සදාෆ් හා සජාල් ලාංකිකයන්ට කියන සරණාගත පුවත

සටහන සහ ඡායා – ඉදුනිල් උස්ගොඩ ආරච්චි

“මට භය දැනෙනවා, තනිවීමේ වේදනාව දැනෙනවා. ඇයි මේ අය අපිට බනින්නේ, ඇයි ඒ අය හිතන්නේ නැත්තේ අපි අපේ රට දාලා අවේ ඇයි කියලා. අපි එහෙම ආවේ ජීවිත බේරගන්නයි. ඇෆ්ගනිස්තානයේ හැම දවසකම මෙවැනි විනාශයන් සිදුවුණා. මාසයක් ඇතුළත බෝම්බ පිපිරීම් වැනි දෙයින් දහස්ගණන් මිය ගියා. මේ අය අපිට චෝදනා කළ යුතු නැහැ. අපි දිහා වැරදියට බලන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. අපි ඇත්තටම මේ වරදට හේතුව දන්නේ නැහැ.” දොළොස් හැවිරිදි සදාෆ් සුසුම්ලමින් විමසන්නීය.

ඇය හිද සිටි පැදුර මත ළදරුවන් කීපදෙනෙක් ද තවත් කාන්තාවන් පිරිසක් ද වැතිර සිටියෝය. අවට සෑම අස්සක මුල්ලකමත් මිනිසුන් ගැහැනුන් මෙන්ම කුඩා දරුවෝ බිම එලා තිබූ පැදුරු මත හිද හෝ වැතිර සිටියහ. ඇතැමෙක් දෑත් ඉහළට ඔසවමින් දෙවියන් සිහි කළෝය, දරුවෝ කෑ ගසා හැඩූහ. ඔවුන් සිටි ගරාජය අවට පොලිස් නිලධරයෝ ද සැරිසැරුවෝය. මේ මීගමුව පොලිස් ස්ථානයයි. අප්‍රේල් 23 වන දා සිට හදිසියේම මෙන් පොලිස් ස්ථානයේ පිටුපස ගරාජය තාවකාලික සරණාගත කදවුරක් බවට පත්වූයේය. සදාෆ්ලාගේ පවුල වැනිම තවත් පවුල් ගණනාවකට අයත් පාකිස්ථාන, ඇෆ්ගනිස්තාන, ඉරාන වැනි රටවලින් මෙරටට ආරක්ෂාව පතා පැමිණ සිටි අයගෙන් 160කගේ පමණ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ ඉඩක් සොයා දීමට සිදුව තිබුණි.

සදාෆ්ලා ඇෆ්ගනිස්තානයේ සිට ලංකාවට පැමිණ තිබුණේ 2015 වසරේය. ඇගේ පියා, මව සහ සහෝදරයා ද තවත් ඥාති පවුලක අයද පැමිණ තිබුණි. “එහි අන්තවාදී කණ්ඩායම් කීවා අපි ඒ රටට අයිති නැහැ කියලා. ඒ අය අපේ ආගමික උත්සව වලට බෝම්බ ගැහුවා. සියලුම අය නෙමෙයි, අන්තවාදී කොටසක් තමයි ඒවා කරන්නේ. ඒ අය ඔවුන් අයත් ආගමික කොටසට අයත් නොවන අය ඝාතනය කිරීමට උත්සාය කළා. මෙහේ සිදුවෙලා තියෙන්නේත් එවැනි දෙයක්. එය සියලුම මුස්ලිම් අයගේ වරදක් ලෙස දැකීම වැරදියි. ඒවා සිදු කළේ අන්තවාදී කීපදෙනෙක් බව තේරුම් ගත යුතුයි.”ඒ සදාෆ්ගේ මව පවසන්නීය.

ඇෆ්ගනිස්තානයේ ආගමික අන්තවාදීන්ගෙන් එල්ලවූ තර්ජන හමුවේ ජීවිත ගලවා ගැනීමට මෙරටට පැමිණෙන ඔවුහු 2019 අප්‍රේල් 21 වනදා වනතුරු කිසිදු හිරිහැරයකට ලක් නොවෙමින් සුරක්ෂිතව දිවිගෙවා තිබුණි. තත්ත්වය හදිසියේම වෙනස් අතකට පෙරැළී ඔවුන් මෙරට තුළ ද නැවතත් අනාරක්ෂිත වන්නේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ බෝම්බ පුපුරා යෑමේ සිදුවීම සමගය. “මීට පෙර අසල්වැසියෝ සියලුදෙනාම අපි එක්ක ඉතාම සුහදව සහ කාරුණිකව කටයුතු කළා. ඒත් මේ බෝම්බ පිපිරීම එක්ක ඒ අය අපි එක්ක අමනාප වුණා. අපිව ගෙදරින් පන්නා දාන්න කියලා ඒ අයත් තවත් ගොඩාක් අයත් ඇවිල්ලා ගේ අයිති කෙනාට කීවා.” එක හුස්මට සියල්ල විස්තර කරමින් සිටි සදාෆ් සහ මව එක් වරම නිහඩවූයේ යම් සිදුවීමක් වෙත අවධානය යොමුවූ නිසාය. කදවුරේ සිටි මවක් තම කුඩා දරුවාට පහරදෙනු දැක ඔවුහු තිගැස්සී මොහොතක් බලා සිටියෝය. “හැමෝම ඉන්නේ ඉතාම ලොකු පීඩනයක. ආරක්ෂාව හොයාගෙන ආව රටේත් නැවත අනාරක්ෂිත වීම දරාගන්න අමාරුයි.” ඇය සුසුම් හෙලුවාය.

UNHCR මගින් පාසල් ගාස්තු ගෙවා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා දී තිබූ සදාෆ්ට අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර පාසලෙන් දන්වා තිබුණේ තවදුරටත් පාසලට භාර නොගන්නා බවය. අනාගතය ගැන බලාපොරොත්තු රාශියක් දොලොස් වියැති සදාෆ්ට තිබුණි. ඔවුන් විදි කටුක අත්දැකීම් නිසා මේ ක්‍රියාදාමයන් වෙනස් කිරීමේ මගක් සෙවීමේ අවශ්‍යතාව ඇයට තිබුණි. ඇය සියලු බාධක මධ්‍යයේ පිළිතුරු සෙවීමට තැත් කළාය. “මෙතැන අපට නිදා ගන්නවත් අමාරුයි, ළමයි අසනීප වෙනවා. ආහාර පිළිබද ප්‍රශ්න තිබෙනවා අපිට ප්‍රමාණවත් වැසිකිලි, නාන කාමර පහසුකම් නැහැ. ඉතාම අපහසුයි. මෙතන අපි නොදන්නා ගොඩක් අය එක්ක අපිට එකට ඉන්න වෙලා තියනවා. ඉඩ පහසුකම් නැහැ. ඉර එළිය එද්දී, වහිද්දී අපිට ඉන්න තැන්වල ඉන්න අමාරු වෙනවා. ඒත් මොනවා කරන්නද. හැබැයි අපිට මෙතැන පොලිස් ආරක්ෂාව තියනවා. අපිට UNHCR උදවු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා, එහෙම නැතිවුවහොත් අපිට මොනවා වේවිද දන්නේ නැහැ.”සදාෆ් මුමුණන්නීය.

ශ්‍රී ලංකාව සරණාගතයන්ට රැකවරණය දීමේ සම්මුති අත්සන් නොකළ රටක් වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වන බැවින් ද සරණාගතයන් ලෙස හෝ රැකවරණය පතන්නන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව සානුකම්පිත ලෙස කටයුතු කළ යුතුය. මෙරටට රැකවරණය පතා පැමිණෙන්නන් UNHCR ලියාපදිංචිය සදහා ඉල්ලුම් කරන අතර ඒ අනුව අනුමැතිය ලබන්නන් පිළිබද UNHCR හි අවධානය යොමුවේ. කදවුරේ සිටි ඇතැම් පිරිස් UNHCR හි ලියාපදිංචිවූ සරණාගතයින් සහ රැකවරණය පතන්නන් වූ අතර ඔවුන්ට මාසිකව ජීවත්වීම සදහා ද එම කාර්යාලය හරහා නිෂ්චිත මුදලක් ලැබී තිබුණි. ඔවුන්ට මෙරට රැකියා කිරීමට නීතිමය අවසරය නොමැති බැවින් එම මුදලත් විවිධ ආධාර මතත් ඔවුහු ජීවිතය ගෙන ගොස් තිබුණි. UNHCR මගින් ලබා දුන් මුදලෙන් මේ මාසයේ ඔවුන්ට ලබා දී තිබුණේ අඩකි. ඔවුන්ට ආහාර සැපයීම වෙනුවෙන් එම කපාහැරි මුදල පොලීසියට ලබා දීමට කටයුතු කර තිබෙන බව ඔවුහු පැවසූහ. එහි සිටි තවත් අය ද මෙරටට පැමිණි පසු ඹභ්‍යක්‍ඍ හි ලියාපදිංචිය සදහා ඉල්ලුම්කර තිබුණද ඒවා UNHCR විසින් අනුමත කර නොතිබුණි. එහෙත් ඔවුන්ද පැමිණ තිබුණේ විවිධ හිංසනයන්ට, තර්ජනයන්ට ලක්වීම හේතුවෙන් මව්රටේ රැඳී සිටීමට නොහැකි බැවිනි. එහෙත් දැන් මෙම සිදුවීමත් සමග ඔවුන්ද තවත් අසරණ අඩියකට වැටී තිබෙන්නේ UNHCR මගින් හෝ ඔවුන්ට පිළිසරණක් නැතිවේ යැයි සැකයෙනි.
“අපි යූඑන්එච්සීආර් එකේ අය ආවාම කීවා අපිව තුන්වන රටකට යවන්න කියලා. ඒ අය කියනවා අපිට තානාපති කාර්යාලවලට කෙලින්ම කතා කරන්න කියලා. ඒත් අපි කොහොමද එහෙම කතා කරන්නේ. අපිට තවදුරටත් ලංකාවේ ඉන්න ඕනෑ නැහැ. අපිට හැමදේම නැති වුණා. ඒත් ලංකාවට එද්දී අපිට බලාපොරොත්තුවක් තිබුණා. අපිට සුරක්ෂිතව ඉන්න පුලුවන් කියලා. ඒත් ඒ බලාපොරොත්තු විනාශ වුණා. දැන් සෑම රූපවාහිනී නාලිකාවක්ම පාකිස්තාන සරණාගතයන් ගැන කතා කරනවා. ඒත් අපි කිසිදු වරදක් කළ අය නෙමෙයි.” ඒ UNHCR හි ලියාපදිංචි අයෙකු පැවසූ වදනකි.

පකිස්තානු ජාතික තරුණයෙකු වූ අමනත් මෙරටට පැමිණ තිබුණේ 2013 වසරේදීය. ඔහු තම රට තුළ දී හිංසනයට ලක්වූ අයුරු විස්තර කළේය.“අපි ක්‍රිස්තියානි ආගම ඇදහූ අය. අපේ පල්ලියේත් බෝම්බ පිපිරීම් සිදුවුණා. ගොඩක් පල්ලි ගිනි තැබීම්වලට ලක්වුණා. පල්ලියේ පාස්ටර්ව මැරුවා. මම ඒ සිදුවීම වෙනවා දැක්ක නිසා පොලීසියට කටඋත්තරයක් දුන්නා. පස්සේ ඒ පුද්ගලයන් මාවත් මරන්න උත්සාහ කරමින් හිටියා. පස්සේ මම පාස්ටර්ස්ලාගේ උදවු ඇතිව ලංකාවට ආවා. ඒ අය ලංකාව සාමකාමී රටක් බව කීවා. වෙනත් රටටකට යාමට අපහසු අය එහේ මැරුම් කනවා. පුලුවන් අය වෙනත් රටවලට යනවා.” කටුවාපිටිය බෝම්බ පිපිරීමෙන් පසු මිනිස්සු තමන් දෙසද වැරදි ලෙස බලන බවත් තමන් පාකිස්තානු ජාතිකයෙකු වුවත් කතෝලිකයෙකු බවත් ඔහු පවසන්නේය. එහෙත් එය නොදැන පකිස්තානයේ සිට පැමිණි බැවින් මිනිස්සු තමන් ප්‍රතික්ෂේප කිරීමට පටන් ගෙන තිබෙන බව ඔහු පවසන්නේය. “අපි කතෝලික අය බවත් ඒ නිසා අපිට පකිස්තානයෙන් යන්න වූ බවත් ඒ අය දන්නේ නැහැ. පකිස්තානයේ නිතරම බෝම්බ පිපිරීම්, මිනිස් ඝාතන සිදුවෙනවා. අපි ඒවා දැක්කා. ඒත් ලංකාවේදී එවැනි දේ දකින්න සිදුවේය කියලා අපි බලාපොරොත්තු වුණේ නැහැ. අපි සියල්ලෝම මනුෂ්‍යයන්. අපිට හැගෙන්නේ සියලු ශ්‍රී ලාංකිකයන් අපේම සහෝදර සහෝදරියන් ලෙසයි. මේවා අපිට ඉතාම වේදනාවක්. අපි පකිස්තානුවන් නිසා ශ්‍රී ලාංකිකයන් අපිටත් ප්‍රහාර එල්ල කරනවා. ඒක ඉතාම වේදනාවක්. අපිට කළ හැකි දෙයක් නැහැ. අපට අවශ්‍ය සාමයයි.” ඔහු පැවසුවේ මුහුණේ වේදනාව සටහන් වෙද්දීය.

ඔහුද ඹභ්‍යක්‍ඍහි ඉල්ලුම්පත ප්‍රතික්ෂේපවූයෙක් වූ බැවින් හෙට දවස කුමක්වේදැයි යන්න ගැන තිබුණේ අවිනිශ්චිත බවකි. එහෙත් ඔහු හිතවතෙකුගේ අනුග්‍රහයකින් හෝ තුන්වන රටකට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවූයේය. “අපිට ආපහු පකිස්තානයට යන්න බැහැ, මොකද අපි ගියොත් අනිවාර්යයෙන්ම ඒ රටේ අන්තවාදීන් අපිව මරණවා. යම් කිසි අනුග්‍රාහකයෙකුගේ මැදිහත්වීමකින් හෝ වෙනත් රටටකට යෑමට අවස්ථාවක් ලැබේවි කියන බලාපොරොත්තුවක් තියනවා.” අමනත් මිමිණුවේය.

අප්‍රේල් 21දා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මිනිසුන් කණ්ඩායම් පැමිණ එම ප්‍රදේශයේ සරණාගත පවුල්වල අය ජීවත්වෙමින් සිටි නිවෙස් වට කළ අයුරුත් බියෙන් වෙවුලමින් නිවෙස් තුළ දොරගුලු දමා විදුලි පහන් නොදල්වමින් දින දෙකක් පමණ ගෙවූ අයුරුත් ඔවුහු විස්තර කළහ. නැවත 23 වන දා මිනිසුන් පැමිණ පැයක් ඇතුළත නිවෙස්වලින් ඉවත් වන ලෙස තර්ජනය කළ අයුරු ඔවුහු සිහිපත් කළෝය. තම රටේ දී මුහුණදුන් අමිහිරි අත්දැකීම් වැනිම තත්ත්වයකට ඔවුහු මුහුණ දෙමින් සිටියහ.

“පකිස්තානයේදී අපේ ජීවිතවලට ආරක්ෂාව තිබුණේ නැහැ. අපි මුස්ලිම් වුණක් අපි අයත් වුණේ සුළුතරයක් වුණු වෙනත් කාණ්ඩයකට නිසා බහුතරයක්ව සිටි වෙනත් කණ්ඩායම් අන්තවාදී ලෙස කටයතු කරමින් අපිට කරදර කළා. ඔවුන් අපේ නිවාසවල ප්‍රහාර එල්ල කළා. අපේ ඥාති නිවසකට ගිනි තැබුවා. වයසක කාන්තාවක් සහ ගැබිණි කාන්තාවක් වගේම කුඩා දරුවන් දෙදෙනෙක් ගිනි තැබූ නිවස තුළ මිය ගියා.” ඒ පහළොස් හැවිරිදි පාකිස්තානු දැරියක වූ සජාල්ය. ඈ පියාත් මවත් සහෝදරයන් තිදෙනා සහෝදරියන් තිදෙනා සමග මෙරටට පැමිණ තිබුණේ 2016 වසරේය. ලබන වසරේ විද්‍යා අංශයෙන් පෞද්ගලිකව උසස්පෙළ විභාගයට පෙනී සිටීමේ බලාපොරොත්තුවෙන් සිටි බව සජාල් කීවාය. “මෙතැන අපි ඉන්නේ ඉතාම අපහසුවෙන්, ඔක්කෝම එකට නිදා ගන්න වෙනවා. කිසිම නිදහසක් නැහැ. රෑට මදුරුවෝ පිරිලා. අපිට මේ කෑම කන්න අමාරුයි. වැසිකිළි තියෙන්නේ දෙකක් විතරයි. ඒත් මෙතැන ආරක්ෂාව තියනවා. අපිව වෙනත් රටකට කවුරුහරි රැගෙන යාවි කියලා බලාපොරොත්තුවෙනවා. තවදුරටත් අපේ ආරක්ෂාව ගැන විශ්වාසයක් නැති නිසා ලංකාවේ ඉන්න කැමති නැහැ.”ඇය කියන්නීය. ඔවුන්ගේද ඹභ්‍යක්‍ඍ ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වී තිබුණත් නැවත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව ද ඇය පැවසුවාය.

මෙම පිරිස මීගමුව ප්‍රදේශයේම පාසල් ගොඩනැගිල්ලක තාවකාලිකව රැදවීමට සැරසුණු විට එහි ප්‍රදේශවාසීන් ඊට විරෝධය දක්වා තිබුණි. පසුගිය දිනවල අම්බලන්තොට ප්‍රදේශයේද විරෝධතා ඇති විය. කෙසේ වෙතත් මීගමුව පොලීසිය මේ මිනිසුන්ට තවමත් ආරක්ෂාව සපයමින් තම භාරයේ තබා ගෙන සිටී. පොලිස් නිලධාරීන් වෙනුවෙන් තිබෙන සීමිත ඉඩ පහසුකම් දැන් තවත් 160ක් පමණ සමග බෙදා ගැනීම සිදුවේ. මෙම සරණාගතයින් ඉක්මනින් වෙනත් රටක් වෙත යවන ලෙස මෙරට ජනාධිපතිවරයා පසුගිය දිනක පවසා තිබුණද විදේශ අමාත්‍යාංශය සදහන් කළේ UNHCR විසින් එම ක්‍රියාවලිය පෙර සිටම කරගෙන ආවක් බවත් එය ඉතා දීර්ග ක්‍රියාවලියක් බැවින් එලෙස හදිසියේ ඔවුන් පිටත් කර යැවීම කළ නොහැකි බවයි. දැනට මෙරට තුළ සරණාගත පුද්ගලයන් සහ රැකවරණය පතන්නන් 1678ක් සිටින බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

“අපි රෝමානු කතොලික අය. පකිස්තානයේ දී ත්‍රස්ත කණ්ඩායම් මගේ සහෝදරයා මරා දැමුවා. මගේ පුතාටත් වෙඩි තැබුවා. ඒත් එයාගේ ජීවිතය බේරුණා. මෙහි අපි සියලුදෙනා දැන් සිටින්නේ එකම තත්ත්වයකයි. අපි සියල්ලෝම අසරණයි. අපිට පුදුම වේදනාවක් තියනවා මේ සිදුවීම ගැන. කිසිවෙකුට කොළ පැහැ නිල් පැහැ රුධිරය නැහැ, හැමෝගේම රුධිරය රතු පැහැතියි. හැමෝම මනුෂ්‍යන් කියලා තේරුම්ගත යුතුයි. අපි පකිස්තානයේදීත් මෙයට මුහුණ දුන්නා. අපි ඉතාම බැගෑපත්ව ලාංකිකයන්ට කියනවා අපි මේ දේවල්වලට සම්බන්ධ නැහැ කියලා. සමහර අය ඒක තේරුම් ගන්නේ නැහැ. ඒත් මම මේ රටේ ජීවත් වුණේ ඉතාම සතුටින්, මොකද පකිස්තානයේ වගේ නෙමෙයි ලංකාවේ දී ලොකු නිදහසක් දැනුණා, විශේෂයෙන් කාන්තාවන්ට ලොකු නිදහසක් ලැබුණා. ඒ නිසා මම ලංකාවට කැමතියි.” ඒ 57 වියේ පසුවූ මවක් වන නසීම් ජෝන්ස් පැවසූ වදනකි.