මිරිස් දී ගම්මිරිස් ගැනීමේ උපදෙස්වලින් රටට වැඩක් වේද?

මහින්ද හත්තක

පසුගිය සතියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවති සමුළුවක් ඇමතූ ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් බරපතළ අවධානය යොමු කළ යුතු අදහසක් පළ කෙළේය. ශ්‍රී ලංකාවේ ඉහළ ව්‍යපාරිකයන් පිරිසක් සංවිධානය කළ මෙම සමුළුවේ දී ඔහු කතා කෙළේ චීනය සහ දකුණු ආසියාව සම්බන්ධයෙන් පවතින එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සහ ඉන් ශ්‍රී ලංකාවට ඇති බලපෑම පිළිබඳවයි. අදහස් දැක්වීමට වඩා අනතුරු හැඟවීමක් විය හැකි ඔහුගේ මතය අනුව ශ්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ගත යුතුව ඇත්තේ සරල ක්‍රියාමාර්ගයකි. එනම් බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශ අතර මනා සම්බන්ධතාවක් ඇති කිරීම ය.

සිය මතය තහවුරු කිරීමට එක්සත් ජනපදයෙන් උදාහරණයක් ගෙන දැක්වූ ඔහු එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ 9/11 යනුවෙන් හැඳින්වෙන ත්‍රස්තවාදී ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වූයේ එවැනි තොරතුරු හුවමාරුවක් නොමැතිවීමය. එෆ්බීඅයි සහ සීඅයිඒ යනුවෙන් පුළුල් ව්‍යාප්තියක් ඇති බුද්ධි සේවා පැවතියද එම අංශ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශ අතර මනා තොරතුරු හුවමාරුවක් නොතිබීම නිසා එවැනි ප්‍රහාරයක් සිදු වුවද ඉන් පසුව එවැනි වැඩපිළිවෙළක් යෙදවීම නිසා එක්සත් ජනපදය තුළ විදේශ ත්‍රස්තවාදී ප්‍රහාර කිසිවක් සිදුව නැත. වරින් වර පාසල් සහ සෙනඟ ගැවසෙන ස්ථාන ඉලක්ක කරගෙන සිදු කරන ලද වෙඩි තැබීම් හෝ බෝම්බ පිපිරවීම් තුළින් මිනිස් ඝාතන සිදු වුවද ඒවා විදේශ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නොවේ. ඒ සමගම ලංකාවෙන් නිදසුනක් ගෙන හැර දැක්වූ රොබට් ඕ බ්ලේක්, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ව සිටිය දී එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ නිසා උතුරු නැගෙනහිරෙන් පිටත සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන බෝම්බ පිපිරවීම් සිදුවූයේ නැත. ඒ අනුව සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන සිදුවන විදේශ ත්‍රස්තවාදී ප්‍රහාර එනම් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාර නතර කිරීමට කළයුතුවන්නේ එවැනි ව්‍යුහයක් නැවත ස්ථාපිත කිරීම ය.

ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආසන්නව තිබියදී මෙවැනි අදහසක් එක්සත් ජනපදයේ සැබෑ රාජ්‍යය නියෝජනය වන නිල නොවන බලව්‍යුහයක ප්‍රමුඛ පුද්ගලයකු වන රොබට් ඕ බ්ලේක් මෙවැනි අදහසක් පළ කිරීම එක අතකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන් ප්‍රබල චරිත සහතිකයකි. රාජපක්ෂ පවුලේ අය අවධාරණය කරන ආකාරයට පසුගියදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරවලට හේතුව වන්නේ වත්මන් රජය ආරක්ෂක අංශ දුර්වල කිරීමය. තිස් අවුරුදු කුරිරු යුද්ධය නිමා කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව මනා පරිචයක් පවතී. අද රටට අවශ්‍ය වන්නේ එවැනි පුද්ගලයෙකි. සමහරවිට ඉදිරි ජනාධිපතිවරණයක දී ඔහුගේ තේරී පත්වීම එක්සත් ජනපදය අපේක්ෂා කරනු විය හැකිය.

මෙම උපදේශය ගැන විග්‍රහයක් කිරීමට පෙර රොබට් ඕ බ්ලේක් නම් පුද්ගලයා සහ ඔහු දක්වා ඇති නිදසුන් ගැන මඳක් විමසා බැලීම ප්‍රයෝජනවත් ය. 2006 සිට 2009 දක්වා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිව සිටි බ්ලේක්, ශ්‍රී ලංකා යුද හමුදාව එල්ටීටීඊයට එරෙහිව ගෙන ගිය යුද්ධයේ අවසාන කාලයේ දී බරපතළ ආකාරයේ මානව අයිතිවාසිකම් කඩ කෙළේයැයි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කෙටුම්පතක් සකස් කිරීමට මුල් වූ අයෙකු බව සඳහන් කළ යුතුය. එම චෝදනා ගැන කරුණු විමසා බැලීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු එවීමටත් ඒ සඳහා එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එකඟ නොවන්නේ නම් ජාත්‍යන්තර සම්බාධක පැනවීමටත් සූදානමක් තිබිණ. එවකට ආරක්ෂක ලේකම්ව සිටියේ ගෝඨාභය රාජපක්ෂ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදුලි පුටුවට යැවීමේ සූදානමක් පවතින බවට බියක් පැවතුණේ මෙම චෝදනා නිසාය. මෙවැනි පසුබිමක ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේදී චරිත සහතිකයක් බ්ලේක් වැනි පුද්ගලයෙකුගෙන් ලැබීම බුද්ධිමත්ව සලකා බැලිය යුතුය.

දෙවැනි කාරණය වන්නේ බ්ලේක් පැවැත් වූ දේශනයේ මාතෘකාවයි. චීනය සහ දකුණු ආසියාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය විදෙස් තොරතුරු ගැන අවධානයෙන් සිටින බොහෝ දෙනකුට අමුත්තක් නොවේ. දැනට එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන ආර්ථික බලවතෙකු වන චීනය සීමා කිරීමට සහ කොටු කිරීමට ජනාධිපති බරක් ඔබාමාගේ කාලයේ සිටම එක්සත් ජනපදයේ අරමුණ විය. චීනයට හමුදාමය වශයෙන් අභියෝග කිරීමට යොදා ගත් කරුණක් වූයේ දකුණු චීන මුහුදේ සාගර ගමනාගමනයට ඇති නිදහස යි. චීනය දකුණු චීන මුහුදේ මතභේදයට ලක්ව ඇති ස්ප්‍රැට්ලි දූපත්වල හමුදා බලය ගොඩ නගමින් සිටීම සිය ආරක්ෂාවට තර්ජනයක් සේ හැඳින් වූ එක්සත් ජනපදය ඒ සඳහා හමුදා බලය යොදා ගැනීමට පවා ඉදිරිපත් විය. දැනටත් එම ප්‍රදේශයේ යුද උණුසුමක් පවතින අතර එය චීනය සමග අවි ගැටුමකට කුමන අවස්ථාවක හෝ හේතුවනු ඇතැයි බියක් පවතී. කෙසේ හෝ එක්සත් ජනපදයේ ආසියානු ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම චීනය ඉලක්ක කරගෙන ගොඩ නැගී ඇති බව පැහැදිලිය.

දකුණු ආසියාවේ ප්‍රබල රාජ්‍යය වන ඉන්දියාව කලක සිටම එක්සත් ජනපදය සමග වාණිජ කටයුතුවලදී මෙන්ම ආරක්ෂක කටයුතුවලදී ද සමීපයෙන් කටයුතු කරමින් සිටී. සීතල යුද සමයේ දී නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛයෙකු වූ ඉන්දියාව මේ වනවිට ඉන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඉන්දියානු සාගරයේ ඇමරිකානු පොලිස් භටයෙකු බවටත් තමන්ගේම වාණිජ සහ ආරක්ෂක වුවමනාවන් සඳහා කලාපයේ රටවල දේශපාලනය හැඩ ගැස්වීමටත් සූදානම් ය. ඉන්දියාවේ ස්ථාවරය වෙනස්වීම නිසා සීතල යුද සමයේ ඇමරිකාවේ සමීපතම සගයා වූ පාකිස්ථානය අමතක කර දමා එරට සමග පවතින ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතාව අතහැර දැමීමට සූදානම් ය. එම නිසා සරල බසින් එක්සත් ජනපදයේ දකුණු ආසියානු ප්‍රතිපත්තිය වන්නේ චීනයට එරෙහිව ගෙන යනු සීතල යුද්ධයේ දී දකුණු ආසියාව පසුබිම් ප්‍රදේශයක් වශයෙන් පවත්වා ගැනීම සහ චීනයේ විදේශ ප්‍රතිපත්තියේ පදනමක් බවට පත්ව ඇති නව සේද මාවත වන මාවත සහ කලාපය මුලපිරුම නම් (RBI) වැඩපිළිවෙළ ය. චීනය සමග නොවිසිඳුණු දේශ සීමා ප්‍රශ්න සහ ආර්ථික අභියෝග පවතින ඉන්දියාවට මෙම උපාය මාර්ගයේ දී විශේෂ තැනක් හිමි වේ. එවැනි භූමිකාවක් ඉන්දියාවට බොහෝ අතින් වාසිදායක ය. මෙම සැලැස්ම තුළ ශ්‍රී ලංකාවට ස්වාධීන ස්ථාවරයක පිහිටා කටයුතු කිරීමට ඇති ඉඩකඩ බෙහෙවින් සීමිත ය.

අනිත් අතට බ්ලේක් මහතා ඉදිරිපත් කළ නිදසුන එනම් 9/11 සිද්ධිය ඉදිරියේ දී ශ්‍රී ලංකාවට මුහුණදීමට ඇති අභියෝගය තේරුම් ගැනීමට වැදගත් ය. ආරම්භක සමයේ දී එක්සත් ජනපදයේ සීඅයිඒ සංවිධානයේ ආධාර උපකාර ද ඇතිව සෞදි අරාබිය පදනම්ව බිහි වූ අල්කයිඩා සංවිධානයේ ත්‍රස්තවාදීන් පිරිසක් මගී ගුවන් යානයක් පැහැර ගෙන නිව්යෝර්ක් නගරයේ ජගත් වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල කළ ප්‍රහාරය පසුගිය පාස්කු ඉරිදා ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කර ගත් ප්‍රහාරය මෙන්ම ම්ලේච්ඡ ක්‍රියාවකි. ඒ ගැන කිසිම විවාදයක් නැත. එහෙත් එම සිද්ධිය සැබැවින්ම වූ ආකාරය ගැන පරස්පර මත මේ දක්වාම මතුවෙමින් පවතී. (මේ පිළිබඳ තාක්ෂණ සහ විද්‍යාත්මක තොරතුරු  www.globalresearch.ca.  වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකිය.) වැදගත්ම කරුණ වන්නේ එම සිද්ධිය ගැන බරපතළ විද්‍යාත්මක කරුණු මතු වුවද ඒවා ගැන විධිමත්ව සොයා බැලීම එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කිරීමය. මේ ගැන දීර්ඝව කරුණු ඉදිරිපත් කිරීමට මෙහි අවකාශයක් නැති වුවද මූලික කරුණු තුනක් දැක්වීම වැදගත්යැයි සිතමි.

පළමුවැන්න මගී ගුවන් යානය එම ගොඩනැගිල්ල තුළට කඩා වැදීම නිසා යානයේ ඇති ඉන්ධන ගිනි ගැනීමෙන් හටගන්නා උෂ්ණත්වයට ගොඩනැගිල්ලේ ව්‍යුහය වූ වානේ කඳන් උණුකිරීමට හැකියාවක් නැති බවට විද්‍යාත්මක සාක්ෂි පැවතීම ය. දෙවැනිව යම් හෙයකින් එම පීඩනයෙන් ගොඩනැගිල්ලේ ව්‍යුහයට හානියක් සිදුවූයේ නම් ගොඩනැගිල්ල හානිය සිදු වූ දෙසට ඇළවීමෙන් කඩා වැටිය යුතුය. එහෙත් සිදුවූයේ පාලනය කරන ලද පිපිරවීමකදී සිදුවන ආකාරයට ගොඩනැගිල්ල අසල අනෙක් ගොඩනැගිලිවලට හානියක් සිදු නොවන ආකාරයට මහලෙන් මහලට බිමට පාත්වීම ය. වැදගත්ම කරුණ වන්නේ කිසිදු ප්‍රහාරයක් එල්ල වූ බවට සාක්ෂියක් නැති අසල තිබු මහල් 40ක තවත් ගොඩනැගිල්ලක් ගිනිගෙන කඩා වැටීම ය. ඉන් පසුව එක්සත් ජනපදය ගත් වැදගත්ම ක්‍රියා මාර්ගය වූයේ පළමුව ඇප්ගනිස්ථානය ආක්‍රමණය කිරීම සහ ඉන්පසුව ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනය අවසන් කිරීමට තවත් ආක්‍රමණ දියත් කිරීම පමණි. ඉන් මැදපෙරදිග හටගත් යුද ගිනි දැල් ලිබියාව, සිරියාව සහ යේමනය වැනි රටවල තවමත් නිවී ගොස් නැත. මා මෙහිදී අවධාරණය කිරීමට උත්සාහ ගත්තේ ඇමරිකානුවන්ට සියලු පහසුකම් තිබියදීත් ත්‍රස්තවාදය මැඬපැවැත්වීමට මෙතෙක් සාර්ථකත්වයක් අත්කර ගැනීමට නොහැකිව ඇති බවට නිදසුනක් ඉදිරිපත් කිරීම පමණි.

පාස්කු ඉරිදා සිදුවූ කුරිරු ප්‍රහාර පිටුපස ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෝ එවැනි වෙනත් ත්‍රස්තවාදයක් පවතින බවට ඔවුන් තෝරා ගත් ඉලක්කවලින්ම පැහැදිලි ය. මෙම ප්‍රහාර දේශීය මුස්ලිම් අන්තවාදීන් විසින්ම සැලසුම් කොට ක්‍රියාත්මක කෙළේ නම් ඔවුන් තෝරා ගන්නේ ක්‍රිස්තියානි පල්ලි නොවන්නට තිබිණ. ඒ ක්‍රිස්තියානි බැතිමතුන්ගෙන් ඔවුන්ට තර්ජනයක් නොතිබූ නිසාය. ඔවුන් සිය කැමැත්ත අනුව ඉලක්ක තෝරා ගත්තේනම් තත්ත්වය මීට වෙනස් විය හැකිව තිබිණ. අප මේ තත්ත්වය පැහැදිලි කරගතයුත්තේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රට පුරා පවතින භීතිය සහ සැකය ජයගැනීමට මෙම සියලු පැති සැලකිල්ලට ගත යුතුව ඇති නිසාය.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදයට සම්බන්ධ මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමේදී සැලකිල්ලට ගතයුතුවන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සම්බන්ධතා පමණක් නොවේ. මෙම ප්‍රහාරය මුල් කරගෙන බොරදියේ මාලුබෑමක් සිදුවන බව ද අප තේරුම් ගත යුතුය. රොබට් ඕ බ්ලේක් නියෝජනය කරන්නේ අප රටේ ස්වාධීනත්වයට අනතුරක් විය හැකි එවැනි උත්සාහයකි.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදය ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩ නගා ගෙන ඇති ත්‍රස්තවාදී ජාලයක් බව සැබවි. එවැනි ව්‍යාපාරයක් සමග ගැටීමේ දී ජාත්‍යන්තර සහාය මෙන්ම උපදෙස් ලබා ගැනීමත් වැදගත් ය. මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ මෙම ප්‍රබල රටවල් ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරන යුද්ධය ඔවුන්ගේ දේශපාලන සහ ආර්ථික ක්‍රියාමාර්ගය හා බැඳුණු ආරක්ෂක වැඩපිළිවෙළක් බව තේරුම් ගැනීම ය. එක්සත් ජනපදය පමණක් නොව බටහිර යුරෝපීය රටවල් පවා මැදපෙරදිග ඔවුන්ට අභියෝගයක් වන රටවල් අස්ථාවර කිරීමට මෙවැනි ත්‍රස්තවාදී සංවිධාන යොදා ගත් බවට අපමණ සාක්ෂි පවතී. එක්සත් ජනපදය හමුදාමය වශයෙන් මැදිහත් වූ රටවල් බොහොමයක තවමත් ස්ථාවර රජයක් ස්ථාපිත වී නොමැත. ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව සහ යේමනය ඊට නිදසුන් ය. එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රටවලට ත්‍රස්තවාදය වැළැක්වීමට හෝ එය පරාජය කිරීමට ස්ථිරසාර සැලසුම් ක්‍රියාමාර්ග නැති බව පසුගිය දශක කීපය තුළම ලත් ජාත්‍යන්තර අත්දැකීමයි. නැතිනම් ඔවුන්ට තම දේශපාලන සහ ආරක්ෂක උපාය මාර්ගය අනුව මෙම රටවල් දිගටම අස්ථාවරව පවත්වා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් ය. ඉහතින් සඳහන් කළ රටවල් අතුරෙන් ලිබියාව සහ ඉරාකය යුද ගැටුම්වලට මැදිහත්වීමට පෙර ඉහළම ජීවන මට්ටමක් පැවති රටවල් බව ද සඳහන් කළ යුතුය.

මෙවැනි පසුබිමක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිතර අවධාරණය කරන ආකාරයට ප්‍රති ත්‍රස්ත පනතක් සම්මත කිරීමෙන් මෙම අර්බුදයෙන් ගැලවීමක් ලැබෙන්නේ නැත. (සමහර වියතුන් පවසන ආකාරයට ‘ප්‍රතිත්‍රස්ත’ යන යෙදුම පවා සිංහල භාෂා ව්‍යවහාරයට ගැළපෙන්නේ නැත.) ඊට එක නිදසුනක් වන්නේ 1979 සම්මත කර ගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ත්‍රස්තවාදය වැළැක්වීමට නොහැකි වීමයි. තිස්ස වීරතුංග මාස තුනෙන් නිම කිරීමට සපථ කළ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කිරීමට වසර තිහක් ගත විය. ඒ වෙනුවෙන් නැති වූ ජීවිත හා දේපොළ විනාශය රුපියල් ශතවලින් ගණන් බැලීමට නොහැකිය. රාජ්‍යය සම්පූර්ණයෙන්ම යුද්ධය සඳහා යොමු කිරීමෙන් සමාජ ව්‍යුහය මෙන්ම රාජය ව්‍යුහයද බිඳ වැටිණ. හරියටම මීට වසර දහයකට පෙර යුද්ධය නන්දිකඩාල් කළපුවේ දී ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ නායකත්වය විනාශ කිරීමෙන් අවසන් වුවද බිඳ වැටුණු රාජ්‍ය ව්‍යුහය නැවත ගොඩනැගුණේ නැත. ඒ සඳහා දැනුවත් උත්සාහයක් ගත්තේ ද නැත. එම යුද්ධය නිසා ජනතාවගේ සිත් සතන් තුළ හටගත් භීතිය සහ සැකය තවමත් පවතී. පාස්කු ඉරිදා සිදු කළ ප්‍රහාරයෙන් සිදුවූයේ එම බිය සැක නැවත අවදිවීම පමණි. සමාජ ජාල ඔස්සේ පැතිරෙන කටකතාවකින් මුළු රටම අකර්මණ්‍ය වන්නේ එම නිසාය. ඇත්තෙන්ම ප්‍රතිසන්ධානයක් නැතිනම් සංහිඳියාවක් ඇති කිරීමට නම් මේ බිය සැක සංකාවලට ආමන්ත්‍රණය කළ යුතුය.
එහෙත් ලංකාව දැනුවත්ව හෝ නොදැනුවත්ව ගමන් කරන්නේ අවුලෙන් අවුලට බව පැහැදිලි ය. ලංකාව ගමන් කරන්නේ ලෙබනනය වැනි රටක් බවට පත්වීමට යැයි කීම වඩාත් උචිත වුවද එය මුස්ලිම් රටක් වන නිසා මතභේදයට තුඩු දිය හැකි නිදසුනක් විය හැකිය. කෙසේ වුත් ලංකාව දැනටමත් ආණ්ඩුවක් නැති විදෙස් බලවතුන්ගේ බල අරගලයේ තෝතැන්නක් බවට පත්වෙමින් පවතී. රටේ නායකයන්ට මෙහි පවතින ගැටලුකාරී තත්වයට වඩා ආසියානු සංස්කෘතිය ගැන සාකච්ඡා කිරීම වැදගත් වන්නේ එම නිසාය.

කෙසේ වුවත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කිරීමේ ප්‍රයත්නය රටේ ස්වාධීනත්වය සහ අනන්‍යතාව විනාශ කිරීමෙන් අවසන් නොවීමට දේශපාලකයන් මෙන්ම රටේ ජනතාවද ප්‍රවේශම් විය යුතුය.