ශ්‍රී ලංකාව ජාතියක් ලෙස පරිණතද

විපුල කරුණාතිලක

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සති 03ක කාලයක් ගතවන විටත් අර්බුදය විසදෙන මාර්ගයක් ලංකාවට පැමිණ නැත. පසුගිය 21 වනදා සිට අද වන විට තවත් සිදුවීම් සිදුවන්නේ වාර්ගික අසමගිය තීව්‍රර වන ආකාරයටය. ඇමරිකාව 9/11 ප්‍රහාරය එල්ල වීමෙන් පසු එරට වැසියන්ට විශාල කම්පනයක් ඇති වුවත් ජන ජීවිතය කඩා වැටුණේ නැත. එරට සාමාන්‍ය මුස්ලිම් වැසියන්ට කවුරුත් අඩන්තේට්ටම් නොකළේය. මෑතක එංගලන්තයේ මැන්චෙස්ටර්හි සංගීත ප්‍රසංගයක් පැවති ක්‍රිඩාංගනයට ප්‍රහාර එල්ල වීමෙන් පසුද එරට විශාල කම්පනයක් ඇති වුවත් එය සමාජයේ වෛරය පතුරුවන සිදුවීමක් බවට පත් වූයේ නැත. එංගලන්තයේ මුස්ලිම් ජනගහනයෙන් විශාල පිරිසක් ජීවත් වන්නේද මැන්චෙස්ටර් ප්‍රදේශයේ වුවද, කිසිදු පහරදීමක් සිදු වූයේ නැත. ලෝකයේ ශිෂ්ට රටවල මෙවන් සිදුවීමක් වූ පසු එම රටවල නායකයන් ක්‍රියා කරන්නේ ගැටලුවේ වර්තමාන තත්ත්වය මත පදනම්වය. ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එහි අනෙක් පැත්තය. ප්‍රධාන දේශපාලන ධාරාවේ ප්‍රකාශකයෝ එකින් එකාට සිදුවීමේ වගකීම භාරගන්නා ලෙස දෝෂාරොපණය කරමින් අද දක්වාම කටයුතු කරති. ඇමරිකාවේ 9/11 ප්‍රහාරයට පසු ඇමෙරිකාවේ කිසි කෙනෙක් අල්කයිදා සංවිධානය නිර්මාණය කළ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන්ට චෝදනා කළේ නැත. එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් පසු බි්‍රතාන්‍ය ජාතිවාදීයකු ලෙස සලකන නයිජල් ෆරාජ් වත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතු යැයි චෝදනා නොකළේය.

ලංකාවේ දේශපාලන නායකයින් එසේ කරන විට ඕස්ටේ්‍රලියානු රජය තම පුරවැසියන් වූ ලාංකික ජාතිකයින් දෙදෙනාට තම යුතුකම් තනාපති කාර්යාල හරහා ඉටුකොට තිබුණි. ඊට අමතරව ඕස්ටේ්‍රලියාවේදීද පුරවැසියන් වෙනුවෙන් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවය රැක තම කනගාටුව ප්‍රකාශ කර තිබුණි. ලාංකීය දේශපාලනඥයින් මේ සිදුවීම කෙරෙහි දක්වන මේ වගකීම් විරහිත ආකල්පයට බලපාන හේතුව කුමක්ද? ඊට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ලාංකීය සමාජයේ අපරාජිකභාවයයි. ඕනෑම සමාජයක පරිනතභාවය එන්නේ රජය මෙහෙයවන පිරිසගේ ඇති ආකල්පවල ඇති දූරදර්ශීභාවය මතය. මේ ලියුම්කරුගේ නිරීක්ෂණයට අනුව අද දවසේ රාජ්‍යය මෙහෙයවන සිංහල බෞද්ධ ග්‍රාමීය මධ්‍යම පන්තිය විශාල ලෙස ජාතිවාදී බවට පත්වී ඇත. වසර 40කට පෙර මෙම තත්ත්වය ලංකාවේ දක්නට නොලැබුණි. එකල රාජ්‍යය මෙහෙය වූ නාගරික මධ්‍යම පන්තිය මෙන්ම ග්‍රාමී්‍ය මධ්‍යම පන්තියද මධ්‍යම පාන්තික වටිනාකම් වන ප්‍රජාතන්ත්‍රවාදය, සංස්කෘතිය සංහිඳියාව අවමානය ජනිත නොකරන මිනිස් සබඳතා අගය කළ කොටසක් වූහ. ඒ සඳහා අවශ්‍ය ශික්ෂණය යටත් විජිත අධ්‍යාපනයෙන් මේ පිරිසට ලැබී තිබුණි. මේ අයගේ සංස්කෘතික ජීවිතය සඳහා අවශ්‍ය නවකතා නාට්‍ය සංගීතය චිත්‍රපය බිහි වී තිබුණි. අදවන විට මෙම මධ්‍යම පන්තියේ සුසුමාදර්ශ වෙනසක් වී ඇත. අද මධ්‍යම පන්තිය ලෙස හඳුන්වන්නේ සංස්කෘතියක් නොමැති අධි පාරිභෝගිකයෙකි. මධ්‍යම පන්තිය මනින නිර්නායකය වී ඇත්තේ පරිභෝජන ආර්ථිකයට දක්වන සබඳතාවයයි. මේ අයගේ කිසිදු විචාර බුද්ධියක් නැත. අදවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීන් රජයේ ආයතන ප්‍රධානීන් පුද්ගලික අංශයේ විධායකයන් බවට පත්ව ඇත්තේ මේ සංස්කෘතික නිර්ධනයන්ය. මේ අයට පුද්ගලිකත්වය හැර වෙනත් කිසිදු වටිනාකමක් නැත. මානව ගරුත්වය වෙනුවෙන් ගනු ලබන තීරණයන්ට එකඟ වන්නේ නැත. මීට අවුරුදු 20කට පමණ පෙර ලංකාවේ සියලුම පාසල් ආගම් හෝ ජාතීන් ලෙස වෙන් නොකළ යුතුයි යනුවෙන් යෝජනාවක් ආවිට කොළඹ ආනන්ද විiාලයට ඉදිරියට ගොස් විරෝධයක් කළේ චම්පික රණවක හා උදය ගම්පන්පිලයි. එදා ඔවුන් ප්‍රකාශ කළේ මෙයට ඉඩ දුන්නොත් ආනන්ද විiාලය සහිරා විiාලය බවට පත්වන බවය.

අද වන විට මේ සිංහල බෞද්ධ මධ්‍යම පන්තිය ප්‍රචාරය කරමින් ඇති මතයක් වන්නේ රටේ අවුරුදු 0-8 අතර දරුවන්ගෙන් 65%ක් පමණ මුස්ලිම් ජාතිකයන් බවය. ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව අනුවත් පාසල් සංගණන වාර්තා අනුවත් එය එසේ නොවන බවත් එය ඇත්තක් නම් ලංකාවේ මුස්ලිම් ජනගහනයෙන් 80% අයිතිවිය යුත්තේ වයස අඩු අය බවට මේ ලියුම්කරු එම මතය ප්‍රකාශ කරන අයට ප්‍රකාශ කළත් ඔවුන් එය පිළිගන්නේ නැත.

තවද මේ අය ගෙන යන තවත් ප්‍රචාරයක් වන්නේ මුස්ලිම් ව්‍යාපාර සමග සිංහලයන් ගනුදෙනු කිරීම නැවැත්විය යුතුය යනුවෙනි. කනගාටුවට කරුණ වන්නේ මේ අය අමතක කරන සිදුවීම වන්නේ ගෙවීම් ශේෂයේ හිඟය පියවන ප්‍රධාන මාර්ගය බවට පත් වී ඇත්තේ මුස්ලිම් රටවල ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගේ ප්‍රේරණ මගින් බවය. මධ්‍යම පන්තියට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ ගෙන ඒමට අවශ්‍ය ඩොලර් ලැබෙන්නේ මේ ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගේ දුක් සුසුම් මගිනි. ගැටලුව වන්නේ මුස්ලිම් අභියෝගය ගැන කතා කරන සුධීමතුන්ට මැද පෙරදිග හෙළ කුළ කතුන් වහල් සේවයේ යෙදීම ඉවසීමට පුළුවන් වීමය.

දැනටමත් රජයේ කාර්යාලවල මුස්ලිම් සේවකයෝ අවමානයට පත් වෙමින් සිටිති. මේ ලියුම්කරුගේ මුස්ලිම් ජාතික මිතුරියකට පසුගිය 21 වනදා සිට අද දක්වා විශාල ලෙස අවමානයට ලක්වීමට සිදුව ඇත. ඇය කොළඹ සිට වෙනත් ප්‍රදේශයකට මාරු වීමට හේතු විමසා තිබුණි. කාර්යාලයේදී ඇය අවමානයට ලක් වන නිසා හිස පැලඳි හිකාබය ඉවත් කොට සේවයට ගොස් තිබුණි. පසුගිය දිනක රහස් පොලිසියෙන් පැමිණ ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබුණි. කාර්යාලයේ සේවකයන් බහුතරයක් තවමත් ඇය දෙස සැකයෙන් බලා සිටියි. මේ වගේ සිදුවීමකදී අධීක්ෂණ නිලධාරීන් ඇයව අවමානයට ලක්වීම වලක්වන ලෙස කටයුතු කළ යුතු වුවත් ඔවුන් ක්‍රියා කොට ඇත්තේ ඇය තවත් අවමානයට ලක්වන ලෙසය.

රටේ තීන්දු තීරණ ගන්නා කිසිදු පාර්ශ්වයක් තේරුම් නොගන්නේ අර්බුද තීව්‍රර වන්නේ අර්බුද විසඳීමට ගන්නා අමනෝඥ ක්‍රියාමාර්ග නිසා බවය. බොහෝ අය හිතනු ඇත්තේ තරමක් ජාතිවාදය අවුස්සා සිංහල ඡන්ද බලය වැඩිකර ගැනීම වුවත් අවසානයේ එය පාලනය කිරීම පහසු වන්නේ නැත. සිංහල සමාජය මුස්ලිම් සමාජය සමග ගැටුමකට යෑමෙන් සිදු වන්නේ සාමන්‍ය මුස්ලිම්වරුන්ද ත්‍රස්තවාදීන්ගේ පිලට තල්ලු වීමය. එයට හොඳම උදාහරණය වන්නේ 1983 ජාතිවාදී ගැටුමෙන් පසු බහුතරයක් උතුරු නැගෙනහිර ද්‍රවිඩයන් ප්‍රභාකරන්ගේ ගමන්මග අනුමත කිරීමයි.