චරිත නිරූපණයේදී මම රැඩිකල් – ප්‍රවීණ රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ

වින්ද්‍යා ගමගේ/රසික ගුණවර්ධන

ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක් වන සුලෝචනා වීරසිංහ මෑත කාලයේ චිත්‍රපට බොහොමයක සලකුණු තැබූ චරිත කිහිපයකට පණ පෙවූ ශිල්පිනියක්. රංගන, සමාජ දේශපාලනය, සෞන්දර්යය යන විෂයයන් ඇය ස්පර්ශ කරන ආකාරය ඔස්සේ මෙම කතාබහ ඇදී යයි.

තිරපිටපත් රචනයට වගේම රංගනයටත් කියවීම, හැදෑරීම කොතරම් වැදගත්ද?

ලංකාව තුළ චිත්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය ආදී සියල්ල පොදුව ගත්තොත් ඒවායේ පිටපත් රචනය පහළ මට්ටමක තිබෙන්නේ. අත්දැකීම්, පරිශීලනය හා අධ්‍යාපනයේ මදිකම තමයි එයින් පෙනෙන්නේ. ඇතැම් නාට්‍යවල භාවිත වන දෙබස් තුළ වැඬේ හිස්බව පෙනෙනවා. පුහුණු සංචිත හදාගෙන පිටපත් රචකයන් බිහිකළ යුතු අවධියකයි අද අප ඉන්නේ.

අනෙක් අතින් රංගනය ගත්තොත් එය හැමෝටම කළහැකි දෙයක් නොවේ. ඉන්දියාවේ රංගන ශිල්පීන් පමණක් නොවේ අධ්‍යක්ෂවරු, තාක්ෂණ ශිල්පීන්, අංග රචනා ශිල්පීන් පවා යම් විධිමත් අධ්‍යාපනයකින් පසුවයි ක්ෂේත්‍රයට පැමිණෙන්නේ. ඔවුන්ගෙන් බොහෝ දෙනකුට රංගනය පිළිබඳ උපාධි තිබෙනවා. තවත් සමහරුන්ට වෙනත් විවිධ අංශවලට අදාළව අධ්‍යාපන සුදුසුකම් තිබෙනවා. මා ගැන කිව්වොත්, මට ජනසන්නිවේදනය පිළිබඳ ප්‍රථම උපාධියක් තිබෙනවා. මම ක්ෂේත්‍රයට ප්‍රවේශවන්නේ වේදිකාවෙන්. රංගන ශිල්පියකුට තමන් ඇසුරු කරන පිරිස අප බලන චිත්‍රපට, නාට්‍ය, අපේ ජීවන අත්දැකීම් වගේම ඒවත් සම්බන්ධ වන කථිකා ආදිය තුළින් පෝෂණය වනවා. අද යම් අධ්‍යයනයක් ඇතිව රංගනයේ යෙදෙන පිරිසක් ඉන්නවා. ඒත් බොහෝ ටෙලි, නළු නිළියන්, චරිතයට අනුගතවීමක් පෙනෙන්නට නැහැ. ඒත් ඒ අය මේ ‘සිස්ටම්’ එක තුළ ඉහළ තැනක තබා තිබෙනවා. අපට ඒකට දොස් කියන්නට බැහැ. මිනිස්සු කැමති රූපය, හැඩය, රසාස්වාදය, විලාසිතා ආදිය නිසා ඔවුන්ගේ ප්‍රතිරූප හොඳින් ‘මාර්කට්’ වෙනවා.

ඒ කියන්නේ ලංකාව තුළ ඔබට හොඳ සබඳතා තිබෙනවා නම් හෙට වුවත් නිළියක් වෙන්න පුළුවන් කියන එකද?

ඔව්. හැකියි. එය බොහෝවිට සිදුවන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළයි. තමන්ගේ PR එක හොඳ නම්, තමන්ව හරියට මාර්කට් කරගන්න කැම්පේන් කරන තරමට වැඩ ලැබෙන අය ඉන්නවා. ඒ ගැන ඔවුන්ට දොස් කියන්න බැහැ. ඒක එක පැත්තකින් ඒ ශිල්පියාගේ දක්ෂතාව. ඒත් මට ආරම්භයේ සිටම වැඩ ලැබුණේ මගේ රංගන හැකියාවටයි. අනාගතයේ මට වැඩක් ලැබෙනවා නම් ලැබෙන්නේ මා අවසන් වශයෙන් ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ කළ චිත්‍රාංගනී විජේවීරගේ චරිතයටයි. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ සමග මා මුලින්ම වැඩ කළේ 2010 ඔහුගේ ‘යකඩ පහන් තිර’ ටෙලිනිර්මාණයේ. ඒ සඳහා මට රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම සහය නිළිය සම්මානය හිමිවුණා. එය මට ටෙලි නිර්මාණයක් වෙනුවෙන් ලැබුණු පළමු සම්මානයයි.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ කළ චිත්‍රාංගනී විජේවීරගේ චරිතය ගැන ඔබට ඇත්තේ මොනවගේ කියවීමක්ද?

ජීවමාන චරිතයට පණපොවද්දී අනිවාර්යයෙන්ම ඒ ගැන යම් කියවීමක්, පර්යේෂණයක් කළ යුතුයි. අනුරුද්ධ මේ සම්බන්ධව සෑහෙන අධ්‍යයයක් කර තිබුණා. ඔහුගෙන් ලැබුණු අදහස් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඔහු මට චිත්‍රාංගනී විජේවීර ළඟින් ඇසුරු කළ කිහිපදෙනෙක් මුණ ගැස්සුවා. ඒ ඒ සිදුවීම්වලදී එතුමියගේ හැසිරීම රෝහණ විජේවීර සහෝදරයා සමග තිබුණු බැඳීම, දරුවන් පිළිබඳ යම් යම් කාරණා සම්බන්ධව එතුමියගේ හැසිරීම ආදිය ඒ කතාබහ තුළින් දැනගැනීමට හැකිවුණා. චිත්‍රාංගනී විජේවීරගේ කටඋත්තරය සඳහන් පොත මම කිහිපවරක් කියෙව්වා. චිත්‍රපටයේ රූගත කිරීම් නිමවෙන තුරුම ඒ පොත සමග හිටියා. ඇයට විජේවීර සහෝදරයා හමුවුණු තැන සිට ඔහු පොලිසියේ භාරයට පත්වන තැන දක්වා විස්තර එහි තිබෙනවා. ඇය සාමාන්‍ය ගැහැනියක් වුවත් උදාර මවක්, ප්‍රතාපවත් ස්ත්‍රියක් කියා මට හැඟෙනවා. එතුමිය තවමත් ගතකරන ජීවිතය, ඒ දරා ගැනීම පහසු දෙයක් නොවේ. එනිසා මට ගැහැනියක් ලෙස එතුමිය පිළිබඳව අසීමිත ආදරයක් හා ගෞරවයක් තිබෙනවා.

‘නිකිණි වැස්සේ’ ඔබ නිරූපණය කළ තරුණියගේ චරිතය හා චිත්‍රාංගනී විජේවීරගේ චරිතය එකම සමාජ පීඩනයක් තුළ හැසිරෙන චරිත ලෙස පොදුවේ ලඝු කළ හැකිද?

පොදුවේ ගත් විට අපි සැවොම මිනිස්සු. මා ගැහැනියක් වුවත්, ඔබ පිරිමියෙක් වුවත් අපට දැනෙන සංවේදනා එකයි. මම රඟපෑමේදී නිතරම එම අදහස හරහා ක්‍රියාත්මක වනවා. පරිසරය, අධ්‍යාපන පසුබිම, වත්පොහොසත්කම්වලින් මිනිසුන් වෙනස් වුවත් ඇතුළත පොදු හැඟීම් සමුදායක් තිබෙනවා.

නිකිණි වැස්සේ තරුණියගේ ජීවිකාව බීඩී එතීමයි. නිසි කලකට ජලය නොලැබෙන, ගන්න අස්වැන්න පවා අලින් ගෙට පැන වී කන, විෂ ඝෝර සතුන් දෂ්ට කර දෙමව්පියන් මියැදීම නිසා අත්තම්මා සමග තනිවන ඇයට ආදරේ දැනෙන්නේ කොහොමද? ඇයට දැනෙන අනාරක්ෂාව කෙබඳුද? ඇය සිය සහකරුවා ලෙස තෝරා ගන්නේ කවුද? ඇයට එසේ තෝරා ගැනීමට ගමේ ඉතිරි වී ඉන්නේ කවුද? එම සහකරුවා සමග ඇය පතන ලෝකයට යා හැකිද? මේ කියන හැඟීම් සමුදායට වෙනස් ආකාරයකට නගරයේ අයෙකුට (රෝහණ විජේවීර මැතිනියට) දැනෙන්නට පුළුවන්. ඇයගේ සහෝදරියන් හොඳ සමාජ සබඳතා ඇති, උගත් අය. ඇයට අවශ්‍ය වුණේ තවත් ඉගෙන ගන්නයි. ඇය එවකටත් ඇක්වයිනාස් යමින් ඉංග්‍රීසි භාෂාව හදාරණවා, නැවත උසස් පෙළ කිරීමේ බලාපොරොත්තුවක් ඇයට තිබුණා. ඒ අතරතුර රටේ මීළඟ ජනාධිපති විය හැකි පුද්ගලයා කසාද බැන්දොත් හොඳයැයි අයියා කීවත් ඇය එයට කිසිසේත් කැමතිවන්නේ නැහැ. ඒ අනුව පරිසර දෙකක ජීවත් වුවත් ඔවුන්ට මිනිසුන් ලෙස තිබෙන හැඟීම් විවිධාකාරයි. ඔවුන් දෙදෙනාම එක ලෙසම අසරණ වූ අය දෙදෙනෙක්. චිත්‍රාංගනී විජේවීර එක් තැනක කියනවා ඇය සිය සහෝදරයා සමග පුදුමාකාර වෛරයක් තිබුණේ කියා. සහෝදරයා නිසා තමයි ඇයට මේ විවාහයට කැමති වන්නට සිදුවුණේ. ඒ අනුව ලංකාවේ ගැහැනු උදවියට අඩු වැඩි වශයෙන් සමාජ, පන්ති දේශපාලන භේදයකින් තොරව එකම ප්‍රශ්න ගොඩකට මුහුණදීමට සිදුවන බව පැහැදිලියි. ගැහැනු පමණක් නොවේ සමහර පිරිමින් පවා අඩු වැඩි වශයෙන් මේ ප්‍රශ්නවලට මුහුණදෙන කුලකයේ සිටිනවා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික, දේශපාලන වටපිටාව තුළ ලිංගිකත්වය ගැන ඉතා අඩුවෙන් කතාබහ වෙනවා. ශෘංගාරාත්මක රංගනයට සමාජ, දේශපාලන, සංස්කෘතික කාරණා බලපාන්නේ කෙසේද?

ලංකාවේ ඒ ගැන තිබෙන්නේ බොහොම පටු ආකල්පයක්. කට කතා, ඕපාදූප ගැන මම උනන්දුවන්නේ නැහැ. මම කරන දේ ගැන මට අවබෝධයක් තිබෙනවා. මම එවැනි රංගනයක් කළොත් එය චරිතය තුළින් අල්ලා ගන්නවා මිසක මගේ පෞද්ගලික ජීවිතයෙන් අල්ලා ගන්නේ නැහැ. එසේ මා ගැන සිතනවා නම් ඒ බොහෝවිට මා ගැන නොදන්නා කෙනෙක්. මේ කාරණා ගැන ගැඹුරු සංවාදයක් ඇතිවිය යුතුයි. මගේ වැඩිහිටි ඥාති වරියක් තවමත් නිකිණි වැස්සේ මගේ චරිතය ගැන කියන්නේ ‘ඔයා ඒකේ හොඳ රඟපෑමක් කළා. ඒත් මම තවමත් හිතනවා ඔයා ඒ රඟපෑම නිසා පසුතැවිලි වෙනවා ඇති කියලා.” මගේ වැඩිහිටියෙක් නිසා මා ඇයට උත්තර බඳින්නට යන්නේ නැහැ. මට ඒ චරිතය කිරීම ගැන කිසිදු පසුතැවිල්ලක් නැහැ. සියලුම සම්මාන උළෙලවල එය ඇගැයීමට ලක්වුණා. මගේ ඥාතිවරිය රංගනය ගැන දන්න තරම එයයි. ඇයට එය නිර්මාණයක් ලෙස දකින්නට නොහැකිවීම ගැන මට කරන්නට දෙයක් නැහැ. බොහෝදෙනා සියලු දේ දකින්න කැමති විදිහක් තිබෙනවා. ඒ විදිහට සියල්ල සිදුවිය යුතු යැයි ඔවුන් සිතනවා. ඔවුන් බලන චිත්‍රපට, නාට්‍ය වගේම තම ප්‍රියතම දේශපාලනඥයා කතා කළයුත්තේත් ඔවුන් කැමති ආකාරයටයි. නිකිණි වැස්සට ඇත්තේ වෙනස් ප්‍රේක්ෂකාගාරයක්.

ඔබ සම්බන්ධ වූ ශෘංගාරාත්මක දර්ශන තුළ තාත්වික බවක් තිබෙනවා. එවැනි රංගනයකට අනුගතවන්නේ කෙසේද?

එය පහසු දෙයක් නොවේ. අප කලින් කතා කළ සංස්කෘතික, දේශපාලන සීමා ටික එතැනදීත් ඒ අයුරින්ම තිබෙනවා. මම කොයිවෙලේවත් කියන්නේ නැහැ මම රැඩිකල් චරිතයක් කියලා. සමහර තැන්වල මම ඉතාම සාම්ප්‍රදායිකව හිතන කෙනෙක්. ඒත් චරිතයක් රඟපාද්දි මා එයට ආවේශ වෙනවා. අපේ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනකුට එවන් චරිත ලැබෙන්නේ නැහැ. තවත් කෙනකුට එවැනි චරිතයක් ලැබුණු විට එය ඔවුන්ට දරා ගැනීමට නොහැකියාවක් තිබෙනවා. බොහෝවිට හොලිවුඞ් චිත්‍රපට බලා යම් අධ්‍යයනයක් ඇතිව මෙවැනි චරිතවලට අනුගත වනවා. චිත්‍රපටයක මා කරන ශෘංගාරාත්මක දර්ශනයක් ඒ වැඩෙන් ගැලවිලා වෙනම පෙනෙනවාට මා කැමති නැහැ. එය නිර්මාණයටම බද්ධ වෙලා සිද්ධියක් ලෙස එළියට නොයා යුතුයි. එසේ වෙනවා නම් මා එම රංගනය තුළ නැහැ. එම රංගනය තාත්වික යැයි ඔබ ඇතුළු බොහෝ දෙනෙක් පවසන්නේ ඒ නිසයි. නිකිණි වැස්සේ ඒ දර්ශනය කොයියම් මොහොතක හෝ චිත්‍රපටයෙන් ගලවා බලන්න හැකියාවක් නැහැ. එසේ වෙනවා නම් ඒ වැඬේ සාර්ථකත් නැහැ. එහෙම වැඩ මා භාරගන්නේත් නැහැ. වෙනම දර්ශනයක් ලෙස මතු නොව එකම වියමනක් ලෙස නිර්මාණය ගලා යා යුතුයි. එම දර්ශනය නිසා වියමන තවත් අලංකාර විය යුතුයි. මම මේ මොහොතට අවංකයි. වැඬේට අවංකයි. ඒ අවංකකමත් සමග තමයි තාත්විකභාවය ඇතිවන්නේ. ඒ මොහොත මාගේ කරගත් විට රංගනය ස්වාභාවිකවම ඇතිවෙනවා.

ඔබ එකම ශානරයකට අයත් චිත්‍රපටවල හිරවීමකට ලක්වී තිබෙනවාද?

මට එහෙම වුණේ නැහැ. වෙනස් චරිත ලැබුණා. ඇත්තටම තමන්ට එකම විදියේ චරිත ලැබෙනවා නම් එය තමන් විසින්ම වෙනස් කරගත යුතු දෙයක්. පිටපත බලලා මට මීට වඩා වෙනස් චරිතයක් රඟපෑ හැකිදැයි විමසිය යුතුයි. සමහරවිට ඒ චරිතය ප්‍රධාන එකක් නොවිය හැකියි. ගෙවීම අඩුවිය හැකියි. එහෙම වුණත් ඒ ඇතුළේ යමක් කළ හැකි නම් එය තෝරා ගත යුතුයි. තණ්හා, රතී, රඟා චිත්‍රපටයේ මා රඟපෑවේ එවන් චරිතයක්.

මම වාණිජ සිනමාවේ රඟපාන්නේ නැහැ කියා බොහෝ දෙනෙක් සිතනවා. මට එවැනි බෙදීමක් නැහැ. ඒත් මට එවැනි චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ නැහැ. උසට, ලස්සනට ඉන්න නළුවෙක්ට එවැනිම ලස්සන, සුදු නිළියක් තමයි කාස්ට් කරන්නේ. ඒත් ඉන්දියාවේ කළ ‘Wake up sid’ චිත්‍රපටය බලන්න. රන්ධීර් හා කොන්කොනා රංගනයට කොතරම් වෙනස් පැහැයක් ගෙන එනවාද? එය කොතරම් සුන්දරද? අපේ වාණිජ සිනමාව තුළ එවැනි සුසංයෝගයන් ගෙන එනවාද? මෙවැනි වෙනසක් මිනිසුන්ට පුරුදු කළා නම් ඔවුන් කැමැත්තෙන්ම එය භාරගනීවි. එවැනි පර්යේෂණාත්මක දෑ ක්ෂේත්‍රය තුළ සිදුවිය යුතුයි.

ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකාගාරය ඔබ දකින්නේ කෙසේද?

ප්‍රේක්ෂකාගාරය වාණිජ, කලාත්මක කියා බෙදීම හොඳ යැයි මා සිතන්නේ නැහැ. අද මිනිසුන්ට තිබෙන රස්සාවේ ආතතිය, පවුල් බර නිසා ඔවුන්ට අවශ්‍යවන්නේ එවෙලෙට පොඩි ජොලියක්. ඒ පිරිස තමයි සිනමාව, කානිවල්, සංගීත සංදර්ශනවලට බෙදී යන්නේ.
සමහර නිර්මාණකරුවෝ මිනිසුන්ට ඕන දේ යැයි විශ්වාස කරමින් දෙන දේවල් තිබෙනවා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය නිර්මාණකරුවො කියනවා ‘රේටිං’ හොඳයි මිනිස්සු තව ඉල්ලනවා කියලා. නාට්‍යය දික් කරනවා. එහි ඇත්ත නැත්ත අප දන්නේ නැහැ.

කලා නිර්මාණයකින් රසිකයාගේ මනෝභාවය යහපත් අතකට පෙළඹවිය හැකි නම් එය හොඳ යැයි මා සිතනවා. දැන් නැවතත් මරාගෙන මැරෙන රැල්ලක් ඇතිවී තිබෙන කාලයක කලාව භාවිත කර මිනිසුන්ගේ මනස යහපත් මගකට යොමුකළහැකි නම් හොඳයි.

තමන්ගේ මතවාදය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීම නිසා ප්‍රේක්ෂකයන් අඩුවෙනවාද?

ඔව්. එය විය හැකියි. ඔබ නළුවෙක් ලෙස ඔබට කැමති වුවත් ඔබේ දේශපාලනයට අකමැතියි කියා සමාජ මාධ්‍ය තුළ ‘කමෙන්ට්’ කරනවා. මා දැක තිබෙනවා. එය ප්‍රේක්ෂක මතය, ඔවුන්ගේ අධ්‍යාපනය, සමාජ දැනුම් මට්ටම සමග සිදුවන දෙයක්. ඒත් රංගන ශිල්පියකුට යම් මතවාදයකට පෙනී සිටීමට අවශ්‍ය නම්, එය අවංක වුවමනාවක් නම්, රටේ යහපත වෙනුවෙන් කරන දෙයක් නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවේ යැයි බිය විය යුතු නැහැ.

ඒත් එයින් පස්සේ ඔවුන්ට විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවිය හැකියි. සමහර නිර්මාණකරුවො තමන්ගෙ දේශපාලන මතවාදය සමග සමපාත වන අය සමග විතරයි වැඩ කරන්නේ. එනිසා කෙනෙකුට අඩුවෙන් වැඩ ලැබෙන්න පුළුවන්. එනිසා යම් රංගන ශිල්පියෙකු යමක් වෙනුවෙන් පෙනී සිටීමද අවශ්‍ය වුවත් ඒ වෙනුවෙන් නැගී සිටීම වළක්වන කාරණා තිබෙනවා. පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න නිසාත් කෙනෙක් ඒවාට ඉදිරිපත් නොවන්නට පුළුවන්. ඒ වගේම අපට කෙනෙකුට ඒ සඳහා බලකිරීමක් කළ නොහැකියි. මූලිකවම මා විශ්වාස කරන දෙය තමයි මේ හැමදේටම කලින් නළු කාර්යය හරිහැටි ඉටු කළ යුතුයි. ඒ වගේම මනුෂ්‍යයන් ලෙස අප ඉදිරිපත් විය යුතු අවස්ථාවලදීත් ඉදිරිපත් විය යුතුයි.

ඔබ ඉදිරියේදී දායක වන නිර්මාණ මොනවාද?

රොෂාන් රවීන්ද්‍රගේ ‘තණ මල් විල කොල්ලෙක්’ ටෙලිනාට්‍ය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. උදයසිරි වික්‍රමරත්නගේ හා බුද්ධික දමයන්තගේ වේදිකා නාට්‍ය දෙකක් රඟපෑමට ආරාධනා ලැබී තිබෙනවා. ඉදිරියේදී කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. දැන් එතරම් හොඳ නිර්මාණ බිහිවෙන්නේ නැහැ. මට ‘තණමල් විල කොල්ලෙක්’ නාට්‍යයේ රඟපෑවේ අවුරුදු 3කට පසුවයි. නිර්මාණවලට කතා නොකළාම නෙවෙයි. සමහර පිටපත්වල අතාත්වික, අභව්‍ය සිදුවීම් තිබෙන නිසා නිර්මාණයට ආසා හිතෙන්නේ නැහැ. ඒ වගේම මා අපේක්ෂා කරන මුදලක් තිබෙනවා. එය නොලැබෙනවා නම් මම වැඩවලට යන්නේ නැහැ. දැන් ක්ෂේත්‍රය වගේම නළු නිළියනුත් ලාභ වී තිබෙනවා. අපි ලාභ නොවන නිසා අපට වැඩ අඩුයි. ඒත් අධ්‍යක්ෂවරයෙක් ළඟදි මට කිව්වා ඕගොල්ලන්ව වැඩට ගත්තොත් ඒක ඔයාලටම කරන අපරාධයක් කියලා. ඒ කියන්නේ තමන්ගේ නිර්මාණය බාල බව ඔවුන්ම දන්නවා.

මම ‘මෙගා’ වර්ජනය කරන්නේ නැහැ. අපේ අයට අනුව කොටස්වලින් දිග තමයි මෙගා කියන්නේ. මගේ අදහස අනුව නිර්මාණයේ ගුණාත්මක අතිනුත් එය ‘මෙගා’ විය යුතුයි. පසුගිය කාලයේ සමහර මෙගා ප්‍රතිභාපූර්ණ නළුවො අපි දැක්කා. ඔවුන් මුල් කොටස් 50-60 ඉන්නවා. 100යට එහා ගියාම එක්කො මරනවා, චරිතය පිටරට යවනවා. මෙගාවල රඟපෑවා කියලා ඔවුන් අඩුවෙන් රඟපාන්නේ නෑ. නිර්මාණය සඳහා සල්ලිත් ලැබෙනවා. නිර්මාණය ‘මාර වැඩකුත්’ නොවේ. ඒත් ඔවුන් අනෙක් දේවල් පරයා තමන්ගේ රංගනය ලබාදෙනවා. ඒ නිසා තමයි ඔවුන් පවතින්නේ.

ඒ වගේම මේ වැඩවල හැම චරිතයටම බජට් එකක් තියනවා. රඟපාන්නේ කවුද කියන එක ඔවුන්ට අදාළ නැහැ. සමහර වැඩවලට ගෙවන ගාන අඩු වුණත් ප්‍රවීණයෙක්ගෙ නම කියලා කියනවා. එයත් එන්නෙ මේ ගාණට කියලා. ඒක මට අදාළ නැහැ. ඒ වගේම මම අය කරන ගණන පහළට නොදා යම් ස්ථාවරත්වයක සිටීම අනෙක් අය වෙනුවෙන් කරන යහපතක් ලෙසයි මා දකින්නේ. මම ලාභ වුණොත් කියනවා සුලෝචනත් එන්නේ, මේ ගාණට කියලා. ඒත් අපේ සමහරු ඒ මුකුත් නොසිතා කියන ගාණට වැඬේට යනවා. අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙලා අමාරුවෙන් ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා. අර කලින් කියුව ‘මාකටිං කැම්පේන්’ කරන අයට පැවැත්මක් තියනවා.