ලංකාව යක්ෂාවේශ වීම

කාලිංග

දැන් ලංකාව තිබෙන්නේ පූර්ණ අරාජික තත්ත්වයකය. පාස්කු ඉරිදා සිදු වූ බිහිසුණු පහරදීමෙන් පසුව ලංකාව නැවත 10 වසරක සාම කාලයකින් පසුව මේ වන විට නැවත ප්‍රචණ්ඩ මාවතකට තල්ලු වී සිටින්නේ යැයි කිව හැකිය. කතෝලිකයන්ට සිදු වූ විශාල හානිය විඳදරා ගැනීමට කතෝලික නායකයින් ගනු ලැබූ තීන්දුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ සති 2ක් තරම් වන කාලයක් පමණය. මුස්ලිම් විරෝධී වෛරයේ ගිනිසිළුව අන් සමාජයන් තුළ ද පැතිරෙමින් තිබූ අතර කොයි මොහොතක හෝ මුස්ලිම්වරුන්ට පහර දෙන තත්ත්වයක් ඇති විය හැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් එවැනි තත්ත්වයක් ඇතිවීම වළකාලන්නට රජය අපොහොසත් විය. තවමත් මහා පරිමාණ මනුෂ්‍ය ඝාතන ගැන සිදුවීම් වාර්තා වන්නේ නැතත්, මුස්ලිම් දේපළ හා පල්ලි වලට ප්‍රදේශ ගණනාවකම පහර දීම් කර තිබේ. රටේ දේශපාලන නායකයින් පමණක් නොව පොලිසිය හා ආරක්ෂක හමුදාවන්ද මුස්ලිම් විරෝධී අන්තවාදීන්ට නිදහසේ පහරදීම් කරන්නටත්, දේපළ මංකොල්ල කන්නටත් ඉඩහැර ඒ සියලු දෙනා අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බවද පෙනෙන්නට තිබේ.

යහපාලන ආණ්ඩුව පමණක් නොව ඊට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවද මුස්ලිම් ත්‍රස්තවාදි සංවිධානයන් ක්‍රියාත්මක වෙමින් සිටින බව දැන දැනම විවිධ හේතු මත එය මර්දනය කිරීම වළකමින් සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. තවත් බොහෝ කාලයකට පසුව පාස්කු ඉරිදා දිනයේදී කතෝලික දේවස්ථානවලට පහරදීමක් සිදු කිරීමට සැලසුම්කර තිබෙන බව දැනගන්නට තිබියදී එය වළකන්නට පියවර ගත්තේ නැත. පහරදීම් ඇතිවීමෙන් පසු ඊට වගකිවයුතු ත්‍රස්තවාදී සංවිධාන පසුපස ලුහුබඳින ප්‍රතිපත්තියක් අනුගමනය කළා මිස මුස්ලිම් ජනයාට ප්‍රතිප්‍රහාර එල්ල කරන තත්ත්වයක් ඇතිවිය හැකි බව පෙනෙන්නට තිබියදී එවැනි බිහිසුණු තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත්තේ නැත.

13 හා 14 යන දිනවල පහරදීම් සිදුවිය හැකිබවට ජෙනරල් සරත් ෆොන්සේකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා කාදිනල් කුරේ යන අය කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයන් සැලකිය හැක්කේද ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ලෙසය. ඒ දින දෙකේදී විශේෂ දෙයක් සිදු වන්නට යන බව ඔවුන් දැන් සිටියේ නම් ජනතාව අතර අවිනිශ්චිත හැගීම් වර්ධනය කරන ප්‍රසිද්ධ ප්‍රකාශයන් කරන තැනකට යනවා වෙනුවට ඔවුන් කළ යුතුව තිබුණේ දේශපාලන හා ආරක්ෂක බලධාරීන් දැනුවත් කිරීමය. මෙම අර්බුදයේදී රටේ දේශපාලන නායකයින් ඉටුකරන ලද කාර්යභාරය සේම පොදුවේ ජනමාධ්‍ය ඉටුකරන ලද කාර්යභාරය ඉතාමත් නින්දාසහගත යැයි කිව හැකිය.

දැන් රටේ ඇත්තේ පාලනයක් නොව යක්ෂයින් රජකරන අරාජික තත්ත්වයකට සමාන තත්ත්වයකි. රටේ රාජ්‍ය නායකයා හා ආරක්ෂාව භාර ප්‍රධානියා රටේ නැත. ඔහු චීනය බලාගියේ ගිනිගනිමින් තිබුණු බව හොඳටම පෙනෙන්නට තිබුණු අවස්ථාවකයි. පාස්කු පහරදීම් සිදු වූ දිනයේදී ද රටේ නායකයා රටේ නොසිටියේය. රටට අගමැතිවරයකු සිටියත් ඒ අගමැතිවරයාටද රටේ ඇති වී තිබෙන ගින්න නිවීමේ හැකියාවක් නැත. මෙම අර්බුදය හමුවේ අසාර්ථක වී තිබෙන්නේ ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද ආසාර්ථකය. විපක්ෂ නායකයින් ද අනියම් ගෙස ගිනි අවුලන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙනවා හැර සාධනීය කාර්යභාරයක් ඉටුකිරීමට සමත් වී නැත. විපක්ෂයට විශාල මහජන බලයක් ඇත්නම් කලබල පාලනය කිරීමේ හැකියාවද තිබිය යුතුය. ලංකාව ගලවා ගැනීමට අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකයින්ද මෙම අර්බුදයේ දී සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වී නැත.

රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය 83 කළු ජූලියේදී දේවල් සිදු වූ ආකාරයට සමානය. පොලිසිය හා ආරක්ෂක හමුදා කෝලහල මැඩ පවත්වන දැඩි ප්‍රතිපත්තියක් වෙනුවට කෝලාහලකාරයින්ට ඉඩ දී බලා සිටින ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව පැහැදැලිව පෙනෙන්නට තිබේ.

දැන් ලංකාව තිබෙන්නේ කබලෙන් ලිපට වැටුණු බිහිසුණු හා අවාසනාවන්ත තත්ත්වයකය. ආර්ථිකය තිබෙන්නේද හතරගාතෙන් යන තත්ත්වයකය. ආර්ථිකයේ ඇති වී තිබෙන බිඳ වැටීම අති විශාල ප්‍රමාණයකට ජීවන මාර්ග අහිමි කිරීමට හේතු වනු ඇත. ඉදිරි ජන ජීවිතය ඉතා දුෂ්කර හා කටුක දෙයක් බවට පත් කිරීමට හේතු විය හැකිය. එම තත්ත්වය දුප්පත් ජනයා කෙරෙහි පමණක් නොව මධ්‍යම පාන්තික හා ධනවත් අය කෙරෙහිද බලපානු ඇත. ඉතිරි වී සිටින විදේශීය නියෝජිතයින්ද ලංකාව අතහැර යන තත්ත්වයක් ඇතිවිය හැකි අතර ලබා දී තිබෙන ණය ආපසු ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිවීඹ තුළ රටේ බැංකු ක්‍රමයද කඩාබිඳ වැටෙන තත්ත්වයක් ඇතිවිය හැකිය. මුස්ලිම්වරුන්ට කරන හානිය තව තව වර්ධනය වුව හොත් මුස්ලිම් රටවල් ලංකාවට සම්බාධක පනවන තත්ත්වයක් පවා ඇති විය හැකිය. ලංකාව ආර්ථික වශයෙන් පූර්ණ බංකොලොත් තත්ත්වයකට පත්විය හැකි අතර රාජ්‍යයේ ද පූර්ණ බිඳ වැටීමක් ඇතිවිය හැකිය.