ලොකු අරුතක් නැති අමැතිවරයා – II

ජිනසිරි දඩල්ලගේ

(මෙහි මුල් කොටස 2019.04.21 දින රාවය පුවත්පතේ පළවිය.)

පවතින දේශපාලන ව්‍යුහය තුළ කිසිදු අර්ථයක් නැතිමුත් ඇමතිවරු මහ කෙරුමන් සේ පෙන්නීමට උත්සාහ කළද සැබෑ විග්‍රයකදී පෙනී යන්නේ ඔවුන් තම අරමුණු ඉටු කර ගැනීම වෙනුවට ඒවා තවදුරටත් දියාරු කරන ප්‍රවේශයන්වල හිරවී සිටික බවයි. රජයේ ආයතනවල, දෙපාර්තමේන්තු වල හෝ අමාත්‍යාංශ වල බලධාරීන් අදාළ විෂයයන් පිළිබඳ දැනීමක් පලපුරුද්දක්, වගකීමක් සහිත නිලධාරීන් වුවද නිසි අධ්‍යාපනයක් හෝ නොමැති සමහර ඇමතිවරු මුල සිටම හැසිරෙන්නේ සියල්ල දත් පණ්ඩිතයන් මෙනි. ඇමතිවරයා නිලධාරීයාගන් අදාළ කරුණු විමසනවා වෙනුවට අල්ලා මිම්මේ කරුණු දන්නා ඇමතිවරයා නිලධාරියා තම ග්‍රහණයේ තබා ගැනීමේ බල මානසිකත්වයක හිරවී ඇත. මේ අනුව මහජනතාවගේ ගැටලු විසදිය යුතු ආයතන ඒවා තවදුරටත් සංරක්ෂණය කරන ආයතන බවටත් ඉතා අධික වියදම් දරන ආයතන බවටත් පත්කර ගෙන ඇත.

අදාළ විෂය ක්ෂේත්‍රය භාරව එන ඇමතිවරයා අමාත්‍යංශයට ආ දවසේ සිට විශේෂඥයකු ලෙස ක්‍රියා කරයි. දීර්ඝ කාලීන අත්දැකීම් ඇති විශේෂඥයකු වැනි නිලධාරියා ඉබේම ඇමතිගේ ගෝලබාලයකු වේ. එලෙස කියන දේ කරන ඇමතිගේ මෝඩ වැඩ වලට උදව් නොකරන ආයතන ප්‍රධානියකු වේ නම් ‘මෙයා එක්ක වැඩ කරන්න බෑ’ යන මතවාදය ඔස්සේ ඔහු ඉවත් කිරීම ඇමතිවරයාගේ ප්‍රධාන න්‍යාය පත්‍රය බවට පත් වේ. රාජ්‍ය සේවයේ පවතින මූලධර්ම හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයන් හෝ විගණන මූලධර්ම හෝ එහිදී ඇමතිවරයාට අදාළ නොවේ. පළමු කාර්යය වන්නේ තමාට ගැලපෙන කියන දේ කරන ආයතන ප්‍රධානියකු පත්කර ගැනීමයි.

ඇමතිවරයා විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන් අදාළ වෘත්තීය සමිති ආදිය සමග වඩා යහපත් සබඳතාවයක් පවත්වන්නේ නම් එම යහපත් සබඳතා වලින් ලකුණු දමා ගත හැකි වන්නේ ඇමතිවරයාට වේ. එලෙස ලකුණු දමා ගැනීම මත එය ඔහුගේ දේශපාලන ගමන සඳහාද වාසිදායක පසුතලයක් නිර්මාණය කරනු ඇත. එලෙස නොකරන්නේ නම් කාලය විසින් ‘මෙම ඇමතිවරයා සමග අපටත් වැඩ කරන්න බෑ.’ යන මතවාදයක් අදාළ ආයතන හෝ අමාත්‍යංශ තුළ ගොඩ නැගෙනු ඇත. ඇමතිවරුයාට කියන දෙයක් නොතේරෙන බවත් ඔහු පිස්සු කෙළින ඇමතිවරයකු ලෙසත් නිලධාරීන් තුළත් ආකල්පයක් ගොඩ නැගෙනු ඇත. පසුගිය ලිපියෙන් පෙන්වා දෙනු ලැබුවේ සමාජ සවිබලකරණය, දිළිඳුකම පිටුදැකීම ග්‍රාමීය ආර්ථික සංවර්ධනය වැනි විෂයන්ට අදාළ ආයතන හා අමාත්‍යංශවල විෂය දැනුමට හා නිලධාරීන්ගේ අදහස් වලටද ඉඩ ලබා නොදීම නිසා ඇමතිවරයා ලකුණු කපාගනු ලැබූ ආකාරයයි. ඇමතිවරයාගේ පැවති පණ්ඩිතභාවය මත බොහෝ අත්‍යවශ්‍ය කාරණා සඳහා ඉතා අධික වියදම් දරා කරනු ලැබූ කටයුතු කිසිදු දේශපාලන වාසියක් නොමැති පුහු වැඩ ලෙස නිලධාරීන් හඳුනා ගැනීමයි. නව සමෘද්ධිලාභීන්ට එම ප්‍රතිලාභ ලබා දීමට හෝ අයෝජන අවස්ථා ඇතිකර දී බොහෝ සහනාධාර පවුල් සවිබල ගැන්වීමට හෝ, දුප්පත් පවුල් වල තරුණ තරුණියන් ශිල්පීය වශයෙන් සවිබල ගන්වා ඒ තුළින් වඩා යහපත් දේශපාලන වාසිදායක තත්ත්වයක් ඇති කර ගැනීමට තිබූ හැකියාව උද්ධච්ඡකම මත අහිමි කරගනු ලැබූ අවස්ථා තිබේ.

ශ්‍රී ලංකාව ණය උගුලක හිර වී ඇති රටකි. මෙම ණය සංස්කෘතිය හා දුෂ්ඨ චක්‍රය මෙබදු ඔලමොට්ටල ඇමතිවරුන්ගේ හා දේශපාලන නායකයන් විසින් ජනතාවට උරුම කර දී ඇති දායාදයකි. විදේශ ණය ලබාගෙන කිරි නැති ගවයන් ගෙන්වීම එබඳු ලොකු අරුතක් නැති ඇමතිවරයකුගේ දක්ෂකමක් නොවේද? ඒ මගින් තවදුරටත් අපේ රටේ ණය ප්‍රමාණය ඉහළ යන වගක් ඇමතිවරයාට දැනී තිබුණද? එම සිතුවිල්ලට හෝ හැගීමට වඩා තමාට ලැබෙන කොටස් කුට්ටිය පිළිබඳ මෙබඳු අරුතක් නැති ඇමතිවරයාගේ ප්‍රධාන අවධානය යොමු වේ.
දිළිදුකම නැති කිරීම සඳහා ලබාදෙන සහනාධාරද රටේ දුෂ්ඨ ණය චක්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවන ප්‍රධාන කරුණකි. ඒ අනුව අදාළ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉතා ඉහළ වියදම් ඵලදායිතාවකින් යුක්තව කටයුතු කිරීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දිළිඳුකමනැති කිරීම, සමාජ සවිබල ගැන්වීම අතිශය වියදම් අධික අවම ඵලදායිතාවක් සහිත ව්‍යාපාරයක් බවට පත් වී ඇත්තේ මෙබඳු අරුතක් නැති ඇමතිවරු මගිනි. වර්තමාන රජයේ දිළුඳුකම නැති කිරීමේ හා සමාජ සවිබල ගැන්වීමේ අමැතිවරයාට මෙබදු දැක්මක් නොමැති නිසා ඔහුට වියදම හා එහි ඵලදායිතාව පිළිබඳවද තැකීමක් නොවීය. ඇමතිවරයා වැඩ කරන බව පෙන්වීමට ඔහු යොදා ගන්නා උපාය මාර්ග කිසිසේත් සමාජ සවිබල ගැන්වීමට අදාළ නොවීය. සියලුම දිස්ත්‍රික්වල නිලධාරීන් ගෙන්වා කතා කීපයක් පවත්වා අදාළ නිලධාරීන්ට දිවා ආහාර පාර්සලයකුත් ලබා දී රැස්වීම අවසන් කිරීමේ න්‍යාය පත්‍රයක් සහිත ක්‍රියාදාමය එබඳු ප්‍රතිපළ රහිත ලකුණු කපා ගන්නා ක්‍රියාදාමයන් විය. මේ සඳහා වාර්ෂික ප්‍රතිපාදන හෝ අරමුදල් නොමැති බව නිලධාරීන් පෙන්වා දීම ඇමතිවරයා ගණන් නොගනී. එබදු උපදෙස් හෝ පෙන්වා දීම් ගණනකට නොගන්නා ඇමතිවරයා මෙබඳු දේ වලට පෙළඹීම මගින් ඔහුගේ අරුතක් නොමැති බව සමාජගත කරනු ලැබීය. මේ මගින් ඔහු වෘත්තීය සමිතිවල හා මෙබදු ප්‍රතිඵල රහිත ක්‍රියාවලින් වෙහෙසට පත් වූ නිලධාරීන් තුළ ‘බොරු වැඩ හා පම්පෝරී ගසන ඇමති’ යන ආකල්පයක් ගොඩ නගා ගනී.

සමෘද්ධි පවුලකට ලැබෙන උපරිම මාසික සහනාධාර ප්‍රමාණය රු. 3500/- පමණ වේ. මෙම පවුල් තෝරා දිස්ත්‍රික් මට්ටමින් වියදම් අධික උත්සව පවත්වා සමෘද්ධිය පිරිනැමීමේ උත්සව පැවැත්වීම ඇමතිවරයාගේ වුවමනාව වේ. ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගෙන්වා වෙන වෙනම ප්‍රධාන රැස්වීම් දෙකක් පැවැත්වීම ඉන් අනතුරුව දිස්ත්‍රිස් මට්ටමින් ප්‍රධාන උත්සව පැවැත්වීමඳ ඊට අමතරව ශිෂ්‍යත්වලාභින් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ප්‍රධාන උත්සවයක් පැවැත්වීම, ඇමතිවරයාගේ සමාජ සවිබල න්‍යාය පත්‍රයට අදාළ වේ. අදාළ විෂය භාර නිලධාරීන් වෙන වෙනම ගෙන්වා ආරාධනා පත්‍රයේ හරිවැරදි බැලීම, ප්‍රචාරක කටයුතු, වේදිකා සැරසිලි ආදිය කෙබදුද යන්න විමසීම, නැවත වෙනස් කිරීම, ඒ ඒ වැරදි සඳහා නිරන්තර බැණ වැදීම ප්‍රධාන කරුණු කාරණා බවට පත් වේ. එක් ප්‍රධාන රැස්වීමක් සඳහා වියදම රුපියල් ලක්ෂ 80ක් පමණ වේ. මේවා ඉතිරි කරගෙන වඩා සරලව හා වඩා ඵලදායි ලෙස එම කටයුතු කිරීම හා දිවයින පුරා එකවර සහනාධාර ලබා දීම දේශපාලනික වශයෙන් වඩා වාසිදායක බව නිලධාරීන් විසින් පෙන්වා දීම ගැන ඇමතිවරයාට හැඟීමක් නැත. අවසානයේ ඇමතිවරයාට හැකි වන්නේ දිස්ත්‍රික් 25න් දිස්ත්‍රික් දෙකක පමණක් ඉතා ඉහළ වියදමක් දරා සහනාධාර බෙදා දීමට හැකි වීම පමණි.

වියදම් අවම කරන ලෙස ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යංශය කොතෙකුත් උපදෙස් ලබා දේ. කෙසේ වුවද ඒවා නිලධාරියාගේ අතිකාල දීමනාවට හෝ ඉන්ධන දීමනාවට බලපෑවද අරුතක් නැති ඇමතිවරුන්ගේ එබඳු අරුතක් නැති ගමන් බිමන්, රැස්වීම් කෙසේ වුවද ඇමතිවරයා තවදුරටත් අදාළ අමාත්‍යංශයේ කටයුතු කිරීම හෝ නොකිරීම පිළිබඳ නොසලකන අතර විගණන විමසුම් සඳහා පිළිතුරු ලිවීමට සිදුවන්නේද නිලධාරීන්ටය.

නිලධාරීන්ගේ උපදේශන පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් ඇමතිවරයාට ලකුණු ලබා ගැනීමේ ඉඩකඩ බොහෝ පවතී. ඇමතිවරයා වරින්වර නිලධාරීන් කැඳවා ‘මෙහෙම කරන්න, අරෙහෙම කරන්න’ ආදී ඒකාධිපති භාවිතය නිලධාරීන්ගේ දායකත්වය නිසි පරිදි ලබාගත හැකි ක්‍රමවේදයක් නොවේ. අදාළ අමාත්‍යවරයාගේ කාලය තුළ එබඳු රැස්වීම් හා සාකච්ඡා බොහෝමයක් විය. එසේ වුවද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවූයේ ඒවා පිළිබඳ නිලධාරීන් තුළ වඩා ඵලදායි අදහස් හා යෝජනා තිබූ බැවිනි. ඇමතිවරයාට හිතවත් බැංකු සඳහා සමෘද්ධි මූල්‍ය සම්පත් ලබා දීම එබඳු කරුණකි. ඇමතිවරයා උපදෙස් ලබා දුන්නද නිලධාරීන් එය ක්‍රියාත්මක කරනු නොලැබීය. එයින් ඇතිවිය හැකි යහපත් අයහපත් ප්‍රතිඵල පිළිබඳව තක්සේරුවක් නිලධාරීන්ගෙන් ලබා නොගැනීම මත ඇමතිවරයාගේ යෝජනාව සඳහා නිලධාරීන් පසුගාමි වේ. මේ අනුව ඇමතිවරයා වැඩි වාසිදායක තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා නිලධාරීන් සමඟ උපදේශනාත්මක සංවාදය අවශ්‍ය වූවකි. එලෙස නොවීම තුළ ඇමතිවරයාට අදහස් සහිත නිලධාරීන් එපා වීමද නිලධාරීන්ට ඇමතිවරයා එපා වීමද ඇත්දැකිය හැක.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ආයතන බොහොමයක මෙම තත්ත්වය පවතී. ඇමතිවරයා එකම පණ්ඩිතයා ලෙස කටයුතු කිරීම තුළ වඩා නිර්මාණශීලි නිලධාරීන් එම ආයතන වලින් ඉවත් වී වරින් වර නිලධාරීන් මාරු වන සංස්කෘතියක් බිහි වී ඇත. මේ සඳහා අදාළ රජයන් වල ඉහළ දේශපාලන නායකයන් විසින් කළමනාකරණ ප්‍රතිකර්ම පිළිබඳ අවධානය යොමු නොකරන තාක්කල් මෙකී ලොකු අරුතක් නැති ඇමතිවරු තම තමන්ගේ මනාප මෙන්ම තම පක්ෂයේ මහජන මනාපයද ඉතා සිග්‍රයෙන් අහිමි කර ගනිති.

මෙබදු ලොකු අරුතක් නැති ඇමතිවරුන් සමස්ත වශයෙන් අදාළ ආයතන වලට හෝ අමත්‍යාංශ වලටත්, අදාළ රජයට හා එය අයත් දේශපාලන පක්ෂයටත්, සමස්ථ ආර්ථිකයට හා සමාජයට කරනු ලබන්නේ හානියකි. අදාළ හානිදායක තතත්වයන් ක්‍රමයෙන් වර්ධනය කරගනු ලබන ඇමතිවරයාටද අවසානයේ අදාළ විෂය හා අමාත්‍යංශයද එපා වේ. අමතිවරයා හා නිලධාරීන් එකතු වී කටයුත කිරීමේ යහපත් භූමිකාව ප්‍රධාන වශයෙන් ඇමතිවරයා සතු බැවින් එම වගකීම පැහැර හරින ඇමතිවරයා පිළිබඳ සමාජ හා දේශපාලන මතයද ඇමතිවරයාට අහිතකර වේ. මේ අනුව ඇමති මණ්ඩල වෙනස් වීම් වලදී වෙන තැනක් ඉල්ලා ගැනීම හෝ වෙන තැනක් ලැබීම සිදු වේ.

විවිධ රජයන් තුළ නිරන්තරව ඇමතිවරුන් මාරු කිරීම, වැඩක් කළ හැකි හා කරන නිලධාරීන් සංචිතයට මාරු කිරීම, එසේ නැත්නම් කොන්කර තැබීම, ආදී භාවිතයන් රාජ්‍ය සේවය තුළ සිදුවෙයි. ලොකු අරුතක් නැති ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපයන් මූලික වී ආයතන වැඩ නොකරන, අලුතින් යමක්, නිර්මාණශීලීව නොදකින ආයතන බවට පත්ව ඇත. නිලධාරින් අභිප්‍රේරණය කර, නව අදහස් හදුනාගෙන ආයතන ඵලදායිතාවය හා වියදම් ඵලදායිතාව දැඩි කිරීම සඳහා අවශ්‍ය වන මානව සම්පත් සබඳතාව බිදී යාම නිසා අසහනයෙන් හා අසමගියෙන් යුක්ත වැඩක් නොකරන බව පෙනෙන රාජ්‍ය ආයතන සංස්කෘතියක් රටට උරුම වී ඇත.

දිළිදුකම පිටු දැකීම, සමාජ සවිබල ගැන්වීම පමණක් නොව බොහෝ රාජ්‍ය ආයතන මෙම තත්ත්වය උරුම කරගෙන ඇත. එය විනාශය වී රාජ්‍ය සේවය වැඩක් නැති එකක් ලෙසත් ආණ්ඩුව කිසිම වැඩක් නොකරන ලෙසත් සමාජ මතයක් ගොඩ නැගී වර්ධනය වේ. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉහළ දේශපාලන නායකත්වයට හා කළමනාකාරීත්වයට වගකීමක් හා වුවමනාවක් පැවතීම අත්‍යවශ්‍ය වේ. අදාළ ඇමතිවරුන් සඳහා විෂයන් බෙදාදීම සිදුකරන්නේත්, ඒ සඳහා සුදුසු ඇමතිවරුන් හඳුනා ගන්නේත් ඒ ඒ දේශපාලන පක්ෂ මගිනි. එයට අමතරව අදාළ අමාත්‍යංශවල ඉහළ කළමනාකාරීත්වය හඳුනා ගැනීමේ ක්‍රියාවලියක්ද පවතී. ආදාළ ඇමතිවරයා පත්කළ පසු ඔහු ගාල කඩාගත් ගවයකු සේ ක්‍රියාකරන්නේ නම් එයින් බොහෝ අපහසුතාවයන් ඇති වේ. එබඳු අත්දැකීම් ශ්‍රී ලංකාව තුළ බහුල වේ. මෙම නිසා වැඩ කරන ගතියක්, ඵලදායි රාජ්‍ය සේවයක් ගොඩ නැගීමට පාලනය සතු දේශපාලන පක්ෂ නායකත්වයටද වගකීමක් පවතී.

අදාළ විෂය ක්ෂේත්‍ර භාර ඇමතිවරුන් හා අමාත්‍යංශ සඳහා කිසියම් වූ උපදේශන සේවාවක් ලබාදීම අදාළ දේශපාලන පක්ෂ වලට හැකියාව තිබිය යුතුය. ඇමතිවරයාගේ හා අදාළ නිලධාරීන්ගේ දායකත්වය උපරිම ලෙස භාවිතා කළ හැකි සමස්ත ආර්ථිකයට වැඩි ඵලදායිතාවයක් සහිත සේවාවන් අදාළ අමාතයංශය විසින් කළ හැකි හා කළ යුතු කටයුතු පිළිබඳ මග පෙන්වීමත් ඉහළ දේශපාලන නායකත්වය මගින් ලබා දිය හැක. මේ සඳහා දේශපාලන මෙන්ම අදාළ විෂය පිළිබඳ වෘත්තීයභාවයක් සහිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඒ ඒ විෂය ක්ෂේත්‍ර සඳහා උපදේශන කමිටු පත් කිරීමට හෝ හඳුනාගැනීම කළ හැක. මෙය සැබවින්ම විෂය ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයෙන් කළ යුතු අතර දැනට පවතින උපදේශකවරුන් පත් කිරීමේ පුහු වැඩපිළිවෙලට සමාන නොවිය යුතු වේ.

මේ අනුව අදාළ ආයතනයේ කළ යුතු හා නොකළ යුතු කටයුතු පිළිබඳ දේශපාලනමය මග පෙන්වීමක් සිදු වේ. ඇමතිවරුන්ගේ අත්තනෝමතික හා අවම පළදායිතාවයක් සහිත ක්‍රියාවන් පාලනය කිරීමට නිර්මාණශීලි නිලධාරීන් රඳවා ගැනීමට එය උදව් වනු ඇත. මේ අනුව අදාළ අමාත්‍යවරයාටත්, ඉහළ නිලධාරීන්ටත් වඩා සහයෝගයෙන් කටයුතු කරන වාතාවරණයක් නිර්මාණය කර දීමට කිසියම් වූ දේශපාලන නායකත්වයක් ලැබෙනු ඇත. අනවශ්‍ය වියදම් කපා හැරීම, නව අදහස් සඳහා අනුමැතිය ලබා දීම හා ආවරණයක් සැපයීමට මෙබදු ක්‍රියාවන් මගින් හැකියාව ලැබෙනු ඇත. ලොකු අරුතක් නැති ඇමතිවරුන් සඳහා නියාමනයක් තිබීම සියලු දෙනාගේ යහපතට හේතු වනු ඇත.