දේශපාලන අන්තවාදය

Former Sri Lankan President Mahinda Rajapaksa (L), Sri Lankan Prime minister Ranil Wickremesinghe (2L) and Sri Lankan president Maithripala Sirisena look on during the funeral of the Legendary Sri Lankan Film Director Lester James Peiris at Colombo, Sri Lanka on Wednesday 2 May 2018. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව, එක්තරා සිද්ධි දාමයක් වුවද ඒවා සිද්ධීන් ලෙස පමණක් ගෙන, කරනු ලබන සාකච්ඡා ඵලදායි විය හැකි යැයි සිතිය නොහැක. මක්නිසාද එම සිද්ධීන් මාලාවට අතීත පසුබිමක් තිබුණා සේ ම, නොසලකා හැරිය නොහැකි අනාගත පසුබිමක්ද පවතින බවට අනුමාන කළ හැකි නිසාය. අනෙක් කාරණය වන්නේ එම අතීතය මෙන්ම වර්තමාන තත්ත්වයද අන්තවාදය සමග බැඳී පවතින්නක් වීමය. එම ප්‍රහාර එල්ල වූ අතීතය මුස්ලිම් අන්තවාදයක් වුවද ඊට පාර කැපුණු අතීතය හා ප්‍රහාරයෙන් පසු වර්තමානය ඊට එහා ගිය අන්තවාදයන්ගෙන් පිරී පවතින්නේය. ඒ මුස්ලිම් ආගමික අන්තවාදය පමණක් යැයි විශ්වාසය කළහොත් එය මංමුලාවීමක් බව අපැහැදිලි නැත. ජන වර්ග, ආගම් ඉක්මවා ගිය දේශපාලන අන්තවාදය. රටක් ලෙස සමගිවීමේ හෝ රාජ්‍යයක් ලෙස ප්‍රතිපත්ති සැකසීමේ කාර්යයේදී ඉටුකරමින් සිටින්නේ අත්‍යවශ්‍ය මාවත් විවර කිරීමේ කාර්යභාරය නොව, විවර විය හැකි යැයි සිතෙන අකුරු මාවත් පවා වසා දැමීමේ කාර්යභාරයකි.

ප්‍රධාන පක්ෂ නායකයන්

ශ්‍රී ලංකාව, වර්තමානයේ මුහුණ දෙන ප්‍රධානතම ඛේදවාචකයක් ලෙස සැලකිය හැක්කේ, දේශපාලනමය ජයග්‍රහණ සහ වාසි උදෙසා නැතහොත් බලය උදෙසා පමණක් ක්‍රියාකරන නායකයන් පිරිසක් බිහිවී සිටීමය. කුමන තත්ත්වයක් යටතේ හෝ ඔවුන් ක්‍රියාකරමින් සිටිනු පෙනෙන්නේ තමන්ට එරෙහි දේශපාලන කඳවුර විනාශ කිරීමේ එකම පරමාර්ථය කරගත් පිරිසක් ලෙසය. සිරිසේන ජනාධිපතිවරයාගේ කඳවුර, රාජපක්ෂ විපක්ෂ නායකයවරයාගේ කඳවුර මෙන්ම වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කඳවුරද, මේ විපත තුළ පවා බලය පවත්වා ගැනීම සහ බලය ලබාගැනීම සිය ව්‍යාපෘතිය බවට පත් කරගෙන සිටිනු දැකිය හැකිය. එය සැලකිය හැක්කේ මුස්ලිම් අන්තවාදය විසින් රට ඇද දමනු ලැබ ඇති භයානක තත්ත්වය තවත් වර්ධනය කිරීමක් ලෙස පමණක් නොව, ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්ති කරා යෑමට යාන්තමින් හෝ විවරවීමට තිබූ මාවත පවා අහුරා දැමීමක් ලෙසය. මුස්ලිම් අන්තවාදය නිවැරදිව දැකීම පසෙක තබා ඊට මුවාවෙමින් සිය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දරන්නේ නම් එය සැලකිය හැක්කේ ඊටත් වඩා බිහිසුණු අන්තවාදයක් ලෙසය. දේශපාලනික වශයෙන් පවතින මෙම අන්තවාදය, ප්‍රතිපත්තියක් නොමැති දේශපාලන නායකත්වයක් බිහිකරනවා පමණක් නොව, රට ඉතා භයංකර අරාජිකත්වයක් කරා ද රැගෙන යන්නේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී ශ්‍රී ලාංකේය සමාජයම වික්ෂිප්තව සිටි පළමු මොහොතේ, රට කරවන ප්‍රධාන දේශපාලන නායකයන් හැසිරුණු ආකාරය, එවැනි අරාජිකත්වයක පෙර නිමිත්තක් යැයි අනුමාන කළ හැකිය. එහිදී ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් ලැබුණු තොරතුරු තමන් දැන නොසිටි බවය. ආරක්ෂක මණ්ඩලයට අගමැතිවරයාව නොකැඳවීම හේතුවෙන් ඔහු ඇතුළු කැබිනට් මණ්ඩලයට මෙහි වගකීම භාරගත නොහැකි බව ඍජුවම ඇඟවීම, සිද්ධියෙන් පසු එජාපෙ ආණ්ඩුවේ පළමු මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වී තිබූ බව අපැහැදිලි නැත. ප්‍රධාන දේශපාලන කඳවුරුවල සිටින සියලු මුස්ලිම් දේශපාලකයන්ගේ හැසිරීමද ඊට දෙවෙනි වන්නේ යැයි සිතිය නොහැක.

මුස්ලිම් නායකයන්

මෙම ප්‍රහාර එල්ල කළ සහ ඒ වෙනුවෙන් ක්‍රියා කළ මුස්ලිම් කණ්ඩායම, මුස්ලිම් අන්තවාදී පිරිසක් බව සමස්ත ලංකා ජමියතුල් උලමා (ඉස්ලාම් වියතුන්ගේ) සංගමයද පිළිගත්තේය. එහෙත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේශපාලන නායකයන්ට එක මිටකට ගොනුවී එක් මේසයක සිට එවැනි ප්‍රකාශයක් කිරීමට තවමත් පුළුවන් වූයේ නැත. මුස්ලිම් දේශපාලන නායකයන් කරමින් සිටින්නේ තමන්ගේ දේශපාලන කඳවුරට ගැළපෙන ලෙස විවිධ අදහස් වෙන වෙනම පළකරමින් සිටීමය. මෙම මුස්ලිම් දේශපාලන නායකයන්ට එක් මේසයකට එක්විය නොහැක්කේ එක්කෝ දේශපාලනමය බෙදීම් නිසා විය හැකිය. නැතහොත් මෙම අන්තවාදයේ තැන් තැන්වලින් අල්ලා ගෙන සිටීම නිසා විය හැකිය. එහි අනෙක් පැත්ත වන්නේ ප්‍රධාන දේශපාලන කඳවුරු තමන්ගේ පිලේ නොවන මුස්ලිම් දේශපාලන නායකයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරමින් සිටීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආපසු හැරවීමේ ක්‍රියාවලියක නිරතවෙමින් සිටීමය. වැදගත්වන්නේ, දේශපාලන කඳවුර වෙනස් වූ පමණින් අන්තවාදයේ භයංකාරත්වය වෙනස් නොවන බව තේරුම් ගැනීම මෙන්ම, දේශපාලන කඳවුර වෙනස් වූ පමණින් නිවැරදි මිනිසුන් අන්තවාදී ගොඩට ඇද දැමීමද භයංකර පියවරක් බව තේරුම් ගැනීමය.

ප්‍රධාන දේශපාලන කඳවුරුවල නායකයන්ට අත්වී ඇති ඉරණමම මුස්ලිම් දේශපාලන නායකයන්ටද අත්වී ඇතැයි සිතිය හැකිය. නැති බලය ලබාගැනීම, පවත්නා බලය රැක ගැනීම ඔවුන් සියලුදෙනාගේම එකම අභිලාෂය වී ඇතුවාක් මෙන්ම අනතුර එළිපත්තට පැමිණ තිබියදී පවා අනුගමනය කරමින් සිටින්නේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්තියක් නොවේ යැයි විශ්වාස කළ නොහැකිය. තමන් නිවැරදි යැයි සහ තමන්ගේ කඳවුරේ නොවන අනෙක් මුස්ලිම් නායකයන් වැරදි යැයි හැඟෙන පරිදි ක්‍රියාකිරීම මෙන්ම, කුමන කඳවුරේ සිටියත් වැරදිකරුවන් හෙළි කිරීම සහ නිවැරදිකරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නේ නම් එවැනි මුස්ලිම් නායකයන් රටට අනතුර කැඳවා ගන්නන් ලෙස මිස රට සාමය මත ගොඩනගන්නක් ලෙස හඳුන්වා දිය නොහැකිය. එක්තරා කණ්ඩායමකට තාවකාලිකව දේශපාලන වාසි ගෙන දෙන එවැනි තත්ත්වයක් වෙනුවෙන් ක්‍රියා කිරීම සැලකිය හැක්කේද දේශපාලන අන්තවාදයේම කොටසක් ලෙසය.

දේශපාලන අන්තවාදීන් ලෙස රටේ නායකයන් ක්‍රියාකරමින් සිටීම, මෙවැනි ත්‍රස්තවාදී-අන්තවාදී අනතුරකින්, කෙටි කාලයක් තුළ රට මුදාගැනීමට ඇති ප්‍රධානතම බාධකයක් වීම නොවැළැක්විය හැකිය. රටට එල්ල වී ඇති බරපතළ අනාගත අනතුර නොදැක, සිය දේශපාලන න්‍යාය පත්‍ර එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දැරීම එක් පැත්තකින් විද්‍යාත්මක දේශපාලන ක්‍රියාකාරීත්වයක් යැයි සිතිය නොහැක. අනෙක් පැත්තෙන් වංක සහ ආත්මාර්ථකාමී වන එම වැඩපිළිවෙළ ස්වයං විනාශය සඳහා කැඳවා ගැනීමක් ලෙසද සැලකිය හැකිය.

පොලිසිය, පූජිත් හා හේමසිරි

පොලිස් විෂයය පැවරෙන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, 19 වැනි සංශෝධනය යටතේ තබාගත නොහැකි වුවද 2018 ඔක්තෝබර් 26 දේශපාලන පෙරළියෙන් පසු ජනාධිපතිවරයා එය තමන් යටතට පවරා ගත්තේය. එය, රටේ ආරක්ෂාව පිළිබඳ තීරණයක් නොවුණා පමණක් නොව දේශපාලන වාසිය පිණිස ගනු ලැබූ තීරණයක් බව අනුමාන කළ හැකිය. අනෙක් පැත්තෙන් 2019 අප්‍රේල් 21, ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එම අමාත්‍යාංශය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට ලබාදෙන ලෙස එජාපය, ජනාධිපතිවරයාට එල්ල කරමින් සිටින බලපෑම කොතරම්ද යත්, එජාපයේ සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගෙන ලිපියක් පවා ඉදිරිපත් කළේය. රටේ ආරක්ෂාව පිණිස කරන ඉල්ලීමකට වඩා ඡන්දයක් අත ළඟ තිබියදී පොලිසිය තමන් යටතේ පැවතීමෙන් ලැබිය හැකි දේශපාලන වාසි, එම බලවත් ඉල්ලීමට හේතුව ලෙස විශ්වාස කළ හැකිය. මක්නිසාද රටේ ආරක්ෂාව පිළිබඳ හැඟීමකින් මෙම ඉල්ලීම කරන්නේ නම් යහපාලන ආණ්ඩුව පිහිටවූ සැණින්ද එම ඇමති ධුරය සරත් ෆොන්සේකාට ලබාදිය හැකිව තිබිණි. එය පළමුව තිලක් මාරපනටද, දෙවනුව සාගල රත්නායකටද, තෙවනුව රංජිත් මද්දුම බණ්ඩාරටද ලබා දුන්නේය. එම අවස්ථාවලදීද එය සරත් ෆොන්සේකාට ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා විය හැකි වුවත් එහිදී සියලු එජාප මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත ලිපි ඉදිරිපත් කෙරුණේ හෝ මෙතරම් බලපෑමක් කෙරුණේ නැත. මේ නිසා එජාපයට අවශ්‍යව ඇතැයි සිතිය හැක්කේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සරත් ෆොන්සේකාට ලබාදීම නොව එජාපයට ලබාගැනීමය. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාව පෙන්වමින් සිටින්නේ, මෙය අවස්ථාවක් කරගෙන එම අමාත්‍ය ධුරය එජාපයට ලබාගැනීමට යැයි අනුමාන කළ හැකිවාක් මෙන්ම එම ධුරය වෙනත් එජාප මන්ත්‍රීවරයකුට හෝ හිමිකර දීම එජාපයේ සැලසුම යැයි සිතිය හැක.

රට තුළ සංවාදයකට බඳුන්ව ඇති ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දරමින් සිටින උත්සාහය සැලකිය හැක්කේද රටේ ආරක්ෂාව වෙනුවෙන් දක්වන කැපවීමක් ලෙස නොව, මෙය අවස්ථාවක් කරගනිමින් දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට දරන උත්සාහයක් ලෙසය.

සිරිසේන ජනාධිපතිවරයා, හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය වුවද සම්පූර්ණයෙන්ම ආරක්ෂාව මුල් කරගත් තීන්දුවක් යැයි සිතිය නොහැකිය. පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවීම සහ ඉදිරියේදී ඔහුව ස්ථාරව ඉවත් කිරීම උදෙසා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එහිදී එජාපය, ශ්‍රීලනිපය මෙන්ම විපක්ෂය ක්‍රියා කරනු ඇතැයි සිතිය හැක්කේද දේශපාලන වාසි සහ දේශපාලන පළිගැනීමේ ප්‍රමුඛතාව ලෙස සලකමිනි.

ආර්ථික අර්බුදය

මෙම දේශපාලන අන්තවාදය, ශ්‍රී ලංකාව අන්තර්ජාතික ත්‍රස්තවාදයේ තෝතැන්නක් බවට පත්කිරීමට නියමිතව තිබෙනවා පමණක් නොව දැනටමත් ගොඩ ඒමට අසීරු ආර්ථික ගැටලු රැසකද සිරකර ඇත්තේය. කිසිවෙකුත් නිවැරදිව ප්‍රකාශ නොකළද ශ්‍රී ලංකාව සිටින්නේ දුප්පත්කමේ ගිනිකන්දකය. මහ බැංකු වාර්තා පෙන්වා දෙන අන්දමට ඇමරිකානු ඩොලර් 5.5කට අඩු දෛනික ආදායමක් ලබන සංඛ්‍යාව මුළු ජනහගහනයෙන් 40.4%කි. ඩොලරයක් රුපියල් 175ක් යැයි උපකල්පනය කළහොත් එහි රුපියල් අගය 962.50කි. එයින් කියැවෙන්නේ ශ්‍රී ලංකා ජනගහනයෙන් බාගයකට ආසන්න සංඛ්‍යාවක් දිනකට රුපියල් 1000ක ආදායමක්වත් නොලබන බවය. නිදර්ශනයක් ලෙස හතරදෙනෙක් සිටින පවුලක දෛනික ආහාර සහ ආහාර නොවන වියදම් සලා බැලූවිට මෙහි අර්ථය හොඳින් වටහාගත හැකිය.

2018 වසරේදී රාජ්‍ය අංශයේ සේවකයන්ගේ නාමික වැටුප 0.1%ක් වැනි ඉතා සුළු අගයකින් ඉහළ ගොස් තිබුණද මූර්ත වැටුප (මුදල් වැටුපෙන් ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය) 2%කින් පහළ ගොස් තිබේ. කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නාමික වැටුප 2018දී 0.6%කින් ඉහළ ගියේය. එහෙත් ඔවුන්ගේ මූර්ත වැටුප පහළ ගිය අගය 3.5%කි.

අනෙක් පැත්තෙන් 2018 වසරේදී දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය 82.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2017දී එම අගය පැවතියේ 76.9%ක මට්ටමේය. රුපියලේ අවප්‍රමාණය නිසා පමණක් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1063.2කින් වැඩිවී ඇත්තේය. 2018 අපනයන ආදායමේ ප්‍රතිශතයක් ලෙස මුළු විදේශීය ණයවල අගය 181%ක් තරම් ඉහළ අගයක් වනවා සේ ම රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස මුළු ණය සේවාකරණ ගෙවීම් 108.8%ක් වන්නේය. මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි 2018දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස නොපියවූ රාජ්‍ය ණය 91.2%ක් බවට පත්ව තිබේ. 2017දී එම අගය 84.2%කි. (නොපියවූ රාජ්‍ය ණය ලෙස සැලකෙන්නේ මධ්‍යම රජයේ ණය මෙන්ම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම උදෙසා නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කරවල නොපියවූ වටිනාකම, රාජ්‍ය ව්‍යවසායන් ලද විදේශීය ව්‍යාපෘති ණය හා රාජ්‍ය ව්‍යවසාය මගින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කරවල නොපියවූ වටිනාකම්ය.)

ජාතික ව්‍යසනයකදී පවා රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙනුවෙන් අවංක විය නොහැකි තරමට, ඉහළ ගොස් ඇති දේශපාලන අන්තවාදය ජයගැනීමට සමත් නොවන්නේ නම්, ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට තබා යහපත් ජීවන තත්ත්වයක් හිමිකර ගැනීමටවත් ශ්‍රී ලංකාව සමත් වේ යැයි සිතිය නොහැකිය.