නවකතාවක් පටන් ගන්නේ කාලය විසන්ධි වූ තැනකින් මිහයිල් ෂිෂ්කින්

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

මිහයිල් පවුලොවිච් ෂිෂ්කින් ක්‍රි.ව. 1961 ජනවාරි මස 18 වැනිදා රුසියාවේ මොස්කව් නුවරදී උපත ලැබුවේය. මොස්කව් ස්ටේට් පැඩගොජිකල් ඉන්ස්ටියුට් හි ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා පිළිබඳ අධ්‍යාපනයක් ලද අතර එහි අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු විවිධ වෘත්තීන් වල නියැලුණේය. පාර අතුගෑම, කම්කරු, පුවත්පත් කලාව, ගුරු වෘත්තිය සහ භාෂා පරිවර්කනය යනාදි වෘත්තීන්වල නියැලුන ඔහු පොත පත කෙරෙහි ඇල්මක් දැක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසු කලෙක ලේඛකයකු බවට පත්විය. මිහයිල් ෂිෂ්කින් යන නමින් ලේඛන කටයුතුවල නියැලුන ඔහු ක්‍රි.ව. 1993 දී කැලිග්‍රැපි ලෙසන් (Caligraphy Lesson) නමින් කෙටි කතා සංග්‍රහයක් පළකරනු ලදුව එරට ජනතාව අතර එම කෘතිය ප්‍රචලිත විය. ෂිෂ්කින් ක්‍රි.ව. 1995 සිට ස්විට්සර්ලන්තයේ ජීවත් වූයේය.

ඔහු නූතන රුසියානු ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන ලද පුද්ගලයකු වූ අතර රුසියාව දූෂණ හා අපරාධ වලින් පිරි හොරුන්ගේ පිරමීඩයක් වැනි රාජ්‍යක් බව කීවේය. ෂිෂ්කින් එම ප්‍රකාශය කරන ලද්දේ ක්‍රි.ව. 2013 දි ඇමරිකාවේ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයකදී රුසියාව නියෝජනය කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබීම හේතුකොට ගෙනය. ඔහුගේ කෘති භාෂා දහයකට පමණ පරිවර්තනය වී තිබේ. ෂිෂ්කින්ගේ සම්ප්‍රදායේ ලේඛකයකු ලෙස සලකන ඔහු මරණය ප්‍රේමය, නැවත ඉපදීම යනාදී තේමාවන් ඔස්සේ නිර්මාණ කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේය.

බොහෝ විචාරකයෝ ෂිෂ්කින්, ඇන්ටන් චෙකෝව්, ම්ලැදිමීර් නබොකොව්, ජේම්ස් ජොයිස් යන ලේඛකයන්ට සමාන කරති. නවකතා 5ක්, කෙටිකතා 2ක් සහ ප්‍රබන්ධ කතා 2ක් රචනා කරන ලද ෂිෂ්කින් රුසියානු බුකර් සම්මානය ප්‍රමුඛ දෙස් විදෙස් සම්මාන 6ක් දිනා ගැනීමට සමත් වූයේය.

හැරිමන් (Harriman) සඟරාවේ බ්‍රැඞ්ලි ගොස්කි (Bradley Gorski) එම සඟරාව සඳහා ෂිෂ්කින් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය පහත දැක්වේ.

වසර ගණනාවක් මුළුල්ලේ ඔබ යුරෝපයේ ජීවත් වී තිබෙනවා. රුසියානු සාහිත්‍ය ලෝකය ඔබ දේශපාලනික සංක්‍රමණික ලේඛකයකු ලෙස දකිනවා. විදේශයන්හි ජීවත් වීම තුළ ඔබගේ සම්බන්ධතා රුසියානු භාෂාවට සහ රුසියානු සාහිත්‍යයට බලපාන්නේ කිනම් ආකාරයකටද?
විගමනය යන වචනය මුළුමනින්ම නිවැරදි නොවේ. අපි ජීවත් වෙන්නේ 21 වන සියවසේ සීමාවලින් තොර ලෝකයකයි. ක්‍රි.ව. 1995 දී මම ස්විට්සර්ලන්තයට යාම මුළුමනින්ම දේශපාලනික කාරණාවක් නොවේ. එවකට මාගේ භාෂා පරිවර්තිකාව වූ ස්විස් ජාතික කාන්තාව සමග මා විවාහ වී සිටියා. ඒත් මම රුසියානු පුරවැසියකු වගේම තවමත් නිතරම වාගේ එහි සංචාරය කරමින් සැලකිය යුතු කාලයක් මම රට තුළ ගත කරනවා. මෑත කාලීන අවුරුදු තුළ මාගේ කාලය යොදා ගනිමින් මොස්කව්, ස්විට්සර්ලන්තය සහ බර්ලින් නුවර ගතකරනවා.
රුසියානු ලේඛකයකුට ඔහුගේ භාෂාවෙන් තොරව ජීවත් විය නොහැකි බවට සහ විදේශීය රටකදී ගෙදර යාමට ඇති බලවත් ආශාව නිසා ඇති වන තැවුලින් වධවේදනාවට පත්වන බවට මතයක් පවතිනවා. මම හිතන්නේ මෙම මතය පාලකයන් හා කුරිරු පාලකයන් විසින් ඔවුන්ට පාලනය කරගත නොහැකි ඔවුන් අකැමැති ලේඛකයන්ගේ පලායාම සම්බන්ධයෙන් පතුරවන දෙයක් ලෙසයි. ඩෙඞ් සොල්ස් (රුසියානු බොහෝ දෙනකුට කුමක් විය හැකිද?) අපිට මතක නම්, එය රෝමයේදී, ස්විට්සර්ලන්තයේදී සහ පැරිසියේදිත් ලියා තිබෙනවා. ලේඛකයකු ජීවත් වන්නේ කොහේද යන්න වැදගත් වන බව මම හිතන්නේ නැහැ.

එපමණක් නොවේ, මට හැඟෙන විදියට ටික කාලයකට ලේඛකයකු ඔහුගේ මව්රට මෙන්ම මව් බසින්ද වෙන්ව සිටිය යුතුයි. ඊට හේතුව එවිට ඔහු තමන් ගැන මෙන්ම, තමන්ගේ රට ගැන කණ්ණාඩියක් විදිහට දකින්ට හුරු වෙනවා. ඔබ ස්විට්සර්ලන්තයේ ජීවත් වෙන්න, ඔබ ස්විට්සර්ලන්තයේ දී ඔබව දකීවී, ඒ වගේම ඔබ ඔබගේම ප්‍රතිබිම්භය දකිවි. කණ්ණාඩියක් තුළින් කිසිදිනෙක නොබලා ඔබේ මුළු ජිවිත කාලයම ඔබ ජීවත් වන්නේ කොහොමද? විවිධ පර්යාලෝකයන් සෑම විටම නුඹේම රටත් නුඹ ගැනත් තේරුම් ගැනීමට උදව් කරනවා.
රුසියාවෙන් පිටවීම මට ඉතාමත් වැදගත් වුණා. අද නැවුම්ව සහ අලුත් ලෙස දකින්නේ කුමක්ද, හෙට දිනයේදී එය නරක් වී තිබිය හැකියි. නැවුම් සහ මා මියගිය දිනෙක වුවද සදාතනිකව සක්‍රිය වගේම භාෂාවක් නිර්මාණය කර ගැනීමට රුසියාවෙන් පිටවීම මට උපකාරි වුණා.
අනෙක ජීවිතයක අත්දැකීමක් විශේෂයෙන් ලේඛකයකු සහ රුසියානුවකු වැඩි දියුණු කරනවා. අපි සිරිතට පිටුපාන ලද සිරමැදිරි අවකාශයක් තුළ බොහෝ කාලයක් ජීවත් වුණා. අපි අපේම රුසියානු ගැටලුවලට බොහෝ දුරක් පසුබැස්සා. රුසියාව මුළු ලෝකයටම ආශිර්වාදයක් නොවන බවට රුසියානුවන් නිතරම තේරුම් නොගන්නා දෙයක් වන්නා වූ සරල දෙහය තේරුම් ගැනීමට බොහෝ රටවල ජීවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. එය ලොව කුඩා කොටසක්.

සාහිත්‍ය ඔබට (අනෙකුත් නූතන ලේඛකයන්ට ff) ප්‍රාථමික ක්‍රිඩාවක් නොවේ. ඒත් ඇත්තටම භාෂාව සම්බන්ධයෙන් එය සංකීර්ණ නිරත වීමක්. භාෂාවට සාහිත්‍යයේ තිබෙන වගකීම හෝ සම්බන්ධතාව ඔබ දකින්නේ කෙසේද?

භාෂාවට සාහිත්‍ය යනු ලාසරස්ට ක්‍රිස්තුස් වහන්සේ වගෙයි. භාෂාව මියගොස් බොහෝ කාලයක් ගත වුවද ලේඛකයා විසින් නැවතත් එය ජීව ගැන්වීමට කටයුතු කරනවා. බාහිරව සිට බැලීමේදී ලේඛකයකු වීම යනු ඒ සියල්ල දැනටමත් තිබුණත් සෑමවිටම තිබුණත් වචන සැදීමක නිරත වීමක්. යථාර්ථය තුළ ලේඛකයකු යනු වචන වලින් යමක් කිව නොහැකි බව තේරුම් ගන්නා තැනැත්තෙක්. නොපවතින යමක් ගැන ප්‍රකාශ කිරීමට වචනවලට හැකියාව තිබෙනවා. සියලුම වචන දිගු කාලයක් පුරා භාවිත වී තිබෙනවා.

පළමු වතාවට එක්තරා කාන්තාවකට මගේ ආදරය ප්‍රකාශ කිරීමට මට වුවමනා වූ විට මගේ කට ඇරීමේදී මට හැඟෙන දේ ප්‍රකාශ කිරීමට ලෝකය තුළ වචන නොමැති බව මා තේරුම් ගත් අයුරු මම කිසිදාක අමතක කරන්නේ නැහැ. වචන ද්‍රෝහින් වේ. එකක්වත් විශ්වාස නොකළ යුතුය. ලේඛකයකු වචනවල නිසරු බව තේරුම් ගෙන, වචනයෙන් පරිභාහිරව පවතින වචන වලින් අදහස් පළ කිරීමේ හැකියාව හඳුනා ගැනීමට පටන් ගනු ලබනවා. හැම දෙයකම සත්‍යය එයයි. වචන අවශ්‍යම නොවේ. බටයක තිබෙන දන්තාලේප වගේ භාෂාව අවසන් කියන තැනිනුයි ලේඛකයකු පටන් ගන්නේ.

ඔබගේ බොහෝ චරිත ඔබේ නව කතාවේ පිටු තුළින් ප්‍රායෝගිකව කියවීමක් කළ හැකියි. නිතරම ඒවා මනාව ලියා තිබෙනවා. ලේඛකයා ඔවුන්ගේම කියවීමේ ක්‍රියාවලිය දකින්නේ කෙසේද?

මට සහ මගේ චරිතවලට අනුව, කියවීම හා ලිවීම යනු යථාර්ථය සමග පසුනොබැස කටයුතු කිරීමක්.
එක් මගකින් හෝ වෙනත් දෙයක් තුළ, මගේ සෑම පාඨයන්ම වචනයේ බලය ගැනයි. මගේ චරිතයත් ලේඛකයකුට රූපාලංකාර. ‘කැලිග්‍රැපි ලෙසන්’ තුළ සිටින උසාවි ලේකම්වරයා අද්භූත ලෝකය තුළ සිදුවන සෑම දෙයක් ගැනම ලිවීමට සිදුවෙනවා. ඔහුගේ විරෝධතාවයේ ක්‍රමවේදය යනු අත් අකුරුයි. මෙයම තමයි සැබවින්ම ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ දුක් විඳීම ගැන සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පරිවර්තනය කිරීම කලාව තුළින් සිදුකරන්නේ. යථාර්ථයේ භිතිකාව කලාවේ සුන්දරත්වය බවට පරිවර්තනය කිරිමක් සිදු කෙරෙනවා. ‘ද ටේකින් ඔෆ් ඉස්මයිල්’ හි ප්‍රධාන චරිතය නීතිඥයා. ඔහු ඔහුගේ වචන තුළින් යථාර්ථය මවා මිනිසුන්ගේ ඉරණම වෙනස් කරනවා.

‘මේඞ්න්හෙයාර්’ හි ප්‍රධාන චරිතය වන්නේ ස්විස් සරණාගත කඳවුරක භාෂා පරිවර්තකයෙක්. ඉරණම වචන වලට මෙන්ම වචන ඉරණමට පරිවර්තනය කරනවා. ‘ඉන්ද ලයිට් ඇන්ඞ් ඩාර්ක්’ තුළ මගේ ප්‍රධාන චරිතය වන්නේ හමුදා කාර්ය මණ්ඩල වාර්තා තබාගන්නා කෙනෙක්. ඔහු මව්පියන්ට ඔවුන්ගේ දරුවන්ගේ මරණ පිළිබඳ දැන්වීම් ලියනවා. ‘ඔබේ පුතා මැරිලා. ඒත් ඔහු ජීවතුන් අතර හොඳින් ඉන්නවා.’ඔබ කියවන විට, ඔබට එයින් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද? සාහිත්‍ය විචාරකයින් සහ ලේඛකයින් ඉතා වෙනස් ආකාරයකින් යුතුව කියවීම සිදුකරන බව පෙනෙනවා. එය තමයි කාරණාව කියා ඔබත් සිතනවාද?

එය මට පෙනෙන විදිහට මැදිහත් වීමක් නොමැති කියවීමේ සතුට බොහෝ කලකට පෙර නැතිව ගොස් තිබෙනවා. පාඨකයකුට හැම දෙයකටම පසුව සෑම දෙයක්ම අවසන් වන්නේ කෙසේද කියන දැන ගැනීමට ආශාවක් ඇති කියා කියනවා. චරිත දෙකක් විවාහ වන්නේද හෝ නැතිද? මම නම් චරිතවල විවාහය මුළුමනින්ම උනන්දුවක් දක්වන්නේ නැහැ. පොතක් ගොඩනගලා තියෙන්නේ කුමක්ද? ඒක තමයි සිත් ගන්නා දෙය. ගොඩනැගීම ගැන මට අවබෝධයක් තිබේ නම්, එතකොට මම එය කියවන්නේ ඇයි? මට තේරුම්ගත නොහැකි නම්, එතකොට ඒ ගැන උනන්දුවක් ඇති වෙනවා. ඒත් එලෙස ඇති වන්නේ ඉතා කලාතුරින්. මම යම් ප්‍රමාණයකට, ඒත් විශේෂයෙන්ම, මගේ වැඩ වලට අවශ්‍ය වන බහුල වශයෙන් සිද්ධින් සම්බන්ධ විස්තර සටහන් කියවනවා.

ඒත් පොදුවේ ගත්කල රුසියාව තුළ කියවීම හැම විටම විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. මම ඉපදුනේ වහලුන්ගේ රටක බව තේරුම් ගැනීමේදී කියවීම මට එය ඉතිරි කරදී තිබෙනවා. රුසියාව තුළ කියවීම සෑම විටම පාඨකයකුට මානව ගරුත්වය නැවත ලබා ගැනීමේ මාර්ගයක් වෙනවා. සැබෑ සාහිත්‍ය ශරීරයක ලේ පැතිර පවත්නාක් මෙන් රට තුළ පැතිර පවතිනවා. කතුවරයකු විසින් තිරසර ජීවිතයක් සඳහා වැදගත් වන දේවල් පාඨකයා සමඟ බෙදා ගැනීමක් සිදු කෙරෙනවා. ඒත් ඉතාමත් වැදගත් දෙය වන්නේ පාඨකයාටත් ලේඛකයාටත් එකම ලේ වර්ගය තිබීය යුතුයි. එසේ නොවුනහොත් කියවීම මිසක් බියට පත්ව විදේශීය වචන ඔබගේ රුධිර ගලනයට එකතු කර ගනිවි. එම වචනයේ වචනාර්ථ තේරුම සෝවියට් යුගයේ සිටි මගේ ලේඛකයෝ මට ඉතිරි කර දුන්නා. ඔවුන් කවුරුන්ද කියා මට ගණන්කර නොපෙන්නුවද, නිල සෝවියට් ලේඛකයෝ පාසල තුළදී කියවීමට හුරු කළා, ඒ තුළ මා සිරගත වුණා.

ඕනෑම රෙජිමයක් තුළ පළමුවන කාරණය වන්නේ මානව ගරුත්වය වන නිසා රුසියාව තුළ හැම විටම ඒයාකාරයෙන් පැවතුණා. අදත් එසේමයි. මා බියවන්නේ එම මඟ හැමදාම පැවතීම යන්නයි. එය මිනිසුන්ට නරකයි. සාහිත්‍යයට හොඳයි. සාමාන්‍ය ජන ජීවිතයක් රුසියාවට ආවොත්, කියවීම එහි භූමිකාව නවතා එහි විනෝදාස්වාදයක් බවට පත්වේවි. ඒත් ‘සාමාන්‍ය’ ජීවිතය වුවද දිගු කාලයක් එසේ පැවතීමට ඉදහිට හෝ අවශ්‍ය වන්නේ නැහැ.

ඔබේ සිවුවන නවකතාව වන ‘පිස්මොවික්’ (වචනාර්ථයෙන් අකුරු පොත) භාෂා 25කට (එහි ඉංග්‍රිසි පරිවර්තනය වන ‘ද ලයිට් ඇන්ඞ් ද ඩාර්ක්’ ඇතුළුව) පරිවර්තනය වී තිබෙනවා. ඊට රුසියාවේ සහ ජර්මනියෙන් සම්මාන ලැබී තිබෙනවා. එය තවමත් විචාරාත්මක සහ වාණිජමය වශයෙන් ඔබේ සාර්ථකම කෘතියයි. ඔබගේ දැක්මට අනුව, එය අනෙක් කෘති වලින් වෙන් කර දැක්වෙන්නේ කෙසේද?
‘ද ලයිට් ඇන්ඞ් ද ඩාර්ක්’ කෘතිය බොහෝ රටවල සාර්ථක වූයේ ඇයි? අපි බෙදා වෙන්කරනු ලබන සෑම දෙයක්ම නිසා විය හැකියි. භාෂාව, සමේ වර්ණය, ශරීර හැඩය, චාරිත්‍ර, ඉතිහාසය, යනාදි සියල්ල පරිබාහිරයි. අභ්‍යන්තරය තුළ අපි සියලුදෙනා සමානයි. අපි මරණයට බයයි. ඒ වගේම අපට ආදරය අවශ්‍යයි. නැමියාවක් දක්වනවා. ලිපිවලින් යුක්ත මගේ නවකතාව ලියන ලද සියලුම ලිපිවල සිහිවටනයක ප්‍රණාමයක්.
ලයිව් ඇන්ඞ් ද ඩාර්ක්නස් යනු කුළුපග බවේ යන තේරුම් ගැනීම පිළිබඳ නවකතාවක්. මිනිසුන්ට භෞතිකව සමීප විය හැකියි එකම මහල් නිවාසයක ජීවත් විය හැකියි. කලත්‍රයාගේ ඇඳ හුවමාරු කරගත හැකියි. ඒත් එකිනෙකා තේරුම් ගැනීමට අසමත් වෙනවා. ඔවුන් වෙන් කරන හැම දෙයක්ම දහස් ගණන් කිලෝ වුවත් මීටර කාලය, මරණය වැනි දෙයට මිනිසුන් වෙන් කළ හැකි සෑම දෙයක්ම වුවත් තේරුම් ගැනීම සහ ඉතා කුළුපග වීම තුළ මගේ චරිත ජීවත් වෙනවා.

නවකතාවක් පටන් ගනු ලබන්නේ කාලය විසන්ධි වූ තැනකින්. මෙවැනි දේවල් අපගේ ජීවිත කාලයේ එක් වතාවක් හෝ අපි සෑම කෙනකුටම සිදු වෙනවා. මෙවැන්නක් සිදු වීමට ඔබට හැම්ලට් කෙනකු වීම අවශ්‍ය වන්නේ නැහැ. හුදෙක් ඔබම වන්න. කැඩී බිඳී යන දේවල් හා ස්ථීරව නොපවතින දේවල් අතර සාමාන්‍ය සම්බන්ධතාවය, කැඩී බිදී යන ලෝකය අතුරුදහන් වෙනවා. කිසිවක් අත්පත් කරගැනීමට නොහැකි වෙනවා. හැම දෙයකම ඝනත්වය, යථාර්ථය නැතිවෙලා තිබෙනවා. එවිට පමණයි පුද්ගලයකුට යමක් කරන්න පටන් ගනු ලබන්නේ. මෙම හිස්භාවය සහ තමන් සහ අන්‍යයන්ගේ සැබෑ යමක් අත්පත් කර ගැනිමට ඔහුට ඔහු සොයා ගැනීමට අව්‍යශ වෙනවා. එවිට පමණයි කැලැන්ඩරයක් මත යැපෙන්නේ නැති කාලයක් වන්නා වූ සැබෑ කාලය පටන් ගන්නේ. මෙම අකුරු යනු අනෙකන් තුළ සෑම කෙනෙක් තුළ ඔවුන් සොයා ගැනීමේ ඔවුන්ගේ අවස්ථාව පමණයි. එවිට පාඨකයා විසින් ඔහු තුළ සම්බන්ධාතාවක් නොමැති කාලය නැවත සම්බන්ධ කර ගනු ලබනවා.

රුසියානු දේශපාලනය ගැන මොකද කියන්නේ? 2012 පැවති උද්ඝොෂණවල සිට මේ දක්වා රුසියාව තුළ සිදුවන මෑත කාලීන සංවර්ධනයන් පිළිබඳ ඔබගේ හැඟීම කුමක්ද?

21 වන සියවසේදී රුසියානු ඉතිහාසය දිශානතියක් නොමැති මොබියස් තීරුවක සිරකර තබනවා. රට අධිරාජ්‍යයක් බවට පෙරළමින් සෑම විටම මැතිවරණ, පාර්ලිමේන්තුව, ජනරජයක් වැනි දේ ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට උත්සාහ දරනවා.
පසුගිය අවුරුද්දේ ක්‍රියාකාරකම්වලට රුසියාව ධ්‍රැවිකරණය කර තිබෙනවා. රට පවතින්නේ විසල් යුද්ධයක් මධ්‍යයේ. එය දැනට සාපරාධි අධිරාජ්‍ය සහ විද්වත් සමාජය අතර ‘සීතල’ එකක්. අසම්මත රුසියානු පාර්ලිමේන්තුව විසින් විපක්ෂයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම් සෑම එකක්ම මෙන්ම කෲර නීතියේ සෑම යෝජනා පිළිගැනීමක්ම දෙපැත්තක් රැඩිකල් කිරීමක් පමණයි. අපරාධකරුවන් මර්දනය සඳහා ගන්නා ලද දකුණු පියවරවල් තුළින් රට තවදුරටත් සුළු පිරිසකගෙන් පාලනයකින් යුක්ත රජයක් සහිත නිලධාරී පැලැන්තියේ සාපරාධි සංවිධානවල පාලනය යටතේ පවතින බව ඒත්තු ගැන්වීම තුළ විරෝධතා ව්‍යාපාර අන්තර්ජාල මුඩුක්කුවක් බවට පත් වීමට බලපෑවා.
පෙරස්ත්‍රොයිකා (Perestroika) අවධිය තුළ අපි දුටු යුරෝපිකරණය වීම පිළිබඳ බලාපොරොත්තු කැඩී බිඳී ගියා. නැවතත් අනන්ත අප්‍රමාණ කාලයක් පුරා ඒ වෙනුවෙන් අරගල කරන ලද පුද්ගලයන්ට සහ වංචනිකකම වෙනුවෙන් රුසියාව කදිම රටක් බව සනාථ කර තිබෙනවා. ආණ්ඩුව අති විශාල ලෙස අපරාධකාරී ව්‍යුහයක් බවට පත්වීම තුළ ඔවුන්ට විප්ලවයක් කිරීමට අවශ්‍ය නොවන්නේ නම්, මේ දවස්වල ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට කරන්න තියෙන්නේ කුමක්ද? එයින් ගැලවීමට තියෙන මාර්ග වන්නේ ඔබ්ලොමොව් (Oblomov) වගේ සැඟවී සිටීම, අභ්‍යන්තර සංක්‍රමණිකයකු වීම හෝ විදේශීය රටක සංක්‍රමණිකයකු වීමයි.

ඔබගේ නවකතාව සහ අද රුසියාව තුළ පවතින දේශපාලනය සමඟ සම්බන්ධාවක් පවතිනවාද?

සත්තකින්ම, ඒවා ඉතාම සමීප සම්බන්ධතාවක් දක්වනවා. මගේ පළමුවන නවකතාව වන නෝට්ස් ඔෆ් ලැරියෝනො වේ (Notes Of Larionov) කෘතිය තුළින් ඒකාධිපති රටක් තුළ මගේ අත්දැකීම් ගැන කියවෙනවා. මම එය ලිවීමේදී, සෝවියට් ක්‍රමය බිඳවැටි ප්‍රජාතන්ත්‍රවාදය රුසියාවට පැමිණියා. එක් පැයක් තුළ නවකතාව අභාවයට ගිය තත්ත්වයක් උදා වුණා. ඒත් ටික කාලයකට පසුව නැවත වරක් එය උචිත එකක් බවට පත් වුණා. මෙම ප්‍රශ්නය රුසියාව තුළ සදාකාලිකව උචිත අන්දමින් පවතිනවා. මානව ගරුත්වය පිළිබඳ සෑහීමකින් යුතුව රුසියාව තුළ හෝ එසේත් නොමැති නම් ද ටෙකින් ඔෆ් ඉස්මයිල් (The Taking Of Ismail) තුළ ජීවත් වෙන්නේ කෙසේද? වීරවරියක් කීවාක් මෙන් රුසියාව කෙනකුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඇයට රට හැර යාමට සිදු වෙනවා. අපි රට හැර නොගියහොත් අපේ දරුවෝ එය කරයි. අපේ දරුවෝ එසේ නොකළහොත් එවිට අපේ මුණුපුරු, මිනිපිරියෝ එසේ කරන බවට විශාල ආත්ම භාෂණයක් තිබෙනවා. පුටින්ගේ රෙජිමය විසින් සාමකාමි උද්ඝෝෂණ නිශ්ප්‍රභා කිරීමෙන් පසු නැවත වතාවක් ඒවා වඩාත් උචිත ඒවා බවට පත්ව තිබෙනවා.