පිහිනුම් අනතුරේ

ඒ. වික්‍රමසූරිය

කුණාටුවකට හසුවූ ගස් කොළන් මෙන් අපේ ක්‍රීඩා සියල්ල ඉදිරී ගොස්ය. එය නැවත ඉන්දුවා, දළුලා පණ ගසන්නට ඉඩ සලස්වන්නට සක්කරයගේ පුතා වයිමටත් හැකිවෙතැයි සිතිය හැකිද? එහෙත් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු තම පියාගෙන් අසාගෙන හෝ යම් පිළියමක් යොදනු ඇතැයි සිතුවද එයද මුලාවකි. ඔහුට ක්‍රීඩාව ගැන වගේ වගක් නැති ගාණය. ක්‍රීඩා සංගම් නිලධාරීන්ට ඔහු සමග කතා කරන්නට අවස්ථාවක් ගැනීමට වඩා පදක්කමක් දිනන එක පහසු වී ඇත. මේ තත්ත්වයන් දිගින් දිගට යෑම තුළින් ඉතිරි වන්නේ අදටත් ඒ වෙනුවෙන් දුක් ගැහැට විඳින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අඳෝනා පමණි. ක්‍රීඩා හැට ගණනකටත් වඩා බැලීමට, රැක ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයට වගකීමක් ඇතත්, ඒ අයට ඒ ගැන වගේ වගක් නැත. ක්‍රීඩා හැට ගණනක් කෙසේ වෙතත් මූලික වශයෙන් දහයක්, පහළොවක් හෝ රැකගන්නේ නම් එයට ප්‍රමාණවත්ය. දැනට සිදුනොවන්නේද එයමය.

පිහිනුම් ගැන අපි දිගින් දිගටම කතා කළෙමු. දිගින් දිගටම වතුරේ බැහැගෙන ඉන්න යැයි අපි ඒ හරහා ක්‍රීඩා බලධාරීන්ට නොකීමුත් වතුරේ බැහැගෙන ඉන්නා අය රැකගන්නයි ඉල්ලුවෙමු. එහෙත් ඒ ගැන ඇහුම්කන් දෙන්නටවත් මොවුන්ට නොහැකි විය.
අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසන්නා සේ ප්‍රශ්න උපරිම වර්ධනය වන්නට ඉඩදී ක්‍රීඩා අමාත්‍යාංශය අතුරු කමිටුවක් පත් කළේය. අද අතුරු කමිටුව අතුරේ යන තැනට වැටී ඇත. ඒ නිලවරණයක් පැවැත්විය නොහැකිකමිනි.

අතුරු කමිටු පත් කරන්නේම හැකි ඉක්මනින් නිලවරණයක් පැවැත්වීමේ පසුබිම හදා ගැනීමට වුවත් මේ අතුරු කට්ටියට නොහැකි වී ඇත්තේද එයමය.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය මැයි මස 31 දිනට පෙර පවත්වා අවසන් කළ යුතුය. එය එසේ නොවූවහොත් ඇතිවන ප්‍රශ්නද ලොට් එකකි. එහි ප්‍රධානම දේ එළැඹෙන ලෝක පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකාවට තහනම් වන බවට අනතුරු දැල්වීමය. හරි හෝ වැරදි ලෝක ජල ක්‍රීඩා සංගමය ගනුදෙනු කරනුයේ මෙරට මව් සංගමය සමග මිසක අතුරු කමිටු සමග නොවේ. අතුරු කමිටු සමග ගනුදෙනු කරන්නට නම් ඒ සඳහා විශ්වාසය ඔවුන් පත්වූ සැණින් ලෝක සංගමය සමග ඇතිකර ගත යුතුය. එහෙත් එය නොවී ලෝක සංගමය සමග බැඳීම තවමත් ඇත්තේ විසුරුවා හැරි සංගමයටමය. මේ නිසා ලෝක ජල ක්‍රීඩා සංගමය තවමත් ඍජු ගනුදෙනු පවත්වනුයේ ඔවුන් සමගය. ඒ අනුව ලෝක ජල ක්‍රීඩා සංගමය මෙරට නිලවරණ පැවැත්වීමට ගෙන ඇති පියවර ගැන පවා විමසනුයේ ඔවුන්ගෙනි. ඊට ඔවුන් දක්වන ප්‍රතිචාර දන්නේ ඔවුන්මය.

එළැඹෙන ජූලි මස 12 වැනිදා සිට 19 වැනිදා දක්වා කොරියාවේ ශුවැන්ජුහී ලෝක පිහිනුම් ශූරතාවලිය පැවැත්වේ. එයට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වනවාද යන්න මෙතෙක් පැහැදිලි නැත. යම් හෙයකින් ඉදිරිපත් නොවුණහොත් එය පදනම් කරගෙන ශ්‍රී ලංකාවට ඉදිරි තරග නියෝජනයද අවිනිශ්චිත විය හැකිය. මන්ද එවැනි තහංචියක් ලෝක ජල ක්‍රීඩා සංගමයට කළ හැකි බැවිනි. එසේ වුවහොත් මේ වසර අවසානයේ පැවැත්වෙන දකුණු ආසියා ක්‍රීඩා උළෙලටද එහි බලපෑම එල්ල විය හැකිය. මන්ද දැනටමත් ලෝක ජල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාව පිළිනොගන්නා තත්ත්වයක පසුවන අතර එය තහනමක් දක්වා වර්ධනය විය හැකිය.

එය එසේ නොවුණා වුවද එසේ වේ යැයි සිතා හෝ දැනට ඇති තත්ත්වයන් නිවැරදි කර ගැනීම ක්‍රීඩා බලධාරීන්ගේ යුතුකමකි. මේ ඔවුන් පත් කළ අතුරු කමිටුවය. ඒ නිසාම නිලවරණය කඩිනමින් පවත්වන්නැයි ඔවුන්ට බල කළ හැකිය.

අප අමතක නොකළයුත්තේ දකුණු ආසියා ක්‍රීඩා උළෙලකදී අප පිහිනුම් ක්‍රීඩාවෙන් උපන් හපන්කම් දක්වා ඇති බවය. ඉතිහාසය තුළ තරම් කෙරුම් දැන් නොකළත් පිහිනුම් ක්‍රීඩාවෙන් ලංකාවේ ක්‍රීඩකයන්ට වැඩ පෙන්විය හැකි උපරිම වේදිකාව දකුණු ආසියා ක්‍රීඩා උළෙලය. අපගේ හැඟීම මෙවර සාග් ක්‍රීඩා උළෙල හරහා මෙරට පිහිනුම් ක්‍රීඩාවේ නියම තතු හෙළිවන බවය. විදේශිකයන්ගෙන් රැකුණු පිහිනුම් ක්‍රීඩාව තුළ සැබෑ අනන්‍යතාව මෙවර තහවුරු වන බවය. ඒ කෙසේ වෙතත් අතුරු කමිටු ඉවත් කොට නිලවරණයක් පවත්වා සංගමයට නිල මඬුල්ලක් පත් කිරීම කළ යුතුව ඇත.

ජල ක්‍රීඩා සංගමය විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කළේ කඩිනමින් නිලවරණයකට අවැසි පසුබිම හදන්නටය. එම අතුරු කමිටුවේ සභාපති එම්.ආර්.පී. සත්කුමාරය. ඊට අමතරව පියල් හේවගේ හා වෛද්‍ය දමින්ද අත්තනායක ඇතුළත්ය. මීට අමතරව අශේන් ප්‍රනාන්දු පත් කළ අතර ඔහු ඉල්ලා අස්විය.

මේ අතර ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය වෙනුවෙන් ගනු ලබන පළමු පියවර ලෙස විශේෂ මහා සභා රැස්වීමකදී නිලවරණ කමිටුව පත් කළේය. ඒ මීට මාස දෙකකට පෙරය. එලෙස පත්කර ගත් කමිටුවෙහි සභාපතිකම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි සමරසිංහ පත් කළ අතර ඔහු මෑත කාලයේ එයට සක්‍රීයව දායක නොවන බව පැවසේ. සෙසු සාමාජිකයන් ජයනි පින්නවල මහත්මිය සහ ඒ.එච්. අමරදාස යන අයය. තිදෙනාගේ කමිටුව දෙදෙනා බවට පත්වී වැඩකට නැති තත්ත්වයට පත්වී ඇත.

ජල ක්‍රීඩා සංගමයට පත්ව ඇත්තේ පුහුණුකරුවන් බවත් එය නීතියට පටහැනි බවත්, අප කොතෙක් පෙන්වා දුන්නද එයට විසඳුම් දෙන්නට දයාසිරි ජයසේකරට නොහැකි විය. එය සෙසු ඇමතිවරුන්ටද අයත් රාජකාරියක් විය. කෙසේ වෙතත් අවසානයේදී එම නිලධාරි පිරිස ඉවත් කරන විට ඔවුන් ඡන්දයකට දින දමාගෙනද අවසන්ය. ඒ ගිය වසරේදීය. එනම් දෙසැම්බර් 20 වැනිදාය. ඒ තත්ත්වය අතහැර අතුරු කමිටු පත්කිරීමත් සමග හිටපු නිලධාරීන් මව් සංගමය දැනුවත් කිරීමත් සමග ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පැනවිය. ඒ හේතුවෙන් එකල ඉන්දියාවේ නවදිල්ලි හී පැවැත්වීමට නියමිත දකුණු ආසියා පිහිනුම් ශූරතාවලියද ඇණ හිටියා.

මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් අතුරු කමිටුවක් පත් කරන්නට ක්‍රියා කිරීම සාධාරණය. එයට හේතුව හිටපු සංගමය ඡන්දයක් පැවැත්වීමට දින දමාගෙන තිබුණද ඊට ඉදිරිපත් වූ බහුතරය පුහුණුකරුවන් වීම හේතුවෙනි. එලෙස පුහුණුකාරකම සමග නීතියට පටහැනිව ජල ක්‍රීඩා සංගමයේ නිලතල දැරූ පුහුණුකරුවන් ගණන අටකි. ඒ අය මෙවරද නාමයෝජනා භාරදී තිබුණි. අතුරු කමිටු පත්වූයේ එබැවිනි. ඒ අතර මහින්ද ලියනගේ, පී.එස්.පී. දයානන්ද, දිනේෂ් දයානන්ද, ඒ.එස්. සෝමචන්ද්‍ර, කේ.එස්. පද්මසිරි, ජානක ලාල්, ඬේවිඞ් බෝලිං හා ගුනේත්‍රි අරුණලතා යන අය විය.

ජල ක්‍රීඩා සංගමය කුණාටුවකට හසුවූයේ අද ඊයේ නොවේ. ඒ මීට වසර ගණනාවකට පෙරය. කරන්නාගොඩ සභාපතිකම් දරන කාලයේය. එතැන් පටන් එහි බලය විවිධ පාර්ශ්ව අතට ගෙන පිස්සු නැටූ අතර මුහුදු සිංහයන්ගේ වික්‍රම වෙනුවට අපට දියබරියන්ගේ නාඩගම් දැකගත හැකිවිය. රස්සාවක් නැති තැන ඇතැම් පිරිස් සංගමයේ නිලතල දැරීම රැකියා කර ගත්හ. පිහිනුම් ක්‍රීඩාවේ අභිමානය තුට්ටුවට වැටුණු අතර එය විදෙස් ආක්‍රමණවලට නතුවිය. අබේසිංහ පරම්පරාව එවැනි අයය. ඒ අයගේ කාලයද දැන් අවසන් වී ඇති අතර නැවත ශ්‍රී ලංකාවේ සැබෑ මුහුණුවර පෙනෙනු නියතය. කවුරු ඉදිරියේදී සභාපති වුවද බලය දැරුවද මේ කඩා වැටුණු පිහිනුම් ක්‍රීඩාව ගොඩ නැගීම ලේසි නොවේ. හරි දැක්මකින් කරන්නේ නම් බැරිද නැත. එදා කරන්නාගොඩ කාලය හොඳ වූයේ විජිත ප්‍රනාන්දුගේ දැක්ම සහ කැපවීම නිසාය.

හිතුවක්කාරයකු වන ඔහු සමග වැඩ කිරීම ලේසි නැති නිසා සැවොම කළේ ඔහු පන්නා බලය ඇල්ලීමය. එහෙත් අදටත් ක්‍රියාත්මක වන්නේ ඔහු එදා හැදූ සැලසුම්ය. ඒවා අද තව බොහෝ වර්ධනය විය යුතු වුවත් ඒ තැනට හදන දැක්ම අද කිසිවකුට නැත. පටු වාසි තකා වැඩකරුවන් ඉවත් කොට බොරුකාරයන් ආ කල කුමන දේකට වුවත් අත්වන ඉරණම මෙබඳුය.

අතුරු කමිටුවල එල්ලී නොඉඳ වහාම නිලවරණ පැවැත්වීමට ක්‍රියා කළ යුතුව ඇත්තේ මේ ප්‍රශ්න නිසා තැලෙනුයේ පිහිනුම් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වන බැවිනි. ප්‍රශ්න ඇතිවීම ස්වාභාවිකය. එහෙත් ඒවා විසඳීමට ඕනෑවටත් වඩා කල් මැරීම අස්වාභාවිකය. ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවන්නේම එවැනි අස්වාභාවික දෑය.