කල්තියා නොදුටු ඛේදවාචකයක් කල්තියා සිතිය යුතු දේශපාලන අනාගතයක්

ජයදේව උයන්ගොඩ

අද (මැයි 14) උදේ මා මේ රචනය ලියන්නට පටන් ගත්තේ දේශපාලනය විග්‍රහ කරන්නකුට ලැබිය හැකි ඉතාම අමිහිරි අත්දැකීමක් ඉදිරියේය. එය නම් සිදුවීමට ඉඩ ඇතැයි අනතුරු ඇඟවූ විනාශකාරී දේශපාලන සිදුවීමත්, ඇත්ත වශයෙන්ම සිදුවීමට පටන් ගෙන තිබෙන බවට ආරංචි ලැබීමය.

අප්‍රේල් 21දා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය, ඉන්දියානු රහස් ඔත්තු සේවයේ නිලධාරීන් මිස අප රටේ කිසිවකු කිසිසේත්ම කල්තියා නොදුටු සිදුවීමකි. එයින් කම්පාවට පත් වූ මුළු රටම, මුල් සතිය ගත කළේ එම සිද්ධියෙන් ඇතිවූ කම්පාව මැද, ඇත්ත වශයෙන් සිදුවූයේ කුමක්දැයි තේරුම් ගැනීමට වෙර දරමිනි. එහෙත් දෙවැනි සතිය වන විට පෙනුණේ, එම සිදුවීම හා එයින් සිදුවූ විනාශය දේශපාලන වශයෙන් ප්‍රයෝජන ගැනීමට පුද්ගලයන් සහ බලවේග ගණනාවක්ම, ඉතාම අවස්ථාවාදී ලෙස සූදානම් වන බවයි. දෙවැනි සතිය අවසන් වන විට පෙනුණේ, එම ඛේදවාචකය දඩමීමා කරගෙන, මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් දියත් කිරීමේ න්‍යාය පත්‍රයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බවයි. මේ බව රටේ දේශපාලන නායකයන්ටද ඉව වැටී තිබුණු බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමාත්, ආණ්ඩුවේ ඇමතිවරුන් දෙතුන් දෙනකුත් කළ ප්‍රසිද්ධ ප්‍රකාශවලින් පෙනිණ. පසුගිය සිකුරාදා සහ ඉරිදා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් මා පළ කළ දේශපාලන විග්‍රහවලින් මා පෙන්වා දුන්නේ, ඉස්ලාමීය විරෝධී ප්‍රචණ්ඩත්වය, දේශපාලන වාසි ලැබීමේ අරමුණින්, මුස්ලිම් ජනතාවට එරෙහිව කවුරුන් විසින් හෝ දියත් කරනු ලැබීමේ ක්ෂණික අනතුර අප රට ඉදිරියේ තිබෙන බවයි. ඊයේ, මැයි 13දා මුළු සවස් වරුවමත්, හැන්දෑවත්, රාත්‍රියත් මා වෙත ගෙනාවේ ඒ අනතුරු ඇඟවීම ඇත්තවෙමින් පවතින්නේය ප්‍රකාශ කරන ප්‍රවෘත්තිය.

ප්‍රතිප්‍රහාරයක පසුබිම

මෙය වනාහී වළක්වාගත යුතුව තිබුණු, දැන්වත් පැතිරීම වැළැක්විය යුතු, විනාශකාරී ක්‍රියාදාමයකි. පසුගිය සතියේ පැවති හදිසි නීතිය පිළිබඳ විවාදයේදීත්, එම සතියේ ප්‍රධාන පෙළේ පුවත්පත් සහ රූපවාහිනී ආයතනවල දේශපාලන ප්‍රවෘත්ති වාර්තාකරණයේදීත්, හොඳින්ම පෙනුණේ, මුස්ලිම් විරෝධී ප්‍රතිප්‍රහාරයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කෙරෙමින් තිබෙන බවයි. එය සැලසුම්සහගත, දේශපාලන අරමුණු සහිත, මැදිහත්වීමක් බවද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිවිය. 13 වැනි සඳුදා දියත් කර තිබෙන්නේ මේ සංවිධානාත්මක මුස්ලිම් විරෝධී ප්‍රතිප්‍රහාරයක්ය යන්න විනිශ්චය කිරීමට කෙනකු කළයුත්තේ 1983 ජූලි මාසයේ සිදුවූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භවීමේ සටන පැතිරීමේ රටාව මතක් කර ගැනීමය.

12දා හලාවතින් ආරම්භ වී 13 වැනිදා කුලියාපිටිය සහ වයඹ පළාතේ නගර සහ ගම් ගණනාවක පැතිරුණ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලියේ පළමු අදියරේදීම එය නැවැත්වීමට ආණ්ඩුවේ දේශපාලන නායකත්වයත්, හමුදා සහ පොලිස් නායකත්වයත්, ආගමික සහ ජනමාධ්‍ය ප්‍රධානීහුත්, සිවිල් සමාජයේ ක්‍රියාකාරකයිනුත් ප්‍රවේසමෙන් ක්‍රියා කළ යුතුව තිබේ. ප්‍රවේශම් විය යුත්තේ, අද කිහිප ආකාරයක අභියෝගයත් ඒ හැමදෙනාම ඉදිරියේ තිබෙන නිසාය.

අභියෝගය

පළමුවැනි අභියෝගය නම් ජාතික තව්හීද් සංවිධානය එයට සම්බන්ධ ත්‍රස්තවාදී තර්ජනය හදිසි නීති රෙගුලාසි යටතේ සහ සන්නද්ධ හමුදාවල සහභාගිත්වයෙන්, නීතියේ ආධිපත්‍යයේ රාමුව යටතේ ඉදිරියට ගෙන යෑමයි. හදිසි නීතිය මාධ්‍ය කොටගෙන දියත් කරන ලද කැරලි මැඬපැවැත්වීමේ (Counter-Insurgency) හා ප්‍රති – ත්‍රස්ත අභ්‍යන්තර යුද්ධ පිළිබඳ දීර්ඝ ඉතිහාසයක්, 1971 පටන්ම, ලංකාවේ තිබේ. එම හැම අවස්ථාවක්ම ඉගෙන ගත යුතු වැදගත්ම දේශපාලන පාඩමක් නම් රාජ්‍යරක්ෂාව සහ පුරවැසි අයිතිවාසිකම්ද, ප්‍රජාතන්ත්‍රවාදයද අතර සමතුලිතතාවක් පවත්වා ගනිමින්, හදිසි නීතිය බලයේ සිටින ආණ්ඩුවේ දේශපාලන ආයුධයක් බව පත්නොවීමටත්, ප්‍රජාපීඩක ලෙස අවභාවිත නොකිරීමටත් වගබලා ගැනීමේ අවශ්‍යතාවයි. මෙය සිවිල් සමාජය, ජනමාධ්‍ය සහ පුරවැසියන් අවධියෙන් සිටිය යුතු අභියෝගයකි. ‘හදිසි නීතිය’ යනු සාමාන්‍ය නීතිය අත්හිටුවීමකි. ඒ වෙතින් සාමාන්‍යයෙන් ඇතිවන ‘නීතිය ඉක්මවා ක්‍රියාකිරීමේ’ අවකාශ පිළිබඳව, නීතියේ ආධිපත්‍යය රැකීම තමා ආයතනික වගකීම කොටගත් අධිකරණය සංවේදීව සිටීමද මෙම පසුබිම තුළ වැදගත්ය.

දෙවැනි අභියෝගය නම්, තව්හීද් ජමාත් සංවිධානයට එරෙහිව රාජ්‍යය දියත් කර ඇති ප්‍රති-ත්‍රස්ත සටන, ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහි ව්‍යාපාරයක් බවට පත් නොවීමට, ආණ්ඩුවේත්, රාජ්‍යාරක්ෂක ආයතනවලත් නායකයන් තදින්ම වගබලා ගැනීමයි. සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී හෝ රාජ්‍ය විරෝධී ව්‍යාපාරයත්, සුළු ජන ප්‍රජාවකට අයත් පිරිසක් විසින් දියත් කරනු ලැබූ විට, රාජ්‍යය සහ සමාජය එයට දක්වන ප්‍රතිචාරයේ වාර්ගික ජාතිකවාදී ප්‍රවණතා ඇතිවීමට බොහෝවිට ඉඩ තිබේ. වාර්ගික හා ආගමික අනන්‍යතාව, පුරවැසි සාමූහික විඥානයේ තීරණාත්මක සාධකයක් වී තිබෙන අප රටේ, මෙම හැකියාව ගැන විශේෂයෙන් පරෙස්සම් විය යුතුය. ආණ්ඩුවේ නායකයන් කිහිපදෙනකුම දැනටමත් මෙම කරුණ ගැන විවෘතවම කතා කිරීම හොඳ ප්‍රවණතාවකි. එහෙත්, ත්‍රස්තවාද විරෝධය මුස්ලිම් විරෝධයක් බවට පත්වීමේ අනතුර අඩුවෙන් තක්සේරු කළ යුතු නොවේ. ඒ දෙක අතර වෙනස තීරණය කරන ඉර මකා දැමිය යුතු නොවේ.

ප්‍රචණ්ඩත්වය වැළැක්වීම

මෙයට සම්බන්ධ තුන්වැනි අභියෝගයක්ද තිබේ. එය නම් ජනවාර්ගික කණ්ඩායම් අතර පවත්නා සම්බන්ධතා ප්‍රචණ්ඩකරණයට පාත්‍රවීම වැළැක්වීමයි. සිංහල සහ මුස්ලිම් ප්‍රජාවන් අතර සම්බන්ධය වෙතට ප්‍රචණ්ඩත්වය හඳුන්වාදීම අප්‍රේල් 21දා ත්‍රස්තවාදී ප්‍රහාරයේ එක් ප්‍රතිඵලයකි. එය හිතාමතා අපේක්ෂා කළ එකක් විය හැකිය. නැතහොත් අනපේක්ෂිත එකක් විය හැකිය. එහෙත් ඒ මගින් සිදුවූයේ පසුගිය අවුරුදු ගණනාව තුළ මෙම ප්‍රජා කණ්ඩායම් දෙක අතර, සමහර දේශපාලන බලවේග ගොඩ නගනු ලැබ තිබුණු අන්‍යොන්‍ය සැකය සහ අවිශ්වාසය පිළිබඳ විඥානය ඉතාම තියුණු අදියරයකට සම්ප්‍රාප්ත වීමයි. දැනට අප සිටින්නේ මෙම ප්‍රජා කණ්ඩායම් දෙක අතර සම්බන්ධයට පසමිතුරුතාවේ මනෝභාවය ඇතුළු වී නැති මොහොතකය. වාර්ගික වෛරය පැතිරවීමේත් ආර්ථික සහ දේශපාලන වැඩි අපේක්ෂා කරන බලවේග සහ පුද්ගලයන් මෙම සැකය හා අවිශ්වාසය පසමිතුරුතාවේත් වෛරයේත් සම්බන්ධයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ ගන්නා බව 12දා හලාවතත්, 13දා කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සිදුවූ සිද්ධිදාමය, මෙරට පුරවැසියන්ටත්, ආණ්ඩුවටත් අනතුරු අඟවයි.

පුරවැසි ජාතිකත්වය

අවසාන වශයෙන්, මේ සියල්ලම සම්බන්ධ වන, දීර්ඝකාලීන ප්‍රතිඵල සහිත දේශපාලන අභියෝගයක් තිබේ. එය නම්, ලංකාවේ විවිධ වාර්ගික, ආගමික, සංස්කෘතික යන අනන්‍යතා කණ්ඩායම්වල සියලු පුරවැසියන්ටම සමානයන් ලෙස එක සේ සහභාගිවිය හැකි, බෙදාගත හැකි පොදු දේශපාලන ප්‍රජාවක් වීමේ සහ එවැනි පදනමක් සහිත රාජ්‍යයක පුරවැසියන් වීමේ ආඩම්බරය සපයන ‘පුරවැසි ජාතිකත්වයක්’ (A Civic Nationhood) පිළිබඳ දේශපාලන විඥානයකි. ජාතිකත්වය පිළිබඳ මේ ආකාරයේ විඥානයක් ගොඩ නගන ජාතිකවාදී දෘෂ්ටිවාදය දේශපාලන විද්‍යා භාෂාවෙන් හඳුන්වන්නේ ‘පුරවැසි ජාතිකවාදය. (Civic Nationalism) යනුවෙනි. එය වනාහී එක්සත් වාර්ගික කණ්ඩායම්වල වාර්ගික ජාතිකවාදී විඥානයට ඉඩ තබමින්, ඒවා පිළිගනිමින්, ඒවායේ පොදු ඓක්‍යය ලෙස ගොඩනගන සමස්ත දේශපාලන ප්‍රජාවේ, එනම් ශ්‍රී ලංකාව නමැත Political Community, එවන් පොදු සහ එම කණ්ඩායම් එකිනෙකට බැඳ තබන පුරවැසි දේශපාලන විඥානයක් මත ගොඩනැගුණකි. එහි නෛතික පදනම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නිරාගමිකවාදය, නීතියේ ආධිපත්‍යය සහ සුළුජන අයිතිවාසිකම් සහතික කරන, දේශපාලන ලිබරල්වාදයේත්, සමූහාණ්ඩුවාදයේත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේත්, ප්‍රතිමානීය මූලධර්ම රාමුවක් තුළ ගොඩ නැගුණු ආණ්ඩුකරණ ආයතනික ව්‍යුහයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. මේ පරිකල්පනය සහිත පොහොසත් දේශපාලන සාකච්ඡාවක්, පසුගිය අවුරුදු දහය තුළ, විශේෂයෙන් යුද්ධය අවසානවීමෙන් පසුව අප රටේ ගොඩ නැගී තිබුණි. අප්‍රේල් 21දා සිදුවීමෙනුත්, එයට දැනට දැක්වෙන ප්‍රතිචාරවලිනුත් සිදුවී තිබෙන්නේ එම සාකච්ඡාව පස්සට තල්ලුවීමයි.

එම සාකච්ඡාව නැවත මතුකර ගැනීම, ලංකාවේ දේශපාලනය යළි සකස් කිරීම ගැන අලුතින් කතා කරන්නට බොහෝ දෙනකු ඉදිරිපත් වී සිටින මේ කාලයේ ඉතාම වැදගත්ය. අප්‍රේල් 21දා සිදුවූ දේශපාලන පසුබෑමෙන් ගොඩ පැමිණ ඉදිරියට යන්නට අපට හැකිවනු ඇත්තේ, හුදෙක් ආණ්ඩු වෙනසකින් නොවේ. අප රටේ සියලු පුරවැසියන්ගේ පොදු සහ බෙදාගත හැකි දේශපාලන අනාගතයක ඉරණමක් ගැන සිදුකරන අලුත් පරිකල්පනයක් සහිතව ඇතිවන වෙනසකිනි.