝ බවට පත්ව සිටියෝය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ එය බවට පත්වීම නිසා රජයේ හෝ සමාජයේ ඇතිවී තිබුණු කුණුවීම තේරුම් ගැනීමට අවශ්‍ය සවිඥානකත්වයක් ඔවුන්ට නොතිබුණි. ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ බල දේශපාලනය හා අයථා ලෙස ධනය උපයා ගැනීමේ අවශ්‍යතාව ගැන පමණය.

ලංකා ඉතිහාසයේ මුස්ලිම්වරුන්

ලංකාවේ ජීවත් වන මුස්ලිම් ප්‍රජාවද අනුරාධපුර යුගය තරම් ඈත අතීතයට දිවගිය ඉතිහාසයක් ඇති පෘතුගීසී යුගය දක්වාම ලංකාවේ අභ්‍යන්තර වෙළෙඳාමේ ඒකාධිකාරය හිමි කරගෙන සිටි ජන වර්ගයක් ලෙස සැලකිය හැකිය. කන්ද උඩරට යුගය එළැඹි විට ඔවුහු ලංකාවේ කුල ක්‍රමය පදනම් කරගත් සමාජ සංවිධාන ක්‍රමයකටද ඇතුළත් කරගෙන සිටි ජන කණ්ඩායමක් වූහ. මඩිගේ හෙවත් ප්‍රවාහන කාර්යාංශයට මුස්ලිම්වරුන් ඇතුළත් කරගෙන තිබූ අතර මහනුවර යුගයේදී මුස්ලිම්වරුන්ද සිංහල කුල ක්‍රමයේ අර්ධ කුලයක් ලෙස සලකන ලද බව රැල්ෆ් පීරිස් කියා තිබේ. රැල්ෆ් පීරිස් වැඩිදුරටත් කියා තිබෙන ආකාරයට “උඩරට මරක්කලුන් නියම කුලයක් බවට පත් නොවීමට බලපා තිබෙන එකම හේතුව වී තිබෙන්නේ ඔවුහු සිය ආගම අත්නොහැර සිටීමය. රැල්ෆ් පීරිස් වැඩිදුරටත් කියා තිබෙන්නේ මරක්කල මිනිසකු සමග විවාහ වන ගොවිගම කාන්තාවකගේ තත්ත්වය ගැන උඩගෙදර හිටපු කෝරා ආරච්චිලට එදිරිව ඒකනායක ගෙදර ඩිංගිරි මැණිකා නඩුවේදී (1829) දීර්ඝ ලෙස කරුණු සලකා ඇති බවය.

මුස්ලිම්වරුන් පෘතුගීසීන්ගේ වෛරයට හේතුවූ ජන කණ්ඩායම් අතරින් වැඩියෙන්ම වෛරයට හේතුවූ ජන කණ්ඩායම ලෙස සැලකිය හැකිය. ඊට හේතුවූයේ මුස්ලිම්වරුන් ඇදහූ ආගම නොව, ඔවුන් වාණිජ ප්‍රජාවක් වීමය. මුස්ලිම්වරුන් තුළ පෘතුගීසීන් කෙරෙහි පැවති බද්ද වෛරයට හේතුවූයේද එයයි. පෘතුගීසීන් නිසා එතෙක් ඔවුන්ට තිබූ වෙළෙඳ ඒකාධිකාරය අහිමිවීම නිසාය.

මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන් අතට පත්වීමෙන් පසු එම ප්‍රදේශවල ජීවත් වූ මුස්ලිම්වරුන් තොග වශයෙන් උඩරට ප්‍රදේශවලට පලා ගිය අතර උඩරට රජවරු ඔවුන් සාදරයෙන් භාර ගත්තෝය. උඩතලවින්න වැනි අධික ජනගහනයක් සහිත මුස්ලිම් ප්‍රදේශ උඩරට ප්‍රදේශවල ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. සෙනරත් රජු (1604-1635) 4000ක් පමණ මුස්ලිම් පිරිසක් මඩකළපුවේ (එකල මඩකළපුවට වර්තමාන අම්පාර ප්‍රදේශයද අයත් විය.) පදිංචි කරවූ බවත්, ඒ මගින් යුද්ධ ව්‍යාපාරවලට අවශ්‍ය ආහාර නිපදවා ගන්නවාට අතිරේකව යුද ව්‍යාපාරවලට අවශ්‍ය සේනා නිපදවා ගැනීමට රජු අපේක්ෂා කළ බවත්, ලෝනා දේවරාජා සඳහන් කර තිබේ. නැගෙනහිර ප්‍රදේශයේ සමහර ප්‍රදේශවල ඝන මුස්ලිම් ජනගහනයක් ඇතිවී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එදා තිබී ඇති බෞද්ධ මුස්ලිම් සහජීවනය සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය රිදී විහාරයයි. එම විහාරයේ භික්ෂූන් වහන්සේලා මුස්ලිම්වරුන් එම විහාරගමේ නිල පංගුකාරයන් ලෙස පදිංචි කරවාගෙන තිබෙනවා පමණක් නොව, එහි මුස්ලිම් පල්ලියක් හදා ගන්නටද ඉඩදී පල්ලියේ පූජකයාගේ නඩත්තුව පිණිස ඉඩම් කොටසක්ද ලබාදී තිබේ.
පෘතුගීසි හා ලන්දේසි කාලය ලංකාවේ මුස්ලිම්වරුන්ට යහපත් කාලයක් නොවූවද බි්‍රතාන්‍ය පාලන යුගය බෞද්ධ, හින්දු ආගම් අදහන්නන්ට සේ ම මුස්ලිම්වරුන්ටද ආගමික නිදහසට අතිරේකව වාණිජ නිදහසද හිමිවූ යුගයක් ලෙස සැලකිය හැකිය. වෙළෙඳාම පිළිකුල් කළ ජනවර්ගයක් ලෙස සැලකිය හැකි සිංහලයන්ද බි්‍රතාන්‍ය පාලන කාලයේදී වෙළෙඳාමට එකතුවීම නිසා මෙම ජනවර්ග දෙක අතර භේද ඇතිවූ අතර 1915 සිංහල මුස්ලිම් කෝලහාලය එම ගැටුම් උච්චතම තත්ත්වයකට පත්වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

මුස්ලිම් ප්‍රහේළිකාව

මුස්ලිම්වරුන් නිදහසින් පසු වඩාත්ම මතභේදයට හේතුවන ප්‍රශ්නවලදී සිංහලයන්ගේ පැත්ත ගත් ජන කණ්ඩායමක් ලෙසද සැලකිය හැකිය. රාජ්‍ය භාෂා ප්‍රශ්නයේදී ඔවුන් සිටියේ සිංහල පැත්තේය. ඉන්පසු දෙමළ නිජබිම පිළිබඳ ප්‍රශ්නයේදීද ඔවුහු සිංහල පැත්තේ සිටියෝය. එම ස්ථාවරය වෙනුවෙන් ඔවුන්ට විශාල වන්දියක් ගෙවන්නට සිදුවූ අතර උතුරේ දෙමළ ප්‍රදේශවල ජීවත් වූ මුස්ලිම්වරුන්ට ඒ ප්‍රදේශවල තිබුණු තමන්ගේ දේපළ අතහැර වෙනත් ප්‍රදේශවලට පලා යන්නට සිදුවිය. ඒ නිසාම දෙමළ සටන්කාමීන් අතින් ඔවුන්ට විශාල ජීවිත හානියක්ද සිදුවිය. එල්ටීටීඊ විරෝධී යුද්ධයට මුස්ලිම්වරුන්ගේ දායකත්වයද කැපී පෙනෙන තත්ත්වයක තිබුණි. එම යුද්ධයේදී සිංහල ජනයා වීරයන් ලෙස සලකන ලද ප්‍රධාන ලැයිස්තුවට මුස්ලිම් නිලධාරීන්ගේ නම් ගණනාවක්ද ඇතුළත්ව තිබුණි.

ප්‍රභාකරන් ජීවමානව සිටින තෙක් සිංහල අන්තවාදී මත දරන්නන්ගේ සතුරා බටව පත්ව සිටියේ දෙමළ ජනතාවය. එහෙත් වෙනම රාජ්‍යයක් සඳහා කෙරුණු අරගලයේදී ප්‍රභාකරන්ගේ ජීවිතය විනාශ කොට එල්ටීටීඊය මුළුමනින් පරාජය කිරීමෙන් පසුව සිංහල අන්තවාදී මතධාරීන්ට අලුත් සතුරකු සොයා ගැනීමට අවශ්‍ය වූ අතර ඔවුන්ගේ අලුත් සතුරා බවට පත්වූයේ මුස්ලිම් ජනයාය.

ඒ සමග මුස්ලිම්වරුන්ට නරක කාලයක් උදාවී යැයි කිව හැකිය. ඔවුන් නින්දාවට ලක් කෙරෙන ප්‍රචාරක වැඩසටහන් දියත් වූ අතර ස්ථාන කිහිපයකදී බිහිසුණු පහරදීම්වලටද ලක්විය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ පහරදීම්වලට අනියම් ලෙස හෝ රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බවක්ද පෙනෙන්නට තිබුණි. රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා මුස්ලිම්වරුන් එක් පොදියක් ලෙස ඡන්දය පාවිච්චි කළ බවක් පෙනෙන්නට තිබෙන අතර එය වර්තමානයේදී රාජපක්ෂවාදී සිංහල ජනතාව අතර මුස්ලිම් විරෝධී හැඟීම් උද්දීපනය කිරීමට බලපෑ සාධකයක් ලෙසද සැලකිය හැකිය. රාජපක්ෂ පාලන කාලය තුළ නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රදේශවල දියුණුව පිණිස විශාල වැඩ කොටසක් සිදුකර තිබෙන බවද කිව යුතුය. රාජපක්ෂ ආණ්ඩුව මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියකට නොගියේ නම් 2015දී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමද ඉතාමත් දුෂ්කර දෙයක් වන්නට ඉඩ තිබුණි.

දැනට පෙනෙන තත්ත්වය අනුව නම් සිදුවූ ත්‍රස්තවාදී පහරදීම් මුස්ලිම් සමාජය තුළ බලවත් කම්පනයක් සේ ම ආත්ම ලැජ්ජාවක්ද ඇති කිරීමට හේතුවී තිබේ. පොලිසියට තොරතුරු ලබා දෙන්නන් අතරද මුස්ලිම්වරුන් ප්‍රමුඛ තත්ත්වයක් හිමිකරගෙන සිටින බව පෙනේ. මෙම පහරදීම් සිංහල මනස කෙරෙහි ඇති කර තිබෙන බලපෑමේ ස්වභාවය කුමක්ද? වර්ගවාදී ආවේගයන්ගෙන් තොරව සාධාරණව කල්පනා කිරීමට අවශ්‍ය ශික්ෂණය ඔවුන් ලබාදීමට මෙම සිදුවීම් හේතුවී තිබේද? මෙම බිහිසුණු සිදුවීම විශේෂ වශයෙන් මුස්ලිම් සමාජයත් පොදුවේ සමස්ත සමාජයත් නවීන ලෙස සිතන මතන තැනකට ගැනීමට පුළුවන්කම ලබාදේද? නැත්නම් ඒ සියලුදෙනා වඩා ආචීර්ණ කල්පිතව සිතන තැනකට තල්ලු කිරීමට හේතුවේද?

තිබෙන ඝන අන්ධකාරය තුළ දකින්න තිබෙන එකම රිදී රේඛාව ලෙස සැලකිය හැක්කේ පහරදීමට ලක්වූ කතෝලික ජනයා පෙන්නුම් කර තිබෙන අතිවිශාල ඉවසීමය. එහිදී කතෝලික නායකයන් ඉටුකර තිබෙන භූමිකාව ඉතා ප්‍රශස්ත වනවා පමණක් නොව, එය අන් ආගම්වල ශ්‍රාවකයන් කෙරෙහි සේ ම පොදුවේ සමාජය කෙරෙහිද යහපත් බලපෑමක් ඇති කරනු නොවැළැක්විය හැකිය.

දේශපාලන ප්‍රහේළිකා

රටේ ජනාධිපතිවරයා කියන්නේ ජාතික ඔත්තු සේවය ලබාදී තිබෙන අනතුරු ඇඟවීමේ වාර්තා ගැන තමන් කිසිවක් නොදන්නා බවය. පළමුවෙන් ඒ ගැන දැනගන්නට ලැබුණේ සිංගප්පූරුවේ සිටියදී මුහුණු පොතේ පළවී තිබුණු වාර්තාවක් තමන් සමග සිටි කිසියම් කෙනකු තමන්ටම පෙන්වීමෙන් පසුව බවය. යථා තත්ත්වය එසේ වුවත් ජාතික ආරක්ෂාව භාරව සිටින තැනැත්තා වශයෙන් සිදුවූ සියලු දේවල වගකීම තමා භාරගන්නා බව ජනාධිපතිවරයා කියා සිටියේය. අගමැති රනිල් වික්‍රමසිංහ සිය නිදහස වෙනුවෙන් කර තිබෙන කරුණු දැක්වීමද ඊට වෙනස් නැත.

ආණ්ඩු වෙනසක් ඇති කිරීමට දරන ලද අසාර්ථක උත්සාහයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට තමන් සම්බන්ධ කර ගත්තේ නැති බවත්, මෙම පහරදීම සිදුවූ පසු ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවීමට උත්සාහ කළත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ඊට එකඟ වූයේ නැති බවත් කියන අතර සිදුවූ සියල්ලේ වගකීම් රටේ අගමැති වශයෙන් තමා භාරගන්නා බවත් අගමැතිවරයා කියයි. ශ්‍රී ලංකාවේ රාජ්‍යය හා එහි නායකයන් ඇද වැටී තිබෙන බංකොළොත්භාවයේ තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගැනීමට අමාරු නැත.
පාලනය කළ හැකි තත්ත්වයක තිබූ මහා විපතක් පාලනය නොකොට ලොකු විනාශයක් ඇතිවූ පසු සිදුවූ විනාශයේ වගකීම් බාරගන්නවා කිව් පමණින් සියල්ල අවසන් කළ හැකිද?

අගමැති වෙනස් කරන්නට දරන ලද අසාර්ථක උත්සාහයට පෙර පවත්වන ලද ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අගමැතිවරයා සහභාගි කරවා ගත්තේ නම් ඊට පසුව පවත්වන ලද ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට අගමැතිවරයා සහභාගි කර නොගත්තේ ඇයි? ආරක්ෂාව භාර ප්‍රධානියා ලෙස ඒ ගැන ජනාධිපතිවරයා කියන්නේ කුමක්ද? මෙවැනි පහරදීමක් සිදුවන්නට යන බව තොරතුරු ඇතුළත් වාර්තාවක් මගින් ඉන්දියාව ලංකාවට දැනුම්දීමක් කර තිබුණේ නම් ඒ ප්‍රශ්නය ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වූයේ නැද්ද? සාකච්ඡා වූයේ නැතිනම් එහි වරද භාරගත යුත්තේ කවුද? ජනාධිපතිවරයා ලංකාවේ නොසිටින අවස්ථාවකදී බිහිසුණු පහරදීමක් සිදුවී තිබුණු අවස්ථාවකදී අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය කැඳවීමට දරන ලද උත්සාහයේදී ආරක්ෂක මණ්ඩල සාමාජියක් ඊට සහාය දීමෙන් වැළකී සිටියේ ඇයි? එය ඔවුන් ස්වේච්ඡාවෙන් ගනු ලැබූ තීන්දුවක්ද? නැතිනම් ලැබුණු නියෝගයක් අනුව කරන ලද්දක්ද?

පොලිස් විෂය භාර වන්නේ විධායක බලය හිමි අගමැතිවරයාට මිස ජනාධිපතිට නොවන බව අගමැතිවරයා නොදැන සිටියේද? රටේ නීතියට හා සාමයට අදාළ පොලිස් විෂය විධායක බලයට අදාළ විෂයක් බව අගමැතිවරයා දැන නොසිටියේද? දැන සිටියේ නම් තමන්ට හිමි එම විෂය තමන් වෙත ලබාගැනීම සඳහා අවශ්‍ය පියවර නොගෙන මහා විනාශයක් ඇතිවීමෙන් පසු නාහෙන් අඬන පිළිවෙතක් සාධාරණ විය හැක්කේ කෙසේද?

ඇතිවී තිබෙන මෙම අර්බුදය ආශ්‍රයෙන් 19 වැනි සංශෝධනය විසින් ආණ්ඩු ක්‍රමයේ ඇති කර තිබෙන සංශෝධන සමස්ත ආණ්ඩුක්‍රමය ඇද දමා තිබෙන විකටරූපී තත්ත්වය ආශ්‍රයෙන්ද තේරුම් ගත හැකිය.

19 ඇති කර තිබෙන වෙනස්කම් අනුව විධායක බලය ඇත්තේ අගමැතිටය. එහෙත් පොලිසිය තිබෙන්නේ අගමැතිට නොව ජනාධිපතිටය. ආරක්ෂක මණ්ඩල රැස්වීම්වල අගමැති කැඳවන්නේ නැත. ජනපති රටේ නැති අවස්ථාවක සිදුවූ බිහිසුණු පහරදීමකින් පසුත් අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය කැඳවීමට දරන ලද උත්සාහයේදී ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ඊට එකඟවන්නේ නැත. ජනාධිපතිට හා අගමැතිට පොලිස්පති ඉවත් කිරීමට අවශ්‍ය වී ඇතත්, පොලිස්පති සිය කැමැත්තෙන් ඉවත් නොව නිසා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා යෝජනාවකින් හැර පොලිස්පති ඉවත් කිරීමට අන් ක්‍රමයක් නැත. විධායක ජනාධිපති නාමමාත්‍රික වුවද ඔහු තෝරා පත් කරගත්තේ මුළු රටම ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පවත්වන මැතිවරණයකිනි.

19 වැනි සංශෝධනය ආණ්ඩුක්‍රමයේ ඇති කරන අවුල කල්තියා දකින්නට රටේ නීති විශාරදයන්, දේශපාලන නායකයන් හා පොදුවේ පාර්ලිමේන්තුව අසමත් වූයේ කෙසේද? එහි තේරුම ඒ සියලුදෙනා හොඳ සිහිය අහිමි කරගත් තත්ත්වයකට පත්ව තිබෙන බවද? මහින්ද පරාජය කිරීම සඳහා ඉදිරියට ගෙනා දේශපාලන සංයුතිය පිළිබඳ සූත්‍රය සේ ම සීමිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළද රටට විසඳුමක් වනවා වෙනුවට මුළු රටම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබෙන බව එම වැඩසටහනේ නිර්මාතෘවරුන් ප්‍රමාද වී හෝ පිළිගන්නේද?

බුද්ධි අංශය ගැන

බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නිසා බුද්ධි අංශයේ ලොකු කඩා වැටීමක් ඇතිවී තිබෙන බව හා එම පසුබිමද මෙම තත්ත්වයට බලපා තිබෙන වැදගත් හේතුවක් වන බවත් ජනාධිපතිවරයාගේ සේ ම හිටපු ජනාධිපතිවරයාගේද මතය වි තිබේ.

සිටින හා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාම ඒ මගින් තමන් අදහස් කරන්නේ කුමක්ද කියා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නැත. සාමාන්‍යයෙන් මෙවැනි බැරෑරුම් ප්‍රශ්න ඊසොප්ගේ භාෂාවෙන් කතා කිරීම සුදුසු නැත. ජනතාවට තේරුම් ගත හැකි පැහැදිලි භාෂාවකින් කතා කළ යුතුය.
ජනාධිපතිවරුන් දෙදෙනා ඉන් අදහස් කරන්නේ නඩු පවරා ඇති සියලු බුද්ධි අංශවල සාමාජිකයන් නඩු පැවරීමකට තරම් කිසිදු සාධාරණ හේතුවක් නැති අහිංසකයන් බවද? තරුණයන් 11 දෙනකු අතුරුදහන් කිරීමේ සිද්ධිය කිසිසේත්ම සිදුවී නැති බුද්ධි අංශය විනාශ කිරීමේ අරමුණින් ගොතා සමාජ ගතකර තිබෙන බොරු කතාවක් ලෙස මෙම ජනාධිපතිවරුන් දෙදෙනා සිතන්නේද? ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයා ඇතුළු ජනමාධ්‍යවේදීන් ගණනාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධීන්, තාජුඩීන් ඝාතනය යනාදී කතා සියල්ල කිසිදු සත්‍යයක් නැති බොරු කතා බවද? එසේ නැතහොත් ඒ අපරාධ සිදුකර තිබියදීත් ඒවාට සම්බන්ධ බුද්ධි අංශයේ සාමාජිකයන් බුද්ධි නිලධාරීන් වශයෙන් ඔවුන් රටට කර තිබෙන සේවාව සලකා ඒ අපරාධ ගණන් නොගත යුතු තත්ත්වයකින් ක්‍රියාකළ යුතු බවද?

තරුණයන් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියේ පළමු පැමිණිලිකරුවා නාවික හමුදාවේ එවකට සිටි හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාය. නාවික හමුදාපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට එම පැමිණිල්ල කර තිබුණේ 2009.05.28 වැනි දිනය. යහපාලන ආණ්ඩු කාලයේ නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදීය. ඔහු එම පැමිණිල්ල කර තිබුණේ නාවික හමුදාපතිවරයා වශයෙන් තමන්ගේ ආරක්ෂිත සංචිතය භාරව සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරියා වන සම්පත් මුණසිංහට එරෙහිවය.

පැමිණිල්ල කරන්නට පෙර එම නිලධාරීන් පරිහරණය කළ කාමරය නාවික හමුදා විනය ආරක්ෂක අංශය මගින් පරීක්ෂා කර තිබුණ අතර එහි තිබී අවි ආයුධද, රුපියල් හත් ලක්ෂ 60 දහසක මුදල් චෙක්පතක්ද, රුපියල් ලක්ෂ 5ක හා රුපියල් ලක්ෂ 4ක පොරොන්දු නෝට්ටු දෙකක්ද. පුද්ගලයන් තිදෙනකුගේ බැංකු ගිණුම් පොත් හතරක්ද, විදේශීය ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පත් හතරක්ද සොයාගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන කරන ලද පරීක්ෂණයේදී කාමරේ තිබී සොයා ගන්නා ලද ගමන් බලපත්‍රය හිමි තරුණයා සේ ම මෙම හැඳුනුම්පත් හතර හිමි තරුණයන් සිව්දෙනාද තවත් තරුණයන් 6 දෙනකු කප්පම් ලබාගැනීම සඳහා පැහැර ගෙනවිත් නාවුක හමුදාවට අයත් ස්ථාන දෙකක රඳවා තබාගෙන හිඳ විටින් විට ඔවුන් මරා ඔවුන්ගේ මළ සිරුරු කෑලිවලට කපා මහ මුහුදට දමා ඇති බව ඔප්පු කළ හැකි සාක්ෂි සහිතව සනාථ කර තිබේ. එවැනි බරපතළ අපරාධ කළ අය සම්බන්ධයෙන් රටක් අනුගමනය කළ යුතු පිළිවෙත කුමක්ද? එවැනි බරපතළ අපරාධ කර තිබෙන අය බුද්ධි අංශවල තබා ගැනීම සුදුසුද?