පාස්කු ප්‍රහාරයේ ආර්ථික කුලීඝාතකයා කියවීම

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ලවෙන දිනය වන විට මම යම් අධ්‍යයන අවශ්‍යතාවක් සඳහා ජෝන් පර්කින්ස්ගේ ‘Confessions of An Economic Hit Man”

හි සිංහල පරිවර්තනය නැවත කියවන්න පටන් අරගෙනයි හිටියේ. පශ්චාත් යටත්විජිතවාදයේ නූතන කූටෝපක්‍රම ගැන ඇඟ කිලිපොළායන හෙළිදරව්වක් සහිත මේ කෘතිය සේපාල විජේසේකර විසින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ ”ආර්ථික කුලීඝාතකයකුගේ පාපෝච්චාරණය” නමින්. පිටු හාරසිය පනහක් පමණ දිග ආර්ථික කුලී ඝාතකයකුගේ පාපොච්චාරණය ඉතාම සෙමෙන්, සාවධානව හැදෑරිය යුතු කෘතියක්.
කොහොම වුණත් කෘතිය කියවා අවසන් කිරීමට සමගාමීව මේ දක්වා ගෙවී ගිය පශ්චාත් පාස්කු ප්‍රහාර දින කිහිපය තුළ ලාංකික සහ ලෝක දේශපාලන අවකාශයේ හැසිරීම තුළත්, ආර්ථික කුලී ඝාතකයකුගේ පාපොච්චාරණය තුළත් විශ්මයසහගත සංගතභාවයක් දැනෙන්න ගත්තා. මේ සටහන ඒ නිසයි.

ආර්ථික කුලී ඝාතකයා හෙළිදරව් වීම

John Perkins විසින් 2004 වර්ෂයේ “Confessions of An Economic Hit Man” පළකරන්නට පෙර ආර්ථික කුලී ඝාතකයා(Economic Hit Man) )ගැන ලෝකයට මෙතරම් ‘ප්‍රත්‍යක්ෂමය අවබෝධයක්’ තිබුණෙ නෑ කියන්න පුළුවන්. එහෙත් අද වන විට ආර්ථික කුලී ඝාතකයා ගැන සෑහෙන තරමින් සාමාන්‍ය අවබෝධය ලබා ගන්න ලෝකයට පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය නිසා. එතනදි විකිලීක්ස්  (WikiLeaks), එඞ්වඞ් ස්නෝඩන්ගේ (Edward Snowden) හෙළිදරව් සහ මෑතකදී සිදුවුණ පැනමා පත්‍රිකා (Panama Papers) ආදිය ඉතා වැදගත්. ආර්ථික කුලී ඝාතකයා හෙළිදරව් කිරීමට තොරතුරු තාක්ෂණය උපයෝගී වුණත්, නූතනම ආර්ථික කුලී ඝාතකයාගේ සංග්‍රාමෝපක්‍රමත් බොහෝවිට තොරතුරු තාක්ෂණය මගින් ම සිදුවන්නක් බව විශේෂයෙන් ස්නෝඩන් හෙළිදරව්වෙන් පැහැදිලි වුණා (විශිෂ්ට සිනමාකරුවකු වන ඔලිවර් ස්ටෝන් විසින් 2016 වර්ෂයේදී Snowden වෘත්තාන්තය අපූරු සිනමා පටයකටත් නැගුවා). ඒ අනුව නූතනම ආර්ථික කුලී ඝාතන ක්‍රමවේදයන් බොහෝවිට පර්කින්ස් කියන උපක්‍රමවලට වඩා තවදුරටත් නවීකරණය වී ඇති බව හිතන්න පුළුවන්. මා මේ ලිපිය ලියන මාගේ ලැප්ටොප් පරිගණකයේත් ඔබ මේ ලිපිය කියවන ස්මාර්ට් දුරකථනයේත් කැමරාව සහ මයික්‍රොෆෝනය අප දෙදෙනාටම හොරෙන් ක්‍රියාත්මක වී කුලී ඝාතකයා විසින් ඔබත් මාත් වුවද මේ මොහොතේත් නිරීක්ෂණය වෙන්න පුළුවන්!

නමුත් John Perkins ඉදිරිපත් කරන හෙළිදරව්ව ඒ සියල්ල අබිබවා යනවා. මොකද ඔහු මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵල බාහිරින් සිට දකින්නෙක් නෙමෙයි. ඔහු Confessions of An Economic Hit Man ලියන්නේ තමන්ම ආර්ථික කුලී ඝාතකයකුව සිට ලබන අත්දැකීම් අනුවයි.
ව්‍යාජ සංඛ්‍යා ලේඛන නිර්මාණය කරමින් ඉන්දුනීසියාවේ විදුලි පද්ධතියක් සුජාතකරණය කිරීම (1971), පැනමා ඇළෙහි අයිතිය එක්සත් ජනපදයෙන් පැනමාවට පවරා ගැනීමට වූ එරට ආකර්ෂණීය පාලකයකු වූ (පසුව හදිසි ගුවන් අනතුරකින් මියයන) ඕමාර් ටොරිජොස්ගේ චින්තනය කළමනාකරණය කිරීමට ආර්ථික කුලී ඝාතකයකු ලෙස කටයුතු කිරීම (1972), සෞදි රජයේ තෙල් ආදායම ඩොලර් බිලියන ගණනින් ඇමරිකාව තුළ ආයෝජනය කරවීමට රාජකීය පවුල එකඟ කරගැනීම හා ඊට ප්‍රති උපකාර ලෙස රාජකීය පවුලේ පැවැත්ම තහවුරු කරදීමට කටයුතු කිරීම (1974), ආදී අතිවිශාල කුලී ඝාතක මෙහෙයුම් රාශියක් ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව, උතුරු ඇමරිකාව සහ මැද පෙරදිග වැනි කලාපවල ඉටු කරන පර්කින්ස් කුලී ඝාතක භූමිකාවේ හිණිපෙත්තටම නගිමින්, එහි නැතිවම බැරි අයෙක් බවට පත් වුවද මේ සියල්ල ගැන කලකිරී අවසන ඉන් ඉවත් වෙනවා. විවිධ බාධාකිරීම් හා තර්ජනයන් මැද්දේ “Confessions of An Economic Hit Man” ලියා පළ කරන්නට හේතු කාරණා වෙන දේ පර්කින්ස් මෙසේ සටහන් තියනවා.

“මේ කතාන්දරය කිව යුතුව තිබේ. අප බිහිසුණු අර්බුදයන්ගෙන් මෙන්ම ඉමහත් වාසිදායක අවස්ථාවන්ගෙන් යුතු යුගයක ජීවත් වෙමු. මේ සුවිශේෂී ආර්ථික කුලී ඝාතකයාගේ කතාන්දරය වූ කලී අප දැන් සිටින තැන කරා ළඟා වූ ආකාරය හා දැන් අපි ගොඩ ආ නොහැකි අර්බුදවලට මුහුණපාන්නේ කවර හේතුවක් නිසාදැයි යන්න පිළිබඳ කතාන්දරයයි. අපගේ අතීත වැරදි තේරුම්ගැනීම මගින් පමණක් අනාගතයේ උදාවන අවස්ථාවන්ගෙන් වාසි සලසාගත හැකිවනු ඇති හෙයින්ද සැප්තැම්බර් 11 වැනිදා සිදුවීම් සිදුවූ පරිද්දෙන්ම ඉරාකය තුළ දෙවෙනි යුද්ධය ආරම්භ කර ඇති හෙයින්ද ත්‍රස්තවාදීන් අතින් 2001 සැප්තැම්බර් 11වැනිදා මියගිය 3000ක ජනතාවට අමතරව සාගින්න හා ඒ සම්බන්ධිත හේතු මත තවත් 24,000ක ජනතාවක් මියගොස් ඇති හෙයින්ද මේ කතාව කිවයුතුව තිබේ. ඇත්තෙන්ම ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ආහාර ලබාගැනීමට නොහැකිවීමෙන් සෑම දිනයක් පාසාම 24,000ක් දෙනා මියයති…”

පර්කින්ස් කුලී ඝාතක භූමිකාව

1945 ජනවාරි 28 නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ ආගමික නැඹුරුවක් සහිත සාමාන්‍ය පවුලක උපන් ජෝන් පර්කින්ස්හට කුලී ඝාතක භූමිකාව ලබාදෙද්දී අදාළ ජාත්‍යන්තර උපදේශක සමාගම (MAIN) ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීම, රස්තියාදුකාරයෙක් ලෙස නිකරුණේ කාලය ගත කිරීම, අපරාධයක් සම්බන්ධයෙන් පොලීසියට බොරු කීම, ස්ත්‍රීන් කෙරේ දැඩි නැඹුරුව ආදී කාරණා සුදුසුකම් ලෙස සලකයි.

‘අපි කුඩා සුවිශේෂී සමාජයක්. ලොව වටා රටවලින් ඩොලර් බිලියන ගණන් වංචා කිරීම වෙනුවෙන් අපිට ගෙවනු ලබනවා – යහමින් ගෙවනු ලබනවා. ඔබට පැවරෙන රාජකාරියට අයත් ප්‍රධාන වගකීම තමයි එක්සත් ජනපද වාණිජ අයිතිවාසීන් ප්‍රවර්ධනය කරන දැවැන්ත ජාලයක කොටස්කරුවන් බවට පත්වීමට ලෝක නායකයින් උනන්දු කරවීම. අවසානයේ ඒ නායකයෝ ණය උගුලක පැටලුණු තත්ත්වයකට පත්වෙනවා. එවිට ඔවුන්ගේ පක්ෂපාතීත්වය සහතික කෙරෙනු ඇත. අප කැමති ඕනෑම මොහොතක ඔවුන් අපගේ දේශපාලන, ආර්ථික හෝ යුධමය අවස්ථා තෘප්ත කරගන්න යොදාගත හැකියි. එහි ප්‍රතිඵල හැටියට ඔවුන් ජනතාවට කාර්මික උද්‍යාන, විදුලිබලාගාර හා ගුවන්තොටුපළවල් ලබාදෙමින් තමන්ගේ දේශපාලන තත්ත්වයන් ශක්තිමත් කරගන්නවා. ඒ අතර එක්සත් ජනපද ඉංජිනේරු සමාගම් වඩවඩාත් පොහොසත් වෙනවා.”

කුලී ඝාතක පුහුණුවේදී ක්ලෝඩින් නම් පුහුණුකාරිය ඔහුට කුලී ඝාතක භූමිකාව සාරාංශ කරන්නේ එහෙම.
ආර්ථික කුලී ඝාතකයකුට ලබදෙන අතිවිශාල වේතනයන් හා පහසුකම් කෙරේ රජය ඍජුව මැදිහත් වෙන්නේ නැත. එය බොහෝ විට සිදු කරනු ලබන්නේ අතිවිශාල සමාගම් හා බැංකු මගිනි. ඒ මගින්, යම් කිසි කුලී ඝාතක භූමිකාවක් සිදුවෙමින් තිබෙන අතර සමාජයට නිරාවරණය වුවහොත් තමන් වගකීම නොගෙන අත පිහදාගැනීමට රජයට හැකිවේ. තම කොල්ලකෑමේ ව්‍යාපෘතිය කෙරේ ආර්ථික කුලී ඝාතකයින් ප්‍රධාන වශයෙන් භාවිත කරන මෙවලම් කිහිපයකි. මූල්‍ය වාර්තා ඇතුළු ව්‍යාජ වාර්තා සහ පුරෝකථන, වංචාසහගත මැතිවරණ, අල්ලස්, කප්පම්, ලිංගික පෙළඹවීම් සහ ඝාතන ඒ අතර වෙනවා.

යම්කිසි ව්‍යාපෘතියක් සිදුකිරීමට කුලී ඝාතකයින් අසමත් වුවහොත් තම ගෝලීය අධිරාජ්‍ය සඳහා වන ඒ අරමුණ කෙසේ හෝ ඉටුකර ගැනීමට ගන්නා පියවරයන් අරිටත් වඩා බියජනක විය හැක. එනම් දෙවනුව කුලී ඝාතකයන් විසින්ිසිඟාලයින්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන CIA  සේවය අදාළ කාර්යය සඳහා යොමු කරයි. අහම්බෙන් හෝ ඔවුන්ද අසමත් වුවහොත් ඍජු හමුදා මැදිහත්වීමක් සිදුකරනවා..!
“(අදාළ රටවලදී). අපි පරහිතකාමය දේශනා කරමු. සාර්ව ආර්ථික විද්‍යාවේ හාස්කම් ගැන දේශන පවත්වමු. අපි ප්‍රසිද්ධියේ එළිමහනේ සැරිසරමු. එසේ නැතහොත් අපගේ භූමිකාව රඟදක්වන ආකාරයටම අප පිළිගනු ලබනවා ඇත. අපි කිසිවිටකත් නීතිවිරෝධී මාර්ගයක පිහිට නොපතමු. මක්නිසාදයත්, පද්ධතියම ගොඩනගනු ලැබ ඇත්තේ කූටෝපායන් මත වීම නිසාත් පද්ධතිය එහි නිර්වචනයෙන් ම නීත්‍යනුකූලවන නිසාත්ය.

කෙසේ වෙතත් – මෙය අතිවිශාල අනතුරු ඇඟවීමකි. අප අසමත් වුවහොත්. සිඟාලයින් ලෙස හඳුන්වන දුෂ්ට ප්‍රජාවක් මැදිහත් වේ. .. ඔවුහු සෙවණැලිවලට මුවාවී රැක සිටිති. ඔවුන් සෙවණැලි අතරින් මතුවන විට රාජ්‍ය නායකයෝ බලයෙන් විසිවෙති. එසේත් නැතහොත් ප්‍රචණ්ඩ ‘හදිසි අනතුරුවලින්’ ජීවිතක්ෂයට පත්වෙති. එමතු නොව ඇෆ්ගනිස්ථානය හා ඉරාකය තුළ අසමත් වූ පරිදි අහම්බෙන් හෝ සිඟාලයින් තම රාජකාරිය ඉටු කිරීමට අසමත් වුවහොත් ඇමරිකානු තරුණයෝ ඝාතන සිදුකරන්නට හෝ ඝාතනය වන්නට පිටත්කර හරිනු ලබත්.”

කුලී ඝාතකයා හා පාස්කුව

පාස්කු ප්‍රහාරයේ ආර්ථික කුලී ඝාතකයා තේරුම් ගැනීම වනාහි වීරවංශ පන්නයේ පුහු බටහිර විරෝධී ජාත්‍යාලයකින් කළහැක්කක් නොවෙයි. මේ අමානුෂික ප්‍රහාරය තමන් කළ බව අයිඑස්අයිඑස් සංවිධානය මගින් පිළිගැනීමත් සමග, අයිඑස්අයිඑස්හි ඇමරිකානු මූලයන් සෙවීම, ප්‍රහාරයෙන් පසුදින හිල්ටන් හෝටලයේ දී බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ උපකරණ සමග ඇමරිකානු බුද්ධි නිලධාරීන් හමුවීම, ප්‍රහාරය සිදුවූ සැණින් ලංකාවට උදව් කිරීමට ඇමරිකාව යහුසුළුවීම, ඉන්දියාව වැනි රටවලින් පූර්ව අනතුරු හැඟවීම් කළත් මේ අය එසේ නොකර පසුව අනතුරු හැඟවීම වැනි කාරණා මේ භූමිකාව ඔවුන් වෙත පැවරීමට සාධාරණ හේතු විය හැකි බව ඇත්ත. නමුත් එකී කාරණා කිහිපයක් තුළ පමණක් ලඝු කිරීම නූතන ආර්ථික කුලී ඝාතකයා අනවශ්‍ය තරමට සරල කිරීමක් විය හැක.

ආසියානු භූ දේශපාලනික වැදගත්කම හේතුකොටගෙන, චීන සහ ඉන්දියානු කුලී ඝාතක උගුල්වල මේ වනවිටත් අප වැඩිමනක් හසුවී තිබෙනවා නොවේද? චීනයට අතෝරක් නොමැතිව ලංකාවේ බින්න බැසීමට ඉඩදීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝක බලවතුන්ගේ බලඅරගලයේ යුද බිමක් බවට ලංකාව පත්ව ඇති බවට ඇමරිකානු හමුදා ප්‍රවෘත්ති ආයතනයේ වාර්තා වීඩියෝවක් නිකුත් කළේ පහුගිය දින කීපය තුළය. දැනටමත් දරාගත නොහැකි ණය ප්‍රමාණයක් චීනයෙන් ලබා ඇති ලංකාව තුළ ඉන්දියානු සාගරයේ මේ භූ දේශපාලනික පසමිතුරු යුද්ධයේදී යම්කිසි තුළනයක් ලබාගැනීමට මේ වන විටත් තමන් ඩොලර් මිලියන හතළිස් අටක පමණ නාවික ආධාර ලබාදී ඇති බවට ඇමරිකාවේ ඉන්දු පැසිපික් නාවික ප්‍රධානී අද්මිරාල් පිලිප් ඬේවිඞ්සන් මේ මස මුලදී ඇමරිකානු සෙනේටයේ හමුදා සේවා පිළිබඳ කමිටුවට වාර්තා කර ඇත. ඇතැම්විට හසීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම පිටුපස විවිධාකාර අරමුණු වෙනුවෙන් වැඩ කරන කුලී ඝාතක ඒජන්සි කිහිපයක් වුවද හිටියා වෙන්නට බැරිද?

ජෝන් පර්කින්ස් හෙළිදරව් කළ ආර්ථික කුලී ඝාතකයා මෙන් ම විකිලීක්ස්, ස්නෝඩන් සහ පැනමා පත්‍රිකා හෙළිදරව් කළ කුලී ඝාතකයා ද එක්සත් ජනපදය පදනම් කර සිටින බව ඇත්ත. අධිරාජ්‍ය යුගයේ පටන් පැවති ආර්ථික කුලී ඝාතක භූමිකාව ඇමරිකාව තුළ වඩාත් ඔප දැමුණු බව ද ඇත්තය. එසේ නමුත් මේ වන විට කුලී ඝාතන භූමිකාවේ ආදර්ශක සංස්ථා ලොව සෑම රටක් විසින් ම ගොඩනගාගෙන තිබේයැ’යි හිතන්නට පුළුවන්. එය එක් රටක් විසින් තවත් රටක සිදුකරන්නක් පමණක් නොව තමන්ගේම රට තුළ සිදු කරන්නක් ද විය හැකියි. ආර්ථික කුලී ඝාතක භූමිකාවක බළල් අතක් වූ සහරාන් හසීම් ඇතුළු අන්තවාදී ත්‍රස්තයින් පෝෂණය වූයේ විදේශ ආධාර මත පමණක් නොවන බව අද පැහැදිලි වී ඇත. පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලනික පක්ෂ මේ අයට කිරි පොවා තිබේ. මාසික වේතන පවා ලබා දී ඇත.

රටක ආර්ථිකය කෙරේ දක්වන විනාශයක්, වෙනත් රටක ඇති තමන් හා මතවාදීව සිට නොගන්නා දේශපාලඥයින් ඝාතනයක්, රෙජීම් පෙරළියක් වගේ දෙයක් පමණක් නොව කුලී ඝාතකයාගේ භූමිකාව රටක විශාල වශයෙන් ඵල දරන බෝග සහ සතුන් විනාශ කර තමන්ට අයත් ආදේශක විකිණීම, ඖෂධ හා ආයුධ ජාවාරම දක්වා විහිදෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේම රටේ ඇති විකල්ප දේශපාලන මතධාරීන් මර්දනය කිරීම, තවත් කොටසකට අයත් භූමියක වෙනත් ජාතියකට අයත් පිරිසක් පදිංචි කරවීම සඳහා මතවාදී පසුබිම සැකසීම, වෙනත් අයෙක් විසින් සාර්ථකව කරගෙන යන වෙළෙඳ අධිකාරියක් තමන් අතට ගැනීමට පසුබිම සැකසීම ආදී වශයෙන් සෑම තැනකම තිබෙන්නට පුළුවන්. පසුගිය කාලය ලංකාව සංචාරක කර්මාන්තය අතින් අතිශ්‍ය තරගකාරී වූ රටක් වූ බව ද අමතක කරන්න නරකයි. සැබෑ කුලී ඝාතක ඒජන්තයින් කවුරුන්ද යන්න තේරුම් ගැනීමට පරිස්සම් සහගත විය යුත්තේ මේ කාරණා නිසාය.

ලාංකික මාධ්‍යයන්හි කුලී ඝාතක භූමිකාව

පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ මාධ්‍ය, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය හැසිරෙන ආකාරය දිහා බලද්දී ඒවා කිසියම් ආර්ථික කුලී ඝාතක ඒජන්සියකට සේවා සපයන්නේදැයි සාධාරණ සැකයක් මතුවන තරම් ය. පාස්කු ප්‍රහාරයෙන් පසු ඒවා හැසිරෙන්නේ තමන්ගේ සැබෑ වගකීම ඉටුකරමින් නොවේ. මිනිසුන් තුළ ජාතිවාදී හැඟීමුත් සැක සංකාත් තව තවත් ඉස්මතු වන ආකාරයටය. රටේ වාර්තාවන යම් යම් සුළු සිදුවීම් කෙළ ගිලිමින් වාර්තා කරන අතර ඒවා වාර්තා කරන්නේ අදාළ සිදුවීම තවදුරටත් ඇවිළී යන පරිදි ය. රට තුළ ආයුධ හමුවීම මීට හොඳම උදාහරණයක්. යුධ හමුදාව සහ පොලීසිය මගින් රට පුරා කෙරෙන පරීක්ෂණවලදී හසුවන, ගෙවී ගිය සිද්ධියට කිසිසේත් සම්බන්ධයක් නැති බව හිටිවනම ප්‍රත්‍යක්ෂ වන සාමාන්‍ය උපකරණ පවා තම මාධ්‍ය තුළ ඉස්මතුකර පෙන්වයි. වෙනකක් තබා සිංහලයින්ට අයත් එවන් භාණ්ඩ පවා රූපවාහිනිය තුළ පෙන්වන අතර, ඒවා හමුවූයේ සිංහලයින් ළඟ තිබී බව හිතාමතා සඟවමින්, ඒවා මුස්ලිම් ජාතිකයින් සතුව තිබී හමූවූ ඒවා හැටියට හැඟවුම් කරයි. ත්‍රස්තවාධි ප්‍රහාරය නිසා රට අස්ථාවරවීම මාධ්‍ය තුළ විකාශනය කරන්නේ ඒ කෙරේ සතුට දනවන තානයකිනි. පාසල්වලට සිසුන් නොපැමිණ ඇතැ’යි සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් සතුටු වේ.

අප අවශ්‍ය තරමට අපේම වූ අතීත අත්දැකීම් ඇති රටකි. වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු අන්තවාදීන්ට අසූ  තුන ‘කළු ජූලිය‘ සුජාතභාවයක් ලබා දුන්නේය. එම නින්දාසහගත සිදුවීම නොවන්නට එල්ටීටීඊ සංවිධානයට මේ පොළවේ මුල් බසින්නට බැරිය. එසේනම්, සැබෑ ත්‍රස්තවාදීන් හඳුනා නොගෙන සමස්ත සංස්කෘතිකට අප කරන අවමන් ඒ අතීත පාඩම්වලින් ඉගනගත යුතුය. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ රටේ පුරවැසියන් ආර්ථික කුලී ඝාතක ඒජන්සිවල අරමුණුවලට නොමිලේ කඬේයෑම නොකළ යුතුය. ආර්ථික කුලී ඝාතකයකුගේ පාපොච්චාරණය වැනි විශිෂ්ට කෘතියක් ඊනියා බටහිර විරෝධී, දේශප්‍රේමී අන්තවාදීන් අතින් අවභාවිත කුරාණයක් වීම ගැන අපගේ පුරවැසි ඥානය සංවේදී විය යුතුය.

අප අපගේම අතීත පාඩම්වලිනුත් ජෝන් පර්කින්ස්ගෙනුත් උගත යුත්තේ ඒවාය.