ප්‍රජාතන්ත්‍රවාදය ජාතික ආරක්ෂාව හා අපේ රාජ්‍යය

චින්තක රණසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාව නැවතත් නව අර්බුදයකට ඇද වැටුණු ආකාරයක් පළ කරයි. සිවිල් ජන ජීවිතය අඩාලවීම, භීතිය හා අනාරක්ෂාව මෙන්ම ජීවන සුරක්ෂිතතාව නැතිවී යෑම මෙම අඩපණවීමේදී දැකිය හැකි තත්ත්වයකි. මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද? ඒ සඳහා රාජ්‍යය නැවත සංවිධානය කරන්නේ කෙසේද? යන වැදගත් හා මූලික ප්‍රශ්න අප ඉදිරියේ තිබේ. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඒ පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගා ගැනීමටයි.

රාජ්‍යයේ බිඳ වැටීම

48 සිටම ලාංකීය රාජ්‍යය නිසි අයුරින් එක්සත් කරගැනීමේ නොහැකියාව කැපී පෙනෙයි. ප්‍රාදේශීය හා ජාතිකවාදී ප්‍රවණතා අන්තගාමී ඉලක්ක කරා විහිදීමට ඉඩ නොදෙමින් ප්‍රබල පුරවැසියකු නිර්මාණය කිරීමට දක්වන අපොහොසත් බව මෙහිදී මතුවී පෙනෙන දුබලතාවකි. විවිධ ජන කොටස්වල ආගමික හා සංස්කෘතික ජීවිතයට හානි නොවන අයුරින් නීතිය හා පර්යාය (Law and Order) ශක්තිමත්ව පිහිටුවා ගැනීමට දැක්වූ අසමත්කම විශාලය. ප්‍රජාතන්ත්‍රවාදය හා ධනවාදය ගැඹුරු අර්ථයෙන් පුරවැසි මනස තුළ ස්ථාපිත කරලීමට අධ්‍යාපනය හා පවුල අසමත්වීම මෙයට ප්‍රධාන හේතුවයි. මාධ්‍යවේදීන් හා බුද්ධිමතුන් පළල් ජාත්‍යන්තර අවකාශවලින් පෝෂණය නොලැබීම නිසා මෙම තත්ත්වය වඩාත් තීව්‍ර වූ අතර මෙහිදී ඇති කළ රික්තය අන්තවාදී ප්‍රවණතා කෙරෙහි තරුණයන් රැගෙන යෑමට පසුබිම සැකසීය. එල්ටීටීඊ අන්තවාදය මෙන්ම දැනට මතුවී ඇති ආගමික අන්තවාදයේද පදනම එබඳුය.

56 පෙරළියත් සමග ගම්බද තරුණ පිරිසට උසස් අධ්‍යාපනයත්, ඒ ඔස්සේ මධ්‍යම පන්තියට නැග ගැනීමේ හැකියාවත් ලැබුණු අතර ඔවුහු සැලකිය යුතු දේශපාලන හා සමාජ බලයක් හිමි රටේ උරුමක්කරුවන් බවට පත්වූහ. එහෙත් ඒ බලය හා උරුමයට සරිලන ප්‍රජාතන්ත්‍රවාදී උසස් මට්ටමේ හැසිරීමක් ඔවුන්ගෙන් පළ නොවූ අතර අප දිගින් දිගටම රට තුළ වර්ධනය කළේ වැදගත් පුරවැසියකු නොව හුදු ද්‍රව්‍යමය ජීවිතය අතිසරල ලෙස වැළඳ ගන්නා හිස් මිනිසෙකි. මේ හිස් මිනිසා රාජ්‍යයේ ඉහළ සිට පහළට සියලුම බලාධිකාරයන් අරා සිටි අතර යන, එන සෑම ආණ්ඩුවකම ප්‍රතිපත්ති සම්පාදනය වූයේත්, ක්‍රියාත්මක වූයේත් මෙම හිස්කම මත පදනම් වෙමිනි. මෙම හිස්කම වමට මෙන්ම දකුණට යන දෙකටම පොදු වූ අතර වම නියෝජනය කළවුන් තම හිස්කම ව්‍යාජ මාක්ස්වාදී සටන් පාඨ රැසකින් වසා තැබීමෙන් ව්‍යාජ ලෙස සංතෘප්තියට පත්වූ බව පෙනේ.

77 පැමිණෙයි. පාදඩකරණය තීව්‍ර වෙයි.

56-70 දක්වා පැවති අලස හිස් ලෝකයෙන් පෝෂණය නොවූ නීරස ගමන තුළ නිෂ්පාදන ආර්ථිකයක් හෝ ලෝකයේ දියුණු ජාතීන් සමග පෑහිය හැකි ලිබරල් මධ්‍යම පන්තියක් ගොඩනගා ගැනීමට අපි අපොහොසත් වුණෙමු. ඇත්තෙන්ම රාජ්‍ය සේවය පුළුල් කිරීමත් අධිරාජ්‍යවාදීන් මනා කළමනාකරණයෙන් යුක්තව නිර්මාණය කළ වැවිලි කර්මාන්තය, විශ්වවිද්‍යාලය වැනි දේ දේශපාලන හෙංචයියන්ට දෙමින් රාජ්‍යයේ මුදල් බෙදාගන්නා පරපුටු රැළක් නිර්මාණය කිරීම පමණක් මෙහිදී සිදුවිය.

ජේ.ආර්. 77දී මේ රාජ්‍යය දැඩි ලෙසත් සවිඥානික ලෙසත් නැවත සංවිධානය කළ අතර එහිදී සිදුවන්නේ පැරණි මධ්‍යම පාන්තික මිනිසාට එරෙහිව ඔවුන්ටද වඩා නූගත් අතරමැදි ආර්ථිකයෙන් බෙහෙවින් හරි හම්බ කරන පාදඩ නිර්-සංස්කෘතික සමාජ පැළැන්තියක් උඩට මතුවීමයි. 77දී සිදුවන භයානකම දේ මෙතෙක් රාජ්‍ය පාලනය තුළ අවම වශයෙන් නියෝජනය වූ පාදඩ පැළැන්තිය අතිවිශාල ලෙස රාජ්‍යයේ සියලුම බලය හසුරුවාලීමත් නීතිය හා පර්යාය බිඳ වැටීම මහා පරිමාණව සිදුවීමත්ය.

මේ අනුව 77 සිට මේ දක්වා අප මුහුණ දෙන සියලුම අන්තවාද රාජ්‍යයේ පවතින මෙම දියාරු ස්වභාවයේ ප්‍රතිඵලය. අපේ නීති පද්ධතිය, සමාජ හා ආර්ථික ජීවිත සංස්කෘතික ජීවිත තවමත් විශාල වශයෙන් වැඩවසම් ක්‍රමයක් තුළ බැඳී ඇති අතර ඒ ක්‍රමය වඩාත් නවීකරණාත්මකව ඉදිරියට ගෙන යන ව්‍යාජ ලෙස පමණක් නවීකරණය වුවහොත් අතිශයින්ම වැඩවසම්වාදී හැසිරීමක් පළකරන ඉහළ මධ්‍යම පන්තියක් අප සතු වන අතර ඔවුන්ට රට තුළ කිසිදු සැලකියයුතු ප්‍රතිසංස්කරණයක් කිරීමේ ඥානයක් හෝ නිර්භයභාවයක් නොමැත.

මහින්ද රාජපක්ෂට ලබා දුන් ප්‍රතිසංස්කරණ

යුද්ධයෙන් පසු මහින්ද ආණ්ඩුව ලාංකීය රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට සාපේක්ෂ වශයෙන් දැවැන්ත වටිනා පියවර ගත්තේය. මහා මාර්ග පද්ධතිය පිළිබඳ ඔවුන් ඇති කළ ප්‍රතිසංස්කරණය හා නව හඳුන්වාදීම් 48 සිට සාපේක්ෂව බලන විට අතිශය දියුණු හා වැදගත් පියවරක් ලෙස හඳුනාගත හැකිය. පොදු මහජන නාගරික හා අර්ධ නාගරික අවකාශ විචිත්‍ර ලෙස විශාල කර ගොඩනැගීම මෙරට මධ්‍යම පන්තියේ විශාල අඩුවක් සම්පූර්ණ කිරීමක් විය. පොදු මහජනතාවටද බෙදී යන පරිද්දෙන් ඔවුන් ආර්ථික ව්‍යවසායන් සංවිධානය කළ අතර පහළ මධ්‍යම පන්තිය දැඩි ලෙස ඔවුන් වෙත ඇදී ගියේ මෙම තත්ත්වය යටතේය.

එහෙත් අවාසනාවකට නීතිය හා පර්යාය, ප්‍රජාතන්ත්‍රවාදය හා ඒවා නියෝජනය කරන දියුණු සමාජ කොටස් සමග සුසංවිහිත ගනුදෙනුවක් නිර්මාණය කරගැනීමට මහින්ද ආණ්ඩුව දැක්වූ දැඩි අසමත්කම හා දූෂණය පිළිබඳ ප්‍රබල චෝදනා එල්ලවීමත් සමග ඔවුන්ගේ දේශපාලනය පරාජයට පත්විය.

මෛත්‍රී-රනිල් ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවේ ඛේදවාචකය

2015 ආණ්ඩුවට පාර කැපෙනේනේ මේ රටේ අතිමහත් ජනප්‍රිය ඡන්දදායකයන්ගේ දායකත්වය මත නොව, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය හා මානව දයාව අගයන අතළොස්සක් වූ කැපවූ මිනිසුන්ගේ අව්‍යාජ නිර්භීත ක්‍රියාකාරීත්වයෙනි. එහෙත් මෛත්‍රී-රනිල් එම තත්ත්වය මුළුමනින්ම නොතකා හල අතර වර්තමාන ඛේදවාචකයේ හදිසි හේතුව එම නින්දිත නොතකා හැරීමයි. කිසිදු නායකයකුට ඓතිහාසිකව නොලැබුණු පක්ෂයක සාම්ප්‍රදායික විලංගුවකට හසු නොවූ පිරිසිදු ලිබරල් අපේක්ෂා සහිත බලයක් මෛත්‍රීට ලැබුණි. එය නව දේශපාලන කණ්ඩායමක් පැහැදිලි පිරිසිදු බලවේගයක් ගොඩනගා ගැනීමේ අනභිභවනීය විශිෂ්ට වරපතක් විය. එම ඓතිහාසික මොහොත ජේ.ආර්. 77දී ලැබූ ජයග්‍රහණයට හා චන්ද්‍රිකා 94දී ලැබූ ජනප්‍රියත්වයටද වඩා වටිනා පිරිසිදුම ගැඹුරු දේශපාලන විභවයක් සහිත එකක් විය. එහෙත් එය යාන්තමින් හෝ දරාගැනීමේ ආත්මීය ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයක් හෝ පෞරුෂයක් එම භූමිකාවට නොතිබුණි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නොදැනුම සහ එයට ඇති අකමැත්ත එයට හේතුවූ බව පෙනේ. ඉතා කෙටි කලකදී ජනවරම බිහිසුණු ලෙස පාවා දුනි. ඒ ශ්‍රීලනිපයේ නායකත්වය ලබාගැනීමෙනි. එම පක්ෂයේ සිටි නම් දැරූ දූෂකයන් රැසක් සමග හිතවත්වෙමින් තමාට ඡන්දය දුන් ප්‍රජාතන්ත්‍රවාදීන් තලා මරා දමන යාන්ත්‍රණය සැකසුණි. මතුපිටින් ප්‍රජාතන්ත්‍රවාදය රටට පෙන්නුවත් ජනපතිගේ භාවිතය එයට බෙහෙවින් පටහැනි විය.

(උදාහරණයකින් පෙන්වා දුනහොත් ජනපති ජයදේව උයන්ගොඩ සමග නිල හිතවත්කමක් පෑ නමුදු ඔහුගේ සැබෑ ජීවිත ගනුදෙනුව පවතින්නේ එස්.බී. හා එවැනි අය සමගය.) මෙම භාවිතය තුළ පිහිට වූ දින සිටම ආණ්ඩුව තමා පත් කළ ප්‍රජාවගේ ප්‍රබලතම සතුරා සමග එක්විය. එනම් මෛත්‍රී ශ්‍රීලනිපය සමග එක්විය. (මෙහිදී අත හා පොහොට්ටුව ලෙස කණ්ඩායම් දෙකක් බෙදීම පට්ට බොරුවක් හා ව්‍යාජයකි. ඒ බව මෛත්‍රී පසුව මහින්දට හොර රහසේ අගමැතිකම පවරමින් මැනවින් තහවුරු කළේය.) ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා මුළුමනින්ම සිඳලූ මෛත්‍රීගේ මෙම තීරණය මෛත්‍රීට ඡන්දය දුන් අයට දේශපාලනය පිළිබඳව නොව මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු විශ්වාසය නැති කළේය. තමා තෝරා ගත් නායකයා තමාව සතුරා අතට අමු අමුවේ පාවා දුන් අතර යළිත් මහින්දලාගේ මිනිසුන්ට රටේ හැමතැනම බලය හිමිවිය.

මෛත්‍රී ගත් මේ බිහිසුණු වැරදි තීරණය රට තුළ අරාජිකත්වය හා භයානක දේශපාලන පසුබෑමක් ඇති කළේය. රනිල් ප්‍රමුඛ එජාපය නායකත්වයේ මෙම දුබලතාව හේතු කොට ගනිමින් අමානුෂික නව ලිබරල්වාදයට පණ පෙවීය. ඒ යටතේ මහින්ද ආණ්ඩුව යටතේ පහළ මැද පන්තියට තිබූ ආර්ථික හා සමාජ අවකාශ හා සහන ක්‍රමයෙන් අහෝසි කෙරුණි. ඉහළ මැද පන්තිය හා ධනේශ්වරය පමණක් ගැන හිතමින් රනිල් ප්‍රමුඛ පිරිස ආර්ථිකය ගැන සිතන අතර අනවශ්‍ය තරම් පරගැතිකමක් පොදු ජනතාවට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් දැකීම වැළැක්විය නොහැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යම් වැදගත් පියවර කීපයක් ඉදිරියට තැබීමට ආණ්ඩුව සමත්වුවත් එය මහජන හිතකාමී පියවරවල් ලෙස පොදු මහජනයාගේ චින්තනය තුළ දැඩි ලෙස සටහන් කිරීමට ආණ්ඩුව තවමත් සමත් වී නොමැත. ආණ්ඩුව පත්කිරීමට වලි කෑ ඇතැම් බලවේග ව්‍යාජ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී හඬ නැගුවත් ඔවුන්ගේ දූෂණ හා ළාබාල එන්ජීඕ සබඳතා මහජනතාව දනියි. එම නිසා ජනතාවට මේ ආණ්ඩුව පෙනෙන්නේ එන්ජීඕ පරදේශීය ආණ්ඩුවක් ලෙසින් වීම වැළැක්විය නොහැකිය.

ත්‍රස්තවාදයේ මතුවීම

අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය මතුවන්නේ මෙබඳු පසුබිමක් තුළය. එනිසා රට තුළ නැවත ජාතිවාදය හා අන්තවාදය පිළිබඳ තම මුග්ධ ලෝලීත්වය ක්‍රමයෙන් මතුවෙමින් පවතින බව පෙනේ. මෙහි භයානක ප්‍රතිඵලය වන්නේ මෙම අන්තගාමී ප්‍රවණතාව ව්‍යාප්ත වන්නේ සබුද්ධික මධ්‍යම පන්තිය අතරවීමයි. “ඕක තමයි අපි කිව්වේ. ගලබොඩඅත්තේ හරියට හරි.” වැනි භයානක අදහස් මධ්‍යම පාන්තික මුවඟ ලෙළදීම ඉස්ලාමීය අන්තවාදය තරම්ම ඛේදවාචකයකි.

ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික ආරක්ෂාව

ප්‍රජාතන්ත්‍රවාදය රනිල්ට බද්ධ කොට ජාතික ආරක්ෂාව ගෝඨාභයට හෝ වෙනත් අයකුට භාරදීම අතිශය මුග්ධ බෙදුම් කඩනයකි. කළයුත්තේ මෙම කතිකා දෙකම සමබරව රැගෙන යා හැකි දේශපාලන කතිකාවක් නිර්මාණය කිරීමයි. මේ තීරණාත්මක මොහොතේ ජාතික ආරක්ෂාව තහවුරු කළයුත්තේ මෙතෙක් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙනි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙරට පොදු ජනතාවගේ උරුමයක් මිස එන්ජීඕකරුවන්ගේ උරුමයක් නොවේ යන අදහස මෙරට ගම් නියම්ගම්වලට රැගෙන යා යුතුය. එහෙත් තවමත් ඒ පිළිබඳ ප්‍රබල ජනමාධ්‍ය නිහඬය. මාධ්‍ය තුළ නැවත නැවත පැරණි කතිකාව පුනරුච්චාරණය වන අතර එය අතිශය පසුගාමී චින්තනයක් බිහිකරමින් සිටියි.

පොදු දේශපාලන කතිකාවක්

පොදු ජනතාවට වගකිවයුතු යැයි එළිපිට කියන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගැඹුරු අර්ථයෙන් පෙනී සිටින පිරිස් ආණ්ඩුව හා විපක්ෂය තුළ සිටී නම් ඔවුන් නව දේශපාලන ව්‍යාපාරයක් සඳහා පෙළ ගැසිය යුතු මොහොත පැමිණ තිබේ.
ත්‍රස්තවාදයට එරෙහි වන එම ව්‍යාපාරය සියලු ජාතීන් නියෝජනය කරන සියලු ජාතීන් එක් කරන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂා දල්වන එකක් විය යුතුය.

ජවිපෙ හා වමේ කණ්ඩායම්ද මෙහිදී පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා ත්‍රස්ත විරෝධය වෙනුවෙන් වඩා නම්‍යශීලී සංවිධානාත්මක ව්‍යුහයක් තුළට පැමිණිය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය අන්තගාමී ප්‍රහාර ඉදිරියේ නොසලකා හැරිය යුත්තක් නොව වඩාත් උද්‍යෝගිමත්ව රැකගත යුත්තකි. එය ජාතික ආරක්ෂාව සමග සමාන්තර ලෙස සුරක්ෂිත කරගැනීම අද නව දේශපාලන ප්‍රවණතා මුහුණ දෙන අභියෝගයයි.