රංචුවෙන් ඈතට Away from the Flock

එරික් ඉලයප්ආරච්චි

බොහෝ විට මනුෂ්‍යයාගේ විවිධ ඉරියව් හෝ සත්ව රාජධානියේ සාමාජිකයින් හෝ මූර්තිධර සෞන්දර්යවේදයකින් නිරූපණය කිරීම වෙනුවට මියගිය සැබෑ ජීවයක් ෆෝමැල්ඩිහයිඞ් ද්‍රාවණයක දමා කලාගාරයක් තුළ ප්‍රදර්ශනය කිරීම පමණක් නොව 1994 දී නිර්මාණය කළ මෙම අසහාය කලා කෘතිය කලාත්මක වශයෙන් හා සත්භාව විචාරාත්මකව (Ontology) දර්ශනවාදය තුළ ඥානකායට ඇතුළත් කරමින්  (canonize) 1995 දී හොදම බි්‍රතාන්‍ය මූර්තියට පිරිනැමෙන ටේට් ත්‍යාගය ප්‍රදානය කිරීම ද, එහි නිර්මාණ ශිල්පියා වූ ඬේමියන් හර්ස්ට් එංගලන්තයේ ධනවත්ම මූර්ති ශිල්පියා වීම ද කුතුහලය දනවයි. පාදමකින් තොරව කෙළින්ම බිම රඳවන මූර්තියක් වූ මෙය සමන්විත වී ඇත්තේ ඝන රාමුවකින් යුතු වීදුරු ටැංකියකට දමන ලද ෆෝමැල්ඩිහයිඞ් ද්‍රාවණයක බැටළු මළකුණක් දැමීමෙන් හා එය බයිබලියානු වාක් රූඪියකින් නාමකරණය කිරීමෙනි. කෙටියෙන් පවසත හොත් නූතන මූර්තියක් ලෙස කලාකරුවා අපට ප්‍රදර්ශනය කරන්නේ මෘතශරීරාගාරයකි. චිත්‍රයක රේඛා, වර්ණ හා හැඩතල හෝ මූර්තියක ත්‍රිමාන කළුගල්, ලෝකඩ, දැව යනාදි පෘෂ්ඨ වෙනුවට සුරක්ෂක ද්‍රාවණයක්, මැරුණු බැටළුවෙක් හා ඝන සුදු රාමුවක් සහිත වීදුරු ටැංකියකි. ෆෝමැල්ඩිහයිඞ් රසායන ද්‍රාවණය සම්බන්ධයෙන් ඬේමියන් හර්ස්ට් පැවසුවේ ඔහුට වැදගත් වූයේ එම රසායනයේ සුරක්ෂකතා ගුණය නොව කලාත්මක ප්‍රකාශන ගුණය බව යි.

මේ සාධනක මූර්ති නිර්මාණයේ කිසිවක් එකිනෙකින් වෙන් කළ නොහැකි අතර මුඛ්‍ය රූපය වූ බැටළුවා වූව ද රසායන ද්‍රාවණයක ගිලී ටැංකියක් තුළ පැවතීම කලාත්මක අර්ථය පිණිස අනිවාර්ය වේ. එපමණක් නොව වෙනත් කවර මූර්තියක් මෙන් මේ නිර්මාණය ද ත්‍රිමානව පැවතීම ද එකී අර්ථ ජනනයේ මුඛ්‍යාංගයකි. නිර්මාණ ශිල්පියා මේ නිර්මාණය පොළොව මත තැබීම අපේක්ෂා කරයි. එයින් ගම්‍ය වන්නේ මේ අසරණ බැටළු පෝතකයා දෙස ප්‍රතිමා හිසක් මෙන් නරඹන්නා පහළ සිට ඉහළ බලන දෘෂ්ටිකෝණයකින් නොව ඉහළ සිට පහළ බලන දෘෂ්ටිකෝණයකින් බැලිය යුතු බවයි. අප එවැනි දෘෂ්ටිකෝණයකින් බලන්නේ පොළොවෙන් වෙන් කරන්නට නොහැකි දෙයක් හෝ මියගිය කෙනෙකු දෙසය. මළවුන් හොවා ඇති පෙට්ටිය දෙස ද, මළවුන් භූමදානය කරන වළ දෙස ද අපි මෙසේ බලමු. ටී.එස්.එලියට් ස්වකීය ‘මුඩු බිම’ ආරම්භ කරන ‘මළවුන්ගේ භූමදානය’ නම් ප්‍රථම සර්ගය ඒ මහා කාව්‍යයේ සමස්ත දැක්ම නිර්ණය කරන්නේ යම් සේ ද, ඬේමියන් හර්ස්ට්ගේ මේ මූර්තිය ද මළවුන්ගේ භූමදානයක් හා ඒ හා බැදුණු ශාසනික ධර්මකර්මයක් අපේක්ෂා කරන බව නිගමනය කිරීම සාධාරණ ප්‍රවිෂ්ටයකි.

බැටළුවකු සිය කලා කෘතියේ මුඛ්‍ය රූපය බවට පත් කර ගැනීමෙන් නොනවතින ඬේමියන් හර්ස්ට් ‘රංචුවෙන් ඈතට’ යන වාග්කේන්ද්‍රීය ලේබලය එහි දවටයි. රංචුවෙන් ඈතට යාම යනු දුරස්ථ වීමයි. රංචුවේ දී ලැබුණු ආරක්ෂාව හා සාමුහිකතාව ඈතට යාමෙන් පසු නැත. රංචුවෙන් වෙන් වී ඈතට…ඈතට යන්නාගේ සංදෘෂ්ටික තත්ත්වය (existential status) හුදකලාව හා කේවලත්වයයි. දැන් සිටින්නේ ඇල්බෙයා කමූගේ ‘මර්සෝ’ මෙන් පිටස්තරයෙකි. බටහිර චිත්‍ර කලාව තුළ රංචුවෙන් ඈතට යන බැටළුවා ප්‍රපාතයක් ආසන්නයේ මරණයේ මුවවිටේ රැදී සිටින්නෙකි. ප්‍රපාතය ආසන්නයේ වැවුණු තණබිම මරණයේ කෙම්බිමකි. තවද ඈතට ගිය බැටළුවා යනු රංචුවේ භාරකාරයා වන ගොපල්ලාගේ ආරක්ෂිත විජිතයේ සීමා තරණය කළ සතෙකි. සැබැවින්ම ඒ අපූර්ව සත්වයා ගොපල්ලාගේ විජිතය ප්‍රතිවිජිතකරණය (deterritorialization) කර ඇත. ස්වකීය අවිහිංසකතාවයෙන් හා නිදහසේ සුගන්ධයට ඉව කිරීමෙන් ඒ බැටළු පෝතකයා ගොපල්ලාට එරෙහිව කැරැලි ගැසූවෙකි. එනමුත් තවමත් ගොපල්ලාගේ අවධානය අහෝසි වී නැති අතර ඔහු සිය නැතිවුණු සතා සොයා ගෙන එනු ඇත. නොඑන්නට ද ඉඩ ඇත. ඬේමියන් හර්ස්ට් සිය අසාමාන්‍ය කලා කෘතිය මගින් ස්පර්ශ කරන්නේ මේ සියුම් ආතතිය යි. රැකෙම්වා, මියෙම්වා (to be or not to be) යන ඒ ජීවන ගැටලුවට මැදිව මේ සතා කල් ගෙවයි. අනුභූතික තලයේ දී ඒ බැටළුවා මියගොස් ඇත. ඉන් පෙනෙන්නේ ගොපල්ලා විසින් නැවත රංචුවට රැගෙනවිත් නැති බවකි. එනමුත් අකල් මරණය හා කලාකරුවාගේ පාරදෘශ්‍ය ඇසුරුම තුළ බැටළුවා සදාතනිකව යටකී ආතතිය තුළ රැදෙයි. බැටළුවා මළා වුව ජීවත්වන අයුරින් පමණක් නොව චලනයෙහි නිරතව සිටින අයුරින් ද නිරූපණය කර තිබීම නිසා ඒ මනෝභාවය තදින් තහවුරු වෙයි. ඝන සුදු රාමුව ද, බැටළුවා ද්විවර්ණ වීම ද ඒ හැගීම දියුණු කරයි. ෆෝමැල්ඩිහයිඞ් රසායන ද්‍රාවණය මගින් ජීවයට ඇති අන්තරාදායකභාවය, ලෝම සහිත සම දැවීයාමේ හැකියාව හා මතකය අහෝසි කර දැමීමේ හැකියාව පිළිබිඹු කරයි.

බැටළුවා පිළිබද ප්‍රපංචවේදය (Phenomenology of sheep) තව දුරටත් පරීක්ෂා කළ හොත් පෙනී යන කාරණයක් වන්නේ ඒ සතා මිනිසාට ආහාරයක් ලෙස, උනුසුමට ලෝම සපයන්නා ලෙස මහා අනෙකා (The Big Other) වෙනුවෙන් ජීවත්වන අතර බැටළුභාවයේ (sheepness) සාරාර්ථය වන්නේ අනෙකාට ගොදුරු වීම සඳහා ජීවත්වීමයි. එහෙයින් ඬේමියන් හර්ස්ට්ගේ මේ මූර්තිය ගොදුරු වීම සඳහා මිනිස් සංහතිය තුළ ජීවත්වන දහස් සංඛ්‍යාත මිහිතලයේ අසරණයින් (the wretched of the earth) වෙනුවෙන් පෙනී සිටියි. ඔහුගේ මේ ජලජ මූර්තිය ‘ස්වාභාවික ඉතිහාසය’ (Natural History) නමින් 1991 දී නිර්මාණය කිරීම ආරම්භ කළ සත්ව මූර්ති මාලාවකින් එකකි. සිය මූර්ති කලාවේ දී උපත, රෝගීභාවය,මරණය, ඖෂධ හා ආගම ගැන උනන්දු වූ ඔහු පැවසුවේ සිය මූර්ති මාලාව මගින් ‘ජීවත්වන්නන්ගේ මනස තුළ මරණයට ඇති කායික නොහැකියාව’ නිරූපණය කරන බව ය. එනම්, ජීවත්වන්නන්ගේ මතකය ජය ගන්නට මරණයට නොහැකි ය. එය සැල්වඩෝ ඩාලිගේ වැහැරෙන ඔරලෝසු සහිත ‘මතකයේ නිත්‍යතාව’ (Persistence of Memory ) චිත්‍රයේ පරම මූර්තිධර ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකි අතර නොමැරී ජීවත්වන්නන්ගේ මතකය තුළ යාවජීව වන්නන් වෙනුවෙන් කරන ලද කලාත්මක අභිනන්දනයකි. එමෙන්ම මේ නිර්මාණය, මහා සාමුහික ඛේදවාචක නිසා නොමැරී ඉතිරි වූවන් ස්වකීය නොමැරුණු ජීවිතය පවා මරණයේ හෝසානාවක් හෙවත් ශෝකී ප්‍රශස්ති ගායනයක් ලෙස ශ්‍රවණය කිරීමේ මූර්තිධර පාදූර්භුතයකි ( sculptural epiphany).

සෙසු අංග ලෙස මේ මූර්තියේ පවතින කොළ පාට රසායන ද්‍රාවණය, ටැංකිය හා එහි රාමුව මගින් අවදි කරනු ලබන්නේ ස්වාභාවිකත්වය පිළිබද හැගීමක් නොව සමකාලීන සංස්කෘතිය හා එහි පුපුරා යා හැකි භයංකාරීත්වය පිළිබද දරුණු හැගීමකි. ඉන් කාර්මික සෞන්දර්යවේදයක් (industrial aesthetics) පළ වෙයි. සංස්කෘතිය තුළ මිනිස් ශිෂ්ටාචාරය විසින් ලබා ගන්නා ලද කාර්මික ජයග්‍රහණ ශිෂ්ටාචාරයට එරෙහිව යෙදවීමේ වෘත්තාන්තය පමණක් නොව මනුෂ්‍යයා කාර්මිකත්වය තුළ මිනිස් බෝම්බ වැනි මරණයේ පාර්සල් ලෙස ප්‍රතිව්‍යුහගත වීමේ ඛේදාන්තය ද ඉන් කියවේ. අධිරාජ්‍යයක් ලෙස පැවති බි්‍රතාන්‍යයේ නව මූර්ති කලාව නූතන යුගයේ දී ඇගේ යටත්විජිත තුළ වඩාත් බිහිසුණු ආකාරයට අර්ථකථනය වීම පිළිබද පශ්චාත්-යටත්විජිත විසංයෝජනාත්මක කියවීමක් (post-colonial deconstructionist reading) සදහා ඬේමියන් හර්ස්ට්ගේ මේ කලා කෘතිය ලාංකේය අපට ආරාධනා කරයි.