ආරක්ෂාවේ අනාරක්ෂාව සහ මැදහත්වාදී විකල්පවල වැදගත්කම

A shoe of a victim is seen in front of the St. Anthony's Shrine, Kochchikade church after an explosion in Colombo, Sri Lanka April 21, 2019. REUTERS/Dinuka Liyanawatte. TPX IMAGES OF THE DAY

ජයදේව උයන්ගොඩ

මේ දිනවල ආරක්ෂක හමුදා විසින්, මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියා යළි සිදුවීම වැළැක්වීම සඳහා රට පුරා ගෙන යන සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම්, පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ යනාදිය සොයා ගැනීම් පිළිබඳව රූපවාහිනී සහ පුවත්පත් වාර්තා කියවන විට මීට අවුරුදු පහළොවකට පමණ පෙර එංගලන්තයේ ගාඩියන් පත්‍රයේ පළවූ වාර්තාවක් මට මතක් වේ. එය ලන්ඩන් සිට ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ බලා ගුවන් ගමනක යෙදුණු මගියකු, ගාඩියන් පත්‍රයට ලියූ ‘කර්තෘට ලියුමක’ තිබුණු අත්දැකීමකි.

එම මගියාට ඉදිරිපස ආසනයේ හිඳගෙන සිටි ඇමරිකානු කාන්තාවක්, හිටිගමන්ම නැගිට ගුවන් සේවිකාවකට කබලයෙන් කතා කර, අල්ලපු ආසනයේ සිටි පිරිමි ළමයා පෙන්වා, “මෙන්න ඉස්ලාමීය ත්‍රස්තවාදියෙක්, මට වෙන සීට් එකක් දෙන්න” යැයි බැගෑපත් ලෙස ආයාචනා කළාය. ඇගේ කලබලය නිසා මුළු ගුවන් යානයේ මගීහුද කලබල වූහ. නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු, ඉස්ලාම් සහ මුස්ලිම් භීතිකාව පැතිරීම පටන් ගත් යුගයේ, මේ ඇමෙරිකානු කාන්තාවට ගුවන් යානයේ ලැබුණු ආසනයට අල්ලපු ආසනයේ සිටියේ, ‘ඉස්ලාමීය ත්‍රස්තවාදියා’ යන ජනමාධ්‍යයෙන් ප්‍රචාරය කර තිබුණ ප්‍රතිරූපයට සමාන, සුදු හැඳගත් රැවුල සහ කොණ්ඩය වවා සිටි දුඹුරු සමක්ද, කළු ඇස් දෙකක්ද තිබුණු තරුණ පිරිමියෙකි. ඒ කාන්තාව දුටු පරිදි ඔහු කියවමින් සිටියේ අරාබි භාෂාවෙන් පළවූ ත්‍රස්තවාදී අත් පොතකි.

එම කාන්තාවගේ පැමිණිල්ල මත වහාම ක්‍රියාත්මක වූ ගුවන්යානයේ නිලධාරීහු එම මගියාගෙන් ප්‍රශ්න කළහ. ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ ඔහු ඉන්දියාවේ සිට ඇමරිකාවට යන ක්‍රිස්තියානි පූජකවරයකු බවත්, ඔහු කියවමින් සිටියේ බයිබලයේ දෙමළ පරිවර්තනයක් බවත්ය.
පසුගිය දින කිහිපයේම රූපවාහිනී සහ පුවත්පත්වල මා දුටුවේ, ‘අරාබි’ භාෂාවෙන් පළවූ පොත්පත්, ලේඛන ළඟ තබාගත් මුස්ලිම් තරුණ පිරිස් තව්හීද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් ලෙස සැක කොට අත්අඩංගුවට ගත් බවයි. 1971දී හා 1980 ගණන්වල මැදදී මාක්ස්වාදී පොතපත ළඟ තබා ගත් තරුණයන් ජවිපෙ ත්‍රස්තවාදීන් ලෙස සැකකර අත්අඩංගුවට ගත් ආකාරයද මීට සමානය. පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අර කුරාණය අරාබි භාෂාවෙන් කියවීමේ ආගමික ප්‍රයත්න ගෙන තිබුණු අතර, ඒවා මුස්ලිම් ප්‍රජාව අතර ජනප්‍රිය විය. මුස්ලිම් ළමයින්ට අරාබි භාෂාව ඉගැන්වීමට මුස්ලිම් දෙමව්පියෝ කැමැත්තෙන් ඉදිරිපත් වූහ. දැන් මතුවී තිබෙන ප්‍රහේළිකාව නම් ලංකාවේ අරාබි භාෂාව ‘ත්‍රස්තවාදී’ භාෂාවක් ලෙස සිංහල ප්‍රජාව විසින් සලකනු ලැබීමට අවකාශය විවෘතවීමයි.

මේවා වනාහී, ලංකාවේ දැනට අලුතෙන් ආරම්භ වී ඇති ත්‍රස්තවාදී විරෝධී ජාතික ආරක්ෂණ ක්‍රියාමාර්ගයේ ඇති නිසර්ග සිද්ධ අභියෝග ගැන දේශපාලන නායකත්වයේත්, මිලිටරි සහ පොලිස් නායකත්වයේත්, ලංකාවේ අද පවතින දේශපාලන අභියෝග ගැන මැදහත්ව සිතන පුරවැසියන්ගේත් අවධානය යොමු කිරීමට ආරාධනා කරන සංසිද්ධීන්ය. මෙම අභියෝගය දේශපාලන ප්‍රශ්නයක් ලෙස මතුවන සැටි බැලිය යුතුව තිබේ.

අන්තර් – ප්‍රජා සම්බන්ධතා

එම දේශපාලන ප්‍රශ්නය මතුවන්නේ මෙලෙසය. පාස්කු ඉරිදා, මුස්ලිම් කැරලිකාර ව්‍යාපාරයක සාමාජිකයන් දියත් කළ ත්‍රස්තවාදී ප්‍රහාරය වෙතින් මතු කරන දේශපාලන අභියෝග අතරින් දැනට අවධාරණය වන ප්‍රධාන ඒවා දෙකක් තිබේ. එකක් බෞද්ධ, ක්‍රිස්තියානි/කතෝලික ප්‍රජාව සහ මුස්ලිම් ප්‍රජාව අතර පවත්නා අන්තර්-ප්‍රජා සම්බන්ධය අන්‍යොන්‍ය වශයෙන් වෛරී සහ පසමිතුරුකාරී එකක් බවට පිරිහීයාම වැළැක්වීමේ පියවර ගැනීමයි. එසේ පිරිහීමට අවශ්‍ය පසුබිම ගොඩනැගී සහ ශක්තිමත්වෙමින් පවතින නිසා මෙය ක්ෂණික අනතුරකි. දෙවැන්න, රාජ්‍ය සහ මහජන ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදා ගන්නා ක්‍රියාමාර්ග මුස්ලිම් ප්‍රජාව ලංකාවේ රාජ්‍යය වෙතින් විලෝපනයට සහ ආන්තිකකරණයට ලක්නොවන පරිදි, එනම් Alienate  නොවන පරිදි සහ එම ප්‍රජාව සහ රාජ්‍යය අතර පවත්නා සම්බන්ධය දුර්වල නොවන පරිදි, රාජ්‍යාරක්ෂාව, පුරවැසි ආරක්ෂාව සහ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව යන අරමුණු තුන සමතුලිත කරගෙන පවත්වා ගැනීමයි.
මේ අභියෝග දෙකම එකිනෙකට සම්බන්ධය – මේ දිනවල සිදුවන දේ ගැන මැදහත් සිතින් බලා සිටින කෙනකුට විශාල කාංසාවක් ඇතිවේ. එයට හේතුව නම් ආරක්ෂාව සඳහා රජයත්, හමුදාව සහ පොලිසියත් ගෙන ඇති අවශ්‍ය සහ සාධාරණය කළ හැකි ක්‍රියාමාර්ගවල පවා මුස්ලිම් ජනයා අතර අනාරක්ෂාවත්, සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර තිබෙන සම්බන්ධතාව පසමිතුරු එකක් බවට පරිවර්තනය කිරීමේත්, විභවතාව තිබෙන නිසාය. මෙය වනාහී ආරක්ෂාව පිළිබඳ ඕනෑම රාජ්‍ය ප්‍රතිපත්තියක සහ ක්‍රියාමාර්ගයක තිබිය හැකි ප්‍රහේළිකාත්මක ලක්ෂණයකි. ආරක්ෂාවේ අනාරක්ෂාව නමැති මෙම ප්‍රහේළිකාව ආණ්ඩුවේත්, ආරක්ෂක අමාත්‍යාංශයේත් ප්‍රධානීන්ගේත් අවධානයට සහ තේරුම් ගැනීමට ලක්වෙනු ඇත යන අපේක්ෂාවෙන් එය තරමක් සරලව පැහැදිලි කළ යුතුය.

ආරක්ෂාවේ අනාරක්ෂාව

සුළු නිදසුනක් ගන්නේ නම් මෙසේය. පසුගිය දිනවල සෑම දිනකම සැන්දෑවේ රූපවාහිනී ප්‍රවෘත්තිවලදී අප දකින එක් අයිතමයක් වන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයන් සිදුකරන පුවත්පත් සාකච්ඡාවයි. එහිදී ඒ.එස්.පී. රුවන් ගුණසේකර මහතා බැරෑරුම් ස්වරයකිනුත්, වියරණ නිවැරදි සිංහල භාෂාවෙනුත් ආරක්ෂක හමුදා සහ පොලිසිය දවස තුළ සිදු කළ සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම්, ත්‍රස්තවාදීන් සමග කළ සටන්, සොයාගත් තුවක්කු, කඩු, ඩයිනමයිට්, හමුදා නිල ඇඳුම් යනාදිය ගැන කරුණුමය විස්තරයක් සපයයි. මේ වාර්තා පසුදින පුවත්පත්වලද, ලොකු අකුරු සහිත, තරමක් අතිශයෝක්තිමත් ශීර්ෂ පාඨ සහිතව පළ වේ. උදේ රූපවාහිනී නාලිකාවල පුවත්පත් කියවන නිවේදකයෝ මෙම වාර්තා නාට්‍යමය කර, තම මුහුණේ හැඟීම්ද උද්වේගයට පත්කරමින් කියවති. මෙම වාර්තා, මහජනතාව වෙත ලබාදීමෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් අපේක්ෂා කරන්නේ ත්‍රස්තවාදය මර්දනය පාලනය කිරීමට තමන් දිවා රෑ නොබලා, ජීවිත පරදුවට තබා වැඩකරන බවත්, එබැවින් මහජන ආරක්ෂාව ගැන බිය නැතිව සාමකාමීව එදිනෙදා ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමට පුරවැසියන්ට දැන් ආරක්ෂාව සැපයෙන බවත් පෙන්වාදීමටය. එහෙත් ජනමාධ්‍යය විසින් අත්පත් කරගනු ලැබූ විට සහ අලුත් දෘෂ්‍යමය සහ වාචික අර්ථකථනවලට භාජනය කරනු ලැබූ විට, එම වාර්තා සිංහල සමාජය තුළ ජනිත කර ඇත්තේ, රුවන් ගුණසේකර මහතා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයන් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයකි. එම ප්‍රතිචාරය දැක්විය හැක්කේ සාමාන්‍ය පුරවැසියන් පාවිච්චි කරන වචනවලිනි. “බලන්නකො මහත්තය, මේගොල්ලො සූදානම් වෙලා තියෙන්නෙ ලොකු යුද්දෙකටනේ. හෙට අනිද්ද මොනව කරාවිද දන්නෙ නෑ.” ඉස්කෝලවලට ළමයි යවන්නත් බයයි. පන්සලකට යන්න බයයි. ගෙවල්වල පල්ලිවල ඔය කඩු එකතු කරල තියෙන්නෙ මොකටද?

සාමූහික භීතිය

පුවත්පත් කියවා, රූපවාහිනිය බලා මේ ආකාරයේ ප්‍රතිචාර පුරවැසියන්ගෙන් ලැබෙන විට එයින් කියවෙන්නේ, අප සමාජයේ නව රැල්ලක මුස්ලිම් භීතියත්, විශේෂයෙන් පසුගිය දින කිහිපය තුළ වේගයෙන් පැතිරුණු බවයි. ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කළ දින දෙක තුළ මෙය වඩාත් වේගයෙන් පැතිරිණ. පසුගිය අවුරුදු හත අටක කාලය තුළ බොදුබල සේනාව සහ මහසෝන් බලකාය විසින් සිංහල-බෞද්ධ සමාජයේ ගොඩනගන ලද මුස්ලිම් භීතියේ විඥානයට දැන් දේශපාලන සුජාතභාවයක්ද ලැබී තිබේ. ජාතික තව්හීද් ජමාද් කණ්ඩායම ගැන ජනමාධ්‍ය විසින් අතිශයෝක්තියෙන් ප්‍රචාරය කෙරෙන සෑම ප්‍රවෘත්තියකින්ම පෝෂණය ලබන්නේ අන්තර් වාර්ගික භීතියේ සහ අවිශ්වාසයේ විඥානයයි. අන්තර්-වාර්ගික වෛරයේ දේශපාලනය පැතිරවීමට බල සිටින ඕනෑම කණ්ඩායමකට ප්‍රයෝජන ගැනීමට හැකි වන්නේද මෙම අන්තර්-ප්‍රජා අවිශ්වාසයේ සහ භීතියේ දේශපාලන විඥානයයි.

මේ තත්ත්වයට මුහුණදීමට සහ එය කළමනාකරණය කිරීමට ආණ්ඩුවේ දේශපාලන නායකත්වය සූදානම් විය යුතුය. එය සන්නද්ධ හමුදාවලට සහ පොලිසියට පමණක් කළ හැකි කාර්යයක් නොවේ. ඔවුන්ට කළහැක්කේ ත්‍රස්තවාදයේ තර්ජනයේ යුදමය පැත්ත පාලනය කිරීමයි. එය දේශපාලන වශයෙන් පාලනය කිරීම දේශපාලන නායකත්වයේ වගකීමයි. ආණ්ඩුවේ නායකත්වය ඒ සඳහා උත්සාහ ගන්නා බවක් පෙනුණත් එය ප්‍රමාණවත් නැති බව පෙනේ. පාසල්වලට ආරක්ෂාව සහතික කරමින්, තම දරුවන් පාසල් එවන්නැයි ආණ්ඩුව මහජනතාවට කළ ආයාචනය, මහජනතාවගෙන් වැඩිදෙනා ප්‍රතික්ෂේප කර තිබීමෙන්, මහජනතාව ආණ්ඩුවට දී තිබෙන්නේ බරපතළ දේශපාලන පණිවුඩයකි. එනම් වර්තමාන අර්බුදය දේශපාලන වශයෙන් පාලනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර සාර්ථක වී නැත සහ ආණ්ඩුව, ආරක්ෂක අමාත්‍යාංශයද සමග මහජනතාවට දෙන ආරක්ෂණ සහතික ගැන මහජන විශ්වාසයක් නැත යන්නයි. මෙය වනාහී අප ඉහතදී හඳුනා ගත් ආරක්ෂාව – අනාරක්ෂාව යන ප්‍රහේළිකාවේම ප්‍රතිඵලයක් බව පෙනේ.

සංහිඳියාව

මෙතැනදී ආණ්ඩුවේ නායකත්වය ඉදිරියේ තිබෙන්නේ මහා අභියෝගයකි. පසුගිය කාලයේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් උනන්දුව අඩුවූ අන්තර්-වාර්ගික සංහිඳියාව පිළිබඳ ඉදිරි දර්ශනය, දේහපාලන පරිකල්පනය සහ කතිකාව වෙනදාටත් වඩා ලංකාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ මේ නිසාය. මේ කාරණයද සුළු නිදසුනකින් පැහැදිලි කළ හැකිය. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු මහජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇත්තේ එකම නායකයෙකි. ඒ මැල්කම් රංජිත් කාදිනල්තුමාය. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ අර්බුදය තුළ මතුවූයේ මහජනතාව විසින් විශ්වාසය නොතබන නායකයන් ලෙසය. පුරවැසි විශ්වාසය යළි දිනා ගැනීම එම දෙදෙනාටම තිබුණු ක්ෂණික අභියෝගයක් විය. එහෙත් එම දෙදෙනාම පසුගිය සති දෙකේ කළ කතා සහ නිකුත් කළ නිවේදන මතක් කර ගන්නා විට අපට පෙනෙන්නේ, සාමය, සංහිඳියාව සහ අන්තර් වාර්ගික, අන්තර් – සාමයික සහයෝගීතාව පිළිබඳව අලුත් පණිවුඩයක් දීමට එම දෙදෙනාම අසමත් වූ බවයි. අලුත් බවක් තිබුණේ කාදිනල්තුමාගේ පණිවුඩයේය. එතුමා තම පණිවුඩ දීමට භාවිත කළ භාෂාව, දේශපාලනඥයන් භාවිත කරන භාෂාව නොවේ. එය හෘදය කම්පාවීමේ නිර්ව්‍යාජ භාෂාවකි. සංහිඳියාව පිළිබඳ අව්‍යාජ යාඥාවකි.

අගමැතිගේ, පවුලේ දේපළක් වූ, ලංකාවේ වඩාත්ම කියවන සිංහල පුවත්පත අද (මැයි 07) උදේ කියවන විට, මා මේ ලිපියේ මතුකරන ප්‍රහේළිකාව කොතරම් ප්‍රබලව මතුවන්නේද යන්න කෙනෙකුට දකින්නට පුළුවන. මුල් පිටුවේ ඉතාම නාට්‍යාකාරයෙන් විශාල රතු සුදු සහ කහපාට අකුරුවලින් යුතු ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කර තිබෙන්නේ සහරාන්ගේ නුවරඑළියේ පුහුණු කඳවුර ගැනයි. එම පිටුවේ දැන්වීම් තුනක් හැර අන් සියලු ප්‍රවෘත්තියක්ම රටේ මතුවී තිබෙන මහජන ආරක්ෂාවේ අර්බුදය පිළිබඳ වාර්තාය. නැතහොත් ඒවායේ ශීර්ෂ පාඨයි. මෙම පුවත්පතේම ජනාධිපතිතුමාගේ කතාවක් වාර්තා කර තිබෙන්නේ පස්වෙනි පිටුවේය. තමන් සතු සීමිත හැකියාව හෝ පාවිච්චි කරමින් එම කතාවෙන් ජනාධිපතිතුමා උත්සාහ කර තිබෙන්නේ, රටේ තිබෙන උණුසුම සහ ආතතිය අඩු කිරීමට උත්සාහ ගැනීමකි. එහෙත් එම පණිවුඩය මුල් පිටුවේ වාර්තා කිරීමට, මෙම ප්‍රබල පුවත්පතේ කර්තෘ මණ්ඩල ප්‍රතිපත්තිය අනුව ඉඩක් නැත. ප්‍රවෘත්තිය යනු ලාභ ලබාදෙන වෙළෙඳ භාණ්ඩයක් ලෙස සලකන මාධ්‍යවේදීන් ඇදීයන්නේ ‘අනාරක්ෂාව’ පිළිබඳව හැඟීම් අවුස්සන ප්‍රවෘත්ති වලටය.

ගොඩඒම

මේ පසුබිම විසින් විස්තර කරනු ලබන තත්ත්වයෙන් ගොඩ එන්නේ කෙසේද? මේ ප්‍රශ්නයට පිළිතුරු පරිකල්පනය කිරීම පහසු නැත. එසේ වුවත්, එක් දෙයක් කිව හැකිය. එය නම්, ලංකාවේ අනාගතය යළි ගොඩ නැගිය යුතු බව සහ ඒ සඳහා අන්තර්-වාර්ගික සහ අන්තර් – සාමයික සංහිඳියාව ප්‍රයෝජනවත් පූර්ව කොන්දේසියක් වනු ඇත යන්නයි. මෙවැනි අනාගතයක් පරිකල්පනය කිරීමට සමත් වන්නේ අප රටේ සියලු වාර්ගික සහ සාමයික ප්‍රජා කණ්ඩායම් අතර සිටින මධ්‍යස්ථවාදී ආගමික සහ ලෞකික කණ්ඩායම් බවද සඳහන් කළ මනාය.