වැල්ලම්පිටිය OIC ට වැඩ වරදින ලකුණු

නිමල් අබේසිංහ

කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඞ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඞ්ට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මුස්ලිම් ජාතිකයින් 09 දෙනාට ඇප ලැබීම පිළිබඳ සිදු කරන විමර්ශනයේදී වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මෙම තඹ කර්මාන්ත ශාලාවේදී 10 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති වැල්ලම්පිටිය පොලිසිය ඉන් අධිකරණය ඉදිරිපත් කර ඇත්තේ 9 දෙනෙකි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට පැමිණ නැති අතර සහභාගි කරවා ඇත්තේ සාමාන්‍ය කොස්තාපල්වරයෙකි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මෙහිදී පොලිස් කොස්තාපල්වරයාගෙන් සැකකරුවන් ඉදිරිපත් කරනුයේ කුමන නීතිය යටතේද යන්න විමසා ඇති අතර එවිට පොලිස් කොස්තාපල්වරයා ඒ පිළිබඳව තීරණයක් ගෙන නැති බව අධිකරණයේදී පැවසීම නිසා සැකකරුවන්ට ඇප ලැබී ඇති බවද කියවේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ප්‍රදේශය භාර පොලිස් අධිකාරි විදුර ජයසිංහගෙන් හා වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විදානපතිරණගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද පොලිසියේ ආරංචි මාර්ග කියයි. එකී ආරංචි මාර්ග අනුව පොලිස් අධිකාරිවරයා සිද්ධියට අදාළව උපදෙස් ලබාදුන් බව පවසා තිබුණද ඒ ගැන පසුවිපරම් නොකිරීම වරදක් බවද කියවේ. මෙවන් අවස්ථා වලදී පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට සහභාගී විය යුතු මුත් ඔහු එසේ නොකර පොලිස් කොස්තාපල්වරයකු අධිකරණයට යැවීමද වරදක් බව කියවේ.

එසේම අදාළ බී වාර්තාව අසම්පූර්ණ එකක් බැවින් ඒ ගැන සඳහන් කර විධිමත් බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උපදෙස් දෙන්නට මහෙස්ත්‍රාත්වරයාට ඉඩක් ඇති මුත් මහෙස්ත්‍රාත්වරයා එසේ නොකිරීමද ප්‍රශ්නකාරී බව පොලිසියේ ඇතැම්හු පවසති. ■