මස් හොරකම් කළ මිනිස්සු

ටිරන් කුමාර බංගගමආරච්චි

ජනප්‍රවාදයේ එන ජනප්‍රිය කතාවකින් කතාව පටන් ගමු.

“වරක් දැඩි ලෙස රෝගාතුර වූ කපුටකු තම මව අමතා අයැද සිටියේ තමන්ගේ ඉක්මන් සුවය වෙනුවෙන් දෙවියන් යදින ලෙසය. ඒ අවස්ථාවේදී කපුටු පුතාට මව පැවසුවේ “අනේ පුතේ, මම මොන දෙයියන්ට යාඥා කරන්නද? උඹ මොන දෙයියන්ගේ අල්තාරයෙන්ද මස් සොරකම් නොකළේ?” යනුවෙනි.

සත්‍ය නම් ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් පත්ව ඇත්තේ කපුටු පුත්තුන්ගේ මට්ටමටය. ඔවුහු මේ රටේ ජනතාවගෙන් සොරකම් නොකළේ මොනවාද? සැබැවින්ම අප මොවුන්ගෙන් කවුරු වෙනුවෙන් යාඥා කරමුද? පාස්කු ප්‍රහාරයත් සමග ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු විය. එය සටකපටීන්ගේ දාදු ඇදිල්ලක් බවට පත්ව ඇත. සැවොම එකිනෙකා කපා දමමින් ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට මාන බලති. සැබැවින්ම කාට නම් ජයක් හිමිකර ගත හැකිද?

මෙරට බහුතර මිනිසුන් මේ මොහොතේ සෑම දේශපාලකයාම පිළිකෙව් කරනවා නියතය. එහෙත් මේ සැමට අඩු වැඩි වශයෙන් අවම දේශපාලන කපටි ආරක්ෂකයන් පිළිබඳ තක්සේරුවක් ඇත. එය ඇතැම්විට මාධ්‍ය ඇති කළ ව්‍යාජ සහතික මත ඇති වූවක් විය හැකිය. කෙසේ වුවත් ජනතාව බුද්ධිමත්ව තේරුම් ගතයුත්තේ සැවොම බොරදියේ මාළු බාන බවය.

මහින්ද මහත්තයයි, කාදිනල්තුමයි කියනකම් අපි අපේ ළමයි පාසල් යවන්නේ නෑ යනුවෙන් මිනිසකු මාධ්‍ය හරහා රටටම කීවේය. මේ කුමන හයිකාරකමක්ද? රටේ ජනතාව විවෘතව අදහස් දැක්වීමේ කෙරුමන් වීද? නැතිනම් පවතින ආණ්ඩුව අසරණ වී ඇත්ද? අකමැත්තෙන් වුව කිවයුතු කතාවක් නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ කාට හෝ මෙවැනි විවෘතවීමක් විය හැකිද? මේ සැම සිදුවන්නේ යහපාලන සැමට ආණ්ඩු පිහිටුවීමේ වුවමනාව තිබුණද ආණ්ඩුව ලැබුණහොත් කරන හැටි ගැන අවබෝධයක් නොතිබූ බැවිනි. දේශපාලන කෙරුමා රනිල් යන මිථ්‍යාවේ ගිලුණු අය එහිම ගිලී මිය ගියෝය. මෛත්‍රී අවංකයෙකු යැයි සිතූ අය අද සමාජය ඉදිරියේ වංක වෙති අද මෛත්‍රී – රනිල් දෙපිළ බෙදී ආණ්ඩු කරන අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් නොනිල මට්ටමින් ආණ්ඩු කරමින් සිටී. පාස්කු ප්‍රහාරයත් සමග ඔහු ආණ්ඩු බලය සියතට ගෙන ඇති අයුරු මනාව දැකිය හැකිය. එයට ඔහුට කැබිනට් එක අවශ්‍ය නැත. ඒ වෙනුවට මාධ්‍ය ඇත. මේ මාධ්‍ය සමග මහින්ද තම සුපුරුදු සෙල්ලම දැඩි විශ්වාසයෙන් කරමින් සිටී. එහිදී ඔහු වෙනුවෙන් යාඥා කරන්නට කාදිනල්තුමා බලපත්‍රය ගෙන ඇත. මහින්ද මස් සොරකම් නොකළ අල්තාරයක් නැත. එහෙත් කාදිනල්ට ඒ කපුටා එළවිය නොහැකිය.

මහින්ද රාජපක්ෂ මේ දිනවල සිටින්නේම පන්සල්වලය. ඔහු පෙර පරිදිම ආණ්ඩුව මෙහෙයවන්නේ විහාරවල සිටය. කාදිනල් වෙන්නට දඟලන හාමුදුරුවරු අද අනාථය. ඔහු මහින්ද සමග පාළු ගෙවල්වල වළං බිඳිනුයේ ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහාය. මහින්ද නැවතත් ළමයි වෙනුවෙන් කතා කරන්නට පටන් ගෙනය. පාසල් යෑම නොයෑම ජනතාවට කියනුයේ මහින්දය. දේශපාලන සූත්තර කපටීන් අතර උග්‍ර කපටියකු වන මහින්ද මේ මොහොතේ එනම් පාස්කුවෙන් පසු ගෝඨාටද පෙරළාගෙන නැවත ජනතාවට අතරට රිංගා ගෙන ඇත. මේ පාස්කු ප්‍රහාරයෙන් උපරිමයෙන් ගොඩ ගියේ රාජපක්ෂලාය. ගෝඨාභය අයිඑස්ලා අහවර කළහැක්කේ තමන්ම කියා කරළියට ආ අතර මහින්ද එය එසේම තියෙද්දී දේශපාලන ගේම ගසන්නට උපන් හපනා වී ඇත. තමාට ජනාධිපතිවරණයකට තරග කළ නොහැකිව තිබියදී පවා මහින්ද මේතරම් වලිකනුයේ රටේ ජනතාවට ඇති ආදරයටද? ඔහු මේ මොහොතේ කරනුයේ ඔහුට ඇති ජනවරම ශක්තිමත් කරගනිමින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන විපක්ෂ බලධාරියා ඔහු වී අගමැතිකමට ඔහු එන්නටය. ඒ ජනපති ගෝඨා වනවා වෙනුවට වෙන අයකු කිරීමට ඔහු මේ සෑම උත්සාහයක්ම ගන්නා බව පෙනේ.

රනිල්ගේ දේශපාලන සූත්තර කපටිකම් සියල්ල ඇත්තේ එජාප නායකත්වය රැකගන්නට සහ තම පිරිස රැකගන්නටය. මහින්ද එහිදී ජාතික නායකයෙකි. ඔහුට වුවමනා රටය. රනිල්ට වුවමනා පක්ෂයය. මේ දෙපළ එකම මට්ටමේ සූත්තර කපටි දෙපළක් වුවත් ඉදිරි දැක්මේදී මහින්ද විශාලය. රනිල් පටුය. ලංකාවේ ජනතාව යනු හිනාවට වඩා කඳුළු ප්‍රිය කරන්නෝය. සුබ වාදයට වඩා අසුබවාදයේ ගිලෙන්නෝය. මේ නිසා පාස්කුවෙන් පසු රිදෙන තැනට රිද්දනවා වෙනුවට මහින්ද වෙන කිසිවක් තෝරා නොගත්තේය. ඒ ක්‍රමය අපූරුවට ඵලදායි බව ඔහු දනී. මෙරට ජනයා කැමති දේශපාලන කපටියා මහින්දය. කාට වුව මෙරට දේශපාලනය කරන්නේ නම් ඔහුගෙන් උගත යුතු පාඩම් ගොඩය. ඒ අතින් රනිල්ගෙන් ගතයුත්තක් නැති තරම්ය. ඒ උද්දච්චකමට යාහැකි දුර හරිම කෙටිය.

කාදිනල්

කාදිනල් රඟදක්වනුයේ මහින්ද පන්නයේ භූමිකාවකි. එක දෙයක් කිව යුතුය. පල්ලිවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග කාදිනල් පෙනී සිටි ආකාරය හරිය. එහෙත් පාස්කු ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරයේ වගකීම අයිඑස්අයිඑස් සංවිධානය භාර ගැනීමත් සමග කාදිනල් භූමිකාව ඉවරය. ඒ මේ ප්‍රහාර පල්ලි තුනට පහරදීමෙන් අහවර නොවන බැවිනි. එය දැන් ශ්‍රී ලංකාවටම ඇති තර්ජනයක් විනා කතෝලිකයන්ට පමණක් අදාළ ප්‍රශ්නයක් නොවන බව වටහා ගත යුතුය. ඒ අනුව කාදිනල්ගේ ප්‍රකාශ කතෝලික ජනයාගෙන් එළිබැස රටේ දේශපාලනය තීන්දු කරන තැන දක්වා වර්ධනය වීම අභාග්‍යයකි. අද මාධ්‍යයට නැතිවම බැරි පුද්ගලයන් දෙපළ වී ඇත්තේ කාදිනල්තුමා සහ මහින්දය. මේ හැමදේම කරන්නේද මහින්ද හා මාධ්‍ය විසින්ය. අද වැඩි මාධ්‍ය අධිකාරියක් ඇත්තේ මහින්දටය. හෙට දවසේ කතෝලික ඡන්ද තීරණය කරන තීරක බලවේගය බවට කාදිනල් පත්ව ඇත. ඒ අනුව මුස්ලිම් ඡන්ද මෙන්ම කතෝලික ඡන්දත් වෙන්දේසි වී ඇත. මුස්ලිම් ඡන්ද රනිල්ට නම් කතෝලික ඡන්ද මහින්දටය. කාදිනල් මේ රඟනුයේ ඒ පාරේ යමින්ය.

අසරණ රනිල්

රනිල් කිසිම දිනක දේශපාලන අසරණයකු නොවේ. දේශපාලන අහංකාරයෙකි. ඔහුට සැමදා වැදුණේ ඒ නිසාම නොව දේශපාලනිකව ඔහුගේ වපසරිය කුඩා නිසාය. එහෙත් 2015දී මෛත්‍රී කරතබාගෙන ආ රනිල් වෙත ලාංකේය සලකුණක් වනු ඇතැයි බොහෝ දෙනා සිතුවද අවසානයේ වූයේ ඔහු සැමගෙන් පහර කන තැනට පත්වීමය. රනිල් තරම් දේශපාලනය තුළ අවලාද අපහාස විඳින චරිතයක් නැතිවිය යුතුය. ඔහුට එල්ල කළ ප්‍රහාර වෙන නායකයකුට එල්ල කළේ නම් ඔහු මෙලහකටත් හුස්ම යවා අවසන්ය. ඒ සෑම තැන රනිල්ට ඔහේ සිටිය හැක්කේ ඉවසීම නිසා නොව දේශපාලනිකව ඔහුට ළාදුරු නිසාය. හැඟීම් දැනීම් නැති නිසාය. ඔහුට අවැසි ඔහුගේ කල්ලියය. ඒ කුමක් වුවත් රටේ ජනතාවගේ බහුතරයක පටන් එජාපයේ අය පවා පතුරු ගසන්නේ රනිල්වය. පොහොට්ටු අය පවා බනිනුයේ රනිල්ටය. එතරම් බැනුම් අසන්නට රනිල් මෛත්‍රී තරම් වැරදි කළේ නැත. එහෙත් තමා වැරදි නැති බව කියන්නට රනිල්ට බැරිය. එහිදී ඔහු අසරණය. ඔහු අසරණයකු යැයි කීවේ රනිල් ලෙස හැදී ඇති වටිනාකම කුමක්ද යන්න ඔහු නොදැන සිටීමය. එය ඔහු විසින්ම දිනෙන් දින විනාශ කර ගැනීමය.
එදා රනිල් තරම් මිනිසෙක් නැතැයි සිතා ක්‍රියා කළ පුරවැසි බලය වැනි සංවිධානවල පිරිස් අද පුරවැසි සංවිධාන හරහා හීනියට ගෙන එන්නේ රනිල් වෙනුවට කරු ගෙනෙන වැඩපිළිවෙළය. සුදු ඇඳගෙන තක්කඩි දේශපාලනය ටක්කෙටම කරන කරු එජාපය විනාශ කිරීමේ පුරෝගාමීයාය. එදා 17 දෙනකු රැගෙන මහින්දගේ දෑත් ශක්තිමත් නොකරන්නට එජාපය මෙතරම් විනාශවන්නේ නැත. මහින්ද එතරම් ශක්තිමත් වන්නේ නැත. එහෙව් කරුට එජාපයේ නායකයාවීමට රනිල් කිසිදා ඉඩ නොදෙනු සහතිකය. ඒ නිසා පුරවැසි සංවිධාන අද මහින්දට වඩා රනිල් හතුරා කරගෙන ඇත. රනිල්ට පන්න පන්නා සූක්ෂ්මව පහර දෙති. එහෙත් කරුට වඩා රනිල් හොඳ බව අපගේ හැඟීමය. කරු යනු මෛත්‍රීට වඩා දේශපාලන කෛරාටිකයෙකි. බලයට එන්නට ඉන්නා කල සැවොම දාන්නේ අහිංසක වෙස් මුහුණුය. බලය ලැබුණු පසු සැබෑ මුහුණු මතු වේ. පුරවැසි සංවිධාන මුලදී සිතුවේ මෛත්‍රී තමන්ට ඕනෑ ලෙස නටන රූකඩයක් බවය. එය එසේ නොවන කල රනිල් පැත්ත ගෙන මෛත්‍රී පතුරු හැරීය. එහෙත් රනිල් ඒ අය ගණන් නොගන්නා තැන කරු ලොකු වී ඇත. මේ නායකයන් බලයට ගේන්නට පොර කන සිවිල් චරිත බොහොමයකට ඇති ආශාව තමන් ඇමතූ ක්ෂණිකයෙන් නායකයාගේ දුරකතනය එසවිය යුතුය. නැතහොත් ඒ ක්ෂණිකයෙන් පෙරළා තමන්ට ගත යුතුය. තමන්ට නිතර නිතර හමුවීමට ඉඩ දිය යුතුය වැනි ළාමක ආශාවන්ය. ඒවා මෛත්‍රීගෙන් නොලැබෙන කල රනිල් පැත්ත ගත්තද රනිල් වැඬේ කරගත් සැණින් සියල්ල අමතක කරනුයේ විදුලි වේගයෙන් බැවින් මේ වනවිට ඔවුන් සනසන චරිතය කරු වී ඇත. එහෙත් පාස්කු ප්‍රහාරයත් සමග ඒ කරුව වැඩකටම නැති රිටක් වී ඇත. දැන් සැවොම නන්නත්තාර වී සිටිති.

සිරිසේන

ඒ සියල්ල අතරෙත් කැතම දේශපාලනයක නියැලෙන සිරිසේන පාස්කු ප්‍රහාරයේ වගකීම ඔහුම පත් කළ ආරක්ෂක ලේකම් මත තබා ඇඟ බේරාගන්නට සූක්ෂ්ම විය. ඔහු මේ රටේ සිදුවන නරක කිසිවකට වගකිවයුත්තා නොවේ. හොඳ සියල්ල ඔහුගේය. ප්‍රහාරය ගැන කිසිත් නොදන්නා ඔහු ප්‍රහාරයෙන් පසු කරන මෙහෙයුම්වල ප්‍රධානියාය. ඔහුද මේ ප්‍රහාරය ගැන දැන සිටිමුත් අද නොදන්නා ගාණටම සිටී. සැම පව් එකිනෙකා පිට පටවති. එහෙත් සියල්ලට වන්දි ගෙවන්නට වන්නේ හිටපු ආරක්ෂක ලේකම්ට විය හැකිය. කෙසේ වෙතත් සිරිසේනගේ දේශපාලනය අහවරය. ඔහුට නැවත මෙරට ජනපතිවීමට ඉඩ දෙතැයි සිතිය නොහැකිය. මහින්දගේ කරේ එල්ලුණද එය පහසු නොවනු ඇත. එහෙත් එය එසේම යැයි කීමට කල් වැඩිය.

මාධ්‍ය වාරණය

කඩු ඇල්ලීම නොපෙන්වීම ගැන දේශපාලකයන් උරණ වී ඇත. ජනතාවට පවා අද ප්‍රවෘත්ති බලන කල පාළුවක් දැනෙනුයේ කඩු නැතිවය. නොපෙන්විය යුත්තේ කඩු ඇල්ලීම නොව දේශපාලකයන්ගේ කතාය. මේවා නොපෙන්වා සිටියහොත් ප්‍රවෘත්ති කියා දෙයක් නැත. දේශපාලකයන් කියා පිරිසක්ද නැත. ලෝකයේම දේශපාලකයා යනු කතා කරන ගිරවෙක් බව ඔප්පු කර ඇත්තේ මෙරටය. මයික් සහ කැමරා පිරිවරා නොගෙන මලක්වත් පූජා කළ නොහැකි දේශපාලකයන් සිටින එකම රට මේකය. මේ පන්සල්, පල්ලි ගාණේ යන දේශපාලකයන් තඩි හොරුය. එහෙත් ඔවුහු කිසිදු හිරිකිතයකින් තොරව යාඥා කරති. ඒ අන් කිසිවක් නිසා නොව අපගේ දේවාලවල ඇත්තේද කම්බ හොරු වන බැවිනි. ලංකාවේ නම් කොතරම් මස් සොරකම් කළද කපුටෝ යාඥාවට සුදුසුය. මන්ද මෙරට අල්තාරද දූෂණය වී බොහෝ කල්වන බැවිනි.