පන්සලෙන් සිදු වූ ළමා ලිංගික හිංසනයක්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම මෙරට පාලකයන්, බලධාරීන්ගේ පුරුද්ද බව ලොවටම සනාථ කළ සිදුවීම් පෙළක් පසුගිය දින වල සිදුවූයේය. ඒ එය මහා පරිමාණයෙන්ම අනාවරණය කළ එක් අවස්ථාවක් වුවත් මෙරට වෙලාගත් පිළිකාවක් ලෙස මේවා සෑම ක්ෂේත්‍රයකම විහිදී තිබෙන බව මෙරට සිදුවන සිදුවීම් හා ඒවායේ පැමිණිලි මෙන්ම විසදුම් දෙස බලන විට විට ද පෙනෙයි. ළමා අපචාර සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. දිගින් දිගට මාධ්‍ය හරහා එවැනි සිදුවීම් පිළිබඳ පළ වුවද ඒවා සම්බන්ධයෙන් වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැත. පෙනෙන්නට තිබෙන්නේ විත්තිකරුගේ තනතුරු, තානාන්තර හා සම්බන්ධතාවල ප්‍රබලත්වය මත ඒවා තීරණය වන බවය. පසුගිය දිනක ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ දස හැවිරිදි දැරියක ලිංගික හිංසනයට පත් කළ බවට චෝදනා එල්ලවන්නේ ප්‍රදේශයේම බලවත් හිමි නමක් වන බද්දේගම සාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තෙලිකඩ තපස්සි හිමියන්ටය. සිදුවීම පිළිබඳව පැමිණිලි ලැබුණත් ඊට අපක්ෂපාතී ලෙස ක්ෂණික මැදිහත්වීමක් ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් ද සිදුවූ බවක් නොපෙනේ.

මාපියන්ගේ සැළකිලිමත්ද?

දැරියගේ පියා තරමක් ආබාධිත අයෙක් වන අතර ඔහු ප්‍රදේශයේ වත්තක වැඩ කරමින් එහිම වන කුඩා නවාතැනක ජිවිකාව ගෙන යයි. මව ද විවිධ රැකියාවල නියැලෙමින් එදා වේල සපයා ගැනීමට සහාය දෙයි. “මට ඉන්නේ පුත්තු දෙන්නයි, මම මේ වත්තේ වැඩට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. අපි නැවතිලා ඉන්නේත් මෙහෙමයි. දුව පහ වසරේ ඉගෙන ගනිමින් හිටියා. අපි ටීවී බලන්න රෑට සමහර දවසට පන්සලට යනවා. දරුවාත් යනවා. හාමුදුරුවෝ කීවා අකුරු කියා දෙන්න දරුවා පන්සලට එවන්න කියලා. හාමුදුරුවෝ අපේ දුරින් ඥාතීත් වෙන නිසා අපි සැකයක් බයක් හිතුවේ නැහැ. දරුවා දහම් පාලසටත් යනවා. දරුවා හවස පන්සලට ගියාම, අපි රෑ වෙලා ගිහින් එක්ක එනවා. පස්සේ දරුවා යන්න බෑ කියලාත් කීවා. අපි රෑ ටීවී බලන්න පන්සලට ගිය වෙලාවටත් හාමුදුරුවෝ දරුවා කාමරයට එක්ක ගියත් අපි සැකයක් හිතුවේ නැහැ, පොඩි දරුවෙක් නිසා ආදරේට එක්ක යනවා කියලායි හිතුණේ.” මේ දැරියගේ පියා පවසන කතාවයි. දස වියැති ළමා වියේ පසුවන තම දියණිය සම්බන්ධයෙන් ඇගේ මාපියන් පූර්ණ ආරක්ෂාව තම භාරයේදීවත් ලබා දී තිබුණේ ද යන්න පිළිබඳවද එක් අතකට ඇති වන්නේ ගැටලුකාරී තත්ත්වයකි. දැරිය තමන්ට අත්දැකීමට සිදුවූ අමිහිරි අත්දැකීම දෙමාපියන්ට නොපවසා සිට අවසානයේ සියල්ල පවසන්නේ තම පන්ති භාර ගුරුතුමියටය. මාපියන්ද සිදුවීම පිළිබඳ දැනුවත් වන්නේ ඒ ඔස්සේය.

“පොලීසියෙනුත් බැන්නා, අම්මලා බලන්නේ නැද්ද කියලා. අපි අද හම්බ කරන එක කෑමටම වියදම් වෙනවා. දරුවෝ තුන්දෙනාගේම වියදම් බලන්න ඕනෑ. දැන් මේවාට ඇවිදින්න යන්නත් අපිට පුලුවන් කමක් නැහැ. ඉස්කෝලෙන් තමයි මේ කතාව දැන ගත්තේ. මම මගේ දරුවා විකුණලා බඩට දාගන්නේ නෑ. මේක හෙන ගහන වැඩක්, මහා අපරාධයක් දෙයියනේ. අපිට කිව්වේත් නැහැ, හිතේ තියාගෙන ඉන්න බැරි තැන මේ දේ වුණු විදිය පන්තියේ මිස්ට කියලා තිබුණා.” දැරියගේ මව පවසන්නීය.

යටපත් කිරීමේ උපක්‍රම

මාර්තු 27 වන දින දැරිය විසින් මෙම සිදුවීම සවිස්තරව සිය පන්තිභාර ගුරුතුමියට පැවසූ විට පාසල් පරිපාලනය විසින් 1929 දුරකතන අංකය ඔස්සේ එදිනම ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලි කර ඇත. එහෙත් දැනගන්නට ලැබෙන්නේ ළමා ආරක්ෂක අධිකාරියෙන් මෙම සිදුවීම සම්බන්ධව සොයා බලන ලෙස ඇල්පිටිය පොලීසියට දන්වා තිබුණත් ඵලක් වී නැති බවය. නැවත බද්දේගම ප්‍රදේශවාසීන් 1929ට ඒ සම්බන්ධයෙන් ද පැමිණිලි කිරීම නිසා ළමා ආරක්ෂක අධිකාරියෙන් නැවතත් බද්දේගම පොලීසියට ද මේ සම්බන්ධව සොයා බලන ලෙස දැනුම්දී ඇතත් බද්දේගම පොලීසිය විසින් සිදුකර තිබුණේ වින්දිතයා පිළිබඳ නොතකා තම දියණියට එවැන්නක් නොවූ බවට වින්දිත දැරියගේ මවගෙන් කටඋත්තරයක් ලබා ගැනීමය. පැමිණිල්ල ළමා අපචාරයක් සම්බන්ධයෙන් වුවත් වෛද්‍ය පරීක්ෂණයකට දරුවා යොමු කිරීමට හෝ ඒ අවස්ථාවේ බද්දේගම පොලීසිය මැදිහත්ව කටයුතු කර නොතිබුණි. සිදුවීම දැනගත් අවස්ථාවේම දැරියගේ පාසලේ විදුහල්පතිවරයාද තවත් නීතීඥයෙකුද සමග බද්දේගම පොලීසියට ගොස් තිබුණත් පැමිණිල්ල භාරගෙන නැත. පොලීසියත් හාමුදුරුවන්ට පක්ෂපාතීව කටයුතු කර ඇති බවක් පෙනේ.

“මේ දරුවා පාසල් ඒම සෑහෙන අඩු තත්ත්වයක් තිබුණා. ඒ ගැන හොයා බලද්දී තමයි දරුවා මේ සිදුවීම ගැන ගුරුවරියට කියලා තිබුණේ. දැන් ඒ දරුවාට පිරිමි කියන ජාතියම එපා වෙලා තියෙන්නේ. විදුහල්පතිවරයාත් සිදුවීම දැනගත්තාට පස්සේ නීතීඥයෙක් එක්ක බද්දේගම පොලීසියට පැමිණිලි කිරීමට ගිහින් තිබුණත් පොලීසියෙන් පැමිණිල්ල බාරගෙන තිබුණේ නැහැ.” ඒ දැරියගේ පාසලේ ගුරුවරියක් පැවසූවකි. මෙම සිදුවීම හෙළිදරවු වීමත් සමග එය යටපත් කිරීමට විශාල බලවේග රාශියක් ක්‍රියාත්මක වී තිබූ බව ද වාර්තාවේ. ඊට භික්ෂූන්වහන්සේලාගෙන් මෙන්ම ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක විදුහල්පතිනියක්ද උත්සාහ කළ බව වාර්තාවේ. ඒ අතර දෙමාපියන්ට ද මෙය යටපත් කරන ලෙස විවිධ ඉල්ලීම් මෙන්ම තර්ජන ද එල්ලවී තිබූ අතර පන්සලත් ශාසනයත් විනාශ කළ බවට චෝදනා කරමින් වින්දිත දැරියගේ සහෝදරයාට ද ප්‍රදේශයේ කාන්තාවක් පහරදී තිබුණෙන් ඔවුහු ඒ පිළිබඳව ද බද්දේගම පොලීසියට පැමිණිලි කර තිබුණි. “ගමේ දෙන්නෙක් ඇවිත් අපිට තර්ජනය කළා. හාමුදුරුවෝ එහෙම දෙයක් කළේ නෑ කියලා ලියුමක අත්සන් කරලා දෙන්න කීවා. අපි ඒවාට එකඟ වුණේ නැහැ, ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දුන්නා. හාමුදුරුවෝත් අපිට කීවා මේක අත්හැරලා දාන්න, මන්ත්‍රී කෙනෙකුට කියලා ගෙයක් හදලා දෙන්නම් කියලා. අපි ඒ කිසිවකට එකග වුණේ නැහැ.”ඒ දැරියගේ පියාය.

ඇප මත නිදහස්

පොලීසි ක්‍රියාත්මක නොවෙද්දී, නැවත පැමිණිලි ලැබෙද්දී අප්‍රේල් 2 දින ළමා ආරක්ෂක අධිකාරියේ සෘජු මැදිහත්වීමෙන් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තා ලබා ගැනීමට කටයුතු කර තිබුණි. පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ ජනවාරි මාසයේ පමණ සිටම වරින්වර දරුවාට ලිංගික වශයෙන් හිංසනයන් සිදුවූ බවය. ඉන් අනතුරුව බද්දේගම පොලීසියේ පොලිස් නිලධාරියෙකු විත්තිකාර හිමිනම වෙත යවා පසුදින ළමා ආරක්ෂක අධිකාරියට පැමිණෙන ලෙස දන්වා තිබුණි. එහෙත් එලෙස නොපැමිණි හිමිනම අප්‍රේල් 4වන දින කරාපිටිය රෝහලේ භික්ෂු වාට්ටුවට ඇතුළත්ව ඇත. නැවත 8වන දා ද පැමිණෙන ලෙස ද ළමා ආරක්ෂක අධිකාරිය දන්වා තිබුණත් එහි නොයන මෙම හිමිනම රෝහලෙන් පිටවී තම පන්සල වෙතද නොගොස් වෙනත් පන්සල් කීපයක දින ගෙවා ඇත. පසුව අප්‍රේල් 18 වන දින නීතිඥවරයකු සමග පැමිණ ළමා ආරක්ෂණ අධිකාරියේ පොලීසිය වෙත භාරවී තිබුණි. ගාල්ල මහේස්ත්‍රාත්වරිය වෙත යොමු කිරීමෙන් පසු මැයි 2 දක්වා රක්ෂිත බන්ධනාගාරගත වන්නේ එලෙසය. දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මේ පුද්ගලයා ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් සහ සෑම මසකම අවසන් ඉරු දින පොලීසියේ පෙනී සිටිය යුතු ආකාරයෙන් මැයි 2වන දින ඇප මත නිදහස ලබා තිබේ.

“මේ දෙමාපියෝ නූගත් අය. පන්සලෙන් ඒ අයට කෑම බීම ආදිය දෙනවා. හාමුදුරුවෝ වයස හැටපහක් විතර වෙන වැඩිහිටි හිමිනමක්. ඒ අය හාමුදුරුවන්ට විරුද්ධව යන්නේ නැති තත්ත්වයක් තිබිලා තියනවා. ඉස්කෝලේ පන්තිභාර ගුරුතුමිය මේ සිදුවීම දරුවාගෙන් දැනගෙන පැමිණිලි කළාට පසුවයි දෙමාපියන් මේ ගැන කටඋත්තර දෙන්න ඉදිරිපත් වුණේ. දැන් මේ දරුවා හාමුදුරු කෙනෙක් දැක්කොත් බනිනවා, හැංගෙනවා. පිරිමි අයට වෛර කරනවා. ඒ වගේ වයසකදීම පිරිමි අය ගැන එවැනි වෛරයක් ඇතිවීම හොඳ දෙයක් නෙමෙයි. එහි බරපතලකම අපට වැටහෙනවා. අවුරුදු දහයක දරුවෙක්ට මෙවැනි දෙයක් සිදුකිරීමට සමාවක් දෙන්න බැහැ. මේ හාමුදුරුවන්ට දේශපාලඥයන් සමගත් සම්බන්ධතා තිබුණා. දෙමාපියෝත් මේවා නිසා බය වුණා. ඒ වගේම සමහර අය කියලා තිබුණා මේක හෙළි කරන්න එපා, ළමයා පරිවාසයට දාන්න වේවි කියලා. ප්‍රදේශයේ ගොඩක් හාමුදුරුවරුත් මේක යටගහන්න උත්සහ කළා මිසක් අවවාදයක් දෙන්න උත්සාහ කළේ නැහැ. මේකට විරුද්ධව කටයුතු කරන්න ඉදිරිපත් වෙන්නේ හාමුදුරුවරු කීපදෙනෙක් විතරයි. වගකිවයුතු හාමුදුරුවරු එහෙම විරෝධයක් දැක්වුවේ නැහැ. ඒ වගේම බද්දේගම වෙනත් ප්‍රසිද්ධ බාලිකා පාසලක විදුහල්පතිනියක් මේක යටගහන්න උත්සාහ කළේ ඇයි කියන ප්‍රශ්නයත් අපට තියනවා.” ඒ ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේ නමක් පැවසූවකි. එම භික්ෂුව පැවසුවේ විත්තිකාර හිමිනමගේ හිතවත් භික්ෂුවක්ද දැරියගෙන් මේ සිදුවීම වුණු ආකාරය එකින් එක විමසමින් දැරිය තවත් හිංසනයට ලක් කළ බවය. “ඒකත් ඒ දරුවාට සිදුකළ අතවරයක්. මේක රටේ ප්‍රසිද්ධ වෙනවාට, මේක නීතිය හමුවට යනවාට අකමැති නිසා තවත් සමහර හාමුදුරුවරු මේක නීති මාර්ගයට නොගොස් විසඳා ගැනීමට උත්සාහ කළා. සාමාන්‍ය පුද්ගලයෙක් අතින් මේ දේ වුණා නම් ඒ පුද්ගලයා දැන් බන්ධනාගාරයේ. හාමුදුරු කෙනෙක් අතින් මෙවැන්නක් වුණා කියලා එය වෙනස් විය යුතු නැහැ. වරදක් කළ අයෙක් ආරක්ෂා කිරීමෙන් තවත් කෙනෙක් මෙවැනි වරදකට පෙළඹීමට බය වෙන්නේ නැහැ. තවත් කෙනෙක් අතින් වරදක් නොවීමට නම් ඒ කෙනාට දඬුවම් ලැබිය යුතුයි.” එම භික්ෂූන් වහන්සේ පැවසූහ.

මේ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තෙලිකඩ තපස්සි හිමියන් පැවසුවේ, “ඔය ළමයාට නොයෙක් තැන්වලින් උගන්වලා තියෙනවා මෙහෙම කියන්න කියලා. ඒ ළමයාටත් කතාන්දර ගොතා කීමේ හැකියාව තියනවා. මේක විරුද්ධවාදින්ගේ වැඩක්. දේශපාලන බලපෑමකුත් ඕකට තියනවා.” යනුවෙනි.

යුක්තිය කවදාද?

ළමා ආරක්ෂක අධිකාරියෙන් මෙම සිදුවීමට අදාළ සියලු වාර්තා සකස් කර ඉදිරි අධිකරණ කටයුතු සඳහා යොමු කිරීමට නියමිත වුවත් ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියකු අප සමග පැවසුවේ ළමයින් සම්බන්ධ මෙවැනි පැමිණිලි සඳහා ඉතා කඩිනම්ව විසඳුම් ලැබිය යුතු වුවත් ඒ සඳහා බොහෝ විට දීර්ඝ කාලයක් ගතවන බවය.