පාර්ලිමේන්තුවට නොදන්වා, ගෝඨාභය ඇමරිකාව සමග ගිවිසුමක් ගැහුවා

රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ  ආචාර්ය අජිත් කොලොන්නේ.

වින්ද්‍යා ගමගේ – රසික ගුණවර්ධන

ඇමෙරිකාව ලෝකයේ බොහෝ රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට විවිධ ආකාරවලින් මැදිහත්වන ස්වභාවයක් පෙනෙනවා. එයට හේතුව කුමක්ද?

ඇමෙරිකානු රජය ක්‍රියාකරන්නේ මූලධර්ම දෙකක් මතයි. පළමුවැන්න හැමිල්ටෝනියන් (Hamiltonian Principle) මූලධර්මයයි. ඒ හරහා ඔවුන් ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාව යනු වාණිජ කටයුතු ප්‍රමුඛත්වයේ ලා සලකන දේශයක් බවයි. දෙවැන්න ජෙෆසෝනියන් (Jeffersonian Principle) මූලධර්මයයි. මෙහිදී අදහස් වෙන්නේ ඇමරිකාව ලෝකයේ අනිත් රටවල් සමඟ වාණිජ කටයුතුවල නිරත වියයුතු, නමුත් එහිදී කිසිම රාජ්‍යයක් සමඟ පාර්ශ්වකරුවෙක් නොවිය යුතු බවයි. මේ මූලධර්ම දෙක මත පිහිටමින් ඇමෙරිකානු රජයේ සියලු ප්‍රතිපත්ති නිර්මාණය වී තිබේ.

ඇමෙරිකානු රජය හැමවිටකම උත්සාහ කරන්නේ ලෝකයේ ඕනෑම තැනක තමන්ට ක්‍රියාත්මකවීමට වටපිටාව හදා ගැනීමටයි. ඒ හේතුවෙන් ඇමෙරිකාවට මුහුදු මාර්ග, ගුවන් මාර්ග තමන්ට අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය ආකාරයට පරිහරණය කරන්න අවස්ථාව ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ හේතුවෙන් ඇමෙරිකාව බොහෝ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන බවක් අපට පෙනෙනවා.
මේ සඳහා ඔවුන් විවිධ ගිවිසුම් භාවිත කරනවා. වාණිජ කටයුතු සඳහා ඔවුන් Trade and Investment Framework Agreement (TIFA) නම් ගිවිසුමක් අත්සන් කරනවා. ඒ වගේම ඔවුන්ගේ මූලධර්මවලට අනුව ඔවුන්ට නිදහසේ වෙළෙඳ කටයුතු සිදු කිරීමට නොහැකි රටවල් තිබේ නම් ඒ රටවල්වල වෙනස්කම් ඇති කිරීමටද මැදිහත් වෙනවා. ඇමෙරිකානු සමාගමක් ලෝකයේ වෙනත් රටවල් සමඟ ගනුදෙනු සිදුකරනවා නම් ඒවා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ හා ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නීති රෙගුලාසිවලට යටත් වෙනවා. කෙසේ වෙතත් ඇමෙරිකාවට මිත්‍ර නේටෝ (NATO)  රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නීති රීතීන් ඉතාම ලිහිල්ව පවතිනවා. කෙසේ වුවත් නේටෝ නොවන රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී ඇමෙරිකාව ඒ ගනුදෙනු සඳහා සම්බාධක පනවනවා. එසේම ගනුදෙනු කිරීම් තහනම් කළ රටවල්ද පැවතියා. එයට හොඳම උදාහරණයක් වන්නේ ලිබියාවයි. අසූ ගණන්වලදි ඇමෙරිකාව සිය රටේ සමාගම්වලට ලිබියාවත් සමඟ ගනුදෙනු කිරීම තහනම් කළා. එහෙත් පසුකාලීනව ඇති වූ තෙල් අර්බුදය හේතුවෙන් ඇමරිකාව ලිබියාවත් සමඟ තානාපති සබඳතා ඇතිකර ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ සීමිත ගනුදෙනු සඳහායි. ඉන්පසු ඇමරිකාව මැදිහත් වී ලිබියානු රජය වෙනස් කළා. ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ ඇමෙරිකාවට ලෝකයේ සෑම රටක් සමඟම ගනුදෙනු කිරීමට අවශ්‍යයි යන ජෙෆසෝනියන්  (Jeffersonian Principle)  මූලධර්මයයි. මහාචාර්ය පැටි්‍රක් මෙන්ඩිස්, ඇමෙරිකාව විසින් වෙනත් රටක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සමාන කළේ කර්මාන්තශාලාවක් තුළ සොසේජස් සෑදීමේ ක්‍රියාවලියටයි. එම ක්‍රියාවලිය බොහොම අප්‍රසන්න වුවත් පිටතට එන්නෙ බොහොම රසවත් දෙයක්.

ඇමෙරිකාව විසින් විවිධ ගිවිසුම්ගත වීම් හරහා සිදුකරන මේ මැදිහත්වීමට ලංකාව විෂය වෙන්නෙ කොයි ආකාරයටද?

ඒ පිළිබඳව සඳහන් කිරීමට පෙර මහාචාර්ය පැටි්‍රක් මෙන්ඩිස් ගැන සඳහන් කළ යුතුයි. ඔහු ලංකාවෙන් ජාත්‍යන්තර තලයට නියෝජනය කරන විද්වතුන් කිහිපදෙනා අතුරින් කෙනෙක්. අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳව හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ඒ වගේම ඔහු ඇමරිකානු රජයට සිටි හොඳම උපදේශකවරයෙක්. ඔහු ඇමරිකානු තානාපති නිලධාරියෙක් ලෙස ඇමරිකානු රජය වෙනුවෙන් දූත මෙහෙවරයන් එකසිය විසි ගණනක් පමණ මෙහෙයවා තිබේ. ඔහු මේ වනවිට ඇමෙරිකානු රජය වෙනුවෙන් යුනෙස්කෝවට පත්කර ඇති කොමසාරිස්වරයායි.

මහාචාර්ය පැටි්‍රක් මෙන්ඩිස් ලංකාවට පැමිණිවිටදි විවිධ ස්ථානවල දේශන පැවැත්වීම සිදුකරනවා. වරක් ඔහු ලංකාවේදී අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳවත්, ඇමරිකාව කුමන ආකාරයටද ලෝකයේ අනිත් රටවල් සමඟ සබඳතා පවත්වන්නේ යන්න පිළිබඳව ආරක්ෂක අංශ නිලධාරීන්ට දේශනයක් පැවැත්වූවා. එම දේශනය පැවැත්වුණේ 2011 ජූලි මාසයේදී. ඒ වනවිට ඔසාමා බින් ලාඩන් ඝාතනය වී මාස දෙකක් ගත්වී තිබුණා. එම දේශනය අවස්ථාවේදී ශ්‍රී ලාංකීය විද්වතෙක් මහාචාර්යවරයාගෙන් හැඟීම්බර ප්‍රශ්නයක් නැගුවා. “ඇයි ඇමෙරිකාව අනෙක් රටවල ස්වෛරීත්වයට අත දාන්නෙ?” ඔහු උදාහරණයට ගනු ලැබුවේ පාකිස්තාන රජයට කිසිම දැනුම්දීමකින් තොරව බින් ලාඩන්ව ඝාතනය කිරීම සඳහා ඇමරිකානු රජය ක්‍රියා කිරීම පිළිබඳවයි.

ඇමරිකානු ආණ්ඩුව ඒ දේ කළේ බොහොම විධිමත්ව අත්සන් කළ ගිවිසුමක් යටතේ හිමිවුණු වරප්‍රසාදයක් හැටියට බවත්, ඒ හේතුවෙන් පාකිස්තානයේ ස්වෛරීත්වයට කිසිදු හානියක් සිදු නොවූ බවත් මහාචාර්ය පැටි්‍රක් මෙන්ඩිස් එහිදී ප්‍රකාශ කළා. වාණිජ කටයුතු සඳහා Trade and Investment Framework ගිවිසුම අත්සන් කරන ආකාරයට, ඇමරිකානු රජයේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව සිදුවෙන කටයුතු සඳහා සහ අධිකරණමය කටයුතු සඳහා ඇක්සා නමින් ගිවිසුමක් (Acquisition and Cross-Servicing Agreement) අත්සන් කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා. එම ගිවිසුම් ප්‍රකාරව පාකිස්තානයට නොදන්වා ඇමරිකානු හමුදාව පාකිස්තානය තුළ මෙහෙයුමක් සිදු කිරීම හරහා ඉන් එරටේ ස්වෛරීත්වයට හානියක් සිදු නොවන බව මහාචාර්යවරයා එහිදී ප්‍රකාශ කළා.

එම ගිවිසුම අත්සන් කරන රට පෙන්ටගනයේ නීති පද්ධතියට යටත්වෙන බව එහි පැහැදිලිවම සඳහන් වෙනවා. මෙම ඇක්සා ගිවිසුම ඇමෙරිකාව ඕනෑම රටක් සමඟ අවුරුදු දහයක කාලසීමාවක් සඳහායි අත්සන් කරනු ලබන්නේ. එම ගිවිසුමට එළැඹි විට ප්‍රවාහනය සහ බෙදාහැරීම සඳහා වන අන්තර් ක්‍රියාකාරී හැකියාව  (Interoperaterbilty to Transfer and Exchange Logistics & Supplies) එනම් යම් ක්‍රියාන්විතයන්වලදී ඇමරිකානු හමුදාවට අවශ්‍ය කරන සියලුම පහසුකම් සැපයීමට අනෙක් පාර්ශ්වය බැඳී සිටිනවා. එම පහසුකම්වලට අයත් වන්නේ සීමිත මෙහෙයුම්වලදී අවශ්‍ය නම් ගුවන්යානා සහ නාවුක යාත්‍රා සඳහා ඉන්ධන සැපයීම, එම රටවල ඇති වරායවල් සහ ගුවන් තොටුපොළවල් මෙන්ම මුහුදු සහ ගුවන් සීමා භාවිතය, සාම සාධක හමුදා යැවීම වැනි කාර්යයන් සඳහා ඊට අවශ්‍ය කරන සහයෝගය ලබාදීම, යුධ අභ්‍යාස ඇමරිකානු හමුදාවත් සමඟ එක්වී ක්‍රියාත්මක කිරීම් වැනි බොහෝ කරුණු සඳහා ගිවිසුම අත්සන් කරන රටවල් බැඳී සිටිනවා. පැටි්‍රක් පැවසූ පරිදි ඒ වන විට පාකිස්තානය ඇමරිකාව සමඟ එම ඇක්සා ගිවිසුම අත්සන් කර තිබූ හෙයින් පාකිස්තානය ඇමරිකානු නීතියට යටත්වී පැවතුණා, ඒ හේතුවෙන් රහසිගත මෙහෙයුමක් සඳහා ඇමරිකාව පාකිස්තානු ආණ්ඩුව දැනුවත් කිරීමට අවශ්‍යතාවක් පැවතුණේ නෑ. මේ වෙද්දි ඇමරිකාව සමඟ රටවල් 90ක් මේ ගිවිසුම අත්සන් කර ඇති බව ඔහු පැවසුවා.

ලංකාව මෙම ගිවිසුම අත්සන් කර ඇත්දැයි මා එවිට ඔහුගෙන් විමසුවා. එවිට ඔහු පෙන් ඩ්‍රයිව් එකක් රැගෙන පින්තූරයක් පෙන්නුවා. ඒ පිංතූරෙ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ඒ කාලෙ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇමරිකානු තානාපතිව සිටි රොබට් ඕ. බ්ලේක් මහතායි. එම පින්තූරය පෙන්වමින් මහාචාර්යවරයා ප්‍රකාශ කළා ලංකාව මෙම ගිවිසුම 2007 දී ඇමරිකාව සමඟ අත්සන් කළ බව.

පසුව මම නිවසට පැමිණ මේ ගැන අන්තර්ජාලයෙන් සොයා බැලුවා. ඒ ගැන කිසිම ඡායාරූපයක් හෝ ඒ ගිවිසුම අත්සන් කළ බවට වන වෙන කිසිම විස්තරයක් අන්තර්ජාලයේ සඳහන් වී තිබුණේ නෑ. ඒ අනුව අද වනතුරු ලංකාවේ කිසිවෙකු ඒ ගිවිසුම හරහා ලංකාව ඇමෙරිකානු අධිකරණ සීමාවන්ට (Jurisdictions) 2017 දක්වා යටත්ව තිබූ බව දැන සිටියේ නැහැ. මම ඇත්තටම එතනදි මවිතයට පත්වුණා. අමාත්‍යාංශ ලේකම්වරයෙක්, පාර්ලිමේන්තුව හෝ දැනුවත් කිරීමකින් තොරව මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න තරම් බලසම්පන්නවීම පිළිබඳව.

අවස්ථානුකූලව ඒ ආකාරයට යම් යම් ගිවිසුම් අත්සන් කිරීම සිදුකරනවා. එහෙත් මෙවැනි බරපතළ ගිවිසුමක් අත්සන් කිරීමේදී පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කළ යුතුව තිබුණා. යුද්ධය අවසන් වුවායින් පසු තවත් විශේෂ සිදුවීමක් සිදුවූවා. එවකට පැවතියේ මහින්ද රාජපක්ෂ රජයයි. එක්තරා ඇමෙරිකන් යුධ පුහුණුවක් ඉන්දියන් සාගරයේ පැවැත්වෙද්දි ඇමරිකානු ගුවන්යානා අපේ රටේ ගුවන් සීමාවට ඇතුළු වී තිබුණා යැයි ලොකු ආන්දෝලනයක් ඇති වුණා. එහෙත් රජයෙන් ඒ ගැන වචනයක්වත් කතා කළේ නෑ.
මේ දේවල් හරිහැටි නොදැන ලංකාවෙ විවිධ පුද්ගලයන් විසින් මතුකරන ඇමෙරිකානු විරෝධය කිසිදු පදනමක් සහ තාර්කික බවක් නොමැති දෙයක්. කෙසේ වුවත් ලංකාවට ඇමරිකානු මැදිහත්වීම සිදුවෙන්නේ ඇමරිකානු විරෝධීන් ලෙස පෙනී සිටින පිරිසගේ රජය සමයේදියී. ඔවුන් සියලු වරප්‍රසාද ඇමරිකානු රජයට පවරාදී ඉන්පසු ඇමරිකන් විරෝධයක් පළකරනවා. ඒ රජය තුළ සිටි ඇමරිකන් විරෝධීන් පවා තම රජය මෙහෙම ගිවිසුමක් අත්සන් කළ බවක් දන්නෙ නෑ. මෙය බොහෝ රහසිගතව අත්සන් කළ ගිවිසුමක් බව ඒ අනුව පැහැදිලි වනවා.

2017 අවසන් වූ ඇක්සා ගිවිසුම නැවත වතාවක් අත්සන් කරන්න උත්සාහයක් තිබේද?

මා එය හරියටම දන්නේ නෑ. එහෙත් පසුගිය කාලේ ඒ ගැන මේ රජයම විටින් විට සාකච්ඡා පැවැත්වූවා. ඇතැම් විට මේ වෙද්දි උදාවෙලා තිබෙන තත්ත්වයත් සමඟ ඇක්සා ගිවිසුම නැවත වතාවක් අත්සන් කිරීමේ ප්‍රවනණතාවක් තිබෙනවා.

මේ ගිවිසුම හරහා අහිතකර බලපෑම් ඇතිවීමේ හැකියාවක් තිබේද?

ඇමරිකාවට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කරන රජයක් ලංකාවෙ බිහිවුවොත් ඒ අවස්ථාවෙ තමන්ට පක්ෂපාතී රජයක් නිර්මාණය කිරීමට ඔවුන් මෙය භාවිත කළ හැකියි. එහෙත් ඔවුන් ඒ දේ සිදු කරන්නේ විවෘතව නොවේ බොහොම රහසිගතව. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී නිසැකවම වෙනත් රජයක්, වෙනත් නායකයෙක් පත්වනවා. එහිදී පත්වෙන ආණ්ඩුව ඇමරිකන් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් එවිට ඇමරිකානු රජය අනිවාර්යෙන්ම මැදිගත්වීමක් සිදු කිරීම සඳහා වැඩි ඉඩකඩත් පවතිනවා.

මේ වනවිට ආර්ථිකමය වශයෙන් ලංකාව කෙරෙහි ඇමරිකාවේ මැදිහත් වීම කෙබඳුද?

බොහෝ දෙනෙක් නොසලකා හරින එහෙත් වැදගත් කාරණයක් තිබෙනව, වාණිජ කටයුතුවලදී ලංකාවට වැදගත්ම රට ඇමෙරිකාවයි. ලංකාව සිය අපනයනවලින් තුනෙන් එකක්ම සිදුකරන්නේ ඇමරිකාව සමඟයි. එයිනුත් තුනෙන් දෙකක් ඇඟලුම්. එනම් වෙළෙඳ ශේෂය(Trade Blance) 9 ගුණයක් ශ්‍රී ලංකාවට වැඩි වාසි සහගතව පවතිනවා. ලංකාවෙ රැකියා ක්ෂේත්‍රය අනුව වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින්නේ ද ඇඟලුම් ක්ෂේ්‍රත්‍රයේ. ඒ අනුව ඇමරිකාව ශ්‍රී ලංකාවට වඩාත්ම වැදගත් අපනයනකරු වනවා. මිනිස්සු කොපමණ ඇමරිකන් විරෝධී අදහස් පළ කළත් ඔවුන් මේ දේවල් ගැන සැලකිලිමත් වී නැහැ.

මේ අවස්ථාවේ ඇමරිකාව, චීනය සහ ඉන්දියාව යන රාජ්‍යන් තුනම සමඟම සමාන සබඳතා පවත්වාගෙන යාම වැදගත්. ඇමරිකාව ආර්ථිකමය වශයෙන් බලපාද්දි, ආරක්ෂක වශයෙන් ඉන්දියාව විවිධ උපකාර සිදු කරනවා. පාස්කු දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව පවා ඉන්දීය බුද්ධි අංශ ලංකාවට තොරතුරු ලබා දුන් බව මේ වෙද්දි හෙළිවෙලා තිබෙනවා. පහුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ සංවර්ධන කටයුතු සඳහා විශාල වශයෙන් චීනයෙන් ණය ලබා ගනු ලැබුවා. ඉදිරියේදී ඒ ණය ගෙවා ගැනීමට නොහැකි වුවහොත් චීනය ලංකාවට නොයෙකුත් බලපෑම් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. මේ හේතුවෙන් මහජනතාව ඉදිරියේදී පත්කර ගත යුත්තේ මේ රාජ්‍යයන් තුන සමඟම සමාන සබඳතා පවත්වා ගැනීමට හැකියාවක් ඇති රජයකි.