රබර් අක්කරය රු. 100/-යි, ආයෝජන වංචාව මිලි. 12000/-යි, ලොකු විතානගෙන් ලොකු මගඩියක්

රසික ගුණවර්ධන

මහා පරිමාණ ආයෝජන රටට විශාල ආර්ථික ප්‍රතිලාභ ගෙන එනු ලබන්නකි. ඒ ප්‍රතිලාභ ලබා ගැනීමේ උවමනාව හේතුවෙන්ම ආයෝජනයට සම්බන්ධ නීති විටින් විට ආයෝජකයන්ගේ උවමනාවන්ට සහ රජයේ උවමනාවන්ට අවශ්‍ය ලෙස නම්‍යශීලී කරනු ලබයි. ඒ නිසාම ආයෝජන ක්ෂේත්‍රයේ නීති හරහා පැනයා හැකි ගුල් පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබේ. මේ හේතුවෙන්ම ඇතැම් අවස්ථා වල ආයෝජකයෝ විවිධ පාර්ශ්වයන් සමඟ එකතුව නීතියෙන් රිංගා යමින් එසේ නැතිනම් දේශපාලන බල අධිකාරියට මුවා වෙමින් මහා පරිමාණ ආයෝජන හරහා සුවිශාල වංචාවන් සිදු කරති. මේ හරහා රටට අහිමි වන මුදල අතිවිශාලය. මේ සටහන එසේ මහා මුදල් වංචාවක් සිදු කිරීමට සැරසෙන නන්දන ලොකුවිතානගේ හොරණ රිජිඞ් ටයර් ආයතනය පිළිබඳවය.

නන්දන ලොකුවිතාන

මෙම වංචාව පිළිබඳව හෙළි කිරීමට ප්‍රථම නන්දන ලොකුවිතාන යනු කවරෙක්ද යන වග සඳහන් කිරීම පාඨක ඔබට ඔහු පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට සහ මෙම වංචාව පිළිබඳව අවබෝධ කර ගැනීමට පහසුවක් වනු ඇත. නන්දන ලොකුවිතාන යනු ව්‍යාපාරිකයෙකි. ඔහු ප්‍රධාන වශයෙන් ඩුබායි රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් සිය ව්‍යාපාර මෙහෙයවයි. පසුගිය කාලයේ නන්දන ලොකුවිතාන වඩාත් ප්‍රසිද්ධව සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙසය. ඩුබායි මැරිට් හෝටලය සහ ලංකා වානේ සංස්ථාව නන්දන ලොකුවිතානගේ නම සමඟ නිරන්තරව කියැවෙන ආයතන කිහිපයකි. එසේම පැනමා වාර්තා වලට අනුව ලොකුවිතාන විසින් 2000 වසරේදී සංස්ථාපනය කරන ලද “නිලෝනා ෆැෂන්” නම් ආයතනයක් හරහා සීෂේල්ස් හරහා මුදල් විශුද්ධිකරණයේ නිරත වූ බවටද චෝදනා එල්ල වී ඇත.

කෙසේ නමුත් පසුගිය ආණ්ඩු සමයේ ඔහු සිදු කළ බොහෝ ගණුදෙනු මත ඔහුට මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා එල්ල වූ නමුදු ඔහු එරෙහිව පැවැත්වුණු එෆ්. සී. අයි. ඩී. පරීක්ෂණ වර්තමාන රජයේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් වළක්වන්නට කටයුතු කළ බව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව යහපාලන රජය යටතේ හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් සඳහා අනුග්‍රහය හිමිවන්නේ මෙවැනි පුද්ගලයෙකුටය.

කැබිනට් තීරණ

නන්දන ලොකුවිතාන තමන්ගේ හොරණ ටයර් කර්මාන්තශාලාව ආරම්භ කරන්නේම ඔහුගේ දේශපාලන හයිය උපකාරී කරගනිමිනි. ඔහු කලක් පැවති කැබිනට් තීරණයක් මඟින් අවලංගු කර තිබූ ආයෝජන සඳහා වන බදු සහනයක් නැවත වළංගු කරගන්නා තැනට ක්‍රියා කිරීම හරහා ඔහු පිටුපසින් ක්‍රියාත්මක වන දේශපාලන බලය පැහැදිළිය.

එය සිදු වන්නේ මෙසේය. 2016 අපේල් මස 26 වන දින අමාත්‍ය මණ්ඩල තීරණයක් හරහා එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක විසින් කැබිනට් පත්‍රිකාවක් මගින් එතෙක් ආයෝජන සඳහා ලබා දී තිබූ ලාභ සහ ආදායම මත අදාළ වන බදු සහනය අවලංගු කරනු ලබයි. ඒ අනුව 2016 අප්‍රේල් මස 26 වැනිදාට පසුව සිදුවන කිසිඳු ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ලාභයට සහ ආදායමට බදු සහන ලබා දීමේ හැකියාවක් නොලැබී යයි. කෙසේ වෙතත් මෙම බදු සහනය අවලංගු කිරීමට හේතු වූයේ ඒ හරහා රටේ ආර්ථිකයට කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙනවා සේම එය විනිවිද බවක් නොමැති අර්ථ විරහිත අසාධාරණ බදු සහන ක්‍රමයක් වන නිසාය.

කෙසේ වෙතත් එසේ අවලංගු කළ බදු සහනය නැවත වතාවක් කැබිනට් පත්‍රිකාවක් හරහාම මාස ගණනක වෙහෙසකින් අනතුරුව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් අනුමත කර ගනී. ඒ 2016 ඔක්තෝබර් මාසයේ 03 වැනි දිනය. එහිදී දේශීය වෙළඳ පොළ සඳහා 40%ක් ද අපනයන වෙළඳ පොළ සඳහා 60%ද වන පරිදි ඇමරිකන් ඩොලර් මිලියන 75ක ආයෝජනයක් වන රිජිඞ් ටයර් ආයතනය ආරම්භ කරන බව සඳන් කර ඇත. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් මෙතෙක් අවලංගු කර තිබූ බදු සහනයක් නැවත ලබා දෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 75 ක් හෙවත් ලංකා රුපියල් මිලියන 13,275 ක් වැනි අතිවිශාල ආයෝජනයක් සඳහාය.

අක්කරය 100 බැගින්

මේ අනුව රිජිඞ් ටයර් කර්මාන්තශාලාව ආරම්භ කිරීම සඳහා ලොකුවිතාන වෙත ඉඩමක් ලබා දෙන්නේ හොරණ ප්‍රදේශයෙනි. ඒ කිසිසේත්ම ඇදහිය නොහැකි මිලකටය. එනම් එක් අක්කරයක් රුපියල් සියයකටය. රුපියල් සියය බැගින් දෙන අක්කර ගණන 100කි. හොරණ නොව කිසිඳු ස්ථානයකින් අක්කරය රුපියල් 100 බැගින් මිළදී ගැනීමට කිසි සේත්ම හැකියාවක් නැත. මේ ආකාරයට ඔහුට නැවත නැවත සහන දීම හරහා පැහැදිලි වන්නේ නන්දන ලොකුවිතාන පිටුපස ඇති දේශපාලන බලයයි.

ආයෝජනය

නන්දන ලොකුවිතාන විසින් ගිවිසුමට අනුකූලව හොරණ ඉදිකරන රිජඞ් ටයර් කර්මාන්තශාලාව සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 75 ආයෝජනය කළ යුතු වූවද, ඔහු විසින් එසේ නොකරන බව මේ වන විට කරුණු තහවුරු වී තිබේ. ඒ බව තහවුරු වන්නේ සංවර්ධනය උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරණ ප්‍රකාශයක් හරහාය. ඒ අනුව 2019. 04. 04 වන දින මිරර් (Mirror) පුවත්පතේ මිරර් බිස්නස් (Mirror Business) අතිරේකය අනුව නි. අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මේ වන විට හොරණ ටයර් කර්මාන්ත ශාලාවෙන් 65% ක වැඩ කටයුතු අවසන් වී ඇති බවයි. ආයෝජනයට අදාළව ඩොලර් මිලියන හැත්තෑ පහෙන් 65% යනු ඩොලර් මිලියන 48.75 කි. එහෙත් මේ වන විට කිසි සේත්ම ඩොලර් මිලියන 48.75 ක ආයෝජනයක් සිදුව නොමැති බව තහවුරු වන්නේ මෙරටට භාණ්ඩ ගෙන්වීම පිළිබඳව නිළ සටහන වන ශ්‍රී ලංකා රේගුවේ HS කේත සෙවුම (HS Code) හරහාය. එයට අනුව ගෙන්වා ඇති සම්පූර්ණ භාණ්ඩ වල වටිනාකම රුපියල් මිලියන 690 කි. (වගුව බලන්න) එනම් ඩොලර් මිලියන 3.8 කි. ආසන්න වශයෙන් ඩොලර් හතරකි. එනම් ආයෝජනයට අදාළව ගිවිසුම් ගතවූ ආකාරයට ඔහු ආයෝජනය කිරීමට අසමත් වන බව මේ හරහා පෙනෙන්නට තිබේ.

මොහු විසින් සිදු කරන ආයෝජනය අනුව 65% ප්‍රමාණය රුපියල් මිලියන 690 නම් ඉතිරි 35%ක අගය වන්නේ රුපියල් මිලියන 350ක් හෙවත් ඩොලර් මිලියන 1.97 කි. එනම් ආසන්න වශයෙන් ඩොලර් දෙකකි. ඒ අනුව මොහු සිදු කළ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 1060ක් හෙවත් ඇමරිකන් ඩොලර් මිලියන 6කි.! එහෙත් ඔහු බදු සහනය ලබා ගෙන ඇත්තේ ඩොලර් මිලියන 75ක් ආයෝජනය කළ බව පවසමින්ය. මේ අනුව පැහැදිලිවම තහවුරු වන්නේ ඔහු විසින් ඩොලර් මිලියන 69ක් අඩුවෙන් ආයෝජනය කළ බවයි.

මේ හරහා පැහැදිලිවම තහවුරු වන්නේ මොහු බදු සහනය ලබා ගැනීම උදෙසා අසත්‍ය පවසා ඇති බවයි. සැබෑවටම තමන් ආයෝජනය කරන්නේ ඩොලර් මිලියන 6 බව පැවසුවා නම් ලොකුවිතානට වසර දොළහක බදු නිදහස් කාල සීමාවක් සහ එයින් පසු නොකඩවා 15% ක බදු සහනයක් හිමිවන්නේ නැත. මෙය ආයෝජන බදු සහනය ලබා දීම සඳහා උපකාර කළ උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා සහ නි. අමාත්‍යවරයා නොදන්නවා යැයි පැවසිය නොහැකිය. ඔවුන් පැහැදිලිවම මේ වන විට ආයෝජනය කර ඇති ප්‍රමාණය 65% බව දන්නේ නම් දැනට ලොකුවිතාන විසින් සිදු කර ඇති ආයෝජනය අනුව ඔහු විසින් කිසි සේත්ම ඩොලර් මිලියන 75ක ආයෝජනයක් නොකරන බව නොදැන සිටීමට හේතුවක් නැත. එසේම මේ තොරතුරු දැන ඔහුට විරුද්ධව මේ වන විට කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ගෙන නොමැත. ඒ අනුව තහවුරු වන්නේ ඔවුන් නන්දන ලොකුවිතාන ආරක්ෂා කිරීමට බැඳී සිටින බවද?

මුදල් විශුද්ධිකරණය

නන්දන ලොකුවිතානට පසුගිය රජය සමයේ එම රජයේ උපකාර ඇතිව මුදල් විශුද්ධිකරණයේ නිරත වූවා යැයි චෝදනා එල්ල වී ඇත. එසේම මෙයද මුදල් විශුද්ධිකරණය සඳහා ලොකුවිතාන විසින් සිදු කරන උත්සහයක් ලෙස සැලකිය හැකිය. මොහුට වසර දොළහක කාලයක් සඳහා හිමිවන්නේ අසීමාන්තික බදු සහනයකි. එනම් මොහු මෙම කර්මාන්තශාලාවේ නිශ්පාදන ලෙස අපනයනය කර ඒවාගේ ලාභය ලෙස කොයිතරම් විශාල මුදලක් මෙරටට ගෙන්වූවද ඔහු ඒ මුදල් සඳහා රජයට කිසිඳු බද්දක් ගෙවීමට අවශ්‍ය නොවේ. සරල ලෙස මුදල් විශුද්ධිකරණය පැහැදිලි කළහොත්, මෙරට සිට රුපියල් මිලියන 50ක වටිනකමක් සහිත නිශ්පාදන අපනයනය කර එය විකුණූ වටිනාකම රුපියල් මිලියන 500 බව වුවත් පවසා මෙරටට එම මිලියන පන්සීය ගෙන ඒම සිදු කරයි. ලොකුවිතාන මේ තත්ත්වයන් යටතේ එය සිදු කළ හොත් ඔහුට කිසිඳු බදු මුදලක් නොගෙවා සම්පූර්ණ මුදලම ගෙන්වා ගත හැකිය. මෙහිදී සිදු වන්නේ නිෂ්පාදන අපනයනය කරන්නේ මෙරටට විශුද්දිකරණය කරගත යුතු මුදල් ඇති ආයතනයටය. එහිදී එම ආයතනය නිශ්පාදන ලබා ගෙන එය මිළදී ගත් මුදල බව පවසමින් විශුද්ධිකරණය කිරීමට අවශ්‍ය මුදල් මෙරටට එවනු ලබයි. ලෝකයේ වර්තමානයේ කලු සල්ලි තැන්පත් කර ගැනීමට සුදුසුම රට ලෙස සලකන්නේ ඩුබායි රාජ්‍යයය. ඊට හේතුව වන්නේ ඔවුන් සිය තැන්පත් කරුවන්නේ වත්කම් හෙළි කිරීමට අන්තර්ජාතික වශයෙන් බැඳී නොමැති බැවිනි. එසේම නන්දන ලොකුවිතාන ඩුබායි රාජ්‍යය කේන්ද්‍රකොට ගත් ව්‍යාපාරිකයෙකු බව අමතක නොකළ යුතුය.
නන්දන ලොකුවිතානගේ මෙම වංචාව ආසන්න වශයෙන් රුපියල් මිලියන 12 000කි. මහ බැංකු වංචාවෙන් මෙරට අහිමි වූවායැයි පවස මුදල රුපියල් මිලියන 11,145කි. ඉතිරිය සිතා බැලීම ඔබට භාරය.

අප මේ පිළිබඳව විමසීමට නන්දන ලොකුවිතාන සභාපති ලෙස කටයුතු කරන ලංකා වානේ සංස්ථාව ඇමතූ විට පැවසුවේ නන්දන ලොකුවිතාන ඩුබායි වෙත පිටව ගොස් ඇති බවත් ඔහුගේ ජංගම දුරකතන අංකයක් ඔවුන් සතුව නොමැති බවත්ය.