පාසල් වල ආරක්ෂාව තහවුරුද?

දිනී ජයසේකර

අප්‍රේල් හය

2019 අප්‍රේල් 21 දින සිදු වූ ව්‍යවසනයත් සමග රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපහසුතාවක් ඇති විය. මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ක්ෂණයෙන් දෙවෙනිවාරයේ පාසල් පටන් ගැනීම වරින් වර දින නියමයක් නොමැතිව කල් දැමීය. පසුව දවස් පහළොවක පමණ කාලයක් ගත වී යත්ම 2019 මැයි 06වැනිදා හය ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණි දක්වා පාසල් ආරම්භ කෙරිණි. අනෙකුත් ශ්‍රේණි දොළොස් වනදා දක්වා කල් තැබිණ. මේ වන විටත් පාසල්වල සිසුන්ගේ පැමිණීම සුබදායක මට්ටමකින් සිදු නොවන බව කිව යුතුය. එයට ප්‍රධානම හේතුව ආරක්ෂක ගැටලු බව පැහැදිලිය. පාසලේ, පල්ලියේ, පන්සලේ, දේවාලේ සහ ඉස්පිරිතාලේ යන සියලු පොදු ස්ථාන වල ආරක්ෂාව තහවුරු කිරීම රජය සතු කාර්යභාරයකි. එහිදී යම් තැනක ආරක්ෂාව සම්බන්ධව ගැටලුවක් ඇත්නම් එම ස්ථාන වෙත පිවිසීමේ මාර්ග අවහිර කිරීමට ඔවුන් සැදී පැහැදී සිටිය යුතුය. එහෙත් ඒ පිළිබඳ කිසිවකු තුළ විශ්වාසයක් නොවීය. මාපියන් වුවද තමන්ගේ දරුවා මරු කටට යැවීමට කැමැත්තක් දක්වන්නේ ද නැත. මේ තත්ත්වය තුළ තම දරුවන් පාසල වෙත යැවීමේ බියක් ඔවුන් වෙතින් ඉස්මතු වීම සාධාරණය.

මැයි හයවන දින කොළඹ පාසල් අවට ආරක්ෂාව තර කර තිබුණද එදින කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල සිසුන් සිටියේ බොහොම සුළු පිරිසකි. උදාහරණයක් වශයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 21 දෙනෙක්ද කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන් 31 දෙනෙක්ද කොළඹ නාලන්ද විද්‍යාලයේ සිසුන් 40 දෙනෙක්ද රාජකීය විiාලයේ 70ක් ද වශයෙනි. අනෙකුත් පාසල්වල මීටත් වඩා අඩු සිසුන් පිරිසක්ද වාර්තා විය. එහිදී පාසලේ සිසුන්ගෙන් සියයට එකක පිරිසක් පාසල වෙත වාර්තා කර තිබිණි. ඉතිරි සියයට අනූනවයම නිවෙස් වලය.
මාපියන්ට තමන්ගේ දරුවන්ව පැකිලීමකින් තොරව පාසල් යැවීම සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් රජය විසින් සකසා තිබිය යුතුය. එවැනි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා නොමැතිව ඕනෑම කෙනක් තමන්ගේ දරුවා පාසල වෙත යැවීමට මැළි වන්නේය. එහෙත් එසේ යවන ලෙස පවසන්නේ රටේ වගකිවයුතු නිළධාරීන්ය. ඔවුන් එසේ යවන ලෙස දෙමාපියන්ට උපදෙස් ලබා දුන්නද ඔවුන්, ඔවුන්ගේ දරුවන් පාසල් යවන්නේ නැත. රටේ ආරක්ෂාව තහවුරු වී නොමැති අවස්ථාවක දරුවන්ව පාසල් යැවීම සුදුසු නැතැයි සිතීම හේතුවෙන් ඔවුන් ඔවුන්ගේ දරුවන්ව නිවසේ තබාගන්නවා විය හැකිය. එහිදී ඔවුන් අනෙකා කෙරෙහි දක්වන මානව දයාව ප්‍රශ්නකාරීය.

එක එක විදියට

රටේ පාසල් පද්ධතිය සම්බන්ධව නිදහස් තීරණ ගැනීමේ හැකියාවක් රජයට ඇති බව ඔවුන් අපට පුන පුනා ඔවුන්ගේ ක්‍රියාවන් තුළින් ඒත්තු ගන්වන්නේය. එහිදී දෙමාපියන් එම තීරණ නොසලකා හැර තිබෙන බවක් පෙනේ. රට පුරා ඇති වූ ආරක්ෂක හේතුන් මත දින පහළොවක කාලයක් පුරා දෙවැනිවාරයේ පාසල් ආරම්භය සිදු නොවුණද මැයි මස හයවන දින නැවත පාසල් වාරය ආරම්භ වීම තුළ ඇත්තේ කුකුසකි. එහිදී රජයේ පාසල් මැයි මස හයවන දින ආරම්භ කිරීම සඳහා විධිවිධාන සැපයීමත් කතෝලික පෞද්ගලික පාසල් (අධාර ලබන) දින නියමයක් නොමැතිව කල් දැමීමට විධිවිධාන සැපයීමත් යන කරුණු දෙක ඔස්සේ මතු වන්නේ නිදහස් අධ්‍යාපනය ලබන සිසුන් නොසලකා ක්‍රියා කැරෙන බවද?

පැටවීම

සාමාන්‍ය ජාතික පාසලක දරුවන් 5000කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබති. එක පන්ති කාමරයක සාමාන්‍යයෙන් 35 – 45ත් අතර සංඛ්‍යාවක් ඇතුළත් වෙති. පන්ති කාමරයේ දිග පළල අනුව එහි සිටින සිසුන් සංඛ්‍යාවගේ අධ්‍යාපන, ශරීර අපහසුතා සහ ආරක්ෂාව සම්බන්ධව ප්‍රධාන වශයෙන් ගැටලු ඇති වේ. විශේෂයෙන්ම රටේ හදිසි අවස්ථාවක දරුවන් 5000කට අධික සංඛ්‍යාවක් සිටින පාසලක ආරක්ෂාව සම්බන්ධව වඩාත් සැළකිලිමත් විය යුතුය. සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිසුන්ගේ මානසික සුවය, සිසුන්ගේ ආරක්ෂාව සහ ශාරීරික අපහසුතා සම්බන්ධව සොයා බැලීම පන්ති භාර ගුරුතුමිය සතු කාර්යයක් බව අප එදා සිට දන්නා කරුණකි. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය සිසුන් 5000ක් ඉගෙනුම ලබන පාසලක විදුහල්පතිට අමතරව ගුරුවරුන් අවම 150ක් සේවයේ යෙදෙති. එහිදී රටේ ආරක්ෂාව රටේ ප්‍රධාන පුරවැසියා දරන්නා සේ පාසලේ සිසුන්ගේ ආරක්ෂාව විදුහල්පතිවරයා මුලිකව ගුරුවරුන් අතර සමානව බෙදී යයි. එහෙත් රටේ ඇතිවී ඇති හදිසි අවස්ථා තත්ත්වයකදී රටේ ප්‍රධාන පුරවැසියාට කළ නොහැකි දේ 5000කට අධික සිසුන් පිරිසක් සිටින පාසලක තනි විදුහල්පතිවරයෙකුට කළ හැකිද යන්න ගැටලුවකි.

ලාංකීය අධ්‍යාපනය තුළ දරුවන්ව පන්ති කාමරයක කොටු කර ඔවුන්ට පැය හයක අධ්‍යාපනයක් ලබා දීම කාලයක සිට සිදු වන්නකි. මෑතකදී රටේ සත්ත්ව හිංසනය ගැන මහා ඉහළින් කතා කැරිණි. වගා හානි සිදු කරන සතුන් මරණයට පත් කිරීමට අවසරයක් නැති බවට වන සත්ව ප්‍රේමීහු හඬ නැගූහ. සතුන්ගේ ජීවිත ගැන බොහෝ සේ කම්පා වූහ. එහෙත් තම දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට ඇති වන මානසික පීඩනය සම්බන්ධව හඬ නගන්නට කිසිවෙක් නොවුහ. ඒවාට අනුකම්පා කරන්නට ද කෙනකු නොවීය.

අකිලගේ විහිළු

පාසල් සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදවීමට මුලිකත්වය ලබා දිය යුත්තේ අධ්‍යාපන අමාත්‍යංශය විසිනි. එහෙත් 2019 අප්‍රේල් 21 දින සිදු වූ සිදු වීමත් සමග අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විහිළු තොගයක් කරළියට ගෙන ආවේය. ප්‍රථමයෙන් ඔහු පැවසුවේ පාසලේ සියලු සිසුන්ගේ වගකීම් විදුහල්පතිවරයා දැරිය යුතු බවයි. රටේ රාජ්‍ය නායකයකුට ව්‍යසනයක් ගැන දැනුම් දීමක් සිදු කර තිබියදීත් ඒ ගැන කරුණු සොයා නොබැලීම හේතුවෙන් ජීවිත දෙසිය පනහකට අධික පිරිසකට ඔවුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වී රටේ ආරක්ෂාව වලපල්ලට ඇද දැම්මේ වගකිව යුත්තන්ම නොවේද? ඔවුන්ගේ ජීවිත සුරක්ෂා කරගැනීමට රජයට හැකියාවක් නොලැබිණ. එහෙත් දරුවන්ට සුරක්ෂා රක්ෂණය ඇතැයි අකිල කියයි. රටේ වගකීමවත් රාජ්‍ය නායකයාට දැරීමට අපහසු මොහොතක 5000කට අධික සිසුන් සිටින පාසලක ආරක්ෂාව තහවුරු කළ හැක්කේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක් මතු වේ. ඒ විහිළුවෙන් පසුව ඔහු විදුහල්පතිගේ වගකීම් වලින් කොටසක් ගුරුවරුන්ටද පවරා අත පිහදා ගන්නට සුදානම් වූයේය. නැවත වරක් ඔහු පාසලේ සිසුන්ගේ ආරක්ෂාව සඳහා ශිෂ්‍ය භටයන් සහ බාල දක්ෂ සිසුන් සිටිනවා යැයි පැවසීය. ඒ සියලු විහිළු කතා අහවර කර එක පොලිස් නිළධාරියෙක් හෝ දෙදෙනෙක් ආරක්ෂාවට යොදවනවා යැයි පවසා ජෝකර් කෙනකු බවට පත් වීමට ඔහු ක්‍රියා කරනු පෙනුණි.

කවුද පලි

මිට වසර දහයකට ඉහතදී ඇතිව තිබූ ත්‍රස්තවාදය හේතුවෙන් පාසල් වල ආරක්ෂාව සඳහා දෙමාපිය ආරක්ෂක කමිටුවක් පත් කර තිබුණි. එහිදී පාසලේ සිසුන් 5000ක් සිටිනවානම් දවසකට සිසුන් තිස් දෙනකුගේ දෙමාපියන් අදාළ දින ආරක්ෂක සේවයේ යෙදිය යුතුය. එදින පාසලේ ආරක්ෂාව ඔවුන් සතු විය. එහෙත් ඒ කාල සීමාව තුළ තිබූ ආර්ථික රටාවත් මේ කාල සීමාව තුළ පවතින ආර්ථික රටාවත් හේතුවෙන් දෙමාපියන්ට එවැනි කාලයක් වෙන් කළ හැකිද?

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට අවශ්‍ය වන්නේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව ඔවුන්ගේම බෙල්ලේ එල්ලා අතපිස දමා ගැනීමටය. අපට රජයෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක. මන්ද යත් 2019 අප්‍රේල් 21 දින සිදු වූ ව්‍යසනය කල්තියා දැනුම් දී තිබූ ප්‍රහාර මාලවක් බව පුන පුනා සිහියට නගා ගත යුතු වන නිසාය. ජීවිතක්ෂයට පත් වූ කිසිවකුගේ වගකීම වගකිව යුත්තෝ නොදරන අතර ජීවත්ව සිටිනවුන්ගේද වගකීම ඔවුන් නොදරන බවට මේ කතා තුළින් සියල්ලන්ටම වැටහී යනු ඇත.

පාසල් ආරක්ෂාවට පොදු වැඩපිළිවෙළක් ඕනෑ
ලංකා ගුරු සංගමයේ ලේකම්
ජෝසප් ස්ටාලින්

2019 අප්‍රේල් 21වන දින සිදු වූ ව්‍යවසනයත් සමග වත්මන් රජය රටේ ඉදිරි ආරක්ෂාව තහවුරු කිරීමේ අර්බුදයක පැටලුණා. මේ හේතුවෙන් පාසල් දෙවැනිවාරයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමේ පමාවක් සිදු කළ නමුත් 2019 මැයි 6වන දින සිට පාසල් වල හය ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණි දක්වා අධ්‍යාපන කටයුතු සිදු කිරීමට රජය විසින් තීරණයක් ගත්තා. පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණි මැයි 13 වනදාත්, උසස් අධ්‍යාපන ආයතන සහ කතෝලික පෞද්ගලික පාසල් යළි දැනුම්දීමක් සිදු කරනතාක් වසා තැබෙන බවත් රජය විසින් පැවසුවා. එහෙත් විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් නොමැති නිසා දරුවන්ව පාසලට එවන්න කිසිම දෙමාපියෙක් කැමති වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා පාසල් ආරම්භ කළ දින සිට මේ වන තෙක් සිසුන්ගේ පැමිණීමේ පසුබැස්මක් තියෙනවා. අනිත් කාරණය රජයේ පාසල් පටන් ගන්නත් කතෝලික පෞද්ගලික පාසල් දැනුම් දෙනතුරු වහන්නත් හැකියාවක් තියෙනවද? මේ හැම පාසලකම ඉන්නේ දරුවෝ නෙවෙයිද?

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව විහිළු කර කර බෝල පාස් කරනවා. ඔවුන්ගේ ආරක්ෂාවට විදුහල්පති වගකිව යුතුයි. ගුරුවරුන් වගකිව යුතුයි. දෙමාපියන් වගකිව යුතුයි. පාසලක් කියන්නේ අනාගතයතයක්. අනාගතයට හානියක් සිදු වීම තුළින් රටේ වර්තමානය සේම අනාගතයද කබලෙන් ලිපට වැටෙන්නාක් වැනියි. මේ නිසා අපි කියන්නේ පාසල් සියල්ල පොදු එකඟතාවයකට ඇවිල්ල විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් යෝජනා කළ යුතුයි කියලා. එතනින් එහාට වැඩ කටයුතු සාමාන්‍යකරණය කරගත හැකියි කියන තැනයි අපි ඉන්නේ.