අන්තවාදයට මුස්ලිම් සහාය නෑ

වෛද්‍ය එම්.ජී. සයිෆුල් ඉස්ලාම්
සහජීවන අනු කමිටු සභාපති – ජාතික ෂූරා සභාව

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න

ජාතික ෂූරා සභාව සහජීවනය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවට උපදේශනය සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ප්‍රකාශ වෙනවා. මෙවැනි සංවිධාන පවා තිබියදී මුස්ලිම් සමාජය තුළින් ආගමික අන්තවාදයක් හිස ඔසවන්නේ කෙසේද?

ගෝලීය දේශපාලනය හේතු කොගෙන ශ්‍රී ලංකාව බොහෝ රටවල් වල ක්‍රීඩා පිටියක් බවට පත්ව තිබෙනවා. අතිගරු කාදිනල් රංජිත් පියතුමාත් පවසා සිටියේ මේවා පිටුපස ජාත්‍යන්තර බලවේග, බලගතු රාජ්‍යයන් සහ ලෝක වෙළෙඳපොළහි කොටසක් වන ආයුධ ව්‍යාපාරය හෝ අදිසි හස්තයක බලපෑම තිබෙන බව. ජාතික සූරා සභාව (ජාතික උපදේශක සභාව) 2012 වසරේදී ආරම්භ කෙරෙන්නේ ලංකාවේ මුස්ලිම් සිවිල් සංවිධාන අතර සම්බන්ධතා ඇතිකර ජාතික මට්ටමෙන් වැඩකරන සංවිධානයක අවශ්‍යතාව මතයි. මුල් අවස්ථාවේදීම සංවිධාන 18ක් සහ මුස්ලිම් සමාජයේ විද්වත්හු පිරිසක් මේකට එකතුවුණා. ඒ වන විට අප අත්දකිමින් සිටියේ ජාතීන් අතර සහජීවනය බිඳවැටී ඇති ආකාරය. ඒ නිසාම අපි පළමුව ජාතීන් අතර සහජීවනය සඳහා අනු කමිටුවක් පත් කළා. අපි මුස්ලිම් සමාජය තුළ දැඩි ලෙස සහජීවනය පිළිබඳව දැනුවත් කිරීම් කළා. ජාතීන් අතර සහජීවනය ගොඩනැඟීමෙහිලා වැඩ කළා. ඒ තරම් මහන්සි වෙලත් තමයි මේ වගේ සිදුවීමක් සිදුවුණේ.

අන්තර් ජාතික මට්ටමෙන් ඉස්ලාම් අන්තවාදය සහ ත්‍රස්තවාදය ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ සැලකිය යුතු කාලයක ඉඳලා. ෂී ත්‍රස්තවාදය ලෝකෙටම තර්ජනයක් වෙමින් ව්‍යාප්ත වනවිට ලංකාවත් එහි ගොදුරක් විය හැකි බව ඔබලාට දැනුණේ නැත්ද?

ලංකාවේ තරුණයන් පිරිසක්ද ෂී ඇම කා සිටින වග අපි දැනගෙන සිටියා. මේක දැනගත් වහාම අපි මුස්ලිම් ජනයාට මොවුන් පිළිබඳ දැනුවත් කළා. IS හි සැබෑ මුහුණුවර හඳුනා ගනිමු කියා අත් පත්‍රිකාවක් දමිළ හා සිංහල මාධ්‍යයෙන් මුද්‍රණය කරලා බෙදාහැරියා. සමාජ ජාල ඔස්සේත් එය ප්‍රචාරය කළා. 2015 ජූලි මාසේ 22වෙනිදා කොළඹ දී පැවැත්වුණු සමුළුවකදී ජමියතුල් උලමා සභාව IS සංවිධානය තවත් එක්තරා අන්තවාදී සංවිධානයක් බව හා එහි ක්‍රියාකාරකම් තරයේ හෙළා දකින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. උලමා සංවිධානය සහ සිවිල් සංවිධාන නියෝජිතයන් IS හා සම්බන්ධ සහ්රාන් හෂිම්ගේ ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු එවකම රජයට දන්වා තිබුණා.

ප්‍රහාරකයන්ගේ අරමුණ ලංකාවත් ඉස්ලාම් රාජ්‍යය සතු භූමියක් කරගැනීම සහ ප්‍රහාරයෙන් පසු ස්වර්ගයට යාම බවට අදහසක් මුස්ලිම් නොවන සමාජයේ පවතිනවා. ඔබේ අදහස මොකක්ද?

ප්‍රහාරයේ අරමුණ මොකක්ද කියන එක අපටත් පිළිතුරක් නැති ප්‍රශ්නයක්. ජවිපෙ කැරුල්ලේ යම්කිසි අරමුණක් තිබුණා. එල්ටීටීඊය යුද්ධ කළේ ඊලාම් රාජ්‍යයක් ලබා ගැනීමට. එහෙත් මේ ප්‍රහාරයේ අරමුණ මොකක්ද කියා පැහැදිලි නෑ. මේ විදිහට ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීමට හැකියාවක් නෑ. ස්වර්ගයට යාමට හැකියාවකුත් නැහැ. මෙහෙම ඝාතන කිරීමෙන් ස්වර්ගයට යනවා කියලා කුර්ආන් එකේ සඳහන් වෙලා නෑ. සමූහ ඝාතන තියා එක් මිනිසෙක් මැරුවත් ස්වර්ගයට යන්නට බෑ. සමාජය තුළට මෙවැනි අදහසක් ගිහින් තියෙන්නේ හදිසියේ තියන සමහර පාඨයන් නිසා. නබිතුමා ජීවත්වුණ කාලයේ මක්කම යුද්ධයක් තිබිලා තියනවා. ඒකට යන අයට ඒ ඒ වෙලාවට අවශ්‍ය උපදෙස් නබිතුමා දීලා තියනවා. පහුගිය කාලේ එල්ටීටීඊ යුද්ධය තියන කොට ආගමික නායකයෝ හමුදාවට අනුශාසනා කළා අපි දැක්කානේ. ඒ වගේ වෙන්න ඇති. ඒවා අදාළ වෙන්නේ යුද්ධ භූමියට පමණයි. එහෙත් කුර්ආන් එකේ එවැනි කිසිවක් නෑ. අපි මේ ප්‍රහාරය හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කළා. ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. මනුෂ්‍ය ඝාතනය මනුෂ්‍ය ඝාතනයමයි. එහි කිසිම යුක්තිගරුක භාවයක් නෑ.

මේවා කුර්ආන් එකේ නෑ කියා හෝ එවැනි වෙනත් කරුණු කාරණා දක්වමින් ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්න ලංකාවේ මුස්ලිම් ප්‍රජවට පුළුවන් කියා ඔබ හිතනවාද?

IS ඉතා සුළු කණ්ඩායමක් කියා හෝ ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ ඔවුන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකින බව කියා හෝ ඉස්ලාම් ඔවුන් හා ඔවුන්ට කිසිදු සම්බන්ධතාවක් නොමැතියි කියා මේ සිදුවුණු සංහාරයේ වගකීමෙන් අපිට බැහැර වෙන්න බෑ.

ආගම ඇදහීමේ අයිතියට වඩා ඉහළින් අන් අයගේ ජීවත්වීමේ අයිතිය ඇති බව අප තරයේ විශ්වාස කරනවා. ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා මුස්ලිම් ජනයා පෙරට ආ යුතුයි. ජවිපෙ කලබල කාලයේ ජවිපෙට සිංහල සමාජයෙන් යම්කිසි සහයෝගයක් ලැබුණා. එල්ටීටීඊ ත්‍රස්තවාදයේදී ඒ අයට දෙමළ සමාජයෙන් යම්කිසි සහයෝගයක් ලැබණා. ඒ බව අප කවුරුත් දන්නවා. එහෙත් මේ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී එවැනි සහයෝගිතාවක් මුස්ලිම් ප්‍රජාවෙන් ඔවුන්ට ලැබෙන්නේ නෑ කියන එකයි මගේ විශ්වාසය. නැගෙනහිර පළාතේ සයින්දමරුදු, නින්දවූර්, අට්ටාලච්චේන වැනි ගම්වල ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දී තිබුණේත් මුස්ලිම් අයයි.

ලංකාවේ මුස්ලිම් සමාජය තුළ ප්‍රකට කෙරෙමින් පවතින නව සංස්කෘතික ප්‍රවණතාවන් බහුතර සිංහල බෞද්ධ සමාජයේ සිත් රිදවීමට සහ සැකයට හේතුවක් වෙමින් තිබෙනවා. දශක ගණනාවක් ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට අද තියෙන බුර්කා ඇඳීමේ වුවමනාවක් තිබුණේ නෑ නේද?

ඇ`ඳුම් විලාසිතා මාරුවීම කියන්නේ සාමන්‍යයෙන් කාලෙන් කාලෙට සිදුවෙන දෙයක්. පහුගිය දශක කීපයක් තිස්සේ විශේෂයෙන්ම විවෘත ආර්ථිකය රටට හඳුන්වාදීමෙන් පසුව මුස්ලිම් අය බහුතරයක් රැකියා සඳහා මැදපෙරදිග රටවලට ගියා. ඒ රටවල අවුරුදු ගාණක් ගතකරලා ආපසු මෙහෙ එන විට ඔවුන් එහිදී උපයාගත් විදේශ විනිමය විතරක් නොවෙයි එහි සංස්කෘතික අංගත් තම තමන්ට ගැළපෙන විදිහට මෙහාට අරගෙන ආවා. මැදපෙරදිග රටවල ගෘහ සේවයට ගිහින් ආව කාන්තාවන් ඉන්න සිංහල නිවෙස්වල වුවත් ඒ රටවලින් ගෙනා ඇතිරිලි සැරසිලි ඇඳුම් පැළදුම් ආදිය අදටත් දැකගන්න තියනවා. අද පවතින්නේ විවෘත සමාජයක් නිසා අපි මක්කමට ගිය විට අපටත් සිතෙනවා ජුබ්බාවක් ඇඳීමට. ඒ විදිහට තමයි මේවා එන්නේ. ඒ අතරේ මේ වෙනකොට අන්තවාදී අයත් මේවා ප්‍රවර්ධනය කරනවා. මැලේසියා, ඉන්දුනීසියා වැනි රටවල්වල වුවත් ඒ අය පළඳින්නේ ඒ රටට ආවේණික ඇඳුම්. ඒ අනුව බුර්කාව තහනම් කිරීම සම්බන්ධව මාගේ කිසිම විරෝධයක් නෑ. මුහුණ හා අත්දෙක හැර අනෙක් අවයව වසාගෙන සිටීමයි අපගේ අනන්‍යයතාව. ඉස්ලාමය පවසන මෙහිදී ආධ්‍යාත්මිකත්වයට තුඩුදෙන කරුණු ජනයාට පැහැදිලි කළා මිස අන් අයගේ හැඟීම් තේරුම් ගෙන ඒ හා එකට ජීවත්වීම පිළිබඳව කියා දීමේදී අපි තරමක් පසුගාමි බවයි මාගේ හැඟීම. මා සිතන්නේ අප හට වැරදුන තැන ද එතනයි.

මේ වෙනකොට රට තුළ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. අන්තවාදීන්ට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටිනවා. මේ ආරක්ෂක ක්‍රියාමාර්ග මුස්ලිම් සමාජයට මොනවගේ බලපෑමක්ද කරන්නේ?

වත්මන් මුස්ලිම් සමාජය පසුවන්නේ කලකිරීමෙන්. සුළු පිරිසකගේ කටයුතු නිසා අද මුස්ලිම් අයට අත් වී තිබෙන්නේ ඛේදනීය තත්ත්වයක්. පාරතොටේ ගමන් කිරීමට නොහැකියි. සැමදාම සාමාන්‍යයෙන් කතා කළ අය පවා අද අපිත් එක්ක මූණ බලලා කතා කරන්නේ නෑ. මුස්ලිම් කාන්තාවකට පාරේ හෝ වාහනවල ගමන් කිරීමටත් අපහසුයි. පික් මී, ඌබර් වැනි ආයතනවල රියදුරන් මුස්ලිම් නම් ඒ බව දැනගත්ත ගමන් ඔවුන්ගේ හයර් අවලංගු කරන බව ඒ අය කියනවා. හැම මුස්ලිම් කෙනෙක් දිහාම සැකයෙන් බලන්නේ. මුස්ලිම් සමාජයට එල්ලවන චෝදනා වලදි අපට ඒවා පුළුවන් උපරිමයෙන් දරාගත යුතුයි. ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. මෙවැනි සිදුවීම්වලදී මා මුස්ලිම් අයට කියන්නේ මේ වගේ අවස්ථාවක මිනිසුන් එහෙම ආවේගශීලීව හැසිරීම ස්වාභාවිකයි කියලායි. ආරක්ෂක අංශය රට ආරක්ෂා කිරීමේ කර්තව්‍යයේදී විශාල කාර්යභාරයක් ඉටු කරන නමුත් ඔවුන් සෑම කෙනෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව සැලකිලිමත් වීමත් අවශ්‍ය බවයි. ඒ වගේම මම සමස්ත සිංහල හා දෙමළ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ සමස්ත මුස්ලිම් සමාජය දෙසම වපර ඇසින් නොබලන්න කියායි.

සිංහල බෞද්ධ ජනතාව සම්බන්ධයෙන් ඔබගේ අතීත අත්දැකීම් මොනවගේද?

මා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුමුල්ල ප්‍රදේශයේ උපන් කෙනෙක්. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. ඔහු පැරණි වාමාංශික පක්ෂ දේශපාලනයේ සාමාජිකයෙක්. කුඩා කල පටන් අප සිංහල මිනිසුන් හා එකට වැඩකරලා පුරුදුයි. දැනටත් සිංහල මුස්ලිම් කියලා වෙනසක් දැනෙන්නේ නෑ. ඒත් මේ කාලේ වෙන කොට එසේ නොවේ. දැන් නගරයේ පමණක් නොව ගම් පළාත්වලත් සිංහල මුස්ලිම් භේදය තදින් පැතිරිලා තිබෙන්නේ.

ඔබ ඉස්ලාම් භක්තිකයෙක් වුවත් බාහිර ලෝකයට විවෘත වුණු, බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරුව කෙනෙක්. ආගමික අන්තවාදයන් මුල් කරගෙන ලෝකය පුරා සිදුවෙමින් තිබෙන ක්‍රියාකලාපයන් හේතුවෙන් නූතන සමාජය තුළ නිරාගමිකත්වය වෙත විචාරශීලී ජනතාව යොමු වෙමින් සිටිනවා. ඔබ කොහොමද ඒ කාරණය දකින්නේ?

ආගම හරිද, වැරදි ද කියන එක පසෙකින් තියලා අපි බලමු එය ඔබ පවසන ආකාරයේ උපකරණයක් ද කියා. මේ ප්‍රශ්න ආගම මුල් කරගෙන සිදුවූවක් යන්නට මා එකඟ වෙන්නේ නෑ. කුර්ආන්ය අවු 1440 ගණනකට පෙර පහළ වූවක්. එහෙත් ඉස්ලාම් අන්තවාදය හටගන්නේ අවු 20ක් 25ක් තරම් මෑත කාලයේදී. කුර්ආන්ය නිසා අන්තවාදය හට ගත්තා නම් ඊට අවුරුදු ගණනකට පෙර එය සිදුවිය යුතුව තිබුණා නේද? එසේ නොවුණේ ඇයි? එය අප විමසා බැලිය යුතුයි. ඉස්ලාම් ත්‍රස්තවාදය නිර්මාණය කළේ කුරාණය ද, නැතිනම් ලෝකයේ ඉස්මතු වූ දේශපාලන ප්‍රවණතාද? අද ලෝකයේ ඉස්ලාම් ෆෝබියා ජාලයක් හටගෙන තිබෙනවා. එය ආගම් ෆෝබියා කියා ද කිව හැකියි. අනවශ්‍ය බිය ඇති කිරීමයි ෆෝබියා කියන්නේ. ඉතින් ඔවුන් අද ඉස්ලාමය ගෙන යන්නේත් ඒ දෙසටයි. ලෝකය අතිවිශාල පිරිසක් ඉන්නේ විවිධ ආගම් එක්කයි. ඒ නිසා යම් පිරිසකට නිරාගමික වෙන්න පුළුවන් වුවත් බහුතරයක් ඒකට සම්බන්ධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

දැන් රට මුහුණ දී සිටින මේ තත්ත්වයන් ජයගෙන ගොඩයා හැකි මඟක් ඔබ දකිනවාද?

මම සෑම දෙයක් පිළිබඳවම සුබවාදීව සිතන කෙනෙක්. මම හිතන්නේ මේක අවස්ථාවක් රටක් වශයෙන් අපිට නැවත නැඟී සිටින්න. මීට පෙර අපිට මේ වගේ තීරණාත්මක අවස්ථා දෙකක් ලැබුණා. එකක් සුනාමිය වෙලාවෙදි. අනික එල්ටීටීඊ යුද්ධය ජයග්‍රහණය කල වෙලාවෙදි. නමුත් අපි ඒ අවස්ථා දෙකම පැහැර හැරියා. දැන් තවත් අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙතනදි ත්‍රස්තවාදය සහ අන්තවාදය දෙකක් වශයෙන් සලකා ගත යුතුයි. ත්‍රස්තවාදීන් ට කිසිදු කරුණාවක් නොදැක්විය යුතුයි. ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ත්‍රස්තවාදය මැඬළීමට රජයටත්, හමුදාවටත් හැකියාව තිබෙන වග මම විශ්වාස කරනවා. නමුත් ආගමික අන්තවාදයේ තත්ත්වය වෙනස්. ආගමික අන්තවාදය මේ රට තුළ හැම පැත්තකින්ම වර්ධනය වෙමින් පවතිනවා. මෙය වර්ධනය කරන්නේ දේශපාලකයෝ. බොදු බල සේනා සංවිධානයට හා මේ ත්‍රස්තවාදී කල්ලියට එකම ගිණුමකින් මුදල් බැර වී ඇති බව හෙළිවීම එයට කදිම නිදසුනක්. ආගමික අන්තවාදීන් හැම සමාජයකම හැම රටකම වගේ ඉන්නවා. මෙවැනි ආගමික අන්තවාදීන් පුනරුත්ථාපනයට සිංගප්පූරුවේ RRG (Religious Rehabilitaion Group) නමින් පුනරුත්ථාපන කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා. ඒවා අපිට ආදර්ශයට ගන්න පුළුවන්. එවැනි පුනරුත්ථාපන ව්‍යාපෘතියක් රජය විසින් ඒ ඒ නායකයින්ගේ නිරීක්ෂණ යටතේ පටන් ගැනීම සුදුසුයි.