ආරක්ෂාවට බිලිවූ මිනිස්සු

dav

වින්ද්‍යා ගමගේ

“පහුගිය 22, 23 දවස්වල රෑ 10ට ඇඳිරි නීතිය දානවා. රෑ 7 ඉඳලා පාරේ එක මිනිහෙක් නෑ. පුදුම නිශ්ශබ්ද බවක් තිබුණේ. ඒකට බය හිතෙනවා. යුද්දෙ තිබුණු කාලෙවත් මෙහෙම වුණේ නෑ.” කොටුව චැතම් වීදිය අසල ලොතරැයි වෙළෙඳාමේ යෙදෙන ප්‍රේමසිරි අප හා එසේ පැවසුවේ 21 වැනිදායින් පසු නිදිගත් කොළඹ කොටුව ප්‍රදේශයට අප කළ සංචාරයේදීයි. බස් හිස්ය. කෝච්චිවල මිනිස්සු පහසුවට වාඩිවී යති. සති අන්තයේ එකිනෙකා උර නොගැටී යා නොහැකි වූ පදික වේදිකාවෙහි අද බඩ පිනුම් ගැසුවත් කෙනකු ඇඟේ වදින්නේ නැත. එහෙත් මල්වත්ත පාර හා හරස් වීදිවල තරමක් මිනිස්සු ගැවසෙනු පෙනුණි.

“මේ බෝම්බ සිද්ධියෙන් පස්සෙ 75%ක් විතර අපේ බිස්නස් අඩුවෙලා. ඉදිරියේදී තව බෝම්බ පුපුරයි කියලා බයට මිනිස්සු කොළඹ එන්නෙ නෑ. පසුගිය සතියට වඩා මේ සතිය ටිකක් හොඳයි. හැබැයි ඉස්සර තිබුණු තත්ත්වයට කිට්ටු වෙන්නවත් බැහැ.” මල්වත්ත පාරේ සපත්තු කඩයක් කරන සංජීව ප්‍රියදර්ශන එසේ පැවසීය.

“අවුරුදු කාලෙන් පස්සෙ එක දිගටම බෝම්බ පිපිරුණා. ඉතිං මිනිස්සු ගෙදර රැඳුණු එකෙන් බිස්නස් අඩුයි.” ඒ සංජීවගේ සපත්තු කඩයට කඩ 4-5කින් එහා සිටින සිරිමල්ගේ අදහසයි.

මල්වත්ත කඩ පේළියේ කෙළවර මුස්ලිම් ඔරලෝසු ව්‍යාපාරිකයාට බෝම්බ සිදුවීමට පෙර දවසකට කස්ටමර්ස්ලා 50ත් 60ක් හිටියත් අද එය 4-5කට වැටී ඇත.

මැනිං මාර්කට් එකේද තත්ත්වය වෙනස් නොවේ. එළවළු තොග වෙළෙඳාම කරන සල්ගාදු කියන්නේ හෝටල් වසා ඇති නිසා ඒවාට එළවළු සපයන අයගෙන් තමන්ට ඕඩර් නොලැබෙන බවයි. ඒ නිසා බිස්නස් 75%ක් විතර අඩුවෙලා.

“එළවළු මිල අසාමාන්‍ය විදිහට වැඩිවෙලා නැහැ. ඒත් බඩු ගන්න එන්න මිනිස්සු බයයි. හැමෝගෙම බිස්නස් 70%-80% ප්‍රමාණයක් වැටිල තියෙන්නෙ.” ඒ මැනිං මාර්කට් එකේ තොග වෙළෙඳාම් කරන අශෝකගේ අදහසයි. ඕල්කට් මාවතේ රෙදි කඩයක් කරන ශන්කර් ක්‍රිස්තියානි භක්තිකයෙක්. බෝම්බ සිදුවීම නිසා ඔහුගේ ඥාතීන් පිරිසක් අහිමි වෙලා. තම රෙදි ව්‍යාපාරයට 90%ක විතර පාඩුවක් සිදුවුණත්, ඔහුට ඊට වඩා වේදනාව ගෙන දෙන්නේ රජය මෙහි චෝදනා ලැබූවන් සම්බන්ධව අනුගමනය කරන උදාසීන ප්‍රතිපත්ති නිසයි. ඕල්කට් මාවතේ පාර දෙපැත්තේ ජංගම දුරකතන උපාංග විකුණන රොමේෂ්ට වගේම උදයටත් 80%-85%ක ප්‍රමාණයක පාඩුවක් පසුගිය සති දෙක තුළ දැරීමට සිදුවෙලා.

“අපි දැන් වේල් 3න් එක වේලක් තමයි කන්නෙ. ඉස්සර අපි සපත්තු මහලා රු. 2500 විතර හොයනවා. දැන් 500 හොයන්නෙත් හරිම අමාරුවෙන්.” මහජනයාගේ බය දුරුවේ නම් නැවතත් බිස්නස් හරියන බව ග්‍රෑන්ඞ්පාස්හි සුනිල් පැවසුවා. මෝගන් එදා වේල හම්බ කරන්නේ දෙළුම් කරත්තයක පටවාගෙන රතු පල්ලිය අසල ප්‍රදේශයේ විකිණීමෙන්. අප්‍රේල් 12 වැනිදායින් පසුව අද (මැයි 4) වැඩට ආ ඔහු වෙනදාට කිසි කරදරයක් නැතිව දවල් 2-3 වනවිට දෙළුම් පෙට්ටි 10ක් විකුණුවත් අද දවල් එක වන විටත් ඔහුගේ කරත්තය තුළ පෙට්ටි 7ක් තවමත් ඉතිරි වී තිබෙනවා. “බයයි කියලා ගෙදර හිටියොත් අපිට කවුරුත් කන්න දෙන්නෙ නැහැ. මට ඉස්කෝලෙ යන ළමයි දෙන්නෙක් ඉන්නවා. දවසේ බඩුවල කුලිය ගෙවීමට අතේ ඉතිරි වෙන්නේ රු. 1000-1500 වගේ. ඒකෙන් ගෙදර වියදම බලන්න ඕනේ. ණයපොලී ගෙවන්න ඕනේ. මේ අවුරුද්ද අපිට හරිම චාටර්.” මෝගන්ගේ ජීවිතය මාවලස් කළ නොහැකි වූ අපිට කළ හැකිව තිබුණේ හැමදේම හෙමින් හරියාවි යන ප්‍රාර්ථනයෙන් ඔහු දෙස බලා සිටීම පමණයි. කේසර් වීදියේ පෝටර් කෙනෙක් වන නිමල්ට තට්ටු හතරක් උඩට බඩු ඇද්දත් හිමිවන්නේ රු. 50ක් පමණයි. බංගසාල වීදියේ අර්ෆත්, මිනිස්සු යහමින් එන දවසට නාටාමි වැඩ කර රු. 2500-3000 සොයා ගත්තත් අද එය රු. 800-500 දක්වා අඩුවී තිබෙනවා.

“බලන්න මගේ කරත්තේ” කියමින් කැට ගැසී පල්වූ තැඹිලිවලින් පිරී ගිය කරත්තය පෙන්වමින් මන්සූර් ඩීන් කිව්වේ “තැඹිලි ගෙඩි 180කට වඩා විසි කරන්න වෙනවා. මේ පාඩුව රු. 18,000කට වඩා වැඩියි. ආණ්ඩුව මේ පාඩුව අපිට දෙනවද? ඉස්සර දවසට ගෙඩි 300ක් විකුණුවා. පෙරේදා 112 විකුණුනේ. අද යන්තම් 200 ගියා. අපේ කට්ටියක් කළ වැරදි නිසා අපි වගේ පොඩි මිනිස්සුන්ට තමයි බඬේ පාර වැදුණේ.”
දෙවන හරස් වීදියේ සාරි වැඩ දැමීමට ගන්නා ආයිත්තම් විකුණන මුස්ලිම් ව්‍යාපාරිකයෝ කඩය විවෘත කර අද වන විට අවුරුදු 15ක් වෙනවා. දා මෙදා තුර කවදාවත් මෙතරම් බිස්නස් අඩු වූ බවක් ඔහුට මතක නැහැ. 80%ක් විතර බිස්නස් අඩු වුණත් මංගල සාරි වැඩ දමන්නට තියන හදිසි අවශ්‍යතා නිසාම ටෙලිෆෝන් ඕඩර් නිවසටම කුරියර් සේවය හරහා ලබාදෙන බව ඔහු කීවා. “ඇත්තටම අපි මේක බිස්නස් එකකට වඩා සේවයක් විදියට සලකන්නේ.”

“දවස් 10ක් විතර අපිට බිස්නස් නැතිවුණා. ඒ නිසා 90%ක් විතර පාඩුයි. පෙරේදා (මැයි 3) ඉඳලා සෙනඟ ටික ටික එනවා. මේ සඳුදා ඉඳලා නෝම්බි පටන් ගන්නවා. ඉන්ෂ අල්ලා, එතකොට බිස්නස් හරියාවි කියල හිතනවා.” ඒ රතු පල්ලිය අසල ඉස්ලාමීය පූජා භාණ්ඩ විකුණන හනීෆාගේ භක්තියෙන් පිරි විශ්වාසයයි.

වෙනදාට වාඩි ගන්න අසුනක් නැති රතු පල්ලිය අසල ස්වීට් කඬේ අද අමාරුවෙන් එක් අසුනක් සොයාගත හැකිවුණා. “දැන් පල්ලිය ඇරලා ඉක්මනින් වහනවා. පිට පළාත්වල මිනිස්සු කොළඹට එන්න බයයි. ඒ නිසා 50%ක් විතර බිස්නස් එක අඩුවෙලා.” ප්‍රසන්න පෙනුමකින් යුතු වන මොහොමඞ් හිල්මි එසේ පැවසුවේ තව දවස් 2-3කින් තත්ත්වය හොඳ අතට හැරතැයි තිබුණු හිතේ විශ්වාසයෙන්. මොහොමඞ් හිල්මිගේ කඩෙන් ෆලූඩා බොන්නට රුවිනි හා ඇගේ මිතුරියක් පැමිණ සිටියා. “අපි අද අත්‍යවශ්‍යම කාරණයකටයි ගෙදරින් එළියට බැස්සේ. හරිම දෙගිඩියාවෙන් ඉන්නේ. ආරක්ෂාව ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ.”

ඉස්සර ත්‍රීවිලර් රස්සාවෙන් කිසි ගාණක් නැතිව දවසට රු. 2000-3000 ඉපැයූ සල්මන් කියන්නේ අද ඔහුගේ බිස්නස් බිංදුවට වැටී ඇති බවයි. “බඩගින්න නිසා මිනිස්සු එක වේලක්, දෙවේලක් නොකා ඉඳීවි. ඒත් ගෙවල්වල ළමයි අඬන්න ගත්තම මිනිස්සු බලන්නෙ හොරකම් කරලා හරි ළමයින්ගෙ බඩගින්න නිවන්නයි. ඒක තමයි දැන් තියන තත්ත්වෙ. රජයෙන් සහන අවශ්‍ය නැහැ. ඒත් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම රජයේ වගකීමක්.”

පිටකොටුවේ සුන්දර සංචාරක ආකර්ෂණයක් වූ ‘ප්ලෝටිං මාර්කට්’ අද හිස්වූ පාරදීසයකි. එහි ඇති විශාලතම බොජුන් හල වන ටේස්ටි හි ඇති මේස 30 ගාණටම මිනිස්සු 4-5ක් වත් නැති තරම්ය. ඉරිදා හවස් වරුවක එවැනි දෙයක් වීම අදහාගත නොහැකි තරම්ය. ඊට ඔබ්බෙන් ඇති විමලගිරි හෝටලයද හිස්ය. බිස්නස් 50%කින් වැටී ඇත. වෙනදා රෑ 12-1 වෙනකල් කොත්තු බිස්නස් එක තිබුණත් මේ දවස් කිහිපයේම රෑ 6-7 වෙනකොට කඬේ වහනවා. සමහර දවසට කඬේ වැඩ කරන අපි දෙන්නෙක්ගෙ පඩිය ගන්නවත් ලාච්චුව පිරෙන්නේ නැහැ. වෙනදට ඉරිදා ගමේ ඉඳන් කොළඹ එන අය, මැනිං මාර්කට් එකේමයි, බජාර් එකේ අය වගේම බස්වල අයගෙනුත් ෆ්ලෝටිං මාර්කට් එක පිරී ගොස් තිබුණු බව යෝගා පැවසීය.

දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ද රසගන්වන නැවතුමක් වන කොටුවේ පිලාවුස් එකේ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක්, එක් විදේශිකයෙක් හා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හැරෙන්නට වෙන කිසිවෙක් සිටියේ නැත. වෙනදා මෙතන ටේබල් එකක් හොයා ගන්න කොපමණ කට්ටයක් කෑ යුතුදැයි දැනගැනීමට සති අන්තය වනතුරුම ඉන්නට අවශ්‍ය නැත. “අද අපිට බිස්නස් 80%ක් අඩුවෙලා. පොඩි පිරිසකගෙන් වෙච්ච මේ සිද්ධියට අපි 100%ක් විරුදධයි. ඒ අයට ආයෙත් මුකුත් කරන්න බැරි තැනට රට ගේන්න ඕනේ. අපේ පිටරට කස්ටමර්ස්ලා 99%ක් දැන් නැහැ. දැනට එන කීපදෙනෙක් වීසා ලැබෙනකල් ලංකාවෙ ඉන්න අය. අවුරුදු 20ක් තිස්සේ අපි මේ කඬේ කරනවා. කවදාවත් මේ වගේ දෙයක් වුණේ නැහැ.” පිලාවුස් කළමනාකරු සිනාමුසු මුහුණෙන් වුණත් පැවසුවේ දවස් ගණනක් හැඬිය යුතු සත්‍යයකි.

කේසර් වීදියේ සාමාන්‍ය ස්පෙයාර් පාර්ට් පදික වෙළෙන්දකු වන මුස්ලිම් ව්‍යාපාරිකයාගේ බිස්නස් 70%ක් බැස ඇත. දවසේ පඩි ලබන සේවකයන්ට සියතින් පඩි ගෙවන්නට සිදුවී ඇත. යෝක්වීදියේ විදේශ මුදල් ගනුදෙනු කරන රෆීක්ගේ ආයතනයට දින 4කට පසු අද පළමු විදේශිකයා පැමිණ ඇත. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගෙන් යුතු පාරිභෝගික පදනමක් තිබුණත් අද ආයතනයේ වියදම් ආවරණය කර ගැනීමට පවා නොහැකි ලෙස ආදායම 80%ක් පමණ පහළ බැස ඇති අතර, ඔවුන්ටම අයත් යාබද තේ කොළ විකිණීම් කරන ස්ථානයේ 10%කවත් අලෙවියක් නැත. “වෙනදා වීක් එන්ඞ් එකේ උදේට යෝක් ස්ටී්‍රට් එකේ, ඩච් හොස්පිට්ල් එක පැත්තේ ෆොරිනර්ස්ලා පිරිලා. රෑ වෙද්දී ඒක ලංකාවේ පොහොසත් තරුණ තරුණියන්ගෙන් පිරිලා. හරියට පිටරට ස්ටී්‍රට් එකක් වගේ.

වැල්ලවත්තේ පෙරිම්බනාදන් බංගසාල වීදියේ අලි අක්බර්ගේ ප්‍රවාහන සේවයෙන් කාත්තන්කුඩි, මඩකළපුව, ඕටමාවඩි වැනි ප්‍රදේශවලට සිසිල් බීම ප්‍රවාහනය කරයි. “මේ ප්‍රශ්නය නිසා 80%ක් විතර බිස්නස් පාඩුයි. ගම්වල අය කොළඹට නොඑන නිසා. අක්බර් එක්ක අපි අවුරුදු 20ක් තිස්සේ බිස්නස් කරන්නේ විශ්වාසෙට. හෙටත් එහෙමයි.”

පෙරිඅන්නන් ගැන අක්බර් මෙහෙම කිව්වා. “අපි බඩු ඩිලිවරි කරනවා කොළඹ ඉඳන් කාත්තන්කුඩිවලට. මගේ ගමත් කාත්තන්කුඩි. එහෙම කිව්වම කොළඹ කවුරුත් අපි ගැන හිතන්නෙ ISIS කියලා. පොලිසිය ඇවිත් අපේ ඩිලිවරි කරන බඩු තොග චෙක් කළා. මෙයා (පෙරිම්බනාදන් පෙන්වමින්) විශ්වාස නිසා අපි පැක් කරලා තියන බඩුවල ඇතුළ බලන්නෙ නැහැ. හදිසියෙවත් පොලිසිය චෙක් කරද්දි පැකේජ් කඩන්න කියලා ඒවා ඇතුළෙ වෙන දෙයක් තිබුණා නම් අපි මාට්ටු. ඇත්තටම මේක විශ්වාසය නිසා කරන බිස්නස් එකක්.”
රතු පල්ලිය අසල බෞද්ධ කොඩි විකුණන මුස්ලිම් ව්‍යාපාරිකයා මෙසේ කීවේය. “මෙවර වෙසක් උත්සවයක් නොපවත්වන නිසා බෞද්ධ කොඩි විකිණෙන්නේ නැහැ. අපි පහුගිය මාර්තු මැද ඉඳලා මේකට ලෑස්ති වුණා. ඒත් බිස්නස් එක 5%-10%වත් නැහැ. මේ තත්ත්වය නෝමල් වෙන්න තව මාසයක් දෙකක්වත් යාවි. අවුරුද්දට ගමේ ගිය ගෝලයො තාම ආවෙත් නැහැ. අපි කෝල් කළාම ඒ අය කියන්නේ ග්‍රාමසේවක සහතික, පොලිස් සහතික අරගෙන කොළඹ එන්න කල්යනව කියලා. අපේ කස්ටර්මස්ලා වැඩිපුරම ඉන්නෙ ගාල්ල, මාතර, අනුරාධපුර පැතිවල.” රතු පල්ලිය අසල තරමක් ලොකුවට බෞද්ධ කොඩි ව්‍යාපාරය කරන ඔහු අසලම සිටි ප්‍රසන්න පෙනුමැති පුද්ගලයා පෙන්වමින් කීවේ “මෙයා අපේ මැනේජර්. ක්‍රිස්තියානි කෙනෙක්.”

කතෝලිකයකු වන මැනේජර් කීවේ “මම දැන් අවුරුදු 50කට කිට්ටුවෙන්න මම මේගොල්ලො එක්ක වැඩ. මුලින්ම මෙයාගෙ තාත්තට, පස්සෙ මෙයා එක්ක, දැන් මෙයාගෙ පුතා එක්ක වැඩ කරනවා. පරම්පරා 3ක් වැඩ කරපු මේ අයව අපිට විශ්වාසයි.” යනුවෙනි.
පිටකොටුව මැනිං පොදු වෙළෙඳ පොළේ ගේට්ටු 4ක් තිබුණත් මා ඇතුළු වූ එකුදු ගේට්ටුවකින්වත් කිසිදු පරීක්ෂාවකට ලක් නොවී ඇතුළුවීමට මට හැකියාව ලැබුණා. මාර්කට් එක ඇතුළෙ පොලිසිය හිටියත්, පෞද්ගලික ආරාවුල් හා හොරකම් සමතයට පත්කිරීමට හැරෙන්නට ඒ පොලිසියෙන් මාර්කට් එකේ ආරක්ෂාව ගැන ඊට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බව වෙළෙඳුන් බොහෝ දෙනාගේ අදහසයි.

දළු දාන අවිශ්වාසය මැද නොබිඳෙන විශ්වාසය

රතු පල්ලිය අසල දෙළුම් විකුණන ක්‍රිස්තු භක්තික මෝගන් කලකට පෙර පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම නිසා බේරා ගත්තේ ඔහුගේ සහෝදර පදික වෙළෙන්දන්ය. ඒ අතර මුස්ලිම්වරුද සිටිති. රෑ 11-12 ඇප දෙන්නට පවා ඔවුන් මැලි නොවුණි. එවන් අතීතයක් හිමි මිනිසුන්ගෙන් ඔබට දැන් මුස්ලිම්වරු සැකදැයි ඇසීමට පවා ලැජ්ජා විය යුතුය.

“පාස්කු කියන්නේ අපේ හොඳම දවස. ඒත් මේ දේවල් සිද්ධ වුණා. අපි මැරුණනම් කමක් නැහැ. පොඩි දරුවො මැරුණු එක දුකයි. පසුගිය සතියෙ අපි ඉබ්බගෙ වත්තෙ අය එකතුවෙලා මැරුණු අය වෙනුවෙන් ආබාධිත, නැතිබැරි අයට දානයක් දුන්නා. එක මකුණෙක් කෑව කියල ඔක්කොම මකුණෙ මරන්න බැහැ. අපි ආගම්කාරයො. අනෙක් අයගෙන් පළිගන්නේ නැහැ.” ක්‍රිස්තු භක්තික මර්ලින් නෝනා කීවාය.
“දෙමළ, මුස්ලම්, සිංහල හැමෝම අතරේ අන්තවාදී මිනිස්සු ඉන්නවා. සිංහල අයට ජේවීපී හිටියා, දෙමළ අයට එල්ටීටීඊ. දැන් මුස්ලිම් අයට IS ඉන්නවා.” ඒක තමයි මට කියන්න තියෙන්නෙ. මිනිස්සු කා අතිනුත් කාලෙන් කාලෙට සිදුවන වැරදි මතක් කර දුන්නේ වැල්ලවත්තේ පෙරිම්බනාදන්ය.

එල්ටීටීඊ කාලෙ අපි ගැනත් හැමෝම සැකෙන් බැලුවා. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් කරන දෙයකට හැමෝම වැරදිකරුවන් නොවන බව සරීටාහි කළමනාකරණ අධ්‍යක්ෂ පෙරි අන්නන් පැවසුවේ ව්‍යසන අවස්ථාවකදී අප හැමදෙනා තුළින්ම මතුවෙන සහ කම්පනය යළි මතක් කර දෙමිනි.

“මාර්කට් එක ඇතුළේ කවුරුත් එකයි. පුත්තලමේ බීට්, මාළු මිරිස් මිල අඩුයි. නුවරඑළිය පැත්තෙන් එන බඩු ගන්න ඒ අය අපි ළඟට එනවා. අපි දෙගොල්ලන්ට දෙගොල්ලො නැතුව බැහැ. අපි වැරදි දේට වැරදියි කියනවා. කීපදෙනෙක් කළ දේට හැමෝම පළි නැහැ.” මැනිං මාර්කට් එකේ ජනක ගුරුතලාවේ ශාන්ත තෝමස් පාසලේ ඉගෙන ගන්නා කාලය තුරාවට මුස්ලිම් යාළුවන් සමග සිටි නිසා නෝම්බි කාලවලට ඔවුන්ට කෑම නොලැබුණත් ඔවුන්ට හොරෙන් කෑම ගෙන දුන් බවත් ඔහුට අමතක නැත.
“මුස්ලිම් හැමෝම ත්‍රස්තවාදියො නෙවෙයි. හැබැයි ත්‍රස්තවාදියො හැමෝම මුස්ලිම්. අපි හැම දෙනාටම තලන්න හොඳ නැහැ. අපි අන්තවාදියො නොවේ. ඒත් ආර්ථිකය සමව බෙදාගන්න ඕනේ.” රතු පල්ලිය අසල ෆලුඩා කඩයේදී අපිට හමුවුණු රුවිනි එහෙම කියද්දී, “අපි මුස්ලිම් කඩයක සිංහල අය වැඩ කරනවා දැකල නැහැ. හැබැයි සිංහල කඩවල මුස්ලිම් අය වැඩ කරනවා. ඒගොල්ලත් වෙනස් වෙන්න ඕනේ. අපි විතරක් වෙනස් වුණා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.” ඒ නුගේගොඩ චතුරංගගේ අදහසයි.

අතුරු කථා

කරුණු මෙසේ සිදුවන විට ග්‍රෑන්ඞ්පාස් ස්ටේඩියම්ගම (සිරිමුතු උයන, කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි) තට්ටු නිවාස කුලියට ගෙන ජීවත් වන මුස්ලිම් ජනයාට ආරක්ෂක හේතු මත ඉවත් වන්නැයි එහි ඇති නාගරික සංවර්ධන අධිකාරි (UD Office) කාර්යාලයෙන් දැනුම් දී ඇත. කේසර් වීදියේදී අපට හමුවූ එක් කුලී පදිංචිකරුවෙකු පැවසුවේ තමන් නිවෙස් අයිතිකරුවන්ට ලබාදී ඇති ලක්ෂ 10ක පමණ අත්තිකාරම් මුදල මේ හදිසියේ ලබාගන්නේ කෙසේද? මෙවන් මොහොතක හදිසියේම මුස්ලිම් අපිට කොළඹ ගෙවල් කුලියට දෙන්නේ කවුද කියාය. එපමණකින් නොනැවතී පසුගිය මැයි 3 වැනිදා උදේ 9 සිට රාත්‍රී 10 පමණ වන තෙක් ස්ටේඩියම් ගමේ ජල සැපයුම නැවැත්වීමට නගර සභාව කටයුතු කර ඇති අතර, ග්‍රෑන්ඞ්පාස් ඕඅයිසීවරයා දෙවරක් එම ජල කප්පාදුව ඉවත් කරන්නැයි ඉල්ලන තුරු ඔවුන් එසේ කර නැත. නැවත එදිනම රාත්‍රී 10ට පමණ ජල සැපයුම ලැබුණත් එය නැවත අළුයම 1ට පමණ නවතා දැමීම නිසා පැපොල රෝගය වැලඳී සිටි ඔහුගේ දියණියගේ කුඩා දරුවා අතිශයින් අපහසුතාවට පත්වී ඇත.

මේ සියලු කලබගෑනි අතර අප්‍රේල් 21 වැනි ඉරිදාට කලින් ඉරු දින අනුරාධපුර ක්‍රිස්තියානි පල්ලියකට කළ ප්‍රහාරය මාධ්‍ය ආයතන සියල්ලට අමතක ගොස් ඇති බවත්, ක්‍රිස්තියානි භක්තිකයන් Palm Sundry  නමින් හඳුන්වන එම දිනයේ එසේ වූයේ ඇයිදැයි තවමත් කිසිවකු සොයා බලා නැති බවත්, ඉරුදින ප්‍රධාන ධාරාවේ පුවත්පතක් හැරෙන්නට අන් කවර මාධ්‍යයකින්වත් ඒ පැළිබඳ කතා නොකළේ මන්දැයි නලීම් අසයි.

සමාජ මාධ්‍ය තුළ තරුණයන් වෛරී ප්‍රකාශ සිදුකිරීම අද ඊයේ වන දෙයක් නොවූවත් වසර 2000න් පසුව ඉපැදුණු යුද පීඩාවක් නොවිඳි පරම්පරාවක්, ෆේක් එකවුන්ට් එකක් හරහා මුහුණු පොතට පැමිණ මෙලෙස ජාතිවාදය අවුස්සන්නේ ඇයිද යන්න තමාට ඇති බරපතළ ගැටලුවක් බව ජාඇළ රොමේෂ් පවසයි.

මේ සියල්ලම අතර රටේ එක් පිරිසක් මේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරද්දී, 225 එපා යැයි කියමින් නව නායකයකු සොයන ජනමතයක්ද ඇතිව තිබේ. හිටපු නායකයන් ගැන කතා කරන්නටවත්, ඔවුන් අතින් වූ මහා පාවාදීම නිසා ඔවුන්ගේ මුහුණු බැලීමටවත් බොහෝ දෙනෙක් අකමැති බව අප කළ විමසුමේදී කියැවිණි.