අර්බුදය හා ව්‍යවස්ථා උල්ලංඝනය

වික්ටර් අයිවන්

පාස්කු පහරදීම්වලට පෙරත් ලංකාව තිබුණේ විශාල හා සංකීර්ණ අර්බුදයකය. පාස්කුවේදී ඇතිවූ පහරදීම්වලින් පසුව දැන් ලංකාව තිබෙන්නේ තිබුණු තත්ත්වයට වඩා අතිවිශාල හා සංකීර්ණ අර්බුදයකය.

පාස්කු පහරදීම්වලට පෙරද ලංකාවේ ආර්ථිකය තිබුණේ කඩා බිඳ වැටෙමින් බංකොළොත් තත්ත්වයක් කරා යන ගමනකය. පාස්කු සිදුවීම්වලින් පසුව දැන් ලංකාවේ ආර්ථිකය තිබෙන්නේ ආර්ථිකයේ ඇතිව තිබුණු කඩා වැටීම දෙගුණ තෙගුණ කෙරුණු තත්ත්වයකය. රටේ සංචාරක කර්මාන්තය තිබෙන්නේ මුළුමනින් කඩා බිඳ වැටුණු තත්ත්වයකය. සංචාරක කර්මාන්තයෙන් ඍජු ලෙස යැපෙන්නන්ගේ ප්‍රමාණය දශ ලක්ෂයක් පමණ වන අතර ඔවුන් දැන් සිටින්නේ ඔවුන්ගේ ආර්ථික මාර්ග මුළුමනින් බිඳ වැටුණු අසරණ තත්ත්වයකය. නිෂ්පාදන කර්මාන්ත හා වෙළෙඳාම තිබෙන්නේද හැකිළීමේ ක්‍රියාවලිය වඩා වේගවත් වූ තත්ත්වයකය. ආර්ථිකයේ ඇතිවී තිබෙන බිහිසුණු කඩා වැටීම දුප්පත් ජනයාගේ පමණක් නොව මැද පන්තික ජනයාගේ හා පොහොසත් ජනයාගේ පැවැත්මද දුෂ්කර හා දුක්ඛිත කිරීමට හේතුවනු ඇත.

සමාජ – දේශපාලනය

පාස්කු දින සිදුවූ පහරදීම්වලට එරෙහිව මුස්ලිම් නොවන සමාජය මුස්ලිම් සමාජයට මහා පරිමාණයෙන් පෙරළා පහරදෙන තැනකට ගියේ නැතත්, සමාජයේ කිසියම් ප්‍රමාණයකට තිබුණු මුස්ලිම් හා මුස්ලිම් නොවන බෙදීම වර්ධනය කොට එය ඕනෑම මොහොතක බිහිසුණු පිපිරීමක් බවට පත්විය හැකි ගල් ගැසුණු බෙදීමක් බවට පත්කිරීමට හේතුවී තිබේ.

පාස්කු දින සිදුවූ සිදුවීම් දේශපාලන තලයේ තිබුණ අවුලද සංකීර්ණ කොට කිහිප ගුණයකින් උග්‍ර කිරීමට හේතුවී තිබේ. දේශපාලන පක්ෂ හා නායකයන් කෙරෙහි පැවති කලකිරීම උග්‍ර කිරීමෙන් නොනැවතී සියලු දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයන් කෙරෙහි බලවත් විරෝධයක් පමණක් නොව, අතිවිශාල පිළිකුළක්ද ඇති කිරීමට හේතුවී තිබේ.

පාස්කු ඉරිදා ඇතිවූ බිහිසුණු සිද්ධියේදී රටේ සියලු දේශපාලන නායකයන්ගේ හැසිරීම තුළ විකටරූපී ස්වරූපයන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඔවුන්ගේ මුහුණුවල කම්පාවක සේයාවක්වත් පෙනෙන්නට නොතිබුණු අතර ඔවුන්ගේ හැසිරීම කුණුවූ මළසිරුරුවලට වසන නිල මැස්සන්ගේ හැසිරීමට වෙනස් නොවීය.

ඇතිවූ ඛේදවාචකය මහජනයා දකින්නේ වළකාගත හැකිව තිබූ දේශපාලන නායකයන්ගේ වගකීමෙන් තොර අවස්ථාවාදී ක්‍රියා කලාපය නිසා ඇතිවූ දෙයක් වශයෙනි. සිදුවූ පහරදීම්වලට වගකිවයුතු මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයේ උත්පත්තිය අවුරුදු හත අටක් තරම් ඈතට දිවයන බවක් ඔවුන්ට අදාළව මුස්ලිම් සමාජයෙන්ම ලැබී තිබෙන පැමිණිලි වර්තමාන ආණ්ඩුව පමණක් නොව, ඊට පෙර තිබුණු ආණ්ඩුවද දේශපාලන හෝ වෙනත් වාසි සලකා එම ව්‍යාපාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වැළකීම නිසා ඇතිවූ ඛේදවාචකයක් බවට කරුණු හෙළිදරව්වෙමින් පවතී.

ඇතිවී තිබෙන අර්බුදය ගලායමින් තිබෙනුයේ සියලු දේශපාලන නායකයන්ට තිබෙන පිළිගැනීම අහිමි කරමිනි. විටෙක ඔවුන් මහජනයාගේ හාස්‍යයටද, තවත් විටෙක මහජනයාගේ කෝපයටද හේතුවෙමින් වඩා හොඳ හෝ නරක අලුත් යුගයකට ඉඩදෙමින් දේශපාලන නායකයන් සියලුදෙනා ඉතිහාසයේ කුණු කූඩයට යමින් තිබෙන්නේ යැයි කිව හැකිය.

දැන් ඇතිවී තිබෙන අවුල්සහගත අර්බුදකාරී තත්ත්වය නොකඩවා වර්ධනය වන්නක් මිස සමනය වන්නක් ලෙස සැලකිය නොහැකිය. එක අවුලක් යටපත් වන විට යටපත් වී තිබෙන වෙනත් අවුලක් කරළියට ආ හැකිය. රාජ්‍ය අංශයේ වැටුප් ප්‍රශ්නය තිබෙන්නේ පුපුරනසුලු තත්ත්වයකය. ග්‍රාමීය කාන්තාවන්ට අදාළ ක්ෂුද්‍ර ණය ප්‍රශ්නය තිබෙන්නේද පුපුරනසුලු තත්ත්වයකය. ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩා වැටීම සමාජය මත පටවමින් තිබෙන ආර්ථික පීඩනයද පුපුරනසුලු තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. විවිධ ස්වරූපයන් ගනිමින් නොකඩවා වර්ධනය වන අර්බුදයත් මැතිවරණ කාලසටහනද අවුල් කිරීමට හේතුවිය හැකිය. මැතිවරණ මෙම අර්බුදයට විසඳුමක් නොවන අතර මැතිවරණ මේ අර්බුද තවදුරටත් උග්‍ර කිරීමට හේතුවිය හැකිය. තිබෙන අර්බුදය ජයගැනීමට අවශ්‍ය නම් අන් සියල්ලට පෙර රට ව්‍යුහාත්මක විපර්යාසයකට යොමු කළ යුතුය. ඒ මගින් ලංකා රාජ්‍ය සේ ම ලංකා සමාජයද ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යායුතුය.

ලංකාවේ අර්බුදය

ලංකාවේ මේ මොහොතේ උපරිම මට්ටමකට, වර්ධනය වී තිබෙන අර්බුදය අහසින් කඩා වැටුණු දෙයක් නොව, නිදහසේ සිට ඇතිවී ගෙවී ගිය වසර 71ක් තරම් කාලය තුළ ක්‍රමානුකූල වර්ධනයවෙමින් දැන් පවතින උපරිම තත්ත්වයට වර්ධනය වූ අර්බුදයක් ලෙස සැලකිය හැකිය.
ලංකාව ලබාගත් නිදහස බලවත් සමාජ උත්සහයකින් ලබාගත් නිදහසක් ලෙස සැලකිය නොහැකිය. එය සැලකිය හැක්කේ බලවත් සමාජ උත්සාහයකින් තොරව සටකපටකමින් ලබාගත් නිදහසක් ලෙසය. එය බලවත් සමාජ උත්සාහයකින් ලබාගත් නිදහසක් වී නම් වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම අවම කොට ජාතිය ඒකාග්‍ර කරගැනීමට හෙවත් නූතන ජාතිය ගොඩනගා ගැනීමට සමත් වන්නට ඉඩ තිබුණි. අප නිදහස ලබාගත්තේ නූතන ජාතිය ගොඩනගා ගැනීමකින් තොරවය. නිදහසෙන් පසුද ජාතිය ගොඩනගා ගැනීම සඳහා වන උනන්දුවක් නොතිබුණි.

නූතන ජාතිය රාජ්‍යයේ යහපැවැත්මට නූතන ජාතිය නැතුවම බැරි කොන්දේසියකි. ඒ අර්ථයෙන් ලංකාව නූතන ජාතික රාජ්‍ය ගොඩනගන ලද්දේ අභ්‍යන්තර සමගිය සඳහා අවශ්‍ය කරන ශක්තිමත් අත්තිවාරමක් ඇතිකර ගැනීමෙන් තොරවය. සමාජය කෙරෙහි පමණක් නොව, රටේ නායකයන් කෙරෙහිද වර්ග, කුල, ආගම් භේද බලපෑවේය. නිදහසින් පසුව රාජ්‍ය පාලකයින් රාජ්‍ය ඉදිරියට ගෙන ගියේද, ශක්තිමත් ඉදිරි දැක්මකින් තොරවය. ලංකාව බිහිකළ ජාතික නායකයන් බලවත් නිදහස් අරගල ව්‍යාපාරයන් ඔස්සේ ගොඩ නැගුණු පරණත නායකයන් නොවීය. ඔවුන්ගේ පටු ප්‍රතිපත්ති සමාජයේ තිබූ බෙදීම් වර්ධනය කිරීමට හේතුවිය.

එක ලේ බිඳකුදු හෝ නොසොල්වා නිදහස ලබාගත් රට නිදහස ලැබී අවුරුදු 30කට පසුව එක දිගට අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් ලේ මත පිහිනන රටක් බවට පත්විය. ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් කෙරෙහි වර්ගය, කුලය හා ආගම යන සාධක තුනම බලපෑවේය. අවුරුදු 30ක් එක දිගට ලේ මත පිහිනන අවුරුදු 10ක විරාම කාලයකින් පසු දැන් රට නැවත ලේ හලන ගමන් මගක ගමන් කරන බව පෙනේ. ලොකු ගැටුම් ඇතිවන තත්ත්වයක් ඇතිවීම වළකාගත නොහැකිවුවහොත් රටට ගෙවන්නට සිදුවන වන්දිය ඉතා විශාල විය හැකිය. ඒ සියල්ල එසේ සිදුවෙමින් තිබියදී රාජ්‍යය මුහුණ දී තිබෙන අර්බුදය යථා ස්වභාවය තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

සෝල්බරි ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

අපේ රාජ්‍ය පාලකයන්ට රටේ දියුණුව පිණිස ශක්තිමත් ඉදිරි දර්ශනයක් නොතිබුණා සේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව පාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය හික්මීමක්ද නොතිබුණි.

සෝල්බරි ව්‍යවස්ථාවේ තීන්ත වේලෙන්නටත් මත්තෙන් ප්‍රථම අගමැතිවරයා ව්‍යවස්ථාවේ දර්ශනයට පටහැනිව යමින් වතුකරයේ ඉන්දියානු දෙමළ වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කළේය. නිදහස ලැබෙන අවස්ථාව වනවිට පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ලංකාව විසඳාගත යුතුව තිබුණු ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේය.

නිදහසට පෙර ලංකාවේ සියලුදෙනා සලකන ලද්දේ බි්‍රතාන්‍ය පුරවැසියන් ලෙසය. නිදහස ලැබෙන අවස්ථාව වනවිට ලංකාවේ වතුකරයේ ජීවත් වූ ඉන්දියානු සම්භවයන් ඇති ඉන්දියානු වතු කම්කරු ජනගහනය 800,000ක් පමණ විය. ඔවුන් අතර දීර්ඝ කාලයක් එක දිගට ලංකාවේ ජීවත් වූ හා ලංකාවේ තවදුරටත් ජීවත් වන්නට කැමති පිරිසක් සිටියා සේ ම එසේ නොවී කලින් කල ඉන්දියාවට ගොස් ආපසු එන විශාල පිරිසක්ද සිටියේය. ඉන්දියානු වතු කම්කරුවන් නැතිව ලංකාවේ තේ වතුකරය පවත්වාගෙන යා හැකි තත්ත්වයක් රටේ නොතිබුණි.
මෙම ප්‍රශ්නය විසඳා ගත යුතුව තිබුණේ කාලයක් එක දිගට ලංකාවේ ජීවත් වී ඇති හා ලංකාවේ පුරවැසියන්වීමට කැමති අය හඳුනාගෙන ඔවුන්ට පුරවැසි අයිතිවාසිකම් ලබාදෙන අතර එසේ නොවන අය ලංකාවේ සිටින තෙක් ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට පමණක් සීමාවන ආකාරයේ විශේෂ ඡන්ද කොට්ඨාස ක්‍රමයක් හඳුන්වාදී ඔවුන්ගේ නියෝජිතයන්ටද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් ලබාදෙන ආකාරයටය.

එහෙත් ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක ප්‍රශ්නය සලකා බලන ලද්දේ පටු දේශපාලන කෝණයකිනි. 1947 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉන්දියානු වතු කම්කරු නියෝජිතයන් හත්දෙනකු තේරී පත්ව සිටි අතර ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් තරග නොකළ ආසනවලදී වතු කම්කරුවන් ඡන්දය පාවිච්චි කර තිබුණේ සමසමාජ අපේක්ෂකයන්ටය. ඩී.එස්. සේනානායක තමන්ගේ ප්‍රධාන දේශපාලන හතුරා ලෙස සලකන ලද්දේ සමසමාජ පක්ෂයයි. නිදහස දිනා දුන් වීරයා වශයෙන් පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් ඩී.ඇස්. සේනානායක අපේක්ෂා කළත් දිනාගත හැකිවූයේ 95ක් වූ මුළු ආසන සංඛ්‍යාවෙන් 42ක් පමණය. ඉන්දියානු වතු කම්කරු ජනතාව වෙනුවෙන් නියෝජිතයන් හත්දෙනකු පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටියත් සේනානායක ආණ්ඩුවක් ගැට ගසා ගැනීමට දරන ලද දුෂ්කර උත්සාහයේදී ඔවුන් ඔහුට සහාය දුන්නේ නැත. ඔවුන් කල්ලි ගැසී සිටියේ විපක්ෂය සමගය. ඔවුන්ගේ එම හැසිරීමට සේ ම ඉන්දියානු දෙමළ වතු කම්කරුවන්ට සමසමාජ පක්ෂය සමග තිබූ කිට්ටු සම්බන්ධය අගමැතිවරයාගේ බලවත් විරෝධයට හේතුවී තිබුණු අතර ඉන්දියානු වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහිමි කරන අතර ඒ මගින් සමසමාජ පක්ෂයට තිබූ බලයද දුර්වල කිරීම අගමැතිවරයා ඉදිරියට ගෙනා පුරවැසි අණපනත්වල සැඟවුණු අභිලාෂය වී තිබුණි. එම අණපනත් 1947දී පාර්ලිමේන්තු නියෝජිතයන් හත්දෙනකු සිටි එම ප්‍රජාවට 1977 තෙක්ම එකම නියෝජිතයකුවත් නැති තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය.

1956දී බණ්ඩාරනායක ගෙනා සිංහල රාජ්‍ය භාෂා පනතද සෝල්බරි ව්‍යවස්ථාවට පටහැනි විය. ඒ වනවිට විසඳා ගන්නට ලොකු භාෂා ප්‍රශ්නයක් රටේ තිබුණේය. දීර්ඝ කාලයක් තිස්සේ පැවති යටත්විජිත තත්ත්වය විසින් ස්වභාෂාවන්ට තිබුණු පිළිගැනීම මුළුමනින් යටපත් කර තිබුණි. නිදහස ලැබීමෙන් පසුද එම තත්ත්වයෙහි වෙනසක් ඇති කර නොතිබුණි. 1956 තෙක්ම සිංහල හා දෙමළ මිනිසුන්ට විදුලි පණිවුඩ පවා ලැබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉංග්‍රීසි භාෂාව නොදත් සිංහලයන්ට හා දමිළයන්ට විදුලි පණිවුඩයේ තේරුම දැනගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාව දන්නා මහත්තයකු සොයාගෙන යන්නට සිදුවිය. ස්වභාෂා ලෙස සැලකිය හැකි සිංහල හා දෙමළ භාෂාවන්ට හිමි අවලස්සන තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍යව තිබුණද බණ්ඩාරනායක කළේ දෙමළ මිනිස්සුන්ට දෙමළ භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන අයිතිය අහිමි කිරීමට හේතුවන ආකාරයට සිංහල රාජ්‍ය භාෂාව කිරීමය. ඉන්පසු දෙමළ මිනිස්සුන්ට විදුලි පුවත් ලැබුණේ සිංහල භාෂාවෙනි. සිංහල නොදන්නා දෙමළ මිනිසුන්ට තමන්ට ලැබෙන විදුලි පණිවුඩ කියවා ගැනීම සඳහා සිංහල භාෂාව දන්නා දෙමළ මහත්වරුන් සොයාගෙන යන්නට සිදුවිය.

දෙමළ මිනිසුන්ගේ සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි කරන ප්‍රතිපත්තිය දෙමළ මිනිසුන් තුළ ලොකු සිත් වේදනාවක් ඇති කිරීමට හේතුවූ අතර, ඔවුන් අවිහිංසාවාදී රාමුවක් තුළ, සිය භාෂා අයිතිවාසිකම් දිනාගැනීම සඳහා දරන ලද උත්සාහයන්ද නොසලකා ක්‍රියාකිරීම දෙමළ තරුණ පරපුර ත්‍රස්තවාදී මාර්ගයට තල්ලු කිරීමට හේතුවූ ප්‍රබල සාධකයක් වී යැයි කිව හැකිය.

1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සම්පාදනයේදී ව්‍යවස්ථා සම්පාදකයන්ට අවශ්‍ය වී නම් භාෂා අයිතිවාසිකම් අහිමි කර තිබූ දෙමළ ජනතාවට සාධාරණත්වය ඉටු කළ හැකිව තිබුණි. එහෙත් එසේ නොකළා පමණක් නොව, සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ව්‍යවස්ථාවටද එකතු කළේය. ඒ අර්ථයෙන් 1972 ජනරජ ව්‍යවස්ථාව සැලකිය හැක්කේ ලංකාවේ දෙමළ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් අහිමි කළ ව්‍යවස්ථාවක් වශයෙනි.

ව්‍යවස්ථා උල්ලංඝනය 77න් පසු

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව රාජ්‍යයේ සකලවීද බලය රාජ්‍ය නායකයා අතට පත්කිරීමේ පටු අරමුණින් ඇති කරන ලද ව්‍යවස්ථාවක් වුවද එය සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා මානව හිමිකම් සම්බන්ධයෙන් ගත් විට 1972 ව්‍යවස්ථාවට වඩා ඉදිරිගාමී ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එහෙත් දශක 04ක කෙටි කාලයක් තුළ උපරිම මට්ටමෙන් දූෂණය කෙරුණු ව්‍යවස්ථාව වන්නේද එයයි.
78 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව දූෂණය කිරීමේ මහා පාපකර්මයට වගකිවයුතු පළමු වගඋත්තරකරු බවට පත්වන්නේ එම ව්‍යවස්ථාවේ නිර්මාපකයා ලෙස සැලකිය හැකි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ය. එම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා උල්ලංඝනයන්ට හැමවිටම පාර්ලිමේන්තුවද සමහර අවස්ථාවලදී අධිකරණයද ආධාර කළේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන කාලය තුළ ව්‍යවස්ථාවට එකතු කර තිබෙන සංශෝධනයන් 16න් පහක්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන සංශෝධනයන් ලෙස සැලකිය හැකිය. ඒ අතරින්ද 1977 තේරී පත්වූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර 6කින් දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද හතරවන සංශෝධනය (1982.12.23) ආණ්ඩුක්‍රමය විකෘති කොට රට ප්‍රචණ්ඩ මාවතකට තල්ලු කිරීමට හේතුවූ බිහිසුණුම සංශෝධනය ලෙස සැලකිය හැකිය. අද දක්වා එම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කොට නැත.

ජනාධිපති ජයවර්ධන කාලයේ ඔහු හිතුවක්කාරකම් කළේ ව්‍යවස්ථාවට එකතු කරන සංශෝධන මාර්ගයෙනි. ඕනෑම සංශෝධනයක් නොපමාව අනුමත කරගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ඔහුට තිබුණේය. එහෙත් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී ව්‍යවස්ථා සංශෝධනවලට යෑමට අවශ්‍ය පාර්ලිමේන්තු බලයක් ඇයට නොතිබීම නිසා ඇය ඒ අඩුව සපුරා ගත්තේ තමන්ගෙ හෙංචයියකු (සරත් නන්ද සිල්වා) අගවිනිසුරු ධුරයට පත් කොට ජනාධිපතිනියට අවශ්‍ය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාරකම්වලට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු මගින් අනුමැතිය ලබා ගත්තේය. මන්ත්‍රීකම අහිමිකර ගැනීමෙන් තොරව විරුද්ධ පක්ෂයෙහි මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයට එකතුවිය හැකි ක්‍රමයක් ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය විධායකය හා අධිකරණය එකට එකතු වී ව්‍යවස්ථාව දූෂණයට ලක් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර ඒ මගින් සමස්ත ආණ්ඩුක්‍රමයේ ඇති කළ විකෘතිය අතිවිශාලය.
ඉන්පසු මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී සම්මත කරගන්නා ලද 18 වැනි සංශෝධනයද ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම සංශෝධනයට පසුව 18 අහෝසි කරමින් ජනාධිපති ආණ්ඩුක්‍රමයේ වෙනසක් ඇති කිරීමේ අරමුණින් නීතිගත කරන ලද 19 වැනි සංශෝධනය ව්‍යවස්ථාව උල්ලංඝනය ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිවා සේ ම සමස්ත ආණ්ඩුක්‍රමයම විකෘති කරමින් ව්‍යවස්ථාව තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැකි ව්‍යවස්ථාව ව්‍යවස්ථා කඩමාල්ලක් බවට පත් කළ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසද සැලකිය හැකිය.

වැරදි නිවැරදි කිරීමට අසමත්වීම

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිදහසේ සිට වර්තමානය දක්වා වන රාජ්‍ය පාලකයන් අනුගමනය කර තිබෙන ශීලාචාර නොවන ප්‍රතිපත්තියෙන් පමණක් වුවත් ලංකාව දේශපාලන වශයෙන් තිබෙන්නේ කොතරම් අශීලාචාර තැනකද යන්න තේරුම් ගැනීම අමාරුවන්නේ නැත. රටේ පාලකයන් තමන්ගේ පටු දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වන අවස්ථාවලදී ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ඇතිවද එවැනි ව්‍යවස්ථාදායක බලයක් නැති අවස්ථාවලදී හා අධිකරණයේ සහාය ලබාගත හැකි අවස්ථාවලදී අධිකරණයේ සහාය ඇතිවද ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති අධිකරණයද තමන් වෙත පැවරී තිබුණු එම වගකීම හරියාකාරව ඉටුකිරීමට සමත් වී නැත. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතිවී තිබෙන විකෘතිය හා පූර්ණ බෙලහීනතාවද ආණ්ඩුක්‍රමයේ ඇතිවී තිබෙන විකෘති හා පූර්ණ බෙලහීනතාවද එහිම තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.
සාමාන්‍යයෙන් කවර ශීලාචාර රටක්වත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන තැනට යන්නේ නැත. පාලකයකුට එසේ කරන්නට අවශ්‍ය වුවත් අධිකරණය ඊට ඉඩ දෙන්නේ නැත. සාමාන්‍යයෙන් ශීලාචාර රටවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සැලකෙන්නේ දේශපාලන අර්ථයෙන් කළ හැකි ලොකුම පාපකර්මය ලෙසය.

සාමාන්‍යයෙන් දේශපාලන වශයෙන් ශීලාචාර රටවල වැළකිය නොහැකි අවස්ථාවකදී ව්‍යවස්ථා උල්ලංඝනයන් සිදුවුවහොත් එම වරදගල් ගැසුණු දෙයක් බවට පත්වන්නට ඉඩ නොදී එය නිවැරදි කිරීම පිණිස ක්‍රියාකරන්නේය.

ඒ සඳහා අසල්වැසි ඉන්දියාවෙන් දැක්විය හැකි නිදර්ශනයක් මෙසේය. හදිසි නීතිය යටතේ දීර්ඝ පාලනයන් පවත්වාගෙන ඉන්දිරා ගාන්ධි 1976 මැයිවලදී ඉන්දියානු ව්‍යවස්ථාවට 42 වන සංශෝධනයක් ඉදිරිපත් කොට තමන්ට තිබුණු වැඩි ඡන්ද බලයෙන් එය අනුමත කරගත්තේය. එය ඉන්දියානු ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් විෂයෙහි ලොකු විකෘතියක් ඇති කිරීමට හේතුවිය. එය මහජනයාගේද බලවත් විරෝධයට හේතුවූ අතර 1997 මැතිවරණයේදී එය ඉන්දිරා ගාන්ධි ආණ්ඩුවේ පරාජය කෙරෙහි තීරණාත්මක සාධකයක් ලෙස බලපෑවේය.

1977දී බලයට පත් ජනතා පක්ෂ ආණ්ඩුව 1977දී 1978දී ඉන්දිරා ආණ්ඩුව මගින් 42 වන සංශෝධනයෙන් ඇති කළ විකෘතිය නිවැරදි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන දෙකක් (43 වැනි හා 44 වැනි) සම්මත කළේය. එම ව්‍යවස්ථා සංශෝධන දෙකෙන් 42 වන සංශෝධනයෙන් ඇති කර තිබූ විකෘතිය විශාල ප්‍රමාණයකට මිස මුළුමනින් නැති කිරීමට හේතුවී නැති බව සමහර විචාරකයන්ගේ මතය විය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය 1980 ජූලි මුලදී දෙන ලද තීන්දුවක් මගින් (Minerva Mills V Union of India) 42 වන සංශෝධනය මුළුමනින් නිෂ්ප්‍රභ කොට ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට හානියක් ඇති කිරීමට හේතුවන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථාදායකයට තිබෙන අයිතියද අහිමි කළේය.

මෙම විෂයේදී ඉන්දියාව සමග ගත්විට ලංකාව තිබෙන්නේ කොතරම් පසුගාමී තැනකද? ව්‍යවස්ථාව විකෘති කිරීමට හේතුවන ව්‍යවස්ථා සංශෝධන කිසිවක් අවලංගු කරවා ගැනීමට කිසිදු උත්සාහයක්වත් දරා නැත. අඩුම වශයෙන් ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීමට පුළුවන්කම ලබාදෙන 4 වැනි සංශෝධනයවත් අවලංගු කරවාගෙන නැත. ව්‍යවස්ථාව විකෘති කිරීමට හේතුවන ලෙස ලබාදී තිබෙන නඩු තීන්දු සම්බන්ධයෙන් පවත්නා තත්ත්වයක් ඊට වෙනස් නැත.

ව්‍යවස්ථාවේද ආණ්ඩුක්‍රමයේද ඇතිවී තිබෙන බිඳ වැටීම හා ඒ ආශ්‍රයෙන් ලංකාවේ ඇතිවී තිබෙන කාලකණ්ණිභාවය කෙරෙහි විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විසින් එක්ව හා වෙන් වෙන්ව කර තිබෙන ව්‍යවස්ථා උල්ලංඝනයන්ද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව තේරුම් ගැනීම අවශ්‍ය වන්නේය. මීට පෙර ඇතිවූ ත්‍රස්තවාදයන් සේ ම දැන් ඇතිවී තිබෙන ත්‍රස්තවාදයද රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම ආශ්‍රයෙන් ඇතිවී තිබෙන විපත් ලෙස සැලකිය හැකිය. රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සේ ම නව ආණ්ඩුක්‍රමයක් සමග සමස්ත ක්‍රමයේ පූර්ණ විපර්යාසයක් අවශ්‍ය වී තිබෙන්නේ දැන් ඇතිවී තිබෙන කාලකණ්ණිභාවය ජයගැනීමට ඒ හැර අන් මාර්ගයක් නැති නිසාය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා නව ආණ්ඩුක්‍රමයක් අප හදාගත යුතුව තිබෙන්නේ විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට එවැනි වැරදි කරන්නට ඉඩක් නොලැබෙන ආකාරයටය.