කාලකණ්ණිභාවය ජයගැනීම

වික්ටර් අයිවන්

පාස්කු ඉරිදා ඇතිවූ බිහිසුණු සිද්ධියෙන් පසු මුස්ලිම් සමාජයට එරෙහිව කායික වශයෙන් පහරදීම් කරන තැනකට රට තල්ලු වූයේ නැතත්, (මීගමුව, කොච්චිකඬේ ඇතිවූ සිදුවීම හැර) ලංකාවේ රාජ්‍යය එම අර්බුදය කළමනාකරණය කරමින් තිබෙන ආකාරය පරිණත හෝ ප්‍රශස්ත තත්ත්වයක නොපවතී. මෙවැනි අවස්ථාවකදී මුස්ලිම් සමාජය කෙරෙහි බලවත් විරෝධයක් පහළවීම අස්වාභාවික නැතත්, රාජ්‍යය අර්බුදය කළමනාකරණය කරමින් තිබෙන්නේ සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ආකාරයට හෝ, මුස්ලිම් සමාජය කෙරෙහි මුස්ලිම් නොවන සමාජය තුළ ඇතිවී තිබෙන විරෝධය සමනය කිරීමට හේතුවන ආකාරයට නොව, ගල්ගැසුණු තත්ත්වයක් ඇති කිරීමට හේතුවන ආකාරයටය.

පාස්කු ඉරිදා සිදුවූ බිහිසුණු පහරදීම් මුස්ලිම් නොවන සමාජය තුළ මුස්ලිම්වරුන් කෙරෙහි බලවත් කෝපයක්, විරෝධයක් හා පිළිකුලක් ඇති කිරීමට හේතුවූ අතර, මුස්ලිම් සමාජය තුළද මුස්ලිම් නොවන සමාජයට මුහුණදීම පහසු නැති ලොකු ආත්ම ලැජ්ජාවක් හා වරදකාරී මානසික හැඟීමක් ඇති කිරීමට හේතුවිය. ඒ මගින් ඒ දෙපක්ෂය අතර ඇති කර තිබෙන බෙදීම අතිවිශාල වන අතර සමහර විද්‍යුත් ජනමාධ්‍ය ආරක්ෂක හමුදාවද සෝදිසි මෙහෙයුම් වාර්තා කරමින් තිබෙනුයේ මෙම දෙපිරිස අතර පවත්නා බෙදීම වර්ධනය කිරීමට හේතුවන ආකාරයටය. එම විෂයේදී රාජ්‍යය කටයුතු කරමින් තිබෙන්නේද පරිණත ආකාරයට නොව, ඉතාමත් අමනෝඥ ආකාරයකටය. රාජ්‍යයේ සිදුවන කටයුතු පිළිබඳව තියුණු පරීක්ෂාවකින් සිටීමේ ගුණය බොහෝ කාලයක සිටම රාජ්‍ය්‍ය අහිමි කරගෙන තිබෙන අතර එය ලංකා රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීමේ ක්‍රියාවලියේම ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.

83 කළු ජූලියේදී එම අර්බුදය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමට ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව අසමත් විය. කළු ජූලියට පෙර වෙනම රාජ්‍යයක් වෙනුවෙන් හා ඒ සඳහා කරන සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනී සිටින ත්‍රස්තවාදී සංවිධාන ගණනාවක් උතුරේ ඇතිවී තිබුණද ඒවාට කවර මට්ටමකින්වත් මහජන පිළිගැනීමක් තිබුණේ නැත. 83 කළු ජූලිය එම චිත්‍රය මුළුමනින් වෙනස් කළේය. නාරායන් ස්වාමි ලියා තිබෙන ආකාරයට “ජූලි කලබලවලින් පසුව උතුරු නැගෙනහිර සිය ගණන් දෙමළ තරුණයෝ ප්‍රදේශයේ සටන් කල්ලි වෙත එක් රොක් වන්නට වූහ. එහෙත් ඔවුන් එම කල්ලි නායකයන් දිහා බැලුවේවත් නැත. ඔවුහු අවි ඉල්ලා උද්ඝෝෂණය කළහ. ඊලාම් සටනට එක්වන බව කියමින් පේළියේ දෙකේ තුණ්ඩු ලියා බොහෝ තරුණයෝ ගෙදරින් පලා ගියහ.”දැන හෝ නොදැන මුස්ලිම් සමාජය එවැනි බිහිසුණු තැනකට තල්ලු නොකළ යුතුය.

පරීක්ෂාවේ ඇස් අන්ධවීම

මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී ව්‍යාපාර ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වන බිහිසුණු ත්‍රස්තවාදයක් බවට පත්වීමෙන් පසුවවත් ඒ ගැන සැලකිය යුතු තරමේ අවධානයකින්, පරීක්ෂාවකින් සිටීමේ වගකීමක් රාජ්‍යයට තිබුණි. විශේෂ මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින ත්‍රස්තවාදී සංවිධානවලට ආධාර කරන මුස්ලිම් රටවල් සමග රාජ්‍ය මට්ටමෙන් කරන ගනුදෙනුවලදී මුස්ලිම් සමාජයේ ඒ රටවල විශේෂ මතවාද ලංකාවේ මුස්ලිම් සමාජය තුළ පතුරුවන වැඩසටහන්වලට ඉඩ නොදිය යුතුව තිබුණි. ලංකාව හැමවිටම වැදගත් කොට සලකා තිබෙන්නේ ජාතික ආරක්ෂාව හෝ රටේ පැවැත්ම නොව කාගෙන් හෝ ලබාගත හැකි සල්ලි පොදිය ගැනය. ලංකාව තිබෙන්නේ ලංකාවට සල්ලි දෙන රටකට ඕනෑම පිස්සුවක් නැටිය හැකි අවලස්සන තත්ත්වයකය. අවසානයේ ලංකාවට ආධාර කරන මුස්ලිම් රටවල් රාජ්‍යයේද ආධාර ඇතිව අන්තවාදී මුස්ලිම් මතවාදී ව්‍යාපාර ඇති කොට ඒවා පෝෂණය කළේය. අඩුම වශයෙන් IS පුහුණුව ලැබූ ලංකාවේ තරුණ පිරිසක් නැවත ලංකාවට පැමිණ සිටින බව හෙළිදරව් වූ පසුවවත් රාජ්‍ය නායකයන්ගේ සේ ම ආරක්ෂක අංශවලද තියුණු අවධානය ඒ ප්‍රශ්නය වෙත යොමු විය යුතුව තිබුණි. එසේ නොවූවා පමණක් නොව, මාවනැල්ලේදී ඇතිවූ සිදුවීම්වලින් පසුව හා වනාතවිල්ලුවෙන් ලොකු ආයුධ තොගයක් අල්ලා ගැනීමෙන් පසුව හෝ මෙම ප්‍රවණතාව කෙරෙහි පූර්ණ අවධානයක් යොමු කිරීමේ වගකීම බලධාරීන්ට තිබුණි. අවසානයේ ඉන්දියානු ඔත්තු සේවයෙන් තොරතුරු ලැබීමෙන් පසුවවත් හොඳ සිහියෙන් ක්‍රියාකරන තත්ත්වයක් ඇතිවූයේ නැත. සියලු සෙවිලි ආරම්භ වන්නේ දැවැන්ත පහරදීමක් එල්ලවීමෙන් පසුවය. රාජ්‍ය හා එහි නායකයන්ට හොඳ සිහිය අහිමි වී තිබෙන තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.
අඩුම වශයෙන් සිදුවූ මේ දැවැන්ත පහරදීමෙන් පසුව හෝ දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳ වැටීමේ හා කුණුවීමේ තරම කෙරෙහි රාජ්‍ය නායකයන්ගේ සේ ම දේශපාලන විශ්ලේෂකයන්ගේද බැරෑරුම් අවධානය යොමුවිය යුතුව තිබුණි. අන් සියලු දේට පෙර සමස්ත ක්‍රමය ව්‍යුහමය ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමේ වැදගත්කම තේරුම් ගැනීමට සමත් වී නැත. ඒ සියලුදෙනාට අවශ්‍ය වී තිබෙන බව පෙනෙන්නේ පූර්ණ ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව මගහැර තමන් ධනවත් කිරීමට හේතුවී තිබෙන මෙම කොල්ලකාරී දූෂිත ක්‍රමයට අත නොගසා මහජන අවධානය අනාගත මැතිවරණවලට යොමු කරවා හොඳටම කුණුවී තිබෙන මෙම දූෂිත ක්‍රමය ගැටගසාගෙන ඇදගෙන යාමය.

ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව

සමස්ත ක්‍රමයේ ව්‍යුහමය විපර්යාසයකට යෑමේ අවශ්‍යතාව බැරෑරුම් ලෙස ඉස්මතු වී තිබුණේ අභ්‍යන්තර යුද්ධය අවසන්වීමත් සමගය. මා ඒ ගැන ඒ කාලයේ ලීවා පමණක් නොව රාවයේ 25 වන සංවත්සරයේදී රටේ සියලු ප්‍රධාන නායකයන් ඒ අවස්ථාවට එකතු කරගනිමින් රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීම සඳහා පූර්ණ ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව පෙන්වාදීමට උත්සාහ කළෙමි. රාජ්‍ය නායකයා හා විරුද්ධ පක්ෂ නායකයා ඇතුළුව ඒ අවස්ථාවට සහභාගි වූ කිසිවකු මා පෙන්වා දෙන ලද කාරණයේ බැරෑරුම්කම තේරුම් ගත් බවක් පෙනෙන්නට නොතිබුණි.

ඊට පෙර අභ්‍යන්තර යුද්ධය ජයගත් වහාම වාගේද එම යුද ජයග්‍රහණය ගැන ලියන ලද ලිපියකදී ලැබූ යුද්ධ ජයග්‍රහණය නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නිදහසින් පසු ලංකාව බිහිකළ ලොකුම වීරයා බවට පත්කිරීමට හේතුවී ඇතත්, ගැටුම් පැවති දීර්ඝ කාලය තුළ දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන විකෘතිය නිවැරදි කිරීමට හේතුවන ලෙස රට ප්‍රතිසංවිධානය කරන තැනකට යාමට අසමත්වෙතොත් මහින්ද රාජපක්ෂ නාමයද ඉතිහාසයේ කුණු කූඩයට යා හැකි බව මම ලීවෙමි. ඒ සමග එම ජනාධිපතිවරයාට ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව පැහැදිලි කර දෙන්නටද උත්සාහ දරා ඇත්තෙමි. ප්‍රශ්නයේ බැරෑරුම්කම තේරුම් ගැනීමට ජනාධිපතිවරයා සමත් නොවීය.

මනෝරාජික සිහින

සාධාරණ සමාජයේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳ සූත්‍රය හා ඔවුන්ගේ සරල ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයකට මාරුවීමේ සූත්‍රයද මට පළමුවරට අසන්නට ලැබුණේ මරදානේ තිස්ස බාලසූරිය පියතුමාගේ කේන්ද්‍රයේ පැවති මා ද කථිකයකු වශයෙන් සහභාගි වූ සාකච්ඡා මණ්ඩපයේදීය. සාකච්ඡා සභාවේ කථිකයන් අතර කුමුදු කුසුම් කුමාර හා සුමනසිරි ලියනගේ යන විශ්වවිද්‍යාල ආචාර්යවරු දෙදෙනාද සිටියෝය. එහිදී නිර්මාල් කීවේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ඊළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට තීරණයක් ගෙන ඇති බවය. පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ගරු සෝභිත හිමියන් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධනයක් මගින් ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කරන බවත්ය. ඒ කතාවත් සමග සභාවේ අසන්නන් අතර අසුන් ගෙන සිටි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නැගී සිට අදාළ ව්‍යවස්ථා සංශෝධනය දැනටමත් කෙටුම්පත් කර ඇති බව කියා සිටියේය.

මා මාගේ කතාවේදී පොදු අපේක්ෂකයා පිළිබඳ සංකල්පය හා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයකට මාරුවීමේ අදහස විවේචනය කළෙමි. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයකින් කරන්නේ ව්‍යවස්ථාවට අලුත් දේ එකතු කිරීම හෝ තිබෙන අඩුපාඩු නිවැරදි කිරීමය. එක් ආණ්ඩු ක්‍රමයකින් තවත් ආණ්ඩු ක්‍රමයකට මාරුවීම අලුත් ව්‍යවස්ථාවකින් මිස සරල ව්‍යවස්ථා සංශෝධනයකින් කරන දෙයක් නොවේ. එය ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි පිළිගත් මූලධර්මයකි. මා ඒ ගැන මාදුළුවාවේ සෝභිත හිමියන්ද හමුවී මගේ අදහස් පළකර ඇත්තෙමි. පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳ අදහස ගැන හා සරල ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයකට මාරුවීමේ අදහස ගැන වන මාගේ අදහස් මා ලිඛිතව ප්‍රකාශ කර ඇත්තෙමි. එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් සමස්ත ආණ්ඩු ක්‍රමයම අවුල් ජාලාවක් බවට පත් කොට රට අරාජිකත්වයකට තල්ලු කිරීමට හේතුවනු ඇති බව මම කියා සිටියෙමි. මාගේ එම අනාවැකිය ඕනෑවටත් වඩා හොඳින් සනාථ වී තිබෙන්නේ යැයි කිව හැකිය. එහෙත් එම විවාදයේදී මගේම නිර්මාණයක් ලෙස සැලකිය හැකි රාවය පුවත්පත පවා නිල වශයෙන් පෙනී සිටියේ මගේ අදහස වෙනුවෙන් නොව, බාහිර පෙනුමෙන් ලස්සන වුවත් මනෝරාජික වැඩසටහනක් ලෙස සැලකිය හැකි සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ වැඩසටහන වෙනුවෙනි.

රාවය තිස්වන සංවත්සරය පවත්වන ලද්දේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවය. 25 වැනි සංවත්සරයේදී කරළියට ගෙනා ප්‍රතිසංවිධාන සාකච්ඡාව ඉදිරියට ගෙනයෑමට එය සංවත්සර සභාව ප්‍රයෝජනයට ගත යුතු බව මගේ මතය විය. ඊට යහපාලන ආණ්ඩුවේ නායකයන් හා එම දේශපාලන වැඩසටහනට සම්බන්ධ නායකයන්ට අතිරේකව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගි කරවා ගත යුතු බව මගේ මතය වූ අතර එවකට තිබූ රාවය පුවත්පතේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊට තරයේ විරුද්ධ විය. ඒ නිසා හිටපු ජනාධිපතිවරයා නැතිව යහපාලන ආණ්ඩුවට සම්බන්ධ නායකයන්ට සීමාවන ලෙස එය කිරීමට සිදුවිය. එහිදීද මම ප්‍රතිසංවිධාන ප්‍රශ්නය බරපතළ ලෙස සාකච්ඡාවට ගන්නට උත්සාහ කළත්, එහි පැමිණි සියලු නායකයෝ එම ප්‍රශ්නය මගහැර වෙනත් දේවල් ගැන කතා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය.

දර්ශනයේ දුගීභාවය

ලංකාවේ සාමාන්‍ය සමාජයේ පමණක් නොව දැන උගත් සමාජයේ පවා දේශපාලන සාක්ෂරතාව තිබෙන්නේ නොදියුණු තත්ත්වයකය. ඒ නිසා ඒ සියලුදෙනා බොහෝවිට කැරෙන්නේ කේන්ද්‍රීය ප්‍රශ්න වටා නොව, අඩු වැදගත්කමක් ඇති ප්‍රශ්න වටාය.

ලංකා රාජ්‍යයේ මෙම බිඳ වැටීම කෙරෙහි බලපා තිබෙන කේන්ද්‍රීය වැදගත්කමක් ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වනුයේ නියෝජිතයෝ දේශපාලන පිරමීඩයේ මුදුනේම සිටින මහජන නියෝජිතයන් ලෙස සැලකිය හැකි ජනාධිපතිවරුන් හා ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් බවට පත්ව සිටීමය. රටේ පොදු දේපළවල තාවකාලික භාරකාරත්වය පැවරී තිබෙන්නේ ඔවුන්ටය. ඒවා ආරක්ෂා කොට වැඩි දියුණු කිරීම ඔවුන් වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීම වුවත් ඒ සියලුදෙනා නීතියට පටහැනිව තමන් භාරයේ තිබෙන පොදු දේපළ විවිධ ස්වරූපයන්ගෙන් කොල්ලකමින් තමන්ගේ මඩි තර කර ගන්නා ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරයි. දූෂණය පාලනය කළ නොහැකි දෙයක් බවට පත්ව තිබෙන්නේද රාජ්‍ය පාලනය මුළුමනින් අකාර්යක්ෂම අසාර්ථක දෙයක් බවට පත්ව තිබෙන්නේද රටේ නීතියේ පාලනය බිඳ වැටී රට අවුල් ජාලයක් බවට හා නිසරු හපයක් බවට පත්ව තිබෙන්නේද ඒ නිසාය.

මහජන ඡන්දයෙන් රාජ්‍ය පාලනයට තේරී පත්වන්නන්ට තමන් පාලනය කරන රාජ්‍යයෙන් අයුතු ආර්ථික ලාභ ප්‍රයෝජන ලබා ගැනීම මුළුමනින් නීති විරෝධීය. රජය සමග ව්‍යාපාර කිරීම නීති විරෝධීය. රජයේ දේපළ මිලදී ගැනීමද නීති විරෝධිය.

මහජන ඡන්දයෙන් තේරී පත්වන දේශපාලකයන් සඳහා එම විෂයේදී ක්‍රියාත්මක වන දැඩි නීති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ ක්‍රියාත්මක වන අතර 1977 දක්වා ලංකාවේද ක්‍රියාත්මක විය. නීතිය අහෝසි කර නැතත්, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එම නීතිය ක්‍රියාත්මකවීම වැළැකීය. 1977දී ගාලු ආසනයෙන් තේරී පත්වූ ඇල්බට් සිල්වාගේ මන්ත්‍රීකම අධිකරණය විසින් 1979දී අහිමි කරන ලද්දේ ඔහුගේ නමට භූමිතෙල් බලපත්‍රයක් තිබීම නිසාය. ඉන් තවත් දශක දෙකකට පසුව අධිකරණය විසින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහිමි කරනු ලැබුවේද මන්ත්‍රීවරයකුව සිටියදී ඔහුට අයත් සමාගමක් මගින් රජයේ ආයතනවලට ඖෂධ විකිණීම හේතු කොටගෙනය. ඉන් පෙනෙන්නේ පෙර පැවති නීතිය ක්‍රියාත්මක වීම යටපත් කොට ඇතත් එය අදටත් වලංගු බවය.

මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන්ට රජය සමග ව්‍යාපාර කළ නොහැකි බව සාමාන්‍ය ජනයා පමණක් නොව, ආණ්ඩු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින්නෝද නොදනිති. ඒ සඳහා වන විධිවිධාන සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ 19යට ඇතුළත්ව තිබුණේ නැත. ජවි පෙරමුණේ 20ටද ඇතුළත්ව තිබුණේ නැත.

ලංකාවේ දූෂණයේ මුදුන් මුල තිබෙන්නේ මෙතනය. පොදු දේපළ භාරකරුවන් ලෙස ක්‍රියාකරන පුද්ගලයන් විවිධ ස්වරූපවලින් තමන් භාරයේ තිබෙන පොදු දේපළවල වස්තුව කොල්ලකයි නම් ඒ රට අන්ත දූෂිත රටක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. රජයේ ටෙන්ඩරයක් සඳහා රටේ ජනාධිපති, අගමැති හෝ ඇමතිවරයෙක් තරග කරන්නේ නම් කොතරම් සුදුසුකම් තිබුණත් එය තවත් තරගකරුවකුට හිමිකර ගැනීමේ හැකියාව තිබිය නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් පවතින සියලුම රටවල මේ විෂය සඳහා දැඩි නීති පනවා ඇත්තේ මහජන නියෝජිතයන් එම ගනුදෙනුවලින් ඈත් කර තැබීම යහපත්, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය පාලනයක් සඳහා නැතිවම බැරි කොන්දේසියක් වන නිසාය. එවැනි වැරදි, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ සැලකෙන්නේ කිසිසේත්ම සමාව නොදිය යුතු බරපතළ දඬුවම් ලැබිය යුතු වැරදි ලෙසය. එවැනි වැරදිවලදී වැරදි කරන්නන්ගේ මන්ත්‍රීකම් අහිමි කරනවා පමණක් නොව, අයථා ලෙස උපයා ගත් දේපළද අහිමි කොට ප්‍රජා අයිතියද අහිමි කරන්නේය.

ඉඩම් කොල්ලය

මේ විෂයේදී එතෙක් ලංකාව පවත්වාගෙන ගිය කන්‍යාභාවය අහිමි කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති ජයවර්ධනය. ඔහු ධනයට කෑදර පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. එහෙත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තෘප්තිමත් තත්ත්වයක තබා ගැනීම සඳහා අයථා ලෙස ධනය උපයා ගැනීමේ හැකියාව සේ ම ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීමද ඔහු මන්ත්‍රීවරුන්ට ලබා දුන්නේය. පොදු දේපළ කොල්ලකෑමේ බියක් හෝ හිරිකිතයක් මන්ත්‍රීවරුන්ට තිබුණේ නම් එය නැති කිරීම සඳහා ඒ පාප කර්මය ආරම්භයේදී තමන් විසින්ම කිරීම මගින් ඔවුන්ට පූර්වාදර්ශයක් ලබාදෙන කෙනකු ලෙසද ක්‍රියා කළේය. ඔහු තමන්ට හිමිව තිබූ නිසරු පොල්වත්තක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දී කොමිසම සතුව තිබූ සරුසාර පොල්වත්තක් තමන් වෙත හිමිකර ගත්තේය. ඒ සමග ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම ඉඩම් කොල්ලය ඇරඹෙන්නේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු සරුසාර ඉඩම් පමණක් නොව, ඒවායේ තිබුණු නිවාස හා වෙනත් ගොඩනැගිලිද සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා දේශපාලන හෙංචයියන්ට නාමික මිලකට මිලදී ගතහැකි ක්‍රමයක් ඇතිකර දෙන ලදි. මෝඩ දේශපාලකයන් සිය පුද්ගල නම්වලට අක්කර 50කට අඩු ඉඩම් ප්‍රමාණයක් මිලදී ගන්නා විට, සටකපට දේශපාලකයන් ඒ මොහොතේ අටවා ගත් සමාගම්වල නමට අක්කර සිය ගණන් මිලදී ගත්තේය. අවසානයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඉඩම් හිමි ධනවත් වැවිලිකරුවන් බවට පත්වූහ. නීති උල්ලංඝනය ඒ දේට පමණක් සීමා නොවීය. ජනාධිපති ජයවර්ධන තමන්ගේ මන්ත්‍රීවරුන්ට රජයේ කොන්ත්‍රාත්කරුවන් බවට පත්වන්නට ඉඩ දුන්නේය. දැව, වැලි, ගල් ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා රජයේ බලපත්‍ර ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

ජනාධිපති ජයවර්ධන ආරම්භ කළ මෙම නීති විරෝධී ක්‍රියාකලාපය ඉන්පසු බලයට පැමිණි ජනාධිපතිවරුද එම නීති විරෝධී ක්‍රියාදාමයට අලුත් අංග එකතු කරමින් ඉදිරියට ගෙන ගියෝය. මන්ත්‍රීවරුන් හරහා මත්පැන් බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් ඇති කළේ චන්ද්‍රිකා කුමාරතුංග කාලයේදීය. බෙදා දෙන ලද බලපත්‍ර සංඛ්‍යාව 1000කටත් වැඩිය. ඒ සමග සමහර මන්ත්‍රීවරු බාර්කාරයන් බවට පත්වූහ.

අද දක්වා ගලායමින් තිබෙන මෙම නීති විරෝධී ක්‍රියාදාමය රාජ්‍ය පාලනයේ ස්වභාවය විකෘති කොට රාජ්‍යය කුණු කිරීමට බලපා තිබෙන වැදගත් හා ප්‍රධාන සාධකයක් ලෙස ක්‍රියා කරමින් තිබෙන්නේය. එම ක්‍රියාදාමය මහජන නියෝජිතයාගේ ස්වභාවය මුළුමනින් විකෘති කිරීමට හේතුවී තිබේ. මේ නිසා මන්ත්‍රීකම මහජන සේවය සඳහා වෙනුවට පහසුවෙන් ධනවත් විය හැකි වැදගත් මාර්ගයක් බවට පත් කිරීමට හේතුවී තිබේ. ජනාධිපතිවරුන් පවා තමන් භාරයේ තිබෙන මහජන වස්තුව කොල්ලකන්නන් බවට පත්කිරීමට හේතුවී තිබේ. එය නීතියේ ආධිපත්‍ය සේ ම රටේ ආර්ථිකයද දුර්වල කිරීමට හේතුවී තිබේ. මැතිවරණ ක්‍රමය හා දේශපාලන පක්ෂ ක්‍රමයද දූෂ්‍ය කිරීමට හේතුවී තිබේ. පාර්ලිමේන්තුවේ දක්නට තිබෙන විනයක් නැතිකම, පාර්ලිමේන්තු වාද විවාදවලදී දක්නට තිබෙන පිරිහීම, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමයේ දක්නට තිබෙන පරිහානිය යන හැම අංශයක් කෙරෙහිම මේ සාධකය බලපා තිබේ. අයථා ලෙස මුදල් ඉපැයීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ ප්‍රධාන අරමුණ වන විට ඔවුන් තමන්ගේ කාලයෙන් වැඩිම කොටසක් ඒ සඳහා යොදන විට ඇමතිවරුන් වශයෙන් හෝ මන්ත්‍රීවරුන් වශයෙන් තමන් වෙත පැවරී තිබෙන වගකීම් හරියාකාරව ඉටුකිරීමේ හැකියාවක් එම ඇමතිවරුන්ට හෝ මන්ත්‍රීවරුන්ට තිබිය නොහැකිය.

ඇත්තටම මේ ආකාරයෙන් විවිධාකාරවලින් ආණ්ඩුව සමග බිස්නස් කරන, කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන්, දැව, ගල්, වැලි හා මත්පැන් බලපත්‍රලාභීන් ලෙස හෝ රජයේ ඉඩම් මිලදී ගෙන ඇති මන්ත්‍රීවරුන් කොපමණ සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ සිටින්නේද? ඒ ගණන විශාල නම් නීතියෙන් පාර්ලිමේන්තුව තුළ නොසිටිය යුතු මන්ත්‍රීවරුන් ලොකු පිරිසක් පාර්ලිමේන්තුව තුළ සිටීම තුළ පාර්ලිමේන්තුව නීති විරෝධී ආයතනයක් බවට පත් නොවන්නේද? පාර්ලිමේන්තුවේ ගෞරවය හා සුජාතභාවය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩු සමග ව්‍යාපාර කරමින් සිටින හා කර තිබෙන මන්ත්‍රීවරුන් ගැන සොයා බලා ඔවුන්ගේ පාර්ලිමේන්තු පැවැත්ම නීතියට පටහැනි වන නිසා ඔවුන් එම තනතුරුවලින් පහ කිරීම සඳහා ක්‍රියා කිරීම හා මන්ත්‍රීවරුන්ට ව්‍යාපාර කිරීම දැඩි ලෙස තහනම් කරන තත්ත්වයක් ඇති කිරීම කතානායකවරයාගේ වගකීමක් නොවේද?

මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන් ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීම ලංකාවේ පවත්නා දූෂණයේ මුදුන් මුල ලෙස සැලකිය හැකිය. රටේ නීති සම්පාදකයන් අමු අමුවේ නීති උල්ලංඝනය කරන විට ඔවුන් බහුතරයක් අන්ත දූෂිත වනවිට එසේ ක්‍රියා කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් රටේ ඇතිවිට එම රට කාලකණ්ණිවීම ගැන පුදුම වියහැක්කේ කෙසේද?
ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වී තිබෙන්නේ ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් නොව, ලංකාව කුණු කිරීමට හේතුවී තිබෙන මෙම දුෂ්ට කොල්ලකාරී ක්‍රමයේ ගැඹුරු ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමට හේතුවන වැඩසටහනකි. ඒ සඳහා දේශපාලන පක්ෂවලද පොදු එකඟතාවක් ගැඹුරු විපර්යාසයක් ඇති කිරීම සඳහා තෝරාගත හැකි හොඳම ක්‍රමය මහජන ව්‍යවස්ථා සම්පාදනයකට හෙවත් සහභාගි ව්‍යවස්ථා සම්පාදනයකට දොරටු විවෘත කිරීමය. ලංකාවට දැන් පවත්නා කාලකණ්ණි තත්ත්වය ජයගැනීමට තෝරාගත හැකි එකම මාර්ගය වන්නේද එයයි. ඒ අරමුණ දිනාගැනීම සඳහා මහජනයාද, මහජන සංවිධානද හඬ නගන තැනකට යා යුතුය.