පන්සල් චිත්‍ර පරිවර්තන යුගයක් නියෝජනය කරනවා

ප්‍රවීණ චිත්‍ර ශිල්පී
පියරත්න හේවාබටගේ

එන්. ලංකා මාගම්මන

පියරත්න හේවාබටගේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් කලාවේ සිට නූතන චිත්‍ර කලාව දක්වා වූ තත් විෂය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. මේ පිළිසඳරට චිත්‍ර කලාවේ පරිවර්තන අවධිය විෂය කරගනී.

ප්‍රාග් ඓතිහාසික සිතුවම් කලාවේ අපූර්ව නිර්මාණයන් බිහිවීමේදී ගුහා චිත්‍රවලට හිමිවන ස්ථානය සුවිශේෂියි නේද?

දඩයම් යුගයේ මිනිසුන් ජීවත් වූයේ මාංශ භක්ෂණයෙනි. සතෙකු දඩයම් කිරීමෙන් පසුව ඉන් වැගිරෙන රුධිරය දෙඅතේ තැවරීමෙන් පසු එය ගල්ගුහාවල, ගස්වල ඇතිල්ලීමෙන් හැදෙන හැඩතල දැකීමෙන් ඔවුන් සතුටට පත්වුණා. එසේම ප්‍රාථමික රංගන විලාසයක් හා ගායනාවක් වැනි යම් යම් ශබ්ද පිටකරමින් ඔවුන් එහි ආශ්වාදයක් වින්දා. මෙසේ වර්ධනය වූ හැඩතල මනුෂ්‍යයාගේ විකාශනයත් සමග රූප බවට පරිවර්තනය වෙනවා. අප්‍රිකාවේ, සිම්බාබ්වේ ඇතුළු බොහෝ රටවල ගුහා තුළ ජීවත් වූ මුල් පුරවැසියන් මෙම ප්‍රාථමික හැඩ ආශ්‍රිතව සිතුවම් ඇඳ ඇති බවට නූතනයේදී සිදුවෙන පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙවා. උතුරු ස්පාඤ්ඤයේ අල්ටමීරා ගුහාව, ප්‍රංශයේ ලැස්කෝ ගුහාව ප්‍රාග්ඓතිහාසික සිතුවම් කලාවේ අපූර්ව නිර්මාණය බවට ලොව පතළ වුණා. ප්‍රංශයේ ලැස්කෝ ගුහා චිත්‍ර අතර ඇති අශ්වරූප ගෝන රූප මේ අතරින් පැහැදිලිව දකින්නට පුළුවන් වෙනවා. එසේම එහි චිත්‍රණය කර ඇති සිංහයකුට සමාන රූපයද විශේෂිත වෙනවා. මෙම ගුහාවේ චිත්‍ර බොහෝ විට සතුන් එම ගුහාවට ගෙන්වා ගැනීම උදෙසා උපායශීලී ලෙස භාවිත කොට ඇති බවටද මතයක් පවතිනවා. ඇල්ටමීරා හා ලැස්කෝ යන ගුහාවල සත්ව රූප සිතුවම් වර්ණ ගැන්වීම සඳහා රුධිරය භාවිත කර ඇති බවට මතයක් පවතිනවා. ඇල්ටමීරාහි අඩි 40ක් පමණ දිග ගුහාවේ ඇතුළත බිත්තිවල සත්ව රූප 25ක් පමණ ඇඳ තිබෙනවා. සත්ව රූප අතර බහුලව ඇඳ ඇත්තේ බයිසන් ගවයාගේ විවිධ ඉරියව්වලින් සමන්විත රූපයයි. හිස උඩට හරවා ශබ්ද නගා තප්පුලන බයිසන් ගවයාගේ රූපය බොහෝ ඉතිහාසඥයන්ගේ හා කලා විචාරකයන්ගේ අවධානයට යොමුවී තිබෙනවා. තප්පුලන හෙවත් කෑගසන අවස්ථාවේ හිස, පාද, බඩ ආදියේ ඉරියව් ඉතා තාත්විකව නිරූපණය කර තිබීම මෙම ආදි මානවයාගේ නිරීක්ෂණ ශක්තියේ හා චිත්‍ර හැඩගැන්වීමේ කලාවේ නිපුණ බව පෙන්වීමට උදාහරණයක් වෙනවා.

ලංකාවේ දැනට ඉතිරිවෙලා තියෙන අතීත සිතුවම් අතරින් පැරණිම සිතුවම් ඇත්තේ සීගිරියෙයි. සීගිරිය අමතක කරලා ලාංකීය සිතුවම් කලාව ගැන අපට කතා කරන්න හැකියාවක් ඇත්තේ නැහැ නේද?

පස්වන සියවසේ අන්තිම භාගයේ සීගිරිය ඉදිවූවා යැයි යම් මතයක් තියෙනවා. තවත් මතයක් තියෙනවා. ඊට පූර්ව යුගයේ සිටම ඉදිවී තිබූ ස්ථානයක් හැටියටත්. කෙසේ වෙතත් සීගිරිය කියන්නේම විශ්ව කර්ම නිර්මාණයක්. විවිධාකාර ඉරියව්වලින් යුත් නාරි රූ සිතුවම් කොට ඇත්තේ ඉනෙන් ඉහළ කොටසයි. පැතලි වර්ණවලට වඩා අවශ්‍ය තැන්වල ගෝලාකාරබව පෙන්වීමට සරල අඳුරු කිරීමක් කර තිබෙනවා. මල්වට්ටියක් අතින් ගත් නාරිරුවේ තොල්, ඇස්වටය, කම්මුලේ එක පැත්තක් මඳක් අඳුරුපැහැ ගැන්වීම තුළින් එහි ත්‍රිමාණ ලක්ෂණය පෙන්වීමට උත්සාහ ගෙන තිබෙනවා. බොහෝ ස්ත්‍රී රූප අලංකාර හිස් පළඳනා, රන් ආභරණ ආදියෙන් විසිතුරු කොට තිබීම දැකිය හැකියි.
ශාරීරික අංගලක්ෂණ නිරූපණයේදී නාසය, ඇස්, අත් ආදියේ ස්වභාවික හැඩතලවලින් නිමවා තිබීම සුවිශේෂී වෙනවා. මෙහි ඇති බොහොමයක් පින්සල් පාරවල් ක්ෂණිකව යොදා ඇති බව පෙනෙනවා. තෙත මතු පිට මත සිතුවම් ඇඳීමෙන් සිතුවමේ වර්ණ මතුපිට පෘෂ්ඨය තුළට උරාගෙන තිබෙනවා. එසේ උරාගත් වර්ණයේ පැවැත්ම ස්ථිර වෙනවා.

සීගිරියේ සිතුවම් ඇඳලා තියෙන්නේ ළඟාවිය නොහැකි ලෙසට කෙළින් නගින පරුවත ඇළයකයි. පබ්බාර තැනක තියෙන නිසා අව්වෙන් වැස්සෙන් බේරුණු රූප විසි දෙකක් පමණ දැනට දකින්න පුළුවන්. පුරාතනයේ මෙබඳු රූප සිය ගණනක් සීගිරි පර්වතයේ බස්නාහිර පැත්තේ කටාරයෙන් පහළත් කැටපත් පවුරෙන් ඉහළත් තිබුණු බවට ඒකාන්තයෙන්ම කියන්න පුළුවන් සාධක හමුවෙලා තියෙනවා. බොහෝ දුරට සීගිරි චිත්‍ර සම්ප්‍රදායට සමීපතම ස්ථානයක් වශයෙන් 7 වන සියවසේ නිර්මාණය වූ මහනුවර හිඳගල ඇඳ ඇති දේව රූප හැඳින්විය හැකියි. එහි ඇති රූපවල ඇස්, නාසය සහ ආභරණ ඇඳ ඇති ආකාරය සීගිරි සිතුවම්වලට සමීපවෙනවා. අනුරාධපුර කාලයේ අවසාන භාගයේ සිතුවම් කොට ඇති කොටියාගල ලෙන් සිතුවම් එතරම් පැහැදිලි නොවුණද එහි ඇති මානව රූපය සුවිශේෂී ඇගැයීමකට ලක්වන්නක්. මෙහි කිළිටි වී ගිය කහපාට හා දුඹුරු පැහැය මෙන්ම එහි ඇති මල් රටාවට සමාන සැරසිලි සීගිරියේ සිතුවම් අතරද දැකිය හැකියි.

සීගිරියේ සිට පොළොන්නරුව දක්වා රූප ගැළපීමේ සමාන ලක්ෂණ දකින්න නැති වුවත් පොළොන්නරුවේ තිවංක පිළිමයේ දකුණුපස බිත්තියේ ඇඳ ඇති ආකාරයක් දැකගත හැකි වෙනවා. මෙහි ඇති චුල්ලපදුම ජාතකය නිරූපණයේදී රූප සකස් කිරීමේ ක්‍රමවේදය තුළ වෙනසක් දැකිය හැකියි. මෙහි මූලික ලක්ෂණයවන්නේ තිරස් අතට විහිදෙන පසුබිමක් මත සිතුවම් හැසිරවීමයි. දඹදෙණිය, කුරුණෑගල, නුවර, දඹුල්ල සහ ගාල්ල, මාතර, හම්බන්තොට දක්වා වූ පන්සල්වල අඳින ලද චිත්‍රවල දැකිය හැක්කේ 12 වන ශතවර්ෂයේදී පොළොන්නරුවේ තිවංක පිළිමගෙයින් නිර්මාණය වූ සිතුවම් කලාවේ විකාශනයක්. එහෙත් වර්ණ යෙදීම හා රූප නිර්මාණයේදී නුවර යුගයේ චිත්‍රවලට වඩා රූපයක ඇති ත්‍රිමාණ බව දැකිය හැකිවෙනවා. එසේම නුවර සිතුවම්වල දැකිය හැකි ඍජු හැඩතලවලට වඩා මිනිස් රුවක් ඇඳීමේදී ශරීර අවයවයන්වල ස්වභාවික ගති ලක්ෂණ පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි රූපවල දැකිය හැකි වෙනවා. මෙම වර්ණ ගැන්වීම් බොහෝ දුරට සමානවන්නේ සීගිරියේ චිත්‍ර කලාව වර්ණ ගන්වා තියෙන ආකාරයටයි. කහපාට මිශ්‍ර දුඹුරු පැහැය, කහපාට මිශ්‍ර වූ රතු පැහැය, අඳුරු නිල් පැහැය, අඳුරු කොළ පැහැය. මේ අතරින් කැපී පෙනෙනවා. මෙම සම්ප්‍රදායේ මූලික ලක්ෂණයක් වන්නේ රේඛා භාවිතයෙන් සිතුවම් ඇඳීමයි. ඇත්තෙන්ම ඉන්දියාවේ අජන්තා ලෙන් සිතුවම්වල දැකිය හැකි රූප ලක්ෂණ සීගිරියේ සිට පොළොන්නරුව දක්වා කාලපරාසයක් දක්වා විහිදී ඇති බව දැකිය හැකිවෙනවා. මීට අමතරව වරකාපොළ දොරවක් කන්ද ස්ථානයේ පුරා විද්‍යා කැණීම්වලදී එහි ගල මතුපිට අලියෙක් සහ පැටවකුගේ හා මත්ස්‍යයන් කීපදෙනකුගේ රූපසටහන් දැකිය හැකි වෙනවා. මොනරාගල කුරුලන්ගල පර්වත මුදුනේ ඇති සිතුවම්වලින් පක්ෂීන් නිරූපණය වන බව සඳහන්. මෙහි වර්ණ ලෙස සුදු හා දුඹුරු වර්ණ භාවිත කර තිබෙනවා. මෙය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් හැටියට පුරා විද්‍යාත්මකව මෙතෙක් තහවුරු කර නොමැති ස්ථානයක්. මීට අමතරව කොටියාගල ලෙන් චිත්‍ර අතර අලියෙක් පිට නැගි ඇත්ගොව්වෙක්ගේ සිතුවම අලංකාර සිතුවමක්. නොමේරූ හැඩතල වුවද එම සිතුවම් ආකර්ෂණීයයි. මේවා වැදි චිත්‍ර ලෙසත්, ඇතැමුන් හඳුන්වා දෙනවා. කිළිටි කහ පැහැයට පර්වත පසුබිම මත සුදු පැහැයෙන් සිතුවම් නිර්මාණය කර තියෙනවා. මේ අනුව බලනවිට ලාංකීය සිතුවම් සම්ප්‍රදාය තුළ මගසලකුණු ලෙස සීගිරිය, පුල්ලිගොඩ, දිඹුලාගල, ගෝනගල, පොළොන්නරුව, හිඳගල හා මහියංගණය ගැන අපට හැදෑරිය හැකිවෙනවා.

පන්සල් චිත්‍ර ගැන කතා කරන විට සෝලියස් මෙන්ඩිස්, ජෝර්ජ් කිට්, සෝමබන්දු විද්‍යාපති ගැන කතා නොකරම බැහැ නේද?

කැලණි විහාරයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ සෝලියස් මෙන්ඩිස්. ඔහු විසින් චිත්‍රණය කරන ලද මහවිල පන්සල, සුනෙර කුසුමාරාමය, මැදපොළ රජමහ විහාරය, මල්වාන විහාරය ආදිය ප්‍රමුඛ වෙනවා. ඔහුගේ චිත්‍ර කලාවට තිබූ කුසලතාව තේරුම් ගත් කැලණිය විහාරයේ භාරකාර මණ්ඩලය ඔහුව ඉන්දියවේ ශාන්ති නිකේතනයට චිත්‍ර කලාව ශාස්ත්‍රාලීය වශයෙන් ඉගෙන ගැනීමට යොමු කරනවා. මොහු අජන්තා සිතුවම්වලින්ද, හිඳගල, කොටියාගල, පොළොන්නරුව සහ ලාංකීය සම්ප්‍රදායික සිතුවම් අධ්‍යයනයේ ප්‍රතිඵලයන් තම චිත්‍ර කලාවට යහමින් යොදා ගන්නවා. ඔහුගේ චිත්‍ර කලාව ලෙස ඉතා සුපරීක්ෂාවෙන් ගති ලක්ෂණ බලන විට මෙය මනාව විද්‍යමාන වෙනවා. ඒ වගේම ජෝර්ට් කිට් සම්භාව්‍ය ගණයේ සිත්තරෙක්. ඔහුගේ සිතුවම් කලාව පෙරදිග මෙන්ම අපරදිග දක්වා විහිදී තිබෙනවා. ඔහුගේ චිත්‍ර ස්වාභාවිකවාදය සහ සමීප වෙන අතරම ලොව පතළ චිත්‍ර ශිල්පී පෝල් ගෝගෑන් (Paul Gauguin) රූප හැසිරවීමේ කලාවට සමානකමක් දක්වනවා. 1927දී ඔහු විසින් නිර්මාණය කර ඇති නාගේශ්වර සිතුවම අධ්‍යයනයේදී එය මැනවින් පසක් වෙනවා. ඔහු 1932දී අඳින ලද Women Resting  සිතුවම ඔහුගේ නිර්මාණ ගමන් මග වෙනස් වී ඇති ආකාරය පෙන්නුම් කරනවා. 1935දී අඳින ලද Mother and Child සිතුවම ඔහුගේ අපූරු හැඩතල හැසිරවීමේ නිර්මාණයකි. අප්‍රිකාව සහ යුරෝපය හරහා වර්ධනය වූ නිර්මාණාත්මක සිතුවම් කලාව (Abstract) ගති ලක්ෂණ මෙම සිතුවම් මගින් හඳුනාගත හැකියි. ඔහු විසින් බොරැල්ලේ ගෝතමී විහාරයේ ඇඳ ඇති සිතුවම් අග්‍රගණයේලා සැලකිය හැකි අගනා කෞතුකාගාරයක්. එහි ඇඳි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, මාර පරාජය, සසර කලකිරීම, ගිහිගෙයින් නික්ම යෑම අපූර්ව කලා කෘති ලෙස හැඳින්විය හැකියි. ඔහුගේ ගෝතමී විහාරයේ ඇඳි සිතුවම් පොළොන්නරුවේ තිවංක පිළිමගේ දේවාරාධනාව ඇඳි සිතුවම් සම්ප්‍රදාය නියෝජනය කරන බව පෙන්නුම් කරනවා. මීට අමතරව සෝමබන්දු විද්‍යාපති ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ චිත්‍ර ශිල්පී නන්දලාල් බෝස්, රාමක්‍රිෂ්ණන් කර්වේගෙන් චිත්‍ර කලාව ශාස්ත්‍රානුකූලව ඉගෙන ගත් කෙනෙක්. ඔහුගේ සිතුවම්වල දක්නට ලැබෙන අපූර්වත්වය වන්නේ රූප රචනයේදී ඔහු යොදා ගනු ලබන රිද්මයයි. ඔහුගේ සිතුවම්වල ස්වාභාවික හැඩතල සේ ම නාට්‍යමය රිද්මයානුකූල බව එම චිත්‍ර නිරීක්ෂණයේදී අපට පෙනී යනවා. ඔහුගේ සිතුවම් කලාව පෞරාණික සහ නවීන සිතුවම් කලාවේ සංකලනයක් වශයෙන් හඳුන්වාදීමට හැකිවෙනවා. 15 සියවසේ සිට 18 වන සියවස දක්වා පැවතුණු පැතලි වර්ණ පිළිවෙළ වෙනස් වුවද වස්තුවේ ගෝලාකාරබව, එළිය, අඳුර රිද්මයානුකූලව වස්තුව පුරා ගලාගෙන එන ලෙස වර්ණ ගැන්වීමට සෝමබන්දු සමත්කමත් දක්වා ඇති බව පෙනෙනවා. එය ග්‍රීසිය, යුරෝපය මුල් කරගත් ස්වභාවිකවාදයට වඩා ඉන් එහා ගිය මනෝමය සුන්දරත්වයකින් යුක්ත වෙනවා. ඇතැම් සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පීන් වස්තු රචනයේදී බොහෝවිට පුරුදු රූප විසිතුරු කොට නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වන අතර සිරුර රඳා සිටින ඇටසැකිල්ල පිළිබඳ උනන්දුවක් නොදක්වනවා. එහෙත් සෝමබන්දුගේ සිතුවම් යම්කිසි රිද්මයානුකූල රූප රචනය තුළ වුවද ශරීරය රඳා සිටින ඇටසැකිල්ල  (Skelton) පිළිබඳ මනා අවබෝධයකින් යුතුව එම රූප රචනා කර ඇති බව පෙනෙනවා. සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, ශිල්ප හැදෑරීම, සිදුහත් කුමරුගේ සුකුමාල ජීවිතය, නාටිකාංගනාවන්ගේ රැඟුම් විවාහ මංගල්‍යය, සසර කලකිරීම යන සිතුවම්වල පෙරදිග සිතුවම් කලාවේ ලක්ෂණ මතු වුවද යුරෝපීය සම්භාව්‍ය කලා මාධ්‍යයට එහා ගිය අපූර්වතම ශෛලියකින් සිතුවම් නිර්මිත වී තිබීම දැකිය හැකිවෙනවා. ඔහුගේ සිතුවම්වලින් නිර්මිත වූ බෙල්ලන්විල රජමහ විහාරය, තුම්මුල්ලේ පිහිටා ඇති සමාධි බුද්ධ ප්‍රතිමාව තුළ ඇති අපූර්වතම ලක්ෂණ හැදෑරීමට වටිනා කලා නිර්මාණයන් වේ.

ලංකාවේ චිත්‍ර කලාවේ වර්ණ රංජනය පිළිබඳ ඔබගේ අදහස මොකක්ද?

ලංකාවේ චිත්‍ර කලාවේ අතීත වර්ණ රංජනය (සායම් පෙවීම) සඳහා උපයෝගී කරගෙන ඇත්තේ ස්වභාවික ගස්වල මුල්, පොතු, කොළ පස් වර්ග භාවිත කරගත් සායම් නිර්මාණය කරගැනීමෙන්. සීගිරියේ ඇති මනස්කාන්ත ස්ත්‍රී රූපවල වර්ණ සංයෝජනය පවා ස්වභාවික ගස්වල මුල්, පොතු කොළ හා පස් වර්ග මිශ්‍ර කර නිර්මාණය කරගන්නා ලද සායම් තුළින් සිදුවූවක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී තිබෙනවා. ඒ වගේම පුරාතන පන්සල් චිත්‍ර නිර්මාණයේදී පවා සායම් නිර්මාණය කරගැනීමට මෙම ක්‍රමවේදය භාවිත කර ඇති බවක් දැකිය හැකි වෙනවා. පසුකාලයකදී එනම් 1834දී පමණ කාසි චෙට්ටිගේ වාර්තාවකට අනුව ලංකාවේ බහුල වශයෙන් සායම් පෙවීම සඳහා ඡායා (Oldenlandia umbellata) පතඟි (Caesalpina sappan) සහ කොස්  (Artocarpus interifolia) වැනි ගස් වර්ගවල මුල්, කොළ, පොතු භාවිත කරන බව සඳහන් වෙනවා. ඔහුගේ වාර්තාවලට අනුව මන්නාරම ප්‍රදේශයේ ‘සායම්කරුවන්ගේ වීදිය’ තිබුණු බවක් සඳහන් වෙනවා. සායම් නිෂ්පාදනය කිරීම වෘත්තීය කරගත් කුලයන් පවා තිබුණු බවටද සඳහන් වෙනවා. මීට අමතරව කොලෝනියල් පර්ජන් ඔන්ඩට්ජි 1853දී පමණ ලංකා ලිතෙහි උපලේඛනයක ලන්දේසි වාර්තාවක කොටසක් උපුටා දක්වනවා. එහි සඳහන් වන්නේ ‘මෙහි වර්ණය අඳුරු මඳ රත් පැහැයෙන් මුසු නිල හා රත එක්වුණු වර්ණයයි. (දම් පැහැය) එය බොහෝ කාලයක් දීප්තිමත්ව පවතිනවා. මෙයින් සෑහෙන ප්‍රමාණයක් ඉන්දියාවටද යවන ලද බව සඳහන් වෙනවා. මෙම වර්ණ රංජනය පිළිබඳ පරිපූර්ණ විස්තරය 1906. Ceylon National Review  හි එස්. කතිරේසු විසින් සඳහන් කර තියෙනවා.

මීට අමතරව රෙදි සායම් කිරීමද ඉතිහාසයේ සිටම ලාංකිකයන් අතර පැවත එන්නක්. වස්ත්‍ර රංජනය පිළිබඳ මෙම ක්‍රමය පැරණි කන්ද උඩරට කොඩි සහ දේවල තිර රෙදි වර්ණවත් කිරීම සඳහා යොදාගෙන තියෙනවා. මීට අමතර පුරාතනයේ සිටම පැවත එන පැදුරු විවීම සඳහා ඉදිකොළ, හැවන්, පන්, පතඟි යොදා වර්ණවත් කරගැනීම සිදුකර ඇති බවද පතපොතෙහි සඳහන් වෙනවා. මීට අමතරව පන් වර්ග සහ තල් කොළ කළු පැහැ ගැන්වීම සඳහා පුරාතනයේ සිට පැවති සම්මත ක්‍රමය වන්නේ කුඹුරුවල මඩෙහි ඒවා වැළලීමයි. කඩොල් ගසින් පිළියෙළ කොට ගත් සායම් කළුතර ප්‍රදේශයේ ජනතාව දැල්, රුවල්, ලණු, වර්ණවත්ව සායම් කිරීම සඳහා යොදාගෙන තියෙනවා. භික්ෂූන්ගේ චීවර සඳහා උපයෝගී කරගන්නා කහපඬු කොස් අරටුවෙන් පිළියෙළ කරගනු ලැබූ බව සඳහන්. මේ ආකාරයෙන් බලන විට ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ වර්ණ රංජනය පිළිබඳ කලාව නොදියුණු මට්ටමකින් පැවති බවද කිව යුතුමයි.