ප්‍රතිරූප හදා ගැනීමට දැඟලීම ලැජ්ජාසහගතයි – සරත් ෆොන්සේකා

Sri Lanka's main opposition presidential candidate Sarath Fonseka watches during a press conference in Colombo on January 25, 2010. Sri Lankan President Mahinda Rajapakse vowed to ensure the first post-war nationwide election goes off peacefully, as he prepared to face his former army chief after an acrimonious campaign. Rajapakse urged the authorities to ensure a free and fair vote in the January 26 presidential contest amid claims from the opposition that he plans to rig the result and is preparing a coup in the event that he is defeated. AFP PHOTO/Ishara S.KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

එක්සත් ජනතා පෙරමුණු මන්ත්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා

නිමල් අබේසිංහ

මිනිස් ජීවිත ගණනාවක් බිලිගනිමින් තවත් විශාල පිරිසකට තුවාල සිදුකරමින් පාස්කු ඉරිදා සිදුවූ සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන ඔබ දකින්නේ කොහොමද?

මුස්ලිම් අන්තවාදී තර්ජනය ලෝකය පුරාම තිබෙන වග රහසක් නෙවෙයි. මෙම ප්‍රහාරය කවුරු එල්ල කළත් ආරක්ෂාව නැතිකර ගැනීමේ වගකීම තිබෙන්නේ අපේ අතේ. ආරක්ෂාව අවශ්‍ය ප්‍රමාණයට නොතිබුණු නිසා මේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට රටේ ජනතාවගේ ජීවිත හානිවුණා. විශේෂයෙන් ඉලක්ක වුණේ කතෝලික ජනතාවයි. ඔවුන්ට නිසි ආරක්ෂාව මේ රටේ තිබුණේ නෑ කියන්නෙ. ආරක්ෂක අංශ භාරව සිටින වගකිවයුත්තො අනිවාර්යයෙන්ම මේකට වගකිව යුතුයි කියන එකයි.

හමුදා බුද්ධි අංශ හිරේ දැමීම නිසා මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරිවුණා කියන බරපතළ චෝදනාවක් තිබෙනවා නේද? ඔබට ඒ ගැන තිබෙන්නේ මොනවගේ අදහසක්ද?

එහෙමනං මම හිරේ දාල හමුදාවේ තව ජෙනරාල්ල 10කුයි, බි්‍රගේඩියර්ල 10කුයි කර්නල්ල, මේජර්ල තව පහළොවක් විතරයි තවත් කනිෂ්ඨ නිලධාරීන් 35කට අධික සංඛ්‍යාවක් ගෙදර ඇරියනෙ. එතකොට හමුදාව දුර්වල වුණේ නැතිද? බුද්ධි අංශය හතර පස්දෙනෙක් හිරේ ගියා කියල හමුදාව දුර්වල වුණා කියනව නම් එතකොට අර වගේ විශාල සංඛ්‍යාවක් ජෙනරල්ලා බි්‍රගේඩියර්ලා හිරේ දැමූවිට හමුදාව දුර්වල වුණේ නැතිද? ඒ නිසා මොන අංශයේ හරි හතරපස් දෙනෙක් හිරේ දාල හමුදාව දුර්වල වුණා කියල මේ ආණ්ඩුවට මඩගහන්න කියන කතාව අපිට පිළිගන්න බෑ. ඒවා දේශපාලන වාසිගන්න හදන තක්කඩි කතා.

බුද්ධි අංශ නිලධාරීන් යම් යම් අවස්ථාවල යුද පිටියෙත් මිය ගිහින් තිබෙනව. සමහර වෙලාවට ඔයිට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරිනුත් ප්‍රහාරවලට ලක්වුණා. එහෙම වුණා කියල හමුදාවක් කඩා වැටෙන්න බෑ. හමුදා සංවිධාන වෙලාම තිබෙන්නේ හතරපස් දෙනෙක් නැතිවුණහම ඒ රාජකාරිය භාර අරගෙන කරන්න තව කෙනෙක් ඉන්න විදියටයි. හැබැයි ඉතින් බුද්ධි අංශ නොවෙයි මොන අංශ වුණත් හමුදා නිලධාරීන් එහෙම දිගටම රිමාන්ඞ් එකේ තබාගෙන ඉන්නවට නම් මාත් කැමති නෑ. වැරදි කරල තිබෙනව නම් ඒ අයට නඩු දාලා දඬුවම් කළ යුතුයි. බුද්ධි අංශයේ අය චෝදනා ලබල ඉන්නෙ යුද්ධය සම්බන්ධ කාරණාවලට නොවෙයි. එක්නැළිගොඩ පැහැරගෙන යෑමේ චෝදනාව නම් සියයට සීයක් වාගෙ ඔප්පු වෙලා තිබෙනවා. එතකොට ඒ වගේ තැන්වලදි බුද්ධි අංශ නිසා සමාව දෙන්න බැහැ. එහෙත් අනෙක් කාරණා ඒ වගෙ තදබල සාක්ෂි ඇතිව ඔප්පු වෙලා නැහැ. ඒවා උසාවිය තමයි තීන්දු කරන්න ඕනේ.

නීතිය හා සාමය අමාත්‍යාංශය ඔබට දෙන බවට කතාවක් යනවා. ඇමතිවරු තිහේ සීමාව නිසා එය දීමට නොහැකි බවකුත් කියනවා. ඒ අතරේ අර්ජුන රණතුංග ඇමතිවරයා ඉවත් වී ඔබට අවස්ථාව ලබාදීමට සූදානම් බවකුත් කියවෙනවා. ඔබ මොකද කියන්නේ ඒ ගැන?
අනිවාර්යයෙන්ම නීතිය හා සාමය අමාත්‍යාංශයෙත් සිදුවිය යුතු දේවල් සිද්ධ වුණේ නෑ කියල මගේ පාර්ලිමේන්තු කතාවෙදිත් කීවා. අපේ පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් අතරේ ඒ අමාත්‍යාංශය මට ලැබිය යුතුයි කියන මතය ගොඩනැගිල තිබෙනවා. ඒ වාගෙම රටේ ජනතාවත් කියනවා. ඒ අමාත්‍යාංශය ලැබුණොත් මගේ අත්දැකීම් එක්ක ඔය ත්‍රස්තවාදී උවදුර ගැන ගතයුතු පියවර ගන්න මට හැකියාවක් තිබෙනවා කියන විශ්වාසයත් මට තිබෙනවා. මේ ඇමතිකම මට දෙන්න ඕනෙය කියන කතාව කැබිනට් එකේදිත් කතාවෙලා තිබෙනව. ඒ වුණත් ජනාධිපති තදින්ම විරුද්ධ වෙලා තිබෙනවා පමණක් නොවෙයි ඒ විෂය ගැන කතා කරන්නත් එපා කියල තිබෙනව. එතකොට ජනාධිපතිවරයාගෙයි මගෙයි තිබෙන පුද්ගලික ගැටුම දේශපාලන වෛරයක් විදියටයි එතුමා තියාගෙන ඉන්නෙ. එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය අරන් පොදු අපේක්ෂකයා හැටියට ඔහුට තවදුරටත් නාමයෝජනා දෙන්න බැහැ කියන මගේ මතය මම ඉදිරිපත් කරල තිබෙනව. ඒක තමයි ප්‍රශ්නය. ඒකට ඔහුගෙ සිතේ මා ගැන වෛරයක් තිබෙනවා. ඔහු රටේ ආරක්ෂාව ගැන ගතයුතු පියවරවලට වඩා මගෙ එක්ක තිබෙන වෛරයට ප්‍රමුඛත්වය දෙනවා. ඊට කලින් පවා ඔහු මගේ කැබිනට් ඇමති ධුරය ලබාදීම පවා ප්‍රතික්ෂේප කරල නවත්වාගෙන හිටියා.
දැනුත් මේ රට මෙපමණ අගාධයකට වැටිල තිබෙද්දි, මෙච්චර ජීවිත නැතිවෙලා තිබෙද්දී, මුළු රටම දරන මතයක් තිබෙද්දිත් එයාගෙ වෛරය එයාට ලොකුයි. නීතිය හා සාමය ඇමතිකම දුන්නොත් ගන්නවද කියල එයා චම්පික රණවකගෙන් අහල තිබෙන බව මට ආරංචියි. චම්පික රණවක කැමති වෙලා නෑ. එක්සත් ජාතික පෙරමුණෙන් යෝජනාවක් ආවෙ නැතිනම් එයා ගන්න බෑ කියල තිබෙනව. මට ඊයේ ජනාධිපතිවරයා මුණ ගැහෙන්න ගිය ඇමතිවරු කණ්ඩායමක් මුණ ගැහුණා. ජනාධිපතිවරයා ඒ අයට කියල තිබෙන්නේ නීතිය හා සාමය ඇමති ධුරය දැන් දෙන්න බෑ. එනමුත් මාව උපදේශක කෙනෙක් හැටියට පත්කරල ආරක්ෂක කවුන්සලේට ගෙන්වන්නම් කියල ජනාධිපතිවරයා කියූ බවයි. ඊට පස්සේ කාලයක් ගියහම ඇමති ධුරය ලබාදීම ගැන බලන්නම් කීව කියලයි. එයා කියන ඒව මම විශ්වාස කරන්නෙ නැහැ. කාලයක් ගියහම දෙන කතා වැඩක් නෑ. රටේ මේ මොහොතේ ප්‍රශ්නයක් තිබෙනව. එතකොට උපදේශකයෙක් හැටියට එතන ඉඳල කරන්න පුළුවන් දෙයක් නෑ. තීන්දු තීරණ ගන්නෙ එයයි. එයාට අවශ්‍ය විදියට තමයි එයා වැඩ කරන්නෙ. එයාට මේක කරන්න නොහැකියි කියන මතයේ තමයි මම ඉන්නෙ. උපදේශකයෙක් හැටියට හිටියට අදාළ ආයතන මෙහෙයවල මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය මෙහෙයුම්වලට අදාළ සැලසුම් හදල සංකල්ප හදල ඒව කිරීමට ඇති හැකියාව ඒ ආයතනවලට ලබාදීල ඒ ආයතන ක්‍රියාවලියට හරියට යොමු කරල අධීක්ෂණය කරල මෙහෙයවන්න බෑ. එතනදි අමාත්‍යාංශය අවශ්‍ය අන්න ඒ වැඬේ කරන්නයි. ඒක තේරෙන්නෙ නෑ ජනාධිපතිතුමාට. එතකොට තමයි මේ යාන්ත්‍රණය මෙහෙයවන්න පුළුවන්. අගමැති වගේ සාකච්ඡා කර කර ඉඳල ඒවා කරන්න බෑ. ඒගොල්ලන්ට තාමත් මේක තේරෙන්නෙ නෑ. ඒක හින්ද මම උපදේශක තනතුර ගන්න කැමති වුණේ නෑ. අමාත්‍යාංශය දීල වගකීම් දුන්නොත් විතරයි මම භාරගන්නෙ.

මෙම අවාසනාවන්ත සිද්ධියට ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වගකිව යුතුය කියන චෝදනාව ගෙනත් වගකිවයුත්තන් අත පිහදාහ ගන්න හදන එක ගැන ඔබගේ ආකල්පය මොකක්ද?

මට ආරංචි විදියට නම් ආරක්ෂක ලේකම්ට සමහර ඇමතිවරු කතා කරල තිබෙනවා. මේ වගේ එකක් ආවොතින් ඒක ජනාධිපතිට නොකිය ඉන්න තරම්ම අලස වෙන්නෙ නෑ කියලයි එයා ඒ ඇමතිවරුන්ට කියල තිබෙන්නෙ. එයා කියනව ඒක කීව කියල.

පොලිස්පතිට ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් ලියුමක් ඇවිල්ල තිබෙනව. ඒ ලියුම අනිවාර්යයෙන්ම ජනාධිපතිටයි ආරක්ෂක ලේකම්ටයි යනවා. ඒ වගේ දේවල් ආවහම දැනුම් දියයුතු පුද්ගල ලැයිස්තුවක් තිබෙනවා. පොලිස්පති කීවේ නෑ, ඇක්ෂන් ගත්තෙ නෑ කියල ජනාධිපති කියන එකත් බොරුවක්. ආරක්ෂක ලේකම් කීවෙ නෑ කියන එකත් බොරුවක්. ආරක්ෂක ලේකම් කීවහම මට ඕව බලන්න වෙලා නෑ කියල ජනාධිපති කීව කියල තමයි අපට ආරංචි වෙලා තිබෙන්නෙ. ඉදිරියේදී ඒව එළියට එයි. ඉතින් ඒ වගේ ප්‍රතිචාරයක් තිබිල තමයි මේ වැඬේ අතහැරල තිබෙන්නේ. ඉතින් ඒ දෙන්නගෙ බෙල්ල දංගෙඩියට තියල ජනාධිපති අත හෝද ගන්න හදන එක වැරදියි.ජීවිත හානිය වුණේ ආරක්ෂාවෙ දුර්වලකමකින්නෙ. ජනාධිපති යටතේ තිබුණ ආරක්ෂක යාන්ත්‍රණය දුර්වලව තිබුණ නම් ඒකටත් ජනාධිපති වගකියන්න ඕනේ. නැත්නම් ජනාධිපති ආරක්ෂක ඇමතිවෙන්නෙ මොකටද?

ඔබේ කතාවෙන් පැහැදිලි වෙන්නෙ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර තිබුණ විරසකය විනාශය ඇති කළ පුද්ගලයන්ට වාසිදායක තත්ත්වයක් උදාවුණා කියන එක නේද?

ජනාධිපතිවරයා අගමැතියි නියෝජ්‍ය ආරක්ෂක ඇමතියි පැත්තක දැම්මය කියන්නෙ ආණ්ඩුව පැත්තක දැම්ම කියන එකයි. මාස හයකින් ඒගොල්ලො ආරක්ෂක කවුන්සිලේට කැඳෙව්වෙ නෑ කියනව. මාස හයකින් ඒගොල්ලො කැඳවන්නේ නැතිව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කට්ටියත් එක්ක තමයි ආරක්ෂක කවුන්සිලේ සාකච්ඡා කරල තිබෙන්නේ. ඒ කියන්නෙ මාස හයකින් නීත්‍යනුකූල ආරක්ෂක කවුන්සිලයක් තිබිල නෑ. ඒක තමයි මෙතන තිබෙන ප්‍රශ්නය. මේ නිසා අගමැතිට හා රාජ්‍ය ආරක්ෂක ඇමතිට ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට තොරතුරු කියන්නට තිබෙන අයිතිවාසිකම නැති කරලා. අගමැතිටයි රාජ්‍යාරක්ෂක ඇමතිටයි මං ඇඟිල්ල දික් කළේ ඒගොල්ලන්ට ජනතාව වෙනුවෙන් කරන්න තිබෙන සේවය කරන්නට බැරි බාධාවක් තිබෙනව නම් ඒ බාධා මගහරවා ගන්න ක්‍රියා කළ යුතුව තිබුණු නිසයි. අඩු ගාණේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ. කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්න ඕනේ. එහෙම නිකම් හිටියොතින් ඒගොල්ලන්ගෙ යුතුකමත් ඉෂ්ට වෙලා නෑනෙ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දිනෙක හිටපු හමුදා ප්‍රධානීන් කැඳවලා මේ රටේ ආරක්ෂාව ගැන සාකච්ඡාවක් පැවැත්වූවා. ඔබ එය දකින්නේ කිනම් ආකාරයකටද?

ආරක්ෂක ලේකම් කියන්නේ අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු කරන නිලධාරියා. ඕනෙම අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් කියන්නෙ ඒකයි. ආරක්ෂක ලේකම්ල යුද සැලසුම් හදන්නෙ නෑ. යුද සංකල්ප හදන්නෙ නෑ. යුද්ධය මෙහෙයවන්නෙ නෑ. මමයි යුද්ධ කළේ කිය කිය තොප්පිය දාගෙන දැඟලුවට එයා යුද්ධ කළේ නෑ. ඇත්ත වශයෙන්ම මට එයා කරපු දේ තමයි මට යුද්දෙට සල්ලි අවශ්‍ය වුණහම එයාට කියපුවහම අරන් දෙන එක. එයා මුදල් අමාත්‍යාංශයට කියල අරන් දෙනව. එක අවස්ථාවක් තිබුණ එයාට ඒක කරන්න බැරිවුණා. මං ගිහිල්ල පුද්ගලිකව බැසිල් රාජපක්ෂ හම්බවෙලා මුදල් ගත්තු වෙලාවලුත් තිබුණා. අනෙක් දේ තමයි මට අනෙක් හමුදාවලින් සහය ගන්න ඕනේ වෙලාවට සහාය අරන් දීම. ඒවගේ ඒව එයා කළා. අනෙක් වෙලාවට මහා පරිමාණ ගැටලුසහගත තත්ත්වයක් තිබුණොත් ජනාධිපතිට මට කතා කරන්න නොහැකි අවස්ථාවක් නම් ජනාධිපති එයාගෙ අයියා නිසා එයාට කියනව ඒ ගැන කියන්න කියල. එයා ඒ දේ කරනව. සාමාන්‍ය ආරක්ෂක ලේකම් කෙනකුට නොතිබුණ අමතර හැකියාවක් හැටියට එයාට තිබුණෙ එච්චරයි. ඒ හැරෙන්න යුද සංකල්ප එයා හැදුවෙත් නෑ. සටනෙ හිටියෙත් නෑ. දැන් විශ්‍රාමිකයන් එක්ක සාකච්ඡා තියල මොනව කරන්නද? රටට වැඩක් වෙන්නේ නෑ. රටට වැඩක් වෙන්න නම් ජනාධිපති යටතේ තමයි ඒක වෙන්න ඕනෙ. හැබැයි ජනාධිපති හරි දේ කරන්න ඕනේ. ඉතින් මේ අය විශ්‍රාමිකයො ගෙනත් කරන සාකච්ඡා දේශපාලන ප්‍රතිරූපය හදාගන්න කරන වැඩ විතරයි.

කලින් පැවති යුද්ධයට වඩා දැන් පවතින වාතාවරණය බැරෑරුම් නොවන බව ඔබ හිතනවද?

එදා යුද්ධය තරම් භයානක තැනකට තවම මේ තත්ත්වය පැමිණ නැහැ. එල්ටීටීඊ එක ඔය තත්ත්වයෙ හිටියෙ 1987 කාලෙ විතර ඉඳලා. එල්ටීටීඊ අවසාන කාලයෙ හිටපු තත්ත්වයට මේක ඇවිල්ල නෑ. අවුරුදු තුනෙන් ඉවර කරනවා කියූ යුද්ධය මම අවුරුදු 2යි මාස 9න් ඉවර කළා. මේව ඉවර කරන්න බැරි නෑ. හරි දේ කළොත් ජයග්‍රහණ කරන්න පුළුවන්.

මෙතනදි ඒ අයගෙ අරමුණු කුමක් වුවත් අපට බලපාන්නේ ඒ අය අනුගමනය කරන සටන් ක්‍රමවේදය. ඒ වාගෙම ඒ අයගෙ ක්‍රියාන්විත මෙහෙයුම් ක්‍රමවේදය තමයි අපට බලපාන්නෙ. අරමුණු මොකක් වුවත් මෙතන බලපුවහම මේගොල්ලත් මරාගෙන මැරෙන අයනේ. ඒක නිසා හමුදාවට පුළුවන් වෙන්නෙ ඕනේ ඒක තේරුම් අරගෙන අවශ්‍ය ආකාරයට බාධකය යොදන්න.

මේ පවතින පසුබිම පදනම් කරගෙන නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සටනට ආපසු පය තබා තිබෙනවා. ඔබ ඒ ගැන හිතන විදිය කොහොමද?

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් මේ මුස්ලිම් අන්තවාදය නවත්වන්න මට පුළුවන් කියා ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ දෙකක් කරල තිබෙනවා මම දැක්කා.
එයා හිටිය නම් මේක වෙන්නෙ නෑ කියල තවත් තැනක කියල තිබුණා. ඒ ගැන මම එක ප්‍රශ්නයයි අහන්නෙ. එයා හමුදාවෙ ඉන්න කොට යුද්ධයක් තිබුණනෙ. ඒ යුද්දෙ වෙලාවෙ ඇයි ඔහොම හිතුවෙ නැත්තෙ? ඒ යුද්දෙ වෙලාවෙ මොකක්ද කළේ? හමුදාව අතහැරල ඇමරිකාවට ගිය එකනෙ කළේ. ඒ යුද්ධෙ වෙලාවෙ ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයට ඔය මානසිකත්වය තිබුණෙ නැතිද? අපට තිබුණ ඒ මානසිකත්වය. ඒක තමයි අපි වෙඩිකාගෙන දිගටම හිටියෙ. ඒ ප්‍රශ්නයට ගෝඨාභය රාජපක්ෂ රටට උත්තර දෙන්න ඕනේ.