අන්තවාදයට සහ ප්‍රචණ්ඩත්වයට සමාජ මාධ්‍ය කෙතරම් හේතු වේද?

නාලක ගුණවර්ධන – ravaya@nalaka.org

රැඩිකල් (radical) කියන ඉංග්‍රීසි වචනයේ අරුත තමයි යමක් ගැන මූලධර්මීය වශයෙන්ම වෙනස්කමක් කිරීම, නැතිනම් ප්‍රබල ලෙස වෙනස් මතයක් දැරීම.

බහුත්වවාදී සමාජයක මූලධර්මීය මට්ටමෙන් වෙනසක් වෙනුවෙන් පෙනී සිටින අයටත් අවකාශය තිබිය යුතුයි. එහෙත් ඒ රැඩිකල් වෙනස මත ගැටුමකින්, සංවාද හරහා හෝ වෙනත් සාමකාමී ක්‍රමෝපායන් හරහා සිදු වන තුරු පමණයි.
වෙනස වෙනුවෙන් පෙනී සිටින අය ප්‍රචණ්ඩත්වයට යොමු වන්නේ නම් ඔවුන් මූලධර්මවාදීන් (fundamentalists) බවට පත්වනවා. ශිෂ්ට සමාජයක ප්‍රචණ්ඩ මූලධර්මවාදීන්ට ඉඩක් නැහැ.

අනෙකාගේ විකල්ප මත දරා ගැනීමට නොහැකි, තම මතය පමණක් බිහිසුණු ලෙසින් ප්‍රවර්ධනය කරන මූලධර්මවාදීන් මෑත වසරවල ලොව විවිධ රටවල මතු වී සිටිනවා.

ඔවුන් පෝෂණය කරන අන්තවාදී දේශපාලන චින්තනයන් මෙන්ම අන්තවාදී සාමයික (එනම් ආගම් සම්බන්ධ) විග්‍රහයන්ද තිබෙනවා.
සාමකාමී ආගමික ඉගැන්වීම් සමහරක් ප්‍රතිවිග්‍රහ කිරීමෙන් මූලධර්මවාදී ප්‍රචණ්ඩ ව්‍යාපාර බිහි වී, ඒවා එම ආගමේම මධ්‍යස්ථ මතධාරීන් අභිබවා යාම මෑත දශකවල ප්‍රවණතාවක් වන සැටි අපට දැකිය හැකියි.

මූලධර්මවාදීන් කිසිවකුත් එලෙසින් උපදින්නේ නැහැ. ඔවුන් ඒ තත්ත්වයට පත්වන්නේ ඔවුන් අත්දකින සමාජ බලපෑම් සහ ඉගැන්වීම් හරහායි. පවුල් පසුබිම, විධිමත් අධ්‍යාපනය, ආගමික අධ්‍යාපනය, විෂය බාහිර කටයුතු, මිතුරු ඇසුර, ජනමාධ්‍ය අන්තර්ගතය, අන්තවාදී දේශපාලකයන්ගේ ප්‍රචාරක කටයුතු ආදී විවිධ සාධක මෙයට දායක වන්නට පුළුවන්.

අහිංසකව උපදින දරුවන් අතරින් සමහරෙක් තරුණ වියට පත් වෙද්දි දැඩි අන්තවාදීන් බවට කෙමෙන් පරිවර්තනය වන්නේ කෙලෙසද යන්න පෙරදිග අපරදිග බොහෝ රටවල සමාජ විiාඥයන් හා මානව විiාඥයන් කලෙක පටන් අධ්‍යයනය කරන මානව චර්යාවක්.
මෑත වසර 10-15ක කාලය තුළ ඉහත කී සාධකවලට අමතරව ඉන්ටර්නෙට් සහ සමාජ මාධ්‍ය හරහාද සමහර දරුවන් මූලධර්මවාදීන් බවට පත්විය හැකි යයි විශ්වාසයක් තිබෙනවා. මෙය බටහිර ලෝකයේ මෙන්ම මැදපෙරදිග සහ ආසියාවේ රටවලත් ජනමත හසුරුවන්නන් දැන් වැඩි වැඩියෙන් පවසන බව පෙනෙනවා.

මෙහි ඇත්ත නැත්ත කුමක්ද? ඉන්ටර්නෙට් නිසා අන්තවාදීන් බිහි වන බවට පර්යේෂණාත්මක සාක්ෂි තිබේද? මේ ගැන කෙරෙන විධිමත් සමාජ විද්‍යාත්මක පර්යේෂණ පවතින්නේ කිනම් මට්ටමකද? අප නොදන්නා දේ මොනවාද?
ආගමික මූලධර්මවාදය තුළින් පෝෂණය වන නව ත්‍රස්තවාදයක් ඇති මේ මොහොතේ මෙම ප්‍රශ්නවලට ආවේගශීලි නොවන තුළ තුලනාත්මක පිළිතුරු සොයා යාම වැදගත්.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයට මුල් වූවා යැයි කියන ජාතික තවුහිත් ජමාත් (NTJ) නම් ඉස්ලාමික සංවිධානයේ ප්‍රධානියා දැඩි අන්තවාදී මුස්ලිම් පූජකයෙකු වූ සහරාන් හෂීම්. ඔහු වසර ගණනාවක් තිස්සේ සිය මූලධර්මවාදී චින්තනය අඩංගු දේශනා පල්ලිවල පවත්වනවාට අමතරව, ඒවා වීඩියෝගත කොට YouTube සහ Facebook සමාජ මාධ්‍ය වේදිකා හරහාද බෙදා හැර ඇති බව හෙළිදරව් වී තිබෙනවා.

මැදහත් මුස්ලිම් ජනයා මෙම වීඩියෝ ගැන බලධාරීන් දැනුවත් කර ඇත්තේ මාස ගණනකට පෙරයි.
අප හමුවේ තිබෙන එක් ප්‍රශ්නයක් නම් සහරාන් සිය අන්තවාදී වීඩියෝ හරහා කෙතරම් සාර්ථක ලෙස මුස්ලිම් තරුණ තරුණියන් කොපමණ දෙනෙකුගේ මොළ සේදීම කළාද යන්නයි. මෙය එළඹෙන සති සහ මාස ගණනක් තිස්සේ ත්‍රස්ත විමර්ශකයන්ගේ මෙන්ම සමාජ විiාඥයන්ගේද අවධානයට ලක්විය යුත්තක්.

යම් අන්තර්ගතයක් වෙබ් ගත කළ පමණට එයින් බලපෑමක් කරන්නට බැහැ. එසේම එබන්දක් බොහෝ දෙනෙක් නැරඹූ පමණටද එයින් නරඹන්නන්ගේ සන්තානයට කෙතරම් බලපෑවාද යන්න මැන ගන්නට අමාරුයි. පර්යේෂණාත්මකව මෙවැනි දේ තක්සේරු කිරීම වැදගත් වන්නේ ඒ නිසායි.

විවිධාකාරයේ අන්තවාදයන් ප්‍රවර්ධනයට සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් වෙබ් අඩවි යොදා ගැනීම සිදුවන බව නම් හොඳාකාර පෙනෙනවා. සුදු දක්ෂිණාංශික ස්වෝත්තමවාදීන්, අල්කයිඩා ත්‍රස්ත සංවිධානය මෙන්මISIS ත්‍රස්ත සංවිධානයත් තමන්ගේ මතවාදයන් ප්‍රචාරණය කිරීමට වෙනත් ක්‍රමෝපායන්ට අමතරව වෙබ්ගත ක්‍රමෝපායන්ද යොදා ගන්නවා.

හුදු ප්‍රචාරණයෙන් ඔබ්බට යන මොළ සේදීම (brainwashing) සඳහා වෙබ්ගත සන්නිවේදන කෙතරම් සාර්ථක වන්නේ ද යන්න ගැන හේතු-ඵල මට්ටමේ පර්යේෂණාත්මක සාක්ෂි සෙවීමට ලොව විවිධ රටවල පර්යේෂකයන් මෑත වසරවල උත්සාහ කරනවා.
තොරතුරු සමාජයේ නැගී ඒම තාක්ෂණික මෙන්ම සංස්කෘතික පැත්තෙනුත් නිරීක්ෂණය කිරීමේ වගකීම තිබෙන එක්සත් ජාතීන්ගේ ආයතනය වන්නේ යුනෙස්කෝවයි (UNESCO). එම ආයතනය, මේ පිළිබඳව විවිධ රටවල කර තිබෙන පර්යේෂණ ගැන පුළුල් අධ්‍යයනයක් 2015-2016 වකවානුවේ සිදු කළා.

මේ සඳහා යොදා ගත්තේ මෑතක පටන් ප්‍රචලිත වී තිබෙන systematic reviews ක්‍රමවේදයයි. එහිදී යම් මාතෘකාවක් හෝ තේමාවක් ගැන ලොව පිළිගත් පර්යේෂණ සඟරාවල ප්‍රකාශිත පර්යේෂණ නිබන්ධන සිය ගණනක් විමර්ශනයට ලක් කරනවා. එයට අමතරව පර්යේෂණ සමුළු ආදියේ ඉදිරිපත් කරන ලද සොයා ගැනීම්ද සැලකිල්ලට ගන්නවා.

ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත පර්යේෂණ ලිපි 260ක්, ප්‍රංශ බසින් 196ක් සහ අරාබි බසින් 96ක් විමර්ශනය කළ පසු සම්මුච්චිත මට්ටමේ පර්යේෂණ ප්‍රතිඵල විමර්ශනයක් Youth and Violent Extremism on Social Media නමින් 2017 වසරේ දී පළ කරනු ලැබුවා. එය මුළුමනින් කියවන්න: http://bit.ly/YouthRad

ඔවුන්ගේ ඉහළ මට්ටමේ නිගමනය වූයේ මෙයයි: “විවිධාකාරයේ අන්තවාදය ප්‍රවර්ධනය කෙරෙන අන්තර්ගතයන් සමාජ මාධ්‍ය තුළ බහුලව හමු වෙතත්, ඒවා නිසා යම් පුද්ගලයන් අන්තවාදයට සහ ප්‍රචණ්ඩත්වයට යොමු වන බවට හේතුව සහ ඵලය වශයෙන් තහවුරු කැරෙන පර්යේෂණාත්මක සාක්ෂි තවමත් මතු වී නැහැ. එහෙත් මේ ගැන වැඩිදුර පර්යේෂණ කිරීම ඉතා වැදගත්.”

යුනෙස්කෝව කියන්නේ මේ දක්වා විවිධ පර්යේෂකයන් සිදු කර ඇති බොහෝ පර්යේෂණවල අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට ගන්නා වෙබ්ගත උත්සාහයන් ලේඛනගත කොට ඇතත්, ඒවා මිනිස් සන්තානයට කෙසේ බලපෑම් ඇති කරන්නේද යන්න ගැන ඇති තරම් සොයා බලා නැති බවයි.

එසේම අන්තවාදයට එරෙහිව සාමය, මානව දයාව, සහජීවනය, අන්තර් ආගමික සහයෝගිතාව සහ වෙනත් යහපත් ආකල්ප ප්‍රවර්ධනය කිරීමට නොයෙක් සිවිල් සංවිධාන, ආගමික ආයතන සහ රජයන් වෙබ් හරහා ගන්නා උත්සාහයන් කෙතරම් එම අරමුණු ඉටු කර ගැනීමට සමත් වේද යන්නත් පර්යේෂණාත්මකව තවමත් තහවුරු වී නැතැයි යුනෙස්කෝව මෙම ප්‍රකාශනයේ කියනවා.

ප්‍රකාශනයේ එක් තැනක එහි කතුවරුන් මෙසේ අවධාරණය කරනවා: “යමක් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශිත පමණට එයින් කුමන බලපෑමක් ඇති කරයිද යන්න කිව නොහැකියි. බහුවිධ තොරතුරු සහ පණිවුඩවලට පාත්‍ර වන නූතන මිනිසුන් සහ ගැහැනුන්, විවිධාකාරයෙන් ඒවා සිය මනසේ ග්‍රහණය කරනවා, නැතහොත් බැහැර කරනවා. මිනිස් මනස තුළ හොඳ නරක දෙක අතර පවතින තුලනය බිඳ වැටෙන්නේ කිනම් ආකාරයේ උත්තේජන නිසාද යන්න කලක සිටම බොහෝ පර්යේෂකයන් තේරුම් ගන්නට උත්සාහ කරන සංකීර්ණ ක්‍රියාදාමයක්.”
සමාජ මාධ්‍යවල ඇතැම් ගුණාංග හොඳ අදහස් මෙන්ම නරක අදහස් ප්‍රවර්ධනයට එක ලෙස ප්‍රයෝජනවත් වන බව මේ වාර්තාව පෙන්වා දෙනවා. එම ගුණාංග අතර මූලික වන්නේ අධිවේගී ප්‍රචාරණය, අඩු වියදම් නිර්මාණය සහ බෙදාහැරීම, විමධ්‍යගත බව, අවශ්‍ය විටෙක නිර්නාමිකව හෝ ආරූඪ නාමිකව සන්නිවේදනය කළ හැකි වීම සහ ගෝලීය මට්ටමෙන් තොරතුරු හා පණිවිඩ බෙදා හැරිය හැකි වීම ආදියයි.

සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් අඩවි හරහා විවිධ අන්තවාදයන් ප්‍රවර්ධනය කෙරෙන බව සත්‍ය බවත් ඒ හරහා පහත සඳහන් මූලික අවබෝධයක් ද පර්යේෂණාත්මක සාක්ෂි මේ දක්වා තිබෙන බවත් යුනෙස්කෝ වාර්තාව කියනවා.

■ ප්‍රචණ්ඩ චර්යාවලට සෘජුවම හේතු නොවූවද අන්තවාදී චින්තනයන් වැඩි පිළිගැනීමකට ලක්කිරීමට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීම හේතු විය හැකියි.

■ යමකු අන්තවාදී මොළසේදීම හරහා ප්‍රචණ්ඩත්වය යොමු වීම කාලයක් තිස්සේ සිදු වන සංකීර්ණ චර්යා වෙනසක්. එහිදී වඩාත්ම වැදගත් වැඩ කොටසක් ඉටු කරන්නේ අන්තර් පුද්ගල මට්ටමෙන් සිදුවන මුහුණට මුහුණ ලා කෙරෙන සන්නිවේදනයි. එහිදී අහිංසකයකු දුෂ්ටයකු බවට මනසින් කෙමෙන් පරිවර්තනය වීමට පවතින සමාජ අසාධාරණකම්, ආර්ථික අගහිඟකම්, වාර්ගික පදනම මත කෙරෙන වෙනස්කම් මෙන්ම සංස්කෘතික වශයෙන් උරුම නැඹුරුවීම්ද හවුලේ ක්‍රියා කළ හැකියි. මෙහිදී වෙබ්ගත මාධ්‍ය හරහා ලැබෙන උත්තේජන සාපේක්ෂ ලෙස කෙතරම් වැදගත්ද යන්න පර්යේෂණාත්මකව තවම පැහැදිලි නැහැ.

■ සමාජයේ පිරිමිකම (masculinity) පිළිබඳව තිබෙන විවිධ අදහස් සහ කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳ ආකල්ප ද අන්තවාදී චින්තනයන් විවිධ පුද්ගලයන්ගේ මනසේ ක්‍රියා කිරීමට බලපානවා. (‘හරි හමන් පිරිමියෙක්’ නම් සැර පරුෂ විය යුතුයි, අවි දැරිය යුතුයි, සටන් කළ යුතුයි ආදී ප්‍රාථමික ආකල්ප සමහර සමාජවල දැඩි ලෙස කිඳාබැස ගෙන තිබෙනවා.)

යුනෙස්කෝ වාර්තාව දැඩි ලෙස අවධාරණය කරන තවත් කරුණක් නම් මහා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ලැබෙන සියලු පණිවිඩ සහ මනෝ උත්තේජනයන් පොදුවේ සැළකිල්ලට ගත යුතු අතර සමාජ මාධ්‍ය හෝ වෙනත් එක් සාධකයක් පමණක් වෙනම අධ්‍යයනය කොට මෙවැනි මානව චර්යා අවබෝධ කර ගත නොහැකි බවයි.

වාර්තාවට පෙරවදනක් ලියන යුනෙස්කෝවේ එවකට සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ෆ්රෑන්ක් ලා රූ (Frank La Rue) මෙසේද කියනවා: “විවිධාකාරයේ මූලධර්මවාදයන් වෙත පුද්ගලයන් යොමු වීම සහ ඒ හරහා ප්‍රචණ්ඩත්වය මතුවීම මෑත කාලයේ වැඩියෙන් පැන නැගී ආ ප්‍රවණතාවක්. මෙයට තුඩු දෙන විවිධ සමාජ ආර්ථික සහ දේශපාලන සාධක තිබෙනවා. අප ජීවත් වන්නේ අර්බුදකාරී යුගයකයි. මෑත වසරවල බොහෝ රටවල ඉන්ටර්නෙට් භාවිතය සහ සමාජ මාධ්‍ය ප්‍රචලිත වූ පමණටම මූලධර්මවාදය සහ එම නව මාධ්‍ය අතර සෘජු හේතු ඵල සබඳතාවයක් ඇතැයි අපට කල්පිත කළ නොහැකියි. මේ ගැන විවිධ මානයන්ගෙන් වැඩිදුර පර්යේෂණ කිරීම සහ විවෘත මනසකින් මේ ප්‍රශ්න ගැන සංවාද කිරීම අත්‍යවශයයි.”

ලක් රජයද සාමාජිකත්වය දරන යුනෙස්කෝව, මෙවැනි තුලනාත්මක ස්ථාවරයක් ගැනීම ඉතා වැදගත්. දිගු කලක් තිස්සේ අපේ සමාජයේ කිඳා බැස තිබෙන සංකීර්ණ මානව ගැටලුවලට හේතුව සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම යයි සරල සිල්ලර විග්‍රහයන් සපයන අපේ සමහර සමාජ ක්‍රියාකාරිකයන් සහ උගතුන් නම් මෙයට කැමති වෙන එකක් නැහැ.

එක් උදාහරණයක්: අපේ සමාජයේ දික්කසාද වැඩිවීමට ප්‍රධාන හේතුව ෆෙස්බුක් සමාජ මාධ්‍ය භාවිතය ප්‍රචලිත වීම යයි ‘පර්යේෂණාත්මකව’ සොයා ගත්තා කියන සන්නිවේදන මහාචාර්යවරියක් ඒ ගැන මීට දෙතුන් වසරකට පෙර පුවත්පත් සාකච්ඡා ලබා දී තිබුණා. එහි නියැදිය සහ ක්‍රමවේදය ගැන මා විස්තර ඉල්ලුවත් එය ලැබුණේ නැහැ.

අපේ සරසවි සිසුන් ඇදුරන් සහ වෙනත් අය මහා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ගැන කරන අධ්‍යයන බොහොමයක්, එයට අවශ්‍ය අවම ශාස්ත්‍රීය ශික්ෂණයකින් සහ නිසි ක්‍රමවේදයකින් තොරව සිදු කරනු පෙනෙනවා. අධ්‍යයනය කරන සමාජ ප්‍රපංච ගැන පූර්ව නිගමන තබා ගෙන, ඒවා සනාථ කරන්නට සමීක්ෂණ සිදු කරන ආකාරයක් දැකිය හැකියි.

සමාජ මාධ්‍යවල ධනාත්මක සහ අහිතකර බලපෑම් ලක් සමාජයේ කෙසේ සිදුවේද යන්න ගැන හරිහමන් පර්යේෂණ කිරීමේ ලොකු විභවයක් මෙන්ම කාලීන අවශ්‍යතාවක්ද තිබෙනවා. එහෙත් ඒවා කළ යුත්තේ ලෝක පිළිගැනීම ඇති පර්යේෂණ සඟරාවල නොබියව පල කළ හැකි, සැබෑ සමාජ විiාත්මක හා මානව විiාත්මක පර්යේෂණ ලෙසයි.