බෝම්බවලින් සුරැකෙන සුරුවම්

ටිරන් කුමාර බංගගමආරච්චි

අව්ව ඇති කල රෙදි වේලා ගන්නට ඕනෑයැයි දන්නා කතාවකි. ඒ නිසාම මේ මොහොතේ සියලු දේශපාලන පක්ෂ කරනුයේ රෙදි වේලා ගන්න අතර ගොඩ ගැහුණු කුණු රෙදි පවා ලහි ලහියේ සෝදා වේලා ගැනීමය. හැමදේම වන්නේ හොඳට යැයි අදහන මිනිසුන් වෙසෙන රටක පාස්කු ප්‍රහාර දේශපාලන වාසි ලැබෙන මගක් නොවන්නේ කෙසේද?

එය කිසිසේත්ම පුදුමය දනවන දෙයක් කරගත යුතු නැත. හැම ගස් මුදුනකම ව්‍යාපාරිකයෙක් ලැගුම් ගන්නා සේ ම හොඳ නරක කුමන ප්‍රශ්නයක් වුව දේශපාලකයාට දේශපාලනික මෙවලමක්ය. හැම පක්ෂයක්ම අද ක්‍රියා කරනුයේ ඒ වාසියේ උපරිමය ගන්නටය. මේ තත්ත්වය මාධ්‍යයටද පොදුය. ඔවුන්ගේ කැමරා උඩ ව්‍යාපාරිකයන් ලඟින නිසා ඕනෑම ඛේදවාචකයක් වඩා හොඳ ආලින්දයේ රසවිඳින ඛේදවාචක බවට පත් කිරීමේ උපරිමය ඔවුහු කරති. පසුගිය සතියේ වැඩිම පිරිසක් නැරඹුවේ කුමක්ද යන්න ගැන සිතුවහොත් ඒ ප්‍රවෘත්ති බව ස්ථිරය. ඒ ඛේදවාචක දසුන් බැලීමටය. පිරිසක් ක්ෂණිකව ඒ ස්ථානවලට ගොස් නරඹන අතර දැන් ඉතිරි අයට ටෙලිවිෂන් හරහා නැරඹිය හැකිය. මේ නැරඹුම් මානසිකත්වයෙන් අප කුල්මත් වී සිටිමු. වල්මත් වී සිටිමු. එය වෙනම කතා කළයුත්තකි.

ගෝඨාභය පාස්කු ප්‍රහාරය තම දේශපාලන වාසියට හරවා ගෙන ඇතැයි සෙසු පිරිස් කියමින් සිටිනු ඇසේ. පාස්කු ප්‍රහාර දේශපාලන වාසියට හරවාගෙන ඇත්තේ ගෝඨාභය විතරද? රනිල්, සිරිසේන, මහින්ද මෙන්ම ප්‍රාදේශීය දේශපාලකයා දක්වාම සැම කරනුයේ පාස්කු ප්‍රහාර තම දේශපාලන වාසියට හරවා ගැනීමය. ඇත්ත එයය. අහවලා යැයි ඇඟිල්ල දිගු කරන්නේම ඒතරම් ඔවුන්ට එහි වාසිය ගන්නට බැරි වූ නිසා මිස වෙන කෙන්ගෙඩියකට නොවේ. පාස්කු ප්‍රහාරයත් සමග දේශපාලන ජල තටාකය බොරවූ නිසා සැවොම කරනුයේ බොර දියේ මාළු බෑමය. අප එය තේරුම් ගත යුතුය. මෙහිදී වඩා වැඩි මාධ්‍ය හිමිකාරිත්වයක් ඇති අය මාළු බාන ප්‍රමාණය පෙනෙන අතර අනෙක් අය හීනියට එකෙක් දෙන්නෙක් අල්ලා ගනිති. වෙනස එයය.

ගෝඨාභය

පාස්කු ප්‍රහාර වන දින ගෝඨාභය කෙනකු ආසාවට දැකගත නොහැකි විය. මේ තරම් නිර්භීත සෙන්පතියා සිද්ධීන් වූ එක් තැනකටවත් නොආවේය. ඉන්පසුත් ශබ්දයක් නොකළේය. හත් දවසත් අවසන් වූ පසු ඔහු ආවේශ වී ඇත. ජාත්‍යන්තර මාධ්‍යකට කට අරින ගෝඨා තමා නියතවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් මේ මුස්ලිම් අන්තවාදය නැති කරන බවත් පැවසීය. එසේ නම් ගෝඨා බලය ලබානොගතහොත් මේ තත්ත්වය මෙලෙසම පවතිනු ඇත. ගෝඨා කලින් දැනුවත්ව උපරිම ආරක්ෂා වූ බව සැබෑය. දැන් විරුවකු වී ඇති ඔහු තමා විරුවකු බව පෙන්වනුයේ රටේ ජනතාවට නොව තම සහෝදරයන්ටය. පොහොට්ටු දේශපාලනයේ ජනපති භෞතීස්ම කරනුයේ මහින්ද රාජපක්ෂ බව පරණ කතාවය. ඒ කතාවට අනුව ගෝඨා නම කියවෙන්නේම නැත. බැරිම තැන ගෝඨා රාජපක්ෂගේ පොහොට්ටු වලව්වෙත් දොරවල් කඩාගෙන එළියට පැන්නේ තනිව නොව මහින්දගේ දේශපාලන බොඩි ගාඞ්ස්ලා වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලද රැගෙනය. මහින්දගේ සාලය අස්පස් කළ වාසුද නොබෝදා ගෝඨා හමුවී ඔහුගේ ළඟ මල්පෝච්චියක් හෝ වන්නට දත කන අයුරු පෙනුණි. ඔහු මාධ්‍යයට පැමිණ කීවේ පොහොට්ටුවේ වැඩි ඉල්ලීම ගෝඨා නිසා තමනුත් තම අදහස් දැක්වූ බවය. මුලින් ගෝඨා එපා කී වාසුලා තම වයස ගැන හෝ හිතා දේශපාලනයෙන් සමුගෙන ගෙදර සිටිය යුතුය. මන්ද මේ ආකාරයට දේශපාලන ජෝක් කර මිනිසුන් හිනැස්සීම ඔහු නොකළාට ඕනතරම් අය කරන බැවිනි.

දැන් ගෝඨාභයට මහින්ද රාජපක්ෂගේ නියත විවරණ අවශ්‍ය නැත. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් බෝම්බ ගසා පවා ඉල්ලනුයේ ගෝඨාවය. බෝම්බ පිපිරුණු කල රාජපක්ෂලා රජකරවන්නට මේ රටේ මිනිස්සුන්ට පිස්සුද? ඒ අය බෝම්බ නිෂ්ක්‍රීය අංශයේද? මුස්ලිම් අන්තවාදය විනාශ කරන්නට ගෝඨා ගෙනවිත් නැවත රට යථා තත්ත්වයට ගන්නට ඉතිරි වසර පහට තව විකල්පයක් සෙවිය යුතු නැද්ද? ගෝඨාට බයේ එසේ නැතිනම් ගෝඨාට ඇති බයට විකාර කියවීමෙන් ගෝඨාට වැඩිම මාධ්‍ය ආවරණයක් ලැබී ඇත. ඒ නිසා ගෝඨාත් දැන් සුපර් මෑන් වී ඇත. ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන ලියුම අද නොවේ හෙට පන්නයේ මෙගා නාටකයක් වී ඇත. ගෝඨා පුරවැසිභාවය අහෝසි කරගත්තහම අපිට මොකද? ගෝඨා හෙට තරග කළහොත් ඒත් අපිට මොකද? තරග කරන හැමෝම දිනන්නේද?

රනිල්

පාස්කු ප්‍රහාරවලින් වඩා විනාශ වූයේ එජාපය බව දැනට පෙනෙන චිත්‍රයය. පල්ලියට යන එන දර්ශන මෙන් සිරිකොත, අරලියගහ මන්දිරය දෙසත් බැලිය හැකිනම් දේශපාලනිකව පක්ෂය විනාශ කිරීමට බෝම්බ බැඳගෙන පැමිණ තවමත් පුපුරුවා නොගෙන ඉන්න බෝම්බකරුවන් තොගයක් දැකගත හැකිය. ඔවුන් රනිල් ළඟ හෝ රවි ළඟ වැඳ වැටෙමින් පුපුරණ වේලාව ගැන හිතනවා විය හැකිය. පාස්කු ප්‍රහාරයෙන් පසු රනිල්ගේ හැසිරීම් නිරීක්ෂණය කළහොත් කී කතා දෙස බැලුවහොත් ඔහු අසරණ වී ඇති තරම මනාව දැකිය හැකිය. එය දිනෙන් දින උග්‍ර වේ. එහෙත් අමතක නොකළයුත්තේ මේ ලංකාව බවය. ලංකාව තුළ අසරණයාට ලොකු ඉඩක් ඇත. දේශපාලන අනාථයාට රැකවරණයක් ඇත. එයත් දේශපාලනයේම එක් චරිතයකි.

මහින්ද

එහෙත් මහින්ද අනාථ වී ඇත්තේ එසේ නොවේ. දහනවය ගෙනවිත් ඔහුව දේශපාලනිකව හිර කළ නිසාය. ඒ නිසාම ඔහු අද දේශපාලනිකව කනවැන්දුම් වී ඇත. සැවොම ඔහුට අනුකම්පා කළත් කර ගසන්නට කැමති නැත. බල්ලා මැරෙන්න යනකොට මැක්කෝ ඉබේම බැහැලා යනවාය යන කතාව මෙතැනට අදාළය. මහින්ද පස්සේ ගිය අය අද ගෝඨා පස්සේය. ඒ අනුව බලන කල මහින්ද දේශපාලනිකව අනාථ වී නැත. නන්නත්තාර වී ඇත.

සිරිසේන

මේ මොහොතේත් පෙර මෙන්ම කැතම, ජඩම දේශපාලනය කරන්නේ ජනපති සිරිසේනය. ෆේස්බුක් අරහං සිරිසේනට ෆේස්බුක් නොවන්නට සිංගප්පූරුවේදී මෙරට බෝම්බ පුපුරා ඇති බවවත් දැනගන්නවා බොරුය. කිසිවෙක් ඔහුට පණිවුඩ දෙන්නේ නැත. සියලු සබඳතා අතහැර ජනපති සිංගප්පූරු ගොස් ඇත්තේ ආතතියෙන් මිදෙන්නට විය යුතුය.

ලංකාවට ආ පසු දැන් දැන් ඔහු ඔහුගේ කැත දේශාපලනය පටන් ගනිතැයි සිතුවද එය ප්‍රමාද විය. එය සුළු ප්‍රමාදයකි. ඔහු පෙර සිරිසේනම විය. නියම රූපාන්තරණයට පත්විය. සියලු වගකීම් පොලිස්පති සහ ආරක්ෂක ලේකම් පිට දැම්මේය. ආරක්ෂක ලේකම් ඉල්ලාගෙන කෑවේය. එහෙත් සිතිය යුත්තේ ඔහුගේ උද්ධච්ච කතාව තුළ ඇත්තේ සිරිසේනම බවය. ඇතැම්විට හේමසිරි ප්‍රනාන්දු මේ ප්‍රහාරය ගැන ජනපතිට දැන්වූ පසු ඔහුගෙන් ලැබෙන්නට ඇත්තේ මේ පිළිතුරය. එසේ නැතිනම් මට ඔය වාර්තා වැඩක් නෑ පන්නයේ කතාය. කුඩු ඇල්ලීමේ මෙහෙයුම දියත් කර සිටි සිරිසේනට කවුරු අභියෝග කරන්නද? පන්නයේ වීර චාරිකාවක ඔහු නියැලිණි. උපදේශකයන් රොත්ත බුරුත්තක් සිටියදී ඔහු මේ ගැන නොදන්නේද? ඔහු සිංගප්පූරු ගියේ මේ බව දැනගෙන යැයි අපට සිතිය නොහැකිද? ආරක්ෂක ලේකම් දැන සිටියා නම් ඔහු ඒ ගැන සැහැල්ලුවෙන් තැකුවා නම් ඔහුට ඒ සැහැල්ලුව දුන්නේම ජනපති සිරිසේනය. ඔහුව දැනුවත් කළ සැණින් ඔහු මෙය සුළු කිරීම නිසා ආරක්ෂක ලේකම් ඒ විදිහටම ඉන්පසුවද සිටි අතර ඒ නිසාම පහසුවෙන්ම ඔහු මේ පාස්කු ප්‍රහාරයට හසුවිය. හෙට ඔහුට ඇත්ත කිව හැකිද? ජනපති දැනුවත් කළා යැයි කිව හැකිද? ඔහු මද්දුම බණ්ඩාර විය.

ජනපති සිරිසේන බලන්නේ දැන් කුඩුත් නැති එකේ බෝම්බවලින් ගොඩ යන්නටය. රටේ ඕනෑම දෙයක් පත්තරයෙන් දැනගන්නා සිරිසේන සිංගප්පූරු සිටි නිසා ෆේස්බුක් හරහා ඉක්මනට එදාම දැන ගත්තේය. මුකුත් නොදන්නා ඕනෑම ප්‍රශ්නයකදී එය තව කෙනකුගේ හිස මත තබාම අහවර කරන මෙවැනි කෙනකු නැවත ජනපති කළ යුතුද? මේ රටේ මිනිස්සු ඒතරම් පිස්සන්ද? ජනපති සිරිසේන තරම් දොන් ජුවාන් කෙනෙක් මේ දේශපාලනයේ පහළ නොවූවා සහතිකය. පහළ නොවන බවද ස්ථිරය.

ජවිපෙ

මෙරට තීරණාත්මක දේශපාලන සාධකයක් බව හිතා සිටි ජවිපේ අද යන එන මං නැති ගාණට වැටී ඇත. ත්‍රස්ත ප්‍රහාරකයකුගේ පියා වන ඊබ්‍රාහිම් හසුවන විට ඒ ජවිපේ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න සිටි අයෙක් බව ප්‍රසිද්ධ විය. එහෙම කෙනකු ජවිපෙ ඉඳීම නොදැන වුණැයි සිතමු. එහෙත් ඔහු ආරක්ෂා කරන්නට ජවිපෙ දඟලන දැඟලිල්ලෙන්ම පැහැදිලි වනුයේ ජවිපෙ හිරවී ඇති තරමය. අද ජවිපෙ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් වී ඇත. වෙනත් දේශපාලන ව්‍යාපෘතිවල නියැලෙන මාධ්‍ය අද ජවිපෙ පතුරු ගසති. ඒ අයට විරුද්ධව අනුරත් චණ්ඩියා වී ඇත. වඩා කුපිත වීම අඩුව පෙන්වන බව අනුරට කිව යුතුය. පසුගිය කාලය තුළ ජවිපෙ නියැලුණේ සුපිරි දේශපාලනයකය. එය මේ පොළොවේ එකක් නොව අමුතුම එකකි. මින් ඔබ්බට ජවිපෙ දේශපාලනය සාධකයක් නොවනු සහතිකය. ජවිපෙ ඊබ්‍රාහිම්ගෙන් සල්ලි ගත්තාද නැද්ද අපි නොකියමු. එය හරියටම දන්නේ අනුර ප්‍රමුඛ ජවිපෙ නායකයන්ය. එක දෙයක් කිව යුතුය. පසුගිය කාලයේ ජවිපෙ මහ ඉහළින් සුගතදාසහි සැමරූ ජාතික විද්වත් සංවිධාන කථිකාවේ භෝජන සංග්‍රහය නම් අපූරුය. එහිදී ඇති පදම් එළු මස් කෑ අය ජවිපෙ පාටි ගැන උදම් ඇණූහ. ඒ පාටියට ගිය අය නැවත කල්පනා කරන්නේ නම් එදා ඔබ සමග ඊබ්‍රාහිම්ද සිටි බව මතක් විය යුතුය. ඒ භෝජන සංග්‍රහය ඔහුගේ යැයි අපි නොකියමු. මන්ද වෙන අය කියන කතා අපි කුමට පිළිගනිමුද? කුමක් වුවත් ජවිපෙ වැනි පක්ෂයක් තමන්ට උදව් කළ අය අමතක කරයිද? තමන්ගේ නායකයා වුවත් ඉවත් වූ කල ඔහු ගැන කිසිත් නොදන්නා පක්ෂය මේ මොහොතේ ඊබ්‍රාහිම් නොදන්නවා නොකීමම වටීය.

අගරදගුරු

පසුගිය කාලයේ මාධ්‍ය වීරයා මාකඳුරේ මධුෂ්ය. එහෙත් දැන් මධුෂ් කෙනෙක් හිටියාද මතක නැත. පාස්කු ප්‍රහාරයත් සමග කරළියට ආවේ කාදිනල්තුමාය. ඔහු අද මාධ්‍යයට නැතිවම බැරි කෙනකු වී ඇත. මහා නායක හිමිවරුන්ගෙන් උපදෙස් ගෙන දේශපාලන නොකළ යුතුවා මෙන්ම කාදිනල්ගෙන් උපදෙස් ගෙන දේශපාලනය නොකළ යුතුය යන තැන අපි ඉඳිමු. මුලදි එම සිද්ධියට අදාළව කාදිනල් අදහස් ප්‍රකාශ කිරීම හරිය. එහෙත් දැන් දැන් ඕනෑ එකත් එපා එකත් යන හැමදේම දේශපාලකයන් මෙන්ම කාදිනල්ද පටලවාගෙන ඇති ගාණය. මුලදී අපිට කාදිනල්ගේ හඬ ඇසුණු නමුදු දැන් දැන් ඇසෙනුයේ කාදිනල් හරහා මහින්දගේ හඬය. එය එසේ වීම කාදිනල්ට තරම් නොවේ.