ක්‍රීඩාවේ අභාග්‍යය

ඒ. වික්‍රමසූරිය

ක්‍රීඩාව නන්නත්තාර ගතවූයේ පාස්කු ප්‍රහාරයට බොහෝ පෙරය. එය විනාශ කළේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීහු නොව මෑතකදී පත්වූ ක්‍රීඩා ඇමතිවරුය. යහපාලනයෙන් ක්‍රීඩාවට සෙතක් වෙතැයි සිතුවද සිදුවූ අමුතු හොඳක් නොවීය. සිදුවූයේ රාජපක්ෂලාගේ කාලයේ වූ විනාශය දෙගුණ තෙගුණවීම පමණය.

යහපාලන ආණ්ඩුවේ සිව් වසරකට වැඩි කාලයක් තුළ ක්‍රීඩා අමාත්‍යවරු සිව්දෙනෙක් පත්විය. මුලින්ම වැඩ භාර ගත්තේ දින සියයට නවීන් දිසානායකය. ඉන්පසු දයාසිරි ජයසේකරය. දයාසිරි ගිය පසු ෆයිසර් මුස්තාපාය. දැන් හරින් ප්‍රනාන්දුය. අවුරුදු හතරට අමාත්‍යවරු හතරදෙනෙක් පත් කළත් ඉන් එකකු හෝ ක්‍රීඩාවට දැනෙන යමක් නොකළේය. ක්‍රීඩාව දිනෙන් දින ප්‍රපාතයටම ඇද වැටුණි. අද වන විට අපට කතා කරන්නට ඇත්තේ අබලි බබලි ගැනම ය.

අද වනවිට ක්‍රීඩා සංගම් ගණනාවක් නිලවරණ පවත්වා ගත නොහැකිව ලතවේ. ඒවා දිනෙන් දින කල්යනුයේ විවිධ හේතු මවමිනි. පිහිනුම් බැඞ්මින්ටන් ඒ අතර ප්‍රමුඛය. හොකී නිලවරණයෙන් නැවත පෙර පරිදිම සුමිත් එදිරිසිංහ පත්විය. මේ මෑත කාලයේ හොකී විනාශ කළ පුද්ගලයාමය. ඒ අනුව බලන කල ක්‍රීඩා සංගම් නිලවරණ යනු ව්‍යාජයක් බව පැහැදිලිය. බලය, ධනය මත ඒවායේ තනතුරු ගත හැකිය. අද ක්‍රිකට් නිලවරණය නීත්‍යනුකූල නැති බවට කසු කුසුය. නිලවරණයක්වත් නියමාකාරයෙන් පැවැත්වීමට අද නොහැකිය. ඇතැම් ක්‍රීඩා සංගම් නිලවරණ පවත්වනවාද යන්න කෙසේ වෙතත් ඒවා තිබෙනවාද යන්න පවා සැකසහිතය. ක්‍රීඩාව මේ තරම් බාල්දු වූයේ කාගේ වරදින්ද?
ක්‍රීඩා ඇමති කෙනකු ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශයක් ඇති කළේම මෙරට ක්‍රීඩාව අත්‍යවශ්‍ය අංගයක් වන බැවින් එය නගා සිටුවීමටය. එහෙත් එහි මුඛ්‍ය අදහස මුල් කාලයේ පැවතියද පසුව ශීඝ්‍රයෙන් එය වඳවිය. එයට හේතුවූයේ ඉන්පසු ආ ක්‍රීඩා අමාත්‍යාංශවරුන්ගේ දැක්මක් නැතිකම මෙන්ම ක්‍රීඩා සංගම්වලට හොඳ මිනිසුන් පත්නොවීමය. මුල් කාලයේ ක්‍රීඩා සංගම්වලට පත්වූයේ ඉතාම වැදගත් මිනිසුන්ය. ඔවුන් තව අතකින් ධනවතුන්ය. ඔවුන් ක්‍රීඩා තනතුරු සැලකුවේ අභිමානයක් ලෙසය. මේ නිසා තනතුරු ඔවුන් නිසා බැබලුණා මෙන්ම ඔවුන් තනතුරු නිසාද බැබලිණි. මේ පුද්ගලයෝ තම ධනය ක්‍රීඩාවට යෙදෙව්වා මිසක ක්‍රීඩාවෙන් හම්බ කර නොගත්හ. ඒ නිසා ක්‍රීඩා සංගම්වල ගාම්භීර බව ඇතිවිය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් ඒ මිනිසුන්ගේ ඈත්වීමත් සමග ඒ තැන්වල ප්‍රධානීන් වූයේ සංගම් අස්පස් කරගෙන සිටි පුද්ගලයෝය. මේ අය ක්‍රීඩා සංගම් නිලතල රැකියා බවට පත්කරගෙන එයින්ම යැපෙමින් දිවි ගෙවීය. මේ නිසා ක්‍රීඩාව විනාශයේ මගට වැටුණි. ඔවුහු තනතුරුවලට පත්වුවද විෂය ගැන මෙලෝ දැනුමක් නොවීය. මේ නිසා ඒවා එකතැන පල්විය. මුලදී දිවූ විදිහටම දිවිය නොහැක්කේ ක්‍රීඩාවට නොව කුමක් වුව දිනෙන් දින වර්ධනය වන බැවිනි. ඒ නව දැනුම උකහා ගන්නට සමත් පිරිස් අද නැත. මේ නිසා ක්‍රීඩා සංගම් තුළින් ක්‍රීඩාවට වන යහපතක් නොවීය. ක්‍රීඩකයා ක්‍රීඩාවේ නියැලෙනමුත් ඔහු ක්‍රීඩකයකු බවට පත්කරනුයේ තම සංගමයය. ක්‍රීඩා අමාත්‍යාංශ්‍ය ඇස ගැටෙන්නටත් පෙර එය වර්ධනය විය යුත්තේ සංගම් තුළිනි. අද සංගම් ඒ යුතුකම ඉටුකරනවාද යන්න ප්‍රශ්නාර්ථයකි. දක්ෂ මිනිසුන් වඳ වූ පසු වන විපාකය මෙබඳුය. අනෙක් අතට මේ තත්ත්වයන් වර්ධනය වන්නට ඉඩහැර ක්‍රීඩා අමාත්‍යාංශය නින්දට වැටුණි. පත්වන ක්‍රීඩා අමාත්‍යවරු ක්‍රීඩාව හැරුණු කොට හැමදේම කරන්නට විය. ඔවුන් කයිවාරු ගසනවට වඩා කිසිවක් නොකළේය. අඩුම තරමේ මේ සිව් වසර තුළ නිවැරදි සැලැස්මකම, වැඩපිළිවෙළකම හෝ පදනම දමා ගැනීමට ඉඩ තිබුණි. එහෙත් ඒ කිසිවක් නොවීය.

ක්‍රීඩා අමාත්‍යවරයා බොරු කයිවාරුකාරයෙක් වූ කල ක්‍රීඩාවට සෙතක් නොවන බව අප කොතෙක් කීවද එය පිළිගන්නා තත්ත්වයක ඔවුන් නොසිටියි. අමාත්‍යවරුන්ගේ දුබලකමට හරියන්නට සටකපට නිලධාරී පැළැන්තියද හැඩ ගැසුණි. ඔවුහු ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලමක් කරගෙන එහි ඉහඳ පණුවන් සේ කල් ගෙවති. මේ තත්ත්වයන් තුළ ඇමතිවරු යනවා එනවා හැර වෙන වැඩක් නොවෙති.
ක්‍රීඩාව කොතරම් වැදගත් මාධ්‍යයක්ද යන්න කලක පටන් නොතේරුම් ගනිමින් සිටී. එය මිනිසුන්ගේ අත්‍යවශ්‍ය අංගයක් බව අමතක කොට ඇත. කලාවටත් වඩා එය මිනිස් සිරුරට බද්ධ වී ඇතිමුත් එහි නිසි ඵල නොලෙති.

අද ක්‍රීඩා සංගම්වලට වාර්ෂික සැලැස්මක් නැත. ඔවුන් කුමක් කරනවාද යන්න සොයා බැලීමක් ක්‍රීඩා අමාත්‍යාංශයේ නැත. ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංගම් දැන් දුරස්තය. මේ නිසා කිසිදු බැඳීමක් මේ දෙක අතර නොපවතී. මීට පෙර ක්‍රීඩා ඇමතිට, අධ්‍යක්ෂ ජනරාල්ට ක්‍රීඩා සංගම් නිලධාරීන් අවනතය. ඒ වෙන කිසිවක් නිසා නොව මේ දෙකෙහි පැවැත්මට දෙකම අවශ්‍ය නිසාය. ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය සහ අධීක්ෂණයෙන් තොරව ක්‍රීඩා සංගමයක් නොපවතින බැවිනි. අපි මේ දේවල් කියනුයේ ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා අමාත්‍යාංශය වත්මන දෙපිල බෙදී වැඩ කරන නිසාය.

ලෝකය ක්‍රීඩාව අතින් ඉදිරියටම ගමන් කරද්දී අපි යනුයේ පසුපසටය. ඒ අපේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ වැරදි නිසා නොව පරිපාලනයේ වැරදි නිසාය. අප දුවන හෝ පිහිනන කෙනෙකු දෙස බැලූ කල එය සරල කටයුත්තක් බව පෙනෙනමුත් එම අංගවල දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීම සංකීර්ණයය. එය දවසින් දෙකකින් කළ හැකි නොවේ. එයට සංගමය සතු පුළුල් දැක්මක් අවැසිය. සරලව ගතහොත් මුලදි මලල ක්‍රීඩාව තුළ දක්ෂයන් බිහිවූයේ මේ දැක්ම තිබූ නිසාය. පිහිනුම් තුළ දක්ෂ ක්‍රීඩකයන් බිහිවූයේ මේ දැක්ම නිසාය. එහෙත් අද ඒ තත්ත්වය දැකිය නොහැක්කේ පාලනය කරන අයට නිසි අවබෝධයක් වැඩපිළිවෙළක් නැති නිසාය. ඒ තත්ත්වයද දිනෙන් දෙකෙන් ඇති වූවක් නොව කාලයක් තිස්සේ වූ බිඳ වැටීමකි. දෙයක් වර්ධනය කරගැනීමට තරම් කාලයක් එය බිඳ වැටීමට ගත නොවන බවද කිව යුතුය. ප්‍රසන්න අමරසේකර නැවතුණ තැනින් මලල ක්‍රීඩාවට ලොකු ගමනක් යා නොහැකි විය. හේෂාන් උනම්බුව නැවතුණ තැනින් පිහිනුම් ක්‍රීඩාවට අනාගතයක් නොවීය.

ක්‍රීඩාවට මෙරට දැනුම ප්‍රමාණවත් නොවේ. එයට විදෙස් දැනුම අවැසිය. විදෙස් පුහුණුකරුවන් ගෙන ඒමට සංගම් සතුව මුදල් නැතිකම සේ ම ඔවුන් සම්බන්ධ කරගැනීමේ හැකියාවක්ද ඔවුන් සතුව නොපවතී. වරක් මෙරට පිහිනුම් සංගමය ඇමරිකාවේ සිටින ඉහළම මට්ටමේ පුහුණුකරුවකු මෙරටට ගෙන්වා වැඩමුළු පැවැත්වීය. එයින් මෙරට පිහිනුම් ක්‍රීඩාවට නව පණක් ලැබීය. එහෙත් අද එවැන්නක් කළහැකි අය සිටිත්ද? එදා ඒ දේ කළේ විජිත ප්‍රනාන්දු මහතාය. ඉන්පසු එතරම් යෝධ වැඩ කළ හැකි අය පිහිනුම්වල නොවීය. සුසන්තිකා ඇමරිකාවේ යවා ජයග්‍රහණයට අවැසි වටපිටාව හැදීමට හැකි යාන්ත්‍රණයක් එකල විය. එහෙත් අද එය අහිමිය. ඩන්කන් වයිට් පදනම එදා සුසන්තිකාගේ බර කරගහ ගත්තද අද ඒ පදනම් බලරහිතය. ඒවා පවත්වාගෙන යා හැකි වටිනා මිනිස්සු අද නැත. මේ විනාශයත් ක්‍රීඩාවට බලපෑවේය. එනම් දක්ෂ පරිපාලකයන් අහිමිවීමය. ආනා පුංචිහේවා හොඳ දැක්මක් තිබුණු මහත්මයෙකි. එහෙත් ඉන්පසු ක්‍රිකට් පුටුවලට ආවේම හොරුය.
අප මේ බව නිතර නිතර සිහිපත් කළද ඊට පියවර ගත යුතු පිරිස් නිසි පියවර නොගනිති. ඒද ඔවුන් ඒ ගැන නොදන්නා නිසාය. ක්‍රීඩා ඇමතිවරු මුලින්ම කළයුත්තේ ක්‍රීඩාව ගැන දන්නා පිරිස් ළංකර ගැනීම වුවත් ඇමතිවරුන් කරන්නේ ඉන් අනෙක් පැත්තය. ක්‍රීඩා ඇමතිවරුන්ට කලක පටන් උපදෙස් දෙන්නේ එකම පිරිසය. මේ අයට ඕනෑ ක්‍රීඩාව නගා සිටුවන්නට නොව තම බඩ වියත රැකගන්නටය. අද අමාත්‍යාංශය අමතකම කර ඇති මාතෘකාව ක්‍රීඩාව වී ඇත. මේ කරන ක්‍රියාවන්වලින් ඔප්පු වන්නේම එයය.