කඩතුරාව ඉරා ඉස්ලාම් දෙස බලන්න – හිටපු අමාත්‍ය ඉමිතියාස් බකීර් මාකර්

නිමල් අබේසිංහ

තව්හිද් ජමාද් වැනි ත්‍රස්ත ව්‍යාපාර ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙන්න තිබූ පසුබිම මොනවගේ එකක් කියලද ඔබ හිතන්නෙ?

රෝමානු කතෝලික ආගම අනුමත කරන්නෙ නැති නමුත් ලෝකයේ සමහර බටහිර රටවල පුංචි පුංචි නිකායන්වල ක්‍රියාත්මකවීම් මේ රටේ තිබෙනව අපි දකිනවා. ඉස්ලාමීය ආගමෙත් බටහිර සල්ලි වැඩියෙන් තිබෙන රටවල් පොඩි පොඩි මතවාදයන් මේ රටවලට ගෙන එනව. ඉතින් මේව අපට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දේවල් නෙවෙයි. දැන් මම හිතන්නේ මේ විපතින් සැපත හදන්න ඕනේ කියලයි. අපේ රටට හැම හුළඟටම එන්න දොර ජනේල් විවෘත කරල තිබෙනව කියල මහත්මා ගාන්ධි වරක් කීවා. එනමුත් අපි හැමදේ දිහාම බලල අපි හොඳ දේ තෝරගන්නව කීවා. මේ බලපෑම් නැහැයි කියල කියන්න පුළුවන්කමක් නෑ. ඉතින් අපි බුද්ධිමත් විය යුතුව තිබෙනවා. හැම ආගමකම අන්තවාදී බලපෑම් තිබෙනවා. බෞද්ධාගමෙත් ජපානයේ බලපෑමෙන් සමහර අන්තවාදී කොටස් මතුවෙච්ච ඒව අපි දැක්කා. ක්‍රිස්තියානි ආගමෙත් අපි දැක්කා. ඉස්ලාම් ආගමෙත් අපි දැක්කා. මේක සියයට ගණනක් නෙමෙයි ඉතාම දශම බිංදුවයි ගණනක් තිබෙන්නෙ. ඒගොල්ලන්ව අත්අඩංගුවට අරන් තිබෙනවා. මේක පාලනය කරගෙන තිබෙනවා. දැන් අපට තිබෙන අභියෝගය හැම ජන කොටසකම මේ අන්තවාදී ප්‍රවාහයන්ට ඉඩ නොදීම.

ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ආගම් උගන්වන අයගේ දුබලකම් නිසා නොවෙයිද මෙවැනි ත්‍රස්ත කණ්ඩායම් හිස ඔසවන්නේ?

ඒ දුර්වලකම් සමාජය වටහාගෙන තිබෙනවා මේ අවස්ථාවේ. ඒ වාගෙම ලෝකයේ අනෙක් රටවල්වලට වඩා මුස්ලිම් සමාජය මේ අන්තවාදියො පරාජය කරන්න ප්‍රතිචාර දක්වලා තිබෙනවා. මේ අන්තවාදී කොටස් ගැන අවුරුදු කීපයකටම පෙර සිටම මේ අය ඉස්ලාම් නොවෙයි, ඉස්ලාම් ඉගැන්වීම්වලින් පිට පැනල තියෙනවා. මේගොල්ල අපේ රටේ ආරක්ෂාවට තර්ජනයක්. මේගොල්ලන්ව අත්අඩංගුවට ගන්න කියන එක දවසක් දෙකක් නෙමෙයි අවුරුදු ගණනාවක සිටම රජයට බලකරල තිබෙනවා. මේක නිසි පියවර නොගැනීමේ නොසැලකිල්ලද නැත්නම් වෙනත් කරුණක්ද කියල මට තේරෙන්නෙ නැහැ. මේ වැරදි ප්‍රවණතාවට එරෙහිව මුස්ලිම් සමාජයේ බහුතරය තුළ ඒ අවදිවීම සිදුවෙලා තිබෙනවා. මම හිතන්නේ අපි යන්න ඕනේ මේකේ නිෂේධාත්මක පැත්තට නොවෙයි. ධනාත්මක පැත්තටයි. මේ විනාශය වුණත් අවස්ථාවක් කරගන්න ඕනේ මේ වගේ දේවල් නොවෙන්න මොනවද කරන්න පුළුවන් කියන එක ගැන සොයා බලන්න. මේක මුස්ලිම් ප්‍රජාව අවබෝධ කරගෙන තිබෙනවා.

කොරාන් ග්‍රන්ථයේ මෙවැනි ප්‍රහාරයන් අනුමත නොකළත් ඉස්ලාම් ආගමේ වෙනත් ආගමික කෘතීන් මගින් මෙවැනි ප්‍රහාර ආගමික වශයෙන් සාධාරණීකරණය කරනවාට අමතරව අනුබල දෙන බවට කතාවක් තිබෙනවා. ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද?

එහෙම සැක අවිශ්වාස ඇති කිරීම මම දකින්නේ විහිළුවක් විදියටයි. කුරාණයේ තිබෙනව එක මනුස්සයෙක් මරනවයි කියන්නේ මිනිස් ප්‍රජාවම මරනවා හා සමානයි කියල. ඉස්ලාම් කියන වචනයේ තේරුම සාමය කියන එකයි. දවසට පස් වතාවක් මුස්ලිම්වරු ආගම කියනව. ඒ හැමදාම අපි ඉවර කරන්නෙ දකුණු පැත්තටත් වම් පැත්තටත් හැරිල අස්වලාම් අලේකුම් කියලයි. එහි අර්ථය ඔබට සාමය සහ ශක්තිය උදාවේවා කියන එකයි. ලෝකය පුරාම ඒ පණිවුඩය දීමටයි එහෙම කියන්නෙ. මුස්ලිම් කෙනෙක් තව කෙනෙකු මුණගැහුණමත් ආචාර කරන්නෙත් අස්වලම් අලේයිකුම් කියලයි. මීගමුවේ සිදුවීම්වලට පස්සේ පල්ලිවලට ගිහින් අපි ඔක්කොම ඒබ්‍රහම්ගෙ දරුවො, අපි ඔක්කොම එක සමානයි කියල අද කාදිනල්තුමා කියල තිබෙනවා. ඒ කියන්නෙ ඒබ්‍රහම්තුමා මොසස්තුමා මේ සියලුදෙනාම ඉස්ලාමයේ අදහනව. ඒගොල්ල දෙවියන්ගෙ පණිවුඩය ගෙනාපු දූතවරු කියලයි ඒගොල්ලො කියන්නෙ. මෝසස්තුමාගෙ නම කියන කොටම මුස්ලිම්වරු ශාන්තිය උදාවේවා කියල කියනව. මෙහෙම ආගමක මිනීමරන්න කියනව කියල කියනවා නම් කවුරුහරි ඒක විහිළුවක්. වෙනත් ආගම්වල උදවිය සිදුකරන අන්තවාදී කටයුතුවලදී ඒ විදියට ඇඟිල්ල දික් කරනවද? ඇයි ඒ විදිහට ඇඟිල්ල දික් කරන්නෙ නැත්තෙ. 2005 සිට 2009 දක්වා ඇමරිකාවෙ සිදුවෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරවලින් 96%ක්ම සිදුවෙලා තිබෙන්නෙ මුස්ලිම් නොවන උදවියගෙන්. ඊයෙ පෙරෙයිදා මේ ගැන සමීක්ෂණ වාර්තා පිටවෙලත් තිබුණ. ඉතිරි 4ක් තමා මුස්ලිම්වරු අතින් එවැනි දේ සිද්ධවෙලා තිබෙන්නේ. ලෝකේ ඉස්ලාම් කියන කොට අල්ලාහු අක්බර් කියන කොට තුවක්කුවක් තියන් ඉන්න මිනිහකුගෙ පින්තූරයක් හදාගන්නෙ. ලෝකෙ බලගතු මාධ්‍ය මේ පින්තූරෙ ඇති කරල තිබෙනව. මේ පින්තූරෙ ඇති කරල ලෝකෙ බලවත්ම සම්පත් තිබෙන රටවල්වලට ගහල තිබෙනව. ඉරාකෙට ගැහැව්ව. ඉරාකෙ තෙල් ටික ඔක්කොම සූරගෙන කෑව. ගහනකොට කීවේ ඉරාකෙ මහා පරිමාණ ආයුධ තිබෙනව කියලයි. ගෝර්ඩන් බ්‍රවුන්, ටෝනි බ්ලෙයාර් දෙන්නම කියන්නෙ ආයුධ තිබෙනවා කියා අපව නොමග යැව්වා කියලයි. ඒ පාපෝච්චාරණය කරන කොට මිලියන ගාණක් මැදපෙරදිග මිනිස්සුන්ගේ ජීවිත විනාශවෙලා අවසානයි. මේක තමයි යථාර්ථය. ඒ නිසා මතුපිටින් එන පින්තූරවලට වඩා කඩතුරාවන් ඉරල යථාර්ථය තේරුම් ගත යුතුයි.

ඕස්ටේ්‍රලියාවේ වෙසෙන මවිලවිවරයෙක් පවසා තිබෙනවා කුරාණය නොවන වෙනත් ඉස්ලාම් ආගමික ග්‍රන්ථයකින් උගන්වන ඉගැන්වීම්වලින් ත්‍රස්ත ක්‍රියාවන්ට යොමු කරවන බව. ඒ ගැනයි මා පැවසුවේ.

නෑ මේක තියෙනව. ඉස්ලාම් නොවුණට තොප්පිය දාලා ඇඳුම් ඇඳගෙන පෙන්නනව. ඒගොල්ල මුස්ලිම් කියල පෙනී හිටිනවා. ඒගොල්ලො ඉස්ලාම් ආගම හිංසාවාදී ආගමක් හැටියට පෙන්නන ප්‍රකාශ කරනවා. මේකට ඉතින් කාදිනල්තුමා කියාපු කතාවම තමා මට කියන්න තියෙන්නෙ. මතුපිටින් පෙනෙන පින්තූරය බලන්න එපා. ගැඹුර විමසල බලන්න කියල. මේ වගේ මුස්ලිම් තරුණයො කීපදෙනෙක් කරපු මේ විනාශයට පස්සේ අනිවාර්යයෙන්ම අපේක්ෂා කරන්නේ මොකක්ද? මේකෙ වාසිය යන්නෙ කාටද? අනිවාර්යයෙන්ම ඊළඟට මුස්ලිම්වරුන්ට ප්‍රහාරයක් එල්ල වෙනව කියක එක අපේක්ෂා කරන්නෙ නැතිද? අද ඒ අතින් මුස්ලිම්වරුන් බයට පත්වෙලා නැතිද? මේක අපේක්ෂා කළා. සිරියාවෙ අයිඑස්අයිඑස් එක පරාජය කළේ කවුද? ඇමරිකාවද- බටහිර රටවල්ද? නෑ. තුර්කියයි ඉරානයයි වාගෙ රටවල් එකතුවෙලා. ගෝලීය ආර්ථික හා දේශපාලන අවශ්‍යතාවන් මේක තුළ තිබෙන්නේ. මේකෙන් අපට මිදෙන්න අමාරුයි. ලංකාවෙ සමහර පත්තර තිබෙනවනෙ ලෝකෙ අන්ත දක්ෂිණාංශික පත්තරවල තොරතුරුවලින් පිටු ගණන් පුරවන. ලංකාවෙ අපි එක පවුලක්. ඔයගොල්ලොයි අපියි නෙවෙයි. අපි ඔක්කොම එක පවුලක් කියල කල්පනා කරල, අපේ අවුරුදු ගාණක් තිබුණු සංහිඳියාවත් එක්ක මේ ප්‍රශ්නෙට මුහුණදිය යුතු ආකාරය ගැන හොඳ ආදර්ශයක් කාදිනල්තුමා දීල තිබෙනව. ශ්‍රී ලංකාවේ අපිට මේ විවිධත්වය බරක් නොවෙයි සම්පතක්. විවිධත්වයට ගරුකරමින් ඉවසමින් අපිට රටක් හැටියට ඔළුව උස්සන්න පුළුවන්. බෙදුම්කාරි යුද්ධයක් ජයගත්තා වගේම බෙදුම්කාරී සිතිවිලිවලිනුත් අපිට අව්‍යාජවම මිදෙන්න වෙනවා.