වියපත් අභියෝගය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

මුස්ලිම් අන්තවාදය පිළිබඳ දේශපාලකයන්ට සහ අනෙකුත් බලධාරීන්ට විවිධාකාරයේ අනතුරු ඇඟවීම් සිදුකර, ගතව ඇති කාලය සාමාන්‍යයෙන් වසර 5ක්වත් විය හැකිය. එහෙත් ඒ පිළිබඳ දක්වා ඇති සැලකිල්ල කොතරම් දුර්වලද යන්න 2019 පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාවෙන් ප්‍රත්‍යක්ෂ වූයේය. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් දුර දැකීමේ නුවණ අහිමි කරගෙන ඇත්තේ අද ඊයේ සිට නොවන අතර ත්‍රස්තවාදය – අන්තවාදය පිළිබඳ පමණක් නොව ආර්ථිකය, සමාජය, දේශපාලනය, සංස්කෘතිය ආදී සියලු විෂයයන් පිළිබඳවද ඔවුන්ට ඇත්තේ අප්‍රසන්න වාර්තාවකි.

ජනගහනය රටක මූලික සමාජ දර්ශකයක් වන්නා සේ ම එහි ව්‍යුහයේ ඇතිවන්නා වූ වෙනස්කම් සමාජ, සෞඛ්‍ය ක්ෂේත්‍රයන්ට පමණක් නොව සමස්ත ආර්ථිකයටද එල්ල කරන්නේ ප්‍රබල බලපෑමක් ලෙස සැලකිය හැකිය. 80 දශකය අග භාගය වනවිටත් ශ්‍රී ලංකාවේ පැවතියේ සිලින්ඩරාකාර ජනගහන ව්‍යුහයකි. ඉන් අදහස් වන්නේ ළමා, තරුණ සහ වයස්ගත ජනගහනය එක සමාන මට්ටම්වල පවතින බවය. එකල මෙම ළමා හා තරුණ ජනගහනය වර්ධනය වන ආකාරය දෙස බලා, ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ ජනගහනය පිරමීඩාකාර ස්වරූපයක් ගෙන වයස්ගත ජනගහනය ඉහළ යන බව සමාජ විශේෂඥයෝ මෙන්ම ආර්ථික විශේෂඥයෝ අනතුරු ඇඟවූහ. එහෙත් ඒ සඳහා ප්‍රතිපත්තිමය විසඳුමක් කරා යාමට ඉන්පසු බලයට පත්වූ මෙරට කිසිදු ආණ්ඩුවක දේශපාලන නායකයන් සමත් වූයේ නැත. ඔවුන් ඊට මුහුණ දුන්නේද ඉස්ලාම් අන්තවාදයට මුහුණ දුන් දුර්වල ආකාරයටමය. සංවර්ධනය නොවූ රටක වයස්ගත ජනගහනය මෙසේ ඉහළ යෑම ක්ෂණික මරාගෙන මැරෙන ප්‍රහාරයක් නොවුණද ආර්ථිකයට, සමාජයට, සෞඛ්‍යයට ආදී සියලු ක්ෂේත්‍රයන්ට බරපතළ ප්‍රහාරයක් වීම නොවැළැක්විය හැකිය.

අවුරුදු 05 යෝජනාව

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.පී. මණ්ඩලවත්ත, 2019 ජනවාරි 31 වැනිදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වෙත මෙන්ම වජිර අබේවර්ධන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබුණේය. එහි ශීර්ෂය වී තිබුණේ ‘රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම; 2018/2019 අය-වැය යෝජනා’ යන්නය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට සුදුසු කාලය මෙය බවත් ඉදිරි අය-වැය යෝජනාවලදී හෝ වෙනත් ආකාරයකින් මේ සඳහා පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් එම ලිපිය ආරම්භ කර තිබිණි. සිය ඉල්ලීමට පදනම් වන හේතූන්ද ඔහු එහි අන්තර්ගත කර තිබුණේය. එහෙත් මෙවැනි යෝජනාවක් 2019 අය-වැය යෝජනාවලියට ඇතුළත්ව තිබුණේ නැත.

ඉන්පසු අවස්ථා කීපයකම ඔහු මා සමග මේ පිළිබඳ සාකච්ඡා කළේය. දුරකතනයෙන් මෙන්ම හමුවූ අවස්ථාවකද ඔහු සිය අදහස තහවුරු කිරීමට කරුණු රැසක් ඉදිරිපත් කළේය. ඔහු ආණ්ඩුවට යොමු කළ ලිපියට අදාළව ප්‍රවෘත්තියක්ද රාවය මීට පෙර පළ කර තිබිණි. මේ පිළිබඳ යළි සිහිපත් වූයේ 2018 මහ බැංකු වාර්තාව කියවීමේදීය. එහි පළමුවැනි පරිච්ඡේදයේම විශේෂ සටහන් 3ක් ඇති අතර ඉන් තුන්වැන්න සම්පූර්ණයෙන්ම ජනගහනය වයස් ගතවීම පිළිබඳ සාකච්ඡාවට වෙන්කර තිබේ. “ශීඝ්‍රයෙන් වියපත් වන ජනගහනයක් මධ්‍යයේ ජාතික මට්ටමේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක අවශ්‍යතාව” එහි මාතෘකාව වී ඇතත්, වයස්ගත ජනගහනය ඉහළ යෑමේ අභියෝගය පිළිබඳ චිත්‍රයක් ඇඳ දීමට එම විග්‍රහය සමත් වී ඇතැයි සිතිය හැකිය.

ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය, අනෙකුත් දකුණු ආසියාතික රටවලට සාපේක්ෂව ඇත්තේ ඉහළ මට්ටමකය. එය සංවර්ධනය වෙමින් පවත්නා රටක් සඳහා ඉහළ අගයක් බව මහ බැංකු වාර්තාවම සඳහන් කරයි. එහිදී මුහුණදීමට සිදුවන ප්‍රධානම අභියෝගය ලෙස සැලකිය හැක්කේ, රටක් ලෙස ඵලදායිතාව පහත වැටීමය. අනෙක් පැත්තෙන් ශ්‍රම බලකායට සහභාගි වන අනුපාතය අඩුවනවා සේ ම රටේ පාරිභෝජනයද පහත වැටී භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුමද පහත වැටීම සාමාන්‍ය තත්ත්වය වන්නේය. ඉතිරි කිරීම් පහත වැටීම ආර්ථිකයට එල්ල වන තවත් බරපතළ අභියෝගයක් ලෙස සැලකිය හැකිය. මෙවැනි තත්ත්වයකදී වයස්ගත යැපුම් අනුපාතය ඉහළ යන්නා සේ ම සමාජ සුබ සාධනය සහ සෞඛ්‍ය සඳහා රජයේ වියදමද ඉහළ යන්නේය.

මෙහි ඇති බැරෑරුම්කම කොතෙක්ද යන්න මහ බැංකුවේ සහ වැඩිහිටි තැනැත්තන් පිළිබඳ ජාතික සභාවේ සංඛ්‍යා මෙන්ම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2012දී කරන ලද සමීක්ෂණය ආශ්‍රයෙන්ද තේරුම් ගත හැකිය. එම සංඛ්‍යා උපයෝගී කරගෙන 2015දී එම දෙපාර්තමේන්තුව ‘ශ්‍රී ලංකාවේ ඉහළ යන වැඩිහිටි ජනගහනය’ යන නමින් වාර්තාවක්ද නිකුත් කළේය.

මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි 2021 වනවිට ශ්‍රී ලංකාවේ, අවුරුදු 60ට වැඩි ජනගහනය 16.7%ක් දක්වා ඉහළ යන්නේය. 2041දී එම අගය 24.8% දක්වා ඉහළ යාමට නියමිතය. මේ අනුව වැදගත් කාරණය වන්නේ මීළඟ අවුරුදු 20 ඇතුළත ශ්‍රී ලංකාවේ සෑම හතර දෙනකුගෙන්ම එක් අයකු අවුරුදු 60ට හෝ ඊට වැඩි වයස්ගත අයකුවීමය. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2012දී කළ සමීක්ෂණය අනුව වයස්ගත ජනගහනයෙන් 56%ක් කාන්තාවන් වූ අතර එය ජනගහනය වයස්ගතවීමේ අභියෝගය තවත් තීව්‍ර කරන්නක් ලෙස සැලකිය හැකිය. සමීක්ෂණය අනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් 55.3%ක්ම තමාගේම ආර්ථික කටයුතුවල නිරතවන්නෝ වූහ. එහෙත් වැඩිහිටියන්ගෙන් 34%ක් සේවකයන් ලෙස කටයුතු කරද්දී සේවා යෝජකයන් ලෙස කටයුතු කරන්නේ 3.3%ක ප්‍රතිශතයක් පමණි. මේ අනුව අවුරුදු 60ක් සහ ඊට ඉහළ වැඩිහිටි ජනගහනයෙන් 50%කටම විශ්‍රාම වැටුපක් හිමිවන්නේ නැත. 2017 වාර්තාවලට අනුව මෙරට ශ්‍රම බලකායෙන් 58%ක්ම නිරත වන්නේ අවිධිමත් රැකියාවල වන අතර ඔවුන්ටද ඉදිරියේදී විශ්‍රාම ගිය පසු විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථසාධක හෝ භාරකාර අරමුදලේ රැකවරණය හිමිවන්නේ නැත.

මහ බැංකුව සහ ආණ්ඩුවේ යෝජනාව

මේ නිසා ආණ්ඩුවේ අවධානය යොමුව ඇත්තේ ‘දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්’ කෙරෙහිය. රාජ්‍ය, පෞද්ගලික හා අවිධිමත් සියලු අංශ ආවරණය වන පරිදි ජාතික මට්ටමේ එවැනි ව්‍යාපෘතියක ඇති අත්‍යවශ්‍යතාව මහ බැංකුවද සිය වාර්තාවේ අවධාරණය කර ඇත. දැනට පවතින රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට සේවකයන් දායකත්ව මුදල් නොගෙවන අතර පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමි සේවක භාරකාර අරමුදලටද සේවකයා දායකත්වයක් දක්වන්නේ නැත. එහෙත් පෞද්ගලික අංශයේ සේවක අර්ථසාධක අරමුදලට මෙන්ම රාජ්‍ය අංශයේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයද සේවකයන්ගේ දායකත්වය ඇති විශ්‍රාම වැටුප් ක්‍රමයන් වන්නේය. මේ සියල්ල වෙනුවට රාජ්‍ය, පෞද්ගලික හා අවිධිමත් සියලු අංශවල සේවකයන්ට ‘දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්’ ඇති කෙරෙන සැලැස්මක් 2019 අය-වැය යෝජනාවලද අන්තර්ගත කර තිබේ. එය නරක යෝජනාවක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් ඒ හා සමගම, වැඩිහිටියන් රටට බරක් කර නොගැනීම උදෙසා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගද අනුගමනය කළ හැකිය.

2016දී කළ සංගණනයක් අනුව සන්නද්ධ හමුදාවක් හැරුණු විට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් 84,084ක් (සමස්ත රැකියා නියුක්තිකයන්ගෙන් 7.6%ක්) අවුරුදු 56 ඉක්මවා තිබිණි. 77.4%ක් (8,54,300ක්) අවුරුදු 30-55 අතර සිටියහ. මෙයින් නිගමනය කළහැක්කේ කුමක්ද? ලබන වසර (2020) වනවිට, දැනට සිටින විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ ගොඩට තවත් අතිරේක 84084ක් එකතු වනවා සේ ම ඉදිරි වසර 30 තුළ අතිරේක විශ්‍රාමිකයන් 854,300ක් විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ ලැයිස්තුවට එකතු වන බවය.

2019 පෙබරවාරි වනවිට රජයේ විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව 623,417ක් වූ අතර එය මුළු ජනගහනයෙන් 2.9%ක් වන්නේය. 2018දී රජයේ පුනරාවර්තන වියදමෙන් 9.3%ක් (රුපියල් බිලියන 194.5ක්) වෙන්කර ඇත්තේ විශ්‍රාම වැටුප් ගෙවීමටය. රජයේ පුනරාවර්තන වියදමෙන් 10%ක් මුළු ජනගහනයෙන් 3%කට වඩා අඩු පිරිසකට ඍජුවම ගෙවා දමන බව මෙයින් පැහැදිලි වනවා සේ ම ඉදිරි වසර 30 තුළ උදාවන තත්ත්වයද සිතාගත හැකිය. එසේ නම් මෙය රටකට හොඳ තත්ත්වයක් වන්නේ කෙසේද?

විකල්ප මාවත්

එහෙත් ජාතික මට්ටමේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමෙන්ම, මෙම ජනගහනය වියපත් වීමේ අර්බුදය විසඳාගත හැකියැයි සිතිය නොහැක. ඊට පැති ගණනාවකින් විකල්ප විසඳුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නේ නම් සිදුවිය හැක්කේ අභියෝගයට සාර්ථකව මුහුණදීමට වඩා තත්ත්වය වියවුලක් බවට පත්කර ගැනීමය. වෛද්‍ය මණ්ඩලවත්තගේ යෝජනාවද එවැනි එක් වැදගත් විකල්පයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය අංශයේ අවුරුදු 60 විශ්‍රාම යන වයස් සීමාව සහ පෞද්ගලික අංශයේ අවුරුදු 55 විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 65 දක්වා ඉහළ නැංවීම ඔහුගේ යෝජනාවේ හරය වන්නේය. එම කාරණය, 2018 මහ බැංකු වාර්තාවද යෝජනා කර තිබේ. විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීම මෙන්ම ජනගහනය ආර්ථික කටයුතුවලට දිගු කාලයක් නිරත කරවීම උදෙසා ක්‍රමික විශ්‍රාම ගැන්වීමේ (Phased retirement) ක්‍රමයක්ද ඒ යෝජනාවල ඇතුළත් වන්නේය. ඒ සමගම කුසලතා වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් එය සාර්ථක විසඳුමකට හේතුවිය නොහැකිය.

ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව ඉහළ යමින් පවතින අතර මේ වනවිට පරමායුෂ අවුරුදු 76ක් (75.5ක්) වීම මෙන්ම රාජ්‍ය අංශයේ අත්දැකීම් බහුල සේවකයන් අවුරුදු 60න් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමුවීමද මෙම අභියෝගයේදී නොසලකා හැරිය නොහැකිය. අනෙක් පැත්තෙන් වැඩිහිටියන් වැඩිපුරම ගොදුරුවෙමින් සිටින්නේ හෘදය, පිළිකා, දියවැඩියාව, සන්ධි ප්‍රදානය, විෂාදය, චිත්ත වික්ෂෝපය (Dementia) සහ ඇල්සයිමර් (Alzimer)  වැනි බෝ නොවන රෝගවලටය. වෛද්‍ය මණ්ඩලවත්තගේ අදහස් අනුවද රටේ සංවර්ධනයට කායික/මානසික ශ්‍රම දායකත්වය ලබාදීමේ හැකියාව තිබියදී වැඩිහිටියන් යැපීම් මානසිකත්වයකට පත්වීමද මෙවැනි තත්ත්වයකට හේතුවිය හැකිය.

එක් පැත්තකින් ජනගහනය සැලකෙන්නේ පුළුල් විෂයයක් ලෙසය. අනෙක් පැත්තෙන් රටක ජනගහනය වයස්ගතවීමේ අභියෝගය ජයගැනීම දීර්ඝකාලීන ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකිය. මක්නිසාද එම මාවත විවර කරගත හැකිවන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ සමත්කම්වලින් පමණක් නොව, සමාජ, සෞඛ්‍ය, අධ්‍යාපන යනාදී සියලු අංශ ඒ හා සමපාතව ගමන් කරවන ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමෙන් වන නිසාය. එහෙත් ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකර ඇත්තේ ආණ්ඩු මාරුවන විට ජාතික ප්‍රශ්නවල පවා ප්‍රතිපත්ති මාරු කරන නායකයන් පිරිසක් මිස අනාගත අනතුරට රට සූදානම් කරන නායකයන් පිරිසක් නොවේ. ලැබෙන පන්දුවට පිත්ත අල්ලා පිටියේ රැඳී සිටීමේ මේ ප්‍රතිපත්තිය නිසා තරගය අවසන් විය හැක්කේ එක්කෝ පරාජයෙනි, නැතහොත් විසඳුමකින් තොරවය.