රිරී යක්කු

ශාන්ති දිසානායක

ඇළ අද්දර විසල් රුක සිය සියක් අතු ඉති අග සුපිපි කුඩා මල් බිම හෙළා මවන ලද මල් පලස වියළි පතින්ද දිරා ගිය අතු ඉති, නටු, බටු, ආදියෙන්ද හැඩ වී තිබිණ. නවමු බව වියැකී යමින් තිබුණේ වී නමුදු රත් පැහැයෙන් තවම අලංකෘත වූ මල් පෙති නොපාගා එක් පියවරක් හෝ පෙරට යා නොහැක. උදා හිරු කිරණ ඉතා සුමුදු ලෙස මල් පෙති පමණක් නොව පොළොව මතුපිට සෑම සියලු දෙයම සිප වැළඳ ගන්නා උදාසන සිව්මංසල වෙත ඇවිද යන දරුවන් වෙතින් ඇස් අහකට ගන්නට මම අපොහොසත් වීමි. අපමණ සොම්නසින්ද ලෙන්ගතුකමින්ද හිනැහෙන දොඩන දරුවන්, රන්වන් හිරු රැසින් නැහැවෙමින් ඒ තුඟු තුර යට ජීවයද අනාගතයද මුළු මහත් මනුෂ්‍යත්වයේ මහිමයද මොනවට ගෙනහැර පාන සෙයකි.

මනුෂ්‍ය දරුවන් විනා ඔවුන් කවර ජාතීන්ට අයත් වූවන් දැයි අමුතුවෙන් පිරික්සා බැලිය යුතුද? මුස්ලිම් මිතුරා මැදිකරගත් සිංහල කොල්ලන් මේ විපරීත සමයේදී සොදුරු හා ආදරණීය දසුනකි.

ජාතීන් අනුව වර්ග කිරීමකින් තොරව සෙසු ජාතීන්ට අයත් සිසු සිසුවියන් සමග අධ්‍යාපනය ලබන්නට හැකි වීම වාසනාවක් නොවීද? ජාතී, ආගම් පමණක් නොව ලිංගය අනුවද පාසල් බෙදා වෙන් කිරීම ජාතීන් අතර එකමුතු බවට හා සහජීවනයට බාධා පමුණුවන බව වෙසෙසින් කිව යුතු නැත. එකම ජාතිය පවා කුල ගොත් වශයෙන් හෝ බෙදා වෙන් කරන්නටම දත කන අප ලෙයින් කඳුලින් යළි යළි නැහැවෙමින් වුව සත්‍ය වටහ ගන්නට වෑයම් නොකරමු. එහෙත් එය වූ කලී උදා හිරු සේම සුපැහැදිලි පරම සත්‍යයකි. කොතෙකුත් බෙදීම් වෙන් වී සිටියද මිනිස් වග එකම මිනිස් පවුලක් යන්න තරම් සැබෑවක් තවත් වේද? මිනිසා වටහා නොගන්නා වටහා ගන්නට වෑයම් නොකරන මේ සත්‍ය සගවා තබන්නට වගබලා ගන්නා දේශපාලනඥයන්ද ආගමික පූජකවරුන්ද මනුෂ්‍යත්වය කියා දෙමින් බලයට හා සුඛ විහරණයට ලොල් වෙති.

ඉකුත් විසිඑක් වන දින පුපුරා ගියේ බෝම්බ හා මිනිස් ජීවිත පමණක් නොවේ. දයාව, කරුණාව හා ආදරය යනාදී සකල මනුෂ්‍ය ගුණ ධර්මද පුපුරා විනාශ වී ගිය අතර අවිශ්වාසය සැකය සහ භීතිය ඒ රුදුරු බෝම්බ සහ සුණු විසුණුව ගිය මිනිස් ශරීර මතින් උත්පාදනය නොවීද? වෙර වෑයමින් හුස්ම ඉහළ පහළ හෙළමින් සිටි රටකට සිදු විය හැකි විශාලම විපත සිදු වී හමාරය.

සහජීවනය, නීතියේ අධිපත්‍යය යුක්තිය සාධාරණත්වය අපේක්ෂා කළ ඒ උදාර අරමුණු වෙනුවෙන් තම ශකිත් ප්‍රමාණයෙන් අරගල කළ මිනිසුන්ගේ හදවත්ද පුපුරා ගියා නිසැකය.

ලෝකයම කම්පාවෙන් සලිත කළ ඒ අමානුෂික ප්‍රහාර දාමය අබියස අපේ දේශපාලනඥයින්ගේ ප්‍රතිචාර කෙබදු වී දැයි තවදුරටත් රහසක් නොවේ. නිරායුධ පුරවැසියන් බිහිසුණු ලෙස මරණයට පත් වන කළ පවා ඔවුන් වෙතින් බල ලෝභය මදකට වුව තුනී වී නොගිය බව නම් කොයි කාටත් දැක ගන්නට පිළිවන් විය. සිය නග්න සහ ක්‍රෑර, ආත්මාර්තකාමී, ජඩ ස්වභාවය මුළුමනින්ම විහිදා පාමින් මේ රටේ ඡන්දදායකයා සිය වටිනා ඡන්දය පාවිච්චි කළේ කවර නම් මිනිසුන්ට දැයි යළි මෙනෙහි කරන්නට හා පසුතැවෙන්නට ඉඩප්‍රස්තා සැලසීම සම්බන්ධයෙන් සියලු පුරවැසියන් ඒ ධවලවස්ත්‍රධාරීන්හට කෘතඥ විය යුතුය. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු ඇගවීම් ඕනෑවටත් වඩා ලැබී තිබියදී පවා සිය බල අරගලය පසෙක තබා රට වෙනුවෙන් අහිංසක ජනතාව වෙනුවෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් මේ වර්ගයේ අමන හා ආත්මාර්තකාමි නායකයන් මේ ලෝකයේ කවර රටකට හෝ උරුම නොවීම හා අපටම පමණක් ඒ අභාග්‍යයට කර ගසන්නට සිදුවීම මිනිස් බෝම්බ සිය දහසකටත් වඩා කුරිරුය. වේදනාකාරිය. සිය බැතිමතුන් දෙවියන් අබියස ඝාතනය වී තිබියදීත් අගරදගුරු රංජිත් මැල්කම් කාදිනල්තුමා වෛරී ප්‍රකාශයක් මගින් කිතුණු සිත් අවුළුවාලන්නට කටයුතු නොකිරීම පැසසිය යුතුය. ජාතීන් අතර යුද්ධයකට වඩා ආගම් අතර යුද්ධයක් බිහිසුණු වන වග අමුතුවෙන් කිව යුතු නැත. බෞද්ධ භික්ෂුවද බුදුන් වහන්සේ දේශනා කළ අහිංසාව හා කරුණාව මෛත්‍රිය යළි සිහිපත් කළ යුතු වන්නේ වෛරය විනාශය මිසක ජීවිතය ගැන නොවන බැවිනි.

සංහිදියාව ද ජාතීන් අතර ලබැදියාවද ඇති කරන්නට නොමඳ ඉඩ ප්‍රස්තා ඇතත් එකී උත්කෘෂ්ඨ කාර්යභාරය නොසලකා හළ අපේ ආගමික නායකයන්ට පමණක් නොව පොදුවේ මෙරට අධ්‍යාපනයද මේ මහා විනාශයේ වගඋත්තරකරුවන් වෙති. පාසලට පෙර අපි අපේ ගෙදරට එබෙමු. සෙසු ජන වර්ග දෙස සහෝදරත්වයෙන් බලන්නට සියලු භේද පරයා මනුෂ්‍ය බව උස්ව නැගෙන බව අපේ දරුවාට අවබෝධ කර දෙන්නට අපි වෑයම් කළෙමුද?

අපේ පැරණි සිංහල චිත්‍රපටයට දුෂ්ඨයා නැතුවම බැරුවා වාගේ අපටද දුෂ්ඨයකු නැතුව ඉහළට ගත් හුස්ම පහළට හෙළා ගන්නට බැරිය. ඉතිං එහෙව් එකේ තිස් අවුරුදු යුද්ධයක ලේ කඳුලු වියැළි යන්නට පෙරාතුව තවත් දුෂ්ඨයකු සම්මුඛ කර දුන් ජාතිවාදී නඩයට දේශපාලනඥයාගේ අපමණ ආශීර්වාදය ලැබුණු වගද නොරහසකි. සාමාන්‍යයෙන් ලෝකයේ වෙනත් රටවල සියලු ජාතීන් සතු ශක්‍යතා එක් රැස් කරගනිමින් ඔවුනොවුන්ගේ බුද්ධි මහිමය උපයෝගි කර ගනිමින් රටේ දියුණුවට වෙහෙසන අතර අපි එකිනෙකාට ඇගිල්ල දිගු කරගනිමින් අප පෙළන අනේක ගැටලු කන්දරාව එලෙසම තිබියදී තව තවත් ගැටලු එක්රැස් කර ගනිමු. බලය විනා රටේ යහපත නොතකන දේශපාලනඥයන් වෙර වෑයමෙන් නඩත්තු කරමින් දුකෙන් දුකට පත්වෙමින් දරු පැටවුන්ද අහිමි කර ගන්නෙමු.

තිස් අවුරුදු යුද්ධයට ඒ දමිළ තරුණයා මුල පුරණ කළ ඔහු වටා සිටියේ විස්සකට නොවැඩි සුළු පිරිසකි. දශක ගණනාවක් දික් නොගස්සා මුලිනුපුටා දැමිය හැකිව තිබූ සංවිධානයක ජීවයද විනාශකාරී බවද උපරිමයෙන් ලබා දෙන්නේ අසූතුනේ කළු ජූලියයි. දේශප්‍රේමයෙන් ඔද වැඩි මහ ජාතිය සිය සහෝදර ජන වර්ගයා තලා පෙලා දැමූ තරම කොතෙක් දැයි කියන්නේ නම් දකුණේ විසූ දෙමළ ජනතාවෙන් කොටසක් උතුරට පලාගොස් එල් ටී ටී ඊ සංවිධානය සමග එක් වූ අතර තවත් පිරිසක් විදේශගතව මුදලින් උපකාර කළහ. අවසානයේදී අප අත්පත් කරගත් විනාශය ඇදහිව නොහැකි තරම් විශාල නොවීද? උතුරේ සේම දකුණේ අරගලයන්ටද හේතු පාදක වූ කරුණු කාරණා රාශියක් තිබෙන අතර එපමණ විනාශයකට පසුද අප තවමත් එකී හේතු සාධක අරබයා විසඳුම් ලබා දෙන්නට අපොහොසත් වී සිටින්නෙමු. එබන්දකට අවංක වෑයමක්ද නොදරන්නෙමු. රටේ ධනය මංකොල්ල කන සූර චෞරයන් රංචුවක් මාරුවෙන් මාරුවට බලයේ වඩා හිදුවමින් මෙලොව දුක කෙබදු වුවද පරලොව සුගතිය ගැනම මෙනෙහි කරමින් ආගමික රාජ්‍යක අසාර්ථකත්වයම අත් දකින්නෙමු.

අපේ අබිනව සතුරා ලෙස මුස්ලිම් මිනිසා තෝරාගෙන කොතෙකුත් කොනිත්තා, අඩන්තේට්ටම් කර කායික වාචික හිංසනය උපරිමයෙන් මුදා හළෙමු. සිංහල ජාතීන්ගේ රැකවලා වනසේය. රජය අඳව ගොළුව බිහිරිව ගියේය. නීතිය ක්‍රියාත්මක කොට යුක්තිය හා සාධාරණත්වය ආරක්ෂා කර ගනිමින් සහජීවනය උදෙසා ආරක්ෂා කර වෑයම් නොකළ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණ. තරුණ මුස්ලිම් ප්‍රජාව අන්තවාදය කරා තල්ලු කරන්නට අප ඉෂ්ඨ සිද්ධ කළ කාර්යභාරය කොතරම් දැයි අලුත්ගම මෙන්ම බොදුබල සේනා හා මහසෝන් බලකාය බදු සංවිධාන හඬගා නොපවසයිද? මේ අමානුසික ඝාතනයන්ගෙන් පසු අපේ ජාතිවාදී නඩයට නව ප්‍රාණයක්ද සවියක්ද ලැබී තිබේ. අභිනව සතුරා පිළිබඳව ඔවුන් මවා පෑ සියලු සැක සංකා සනාථ වූ බවට ඔප් වඩන්නේ කුරිරු කාලකණ්ණි ප්‍රීතියක්ද භුක්ති විඳිමිනි. යමක් සිදු වූ පසු කණගාටු වීමෙන් හෝ ප්‍රීති වීමෙන් ඵලක් නොවන බවද එකී සිදුවීම වටහා ගනිමින් යළි එබන්දක් ඇති වීමේ ඉඩකඩ වලක්වාගන්නට ක්‍රියා කළ යුතු බවද හඟිනවා විනා ‘ඕක තමයි අපි කිව්වේ’ යි උඩ පැනීම ඥානාන්විත නොවේ. උතුරේ අරගලය මෙන් මේ බිමට සීමා නොවූ ආගමික ත්‍රස්තවාදයක් අබියස අප අතිශයින් ප්‍රවේසම්සහගත හා ඥානාන්විතව ක්‍රියා කළ යුතුය.

ගැලරිය පිනවන බාල ළමා කතා නොකියා අපේ දේශපානඥයා හා ආගමික සංස්ථාවන් මඳකට නිෂ්ශබ්ද වන්නේ නම් අගනේය. මන්ද යත් ජාත්‍යන්තරය තෙක් අක්මුල් විහිඳුණු ආගමික අන්තවාදයක බිහිසුනු බව අවබෝධ කර ගන්නට අපේ අර කුප්‍රකට දෙසිය විසිපස් දෙනාගෙන් කී දෙනෙක් නම් සමත් වනු ඇත්දැයි සැක සහිත බැවිනි. කරුණාව හා මෛත්‍රිය වෙනුවට බුද්ධ දර්ශනයෙන් තබා බුද්ධ චරිතයෙන් පවා අංශු මාත්‍රයක යමක් උකහා නොගත් අපේ ආගමික සංස්ථාවද පෙරටු කරගත් අන්තවාදී කොටස් මුස්ලීම් අන්තවාදීන් වෙත ඇගිල්ල දිගු කරන්නට පෙර තම තමන් වෙත ඇත්තා වූ අන්තවාදය අතහැර මනුෂ්‍යත්වය පිළිබඳව ගැඹුරු හැඟීමක් ජනිත කරගත යුතුව තිබේ. ශුද්ධ වූ සිංහල දේශයක් පිළිබඳව සිහින දකින්නා සෙසු ජාතීන්ට බලවත් අන්තරායකි. තම තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් අනෙකා සතුරා ලෙස නොදකිමින් ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව අප සියලු දෙනා පෙළන ගැටලු විසඳා ගනිමින් අපේ අනාගත පරපුරට හෝ ලෙයින් කඳුළින් අපවිත්‍ර නොවන බිමක පය ගසා ජීවිතය විඳින්නට සවිය ගන්නට ඉඩ හසර සලසා දිය යුතු නැද්ද?

රටක් ලෙස අප මෙතෙක් ආ මඟ දෙස හැරී බැලිය යුතුය. අප ආ මඟ අන්ධකාරයද මේ කඳුළු හා අපමණ මෘත ශරීරද දකින්නට තරම් අප අවංක විය යුතුය. අපේ දේශපාලනඥයා මේසා ජරාජීර්ණ වූයේ ජනතාව සිය තර්ක බුද්ධිය අහිමි කරගත් නිසා නොවන්නේ දැයි පසුතැවිලි විය යුතු නැද්ද?

ජාතීන් අතර සාමය සමගිය පවත්නා දේශද්‍රෝහියෙක් ලෙස නම් කොට ගල් ගසන්නට පෙර සිහි නුවනින් විමසා බලන්නට ඇරයුම් කරමු. සියලු ජාතින් තුළ වෙසෙන අන්තවාදීන් පරාජය නොකොට අපේ දරුවන්ට යහපත් රටක් උරුම කරදිය නොහැකි බව වටහා ගන්නට මහලොකු උගත් කමක් අනවශ්‍යය. බලලෝභයෙන් මඩනා ලද දේශපාලනඥයන් අටවන උගුල්වල ඇද නොවැටී එකම ශ්‍රීලාංකීය ජාතියක් ලෙස අප අරගල කළ යුත්තේ එකිනෙකා මරාගෙන මැරෙන්නට නොවේ. නිදහසින් පසු ගෙවීගිය හැත්තෑ වසරක් මුළුල්ලේ නොවිසඳා පැටව් ගසන්නට ඉඩහළ සැබෑ ජනතා ගැටලු විසඳා ගන්නට බල කළ යුත්තෙමු. හැන්ද තම අතේ තිබූ පමණින් වැඩි වැඩියෙන් බෙදාගන්නට ඉඩ හැර අහක බලාගෙන හිටියා හොඳටම ඇති බව හඟිමු.

රට කරවන ඇත්තන්ගේ පැටිකිරිය මනාකොට මවා පාමින් තැන තැන පැන නැගෙන අවි ආයුධ වුව නීතිය බල්ලාටම ගිය බව විනා අන් කුමක් නම් හඟවන්නේද? සියල්ල මුස්ලිම් අන්තවාදයට බැර කොට අත පිස ගන්නට අපේ දේශපාලනඥාට ඉඩ දිය යුතු නැත. පාතාලය පෝෂණය කරන දේශපාලනඥයා හේතු කොට ගෙන රට එකම අවි ගබඩාවක් බවට පත්ව නැත්දැයි ඊනියා දේශප්‍රේමීන්ගෙන් ඇසිය යුතුය.
පුරවැසියා හට හතර මහා අපායේ පැහි පැහී ඉන්නට ඉඩ කඩ සලස්වා සදෙව් ලොවක සැප විඳින දේශපානඥයාගේ බල ලෝභය උදෙසා රටක් බිල්ලට දිය යුතු නැති බවද, ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සරු බිමක් මෙරට බිහි කළ උදවිය හඳුනාගත යුතු බවද අවධාරණය කරමු. මේ විනාශයට වගකිව යුත්තේ බුද්ධි අංශයන් අඩපන කිරීම බවට චෝදනා එල්ල කළද කවර ක්ෂේත්‍රයක හෝ යම් වරදක්, අපරාධයක් කළ අයෙක් වේ නම් නීතිය ඉදිරියට පැමිණවීමදඳ දඬුවම් ලබා දීමේද අයුත්කියක් හෝ අසාධාරණයක්ද නැත්තේය. සිවුර, ලෝගුව හෝ නිල ඇඳුම ආරක්ෂිත පළිහක් මෙන් භාවිතා කළහොත් රටක නීතියද යුක්තියද වල් වදින බව සැබෑ තතු සඟවා මොර දෙන්නන් කල්පනා නොකරන්නේ මන්ද? සිංහල, දෙමළ, මුස්ලිම් කිනම් ජාතීන්ගේ වුවද පොදු සතුරා දිළිඳු බව ඇතුළු අනේක සමාජ ආර්ථික ගැටලු බව සිහි තබා ගන්නේ නම් ජාතීන් හෝ ආගම් අතර ගැටුම් ආදරණීය වූත් යහපත් වූත් සියල්ල විනාශ කර දමන බවද පසක් වෙනවා නොඅනුමානය.