හැම ගෙදරක්ම තවුහිත් ජමාත්ද?

The Sinhalese have ever been a domestic, not a political people.  එසේ ලියන මහාචාර්ය ගුණපාල මලලසේකරයෝ එවදන් “‘සිංහලයෝ හැමවිටම ගෘහස්ත ජනකායක් වූහ. කිසිවිටෙකත් දේශපාලන ජනකායක් නොවූහ” යනුවෙන් සිංහලට පෙරළුෑහ.
සැබැවින්ම සිංහල ජනයා දේශපාලන ප්‍රජාවක් නොවන බව ඔවුන් හැමවිටම පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා මැයි 07දා පාර්ලිමේන්තුවේදී කීවේ ත්‍රස්තවාදයට සම්බන්ධ 150ක් වැනි පිරිසක් රටෙහි සිටින බවත්, සාමාන්‍ය මුස්ලිම් වැසියන් සැකයට භාජනය කිරීම නොකළ යුතු බවත්ය. එහෙත් රටෙහි බොහෝ දෙනකු හැසිරෙන්නේ සෑම මුසල්මානුවකුම ලංකාවේ ඇතිවූ ඛේදනීය සිදුවීමට කවර හෝ සම්බන්ධයක් ඇතැයි යන හැඟීමෙනි. එමෙන්ම මුස්ලිම් ප්‍රජා නායකයන් මෙන්ම ආගමික නායකයන් ප්‍රහාරය ගැන දැන සිට ඇති බවටද ඔවුහු මත පළ කරති. ඇතැම් අන්තවාදී දේශපාලනඥයෝද මේ ගොඬේම සිටිති. එයින් පෙනී යන්නේ ලංකාවේ ජනයාට උද්ගත වූ ප්‍රශ්නය විසඳා ගැනීම දෙසට ගමන් කිරීමට අවශ්‍ය බුද්ධිය හා ධෛර්යය හීන බවය. විශේෂයෙන්ම මුස්ලිම් බහුතර ප්‍රජාවගේ සහාය අහිමිව ලංකාවට මෙම අර්බුදය විසඳාගත නොහැකිය. ලංකාවේ ජනයා මේ සා සංකීර්ණ ප්‍රශ්නයක් දෙසත් ඒකාකෘතිකව බලන්නේ ඔවුන් මලලසේකර වියතාණන් කී පරිදිම දේශපාලන වශයෙන් සබුද්ධික ජනතාවක් නොවන නිසාය. ඔවුන් ලෝකයට විවර වුණු හැඟීම් විරහිත ගෘහස්ත ජනකායක් නමැති කුලකය නියෝජනය කරන නිසාය. කාදිනල්වරයා හා බෞද්ධ නායක හිමිවරුන් එක ළඟ සිට එකම අවස්ථාවකදී මේ ප්‍රශ්නය ගැන කළ ප්‍රකාශවලින්ද ඒ බැව් තහවුරු කැරිණි. කාදිනල්වරයා උද්ගත වූ ප්‍රශ්නය විමසීමට නූතන ලෝක දැනුම හා සංහිඳියා ආදර්ශය භාවිත කරන විට මෙරට ඇතැම් නායක හිමිවරුන් කීවේ ඥානසාර උන්නාන්සේ 2014දී මුස්ලිම් අන්තවාදය ගැන රටට කී බවය. එහි සමාන්තර අදහස වූයේ උන්වහන්සේ නිදහස් කළ යුතුය යන්නය. ඇතැම්හු ඒ බව කෙළින්ම කීහ. එවිට ඥානසාර හිමි සිරගත කැරුනු හේතුවට තවම අච්චු විඳ අවසන් නොමැතිවීම නායක හිමිවරුන්ගේ අදේශපාලනික ඥානයෙන් වැසී තිබුණි. එපමණක් නොව, මුස්ලිම් අන්තවාදී සංවිධානවල නැගීමට ඥානසාර හිමි පෙට්‍රල් වත් කළ බව උන්වහන්සේලා නොකියති. හේතුව නොගෙන ඵලය පමණක් විග්‍රහ කිරීම යථාර්ථය නොතකා හැරීමකි. බෞද්ධ දර්ශනය පිටුදැකීමකි.

නොත්‍රඩාම පල්ලිය ගිනිගත් අවස්ථාවේදී ප්‍රංශ වැසියෝ සෙන් නදිය අසබඩට වී හැඟීම් බර වූහ. කඳුළු වැගිරූහ. ලංකාවේ බෝම්බ පිපිරීම හේතුවක් කරගෙන සාමාන්‍ය මුස්ලිම් වැසියන් හිරිහැරයට පාත්‍ර කිරීම වැළකී ගියේ අනූනවයෙනි. එහි ගෞරවයත් කාදිනල්වරයාට හිමිවිය යුතුය. ජනපති පාර්ලිමේන්තුවේදී කියූ පරිදි තවුහිත් ජමාත් මගින් අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ පිරිස 150ක් නම් සාමාන්‍ය මුස්ලිම් ජනයා තලා දැමීමට කල්පනා කිරීමම අදේශපාලනික සිතුවිල්ලකි. 83 කළු ජූලියේදී සිංහල ජනයා මලලසේකර කී පරිදි තමා කෙතරම් ගෘහස්ත ජනකායක්ද ඒ නිසාම අදේශපාලනික ජනකායක්ද යන වග පෙන්වා දුන්නෝය. ලයින් කාමරවල වාසය කළ අන්ත දුප්පත් දෙමළ ජනයාටත් සිංහලයාගෙන් ගැලවීමක් නොවීය. සාමාන්‍ය වැසියන්ට පහර නොදී මතවාදීව මෙන්ම සටන් භූමියේ කරන සටනකින් සතුරා පරාජය කිරීම වෙනම ක්‍රියාවකි. දේශපාලනික ක්‍රියාව ඇත්තේ එහිය. විශේෂයෙන්ම අයිඑස්අයිඑස් වැනි ත්‍රස්ත සංවිධානයක ක්‍රියාවකට තම අසල්වැසි මුසල්මානුවාට පහරදීම ප්‍රතික්‍රියාවක්ද? එය එසේ නොවන බව සිංහල ජනයා දේශපාලන අරුතකින් තේරුම් ගැනීම වැදගත්ය. එම ත්‍රස්තවාදය මැඬීමට ඊට වඩා පළල් හා ගැඹුරු උපක්‍රම තේරිය යුතුය. එය ගමේ සංවිධානගත කඩු පොලු හමුදාවකට කළහැක්කක්ද නොවේ.
ඊළඟට මෙම අදේශපාලනික විරෝධය තව තවත් කුළුගැන්වෙන ලෙස රාජ්‍ය හා පුද්ගලික විද්‍යුත් මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය අතිබහුතරයක්ද ක්‍රියා කරනු පෙනේ. මාධ්‍ය මගින් සෝදිසි මෙහෙයුම් චිත්‍රපට ස්වරූපයෙන් පෙන්වන්නේ සකලවිධ මුස්ලිම් ජනයා ආයුධ රැස්කිරීමෙහි ආගමික මූලධර්මාදය පිළිබඳ පන්ති පැවැත්වීමෙහි සහ ඒවාට සක්‍රීයව දායක වී ඇති බව ඇඟවෙන ආකාරයටය. කිසිම ජන සමාජයක එසේ විය නොහැකිය. මුස්ලිම් ජනයා ජීවත් වන ඕනෑම ගෙදරක තවුහිත් ජමාත් සංවිධානයන්හි බඩු බාහිරාදිය තිබේද? අප එසේ සිතීමම අදේශපාලනිකය. රටෙහි තවදුරටත් සෝදිසි කිරීම් කළ යුතුය. මේසා දරුණු ත්‍රස්ත ක්‍රියාවකට අනුබල දුන් සැමට නීති මගින් කටයුතු කළ යුතුය. ඒ අතරේම සාමාන්‍ය මුස්ලිම් ජනයා ත්‍රස්තවාදය දෙසට නොයවා මානසික වශයෙන් පොදු සමාජය වෙතට ගෙන්වා ගත යුතුය. ඒ සඳහා පාර්ශ්ව දෙක අතර විශ්වාසය ඇති කරන වැඩසටහන් අවශ්‍යය. විශේෂයෙන්ම බහුතර ජනයාගේ පිළිගැනීමට ලක්වුණු සිංහල, දෙමළ, මුස්ලිම් බුද්ධිමතුන් හා ප්‍රජා නායකයන් අත්වැල් බැඳගත යුත්තේ මේ සංහිඳියාව ගොඩ නැංවීමටය.