‘මුහුණු පොතේ ලියවුණු ‘නෙතුර් තා’ ගේ කවි සිත’

නිමල් අබේසිංහ

‘නෙතුර් තා’ යන නමින් මුහුණු පොතෙහි කවි පළකරන නිර්මාණකාරියගේ නිර්මාණ කියවද්දී ඇයට නිර්මාණ ලෝකයේ දිගු ගමනක් යා හැකි බවට ඉඟි කරන කාව්‍ය නිර්මාණ රැසක් දැකගත හැකිය. ඒවා විසිතුරු සේම අරුත් දනවන සුළුය. ‘නෙතුර් තා’ යනු නිර්මාණ කාරිණියගේ සැබෑ නම නොවිය හැකි නමුදු එය ඇයගේ කවිකම් පිළිබඳ විමසන්නට බාධාවක් නොවේ.

‘කියන දේ නාහනම කෙස් රොදක් හින්දා
දිවගින් මෑත් කර නලල් තල සිම්බා
දඩබ්බර ඔය දෙතොග රොන් රසක රන්දා
කොට රවුල් නොකියාම කුරුටු ගී ඇන්දා

උණුසුමින් රත් වෙලා මත් වුණත් කන්පෙතී
සුසුම්වල සැර වැදී කැළඹුණත් මල් පෙතී
රැළ ගැසුණ රොමු කැරළි පපුතුරේ හැපි හැපී
කොපුවෙ ලු කඩු පතත් සටනකට සැරසුණී

සිහින් කෙඳිරිලි හඬින් ගණදුරද කළම්බා
බාහු මැද නිය පහර සමරු වැල් තිබ්බා
සියුම් දහඩිය මැදින් මල් සුවඳ රන්දා
ගිනි ගත්ත ගිනි මලක් රොන් රසය වින්දා

වින්දෙමි රාගිනි නම් වූ මේ කවිපෙළ ගැහැනියක විඳගත් රාගයේ විඳීම මැනවින් ජනනය කරවයි. එය රහසේ විඳගත් අසම්මත වුවක් බවද පෙනේ. එය වූ කලී කවියේ රසවින්දනයට බාධාවක් නොවේ. එකී ගැහැනිය රාගිනි විඳ ගැනීමෙන් ළත් පරමානන්දනීය සංතෘෂ්ටිය විචිත්‍රවත්ය. ආහ්ලාද ජනකය. ඇය එයට අවැසි වදන් බුහුටිව හසුරුවයි.

කොපුවේ ලූ කඩුපතක් සටනකට එළඹුණී, සියුම් කෙදිරිලි මැඳින් මල් සුවඳ රන්දා, තවත් එවැනි අපූරු යෙදුම්ය. ග්‍රාම්‍යත්වයෙන් බැහැරය. මේ රාගය විඳ ගන්නේ කලක සිට රාගයෙන් දැවෙමින් සිටි අඟනකි. ගිනි ගත්ත ගිනි මලක් රොන් රසය වින්දා, යන්නෙන් එය විශද කරවයි. එය සම්මතද අසම්මතද යන්න ගැටලුවක් නොවේ. අප සැලකිය යුත්තේ නිර්මාණයේ සුන්දරත්වය බැවිනි. ඕලාරික නොව එහෙත් සුලබව භාවිතා වන වදන් වැලක් මේ කවිපෙළ තුළ ඇය සුබාවිත කරන්නීය. ඇය ලද තෘප්තිය මිහිරක් බව දනවන්නීය.

‘තවත් බෑ හිරවෙන්ට’ නෙතුර්තාගේ තවත් කවි පෙළකි. ඉන් දනවනුයේ දවස පුරා නිවසෙහි මරසුමේ කර හෙම්බත් වූ ගැහැනියට සිය බීමත් සැමියාගේ කායික උවමනාවන් තෘප්ත කරනු වස් විඳීමට වන වද වේදනාවන්ය.

‘දවස පුරාම වැඩ කරලා
මහන්සියි මට
වැනි වැනි හවසට
ගෙදර එන උඹ
බලන් හිටියේ මාව
දඩයමක් කර ගන්න’

සිය ස්වාමියා සන්ධ්‍යාවේ නිවසට පැමිණෙනුයේ දවස පුරා මරසුමේ කර හෙම්බත් වූ ඇය දඩයමක් කර ගැනීමටය. ඇයගේ පපුතුරේ ඔහු කෙරෙහි බැඳුන සෙනෙහස දැන ගන්නට හෝ විඳගන්නට ඔහුට උවමනාවක් ඇත්තේ නැත. මධු පැනයෙන් මත් වූ ඔහු කරනුයේ ඇයව තලා පෙලා පොඩිකර දමා සිය අවශ්‍යතාවය සපුරා ගැනීම පමණය. සැමදා විඳවන ඇය සටනට වන්නීය.

‘ඒත් අද එහෙම බෑ
මමත් අද සටන් කරනවා
මගේ අයිතිය වෙනුවෙන්

කැමතිනම් වරෙන් හැපින්නක්
එක්ක නිදාගන්න අද
අහිමි වන දේවල් වලට
වග කියන්නෙ නම් නෑ’

එය බිහිසුණු තත්ත්වයක් විය හැකි බව ඕ දනවන්නීය. මේ ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ දිවි තුළ ඇති නොකියවෙන පැතිකඩක් සේම ඛේදවාචකයක්ද වේ. කවිය තුළින් ගම්‍ය වන ආකාරයට නම් මේ විඳවිල්ල සේම ගෙරවිල්ලද ගැහැනියගේ චිත්‍යාභ්‍යන්තරයේ පමණකි. ගේහ සිතෙහි වූ දැඩි බන්ධනය අවසානයේ ඉවසිල්ලට හේතු වෙයි. ගැහැනියගේ ස්වාභාවයද එයමය.

කෙසේ වතුදු නෙතුර් තා සිරිලක කාන්තාවන්ගේ ගේහ දිවියෙහි කඨෝර භාවයත් ඔවුන්ගේ චිත්්‍යාභ්‍යන්තරයත් ඉසියුම් අයුරින් නිර්මාණය තුළ ඉස්මතු කරවන්නීය. එහිලා ඇය සිය සහෘදයාද (ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව) ඇයගේ පාර්ශ්වයේ සටන් සගයකු කරගැනීමට සමත් වන්නීය.

‘උඹ පරාදයි කුවේණි’ නම් පැදි පෙළ තුළින් නෙතුර් තා කුවේණිය කේන්ද්‍ර කර ගනිමින් අපූරු නිර්මාණයක් ගෙත්තම් කර තිබේ. ඒ වියමන මෙහි බහාලන්නේ තැනින් තැන උපුටනය කිරීමෙන් ඇය දනවන අරුත්වලට සමීප විය හැකි බැවින්ය.

‘එදා ඌ කළ වැරැද්දට
මහ මෙරක දුක් හිත දරන් හිටියට
තාම උඹ මේ පැරදිලා
අපි හැමෝමත් රැවටිලා

මන්ද්‍රි බිසව් නම් හිත හදාගෙන
ඉන්නවා ඇය මහළු මඩමක
ජාලිය නම් මහ බැංකුවේ ඉහළ පුටුවක
ඇයි යැව්වේ ක්‍රිෂ්ණව පිටරට
උන්ට දැන් මව් අමතක වෙලා

ඉගෙන ගෙන අර සහතිකේ ගත්තට
මහපාරේ උන් හිඟනවා ටින් බෙලෙක්කෙට
තවත් පාරෙයි ජීවහත්තලා
රතු රටක් ගැන හිතනවා

බොඩිය ජංගිය මහන්නට
මහන්සිවෙන ඉගෙන ගන්නට
ඒ වැටුපට වැඩි හීන දිසාලට තියෙනවා
ලොකු එවුන් ළඟත් සළු පිළි උණනවා

හෙව්වා ඇති දැන් ගම් දනව් සැමතැන
යන්නේ තාමත් උඹ වැරදි පාරෙම
විජේ තාමත් ඉන්නවා
හොඳට බිස්නස් කරනවා
සයිබරේ ඒකා පෙම් කෙලිනවා
රට වටේ කොටු පනිනවා

ඕනි නම් ඌ අල්ල ගන්නට
වරෙන් හැංගිල ෆේක් එකකට
නියම නමකුත් දමන් ඒකට
සත් ගුණවත් බව කියනවා
උන්ගෙ හෙළුව නියමෙට පෙනෙනවා
ශාපෙ බල නෑ දැනෙනවා

ඉහළ පහළ ලොකු කුඩා කුමන පන්තියේ වුවද නූතන කාන්තාවන් අත්විඳින දුක් දෝමනස්සයන් කන්දරාව සේම ඔවුන්ගේ වේදනාවද නෙතුර් තා කවි පේලී කීපයකින් දනවන්නී මහා පතරංග ජාතකයනක් පත අට එකට සිදිමිනි. මව්වරුන් පමණක් නොව ඔවුන්ගේ දුවා දරුවන්ගේ ස්වභාවයද ඕ තුළත් අපට දනවන්නේ අප ද ඒ කතිකාවන්හි කොටස්කරුවන් බවට පත්කර ගනිමිනි.

‘මන්ද්‍රි බිසව් නම් හිත හදා ගෙන
ඉන්නවා ඇය මහළු මඩමක’

මේ ඉහළ පන්තියේ කාන්තාවන් අද අත්විඳින ජීවිත ස්වභාවය ය. ඔවුන්ගේ දරුවන් මෙරට ඉහළ රැකියාවන්හිය. නැතිනම් නොරටය. ඉදින් ඔවුන්ගේ පිහිටට ඇත්තේ මහළු මඩම් හැර වෙන කුමක්ද?

කුවේණි වන් ගැහැනුන්ගේ දරුවන් දිවියද දුඃඛදායකය.

‘ඉගෙන ගෙන අර සහතිකේ ගත්තට
මහපාරේ උන් හිඟනවා ටින් බෙලෙක්කෙට
තවත් පාරෙයි ජීවහත්තලා
රතු රටක් ගැන හිතනවා’

අතමිට නැති පවුල්වල දරුවන්ගේ දිවිය කෙබඳුද යන්නත් ඔවුන්ගේ අපේක්ෂාවන් තල්ලු කර ඇත්තේ කුමන දිශානතියකටද යන්නත් මේ වියමනින් හොඳින් පහදාගත හැකිය. ඔවුන් ගැහැනු දරුවන්ගේ තත්ත්වයත් ඔවුන්ගේ දහසකුත් එකක් අපේක්ෂාවනුත් ඒවා සපුරා ගැනීම් වස් ගත විකිණීමට පවා සිදුවන බවද ඇය කියනුයේ පාඨක සිත් තුළ දයාව ජනිත කරවනසුළු අයුරිනි.

එදා කුවේණිය සේම වත්මන් කුවේණිලාටද අත්විඳින්නට සිදුව ඇත්තේ එකම ඛේදවාචකයකටය. එදා සේම අදත් කුවේණිලාගේ ශාප විජයලාට නොවදී. ඔවුහු යහතින් කල් ගෙවති. නූතනයේ විජයලා සයිබර් අවකාශයේ සැරිසරමින් ද සිය උවමනාවන් සපුරා ගනිති.
මේ පැදිපෙළ තුළ නිර්මාණකාරිය දක්වා ඇති දස්කම විශ්මයජනකය. ඒ තුළින් නෙතූර්තා නම් කිවිදියකගේ නවක බවක් හෝ ආධුනික බවක් දැකගත නොහැකිය.

‘ඈ’ නමැති කවිපෙළ තුළින් ඇය අභියෝගයට ලක් කරනුයේ ශ්‍රී ලංකාවේ නීතිය පසිඳලන ආකාරයය.

‘උන් උඹේ විලි බියත්
නැති කරලා බොහෝ කල්
තවත් හිඳ පළක් නෑ
රැකගන්න දෙයක් නෑ’

එහිදී නීතියේ දෙවඟනට සිදුව ඇති නස්පැත්තියත් එයින් සිදුව ඇති විනාශයක් මෙනෙහි කරවා කඩතුරා හැර සටනට බසින්නට ඇරයුම් කරයි.

‘තනිකඩයි ඇය’ කවි පෙළ නෙතුර් තා අපව යොමුකරවනුයේ දූෂණයට ලක් වූ ගැහැනියක සිය දරුවා සමග සමාජයේ ජීවත් වෙද්දී අතිවිඳින්නට සිදු වන කඨෝර අත්දැකීම්ය. දරුවාගේ උප්පැන්නයේ සිට මතුවන කුදුමහත් ගැටලු ඒ තුළ ඒකරාශී වේ.

‘පාරේ ඉඳලම ඇතිවෙලා මට
මාව මඟ හැරි එකා හොයලම
වඩාගන්නට බැරිම තරමට
කොලුවා දැන් ලොකු වෙලා නොදැනිම’

මේ ගැහැනිය රූපකාර්ථයෙන් හැඟවෙන්නේ ජනවහරේ එන සුප්‍රසිද්ධ කතාවතක් වන මෝහිණීගේ කතා පුවතයි.

ඇය කියනුයේ වත්මනෙහිද මෝහිණීගේ පරම්පරාවේ ගැහැනුන් සිටින බවය. එය අසත්‍යක්ද නොවන්නේ සමාජයට වන් විට ලිංගික අතවරයට ලක්ව දරුවන් බිහිකර සමාජය තුළම අපහාස උපහාස මතුනොව ලිංගික සූරා කෑමටද පාත්‍රවන කතුන් අපමණවත් ඇති බැවිනි.

‘රෙද්ද කඩලා අන්දවන්නට
හදන වුන් මිස
එකෙක් නෑ නම දෙන්න මේකට’

උප්පැන්න සහතිකයේ පියකුගේ නම සඳහන් නොවූ විටෙක ඒ දරුවාගේ මවට සිදුවන අතවර වලින් බිඳක් මෙයින් ඉංගිතය.
කිවිඳියගේ ‘මං හරිද මන්දා’ කවිපෙළ ගතහොත් එය ප්‍රශස්ත ලක්ෂණ නොපෙන්නුවනද ගැහැනියකගේ ජාගර සිත රාග ලාලසාව කෙරෙහි ඇති නැඹුරුව පිළිබිඹු කරයි. එමෙන්ම සල්ලාප චෞරයන්ගේ ඉච්ඡා බසට ගොදුරුව සිය මග වැරදී ගණිකා නිවෙස් හිමි කාන්තාවන්ගේ ගොඳුරු බවට පත්වෙන යෞවනියන් ගැන නිර්මිත කවි පෙළක්ද ඇය මුහුණු පොතේ පළ කර ඇත.

ඇයගේ නිර්මාණවලිය දෙස නෙත් යොමත් දී සියල්ල විශිෂ්ඨ කාව්‍ය ලක්ෂණවලින් පිරිපුන් යැයි ලියන්නට අප ඉක්මන් නොවෙමු. එහෙත් ඇය සතු ප්‍රතිභාව තවදුරටත් වර්ධනය කරගත හැකි ලක්ෂණ එමටය.

ඇය පෙරදිග සම්භාව්‍ය කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳ අධ්‍යනයක යෙදෙන බවක් ඒ කාව්‍යංහයන් අත්හදා බැලීමේ වෑයමක යෙදෙන බවත් මුහුණු පොතෙහි පළ කර ඇති ඇතැම් කවි පන්ති වලින් ප්‍රදර්ශනය වේ. කෙසේ වතුදු නෙතුර් තා මුහුණු පොතටම සීමා නොවී ඉන් එපිටට පිවිසියහොත් ඇගේ නිර්මාණාගමනය තවත් සාර්ථක වනවාට සැක නැත.