පෞද්ගලික අංශය සහ අධ්‍යාපනය

ප්‍රභාෂ්වර

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටා ඇති වෙස්ට්මිනිස්ටර් විද්‍යාලය, 1560 වසරේදී පළමුවැනි එළිසබෙත් රැජිණ අතින් විවෘත කෙරුණේ දුප්පත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතළිස් දෙනෙකුට හොඳ අධ්‍යාපනයක් පිරිනැමීම උදෙසාය. අදත් මෙය ළමුන් 750කගෙන් සමන්විත රජයේ පාසලක් ලෙස පවත්වාගෙන යනු ලැබුවද, එහි නේවාසිකව ඉගෙනීම වෙනුවෙන් එක් අයකු වාර්ෂිකව පවුම් 39,252ක් ගෙවිය යුතුය. නේවාසික නොවන සිසුවකු සඳහා දැරිය යුතු වාර්ෂික වියදම පවුම් 27,124කි. ඒ අනුව, වෙස්ට්මිනිස්ටර්හි නේවාසික නොවන ශිෂ්‍යයකුගේ මාසික අධ්‍යයන ගාස්තුව ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් ලක්ෂ 05 ඉක්මවයි. දුප්පත් දරු දැරියන්ට ඉගැන්වීම පිණිස ස්ථාපිත වුණු රජයේ පාඨශාලාවක්, කාලයාගේ ඇවෑමෙන් ඉහළ ධනවතුන්ගේ දූ පුතුන්ට පමණක් යාහැකි තැනක් බවට පත්වූයේ එංගලන්ත ආණ්ඩුවේ භාණ්ඩාගාරයට වෙස්ට්මිනිස්ටර් විද්‍යාලයේ මෙහෙයුම් වියදම් තනිවම දැරිය නොහැකි වූ හෙයිනි. මෙහි කළමනාකරණය පෞද්ගලික අංශයට භාරදීමට ක්‍රියා කළ බි්‍රතාන්‍ය රජය, දක්ෂ දුප්පත් ළමුන් අතළොස්සකට පමණක් (ශිෂ්‍ය ගහණයෙන් 05%කට) නොමිලේ අධ්‍යාපනය පිරිනැමීම සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දුන්නේය. රාජ්‍ය, පෞද්ගලික හවුලක් වූ පසුව වෙස්ට්මිනිස්ටර් පාසල කෙතරම් දියුණුවීද යත්, එහි ශාඛාවන් 06ක් තම රට තුළ ස්ථාපිත කර දෙන ලෙස චීන ආණ්ඩුව බි්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 අප්‍රේල් 09 වැනිදා, චීනයේ සිචුචාන් ප්‍රාන්තයේ අගනුවර වන චෙන්ග්ඩුහි වෙස්ට්මිනිස්ටර් පාසල් ශාඛාවක් පිහිටුවීම හා අදාළ ගිවිසුම චීන හවුල්කාර සමාගම (හොංකොං තාක්ෂණ සමූහය) සහ වෙස්ට්මිනිස්ටර් පාලනාධිකාරය විසින් අත්සන් කෙරිණි. දැන් මෙහි ඉදිකිරීම් කටයුතුද ලහි ලහියේ සිදුවෙයි. අවුරුදු 03 සිට 18 දක්වා වන චීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2500ක් චෙන්ග්ඩු වෙස්ට්මිනිස්ටර් පාසල වෙත 2020 සැප්තැම්බර් මාසයේදී ඇතුළත් කරගැනීමට නියමිතය. ඊළඟ අවුරුදු දහය ඇතුළත ඉතිරි වෙස්ට්මිනිස්ටර් පාසල් ශාඛා 05ක් චීනයේ ප්‍රධාන නගර තුළ ඇරඹුණු පසුව ලන්ඩනයේ පිහිටි ප්‍රධාන පාඨශාලාවේ සිසු ගහණයට වඩා විසි ගුණයකින් එහි චීන සිසු ගහණය ඉහළ යනු ඇත. චීනයෙන් ලැබෙන ආදායම උපයෝගී කොටගෙන, දැනට අති දක්ෂ දුගී සිසුන් 05%කට පිරිනැමෙන නිදහස් ශිෂ්‍යත්ව ප්‍රමාණය 20% දක්වා ඉහළ දැමීමට වෙස්ට්මිනිස්ටර් කළමනාකාරීත්වය අපේක්ෂා කරයි.

ගෝලීයකරණය

පෞද්ගලික පාසල්වලට ලොව තුළ තිබෙන ඉල්ලුම පසුගිය වසර 15 ඇතුළත බෙහෙවින් වැඩිවී තිබේ. පුද්ගලික විදුහල්වල ප්‍රාථමික අංශයට ඇතුළු වන ගෝලීය සිසු ගහණය 10% සිට 17% දක්වා ද, ඒවායේ ද්විතීයික අංශයට එක්වන ප්‍රතිශතය 19% සිට 27% දක්වා ද මේ වනවිට ඉහළ ගොස් ඇත. 2016 ජනවාරි පළමුවැනිදා තෙක්ම චීන රජය, එක් පවුල් කුටුම්භයකින් ඉපිදවිය හැක්කේ එක් දරුවෙකු පමණකි යන නීතිය දැඩිව ක්‍රියාත්මක කළේය. මේ ප්‍රතිපත්තිය හේතුවෙන් එක් ළමයෙකු වෙනුවෙන් වියදම් කිරීම පිණිස සූදානම් හයදෙනකු (මව, පියා සහ දෙපාර්ශ්වයේ සීයලා හා ආච්චිලා) පවුල් ඒකකයක් තුළ සිටියෝය. අනාගත ලෝකයට ගැළපෙන, අධිතාක්ෂණය මුසු අධ්‍යාපනයක් පිරිනැමීම සඳහා වත්මනෙහි (කවර ආයතනයක් වුවද) විශාල පිරිවැයක් දැරිය යුතුය. කර්මාන්තශාලාවක සුළු රැකියාවක නියැලීමට වුවද අද ශ්‍රමිකයකුට හොඳ තාක්ෂණික ඥානයක් තිබීම අත්‍යවශ්‍යය. විද්‍යා හා තාක්ෂණ දැනුමට මෙන්ම ඉංජිනේරු සහ ගණිත ඥානයට දියුණු රටවල සියලු පාසල් ප්‍රමුඛතාව දෙන්නේ මේ නිසාය. ඉදිරියේදී ලෝකය තුළ බිහිවනු ඇත්තේ Stem (Science, Thechnology, Engineering, Mathematics)  පාඨශාලාය. පෞද්ගලික අංශයට අවශ්‍ය රැකියා පුරප්පාඩු පිරවීම පිණිස අවශ්‍ය Stem අධ්‍යාපනය නියමානුකූලව ලබාදීම උදෙසා දැන් දැන් බොහෝ සමාගම් ඉගෙනුම්, ඉගැන්වීම් ක්ෂේත්‍රයට පිවිසට තිබේ. ඩුබායිහි ජේම්ස් එඩියුකේෂන් නමැති පුද්ගලික ආයතනය, මැදපෙරදිග රටවල ආණ්ඩු සමග එක්ව එම කලාපය තුළ අතිනවීන පන්නයේ පාසල් 47ක් පවත්වාගෙන යයි. බි්‍රතාන්‍ය සමාගමක් වන කොග්නිටා, රටවල් 08ක් තුළ Stem විද්‍යාල 73ක් පිහිටුවා ඇත. රටවල් හතක් පුරා විහිදුණු පාසල් 200ක ජාලයක් බීකන්හවුස් නම් පාකිස්තාන සමාගම සතුය.

හාරි විද්‍යා භවන්

ඉන්දියාවේ දකුණු දිල්ලියට අයත් සන්ගම් විහාර් නම් කොලනිය, අනවසර පදිංචිකරුවන් මිලියන 1.5කින් සමන්විත මුඩුක්කු නගරයකි. මුදල් අයකරමින්, මෙම නගරවාසීන්ට බවුසර් හරහා පානීය ජලය සපයනු ලබන්නේ වරින්වර එකිනෙකා මරා ගන්නා මැර කණ්ඩායම් කිහිපයක් විසිනි. මෙහි තිබෙන ආණ්ඩුවේ පාසල් හතර පවත්වාගෙන යන්නේ ඉතා අඩු පහසුකම් යටතේය. බොහෝ අය ‘සංගම් විහාර්’ හඳුන්වන්නේ රජය විසින් අතැර දමා ඇති නගරයක් ලෙසය. ආණ්ඩුව හරහා නොලැබෙන නවීන රැකියාභිමුඛ අධ්‍යාපනය සංගම් විහාර් වාසීන්ට ලබාදීම සඳහා පෞද්ගලික පාසල් 100ක් පමණ ප්‍රදේශය තුළ ස්ථාපිතව තිබේ. මේ අතරින් ප්‍රමුඛතම ස්ථානය හිමිවන්නේ සුසිල් ධන්කර් විසින් මෙහෙවන ‘හාරි විද්‍යා භවන්’ නම් පුද්ගලික පාසලටයි. මධ්‍යම පාන්තික දකුණු දිල්ලි වැසියකු වූ සුසිල්ගේ පියා, මෙම පාඨමාලාව සංගම් විහාර්හි ගොඩනැගුවේ, මුඩුක්කුවාසී දරුවන් අපරාධ කල්ලිවලින් බේරාගෙන ඔවුන් යහපත් පුරවැසියන් කිරීමේ අභිලාෂයෙනි. ගණකාධිකාරීවරයකු ලෙස ඕස්ටේ්‍රලියාවේ සේවය කළ සුසිල්ව හෙතෙම නැවත මව්බිමට ගෙන්වා ගත්තේ සිය පාසල තනිවම මෙහෙයවා ගැනීම අසීරු වූ හෙයිනි. තමන් හරිහම්බ කළ සියලු ධනය යොදවා සුසිල් ධන්කර් මෙම විදුහල අතිනවීන Stem පාසලක් බවට පත් කළේය. වත්මනෙහි හාරි විද්‍යා භවන් තුළ 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසු සිසුවියන් 2000ක් පමණ ශිල්ප හදාරණ අතර එක් අයකුගෙන් පාසල් ගාස්තු ලෙස මාසිකව ඉන්දියන් රුපියල් 2000ක් පමණ අය කෙරේ. මෙහි සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්වන දරුවන්ගේ ප්‍රතිශතය 80% ඉක්මවන නිසා අඩු ආදායම්ලාභී දෙමව්පියන් පවා කෙසේ හෝ මුදල් උපයමින් හාරි විද්‍යා භවන් වෙත සිය දූ පුතුන් ඇතුල් කිරීමට පෙළැඹෙයි. තම පාසලෙන් සරසවියට ඇතුළු වන අය, අර්ධකාලීන ගුරුවරුන් ලෙස (සාධාරණ දීමනාවක් ගෙවමින්) ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නා වග සුසිල් පවසයි. උසස් අධ්‍යාපන පිරිවැය දැරීමට හැකිවන ආකාරයට අනෙක් ආදි සිසුන්ටද තමා රැකියා සොයා දෙන බැව් හෙතෙම අවධාරණය කරයි. නිවැරදි කළමනාකරුවන් ඇත්නම් අන්ත දුප්පත් වටපිටාවක් තුළ වුවද තම උසස් අරමුණු ඉටුකර ගනිමින්, ලාභද ලැබිය හැකි පුද්ගලික පාසලක් පවත්වාගෙන යා හැකි බව ‘හාරි විද්‍යා භවන්’ විසින් ඔප්පු කර පෙන්වා ඇත. සිය විදුහලෙන් උසස් පෙළ සමත් හැම කෙනෙක්ම ඔහුගේ/ඇයගේ පවුලේ අයද සමග, දුගී මුඩුක්කු ජීවිතයෙන් මුදා ගැනීමට තමන්ට හැකිවූ වග සුසිල් ධන්කර් කියයි.

රැකියාභිමුඛ ඉගැන්වීම් මොඩලය

ලාභ නොලබන, එහෙත් සිය මෙහෙයුම් වියදම් සියල්ල මැනවින් කළමනාකරණය කරගන්නා බංග්ලාදේශයේ බ්‍රැක් පුද්ගලික පාසල් ජාලය මේ වනවිට එරට දරුවන් මිලියනයකට පමණ විශිෂ්ට අධ්‍යාපනයක් පිරිනමමින් සිටියි. පාකිස්තානයේ  TCF  ද බ්‍රැස් මොඩලය අනුගමනය කරමින් තම දේශයේ සිසු සිසුවියන් 220,000කට පමණ වත්මනෙහි STEM දැනුම බෙදා දෙයි. ‘පීස්’ නමැති ලාභ නොලබන බටහිර සමාගම, උගන්ඩාව තුළ ගොඩ නැංවූ පුද්ගලික පාඨශාලා පද්ධතිය හේතුවෙන්, 2017 වසරේදී ඒවායේ සාමාන්‍ය පෙළ පන්තිවල උගත් දරු දැරියන්ගේ විභාගය සමත්වීමේ ප්‍රතිශතය 95% දක්වා ඉහළ ගියේය. අප්‍රිකාව තුළ විවිධ ව්‍යාපාර පවත්වාගෙන යන සියලු බහුජාතික සමාගම් සිය ලාභයෙන් කොටසක් ‘පීස්’ පාසල් නඩත්තුව හා කළමනාකරණය සඳහා වෙන් කරන්නේ දුප්පත් අප්‍රිකානු දරු දැරියන් බහුතරයකගෙන් පාසල් ගාස්තු අය කිරීම ප්‍රායෝගික නොවන නිසාය. මෙකී ප්‍රදාන නිසා උගන්ඩාව තුළ පීස්  STEM පාසල් 28ක් සහ සැම්බියාව තුළ එවැනි විදුහල් 04ක් ඉදිකොට ළමුන් 16000කට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීමේ මහඟු අවස්ථාව විවර විය. පීස් ශිෂ්‍ය ගහණයෙන් 53%ක්ම කාන්තාවන්ය. සැම්බියානු හා උගන්ඩා අධ්‍යාපන අමාත්‍යාංශ සමග ‘පීස්’ සමාගම දිගුකාලීන ගිවිසුමකට එළැඹුණු හෙයින් මෙකී අධ්‍යාපනික ව්‍යාපෘතිය රාජ්‍ය, පෞද්ගලික හවුලක් සේ සැලකිය හැකිය. යුනෙස්කෝ දත්තවලට අනුව, වසර 2030 වනවිට ශ්‍රම වෙළෙඳපොළ වෙත අවතීර්ණ වන අධි තාක්ෂණික මෙවලම් නිසා වත්මනෙහි දක්නට ඇති රැකියා බිලියන 02ක් පමණ ශීඝ්‍රයෙන් අහෝසි වී යාම නොවැළැක්විය හැකිය. ලොව තුළ වෙසෙන හැම දරුවෙකුටම අද මූලික  STEM අධ්‍යාපනයක් පිරිනැමුවහොත්, මතුදා ලෝවාසීන් මිලියන 171ක් අන්ත දුගී බවෙන් බේරාගත හැකිය.

අපේ වෑයම

මේ ලියුම්කරු සේවය කරන පෞද්ගලික සමාගම, 2016 ඔක්තෝබර් මාසයේදී, ලංකාවේ ප්‍රධාන පෙළේ සන්නිවේදන ආයතනයක් හා එක්ව උසස් පෙළ විද්‍යා, ගණිත සහ වාණිජ විෂය මාලාව මව්බසින් නිර්මාණාත්මක ලෙස ඩිජිටල්කරණය කළේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 60ක් වැය කරමිනි. මේ ව්‍යාපෘතිය හරහා අප රටේ රජයේ පාසල් 165ක් සුහුරු විදුහල් බවට පරිවර්තනය කෙරිණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය මෙකී වැඩපිළිවෙළ සඳහා හිමිවුණු අතර ලෝ ප්‍රකට මයික්‍රොසොෆ්ට්, සිස්කෝ වැනි සමාගම්ද ඊට එක්විය. මෙහි සාර්ථකත්වය දුටු යුනිසෙෆ් හා යූඑස්ඒඞ් 1 ශ්‍රේණියේ සිට 11 දක්වා වන විෂය මාලාව ඩිජිටල්කරණය කිරීමේ බරපැන (රුපියල් මිලියන 129) දැරීමට ඉදිරිපත් වී තිබීම සතුටකි. 2020 වන විට තවත් රජයේ පාසල් 100ක්  STEM පාඨශාලා බවට පරිවර්තනය කිරීමට දැන් අපි වැඩ කරමින් සිටින්නෙමු. නෙල්සන් මැන්ඩෙලාගේ කියමනක් මෙහි උපුටා දැක්වීම වටී.

‘ලොව වෙනස් කිරීමේ උනන්දුවක් ඔබ තුළ වෙත් නම්, ඒ සඳහා යොදාගත හැකි බලවත්ම අවිය අධ්‍යාපනයයි.”